Tuesday, December 21, 2021

අපේ හෘදයසාක්ෂියේ පවතින කහට පැල්ලමකට එල්ල වන සිනාවක එළියක් - ලියනගේ අමරකීර්ති

 

   උදේ පාන්දර මේ සටහන මම ලියන්නෙ තේ කෝප්පයක් බොමින්. මම කෝපි ලෝලියෙක් වුණාට උදේ ආරම්භ වෙන්නෙ තේ කෝප්පෙන්. කෝපිවලට අපි “කහට” වගේ වචනයක් සම්බන්ධ කරල නෑ. කෝපි විශාල වතු විදියට වගා කිරීම නතර වුණත් අපේ හැම පළාතකම හැම ගෙදරකම වගේ වවාගන්න දෙයක් බවට පත් වුණා. ඒ නිසා වෙන්න ඇති කහට වගේ වචනයක් ගෑවිලා නැත්තෙ.



Saturday, December 18, 2021

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ නිදහස් කලා- ලියනගේ අමරකීර්ති

 

(2022 වර්ෂයේදී විදර්ශන ප්‍රකාශනයක් ලෙස පළ වන විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු කුමක්දැයි විමසන කෘතියෙහි පස් වන පරිච්ඡේදයෙන් කොටසක්)

...ඉතිහාසයද නිදහස් කලා විෂය ධාරාවට අයත් ප්‍රධාන විෂයකි. එවැනි විෂයයක් ඉගෙනගන්නේ ඇයි? එම විෂය ඉගෙනීමෙන් ලැබෙන දැනුම සහ කුසලතා මොනවාද?

★ බහුවිධ සන්දර්භ සහ සම්ප්‍රදායන් අගය කිරීමේ හැකියාව

★ ඓතිහාසික සිද්ධි හා සම්බන්ධ හේතුඵල බලවේගවල සංකීර්ණතා ගැන හැඟීමක්

★ අඛණ්ඩතාව සහ වෙනස්වීම අතර ඉතිහාසය තුළ පවත්නා ද්විඝඨනාත්මක සම්බන්ධය වටහා ගැනීම

★ ඒ ඒ ඓතිහාසික යුගයෙහි වූ ප්‍රධාන විවාද ගැන අවබෝධය

★ බහුවිධ ස්වරූපයේ ලේඛන සහ අදාළ මූලාශ්‍ර පීරා, පෙරා සලකා බලමින් අතීතය අර්ථකථනය කිරීමේදී සහ විශ්ලේෂණය කිරීමේදී අදාළ වන්නා වූ දේවල් මොනවාද යන්න ගැන දැනුම

★ එම ක්‍රියාවලියේදී තමන්ට වඩා වෙනස් දේවල් සහ මනුෂ්‍යයන් (සංස්කෘති, ජාති, සම්ප්‍රදායන් ආදී) ගැන සහවේදනය වර්ධනය කරගැනීම

★සමකාලීනව අප හමුවේ ඇති අභියෝග අතීත සිදුවීම් හා වර්ධනයන් සමග සමබන්ධ වන්නේ, ඒවා වෙතින් පැන නගින්නේ කෙසේද යන අවබෝධය නිසා වර්තමාන අභියෝග සම්බන්ධයෙන් වඩා පොහොසත් පර්යාලෝක , සියුම් දැක්මක්  අත්පත් කර ගැනීම

  මේ කරුණු එකිනෙක ගෙන නිදර්ශන ඇසුරින් සාකච්ඡා කරන්නට මෙහි අවකාශ නැත. ඉතිහාසය හැදෑරීම යනු දිනවකවානු හෝ රජවරුන්ගේ නම්ගම් මතක තබා ගැනීමට වඩා ශිෂ්‍යයාගේ දෘෂ්ටිය තියුණු කර ක්‍රියාවලියක් බව මේ කරුණු කිහිපයෙන්  වැටහී යා  යුතුය. එසේම අතීතය යන්න සංස්කෘතික ආත්මකේන්ද්‍රීයත්වයෙන් තොරව පෘථුල දෘෂ්ටියකින් වටහා ගැනීම යන අරමුණද මෙහි ඇතුළත් කිරීම උචිත යැයි මට සිතේ.

  ලලිත කලා වූකලි නිදහස් කලා අධ්‍යාපනයෙහි අත්‍යවශ්‍ය අංගයකි. ඒවා අපේ පරිකල්පනයට, භාවයන්ට, සහ බුද්ධියට ආමන්ත්‍රණය කොට අපේ පසිඳුරන් හා බැඳුණු බහුවිධ සම්පත් පාදා දෙයි. එමගින් අපට ආත්ම අවබෝධයද, නිර්මාණශීලීත්වයද, සංවේදීතාවද වර්ධනය කරගන්නට අවස්ථාව ලැබේ. එසේම ශිෂ්‍යයෝ විවිධ දෘශ්‍ය කලා, ශ්‍රව්‍ය කලා, ප්‍රාසාංගික කලා ආදිය සමීපව ඇසුරු කිරීමෙන් නිර්වාග්මය සන්නිවේදනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබති. මෙම කලා හදාරන ශිෂ්‍යශිෂ්‍යාවෝ ලෝකය පවතින ආකාරය සහ පැවතිය යුතු ආකාරය අතර තිබෙන පරතරය දකිති. එහෙත් ඒ අතරම තමන්ට උරුම වූ ලෝකයෙහි වන යහපත සහ සුන්දරත්වයද අගය කරන්නට උගනිති. 

කලාවන් ඒකපුද්ගල ආත්මවර්ධනයට උපකාර කරන අතර සංස්කෘතියක සාමූහික අනන්‍යතාව ගොඩනැගීමටද දායක වේ. සැබැවින්ම කලාව යම් සංස්කෘතියක සාමූහික අනන්‍යතාව වෙත කවුළුවක් විවර කරන අතරම පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ සංකීර්ණත්වයද මනුෂ්‍ය අභිමානයද වෙත අපගේ ඇස් යොමු කරයි; එමපණක්ද නොව සියලු සංස්කෘති ඉක්මවා පවත්නා උත්තර මනුෂ්‍යයත්වයද අපට හඳුන්වා දෙයි. මෙවැනි කලා අධ්‍යාපනයක සාමූහිකව නියැලීම මගින් ශිෂ්‍යශිෂ්‍යාවෝ ශික්ෂණයකින් යුතුව සාමූහික ක්‍රියාවල යෙදීමේත් නිර්මාණාත්මක නවෝත්පාදනයේත් කුසලතා ලබති.

  භාෂා සහ සාහිත්‍ය අධ්‍යයනය නිසා වාග්මය නිරවද්‍යතා ගුණද, සංකීර්ණතා සහ ලාලිත්‍යය පිණිස භාෂාවෙහි පවත්නා විභවතාවද ගැන හැඟීමක් ශිෂ්‍යශිෂ්‍යාවන් තුළ ඇති වේ. අලංකාරිකය ශක්තිය සහ ශෛලිය ගැන අවබෝධයක්ද එවැනි අධ්‍යාපනයකින් ඔවුන්ට ලැබේ. රූපක සහ කතා ඔස්සේ වඩා පාරිකල්පනිකව සිතන සැටි භාෂා සාහිත්‍ය අධ්‍යයනයෙන් සිසුහු උගනිති. සාහිත්‍ය කෘති කියවීම මගින් විවිධ සාහිත්යික ආකෘති ගැන අවබෝධයක්ද, පළල් කලාපයක විහිදුණු මනුෂ්‍ය අත්දැකීම් සහවේදනීයත්වයෙන් වටහා ගන්නට අවස්ථාවක්ද ඔවුන්ට මුණ ගැසේ. එපමණක් නොව "අර්ථකථනය" නමැති කලාව පිළිබඳ වඩා සියුම් අවබෝධයක් ලබාගැනීමටද අවස්ථාව තිබේ. 

   එසේම භාෂාවෙහි පවත්නා පෙලඹවීමේ බලයත්, මුලා කිරීමේ බලයත් ගැන ඔවුහු අවබෝධයක් ලබති. සමාජයක සිටින බලවත් කණ්ඩායම් පෙලඹවීම සහ රැවටීම සඳහා භාෂාව භාවිත කරන සැටි දැන ගැනීම විචාරාත්මක පුරවැසිභාවය පිණිසත්, ඒ රැවටීම්වලට එරෙහි ප්‍රතිකතිකා ගොඩනැගීමටත් අවශ්‍ය වේ. 

  තමන්ගේ භාෂා සාහිත්‍යය පමණක් නොව අනෙක් භාෂා සහ සාහිත්‍ය ඉගෙනීමත් නිදහස් කලා අධ්‍යාපනයෙහි කොටසකි. එමගින් මනුෂ්‍යයන් අදහස් ප්‍රකාශ කරන ආකාරයෙහි වන සිත්ගන්නා බහුවිධභාවය සේම ඒ ප්‍රකාශනවල වන රම්‍යාලංකාරයද සිසුහු දැක ගනිති. මේ වූකලි එක බසකට වඩා දන්නා අප කවුරුත් ලබන සුන්දර අත්දැකීමකි. ඒ ප්‍රීතිවාහක අත්දැකීමම පවා භාෂා අධ්‍යයනයෙහි ප්‍රධානතම ප්‍රතිලාභයක් වේ. එසේ අන් බසක සුවිශේෂත්වය ගැන අවබෝධය වූකලි තමන්ගේ භාෂාව සහ සංස්කෘතිය ගැන පවා නව අන්තර්දෘෂ්ටි සපයන්නකි. වෙනත් භාෂා සහ සාහිත්‍ය ඉගෙනීම නිසා ශිෂ්‍යයන්ට වඩා ගැඹුරු සමාජ සංවේදීතාවක්ද, අනික් සංස්කෘතිවල ඉතිහාසයද ඒ සංස්කෘතිය අයත් ශිෂ්ටාචාරය ගැන අවබෝධයක්ද ලැබේ. එපමණක් නොව, වාග්මය සහ සංස්කෘතික සීමා ඉක්මවා අනෙක් මනුෂ්‍යයන් සමග සන්නිවේදනයෙහි යෙදෙන්නටද අවස්ථාව ලැබේ.

   අනෙක් මනුෂ්‍යන් සමග සන්නිවේදනය යන කාරණය සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමක් සඳහන් කරන්නට මට ඉඩදෙන්න. මම ශාස්ත්‍රපති සහ දර්ශනසූරි උපාධි සඳහා 1998 සිට 2004 දක්වා ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙහි උගත්තෙමි. මා අයත් වූ අධ්‍යයන අංශය පිහිටියේ තට්ටු දාහතරකින් යුත් වැන් හයිස් ගොඩනැගිල්ලේය. සාහිත්‍යය සහ භාෂා සම්බන්ධ අධ්‍යයන අංශ බොහෝ ගණනක් පිහිටියේ ඒ ගොඩනැගිල්ලේය.(පහත ඡයාරූපයෙහි එන උස ගොඩනැගිල්ල) විශාල ශිෂ්‍ය පිරිසක් එහි උගන්නා නිසා එහි විදුලි සෝපානය ඉතා විශාලය. එක වර සි දෙනෙකුට වුවත් ගමන් කළ හැක්කකි. ඒ විදුලි සෝපානයෙහි එක වර භාෂා විසි දෙකක් කතා කරනු ලැබීමේ විභවතාව ඇතැයි එකල විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙහි සිසුහු අභිමානයෙන් කීහ. එය ඇත්තකි. 



                               (University of Wisconsin) 

   ඒ ගොඩනැගිල්ලෙහි භාෂා විසි ගණනක් උගන්වනු ලැබිණි. සිංහල භාෂාව ඉන් එකක් නොවිණි. එකල සාහිත්‍යය වැනි විෂයයන් අධ්‍යයනය කළ ශ්‍රී ලාංකික සිසුන් එහි නොවූ නිසා ඒ විදුලි සෝපානයේදී සිංහලද කතා කරමින් භාෂා ගණන විසි තුන කරන්නට මට අවස්ථාව නොලැබිණි. පසු කලෙක තම ගිම්හාන පාසලේ උගන්වන භාෂාවක් ලෙස සිංහලද විස්කොන්සින් විශ්වවිද්‍යාලයට එකතු විය. එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර ඉතා ඉහළ පවතින විශ්වවිද්‍යාලයකි. එසේ ඉහළ යන්නට එක් හේතුවක් වන්නේද එවැනි විශ්වවිද්‍යාලවල නොයෙක් භාෂා සංස්කෘති අධ්‍යයනයට අවස්ථාව තිබීමය. ඒ අධ්‍යාපන සංස්කෘතිය අභියෝගයට ලක් වෙමින් පවතින බව මා පෙරවදනේදී කියා ඇත.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි විභාග පැවැත්වෙන කාලයට ශාලාධිපති ලෙස කටයුතු කර ඇත්තෙමි. මා වඩාත් සතුටට පත් වන දවසක් නම් භාෂා ආශ්‍රිත විභාග දවසයි. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, අරාබි, සංස්කෘත, පාළි, ප්‍රංශ යන භාෂාවල විභාග එකම ශාලාවේ පවතින විට අපටද විශ්වවිද්‍යාලයක සිටින්නාක් මෙන් දැනේ. චීන, කොරියන් සහ ජපන් භාෂාද සුළු වශයෙන් පේරාදෙණියෙහි උගන්වනු ලැබුවද මේ භාෂා ගණන ප්‍රමාණවත් නැත. සැබැවින්ම දියුණු දකුණු ආසියානු විශ්වවිද්‍යාලයක පෘතුගීසි, ලන්දේසි, හින්දි, මලයාලි, තෙලිගු, නේපාලි, උර්දු, තායි, ඉන්දුනීසියානු, මැලේ ආදී භාෂා හදාරන ශිෂ්‍යශිෂ්‍යාවන් සිටිය යුතුය. ඒ සමහර භාෂා අප රට සමග ඓතිහාසික සම්බන්ධයක්ද දක්වයි. 

කිසිම අප්‍රිකානු භාෂාවක් අප රට උගන්වන්නේද, අප්‍රිකානු රටවල් සමග මානව ශාස්ත්‍රමය පර්යේෂණ සම්බන්ධතාද අපට නැත.

  ආගමික අධ්‍යයනයද නිදහස් කලා විෂයධාරාවට අයිතිය. ලංකාවේ අර්ථයෙන් මානවශාස්ත්‍ර විෂයවලටද එය අයත් වන නමුත් අප රට බොහෝ විට ඇත්තේ බෞද්ධ අධ්‍යයනය, හින්දු අධ්‍යයනය, ඉස්ලාම් අධ්‍යයනය යනාදී වශයෙන් තනි තනි ආගමට වෙන් වූ අධ්‍යයන අංශ පමණි. තුලනාත්මක ආගමික අධ්‍යයනය වූ කලි මෙකල අපට අවශ්‍ය වන්නා වූ නිදහසක් කලා අධ්‍යාපනයක කොටසක් විය යුතුය. ආගමික අධ්‍යයනය විෂය හදාරන අය ආගමික වස්තු, චාරිත්‍රවිධි, සහ ආගමික පඨිත(ලිපි ලේඛන) ගැන නව අන්තර්දෘෂ්ටි ලබති. ඒවා හදාරමින් භක්තිය සහ තර්ක බුද්ධිය අතර පවත්නා සංකීර්ණ අන්තර්ක්‍රියාවකටද ආගමික ප්‍රඥාව පිළිබඳ ගවේෂණයකටද එළඹෙති. 

ආගමික අධ්‍යයනය ගැඹුරින්ම කෙරෙන විට ඒ වූකලි නොඇලුණු අධ්‍යයනයකි. එනම් කිසිම ආගමකට ආත්මීය වශයෙන් නොබැඳුණකි. එමගින් සිසුහු ආගමික භාවිතවල සියුම්කම්ද, ආගම් අතර වෙනසෙහි සියුම්කම්ද ගැන වාස්තවික අවබෝධයක් ලබති. එහෙත් එය දූරස්ථ වාස්තවික අවබෝධයක් පමණක්ම නොවේ. එම අධ්‍යයනය ඔවුන්ගේ පැවැත්ම හා සම්බන්ධ වූ සත්භාවී දෙයක්ද චරිත හැඩගස්වනසුලු දෙයක්ද විය හැකිය. එමගින් ඔවුහු දෙවියන් සහ සත්‍යය පිළිබඳ තුලනාත්මක අවබෝධයක්ද, තමන්ගේ ආගමික භක්තියෙහි පවතින ගූඪත්ව ගැන අවබෝධයක්ද ලබති. බුද්ධිය සහ ආදරය සම්බන්ධයෙන් දෙවියන් වෙත යොමු වූ සම්පූර්ණ මනුෂ්‍ය ප්‍රාණය කේන්ද්‍ර කරගත් චරිත හැඩගැස්මක් අත්දකින්නට මෙහිදී මෙම ශිෂ්‍යශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබේ.

   'දෙවියන් වෙත යොමු වීම' නම් රූපකය සෑම ආගමකටම එක සේ නොගැලපෙන්නේ විය හැකිය. එහෙත් “බුද්ධිය” සහ “ආදරය” යන යෙදුම් දෙක අපි තරමක් ඉවතට ගනිමු. ඉන් අදහස් වන්නේ ආගමික භක්තියද මනුෂ්‍ය තර්ක බුද්ධියද අතර පවත්නා තෙරපුම ආචාරධර්ම සමග සම්බන්ධ කිරීමය. සත්‍යය පිළිබඳ ගවේෂණය හා සමගම පොදුවේ මනුෂ්‍යයන්ද සෙසු ලෝකයද වෙත යොමු වූ ආදරයක් චරිත සංවර්ධනයේදී අවශ්‍ය වේ. නැති නම් තමන් විශ්වාස කරන ආගමික සත්‍යය හෝ දෙවියන් වෙනුවෙන් මනුෂ්‍යයන්ද පරිසරයද මත හිංසනය හෙළන්නට අප යොමු විය හැකිය. ලංකාවේ විශ්වවිද්‍යාලවල පවා ආගමික අධ්‍යයනය අන්තර් ආගමික සහජීවනයට තුඩු දෙන ලෙසද ස්වයං ආගමික උත්කර්ෂණයට මග නොකියන ලෙසද සිදුවන්නේ යැයි මම නොසිතමි. 

    

    දර්ශනය වූ කලි නිදහස් කලා අතර ප්‍රමුඛ විෂයකි. ජීවිතයෙහි ඇති ජීවන අවස්ථා, වගකීම්, සහ ජීවිතයෙහි අවසන් අර්ථය ආදිය ගැන ප්‍රශ්න ගවේෂණය කිරීමේ ප්‍රීතිය දර්ශනය උගන්නා සිසුහු අත්දකිති. ඔවුන්ට යථාර්ථය අවබෝධ කරගැනීමේ විධික්‍රම විශ්ලේෂණය කරන්නට පමණක් නොව අවබෝධ කර ගැනීම යන ක්‍රියාවෙහි ස්වභාවය වටහා ගැනීමටත් අවස්ථාව ලැබේ. දැනුම යනු කුමක්ද යන සම්පූර්ණ ප්‍රශ්නය වෙත යම් අන්තර්දෘෂ්ටි සපයා ගන්නටද දර්ශනය නිසා අවස්ථාව ලැබේ. එසේම විවිධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රවල පවතින මූලික පූර්ව නිගමනද ඒ ඒ විෂයන්ගේ අවසන් ඉලක්කද ගැන අවබෝධයක්ද දර්ශනය විෂය හොඳින් හදාරන අයට ලැබේ. නිවරුදි ප්‍රස්තුත ආරක්ෂා කරන්නටද වැරදි මත විචාරය කරන්නටද, යම් යම් උපකල්පන සහ තර්කවල ඇති දුර්වලතා අනාවරණය කරන්නටද දර්ශනය හදාරන සිසුහු උගනිති. 

එහෙත් දර්ශනය යනු හුදෙක් තාර්කික බුද්ධිමය කාර්යක් පමණක් නොවේ. ජීවිතයේ සියලු දේවල ආචාරධාර්මික මානය හඳුනා ගැනීමටද ඔවුන්ට සිදුවේ. එනම් අපගේ ක්‍රියාවල යහපත් අයහපත්භාවය පිළිබඳ විනිශ්චයක යෙදීමේ අවස්ථාවය. විශ්ලේෂණය සහ විනිශ්චය පිණිස සංකල්පමය මෙවලම් සැපයීමට අමතරව දර්ශනය විසින් කෙරෙන තවත් වැදගත් දෙයක් තිබේ. ඒ වූකලි ප්‍රඥාව උදෙසා ආදරයක් (Love for wisdom) සිසුන් තුළ වගා කිරීමය. ගැඹුරු චින්තනය උදෙසාම චින්තනයෙහි යෙදීමේ අර්ථය වටහා ගැනීමට ඒ නිසා අවකාශ ලැබේ.

(අදාළ පරිච්ඡේදයෙන් අහඹු ලෙස ගත් කොටසක් බව සලකන්න.)


Sunday, December 12, 2021

සාහිත්‍යය වැදගත් අවියක් සේ දකින අලුත් අවියක්- සිංහලෙන් එන දෙමළ කතා- ලියනගේ අමරකීර්ති

 

   මේ තීරුවේ සාහිත්‍යය ගැන නොලියන්නට සිතා සිටියත් පසුගිය සති කිහිපය පුරාම මගේ කියවීම්වලින් වැඩි කොටසක් සාහිත්‍යයම විය. ඒ කියවීම් අතර හමු වූ එක් වැදගත් පොතක් ගැන ටිකක් හෙමින්සැරේ ලියන්නට සිතුවෙමි.

  මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ විෂයමාලාවට සිංහලයට පරිවර්තිත දෙමළ සාහිත්‍යය පිළිබඳ පාඨමාලාවක් හඳුන්වා දෙන ලදී. ඉන් අපේක්ෂා කෙරෙන්නේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ ජීවිතය සහානුකම්පිකව වටහා ගන්නා සිංහල ශිෂ්‍යයන්ට දිරිදීමත් අප රට වසන ප්‍රධාන ප්‍රජාවන් අතර වඩා සියුම් අන්තර්-අවබෝධයකට සම්මාදම්වීමත්ය. පාඨමාලාව හඳුන්වා දුන් වහාම එය ජනප්‍රිය විය. අන්තවාදී සිංහල දේශපාලන කණ්ඩායම්වල චින්තනයට හසු නොවන සෑහෙන ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලවල සිටීම වාසනාවකි. එවැනි පිරිසක් අනික් ප්‍රජාවන් අතරත් ඇතිවේවාය යන්න අපේ ප්‍රාර්ථනය විය යුතුය. ඒ ප්‍රජාවන් සියුම් ලෙස වටහා ගැනීමට තැත් කිරීම එම ප්‍රාර්ථනාව ක්‍රියාවට දැමීමකි.

ඉහත කී පාඨමාලාව උගන්වන ගුරුවරුන්ගෙන් කෙනෙකු වන මම සිංහලට පරිවර්තිත ශ්‍රී ලාංකේය දෙමළ සාහිත්‍යය කෘති සොයමින් සැරිසැරුවෙමි. මේ අතර හමු වූ අපූරු කතා එකතුවක නම අලුත් අවියක් වේ.  එය පරිවර්තනය කර ඇත්තේ ජී ජී සරත් ආනන්දය. ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ ජීවත්වන නිරහංකාර ලේඛක මහත්මයෙකි. මා ඔහු හඳුනාගත්තේ පොත කියවා දුරකථනයෙන් කතා කිරීමෙනි. ඔහු මීට කලින් කළ පරිවර්තන කෘති දෙකක්ද මා කියවා තිබිණි.

අලුත් අවියක් කෙටිකතා සංග්‍රහය සහ එහි එන සාහිත්‍ය දෘෂ්ටිවාදී ප්‍රවේශය වර්තමාන ලංකාවේ සිට කල්පනා කරන විට දැනෙන්නේ කාංසා සහගත සිතිවිලිය. මේ කතා එකතුව නියෝජනය කරන්නේ ප්‍රගතිශීලි සාහිත්‍යය නම් සාහිත්‍ය-දේශපාලන දෘෂ්ටිවාදයයි. විවිධාකාරයේ පීඩිත මිනිසුන් ඒ පීඩිත ව්‍යූහයන්ගෙන් ගලවා ගැනීම පිණිස ලිවීම අවශ්‍ය බව දෙමළ ලේඛකයෝ සිතුහ. ඔවුන් එහිලා ආවේශය ලැබුයේ මැක්සිම් ගෝර්කි වැනි රුසියානු ලේඛකයන්ගෙනි. 1940 දශකය තරම් ඈත කාලයක මේ සාහිත්‍ය ප්‍රවේශය ඔවුන් අතර තිබිණ. ප්‍රවීන ලේඛක නීර්වෛ පොන්නෛයන් මේ කෘතියට ලියන කෙටි පෙරවදන එහිලා සාක්ෂි සපයයි. 

ආර්ථික-දේශපාලන පීඩනය පමණක් නොව කුලපීඩනය ආදී සංස්කෘතික පීඩනයන්ගෙන් නිදහස් වූ ශ්‍රී ලාංකික පුරුවැසියෙකු ගොඩ නැගීම පිණිස විඥානය වර්ධනය කිරීම ප්‍රගතිශීලි දෙමළ සාහිත්‍යයේ කාර්යයි. මෙම කෘතියෙහි සංග්‍රහ වන කතා වර්තමාන සාහිත්‍ය දෘෂ්ටියෙන් බලන කල ඇතැම් විට ප්‍රචාරකවාදීද ඇතැම් විට පීඩිතයාගේ ශක්තිය උත්කර්ෂණය කිරීම නිසා තරමක් අද්භූතද වන බව පෙනේ. එහෙත් ඒ සාහිත්‍ය ව්‍යාපාරය වුකලි අප නැවත හදාළ එකකි. වර්තමානයේ සිට බලන කල මේ කතාවල සාහිත්යික විශිෂ්ටත්වය සෑම විටෙකම නොතිබෙන්නට ඉඩ ඇත. එහෙත් එක් යුගයක දෙමළ භාෂක වියත් සමාජය ලංකාව නමැති රට හා ඒ තුළ තම ජීවිතය පරිකල්පනය කළ ආකාරය ගැන වටිනා සමාජ-සංස්කෘතික අන්තර්දෘෂ්ටීන් මේ කතාවල අඩංගු වේ. 

  එස් සිවඥානසුන්දරම්, එස් ගණේෂලිංගම්, කාවලූර් රාසතුරෛ, අ. න. කන්දසාමි, කේ ගණේෂ්, නීර්වෛ පොන්නෛයන්, බෙනඩික්ට් බාලන්, සි වි වේලුපිල්ලෛ, දික්වැල්ලේ කමාල්, එන් කේ රගුනාදන්, කේ ඩැනියෙල්, අබ්දුස් සමදු යන ලේඛක ලේඛිකාවන්ගේ කෙටිකතා මෙම කෘතියෙහි සංග්‍රහ වේ. ඒ නම් අපේ සිංහල පාඨකයන්ගේ ඇසට කණට හුරුවනු දැකීමේ ආසාවෙන් ඒවා මෙහි දැක්වූවා මිස ඔවුන්ගේ කතා සියල්ල ගැන සාකච්ඡා කරන්නට මෙහි ඉඩ නැත.

  මේ කතා මාලාව තුළ ලංකාවේ දෙමළ භාෂක ජනයාගේ විවිධාකාර අත්දැකීම් අඩංගුවේ. භූගෝලීය වශයෙන් ඒවා ලංකාව පුරා විසිර ඇත. දෙමළ ලේඛකයෙකු ලියූ එක් කතාවක පසුබිම මහනුවරයි. මෙහි එන කතාවල ඇතැම් කතුවරයෙකු දැන් වසන්නේ කැනඩාවේය. ඔවුහු අසූ තුනේ කළබලවලින් පසු රට අත්හැර පිරිසට අයිති වෙති. ඇතැම් ලේඛයෙක් දැන් ජීවතුන් අතර නොසිටිති. බෙනඩික්ට් බාලන් නම් ප්‍රකට ලේඛකයා ගැන පරිවර්තක ලියා ඇති සටහනක එන මේ කොටස මා සිත කම්පනය කළේය:

“බාලන් 1983 ජනවාර්ගික අර්බුදයේදී දැඩිපීඩාවට පත් වූ ලේඛකයෙකි. ඔහු දැඩි උනන්දුවකින් එක්රැස් කර තිබූ ඔහුගේ වටිනා ලේඛන සියල්ලද සමග ඔහුගේ නිවස ගිනිබත් විය. එහෙත් ඔහු සිංහල-දමිළ ජනතාව අතර ක්‍රෝධය ජනනය වන ලෙසට වචනයක් වත් ලියා නැත.”

මේ පොතේ එන කතාවලින් පෙනෙන එක් වැදගත් දෙයක් සිංහල පාඨකයාගේ විශේෂ අවධානයට ලක් විය යුතුය. ඒ නම් නොබෙදුණු ලංකාවක් තුළ සිංහලයන් සමග සමගියෙන් ජීවත්වීමටත්, මෙරට වසන සියලු ප්‍රජාවන් පෙළන ආර්ථික හෝ සංස්කෘතික ව්‍යූහ ප්‍රතිසංස්කරණය කිරීමටත් ඔවුන් තුළ වූ ආසාවයි. සිංහල සහ දෙමළ පීඩිතයන් එක්ව සටන් කිරීම පිළිබඳ තේමාව කතා කිහිපයකම එයි. එසේම ඇතැම් සිංහල ජනයා වරප්‍රාසාදිත ලෙස ඉහළ සමාජය ස්ථර තුළ ස්ථානගත වීම නිසා දෙමළ මිනිසා පෙළීමට අවිඥානකව මෙන් දායක වෙන සැටිද ඇතැම් කතාවක එයි. වතු ආර්ථික ව්‍යූහය තුළ සාමාන්‍ය කම්කරුවන්ට වඩා තරමක් ඉහළ ස්ථරවල සේවය කරන දෙමළ මනුෂ්‍යයන් පීඩිත දෙමළ ජනයා පෙළන යාන්ත්‍රණයේ කොටසක් වී ඇති සැටිද ඇතැම් කතාවකින් පෙනේ. 

වර්තමානයේ පළ වන ඇතැම් සිංහල කෙටිකතාවලට වඩා මේ කතා වෙනස් වන විශේෂ ලක්ෂණයක් නම් ඒවායෙහි එන චරිත සමාජ ඉතා පහළ තීරුවලට අයත් අය වීමයි. මෙය රුසියාවේත් ඉන්දියාවේත් ප්‍රගතිශීලි සාහිත්‍යයේ විශේෂ ලක්ෂණයකි. ඉන්දියාවේ ප්‍රගතිශීලි සාහිත්‍යයට ව්‍යාපාරයට අයත් වූ මුල්ක් රාජ් ආනන්ද් සහ මුනිෂි ප්‍රේම්චාන්ද්ගේ සාහිත්‍යය තුළද මේ ලක්ෂණය තිබිණ. හුදෙක් එක් පන්ති පසුබිමකට අයත් චරිත වෙතට සීමා වීම නිසා ඇතැම් ප්‍රගතිශීලී සාහිත්‍යය විටෙක ඒකාකාරි වන්නට ඉඩ තිබේ. එසේම පීඩිත පන්තිවල මනුෂ්‍යයන්ට ඇති විමුක්තිකාමී ශක්තිය අතිශයෝක්තියට නැගෙන්නටත් ඉඩ ඇත. මේ කතාවලද විටෙක ඒ ලක්ෂණ දැකිය හැකිය.

එහෙත් අලුත් අවියක් පොත සිංහල පාඨකයාට එක් යුගයක දෙමළ භාෂක ජනයා තමන්ගේ රට ලෙස ලංකාව පරිකල්පනය කළ ආකාරය ගැන හෙමින්සැරේ යළි සිතන්නට ඉඩ සලසයි. ඔවුන් පරිකල්පනය කළ සිංහල-දෙමළ සහෝදරත්වයෙන් යුතු ලංකාව බිහි වූයේ නැත. එහි වරද දෙමළා පිටම පටවන දෘෂ්ටිවාදී පියවරුන්ගේ චින්තනයෙහි සිංහල අපගෙන් වැඩිදෙනෙක් තාමත් සිරවී සිටිමු. මෙවැනි කෘති වැඩිවැඩියෙන් පරිවර්තනය වීමත් ඒවා ගැන කතාබහක් ඇතිවීමත් හරිම වැදගත් වන්නේ එවැනි පසුබිමකය. 

(2014 වසරේදී ඉදිරිය පුවත්පතේ පළ වූ ලිපියකි.)