Thursday, January 3, 2019

පිියදාස සිරිසේනගේ සම්ප‍්‍රදාය සහ නූතනත්වය



පිියදාස සිරිසේන යනු නවකතාව නම් සාහිත්‍ය ශානරය (හෙවත් සාහිත්‍ය විධිය* සිංහල භාෂාවෙහි ස්ථාපිත කරන්නට ඉමහත් බුද්ධිමය හා නිර්මාණක ශ‍්‍රමයක් වැය කළ ගරුකටයුතු කෙනෙකි. සිංහල නවකතාව කලාත්මක වශයෙන් බෙහෙවින් වැඞී, විවිධාකාර ප‍්‍රතිනිර්මාණ විධි ඔස්සේ ලියවෙන මෙකල සිරිසේනගේ දායකත්වය ගැන මැදහත් සිතින් අගය කරන්නට අපට අවකාශ ඇත. ඔහු සාහිත්‍ය නිර්මාණකරණයට ප‍්‍රවේශ වූයේ සෘජු යටත් විජිතවාදය මෙරට ක‍්‍රියාත්මක වන කාලයකය. ඒ නිසා එම අධිරාජ්‍යවාදයෙන් නිදහස්වීම යුගයේ අවශ්‍යතාවක් වූයේය. ඒ කාර්යෙහිලා  ඔහු ප‍්‍රධාන වශයෙන් භාවිත කළේ යටත් විජිත සංදර්භය තුළින්ම අපට ලැබුණු නවකතාව නම් සාහිත්‍ය විධියයි. බටහිර නවකතා කියවා තමන් ඒ මාධ්‍යය සිංහලයෙහි ගොඩනගන්නට සිතට ගත් බව සිරිසේන ජයතිස්ස සහ රොසලින් වැනි නවකතාවකදීම කියා ඇත. අද අප ඔහුගේ නවකතා දෙස බලන විට පෙනෙන දෙයක් නම් එදින පැවති දේශපාලන අවශ්‍යතාව යැයි ඔහු හඳුනාගත් කාර්ය වෙනුවෙන් නවකතාව භාවිත කරන්නට තැත් කිරීම නිසා නවකතාවේ කලාත්මක පාර්ශ්වය ගැන එතරම් සිත යොමන්නට ඔහුට අවස්ථාවක් නොවූ බවයි. එය ඔහුගේ නිර්මාණ ශක්තියෙහි අඩුවක් නිසා සිදු වූවාක් නොව ඔහු කළ දේශපාලන තෝරාගැනීමෙහි ඵලයක් ලෙස වටහා ගැනීම උචිතය.


ඔහුගේ නවකතා ඉතා විශාල වශයෙන් අලෙවි වූ බව කියවේ. එසේ අලෙවි වූයේ ඒවායෙහි වූ ජාතික නිදහස් සටන හා සම්බන්ධ ආවේග සහ පණිවිඩ නිසාද ඒවායින් සැපයුණු ආඛ්‍යාන රසය නිසාද යන්න අද නිශ්චය කිරීම ලෙහෙසි නැත. යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් විසි වැනි සියවසේ ලංකාවේ සිටි අවංකම කැපවුණු සාහිත්‍යකරුවා පියදාස සිරිසේන යැයි කිවහැකිය. ගුණදාස අමරසේකර පවා එසේ අවංක නැත. ඊට වෙනස්ව සිරිසේන අවංකව සිය දේශපාලන අදහස වෙනුවෙන් කැප විය. එකල ඔහු කැපවුණු දේශපාලන දෘෂ්ටිවාද පිළිබඳ අද අපට ප‍්‍රශ්න තිබෙන්නට පුළුවන. සිරිසේන යටත්විජිතවාදියාට විරුද්ධව සිංහල ජනයා සංවිධානය කරනු පිණිස නවකතා ලිව්වේය. උපක‍්‍රමයක් ලෙස නව ප‍්‍රබන්ධය යොදා ගනිතත් තම පොත්වල ධර්ම ශාස්ත‍්‍රීය කරුණුවලින් පිට කිසිවක් නැතැයි ඔහු වරක් ලිවීය. ඒ යන්තම් ගැලවුණා කෘතියෙහි ප‍්‍රස්ථාවනාවෙහිදීය.

අද ඔහුගේ කෘති මාලාව දෙස විචාරශීලීව බලන කල පෙනෙන දෙයක් නම් ඔහු යටත්විජිතවාදයට විරුද්ධත්වය පළ කළේ අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් නොවන බවයි. ඔහු සුද්දාටද බටහිරටද ක‍්‍රිස්තියානි ආගමටද නිර්දය ලෙස පහර දුන්නේය. යටත්විජිතවාදය සහ සුදු හම අතර නෛසර්ගික සම්බන්ධයක් නැති බව ඔහු නොදැක්කේය. සුදු නොවන අයටත් අධිරාජ්‍යවාදී සහ අධිකාරවාදී වන්නට පුළුවන. ඉංග‍්‍රීසින් සුදුවීම නිසා අධිරාජ්‍යවාදය සහ සුද්දා අතර නෛසර්ගික සම්බන්ධයක් ඔහුට පෙනිණ. ඒ නිසා ලෝකයේ උසස්ම ජාතිය සිංහල ලෙසටත් ලෝකයේ උසස්ම ආගම බුද්ධාගම ලෙසටත් ඔහු අතින් උත්කර්ෂණය විය. මෙය ඔහු පොත පත ලියූ කාලයේම ඉන්දියාවේ සිටි මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ දෘෂ්ටියෙන් බෙහෙවින් වෙනස් දෘෂ්ටියකි. තාගෝර් අධිරාජ්‍යවාදයට එකහෙලා විරුද්ධ වූ අතරම බටහිර ශිෂ්ටචාරය හෝ සුදු මිනිසා පිළිබඳ ඒකපාර්ශවීය වූද ජාතිවාදී වූද දෘෂ්ටියක් නොදැරීය. යටත්විජිතවාදයට විසඳුම සීමාන්තික ජාතිකවාදය යැයිද තාගෝර් නොඇදහීය. පියදාස සිරිසේන නිසා ලංකාවට ලැබුණේ අද පවා අපට ගැලවී ගත නොහැකි ඒකමානීයවූද සීමාන්තික වූද ජාතිකවාදී චින්තනයක් බව පෙනේ. එහෙත් එය අනභියෝගී චින්තනයක් වූයේද නැත. එකලම එවැනි සීමාන්තික ජාතිකවාදී අදහස්වලට අභියෝග කළ බුද්ධිමතෙකු ලෙස මාර්ටින් වික‍්‍රමසිංහ නැගී සිටියේය. මාර්ටින් වික‍්‍රමසිංහ උපන්දා සිට කෘතියේදී මෙසේ කියයි:

”සිංහලයන් පුබුදවනු සඳහා සේවයක් කළ පියදාස සිරිසේනගේ ඇතැම් මතයන්ටත් අපේ අතීතය පිළිබඳ පුරසාරම් දෙඩුමටත් පැරණි මිථ්‍යා ශාස්ත‍්‍රයන් පිළිබඳ ඔහුගේ අවිචාර භක්තියටත් මම පටහැණි වීමි. එහෙත් ඔහුගේ සිංහල ජාතිය ස`ගරාවත් නවකතාත් කියවූ මම ඔහු නිසා උපන් සුහද හැ`ගීමක් ඇත්තෙක් වීමි.”
පිියදාස සිරිසේන පන්නයේ ජාතිකවාදයන්ගේ සීමාසහිත බව දකින්නට අද ප‍්‍රමාණවත් තරම් දැනුමක් ඇත. ඔහු එවැනි දෘෂ්ටිවාදී ස්ථාවරයක් තෝරාගත් ඓතිහාසික පසුබිම ගැනද අපට හොඳ අවබෝධයක් ඇත. ඒ නිසා කළ යුත්තේ ඒ දුෂ්කර ඓතිහාසික පසුබිමේ සිට ඔහු කළ නිර්මාණ මැදහත් සිතින්ද විචාර පූර්වකද වටහා ගැනීමයි.

නවකතාව දේශජ කිරීම
පියදාස සිරිසේනට නවකතාවේ කලාත්මක පාර්ශ්වය ගැන වැඩිමනත් අවබෝධයක් නොවුණු බව මෙරට ප‍්‍රකට ශාස්ත‍්‍රාලීය මතයයි. එදිරිවීර සරච්චන්ද්‍ර සහ ආරිය රාජකරුණා වැනි මහාචාර්යවරු ඒ මතය දරති. බටහිර ප‍්‍රකට වූ යථාර්ථවාදී නවකතාව පමණක් ආදර්ශය සේ ගත් විය එය ඇත්තකියි පෙනී යයි. එහෙත් අද වන විට නවකතාව යන සාහිත්‍යය විධියේ ව්‍යූහමය විචිත‍්‍රත්වය ගැන වඩා පළල් අවබෝධයක් නවකතා අධ්‍යයන ක්ෂේත‍්‍රයෙහි පවතී. ඒ අවබෝධයෙහි පිහිටා බලන විට පෙනෙන්නේ පියදාස සිරිසේන අතින් අලූත්ම නවකතා විධියක් සිංහලයෙන් බිහි වන බවයි. ඒ නවකතා විධිය ඔහුටත් සිංහල සාහිත්‍යයටත් ආවේනික වූවකි. මේ නවකතා විධිය ගැන සවිස්තර සාකච්ඡුාවකට මෙහි ඉඩ නැති බැවින් අපි ඔහුගේ නවකතාවල එන ප‍්‍රතිනිර්මාණ තාක්ෂණයෙහි ලක්ෂණ සැකෙවින් සලකා බලමු.

මෙහිලා මගේ සිත නිරායාසයෙන් ඇදී යන්නේ තරුණියකගේ පේ‍්‍රමය නවකතාව වෙතය. මෙම නවකතාවට පසුබිම් වන්නේ මාතර සහ කොළඹ අතර විසිරුණු පවුල් දෙකක දරුවන්ගේ කතාවය. සබැවින්ම ඒ එකම පවුලේ ශඛා දෙකක කතාවය. කැරොලයින් සහ විජේදාස යන දෙදෙනාගේ ආදරය සම්බන්ධය නවකතාවේ කොඳු නාරටිය සපයයි. ඒ කතාව තුළ මනුෂ්‍යයන් සම්බන්ධයෙන්ද ස්ත‍්‍රීන් සම්බන්ධයෙන්ද අදඅ පට විවාද කළ හැකි බොහෝ අදහස් ඇත. එහෙත් මේ කතාව අප වෙත ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිනිර්මාණ තාක්ෂණය බටහිර නවකතාවේදී හමුවන්නක් නොවේ.

මේ නවකතාවේ එක් පසුබිම් නගරයක් වන්නේ මාතරයි. එහෙත් මාතර විස්තර කිරීමේදී කතුවරයා ඔහුගේ නවකතාවය සමකාලීන මාතර පිළිබඳ ඔහුගේම විස්තරයක් නොකරයි. ඒ වෙනුවට ඔහු කරන්නේ සන්දේශ කාව්‍ය දෙකක එන මාතර වර්ණනාවලින් පැදි හතරක් උපුටා දැක්වීමයි. මේ ඉන් එක් පැදියකි. එය ගෙන ඇත්තේ මයුර සන්දේශයෙන් අප කාටත් පැහැදිලිය:
මිල දියතුන් වටිනා රජ කුලේ      දුලේ
සරි දිගැතුන් උසුලන මීතලේ       බලේ
ගිලි මදැතුන් ලොබිනෙන මීලොලේ අලේ
බල මදැතුන් මාතොට ඇත්හලේ    නිලේ

ඒ පැදි සතර උපුටා දැක්වීමෙන් පසු කතුවරයා සිය වර්ණනාව ඉදිරියට කරගෙන යයි:
”මෙසේ අතීත වර්තමාන කවිවරයන්ගේ වර්ණනාවෙන් ස්තුති ප‍්‍රශංසා ලත් මාතොට පුරවරයෙහි පෙර මෙන්ම වර්තමාන කාලයෙහිත් ආත්ම ගෞරවයෙන් යුත් සිංහලයෝ වසන්නාහ.” නවකතාවෙහි යහපත් සිංහල චරිතයක් වන ජොනතන් අභයවික‍්‍රම හඳුන්වා දීම සඳහා නවකතාකරුවා මුල පුරන්නේ එසේය. මාතර නගරය නමැති පසුබිම විස්තර කරද්දී ඔහු කරන්නේ යථාර්ථවාදී නවකතාවෙහි එන ලක්ෂණයක් වන සත්‍යාභාසය හෙවත් ඩැරසිසපසකසඑමාැ යන්න නොසලකා හැරීමයි. සත්‍යාභාසය යන්නෙන් අදහස් වන්නේ තාත්ත්වික යථාර්ථවාදී නවකතාවේදී විස්තර කෙරෙන යථාර්ථය එය කාටත් පෙනෙන අයුරින්ම ඉදිරිපත් කළ යුතු බවය. එනම් මාතර පිළිබඳ නවකතාවේ විස්තරය තත්කාලීන මාතර නගරයට සදෘශ්‍ය විය යුතුය. පියදාස සිරිසේන මේ නියාමය බිඳින්නේ සන්දේශ කාව්‍යවල එන අතිශයෝක්ති වර්ණනා තත්‍ය විස්තර සේ ගනිමිනි. පියදාස සිරිසේන නවකතා කලාව යනු කුමක්දැයි නොදැන මෙසේ කළේ යැයි නොකියා නවකතාව නම් මාධ්‍යය(ශානරය* දේශීයකරණය කිරීමට ගත් තැතක් සේ මෙය දැකිය නොහැකිද? නවකතාව නම් මාධ්‍යය පිළිබඳ එක්තරා අකමැත්තක් විසි වැනි සියවස මුලදී පැවතියේ යැයිද කියවේ. එවැනි පසුබිමක ඒ මාධ්‍යය පිළිබඳ මහජන ප‍්‍රසාදයක් ඇති කිරීමටද මේ විධික‍්‍රමය හේතු වන්නට ඉඩ ඇත. මේ ප‍්‍රතිනිර්මාණ තාක්ෂණය ඔහුගේ නවකතා මාලාවෙහි සෑම කෘතියකම පාහේ අඩුවැඩි වශයෙන් දකින්නට පුළුවන. එනම් සිංහල නවකතාව සම්භාව්‍ය සිංහල සාහිත්‍ය උරුමයේ දිගුවක් ලෙස පෙනෙන්නට සැලැස්වීම උදෙසා ඔහු දැක්වූ තැත හේතුවෙන් සාමාන්‍යයෙන් එවක තාත්ත්වික යථාර්ථවාදී ලෝක නවකතාවේ නොවූ ප‍්‍රතිනිර්මාණ තාක්ෂණයක් සිරිසේනගේ නවකතාවට එක් විය. ඒ නිසා ඔහුගේ නවකතාව අතිශයින් දේශජ වූ ”ශෛලිගත” නවකතා විධියක් යැයි කියන්නට පුළුවන.

චරිත විස්තර
මහා වියවුල නවකතාවේ එක් චරිතයක් වන ජෝර්ජියානා මුලින්ම පාඨකයා හමුවෙහි ඉදිරිපත් කෙරෙන්නේ මෙසේය:
”මලින් ගැවසී සිටි මේ කුලක් බඳු වරලසින්ද, කනතට දුවන දිගු පුළුල් නෙත‍්‍ර යුගලයෙන්ද, දෙව්දුනු සෙයින් මනහර වූ පටු නළලින්ද, හෙලා ලන ඇසින් බැලූබැලූවන් සිත් උමතු කරවන භෘංග සමූහයකට බඳු බැම ස`ගලිකින්ද, රදලිය පල වන් තොල් යුවලින්ද, කොඳ කැකුළුවන් දත් පන්තියෙන්ද, ස්වර්ණ හංස පෝතකයන් වැනි පුන් පියයුරු යුවලින්ද, සුරත් පත්මයකට නිගා කළ මුහුණින්ද, මල්දම් පැරයූ හස්ත යුග්මයකින්ද, සිරිවස පැරයූ සිහින් ඉ`ගටියෙන්ද, රන් වැලි තලා බඳු පුළුල් උකුලින්ද, රඹකඳන් බඳු වට මට සිලිටු කලවා යුවලින් හා පියුම් සම වූ පාදයෙන් බබලන ජෝර්ජියානා ඇසට ලූ මල බඳු විය. සිතට ලූ උන්මාද ඖෂධයක් බඳු විය.”
ජෝර්ජියානා නම් චරිතය අප හමුවේ දැක්වෙන්නේ ස්ත‍්‍රිය විස්තර කිරීම පිණිස සම්භාව්‍ය සාහිත්‍යයෙහි එන ගතානුගතික උපමාරූපකවලිනි. ඒ විස්තර අද අපට දැනෙන්නේ නීරස වාග් බාහුල්‍යයක් ලෙසින් විය හැකිය. එසේම ස්ත‍්‍රී ශරීරය පුරුෂ ආශාවේ පරිභෝජනය පිණිස මෙහි ඉදිරිපත් කෙරෙන්නේ ස්ත‍්‍රීත්වය ඇගේ බාහිර ශරීරය බවට උත්කර්ෂණය කරමිනි. අද ස්ත‍්‍රිය නිරූපණයේදී ලේඛකයෝ ඇය ලිංගික වස්තුවක් බවට උත්කර්ෂණය නොවන ලෙස ඇගේ රූපශෝභාව විස්තර කිරීමට තැත් කරති. එසේ වෙතත් බටහිර නවකතාව යටත් විජිත සන්දර්භයක් තුළ මුලින්ම සිංහලයට ආ දවස්වල ඒ ආගන්තුක සාහිත්‍ය ශානරය දේශීයකරණය කිරීමේ අභියෝගය සිරිසේන හමුවේ තිබිණ.

                     ආදරයේ රැුඩිකල්භාවය
නවකතාව නම් සාහිත්‍ය විධිය පහළ වූ බොහෝ සමාජවල එය නව චින්තන සම්ප‍්‍රදායක් නියෝජනය කළේය. ඒක පුද්ගල නිදහස, ගතානුගතික සම්ප‍්‍රදායන් ප‍්‍රශ්න කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආදිය ඒ අතර විය. සෑම නවකතාවක්ම පාහේ ආදර කතාවක් පදනම් කර ගැනීමටද එක් හේතුවක් එය යැයි කියන්නට පුළුවන. ලෝකය පුරාම පාහේ නූතන නවකතාවෙන් ගවේෂණය කෙරුණු එක් තේමාවක් වූයේ නූතන මනුෂ්‍යයා තම ලිංගික සහකරුවන් තෝරාගැනීමේදී ඒකපුද්ගල තෝරා ගැනීම සහ ස්වච්ඡුන්දතාව මත පිහිටා සිටිය යුතුය යන්නයි. ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමය යනු ස්වභාවයෙන්ම යම් රැුඩිකල් විභවතාවක් ඇත්තකි. ස්ත‍්‍රීන් සහ පුරුෂයන් ආදරයෙන් බැඳීමේදී සමාජය විසින් ඔවුන් වෙත පටවන යම් යම් කොන්දේසි හෝ බොහෝ විට උල්ලංඝනය කරති. ජාති, පන්ති, කුල ආදී භේද ඉක්මවා ආදරය කරති. ඒ නිසා ආදරය සහ පවතින සමාජය අතර යම් හෝ ගැටුමක් ඇත. පවතින සමාජය සමග යම් ආකාරයක හෝ ගැටීමක් සහිත ආදර කතා විෂය කර ගැනීමෙන් නූතන නවකතාව ගතානුගතික සමාජයට අභියෝග කරයි. නූතන නවකතාවේ වූ මේ කේන්ද්‍රීය ලක්ෂණය සිරිසේනද සිය නවකතාව උදෙසා භාවිත කළ බව ඔහුගේ නවකතා කිහිපයකින්ම පෙනේ. තරුණියකගේ පේ‍්‍රමය නවකතාවේදී කැරොලයින් දුප්පත් ගැටවරයෙකු ආ පෙමින් බැඳී ඔහුගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් පවා සිය පියාට හොරෙන් ඔහුට දෙයි. එපමණක් නොව ඇය ඔහුට ආදරය කරන්නේ සිය පියාගේ බටහිර ගැති සිරිත විරිතටත් එරෙහිවය. එපමණක් නොව අද ලංකාවේ ලියවුණි නම් සදාචාරවාදීන්ගේ උදහසට පවා ලක් විය හැකි දෙයක් එම නවකතාවේ එයි. එය නම් කැරොලයින් ජුන්ඩා හෙවත් විජේදාසට ආදරය කරන්නේ ඇය මල්වර වන්නටත් පෙරය යන කාරණයයි! සිරිසේනගේ නවකතා කිහිපයකම ආදරවන්තියෝ අද නම් පාසැල් යන වියෙහි පසුවෙති. එවැනි ළාබාල වයසක පසුවන නවකතා වීරවරියන් භාවිත කර විවාහය පිළිබඳ යම් නූතන අදහස් මාලාවක් සිරිසේනගේ නවකතා නිසා පැතිරිණි. ඔහු තරුණියකගේ පේ‍්‍රමය නවකතාවේ එක් තැනක එම තේමාව සෘජුවම මෙසේ ප‍්‍රකාශ කරයි:
”සාමාන්‍යයෙන් තරුණියක සරණ කරදීමට සිතන බොහෝ දෙනා ඇගේ කැමැත්ත ගන්න ප‍්‍රථම විවාහය සම්බන්ධ කටයුතු සියල්ල ම තීන්දු කරගන්නා බව පෙනේ. මෙය බලවත් වැරැුද්දකි. මිනිහෙකුට කෙතරම් යස ඉසුරු තිබුණත් ඔහු කෙරෙහි අවංක ආලායක් නිරායාසයෙන් සිත්හි හට නොගන්නා ස්ත‍්‍රියක සරණ කර දුණිනම් ඒ ස්ත‍්‍රියටත් පුරුෂයාටත් කිසිම සැපතක් නැත්තේය.”

මෙම තේමාත්මක මානය වර්ධනය කරන්නට සිරිසේනගේ නවකතා දායක විය. ඔහුගේ නවකතාවලින් විවාහය සහ විවාහය තුළ බිරිඳගේ භූමිකාව පිළිබඳ එන අදහස් වර්තමාන දෘෂ්ටියෙන් බලන කල ඉතා ගතානුගතික යැයි කෙනෙකුට පෙනෙන්නට පුළුවන. එහෙත් සිරිසේන නවකතා ලියූයේ ඉතා දුෂ්කර කාලයකය. එය බටහිර යටත් විජිතවාදයට සෘජුව යටත්ව සිටි කාලයක සහ ජාතිකවාදී නිදහස් සටන ඇවිලී තිබූ කාලයකි. ඒ නිසා ඔහු විවාහය පිළිබඳ බටහිර නූතන අදහස් සිය නවකතාවෙහි ඇතුළත් කළේ ඉතා ඝන බෞද්ධ දවටනයක බහාය. ඒ නිසා විවාහය තුළ ස්ත‍්‍රිය පිළිබඳ ගතානුගතික බෞද්ධ අදහස් නැවතත් ඔහුගේ නවකතාවට පිවිසියේය.

විවිධ උපශානර(ිමඉටැබරු*
සිරිසේනගේ නවකතා රචනා කි‍්‍රියාවලිය නිසා නවකතාව නම් සාහිත්‍ය විධියෙහි විවිධ ස්වරූප සිංහල නවකතාවට එක් විය. නූතන නවකතා න්‍යාය තුළ ශානරය සහ උපශානරය යනුවෙන් සංකල්ප දෙකක් ඇත. නවකතාව එක් ප‍්‍රධාන සාහිත්‍ය ප‍්‍රභේදයකි. එනම් ශානරයකි. රහස් පරීක්ෂක කතාව නවකතාවෙහි උපප‍්‍රභේදයකි. එනම් උපශානරයකි. ශානරය යනු වචනය සිංහලයට පිවිස දැන් දශකයකටත් වඩා වැඩි නිසා ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කිරීම අවශ්‍ය නැත. කේ කේ සමන් කුමාරගේ සාහිත්‍ය ශානර විමංසා යන ප‍්‍රයෝජනවත් කෘතියෙන් මේ සංකල්පය ගැන යම් අවබෝධයක් ලැබිය හැකිය.
පියදාස සිරිසේන රහස් පරීක්ෂක කතාව නම් නවකතා උපශානරය සිංහලයට හඳුන්වා දී සිංහල නවකතාවේ ශානරමය විවිධත්වය ඇති කරන්නට දායක විය. අද ලෝකය පුරා විශිෂ්ට රහස් පරීක්ෂක නවකතා ලියැවී ජාත්‍යන්තර දේශපාලනය ගැන පාඨක අවබෝධය පුළුල් කරනු ලැබේ. එහෙත් අද සිංහලයෙන් මේ උපශානරයට අයත් නවකතා කිසිවක් නොලියවේ. නිදර්ශනයක් ලෙස සිංහල නවකතාවට ජෙෆ්රි ආචර් කෙනෙක් නැත. එවැනි පසුබිමක 20 වැනි සියවස මුලදී සිරිසේනගේ වික‍්‍රමපාලගේ වික‍්‍රම නවකතා මාලාව මගින් මෙරට නවකතා පාඨකයන් ගොඩ නැගීමටත්, අප සමාජය ගැන යම් විචාරයක් ඇති කිරීමටත් කළ දායකත්වය ඉතා වැදගත්ය. සිරිසේනගේ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය යනු රහස් පරීක්ෂක නවකතාවේ ආකෘතිය යොදා ගෙන සංඝ සමාජය ගැන කළ තියුණු විචාරයකි. අපේ බොහෝ භික්ෂූන්ගේ සසුන්ගත වීමේ අරමුණ ”මුදල් පෙට්ටිය” ආරක්ෂා කර ගැනීම බව හොඳ හැටි පෙනේ. මුදල් පෙට්ටිය යනු ධනයේ සහ බලයේ සංකේතයකි. බොහෝ ක‍්‍රිස්තියානි සමාජවල පල්ලිය යනුද ධනයේ සහ බලයේ කේන්ද්‍රස්ථාන වේ. එහෙත් ඒ සමාජවල නවකතාකරුවෝ සහ සිනමාකරුවෝ ඒ ආගමික බලකේන්ද්‍ර තරයේ ප‍්‍රශ්න කරති. අයර්ලන්තයෙන් එන නවකතා සහ සිනමා කෘති ¥ෂිත කතෝලික පල්ලිය ප‍්‍රශ්න කරන අවස්ථා අපමණය. අපේ කලාකරුවෝ මේ කාරණයේදී ස්වයංවාරණයක ගැලී සිටිති. ඒ අතින් බලන කල පියදාස සිරිසේන 1919 දී විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටියෙන් කළ ආගමික සංස්ථාව ගැන අතිශය උපහාසවත් විචාරය  අගය කළ යුතුය. එය වෛරී විචාරයක් නොව ගෞරවයෙන් කළ විචාරයකි. අද එවැන්නකටවත් ඉඩ තිබේද?

අතිසරල ද්විධාකරණයෙන් එපිටට
සිරිසේන වැනි ලේඛකයන් සහ බුද්ධිමතුන් සෘජු යටත්විජිතවාදයට යට වී සිටි අවධියක සමාජ විචාරය පිණිස භාවිත කළ සංකල්ප පිළිබඳ විචාරාත්මක යළි සලකා බැලීමක් නොකර ලංකා සමාජයට ඉදිරියට නොහැකිය. සංස්කෘතික වශයෙන් මිශ‍්‍රිත සමාජයක් පිළිබඳ සිරිසේනගේ නවකතාවලින් පෙනෙන දෘෂ්ටිය අතිසරලය; ඒකමානීයය. ඒ නවකතාවල එන ක‍්‍රිස්තියානි ආගම අදහන, ඉංග‍්‍රීසි කතා කරන, බටහිර ඇවතුම් පැවතුම් ඇති සියලූ දෙනා බොහෝ විට කලූ චරිත වෙති. ජීවිතයේ යහපත් බව පිළිබඳ සියලූ ඉගැන්වීම් එන්නේ බුදු දහමේය. සිරිසේනගේ නවකතාවල සිංහලත්වය සහ යහපත් බව අතර ඇත්තේ ස්වභාවික වූද නෛසර්ගික වූද සම්බන්ධයකි. මෙවැනි කාරණා සම්බන්ධයෙන් බෙහෙවින් ඒකමානීය වූ චින්තකයෙකු වූ අනගාරික ධර්මපාලගේ ආනුභාවය යටතේ ලියූ සිරිසේන අතින් බටහිර යටත් විජිතවාදීන්ගෙන් නිදහස දිනා ගැනීමට සටන් කළ කාලයක මෙවැනි අතිසරල මතවාද සමාජ ගත වීම වටහා ගත හැකිය. එහෙත් අද අපට යහපත් අනාගතයක් පරිකල්පනය කළ හැක්කේ එවැනි අතිසරල දෘෂ්ටිවාද ඉක්මවා යාමෙනි. පොදු මිනිස් යහපත පිළිබඳ අපමණ ඉගැන්වීම් බටහිර යැයි කියන ලෝකයේද පෙරදිග යැයි කියන ලෝකයේද ඇත. පෘතුවියේ වසන මිනිසාගේ ගැලවීම සෑදිය හැක්කේ අපේ ආගමට පමණකියි කියන බටහිරයා සේම පෙරදිගයාද වැරදිය. මිනිස් ජීවිතය සුපෝෂණය කිරීමට අවශ්‍ය සියලූ දේ තනිව නිපදවන්නට කිසිම ජාතියකට හෝ සංස්කෘතියකට හැකියාවක් නැත. වර්තමාන ලංකාව නිදහස් වූද ප‍්‍රජාතාන්ත‍්‍රික වූද රටක් කළ හැක්කේ එක් නිශ්චිත දුෂ්කර අවස්ථාවක පියදාස සිරිසේන පැතිර වූ ඇතැම් අතිසරල අදහස් ඊටත් වඩා අතිසරල කර සර්වකාලීන සත්‍යයන් සේ පතුරුවන කණ්ඩායම් පරාජය කිරීමෙනි.
(සිළුමිණ පුවත්පතේ පළ විය*









No comments:

Post a Comment