Friday, May 14, 2021

සුෆි සහ සුජාතා(Sufi and Sujata) ගැන රාමසාන් රචනයක්- ලියනගේ අමරකීර්ති




   මැයි 12 වෙනිදා අධ්‍යාපනික කටයුත්තක් සඳහා විශ්වවිද්‍යාලයේදී මා හමු වූ මා මිතුරු ඉන්සාෆ් සලාහුදීන් මට මේ ලිපියේ මුලින්ම එන චිත්‍රය ත්‍යාග කළේය. ඉන්සාෆ් මහනුවර ප්‍රදේශයේ වාසය කරන තරුණ කලාකරුවෙකි. ඉතා මධ්‍යස්ථ මතධාරී ජනමාධ්‍යවේදියෙකි. මෙහි මුලින්ම එන චිත්‍රය ඔහු මිලට ගෙන ඇත්තේ තුර්කියෙහි කළ සංචාරයක් අතරය. එහි එන කැලිග්‍රැෆි හෙවත් චාරු ලේඛන මට වහා හඳුනා ගත හැකි විය. චිත්‍රයෙහි නිරූපණය වන්නේ කුමක්දැයි මට එතරම් පහසුවෙන් හඳුනාගන්නට ලැබුණේ නැත. පරීක්ෂාවෙන් බලන විට එහි සිටින නර්තන ශිල්පියා මට පෙනිණි. ඒ සුෆී නර්තන ඉරියව්වකි. අප වසන ලෞකික ලෝකයෙන් මඳක් ඉහළට එස වී දෙවියන් සමග ඒකාත්ම වන්නාක් වැනි ඒ නර්තන ඉරියව්ව ඉස්ලාම් සුෆි සම්ප්‍රදාය තුළ දැකිය හැකිය. මම ඉන්සාෆ් දුන් ඒ චිත්‍රය මගේ නිවසෙහි එල්ලීමි. 




    සුෆි මුස්ලිම්වරුන් ගැන කතාව තුළදී ඉන්සාෆ් මට සිනමා පටයක් නරඹන්නට යෝජනා කළේය. එය සුෆි සහ සුජාතා(Sufi and Sujata) නම් වේ.  ඩවුන්ලෝඩ් විශේෂඥයෙකු වන මගේ 18 හැවිරිදි පුතාට කියා  එදිනම ඒ සිනමා කෘතිය සොයාගෙන රාමසාන් රාත්‍රියෙහිම නරඹන්නට සිතාගත්තෙමි. ඊයේ හෙවත් රාමසාන් රාත්‍රියෙහි මටම වූ ඒ පොරොන්දුව ඉටු කළෙමි. මලයාලම් සිනමා කෘති වෙත විශේෂ ඇල්මක් ඇති මට මේ කෘතිය පෙනුණේ වෙනස්ම ආකාරයක කේරල නිර්මාණයක් ලෙසිනි.

  සුෆි යනු කවිය, සංගීතය, භාවනාත්මක චාරිත්‍රවිධි ආදිය වෙත නැමුණු ඉස්ලාමීය සම්ප්‍රදායකි. සුෆිවරුන්ගේ සන්‍යාසිමය ජීවිතය නිසා ඔවුන් ඉස්ලාමීය බෞද්ධයන් සේ හැඳින්වෙන අවස්ථාද මා දැක ඇත. මෙම සිනමා කෘතියෙහි එන්නෙ ග්‍රාමීය ඉහළ පාන්තික හින්දු පවුලක රූමත්, එහෙත් කතා කිරීමේ හැකියාව නැති, දියණියක වන සුජාතා තරුණ සුෆිවරයෙකු සමග පෙමින් වෙළෙයි. ආගමික සහ ජනවාර්ගික සීමා පැන දෙදෙනා තමාගේම ලෝකයක් සොයා පැන යන දවස එයි. එහෙත් පවුලේ එකම දියණිය වන ඇය ඒ තීරණාත්මක දවසේ ඒ පියවර නොගන්නට තීරණය කරයි. තම රෝසරිය හෙවත් ජපමාලය හෙවත් නවගුණ වැල ඔහුගේ ස්ථිර ආලයේ සංකේතයක් සේ ඇය සතු කර සුෆිවරයා ඒ සුන්දර කේරළ කඳුකර ගමින් නික්ම යයි. සුජාතා දෙමාපියන් විසින් සොයා දෙන උගත්, ඇයට වඩා තරමක් වයසින්ද වැඩි කෙනෙකු හා විවාහ වෙයි. ඒ විවාහයෙන් දස වසරකට පසු ඔවුන්ට පණිවිඩයක් ලැබෙයි. ඇගේ හදවතෙහි තවමත් ජීවත් වන සුෆි ආදරවන්තයා ගමට පැමිණ හෘදයාබාධයකින් මිය ගොස් ඇත. ඉන් පසු සිනමා කෘතිය ඒ දස වසර තුළ සුජාතාගේ ජීවිතය ගවේෂණය කරන අතරම දෙදෙනාගේ ආදර කතාවේ අතීතයද අප හමුවේ දිග හරියි.




  සුජතාගේ සැමියා ඇගේ සුෆි ආදර කතාව ගැන දනියි. භාෂාව කතා නොකරන ඇගේ හදවතෙහි තරුණ සුෆිවරයා ඒ දසවස තුළම ජීවත් වී ඇති බව සැමියා දනියි. ඇගේ සම්පූර්ණ ආදරය ඒ දසවස තුළ තමන්ට නොලැබුණ බව දැන දැනම ඔහු ඇයට ආදරය කරයි. මිය ගිය සුෆි ආදරවන්තයාගේ මළගෙදරටද ඔවුන් දැනට පදිංචි ඩුබායිහි සිට ඇය කැඳවාගෙන එයි.

   සුජාතා තම සැමියාට ආදරය කරන්නට පටන්ගන්නේ විවාහයෙන් දස වසරකට පසුව බව අපට පෙනෙයි. එනම්, තම ආදරවන්තයා ලබා දුන් ජපමාලය ඔහුගේ මිනීවලටම එක් කිරීමෙන් පසුව ඇයට තම සැමියා ආදරවන්තයෙකු ලෙස අපට පෙනෙයි.

  මේ කතාව අපට කියවෙන අතර දෙපැයක් දිග සිනමා කෘතියේ මලයාලම් සිනමාවට ආවේණික ඇතැම් ආඛ්‍යානමය කරකැවිලි ආදිය තිබේ.

  එහෙත් සුෆි සංගීතය පසුබිමින් ඇසෙන මන්දගාමී රිද්මයක දිවෙන මේ සිනමා කෘතිය අමුතුම ආකාරයේ සිනමා කෘතියකි. තරුණ සුෆිවරයා සේ රඟන දේව් මෝහන් ආකර්ෂණීය රංගනයක යෙදේ. සුජාතාගේ චරිතය රඟන ඉතා රූමත් අදිති රාඕ හයිදාරිගේ රංගනයක තරමක් ඒකාකාරී වේ.  එහෙත් දර්ශනීය කේරළ භූමි දර්ශනය තුළ ඇය මවන චරිතය ඒ පරිසරයේම කොටසක් සේ පෑහී අපට අහිමිව ගිය අවංක ආදර යුගයක් ගැන රමණීය චිත්තරූප ඇති කරයි. බයිසිකලයෙන් ඒ ගමෙහි පාරවල් ඔස්සේ ඇය යන ගමන්වල පවා අපගේම මතක අවුස්සන සිනමාරූපීත්වයක් සහිතය.



  අතිවිශිෂ්ට සිනමා කෘති නොවුණත් ඉතා අලුත් තේමා ගවේෂණය කරමින් ආකර්ෂණීය සිංහල සිනමා කෘති අපේ රටේත් නිපදවෙනු දකින්නට තවත් පරම්පරාවක් දෙකක් වත් බලා සිටින්නට සිදුවන බව පෙනේ. කේරලයටත් ඉතා දියුණු සිනමා සිනමා සංස්කෘතියක් හදාගන්නට තිබුණු අපට එය වැරදී ගියේ ඇයි? එක අතකින් අපට වැරදී නොගියේ මොනවාද? 


1 comment:

  1. දැනුවත් කිරීමට ස්තුතියි .

    ReplyDelete