වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ අලුත්ම කවි පොතේ නම මට දුර ද මල් පිපෙන හදවත. ඒ ඔහුගෙ හය වෙනි කවිපොත. කොරෝනා එන්න කලින් අනික් සහෝදර ලේඛක ලේඛිකාවන්ගෙ පොත් දොරට වැඩුම් සම්මන්ත්‍රණවලට කාලය, ධනය වැය කරගෙන දුර ඈත පවා ගිය ඔහු පියංකාරගේ බන්දුල ජයවීර වගේ අනික් සාහිත්‍ය මිතුරන් වෙනුවෙන් කැපවුණු කෙනෙක්. දැන් සූම් මගින් නිරෝෂ ප්‍රනාන්දු එක්ක සතියකට පැය ගාණක් අර වගේම වැඩ. ඒ සූම්ටුපොයම් වැඩසටහන් තුන හතරකට වැඩිය මම දැකලා නෑ. එකකවත් අවසන් වෙනකල් ඉඳලත් නෑ. ඒත් යම් කිසි පිරිසක් අතර සාහිත්‍ය ගැන උනන්දුවක් මේ වැඩසටහන නිසා පවත්තගෙන යන්න හැකි වෙලා තියෙනවා. ඊට සමාන වැඩ සටහන් ඊට පස්සෙ පටන්ගත්ත කාටවත් එහෙම අඛණ්ඩව කරගෙන යන්න බැරි වුණේ වසන්ත, නිරෝෂ වගේ අය එහෙම ලේසියෙන් හොයාගන්න බැරි නිසා.
නිවුන්හැල්ලගේ පොත් සියල්ල මම කියවලා තියෙනවා. මේ අලුත්පොත දක්වා ඔහු ටික ටික වැඩෙනවා. වසන්තම කියන විදියට ඔහු ඒ පරම්පරාවෙ දක්ෂම කවියා නෙමෙයි. නිවුන්හැල්ල කියන්නෙ කුමාර හෙට්ටිආරච්චි, ටිම්රාන් කීර්ති, වෙඩිවර්ධන, රුවන් බන්දුජීව, ලක්ශාන්ත, සුහර්ෂණී වගේ ප්‍රබල ස්වභාවික කවිකමක් දක්වන කෙනෙක් නොවන්න පුළුවන්. ඒ වුණාට කවිය ඇතුළෙ දිගටම ඉගෙනගනිමින්, ආත්ම විචාරාත්මකව වැඩ කළොත් එහෙම කෙනෙකුට වුණත් යම් ප්‍රවීණත්වයක් කරා යන්න පුළුවන්. සමහර අවස්ථාවල ඉතා ප්‍රබල ස්වභාවික කවිකමක් තිබුණ කවියො ක්ෂේත්‍රයේ පූර්ණ ප්‍රවීණත්වයක් කරා ගියෙ නෑ. ධර්මසිරි රාජපක්ෂ ඒ වගේ කෙනෙක් කියලා මට හිතෙන්නෙ. තව අය මතුවෙලා ඒ අයගෙ කවිය තේරුම්ගන්නත් කලින් මැකිලා ගියා. රත්නශ්‍රී විජේසිංහත් ඒ වගේ ස්වභාවික වශයෙන්ම කවිකමක ශක්ති කදම්භ තරුණ කාලෙම විහිදපු කෙනෙක්. පරාක්‍රම වුණත් එහෙමයි. ආරියවංශ රණවීර කියන්නෙ එහෙම කෙනෙක් නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරලා කවියෙක් වුණ කෙනෙක්. මේ දෙකම ඕනෙ. ගුණදාස අමරසේකර කියන්නෙ ඉතා තරුණ කාලෙ පුදුම ස්වභාවික කවි ශක්තියක් පෙන්නපු, ඒක අධ්‍යයනයෙන් පෝෂණය කරගත්තු කෙනෙක්. අමරසේකර හරියට 50 දශකයෙ ටිම්රාන් කීර්ති වගේ. කාව්‍ය විලාසෙන් නෙමේ. ස්වභාවික කවි ශක්තියෙන්. නමුත් ඒ කවියෙ වැඩීම අසූව දශකයෙ මුල වෙනකොට නතර වෙනවා. සිරි ගුනසිංහ වගේ කෙනෙක්ගෙන් පේන්නෙ ස්වභාවික කවි ශක්තියකට වඩා බුද්ධිමය වශයෙන් හිතල මතල අත්පත් කරගත් එකක්. ඉගෙනගත්තු කවියෙක්.
ආනුභාවයේ ආදීනව
තමා ගැනම ආත්මපරීක්ෂාවකින්, තමාගේ සීමිත ප්‍රතිභාව හැඩ ගස්ස ගන්න අඛණ්ඩව වැඩ කරන්නත් ඕනෙ. නිවුන්හැල්ලගෙ කවි කාලෙයක් තිස්සෙම පෙන්නුවෙ නන්දන-රණවීර බලපෑම. මේ පොතෙත් ඒක දකින්න පුළුවන්. ගහක්, ගලක් වගේ ස්වභාවික වස්තුවක් ගැන කවියා කතා කරන්න පටන්ගන්න කොටම අපි දන්නවා ඔන්න මොකක් හරි භාවනාත්මක නිරීක්ෂණයක්, අර ගහ හෝ ගල ඉක්මවන නිරීක්ෂණයක් මග එනවා කියලා. අපි දැන් ඒ කවිය අවුරුදු විස්සක් විතර කියවල, ඒකෙන් අපේ කවි හද චමත්කාර කරවන්න, අපේ අත්වල රසික රෝමකූප අවදි කරවන්න අමාරුයි. කවියාගේ කලා ප්‍රයෝගය අපිට කලින්ම පේනවා. එතකොට දක්ෂ බොක්සිංකාරයෙක් ප්‍රතිවාදියව කොණකට තල්ලු කරල උඩින් පන්ච් එකක් දෙන අතරෙ අනපේක්ෂිත මොහොතක අපර්කට් එකක් දෙනවා වගේ අපිව අනාරක්ෂිත වෙන්නෙ නෑ. අපිව ප්‍රහාරයට අනාවරණය වෙන්නෙ නෑ. කවි රසවින්දනය කියන්නෙ බොක්සිං තරගයක් නෙමේ. ඒත් කවියාගේ ප්‍රාබල්‍යය ඉදිරියේ අපිව අනාරක්ෂිත වෙනව දකින්න අපි ආසයි. කවියා දන්නෙම නැතුව අපේ තර්කයේ ආරක්ෂා වැට ගලවල අපේ ජලාශයක් වන් විඥානයට කවි පද පහර දෙනවා විඳින්න අපි ආසයි. ඒක හරියට ආදරය ඉදිරියේ අපේ සංස්කෘතික, තර්ක, සදාචාර ආරක්ෂණ පවුර ඉරිලා ආදරවන්තයා හෝ ආදරවන්තිය දන්නෙම නැතුව හදවත ඇතුළට ආදරේ අරන් වගේ. “මට මදිරා නොදී මා ඉන් මුදාගෙන, අද ඇය සුරා සොඬෙකුගෙ පා යුග සිඹින” කියල නන්දන නිකැලැල් මුහුණෙදි එක පාරට කියන කොටත්, “වැව් පිටිවල වෙල් එළිවල රැඟූ මට, නිළියක ලෙසින් මිය ඇදුණත් කමක් නැත” කියල අර ගමෙන් උපන් නිළිය කවියෙදි එරික් කියන කොටත්, “ඒ බර දැයට නැත්තේ ඇයිද සකියනේ” කියල අර අම්බලම කවියෙදි ධර්මසිරි අහනකොටත් අපිට දැනෙනවා අපේ තර්කයේ ආරක්ෂණ වැට කඩාගෙන කවියා අපේ ගැඹුරුම පැවැත්ම ඇතුළට ඇවිල්ල කියලා. මයිල්ස් ටු ගෝ බිෆෝ අයි ස්ලීප්, මයිලස් ටු ගෝ බිෆෝ අයි ස්ලීප් කියල ෆ්‍රොස්ට් කියනකොටත් අපිට ඒක දැනෙනවා. මේ කවි පද මගේ අභ්‍යන්තරික පැවැත්ම ඇතුළට කොච්චර කා වැදිලද කිව්වොත් මම මේ ටික ඔක්කොම ලිව්වෙ කටපාඩමින්. තවත් එහෙම ඒව තියෙනවා අමතක නොවන.
නිවුන්හැල්ලගෙ පොතෙත් තෝරාගත්තු විෂය ගැන කාව්‍ය-දාර්ශනික භාවනාව තියෙනවා නිතරම. ඔහු යන්නෙ ඒ පාරෙ කියල කලින්ම පේනවා. එහෙම කවි ඒ නිසාම නරක නෑ. පහත එන වගේ කවියකදි අපිව චමත්කාර විස්මයකට හෙළන්න කවියාට බැරිව යන්නෙ අර නන්දන-රණවීර ශිල්පක්‍රමය අපි කලින්ම දන්න නිසා.
වන මැද සිට
යෝධ මුල් විහිද ගිය
විසල් තුරු සෙවණක
දුඹුරු පත් පලසේ වැතිරෙමි
ඉහළ
දසනුදස විහිද ගිය
අතු පතර ඈත් මෑත් ව
පෙන් වන
විසල් අහස
විහඟ පිළිරැව්
මතු වෙයි
නුදුරේ ගලන
fදාළ දෑල
නුදුරු තුරු බඳක
කෑ ගැසූ
රැහැයියකු
සමවදියි
නිහඬ දැහැනට
සුළඟක් පැමිණ
වියළි තුරුපත් රැගෙන යයි
ඈතට
පෙකණි වැලකින්
කිසිවකු හා
බැඳුණු සේ දැනෙයි
මේ මහා වන මැද
මේ කාව්‍ය අත්දැකීම අපි කලිනුත් විඳලා තියෙනවා වගේ දැනෙනවා. නමුත් පෙකණි වැලකින් කිසිවකු හැ බැඳුණාක් සේ දැනීම පිළිබඳ සංකල්ප රූපය ප්‍රබලයි. මමත් වනගත තැන්වල ඇවිදින්න යනකො, විශාල ගස් ළඟට යනකොට ඒ පරිසරය සමග ආදිකල්පික බැඳීමක් තියෙනවා වගේ දැනෙනවා. අගඤ්ඤ සූත්‍රයේ ආකාශචාරියා මුල් වරට වැටෙනකොට මේ ගහ තියෙන්න ඇති කියලා හිතෙනවා. ඇඩම්ගේ ඉල ඇටය ඊව් බවට හැරෙන තැන මේ ගහ තියෙන්න ඇති වගේ දෙයක් හිතෙනවා. වනාන්තරවල ඒ ගුණය තියෙනවා. ගාර්සිය මාර්කේස් දකුණු ඇමරිකාවේ තියෙන මේ ආදිකල්පික, පුරාණෝක්තිමය පරිසරය ගැන නොයෙක් වර කතා කළා.
කවියේ කවිත්වයයි කවියාගේ චින්තනයයි තෙලුයි වතුරයි වගේ නැතුව තියෙන වෙලාවට කවිය මිහිරියි. ඒ කියන්නෙ අදහස සංකල්පරූපයක් ඇතුළට කිඳී ගිහිල්ලා තියෙනකොට, බෙල්ලා ඇතුළට ගිය මුතු ඇටේ වගේ. තොලින් තොල බැඳුන මිහිරි ආදර හාදුවක් වගේ. චින්තා දෙතොල චිත්තරූප දෙතොල. නිවුන්හැල්ලගෙ අලුත් කවිවල චින්තාව චිත්තරූපයක් තුළට හික්මවන්න දරන තැත අගෙයි. එහිදී ඔහු ඇත්තටම ලොකු පියවරක් තියපු තැන් තියෙනවා. මේවා කවිය හඬ නගා කියවා පෙන්නල දෙන්නම තිබුණා නම් ලේසියි.
නිවුන්හැල්ල ගස්, මල්, ගංගා ආදිය ගැනම නෙමෙයි ලියන්නෙ. අපේ දෛනික මිනිස් පැවැත්මේ පුදුමාකාර සරලකම ඇසුරින් සමස්ත මිනිස් තත්ත්වයක් ගැන ඉඟි ඔහු මතු කරනවා. ඒක හරියට තනි වැකියක් ඇසුරින් මුළු භාෂාවක තතු කියනවා වගේ. තනි ගැහැනිය ස්ත්‍රීත්වයේ ප්‍රකාශිකාව බවට ඔසවනවා වගේ. තනි මලක පරවීම සමස්ත විපරිණාමට බවට විශාලනය කරනවා වගේ. හැබැයි මේ වැඩේදි පරිස්සම් විය යුතු තැනක් නිවුන්හැල්ල දන්නවා. අපි මෙහෙම හිතමු. තනි ස්ත්‍රිය සමස්ත ස්ත්‍රීත්වය බවට විශාලනය කිරීමේ අනතුරකුත් තියෙනවා. ස්ත්‍රිය ලෝකය තුළ පවතින්නෙ තනි ගැහැනු විදියට. සෝමා, ශාලීනි, විද්‍යා, මනම්පේරි විදියට. බිරිඳ, සේවිකාව, පෙම්වතිය විදියට. ඇයට ලැබෙන ජීවිතය ඒ නිශ්චිත ස්ත්‍රියගේ ජීවිතය. ඒ ජීවිතය සමග එන පීඩාව සහ ප්‍රීතිය එන්නෙත් නිශ්චිත ජීවිතයක් විදියට. ඇය ඉන්නෙ නිශ්චිත සංස්කෘතියක, නිශ්චිත පන්තියක, නිශ්චිත ඓතිහාසික අවස්ථාවක. ඒ නිසා ඒ නිශ්චිත තැන ගැන අවාධානය නැතිව ඇය සර්වකාලීන ස්ත්‍රිය හැටියට ඔසවන එක වැරදියි කියන්නත් පුළුවන්. මේ දෙක අතර සියුම් ගනුදෙනුව සාහිත්‍යකාරයාට කරන්න වෙනවා.
පහත එන්නෙ නිවුන්හැල්ලගේ තව කවියක්. ඒකෙ නම පන්ති කාමරයක දී
ළඟට විත් ගණිත පොත පෙන්වන වෙලාවට
ඔබෙ සුරත ඉබේට ම දුවනව ද?
මල් බඳුන වෙත
මලක පෙති අතගාන අතර ඔබ
හරි වැරදි දානවා පොතේ මම
වෘත්ත, චතුරශ්‍ර හා තවත් තල රූප
ගැන පමණි කතා කළ හැක්කේ අපට
විෂය නිර්දේශයෙන් එපිට වැඩි ඈත
යන්න හොඳ නෑ පමාවෙයි පාඩම අපට
ගුරු මේසෙන් ඈත් වී යන්න පෙර
මඳක් එහෙමෙහෙ කරයි ඔබ මල් බඳුන
ඔබ නතර වූ පසුත් ඔබට නියම තැන
සිනිඳු මල් පෙති සැලෙයි මල් බඳුන තුළ
මේ මම අර කලින් කියපු නිශ්චිත අවස්ථාව සහ එහි උත්තර-නිශ්චිතතාව දෙකම අහුවෙන තැනක්. ඒක බර වැකියක්. පැහැදිලි කරන්න කම්මැලියි.
මේ කවිය හරි ගැඹුරුයි. මේ පන්ති කාමරේ ගුරවරයෙක් හා ශිෂ්‍යයෙක් ඉන්නවා. ශිෂ්‍යාවක් වෙන්නත් පුළුවන්. පාඩමේ ස්වභාවය හැටියට තව යොවුන් ශිෂ්‍යාවක් වෙන්න බෑ. ඒ නිසා මෙතන රොමෑන්තික මානයක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ පොඩි කෙල්ලක් කියල හිතන්න මම කැමතියි.
ඒ ශිෂ්‍යාව ගණිත පොත තමයි පෙන්නන්නෙ. ඒව ගැන විතරයි කතා කරන්න අවසර තියෙන්නෙ. ඒ කෙල්ල මල් බඳුනෙ සුන්දරත්වය දකිනවා. ඒක ගුරුවරයත් දන්නවා. නමුත් ඒක විඳින්න, ඒ ගැන කතා කරන්න බෑ.
ඔබ නතර වූ පසුත් ඔබට නියම තැන
සිනිඳු මල් පෙති සැලෙයි මල් බඳුන තුළ
කියල කවියා කිව්වම ඒ මල් බඳුන චිත්තරූපයක් වී මේසය උඩින් ගැලවී රසික විඥානය කරා පාවෙනවා. හොඳ කවිය එහෙම තමයි. දෘඪ වස්තුව එහි දෘඪ පැවැත්මෙන් ගලවලා රූපකමය පැවැත්මකට ගන්නවා. මේක මම ප්‍රබන්ධ කථාවෙනුත් කරන්න තැත් දරන නිසා මම ඒක දන්නවා. හැබැයි කවියෙදි මේ වැඩේ ලේසියි. ඒ විතරක් නෙමේ අත්‍යවශ්‍යයි.
අච්චුවලට, රාමුවලට දාන ලද ජීවිතයේ විවිධ කලාප ගැන මේ පොතේ කවි කීපයක් තියෙනවා.
දැන් මේ රචනාව දිගයි. මට තවත් ටයිප් කරන්නත් කම්මැලියි. ඒ නිසා තව එක දිග කවියකුත් කෙටි කවියකුත් විතරක් කියවමු.
පිස්සා
“මම ඔයාට කිව්වෙ නින්ද යනකං ඔයාගෙ හිස පිරිමදින්න ආසයි කියලා.
මං කවියෙක් කියල දැනගෙනත් ඔයා ඇහුවා ඔයාට පිස්සුද කියලා.”
මට හොඳට මතකයි
මං බාල කාලේ
ගමේ සිටි පිස්සෙක් ගැන
කොතැනක හරි ඉඳගෙන
ඉර බසින දෙස බලාගෙන
හයියෙන් හිනාවෙන
ගෙදර යන විට
හමුවන
ඕන කෙනෙකුගෙන්
බීඩියක් ඉල්ලන
පරමලක් අරගෙන
ජෝතිගෙ සින්දුවක් කියමින්
අඩි පාරවල්වල ඇවිදින
පරමල නොපෑගෙන විදිහට
ගසක ඉත්තක රඳවන
ආපසු ගෙදර යන විට
හමු වන
ඕන කෙනෙකුගෙන්
බීඩියක් ඉල්ලන
වැව් දියේ පාවෙන
වළාකුළු දෙස බලමින්
හය්යෙන් හිනාවෙන
ආපසු යන්න ඉස්සර
එබී වැව් දියට
ඇතැඟිලිවලින්
ඔළුව පීරන
ආපසු ගෙදර යන විට
හමුවන
ඕන කෙනෙකුගෙන්
බීඩියක් ඉල්ලන
කවිය පටන්ගන්නෙ සැබෑ ලොවෙන් ගත් උද්ධෘතයකින්. ඒ උද්ධෘතය අපට කියන පිරිමියා ස්ත්‍රියකට කියලතියෙනවා එයාට නින්ද යනකල් හිස කෙස් අතගාන්න ආසයි කියලා. ඒක වාච්‍යාර්ථයෙන් අරගත්තු ගැහැනිය අහල තියෙන්නෙ පිස්සුද කියලා. සමහර විට ඇය කවි බස නොතේරෙන ස්ත්‍රියක් හෝ යාන්ත්‍රික ස්ත්‍රිවාදිනියක් වෙන්න පුළුවන්. නැත්නම් රොමෑන්තික උපකාරය පිළිගන්න බැරි ව්‍යුහයක ඇය ඉන්නවා වෙන්න පුළුවන්. ඒක විවාහය වැනි ආයතනික ව්‍යුහයක් වෙන්නත්, සදාචාරය වැනි දෘෂ්ටිවාදී ව්‍යූහයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ව්‍යුහයක ඉන්න ස්ත්‍රියකගෙ හිස පිරිමැදීම ආදරයේ කොතරම් සුන්දර මොහොතක් වුවත් "පිස්සු"වැඩක්. ඇය 'පිස්සුද' කියල අහන්නෙ මේ කථකයාට පිස්සුද කියන එකම නෙමේ. 'මේ වගේ පිස්සු සමාජයක ඔය විදියෙ ආසාවක් හිතෙන එක පිස්සුවක් මිතුර ' කියන එක වෙන්නත් පුළුවන් ඇය අඟවන්නෙ.. ව්‍යුහගත ජීවිතය කියන්නෙ සුන්දරම සිතිවිලි, අහිංසකම ආසාවල් යනාදියේ ඝාතකාගාරය.
ඒ නිසා ඉන්පස්සෙ කවියෙ පිස්සා ඉල්ලන බීඩිය හුදු බීඩියක්ම නෙමේ. රූපකයක්. අර වගේ රොමෑන්තික, අහිංසක ආසාවල, එතරම් අහිංසක නැති ආසාවල සංකේතය.
දැන් මම අර ඔබට පොරොන්දු වුණ කෙටි කවියට යන්නම්
බස්සියකට
රැය පැහැතිය
ඔබ දමා ගිය
පියාපත
අහුලාගත් බැවිනි
දන්නේ
මේ සිනිඳු බව ගැන
නුඹ
නිශාචර යැයි
දකින ලෝකය
නොදකිති
රැය පැහැ පියාපත
මේ තරම් සිනිදු බව
මට නම් මේක මිහිරි කවියක්. මම දන්න එහෙම බස්සොත් බස්සියොත් ඉන්නවා.
කොටු කොටු ගැසූ ජීවිතවල සුන්බුන් බව අල්ලන කවි කිහිපයක්ම නිවුන්හැල්ලගෙ අලුත් පොතේ තියෙනවා. මගේ දීප්තිමත් ශිෂ්‍යාවක් එක සැරයක් කිව්වා මේ වගේ ජීවිත "පැලෑනෙන් වෙන් කළ ඉඩම්" වගේ කියලා. නිවුන්හැල්ල පැලෑනෙන් වෙන් කළ ජීවිත-ඉඩම් ගැන කවි කිහිපයක් ලියනවා. ඒවා ඔය ඉඩම්වලින් එළියට ඇවිත් හොයාගන්න කියල මම ආරාධනා කරනවා.
විචිත්‍රත්වය
තවත් ටිකක් සංරචනමය විචිත්‍රත්වය සහිත කවියක්, ඔහුට හසු වී ඇති තමාගේම වූ කවි මග තවදුරටත් හදාවඩාගත් කවියක් අනාගතේ දකින්න මම ආසයි. තමාගේම වූ වාග්මය සූර්යග්‍රහමණ්ඩලයකට අපිව ගෙනියන්න පුළුවන් වෙඩිවර්ධන හෝ ටිම්රාන් කීර්ති වගේ කවියෙක් නෙමෙයි නිවුන්හැල්ල. ඒ නිසා භාෂාවෙන් අත්පත් කර නොගන්න විචිත්‍රත්වය සංරචනයෙන් ගන්න වෙනවා. ඉලයප්ආරච්චිගෙ මෑත කවි කියවද්දි පහේ පන්තියේ සිට දහයෙ පන්තිය දක්වාම දෙවරක් චක්කරේ විතරක් කටපාඩං කරවන දරදඬු ගුරුවරයෙක් වේවැලක් අරන් හිටගත්තු පන්ති කාමරේක ඉන්නවා වගේ දැනෙන්නෙ ඇයි කියල හිතන්න ඕනෙ.
දැනටමත් සතියකට පැය ගණනක් අනික් කවීන් වෙනුවෙන් වැය කරන නිවුන්හැල්ලගෙ පොත වෙනුවෙන් පැයක් හමාරක් ගත කරල මේ රචනය ලියන්න හිතුවෙ ඔහුගෙ කවිය ගැන විතරක් ලියන්න නොවන වග රචනයේ මේ හරියට ආපු ඔබ දන්නවා. එහෙම ආවට ස්තුතියි.
තමන්ගෙ කවියක් ගැන ලියන ටිකක් විතරක් කියවන සමහර කවියො මේවා නොකියවන බවත් මම දන්නවා. ඒකත් එක හේතුවක් ජීවිතේ අග්ගිස්සෙදිත් හොඳ කවිය මොකක්ද කියල හොය හොය සැරිසරන ප්‍රවීණත්වයක් කරා බොහෝ තරුණ කවියන් නොයාමට. විශ්වවිද්‍යාලවල ඉඳගෙන කවිපොත් ගහල අංශාධිපතිල, පීඨාධිපතිලා, උපකුලපතිලා ඉදිරියේ පොත් වන වනා උන්න බොහෝ දෙනෙක් දැන් කවිය අහළපහළකවත් පේන්න නැත්තෙ ඒකයි. මේවා අමාරු ගමන්. හිමින් හිමින් අපි ඒ ගමන යමු නිවුන්.
හරිම අපුරැයි.මෙි වගේ විචාර සමිප්‍රදායී ලෙස නොවී හෘදයාංගම ඉදිරිපත් කිරීම
ReplyDeleteභාෂා විලාසිතාවට මම කැමතියි.
නිවුන්ගේ කවිය ගැන සියුම් නිරීක්ෂණ සහිත කියවීමක්.
ReplyDeleteමේක හොද කියවීමක් සර්..වඩාත් රස තැන් කිහිපයක් තිබුණා...
ReplyDelete" මම ඔයාට කිව්වෙ නින්ද යනකං ඔයාගෙ හිස පිරිමදින්න ආසයි කියලා.
මං කවියෙක් කියල දැනගෙනත් ඔයා ඇහුවා ඔයාට පිස්සුද කියලා.” මේ කොටස මාව කණපිට හරවලා පොලේ ගැහුවා වගේ හැගීමක් මතු කලා...
නිවුන්ගේ පොත තුලින් කෙරෙනඉතාම වැදගත් කාව්‍ය පිරික්සුමක්. ඇත්තටම කවි රස විඳීමට මෙවැනි විචාරාත්මක ඉදිරිපත් කිරීම් ඉතාම වැදගත් වෙනවා. මහාචාර්‍ය ලියනගේ අමරකීති ශූරීන් මේ යුගයේ කවීන්ට විශාල දිරියක්.
ReplyDeleteආදරෙයි
ReplyDeleteඉතා සමබර කියවීමක් සර්.
ReplyDeleteබොහොම වටින අදහස් සර්.අහුලා ගන්න බොහෝ දෑ අපට.ස්තුතියි සර් .
ReplyDelete