Saturday, November 14, 2020

මගේ පරිවර්තන න්‍යාය පන්තියට ටිම්රාන් කීර්ති කවියා කළ අභියෝගය- ලියනගේ අමරකීර්ති

  



  අද (නොවැම්බර් 14) මා ලද අත්දැකීමක් ඔස්සේ අපූරු කවි දෙකක් ගැන යමක් කියන්නට කැමැත්තෙමි. මම අලුත් කවි කිවිඳියන්ගේ කවි පොත් මිලට ගෙන කියවමි. ඇතැම් අය මට තමන්ගේ පොත් එවති. මේ පොත්වල එන බොහෝ නිර්මාණ මම මගේ ඉගැන්වීම්වලදී නිදර්ශන ලෙස භාවිත කරමි. මා නූතන කවිය හා සෘජුව සම්බන්ධ වන පාඨමාලා උගන්වන්නේ නැත. (කෙටිකතා සහ නවකතාව ගැන පාඨමාලා උගන්වන්නේද නැත).  එහෙත් සාහිත්‍ය න්‍යාය, පරිවර්තන න්‍යාය හා භාවිතය ආදී පාඨමාලාවලදී නිදර්ශන ලෙස හැකි හැම විටම අලුත් සාහිත්‍ය නිර්මාණ භාවිත කරමි. 

අද දේශනයේදී අප කතා කරමින් සිටියේ පරිවර්තනය හා නිර්මාණශීලිත්වය ගැනය. සාමාන්‍යයෙන් වැඩමුළුවක ආකාරයෙන් ඉගැන්වෙන මෙම පාඨමාලාව අද අපට උගන්වන්නට සිදුවන්නේ සූම් ඔස්සේය. එහෙත් හැකි සියලුම දෙනාම ක්‍රියාකාරීව සහභාගි වන සාකච්ඡාමය පන්තියක් ලෙස එය පවත්වාගෙන යන්නට මම තැත් කරමි.

  ඕනෑම සාහිත්‍ය කෘතියක් එය පහළ වූ සමාජයෙහි වන නොයෙක් දේ වෙත ඉඟි කරයි. එම කෘතියෙහි අර්ථ ජනිත කිරීමට, ඒ අර්ථ තීව්‍ර කිරීමට, ඒ අර්ථ පවත්වාගෙන යාමට ඒ ඉඟි කිරීම් අවශ්‍ය වේ. එවන් ඉඟි කිරීම් වර්ග කිහිපයක් තිබේ. සංස්කෘතික ඉඟිකිරීම් සහ සමකාලීන සාහිත්‍ය වෙත ඉඟි කිරීම් ඒ අතරින් දෙකකි. මේවා වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කළද සාහිත්‍ය කෘතියක ඒවා පවතින්නේ සියුම් ලෙස එකට බැඳීගෙනය.  

  අද මගේ දේශනයේදී මගේ ශිෂ්‍යශිෂ්‍යාවන්ද මමද අභියෝගයට ලක් කළ කවි දෙකක් සාකච්ඡාවට ගතිමු. ටිම්රාන් කීර්තීගේ එම කවි දෙක ඉංග්‍රීසියට නැගීමට සිදු වූ අපට මුහුණ දීමට සිදුවන අභියෝග ඔස්සේ අපි පරිවර්තනය සහ නිර්මාණශීලිත්වය ගැන හොඳ අවබෝධයක් ලැබීමු. ඒ කවි දෙක අපට එල්ල කළ අභියෝගය නිසාම ඒවා හොඳ කවි බවද අපි උගතිමු. මෙම කෙටි රචනය ඒ කවි දෙක මගේ පන්තියට වඩා විශාල රසික පිරිසක් සමග බෙදා ගැනීම පිණිසය.



  රන් පෑ පත

 නිමිත්ත: අවසන ඇගේ පැතුම සපල වී ගමෙන් නික්ම සංඝමිත්තා බාලිකාවට ගියාය.


නිල්වන් බෝධිය වඳිනා අතරේ

රන්වන් කෙල්ලක් මං දැක්කා

අල්ලන් බෝ අත්තක් බෝ සැදැහෙන්

වැඳ වැටුණා කොඩියක් එල්ලා


සන්සුන් සුද මා මත පත් කරමින

සංවර ගමනින් පියමැන්නා

සංකර මා සිත අංකුර නගමින

රන්වන් පාටින් දළු දැම්මා


සඟමිත් තෙරණිය ගෙන ආ බෝධිය

මිග දෑසක් තුළ මං දැක්කා

මහමෙව්නාවෙන් ගෙන ආ සාරියෙ

පොට හද හද අම්මෙක් රැව්වා

“සමාව දී මගෙ පව් අරවනවා!”

බැගෑපත්ම බැල්මක් දල්ලා

රන්වන් දෙපයට පෑගුණ බෝපත්

මළුවේ ඇවිදින්නට ගත්තා


“සඟමිත් පාසල මට හිමිවේවා!”

ඇගේ පැතුම කොඩියක ලියලා

බෝ රජුනේ අවසර දෙනු කෝමද

රන් පෑ පත මළුවෙන් මුදවා

 

                ̽  ̽  ̽

සංඝමිත්තා යළි ගෙන ගිය බෝපත

නිලට හැරෙයි රන්වන මැකිලා

මං මේ මළුවට යන එන හැම වර

බෝ ගහ ඇත කොඩියක එල්ලා


බෝ රජුනේ මට අවසර දෙනවා

රන් පෑ පතකට මං පෑගෙනවා

සමාව දී මගෙ පව් අරවනවා

දැන් මං ළඟ ළඟ රන් පත් බොනවා

   මේ කවිය ඉතා ප්‍රබල බව පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. අපේ පරිවර්තන පන්තියට මේ හොඳ කවිය කළ අභියෝගය මෙවැනිය: මේ කවිය බෝධිපූජාවල භාවිත වන ප්‍රකට කවිවලට ඉඟි කරයි. ඒ බෝධිපූජා කවි පානදුරේ අරියධම්ම හිමි විසින් ජනප්‍රිය කරන ලද නව බෞද්ධ චාරිත්‍ර විධියක් සිහියට ගෙනෙයි. ඒ බෝධිපූජා සංස්කෘතිය වැඩි කල් නොයා නව බෞද්ධ ජාතිකවාදය සමග ගැට ගැසිණි. එල්ටීටීඊයේ නැග්මත් සමග බෝධිපූජාව සහ සිංහල ජාතිකවාදී දේශපාලනය අතර සම්බන්ධය සමීප විය. එය ජනවාර්ගික ජාතිකවාදයක් බවට පත් වූ පසු සමාජ සාධාරණය, යුක්තිය වැනි සටන්පාඨ ජාතිකවාදී කතිකාවලින් ඉවත් විය. ඒ නිසා තමන්ට පාසැලක් නැති දරුවන් වෙනුවෙන් සිංහල ජාතිකවාදය නැගූ හඬක් නැත. සංඝමිත්තා වැනි බෞද්ධ නම්වලින් පාසල් නම් කරනු ලැබුවද දේශපාලකයන්, රණවිරුවන් ආදීන්ගේ දරුවන් නොවේ නම් කිසිම සංඝමිත්තාවකට ඇතුළුවීම ලෙහෙසි නැත. මහාමායා, විහාරමහාදේවිද එසේමය. හිල්වුඞ් සහ ටි්‍රනිට් ආදී ක්‍රිස්තියානි පාසැල් කොහොමත් එහෙමය. බෝධිපූජාවක් තියාවත් ඒවාට ඇතුළු විය නොහැකිය. 

  ඉතා කට වාචාල ජාතිකවාදය රජ කරන අතරේ දැරියකට පාසැලක් ලබා ගැනීමට බෝධියක් යට කොඩි එල්ලීමට සිදුවීමේ ඛේදවාචකය කවියා හසු කර ගනියි.

  අපේ පරිවර්තන පන්තියට මේ කවිය එල්ල කරන අභියෝග ඉමහත්ය. මා මෙතෙක් කී දේවල් වත් කවියට හසු වන සේ අප එය ඉංග්‍රීසියට නගන්නේ කෙසේද? මේ කවියෙහි සෑම තැනකින්ම පාහේ මතු වන අර අරියධම්ම තාලයේ බෝධිපූජා කවිවලට රිද්මය හසු කරගන්නේ කෙසේද?

  මේ කවියෙහි අවසන් පද්‍යය පවා අපට එල්ල කරන්නේ අභියෝගයකි.

බෝ රජුනේ මට අවසර දෙනවා

රන් පෑ පතකට මං පෑගෙනවා

සමාව දී මගෙ පව් අරවනවා

දැන් මං ළඟ ළඟ රන් පත් බොනවා

 මෙහි අවසන් පාදය, එනම් සමස්ත කවියෙහිම අවසන් පේළිය ඉංග්‍රීසියට නගන්නේ කෙසේද? අපේ පන්තියෙහි ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය විශේෂ උපාධියකට හදාරන අවසන් වසරේ ශිෂ්‍යාවක්ද සිටියාය. ඇයගේ අදහස වූයේ මෙහි අර්ථ සියල්ල හසු කරගැනීම පහසු නොවන බවය. කවියෙහි අවසන් පේළිය හරියට වටහා ගත්තේ එක් ශිෂ්‍යාවක පමණි.

“සර් ඒකෙන් කියන්නෙ එයා වේගෙන් ගෝල්ඞ් ලීෆ් සිගරැට් බොනවා කියන එක නේද” ඇය කීවාය. එය ශිෂ්‍යශිෂ්‍යාවන් වෙතින්ම මතු කර ගැනීමට මට අවශ්‍ය විය. පන්තියේ සිටි ශිෂ්‍යයන් (පිරිමි ළමයින්) පවා එහි අර්ථය හරියට අල්ලා ගත්තේ නැත. 

මං මේ මළුවට යන එන හැම වර

බෝ ගහ ඇත කොඩියක එල්ලා

  යැයි කවියා එක් තැනක කියයි. දරුවන්ට හිමි විය යුතු පාසල් ලබා නොදුන් එවන් කොඩි එල්ලි එල්ලී පරණ වෙනු මම නොයෙක් පන්සල්වල දකිමි. 


   ඊ ළඟට ටිම්රාන්ගේ  තවත් කවියක් අද අපට අභියෝගයක් විය. එය මෙසේය:

මිල්ටන් ඔයා?

වැස්සක් ගලන්නට හේදෙන්නැති මතක

කොස්සක් අරන් පිස දැම්මා ඈ සැණින

ඔරුවක් වෙලා පා වුණ ආදර හසුන

මිල්ටන්ගේ ගීතයක් මුමුණවා ඇසිණ


ඉවුරු තලා බැස යන ගංගා ගීතේ

ඔරුව පුර පණකුරු සීතම සීතේ

ඇය මා දෙතැන පිළිබිඹු ලෙස ගංදෑලේ

මිල්ටන් ගිලෙනවා ගැඹුරු ම සංගීතේ


වැස්ස පෑයුවා හිඳිල ම වැහි බඳුන

රස්නෙට සුසුම් පස්සනවා කේතලය

ඇස් යට යමක් සඟවනවද මා බිරිඳ

මිල්ටන් මටත් වැඩියෙන් ඈ හට ළඟද?


  මේ කවිය පැහැදිලි ලෙසම මිල්ටන් මල්ලවාරච්චිටත්, “ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා” නම් ගීතයට ඉඟි කරයි. කවියෙහි මිහිර ඇත්තේ ඒ ගීතය සමග කවිය ඇති කරගන්නා අන්තර්පඨිතත්වය මතයි. අද පන්තියේදී මගේ ශිෂ්‍යාවක් ඒ ගීයෙහි පද දෙකක් හරි තාලයට ගායනා කළාය. මා ඇයට එය ගායනා කරන්නට ආරාධනා කළේ ඒ ගීය අපගේ විඥානයෙහි ඇති කරන ස්මරණ කැළඹුම තුළ මේ කවියෙහි අර්ථය රඳන නිසාය.

  මෙවන් උපවිඥානගත මතක අවුස්සන කවි පරිවර්තනය කරන්නේ කෙසේද? කවිය යනු පරිවර්තනයේදී අහිමි වන දෙය(A poem is what gets lost in translation) යැයි කියවෙන්නේ නිකම්ම නොවේ. මගේ පරිවර්තන පන්තියෙන් ඉංග්‍රීසියෙන් සිංහලට හෝ සිංහලෙන් ඉංග්‍රීසියට සාහිත්‍ය කෘති ගෙනයන පරිවර්ත පරිවර්තිකාවන් බිහිවේද යන්න ගැන මට සහතික කොට කිවනොහැකිය. එහෙත් ටිම්රාන් කීර්ති වැනි අපේ අලුත් කවි කිවිඳියන්ගේ නිර්මාණ රස විඳින පිරිසක් නම් බිහි වන බව මම දනිමි. අද අපේ පන්තියේදී ටිම්රාන් කීර්තිගේ මේ කවි දෙකෙහි වටිනාකම වඩාත් වැටහී ගියේ ඒවා පරිවර්තකයාට එල්ල කරන අභියෝග නිසාය. 

  සතියේ මම සූම් පන්තිවලදී පවා අනුරාධි නිල්මිණි, සුහර්ෂණී ධර්මරත්න, කෞශල්‍යා ජයලත්, උපෙකලා අතුකෝරළ වැනි කිවිඳියන්ගේ නිර්මාණ මගේ පන්තිවලදී සාකච්ඡා කළෙමි. ඒවා අපේ විශ්වවිද්‍යාලයේ මූඞ්ල් අඩවියෙන් බාගත කරගත හැකි ලෙස එහි ඇතුළත් කළෙමි. මේවා කරන්නේ මට විශ්වවිද්‍යාලයෙන් බල කරන නිසා නොවේ. මේ අර්බුද අස්සේ පවා ශිෂ්ටත්වය හා ශිෂ්ටාචාරය ඉදිරියට යා යුතු නිසාය. 

  මේ පන්තිවලට ශිෂ්‍යශිෂ්‍යාවන් සම්බන්ධ වන්නේ සංඥා ප්‍රශ්න, කාලය පිළිබඳ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ආදී දහසක් මැද තමන්ගේ දොරකඩටත් කොරෝනා පැමිණේදැයි බයෙන් බයෙනි. ඇතැම් සිසුන්ට මේ පන්තිවලට සහභාගි වීමට නොයෙක් බාධා ඇත. තාක්ෂණීක පහසුකම් යනු සමානව බෙදී ගොස් ඇති දේ නොවේ. ඒ නිසා සියලු දෙනාට මේ අධ්‍යාපන අවස්ථා ලැබෙන සේ නොයෙක් ප්‍රයෝග භාවිත කරමි. ඒ ශිෂ්‍යයන්වත්, මා වත් බෝගසක කොඩියක් එල්ලා ඒ අවස්ථාව පතන්නේ නැත. 

 මේ සියලු දුක් කරදර අස්සේ පවා අද ටිමාගේ කවි කියවන විට ඒ ශිෂ්‍ය කටහඬවල වූයේ පුදුමාකාර උද්යෝගයකි. ඒ හඬෙහි මා දැක්කේ කවර අර්බුද ඉදිරියෙහි වුවද පසු නොබසින මනුෂ්‍ය ප්‍රාණයෙහි ශක්තියයි. පන්තියෙන් පසුව සාකච්ඡා මේ දැනුත් වට්ස්ඇප් ඔස්සේ සිදුවේ.


   


5 comments:

  1. ටිමාගෙ ඒ පොතේ මම තේරූ ලස්සන ම කවිය ඒ රන් පෑ පත.
    සර් ඒ ගැන ලිව්වා දැක්කම පුදුම සතුටක්.

    ReplyDelete
  2. මා සිගරට් බොන්නෙකු නොවුනත් මට හොඳට මතකයි අප විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අති බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බිව්වෙ ගෝල්ඩ් ලීෆ් නොව බ්‍රිස්ටල් නම් සිගරැට් වර්ගයයි. එයට හේතුව සියයට විස්සක් හෝ ඊටත් වැඩි මිල පරතරයයි.

    මේ අනුව යමෙකු ගෝල්ඩ්ලීෆ් බොනවාය යන කීම තුළින් ඔහු තරමක් ඉහල පන්තියක මුදල් ඇති අයෙකු ලෙස එකල නම් හඳුනාගත හැකිව තිබුණා.

    ReplyDelete
  3. ගුරුතුමා මටත් පුලුවන්ද ඔබෙන් ගුරු හරුකම් ගන්න..කරුණාකර

    ReplyDelete
  4. සර්, ආධුනික භාෂා පරිවර්තයෙකු සදහා ඉංග්‍රීසි භාෂාව හා පරිවර්තනය පිළිබද හැදෑරීමට සුදුසු පාඨමාලාවක් හෝ වෙනත් ක්‍රමවේදයක් නිර්දේශ කළ හැකි නම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
  5. මං මේ මළුවට යන එන හැම වර
    බෝ ගහ ඇත කොඩියක එල්ලා

    මේ පද දේක හරිම සරුයි ! තරුණ පරම්පරාවේ දෘෂ්ටිය නිවැරදි මගට ගැනීම වි වි සහ පාසල් ගුරුවරුන්ට අයිති වන බවට කදිම නිදසුනක්!

    ReplyDelete