Wednesday, August 18, 2021

ජනශ්‍රැති ක්ෂේත්‍රයේ න්‍යායික නියඟයට පොද වැස්සක් හෙවත් සුනන්දා ප්‍රේමසිරිගේ පොත් - ලියනගේ අමරකීර්ති

 

 



          

   අචාර්ය සුනන්දා ප්‍රේමසිරි ලංකාවේ ජනශ්‍රැති අධ්‍යයන ක්ෂේත්‍රය පොහොසත් කරන්නට කරන මැදිහත්වීම කොරෝනා වසංගතයෙන් වැසීයාමට ඉඩ දිය යුතු නැත. ජනශ්‍රැති විද්‍යා පර්යේෂණය: න්‍යායික සහ ප්‍රායෝගික භාවිත යනුවෙන් 2019 දී පොතක් පළ කළ ඇය, සිංහල ජනශ්‍රැති අධ්‍යයනය: ඓතිහාසික සහ සමකාලීන සම්මිශ්‍රිත අධ්‍යයන ප්‍රවේශය යනුවෙන් 2020 දීද පොතක් පළ කළාය. මේ පොත් දෙකම එම විෂය සම්බන්ධයෙන් ලංකාවේ නිතර පළ නොවන වර්ගයේ පොත්ය. පළමු වැන්න සරසවි ප්‍රකාශනයකි. දෙවැන්න විදර්ශන ප්‍රකාශනයකි. දෙවැනි පොතෙහි පිට කවරය පවා ජනශ්‍රැති අධ්‍යයනයෙහි පවතින ගූඪ අතීතකාමයෙන් සහ අවිචාරාත්මක ග්‍රාමීයවාදයෙන් ඉවතට ගනියි. ජනශ්‍රැතියෙහි ස්වභාවික අඩවිය ගම හෝ අතීතය නොවේ. ජනයා සිටින තැන කොතැනද එතැන ජනශ්‍රැතිය ඇත. ජනශ්‍රැතිය සොයන්නට කැබිතිගොල්ලෑවේ මිස සොයිසාපුරේ හෝ ගුණසිංහ පුරේ නොයාම අපේ ජනශ්‍රැති අධ්‍යයනයෙහි දුප්පත්කමෙහි ලක්ෂණයකි. සොයිසා ෆ්ලැට්ස්වලද ජනශ්‍රැතිය ඇති බව සුරත්ද මැල්ගේ තී හා තා නම් මනරම් නවකතාව කියවන අය පෙනේ. 


 ජනශ්‍රැති අධ්‍යයනය වෙත විචාරාත්මක යථාර්ථවාදය යළි ගෙන ඒමේ තැතක්ද ආචාර්ය සුනන්දා ප්‍රේමසිරිගේ  පොත්වල දැකිය හැකිය. 

   ජනශ්‍රැතිය යැයි අප හඳුනා ගන්නා දෙයින් ගත් අංගයක් දෙකක් අතිවිශාලනය කොට වර්තමාන ගැටලුවලට සරිසලන විසඳුමක් සේ ඉදිරිපත් කිරීම ජනශ්‍රැති ක්ෂේත්‍රයෙහි නිතර දැකිය හැකිය. එය ජනශ්‍රැති අංගවලට විශාල හානියක් විය හැකි ප්‍රවේශයකි. මින් මිදෙන මං ඉඟි කරන්නට ආචාර්ය ප්‍රේමසිරි සමත් වෙයි. 

                                   සන්දර්භයක් තුළ ජනශ්‍රැති අංග අධ්‍යයනය


   විසිවෙනි සියවසෙහි මුල් කාලයෙහි අපේ ගැමි සංස්කෘතිය ගැන කරන ලද පර්යේෂණ පොතපත කියවද්දී දැනෙන විශේෂ ගුණයක් තිබේ. ඒ බොහෝ අධ්‍යයනවල අතීතය උත්කර්ෂණය කිරීම හෝ ස්වයං-සංස්කෘතික උත්කර්ෂණය හෝ දකින්නට නැත. ඒවාගේ බොහෝ විට දැකිය හැක්කේ අදාළ සංස්කෘතික අංගය පොදු මානව සංස්කෘතියෙහි කොටසක් ලෙස හැදෑරීමය. අහවල් අහවල් දේ සම්බන්ධයෙන් අපේ සංස්කෘතියෙහි පැවති දේ මේවාය. ඒවාගේ මේ මේ වැදගත්කම තිබේ යනාදී වශයෙන් කියවුණත් අපේ මේ දේ අප දිගටම පවත්වාගෙන ගියා නම් අපට මේ දේ වෙන්නේ නැත වැනි නිගමන ඒවාගේ දැකිය නොහැකිය. ඒ නිසා “ගොං කරත්ත නම් අපේ සංස්කෘතික අංගය පවත්වාගෙන ගියා නම් මහා මාර්ග මෙතරම් වියදම් කරන්නටත්, මහපාරවලට මෙතරම් ඉඩම් නාස්ති කරන්නටත්, ප්‍රවාහනය වෙනුවෙන් මෙතරම් පරිසර හානියක් කරන්නටත්, පොසිල ඉන්ධන වෙනුවෙන් මෙතරම් ණය වෙන්නටත්, කාබන් මොනොක්සයිඩි විමෝචනය මගින් මෙතරම් වායු ගෝලය දූෂණය කරන්නටත් සිදුවන්නේ නැත” වැනි නිගමන එකල දකින්නට නැත. ගොං කරත්ත යුගය අවසාන වීම ඓතිහාසිකව වටහා ගැනීමකුත්, ඒ කරත්ත සංස්කෘතිය තුලනාත්මකව සහ සන්දර්භ ගතකොට අර්ථ කථනය කිරීමකුත් ඒ අධ්‍යයනවල දැකිය හැකිය. 

      

    මහාචාර්ය රැල්ෆ් පීරිස් වැනි කෙනෙකුගේ අධ්‍යයනවල මේ ලක්ෂණය හොඳින් දැකිය හැකිය. 1956 වර්ෂයේදී සාම්ප්‍රදායික සංස්කෘති ගැන විශ්වවිද්‍යාලය මගින් කළ Some Aspects of Traditional Sinhalese Culture  සමුළුවෙහි ඉදිරිපත් වූ පත්‍රිකා මේ අතින් ඉතා වැදගත්ය. එම සමුළුවට එකල සිටි දීප්තිමත් ශාස්ත්‍රාලිකයෝ ලිපි ඉදිරිපත් කළහ. ඒ අවධියේ සංස්කෘතික බුද්ධිමය තාරකා වූ ආචාර්ය සරච්චන්ද්‍ර සහ සිරි ගුනසිංහද ඊට ඇතුළත් වූහ. ඒ සමුළුවේ ආ පත්‍රිකාවල දී සාම්ප්‍රදායික සංස්කෘතික අංග නැතිව යන්නේ ඇයි සාම්ප්‍රදායික සංස්කෘතික අංග සියල්ල දිගටම පැවතිය යුතුද සංස්කෘක පුනරුදය යනු ඒ සියල්ල නැතිව යා නොදී අල්ලාගෙන සිටීමද යන ප්‍රශ්න ඇසිණි. ආචාර්ය සිරි ගුනසිංහගේ පත්‍රිකාව මහනුවර යුගයේ චිත්‍ර කලාව ගැනය. මහනුවර චිත්‍ර යැයි නම් කළ හැකි ශෛලිය සහිත සජීවී චිත්‍ර කලාවක් නැති බවත්, පැවතියත් ඒවා ගුණයෙන් ඉතා පහළ බවත් ඔහු දකියි. ඒ සීමාවලට හේතු දක්වයි. උඩ රට නැටුම වැනි දේට පැවැති සංචාරක ආකර්ෂණය වැනි දෙයක් උඩ රට චිත්‍ර කලාවට නැති බැවින් අනුග්‍රහය අඩුවී යාම ගැන ඔහු සාකච්ඡා කරයි. එනම් උඩ රට චිත්‍රයට විසි වෙනි සියවසේ මැද වන විට සජීවී සංස්කෘතික කාර්යක් නැතිව යයි. එහි අභාවය එහෙයිනි. ඔහු මෙවැනි යෝජනාවක් කරයි: ඒ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගත හැකි දක්ෂ ශිල්පීන් ටික දෙනෙකු පුහුණු කිරීම උචිතය. ඊට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයයි. 

   උඩරට සෑම පාසලකට උඩරට චිත්‍ර උගන්වා උඩරට සියලු දරුවන් උඩරට චිත්‍රශිල්පීන් බවට පත් කරන්නට සිරි ගුනසිංහ යෝජනා කරන්නේ නැත. සාම්ප්‍රදායික සංස්කෘතික අංග පිළිබඳ ශාස්ත්‍රාලිකයාගේ මෙම මධ්‍යස්ත වූද යථාර්ථවාදී වූද ආකල්පය ටික ටික වෙනස් වන්නට පටන් ගනියි. 1980 ගණන් පමණ වන විට ජනශ්‍රැති අධ්‍යයනය නමින් විශාල වශයෙන් පොතපත පළ වන්නට පටන්ගන්නා අතර ඒවාගේ අතීතයද, ජනශ්‍රැතිය යැයි ඒ කතුවරුන් දකින දේ උත්කර්ෂණය කිරීමද ආරම්භ වෙයි. ඒ වන විට රටේ පවතින සංස්කෘතික ජාතිකවාදී පරිසරය නිසා මේ උත්කර්ෂණයට මනෝභාවී සහායක්ද ලැබේ. ඒ නිසා අපේ සංස්කෘතිය තුළින් ගලවා ඉවතට ගත් ඇතැම් අංග වර්තමාන ඇතැම් ගැටලුවලට විසඳුම් සේ ඉදිරිපත් කෙරේ. “නිරෝධායනය අපිට අලුත් දෙයක් නොවේ. අපි ඉස්සර කොහොඹ අතු එල්ලුවා” යනාදී වශයෙන් කොරෝනා පැරණි රැල්ලේදී ආරම්භ වූ ජනප්‍රිය කතිකාව ධම්මික පැණියද ගඟට මුට්ටි දැමීම දක්වා වර්ධනය විය. ඒ ඒ අය පුදුමාකාර වශයෙන් මුදල් ඉපයූ බවත් වාර්තා විය. දැනටත් කොරෝනා බෙහෙත් යනුවෙන් එක එක කුඩු වර්ග, තෙල් වර්ග සහා “අරස්සා” වර්ග වෙළඳාම සිදු වෙන බව කියවේ.

                        

   අපේ අම්මා තැම්බුම් හොදි, කසාය, කැඳ ආදිය සෑදූ වෛද්‍යවරියක් බවත්, අපේ කුස්සිය කුස්සියක් පමණක් නොව ආරෝග්‍ය ශාලාවක්ද වූ බවත් ශ්‍රියන්ත මෙන්ඩිස් කියන වීඩියෝවක් ඊයේ පෙරේදා සංසරණය විය. එහි ඇත්තක් තිබේ. අපට එවැනි ඖෂධීය ගුණයෙන් යුතු ආහාර සංස්කෘතියක් තිබිණි. එහෙත් එවැනි ආහාර සංස්කෘති ඇත්තේ අපට පමණක් නොවේ. තුලනාත්මක සංස්කෘතික අධ්‍යයනය කරන විට පෙනෙන දෙයක් නම්“අම්මා හෝ කිරි අම්මා වෛද්‍යවරියක” වැනි වීම ඕනෑම සංස්කෘතියක දැකිය හැකි බවය. එහෙත් අපේ සංස්කෘතියෙහි අපේ අතීත අම්මා උත්කර්ෂණය කරන අයට නොපෙනෙන දෙයක්ද තිබේ. ඒ වෛද්‍යවරියක වැනි අම්මා සිටින්නේ අතීතයේ පමණක් නොවේ. අදත් අපේ අම්මලා එවැනිය. තම දරුවන්ගේ ආරක්ෂාව ගැන නිතර උනන්දු වන ඇය නොයෙක් වෛද්‍යමය තීරණ අදත් ගනියි. තැම්බුම් හොද්ද වෙනුවට හෝ ඊට අමතරව පෙනඩොල් පෙත්ත, විටමින් සී පෙත්ත, අසමෝදගම් ආදිය දීම හෝ ඉක්මනින් ඉස්පිරිතාලෙ යාම වැනි තීරණ ඇය අදත් ගනියි. එයද සංස්කෘතියයි. එයද අපේ සංස්කෘතියයි.

  

                                                          මේ අලුත් පොත

ආචාර්ය සුනන්දා ප්‍රේමසිරිගේ පොත ජනශ්‍රැති අධ්‍යයනයෙහි යෙදෙන අයට අත්පොතකි. මීට දශකයකට පමණ පෙර විශ්වවිද්‍යාලවල ඇතැම් අධ්‍යයනාංශවලට අලුතින් පත් වූ ඉංග්‍රීසි බැරි හෝ ඒ බස ඉගෙනගන්නට උනන්දුවක් නැති ඇතැම් අය තෝරාගත් විෂයයක් වන්නේ ජනශ්‍රැතියයි. තමන්ගේ ගම්පළාතේ තියෙන මොනවා මොනවා සංස්කෘතික අංග එකතු කර පොත් ලියා ගොඩ යාමට ඒ බොහෝ දෙනෙක් සිතූහ. ඒ එකතු කිරීම ඉතා හොඳ වැඩකි. එහෙත් ජනශ්‍රැති අධ්‍යයනය යනු ජාත්‍යන්තර භාෂා නොදැන කිසිම උසස් මට්ටමකින් හදාළ නොහැකි විෂයකි. ඒ ක්ෂේත්‍රයෙහි න්‍යායික සහ ශාස්ත්‍රීය කතිකාව ඉතා පොහොසත්ය. එසේම ජනශ්‍රැති අධ්‍යයනය වෙත දර්ශනය, සාහිත්‍ය න්‍යාය, සමාජ විද්‍යාව, මානව විද්‍යාව පමණක් නොව ජීව විද්‍යාව වැනි විෂයන්ගෙන් න්‍යායික එළිය ලැබෙන නිසා එය බෙහෙවින් අන්තර්-ශික්ෂණාත්මකය. මේ පොහොසත් කතිකාව සමග සම්බන්ධ නොවී ගැඹුරු ජනශ්‍රැති අධ්‍යයනයක යෙදිය නොහැකිය. මේ කාරණය ඉතා සිතගන්නා ලෙස පැහැදිලි කිරීමක් ආචාර්ය ප්‍රේමසිරිගේ කෘතියෙහි දැකිය හැකිය. එහෙයින් එය ජනශ්‍රැති පර්යේෂකයන්ට අත්පොතකි.

    ජනශ්‍රැති අධ්‍යයනය යනු අනිවාර්යෙන්ම ක්ෂේත්‍ර අධ්‍යයනයද සහිත විය යුත්තකි. එය සාහිත්‍ය අධ්‍යයනය සේ පුස්තකාලයෙහි සිට කළ නොහැකි දෙයකි. ඒ නිසා ජනශ්‍රැති අංග සොයා රට වටේ ඇවිදින අය ගැන මට ඇත්තේ ගෞරවයකි. එවැනි කරුණු රැස් කොට ලේඛනගත කිරීම අත්‍යවශ්‍ය කාර්යකි. අපේ ජනශ්‍රැති අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රධාන දුර්වලතාව පවතින්නේ අර්ථ කථනයෙහි සහ විශ්ලේෂණයෙහිය. ජන සංස්කෘතික අංග ගැන විශ්ලේෂණය අතින් fදාරමඩලාවේ ටෙලි කථිකයා සහ විශ්වවිද්‍යාල පර්යේෂකයා අතර වෙනසක් නැත. එය නම් අවාසනාවන්ත දුගීකරණයකි. මා ඉහත සඳහන් කළ සමුළුවෙහි ලිපි ඉදිරිපත් කළ කිසිවෙක් fදාරමඩලාවේ දෙසන්නාක් මෙන් කරුණු ඉදිරිපත් නොකරති. එහෙත් කල්යාමේ විශ්වවිද්‍යාලයේ පර්යෂේකයාගේ ස්වරයත් ජනප්‍රිය ටෙලිෂෝ කථිකයාගේ ස්වරයත් එකක්ම බවට පත් විය. මේ දෙදෙනාම එකෙකුම බවට පත් වූ අවස්ථාද විය.

      ජනශ්‍රැති අධ්‍යයනය යනු ටෙලිෂෝ කයිවාරුව මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒම නොවේ.  කරත්ත සංස්කෘතියේ සුන්දරත්වය ටෙලි ෂෝ එකේ වර්ණනා කරන්නට චැනලයෙන් චැනලට යන  ටෙලි ෂෝකාරයා ඩෑෂ් බෝඩය උඩ චීනයේ නිෂ්පාදිත චූටි බුද්ධ රූපය අලවාගෙන, සුක්කානම් පොල්ලේ සුදු රෙදි රෙදිකෑල්ලක පඬුර ගැට ගසාගෙන, ඉදිරි බෆරයේ මිරිස් කරල් තුන සහ දෙහි ගෙඩිය එල්ලාගෙන කෝටියේ දෙකේ කාර් පදවාගෙන යන විට එතැනද ජනශ්‍රැතිය ඇති බව දැකීමද ජනශ්‍රැති අධ්‍යයනයට අයිතිය.

   ආචාර්ය ප්‍රේමසිරි දැනට ලියා ඇති මේ පොත් දෙකම වැදගත් විෂය ක්ෂේත්‍රයක් ඉහත කී දුගීකරණයෙන් ගලවා ගන්නට උපකාර විය හැකිය. 

   


No comments:

Post a Comment