Wednesday, December 23, 2020

ගුවන් විදුලියට අමතක වූ ශාස්ත්‍රීය ඉතිහාසයෙන් බිඳක් - - ලියනගේ අමරකීර්ති


  


  

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අවුරුදු 95කියි පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පළ වූ සටහන්වලින් මම දැනගතිමි. මනුෂ්‍යයෙකු අවුරුදු අනූ පහක් පමණ ජීවත් වන විට අමතක වීමේ රෝගය සෑදෙන්නට ඉඩ තිබේ. ආයතනවලටද එසේ අමතක වීම ලංකාවේ ඇති භයානක රෝගයකි. තමන්ගේ ආයතනික ස්මරණය(Institutional Memory) ආරක්ෂා කරගන්නට සමත් අය ඒ ඒ ආයතනවල නොමැතිවීම තවත් අර්බුදයකි. 

  නූතන සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයෙහි සිටින මා සිටියේ එක්තරා පර්යේෂණ කටයුත්තකට අදාළ පරිච්ඡේදයක් ලියමිනි. එහිලා මා කියවමින් සිටි බොහෝ ලිපි ලේඛනවල ගුවන් විදුලිය ගැන සඳහන් විය.

  ලංකාවේ නූතන සාහිත්‍ය අධ්‍යයනය වර්ධනය කරන්නට පුවත්පත කළ දායකත්වය ගැන අපි දනිමු. අදත් පුවත්පත ඒ සේවය කරයි.

  විසි වෙනි සියවසේ හතර වෙනි දශකයෙහි පමණ සිට නූතන සාහිත්‍යය වර්ධනය වෙමින් පැවති කාලයෙහි නූතන සාහිත්‍ය අධ්‍යයනය පිළිබඳ අප සමාජයෙහි පැවති අවබෝධය දියණු කරන්නට ගුවන් විදුලිය තීරණාත්මක කාර්යක් කර ඇති බව පෙනේ.

  සාහිත්‍ය විද්‍යාව යනු නූතන සාහිත්‍ය රසවින්දනය  සම්බන්ධයෙන් පළ වූ මුල් කාලින පොතකි. එය ලියූවේ එවක තරුණ සරසවි ඇදුරෙකු වූ ඊ. ආර්. සරච්චන්ද්‍රය. යූස්ටස් රෙජිනෝල්ඞ් ද සිල්වාගේ සිට එදිරිවීර සරච්චන්ද්‍ර දක්වා සංක්‍රමණය වන ගමනේ හරි මැද සිටි ඔහු 1949 වර්ෂයේ පළ වූ ඒ පොතේ පළමු මුද්‍රණයෙහි මෙසේ කියයි: 

   “මෙහි මතු පළවන්නේ 1946 හා 1947 වර්ෂවල ගුවන් විදුලි මගින් ප්‍රචාරයට පමුණුවන ලද කථා පන්තියකින් මුද්‍රණයට සුදුසු වන පරිදි සැකසූ ලිපි කිහිපයකි.”

  සාහිත්‍ය විද්‍යාව කෘතිය පසුව සම්පූර්ණයෙන් සංස්කරණය විය. ඒ දෙවෙනි සංස්කරණය පළමු පොතට සමාන වන්නේ ඉතා සුළුවෙනි. 

කෙසේ වෙතත් සාහිත්‍ය විද්‍යාව එහි මුල් මුද්‍රණයෙහි සිටම මෙරට නූතන සාහිත්‍ය අධ්‍යයනය පෝෂණය කරන්නට දායක විය. 

ගුණදාස අමරසේකර විනෝදය හා විචාරය යනුවෙන් පොතක් පළ කළේය. ඒ 1955 වර්ෂයේදීය. එවකට අවුරුදු විසි ගණනක  තරුණයෙකු වූ අමරසේකර පෙරදිග සේම බටහිරද පැවති සාහිත්‍ය පිළිබඳ අදහස් සම්පිණ්ඩනය කරන ලිපි කිහිපයක් එහි එයි. ඒවාද ගුවන් විදුලි කථා ලෙසින් මුලින් විකාසනය වී තිබේ. ඇතැම් තීරණාත්මක බටහිර අදහස් නූතන සිංහල සාහිත්‍යයෙහි වර්ධනයට අවශ්‍ය බව තරුණ අමරසේකර සලකා ඇති බව පෙනේ.

   ඒ. එම්. සිරිමාන්න මුලින් පාසල් ගුරුවරයෙකුව සිටියේය. ඔහු එකල සිටම සාහිත්‍ය විචාරය ගැන උනන්දුවක් දැක්වීය. පාසල් ගුරුවරයෙකුව සිටින කාලයේ සිටම ඔහු සාහිත්‍ය විචාරය ගැන ලිව්වේය. එවක නැග එමින් පැවති සංස්කෘතික ජාතිකවාදී අදහස් නිසා පෙරදිගද බටහිරද අතර දෝලනය වෙමින් සිටින බවක් පෙන්වන සරච්චන්ද්‍රගේ සාහිත්‍ය විද්‍යාවෙහි ඇතැම් අදහස් තරයේ විචාරය කළ සිරිමාන්න එංගලන්තයෙහි එවකට පැතිර තිබූ භාවිත විචාරය වැනි දෙයක් අපට ගැලපෙන පරිදි සකස් කර නොගෙන ප්‍රායෝගික සිංහල විචාර මෙවලම් මාලාවක් සකසා ගත නොහැකි බව ඔහු තර්ක කළේය. සැබැවින්ම, කෙළින් නොකිව්වත් සාහිත්‍ය විද්‍යාව කේම්බි්‍රජ් ප්‍රායෝගික විචාරයට ණය ගැති බව සිරිමාන්න පෙන්වා දුන්නේය. ඒ ඔහු ලියූ භාවිත විචාරය නමැති පොතෙහිය. එයද ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ කතා මාලාවක එකතුවකි. කවි ගායනා කිරීමට පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් පිරිසක්ද කැටුව ගුවන් විදුලියට ගිය සිරිමාන්න මේ කතා විකාසනය කළේය.

   ඔහු ඉංග්‍රීසියෙන් ලියූ Criticism in Practice, Preface to the Short Story වැනි පොත්ද මුලින්ම ගුවන් විදුලියෙහි ඉංග්‍රීසි සේවයෙහි කතා මාලා ලෙස විකාසනය විය. සිරිමාන්න නොකඩවා වැඩ කළේය. පසු කලෙක ඔහු ඉංග්‍රීසි අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යයෙකු බවට පත් විය. 

  ගුවන් විදුලියෙහි මෙවන් ශාස්ත්‍රීය වැඩසටහන් නිෂ්පාදනය මෑතක් වනතුරුම සිදු වී තිබේ. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාසනය නම් කෘතියද එසේ ගුවන් විදුලියට කළ වැඩසටහනක අතුරුඵලයකි. 1998 වර්ෂයේදී පළ වූ එය හොඳ පොතකි. 

  කෙළින්ම සාහිත්‍යය හා සම්බන්ධ නොවුණ තවත් එවැනි පොත්පත් රාශියක් ගුවන් විදුලි වැඩසටහන ආශ්‍රයෙන් බිහි වී තිබේ. ඒවා සියල්ල ගැන සඳහන් කරන්නට මෙහි අවකාශ නැත. මහාචාර්ය ජේ. බී. දිසානායකගේ තුම්පත් රටා වැඩසටහන් මාලාව ඇසුරින්ද පොත් කිහිපයක් බිහි විය.

  මට මෙහිදී අවශ්‍ය වූයේ නූතන සාහිත්‍ය විචාරය සකස් කිරීම පිණිස ගුවන් විදුලිය කළ දායකත්වය ගැන කියන්නටය.

   මේ ඉතිහාසය ගුවන් විදුලියට අමතකව ගියේ ඇයි? එන එන ආණ්ඩුවේ දේශපාලකයන්ගේ හෙංචය්යන්ට රස්සා දෙන තැනක් සේ භාවිත කිරීමෙන් ශ්‍රීලංගුවි සංස්ථාවත් ලංගමයක් බවට පත් වූ  නිසාද? එසේ පත් වූ දේශපාලන හෙංචය්යන්ගෙන් සැදි වෘත්තීය සමිති, වැඩසටහන්වල අන්තර්ගතය සහ තේමා පවා  තීරණය කළ හැකි කාලයක් පැමිණියේද? ආණ්ඩුවට හිතවත් ගුවන් විදුලි රියදුරුට පවා වැඩසටහන්වල අන්තර්ගතය තීරණය කරන කාලයක් ආවේද? රස්සාවට සංස්ථාවට එන යන අය මිස මෙකල රටෙහි පවතින බුද්ධිමය සංවාදයට හරවත් මැදිහත්වීමක් කළ හැකි මං නොදන්නා, ඒ බුද්ධිමය සංවාදය නොදන්නා පිරිසක් සන්නිවේදකයන් වූ නිසාද? තිලක් ජයරත්න වැනි අයගේ විශ්‍රාම යාමෙන් පසු වැඩක් කරන්නට හැකියාව ඇති අයට සහාය දෙන ඉහළ නිලධාරීන් නැති වූ නිසාද? නැති නම් මුඛරි වචන වෙළඳාම නම් බිස්නස් එකේදී පෞද්ගලික රේඩියෝවලට පැරද පසු බසින්නට ගුවන් විදුලියට සිදුවීද?

  අවුරුදු අනූපහක් ආයු වළඳා ඇති ලංකා ගුවන් විදුලිය තම ආයතනික ස්මරණ ගබඩාව පරික්ෂා කොට තම ආත්මය සොයා නොගන්නේ නම් ශතකය සම්පූර්ණ කරන දවසට ඉතිරිවන්නේ කුමක්ද? කොළඹ වටිනාම ඉඩම්වලටත්, ඒවා විකිණීමෙන් ලැබෙන කොමිස්වලටත් පෙරේත දේශපාලකයන්ගෙන් සැදි ආණ්ඩු පවතින මෙකල කොළඹ හතෙහි ස්ථානගත වී ගෞරවනීය වූ ශත වර්ෂයක ආයු කාලයක් සම්පූර්ණ කළ හැකිද? අනාගතය ගැන අවිනිශ්චිතතාවකින් තොරව දෙවෙනි ශතකය ආරම්භ කළ හැකිද?


   

3 comments: