“ජීවිතය සන්තෘප්ත කරන්නාවූද ජීවිතයට පූර්ණත්වය ගෙන දෙන්නා වූද මනුෂ්‍ය සාධනීයතා හෙවත් යහපත් දේවල් සහ ආර්ථික වර්ධනය අතර ඇති සහසම්බන්ධය ඉතා දුප්පත් යැයි මාර්තා නස්බෝම් පෙන්වා දී තිබේ. නිදර්ශන දෙකක් දක්වමි: 1. චීනය අතිවිශාල ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ඇතත් මනුෂ්‍ය නිදහස හෝ දේශපාලන නිදහස සම්බන්ධයෙන් එහි ඇත්තේ ඉතා අඩු වර්ධනයකි. 2. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ක්‍රමය තිබියදීම ජාත්‍යන්තර සංවර්ධන දර්ශක අතින්ද දළ ජාතික නිෂ්පාදිතය අතින්ද එරට ඉහළ ලකුණු අත්පත් කරගත්තේය. මෙය නස්බෝම්ගේ ප්‍රවාදය වෙත අප මෙහෙයවයි. ඒ මෙයයි: “ආර්ථික වර්ධනය ඇති කිරීම යනු ප්රජාතන්ත්රවාදය නිර්මාණය කිරීම නොවේ. ප්රජාතන්ත්රවාදය යනු එක්තරා සුවිශේෂ ආකාරයක පුරුවැසියෙකු විසින් පොහොණි කොට පවත්වාගෙන යා යුත්තකි. ඒ පුරවැසියා කුතූහලයෙන් යුත්, විචාරාත්මක, ගැඹුරු ආවර්ජනා ශක්තියෙන් යුත්, තාර්කික කෙනෙකු සේම අධිකාරි බලය වෙතින්ද සහවාසිකයන්(මිතුරන්, නෑදෑයන්, සහ-වෘත්තිකයන් වැනි) වෙතින්ද එල්ල වන පීඩනවලට යටත් නොවන කෙනෙකි. එපමණක් නොව, විචාරාත්මක අධ්‍යාපනයෙන් තොරව අපගේ සිසුන්ට රැකියාවලට අවශ්‍ය කුසලතා පමණක් ලබාදීම වූකලි ඔවුන්ගේ ජීවිත ඒකලනයට හෙවත් පරත්වාරෝපණයට සූදානම් කිරීමකි. අප අපගේ සිසුන් හුදෙක් ශ්‍රමිකයන් සේ නොව සම්පූර්ණ මනුෂ්‍යයන් සේ සලකන්නේ නම්, ඔවුන්ට ඉහළ වැටුපකට වඩා දෙයක් ලැබෙනු දකින්නට අප කැමති නම්, යහපත් වූද සාකල්‍යවත් වූද ජීවිතයක් වෙනුවෙන් හුරුවන්නට ඔවුන්ට උදව් කිරීම අපගේ කාර්යයි.