මෙම දේශනයෙදි මම අපේක්ෂා කරන්නෙ මානවශාස්ත‍්‍ර සහ සමාජයීය විද්යා (එනම් ඔබ අපේ පීඨෙදි ඉගෙනගන්න දේවල්* හොඳ ශාස්ත‍්‍රීය සන්නිවේදකයෙක් වෙන්න උදව් වෙන්නෙ කොහොමද කියන කාරණය පැහැදිලි කරන්න. හොඳ සන්නිවේදකයෙක් කියන්නෙ, හය්යෙන් කතා කරන, විහිළු කතා කියන, විශාල වශයෙන් අංග චලනය භාවිත කරන කෙනෙක් කියල අපි සමහර විට හිතනවා. ඒ දේවලින් යම් උදව්වක් තියෙන බව ඇත්ත. එහෙත් හොඳ සන්නිවේදකයෙක් කියන්නෙ ඒ ටික විතරක් නෙමේ.
ශාස්ත‍්‍රීය සන්නිවේදනයෙදි නම් ඒවා ඉතා අවශේෂ අංග. වඩා වැදගත් වෙන්නෙ, අප සමග වසන මනුෂ්යයන් නැවුම් චින්තනයක් වෙත අවදි කරවන, බුද්ධිමය වශයෙන් ආකර්ෂණීය වූ අපේ දෘෂ්ටිකෝණ පුළුල් කරන අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීම.
ඒ සඳහා අපටත් තියෙන්න ඕනෙ යම් විෂයක් දෙස විවිධ දෘෂ්ටිකෝණවලින් බැලීමේ හැකියාව. මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්යාව අපිව නිදහස් කරනවා. කුමක් වෙතින්ද නිදහස් කරන්නෙ? අපේ පටුබව වෙතින්. කුමක් වෙතද නිදහස් කරන්නෙ? පෘථුල වූ දෘෂ්ටිකෝණ වෙතට. දේවල් දිහා පෘථුල ආකාරයෙන් බලන්නට හැකිවීම පුදුමාකාර නිදහසක්. ඉතා පටුවිදියට හිතන අය ඔබ දැකල ඇති. රූපවහිනියෙ, පාසලේ, විශ්වවිද්යාලෙ, දේශපාලන ක්ෂේත්රයෙ, සමාජ මාධ්‍ය තුළ. ඒ කතා කරන, ලියන ස්වරූපයෙන් පේනවා ඒ අය හිරගෙදරක ඉන්නවා වගේ. ජාතිය, දේශය, ආගම ආදිය ගැන හරි සැරට එයාලා කතා කරත්, අපි ඉවසිල්ලෙන් බැලූවොත් පේනවා එයාලගෙ පටු ආකල්ප සහ චින්තනය තුළ හිරවෙලා එයාලා හරියට දුක් විඳිනවා කියලා. ජීවිතය, ලෝකය, ආදිය ගැන පළල් දෘෂ්ටිකෝණවලින් බලන්නට ලැබීම නිදහසක්. ඒක ඉතා වැදගත් නිදහසක්. අධ්යාපනයේ ප්‍රධාන කාර්යක් ඒ නිදහස ඇති කර ගැනීම. දෘෂ්ටිකෝණය කියන එක ටිකක් පටුයි වගේ නම් අපට කියන්න පුළුවන් පර්යාලෝකය කියලා. ඒ කියන්නෙ අපට දේවල් පේන කෝණමය පරාසය.
අපි සැකෙවින් බලමු අපි ඉගෙනගන්න විෂයධාරා නිසා අපේ දෘෂ්ටිකෝණ පෘථුල වන ආකාරය.
1. සමාජ-අවකාශීය දෘෂ්ටිකෝණය: තමාගේ ආත්මීයතාවෙන් එපිට ලෝකය
අපි world view හෙවත් ලෝක දෘෂ්ටිය කියන යෙදුම භාවිත කරනවා. ඉන් අදහස් වෙන්නෙ අපේ ”මමකම” හෙවත් ආත්මීයතාව ඉක්මවා පෙනෙන දැක්මක් ඇති කරගැනීම.
පවුල ආශ‍්‍රිත පර්යාලෝකය
මානවශාස්ත‍්‍ර සහ සමාජයීය විද්යා අපිට ආත්මීයතාව ඉක්මවා සිතන්න පුහුණු කරන්නෙ පවුල නමැති ආයතන වටහාගැනීමට උපකාර කිරීමෙන්. පවුල කියන ආයතනය පුද්ගලයන්ව හැඩගස්සනවා. අද ඔබ කවුද කියන එක පවුල කියන ව්යුහයෙන් තීරණය වුණ බව ඔබත් දන්නවා. ඒ විතරක් නෙමේ ඒකපුද්ගල මිනිසා වෙත පවුල බලපෑම් කරනවා වගේම, ඒකපුද්ගල මිනිසා පවුල වෙතත් බලපානවා. දැන් මෙහෙම හිතමුකො. ඔබ පේරාදෙණිය විශ්වවිද්යාලයට ඇවිත් ඉන්නවා. එසේ එන්න ඔබේ පවුලේ යම් බලපෑමක් තියෙන්න ඇති. අනික දැන් ඔබ මෙසේ පැමිණීම ඔබේ පවුලේ අනික් අයටත් බලපානවා. ඒ විතරක් නෙමේ ඔබේ අභ්යන්තරික සැකැස්ම වෙතත් පවුල බලපා තියෙනවා. ඉදිරි අවුරුදුවලදී ඔබ ඉගෙනගන්නට ඉඩ තිබෙන මනෝවිද්යාව, සමාජ විද්යාව, දර්ශනය, ආදී විෂයවලින් පවුල සහ පුද්ගලයා අතර මේ සම්බන්ධය ගැන සංකීර්ණ දේවල් ඉගෙනගන්න පුළුවන්.
ප‍්‍රජාව ආශ‍්‍රිත පර්යාලෝකය
පවුලට අමතරව ඔබ වසන ප්රජාවත් ඔබ කවුද කියන එක තීරණය කරලා තියෙනවා. අපි කියමු ප්‍රජාවක් කියන්නෙ එකම පරිසරය, එකම ප්‍රමුඛතා සහ ලැදියා, එකම විශ්වාස, සහ එකම වටිනාකම් සහිත ජන කණ්ඩායමක් කියලා. ඔබේ ගමේ අය, පාසලේ අය ආදිය මේ ප‍්‍රජාව කියල අපි කියමු. මේ ප‍්‍රජාව අපි කවුද කියන එක තීරණය කරන්නට බලපානවා. අධ්යානය ගැන ලියන මහාචාර්ය විලියම් ක්රෝනන් මෙහෙම කියනවා: ”අප නිදහස් කිරීමේ කාර්යේදී මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්යා අධ්යාපනය අප අප ජීවත්වන ප්‍රජාවන් වෙත බැඳ තබනවා. එනම් ඒ ප්‍රජාවන් වෙත වගකීම් සහගත වෙන්නට අප යොමු කරනවා. ඒක එක අතකින් අපේ නිදහස සීමා කිරීමක්. ඒ නිසා නිදහස කියලා කියන්නෙ අපට ඕනෑ දෙයක් කිරීම නොවේ. නිදහස කියන්නෙ අප ජීවත් වන ලෝකය තුළ වෙනසක් ඇති වන ආකාරයෙන් නිදහස භාවිතයට නැගීම.”
^Cronon, W. (1998) “Only Connect”: The Goals of a Liberal Arts Education. The American Scholar, 67(4)
දැන් බලන්න අපි පවුලෙන් ප‍්‍රජාව වෙත ආවම අපේ පර්යාලෝකය වෙනස් වෙනවා. හැබැයි තව දෙයක් කියන්න ඕනෙ. අපේ ප‍්‍රජාව දැන් සිතනපතන ආකාරයට සම්පූර්ණයෙන් යටත් වෙන එකත් අධ්යාපනය නෙමේ. අධ්යාපනයෙන් ලැබෙන නිදහස කියන්නෙ අප ජීවත් වන ප්‍රජාවන් පරිවර්තනය කරමින් ජීවත් වීම.
අපේ පටු ආත්මීයතා වෙතින් (මම නමැති ලෝකයෙන්* ඉවතට ගොස් ප‍්‍රජාව වෙත වගකීම් සහගත වීමේ එක් ක්‍රමයක් තමයි ඒ ප්‍රජාවන් වෙත සේවයට කැපවීම. අපිට ඒක කියනවා කැපවුණු පුරවැසිභාවය කියා. ඒ සඳහා ගුණ දෙකක් ඕනෙ.
1. මානුෂිකවීම- අපට වඩා අව-වරප්රසාදිත අය වෙත කරුණාවන්තවීම
2. මානව හිතවාදීවීම- අනෙක් මනුෂ්යයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට කාලය සහ ශක්තිය කැප කිරීම
ඒ නිසා අපි අපේ විෂයයන් ඉගෙනගන්නෙ හොඳ ආදායමක් උපයාගන්නා ආකාරය හොයාගන්න විතරක් නෙමේ. අපි හොඳ මනුෂ්යයෙක් වන හැටිත් මේ විෂයයන් සමග ඉගෙනගන්නවා.
දැන් මඳක් නැවතිලා කල්පනා කරන්න. මෙතෙක් කී කරුණු ගැන අවබෝධයකින් තොරව හොඳ ශාස්ත‍්‍රීය සන්නිවේදකයෙක් වෙන්න පුළුවන්ද?
සමාජය පිළිබඳ පර්යාලෝකය
අපේ ආසන්න ප‍්‍රජාව වෙතින් ඈතට ගියාම අපිට සමාජය හමු වෙනවා. එකම සමාජ ක්‍රමයක් තුළ සංවිධානය වූ ජනකණ්ඩායමක් සේ සමාජය නිර්වචනය කරන්න පුළුවන්. සමාජයක් ප්රජාවකට වැඩිය ලොකුයි. සමාජයක විශාල භූගෝලීය කලාපයක පැතිරුණු නොයෙක් ප්‍රජාවන් ඉන්න පුළුවන්. නාගරික, ග්‍රාමීය වශයෙන්, ජනවර්ග වශයෙන්, ආගම් වශයෙන් බෙදුණු ජනකොටස් ඉන්න පුළුවන්.
ඒ වගේම සමාජයක් තුළ ස්ථරායනයක් තියෙනවා. ඒ කියන්නෙ අසමාන සමාජ තල තියෙනවා. ඒ ස්ථරායනය ධනය, ජාතිය, කුලය, ආගම ආදිය නිසා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අධ්යාපනයත් ඒකට බලපානවා. පේරාදෙණියෙ උපාධිධාරී කෙනෙකු හැටියට ඔබ සමාජය වෙත ගියාම ඔබ වෙනස්ම සමාජ ස්ථරායනයකට අයිති වෙනවා. ඔබ යම් වෘත්තියකට ප්‍රවේශ උනාම තවත් තත්ත්වය වෙනස් වෙනවා. ආදායම සමාජ තත්ත්වය ආදිය නිසා.
දැන් බලන්න අපිට සමාජමය පර්යාලෝකය නිසා තේරෙනවා අපිට අපිවම තේරුම් ගන්න වුණත් ටිකක් ගැඹුරට හිතන්න ඕනෙ කියලා. ඒ වගේ සමාජමය පර්යාලෝකයක් වර්ධනය කරගත්තම අපට වඩා අවවරප්රසාදිත පුද්ගලයන් දිහා සහකම්පනීය සේ බලන්න පුළුවන්.
අපි නිදර්ශනයක් ගම්මු. පාසැල් යන ළමයෙක් අනුන්ගෙ වත්තකට පැනලා පොල් ගෙඩි හයක් හොරකම් කරනවා. ඒ ළමයට උසාවියෙන් දඬුවම් දෙනවා.
මේ ළමයා දහම්පාසල් ගියා නම් හෝ පන්සිල් හරියට දැන සිටියා නම් ඒක වෙන්නෙ නෑ කිව්වොත් ප්‍රමාණවත්ද?
අපි කවදාවත් හොරකම් කරලා නෑ. ඇයි ඒ ළමයටත් බැරි අපි වගේ වෙන්න කියලා හිතුවොත් හරිද?
එහෙම හිතල ඒ සිද්ධිය ගැන ඔබ නිබන්ධනයක් ලිව්වොත් මම ඔබට ඒ රචනයට සම්පූර්ණ ලකුණු දෙන්න ඕනෙද?
ජාතිකමය පර්යාලෝකය
අපේ සමාජයෙන් තවත් එපිටට යනකොට අපට හම්බවෙනවා ජාතිය. නැත්නම් ජාතික රාජ්යය කියන අවකාශය.
අපි හැමෝටම මෙම ජාතිකමය පර්යාලෝකය තියෙන්න ඕනෙ. අපි ජාතික රාජ්යයක පුරවැසියො. ඒ ජාතික රාජ්යයේ ආණ්ඩු ක්‍රම ව්යවස්ථාවෙන්, නීතියෙන් අපට ලැබෙන අයිතිවාසිකම් ආදිය තියෙනවා. අපි ඒ ජාතික රාජ්යයේ දේශපාලන ව්යූහයට නියෝජිතයන් පත් කරනවා. අපි ඒ ව්යූහය තුළ සක්‍රීය වන ප්‍රමාණයට තමයි දේවල් තිීරණය වෙන්නෙ. ඔබට සමීප නිදහස් අධ්යාපනය ගන්න. රටේ පුරවැසියො නිදහස් අධ්යාපනය කියන අදහස අමතක කළොත් ඔබට මේ අධ්යාපනය නොලැබෙන්න පුළුවන්.
ඇත්තටම නූතන විශ්වවිද්යාල ආරම්භ වුණ කාලෙ, විශ්වවිද්යාලෙ පරමාර්ථය වුණේ පෘථුල ලෙසත්, ගැඹුරු ලෙසත් සිතිය හැකි පුරවැසියන් බිහි කිරීම. ඒ වැඬේ හොඳින්ම කෙරෙන්නෙ අපේ පීඨෙ ඉගෙනගන්න විෂයවලින්. නමුත් ඒ විෂයයන් හොඳින් උගන්වන්නත්, ඉගෙනගන්නත් පුළුවන් නම් තමයි ඒ වර්ධනය වෙන්නෙ. අපිට ඒ විෂයවලට සහතික තිබුණ නිසාම එහෙම වර්ධනයක් වෙන්නෙ නෑ.
මේ කාරණේ නොදැන ඔබට හොඳ ශාස්ත‍්‍රීය සන්නිවේදකයො වෙන්න පුළුවන්ද?
ජාත්යන්තර පර්යාලෝකය
අපේ රට කියන තනි ජාතික රාජ්යය සීමාවෙන් අපේ චින්තනය නතර වෙන එකත් හරි නෑ. අපිට ඊට වඩා ඈත හිතන්න පුළුවන් වෙන්න ඕනෙ.
දැන් අපි රටවල් දෙසීයකට කිට්ටු ගණනකින් සැදුණු ලෝකයක වැසියො. ඒ සෑම රටකම පුරවැසියො තමන්ගෙ දේශ සීමාවෙන් පිට සිද්ධ වෙන දේවල බලපෑමට ලක් වෙනවා. කොරෝනා වසංගතය නිසා අපට මේක හොඳට පේනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අපේ නිමි ඇඳුම් ගත්තෙ නැත්නම් අපේ ආර්ථිකය හොඳටම වැටෙනවා. මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට කොරෝනා අර්බුදය නිසා රැුකියා නැති වුණොත් ඔබට මහපොළ දෙන්නත්, මට වැටුප් දෙන්නත් අමාරු වෙනවා.
ලෝකයේ පොසිල ඉන්ධන (ඛනිජ තෙල්, ගල් අ`ගුරු, ස්වභාවික වායු ආදිය* අවසන් වුවහොත් මම මේ දේශන පිටපත ලියන කොම්පියුටරයත් නවතින්න පුළුවන්. මොකද අපේ රටේ විදුලියෙන් සැලකිය යුතු කොටසක් සැපයෙන්නෙ, ඞීසල් සහ ගල් අ`ගුරු බලාගාරවලින්.
ඒ වගේම දේශපාලනයත් අපට බලපානවා. අමෙරිකාව, චීනය සහ ඉන්දියාව අතර තියෙන ගෝලීය බලතරගය අපේ ඉදිරි අනාගතය විතරක් නෙමේ වර්තමානයත් තීරණය කරනවා. තව දවස් කීපෙකින් තියෙන මැතිවරණයේ ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන චීනය සහ ඉන්දියාව බලන් ඉන්නවා. දිනන්නට ඉඩ ඇති කණ්ඩායම සමග ඒ රටවල් දැනටමත් සාකච්ඡුා කරන බව වාර්තා වෙනවා.
දැන් බලන්න අපේ ඒකපුද්ගල ජීවිත ජාත්යන්තර වශයෙන් හැඩගැසෙන හැටි. මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්යා ඉගෙන ගන්න මේ පර්යාලෝකය වර්ධනය කරගන්න ඕනෙ. එහෙම නැතුව හොඳ ශාස්ත‍්‍රීය සන්නිවේදකයො වෙන්න බෑ.
ගෝලීය පර්යාලෝකය
අධ්යාපන විශේෂඥයන් කියන හැටියට හුදෙක් අන්තර්ජාතික පර්යාලෝකයක් විතරක් මදි. අපිට ගෝලීය වශයෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනෙ. ඉන් අදහස් වෙන්නෙ පෘථිවි ගෝලයේ ඇති ජීවී සහ අජීවී සියලූ දේවල් සැලකිල්ලට ගන්නා පර්යාලෝකයක්.
සත්ත්ව විශේෂ මිලියන 10ක් සහ මනුෂ්යයන් වන අපි මේ පෘථිවි ගෝලය බෙදාගෙන වාසය කරනවා. ලක්ෂ තුනක් විතර ශාඛ ප්‍රභේද මේ ග්‍රහලෝකයේ තියෙනවා. ^Biological Diversity ii. Understanding and Protecting Our biological Resources. eds. D. E. Wilson and E. O. Wilson, 1997)
මේ සියලූ ජීව ප්‍රභේද ගැන වගකීමක් අපට තියෙනවා. නැත්නම් අපි හුදෙක් මානවකේන්ද්රවාදී වෙනවා.
විශ්වීය පර්යාලෝකය
හුදෙක් අපේ ග්‍රහලෝකයට සීමා වීම වැරදියි. අපේ ග්‍රහ ලෝකය තියෙන්නෙ අනන්ත විශ්වයක. ඒ විශ්වයේ සිදු වෙන බොහෝ දේ අපට බලපානවා. තව අවුරුදු මිලියන හතරකින් සූර්යා තුළ දැවෙන හීලියම් වායුව අවසන් වන බව කියවෙනවා. එය ඇත්තක් නම් එතකොට සූර්යා මිය යනවා. ඒ කියන්නෙ අපේ ග්‍රහලෝකයේ ජීවයට පවතින්න බෑ.
අවුරුදු මිලියන 60කට විතර කලින් ඩයිනසෝර් සත්තු පෘථිවියේ හිටියා. විශාල උල්කාපාතයක් පෘථිවියේ ගැටීමෙන් සූර්යාලෝකය පෘථිවියට පතිතවීම නැවතීමෙන් දරුණු අයිස් යුගයක් ආ බවත්, ඒ නිසා ඩයිනසෝර්ලා වඳ වී ගිය බවත් එක විද්යාත්මක නිගමනයක්. ඉන් පෙනෙන්නේ අපේ ජීවිත අහම්බෙන් කඩා වැටෙන උල්කාපාතයකින් තීරණය විය හැකි බව නේද?
මධ්යකාලීන යුගයෙදි විශ්වවිද්යාලවල මානවශාස්ත‍්‍ර විෂය අතර තාරකා ශෘස්ත්රය කියන විෂයත් තිබුණා. අද එය විද්යා පීඨයට මාරු වී තියෙනවා.
අපේ අධ්යාපනය අපේ දෘෂ්ටිකෝණ කොතරම් නම් පෘථුල කරන්න ඕනෙද කියන කාරණය දැන් ඔබට පෙනෙනවා ඇති.
යම් විෂයක් ගැන හොඳින් හිතන්න, ඒ විෂය ආශ‍්‍රිත දැනුම ලේඛනයෙන් හෝ කථනයෙන් ප්‍රකාශ කරන්න අපේ දෘෂ්ටිකෝණ හෙවත් පර්යාලෝක පෘථුල කරගන්න ඕනෙ.
අපේ විෂයට අදාළ තවත් පර්යාලෝක කීපයක් ගැන අපි ඊ ළ`ග දේශනයෙන් කතා කරමු.
ඔබ ඉගෙන ගන්න හැම දෙයක් ගැනම හැකි තරම් පළලට සහ ගැඹුරට හිතන්න පුහුණු කරන එක මේ පාඨමාලාවෙ මගේ දේශනවල එක අරමුණක්.
වැඩිදුර කියවන්න කැමති නම් මෙන්න හොඳ පොතක්:
Humanity, Diversity, and the Liberal Arts: The Foundation of College Education. Joeseph B. Cuseo and Aaron Thompson (2015)
බෙහෙවින් ම ස්තුතියි මචං !මේ දැනුම්වත් කිරීම දිගටම කරගෙන යමු !
ReplyDeleteවටිනා වැඩක්
ReplyDeleteඋගත් බොහෝ අය බුද්ධිමත් වෙන්න මේ වගෙ ලිපියක් හරි වටිනවා
ReplyDeleteබොහෝ අය ට මේවා දකින්න සැලැස්වීමයි කල යුතු.ඞ
ඉතා වටිනා දැනුමක්!
ReplyDeleteනියම වැඩක්
ReplyDelete