මහනුවරත් හතර වටින් ආරංචි වෙන්නෙ කොරෝනා ආසාධිතයන් ගැන පුවත්. සමහර පුවත් එච්චරම බය වෙන්න ඕන නැති ඒවා. සමහර ඒවා හොඳටම බය වෙන්න ඕනෙ ඒවා. දැන් කොහොමත් අපිට සරණෙ එන්නත තමයි.
මේ දවස් වෙන ලොකු වැඩ කරන්නත් බැරි නිසා වසංගතේ ගැනම කියවන එක තමයි කෙරෙන්නෙ.
මම කියන්න යන්නෙ අපි දැඩි අවධානෙට ගන්න ඕන දෙයක්.
ඇමරිකාව වගේ බලවත් රටවල් තම වැසියන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දෙන්නයි යන්නෙ. ඒ කියන්නෙ කලින් දුන්න එන්නත්වලට ඌනපූරකයක් විධියට දෙන ප්‍රතිශක්ති වර්ධකයක්. සැප්තැම් 20 වෙනිදා ඉඳලා ඒ වැඩේ පටන්ගන්න බයිඩන් පරිපාලනය සූදානම්.
මෙය ඇතැම් අයගේ අප්‍රසාදයට ලක් වෙලා තිබුණත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙනකොට ඒ ආණ්ඩුව නිකම් බලන් ඉන්න එකක් නෑ.
ලෝකපුරා සියලුම දෙනාට එක එන්නතක්වත් නැති පසුබිමක ඇමරිකාව ඒ ඌනපූරක එන්නත දෙන එක අසාධාරණයි විතරක් නෙමේ, එමගින් වසංගතය පවතින කාලය දික්වෙන්නත් පුළුවන් කියලා ලිල් කලිෂ් මදර් ජෝන්ස් සඟරාවට අගෝස්තු 24 වෙනිදා ලිව්වා.
ජ්ර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය තුන්වෙනි මාත්‍රාව ලබා දීමේ ව්‍යාපාරය සැප්තැම්බර්වලදී පටන් ගන්නයි යන්නෙ.
මේක අසාධාරණයි.
කලිෂ් කියන හැටියට අඩු ආදායම් රටවල ජනගහණයෙන් සියයට 1.3ක් විතරයි පළමු මාත්‍රාව වත් ලබා තිබෙන්නෙ.
ඒ කියන්නෙ මරණ අනුපාතය වැඩි වෙන්න ඉඩ තියෙන්නෙ ඒ රටවල.
ඊටත් වඩා භයානක දෙයක් විශේෂඥයො කියනවා. ලෝකයේ බොහෝ රටවල එන්නත් කිරීමේ ප්‍රතිශතය අඩු වුණාම වඩා බලසම්පන්න වයිරස් ප්‍රභේද පැන නැගීම වැඩියි. බාගෙට එන්නත් කරපු තැන්වලින් පැන නගින ප්‍රභේද අමුතුම ස්වරූප ගන්නවා. ඒ තමයි වෛරස්වල හැටි.
මේ එන්නත් ආසාධාරණය සහ එන්නත් ජාතිකවාදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවලා සහ අප්‍රසාදය පළ කරලා තියෙනවා.
ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඊට වඩා දෙයක් කරන්න බෑ. වසංගතය එන්නෙත්, එන්නත එන්නෙත් ඒවා එන්න කලින්මත් අසාධාරණ, අසමාන ලෝකෙකට. ධනවත් රටවල ජාතිකවාදවලට විරුද්ධ වෙන්න බෑ දේශීය වශයෙන් දරුණු ජාතිකවාද තියෙන රටවලට. අපිත් එහෙම රටක්. අපි තායිලන්තෙන් පැනල ආපු මුස්ලිම් සරණාගතයන් ඉන්න තැන්වලින් ගහල එලවන්න හදපු භික්ෂූන් ඉන්න රටක්.
ලෝක බලවතුන්ගේ එන්නත් ජාතිකවාදයට තර්ක කරන්න සුදුසුකම තියෙන රටවලට ධනවත් රටවල හෘදයසාක්ෂිය යම් තරමකට හෝ හොල්ලන්න පුළුවන්. දැනටත් ඒ වගේ රටවල් අපිට ආධාරත් දීල තියෙනවනෙ.
ලෝක සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ ප්‍රධානී ලස්සන උපමාවකින් ධනවත් රටවල් තුන් වෙනි මාත්‍රා ව්‍යාපාරය හැඳින්වුවා:
"නැවක් ගිලෙන්න යන වෙලාවෙ දැනටමත් ජීවිත ආරක්ෂක ජැකට්ටු පැළඳ සිටින අයට තවත් ජැකට්ටුවක් දී තව පිරිසක් ගිලෙන්නට ඉඩ හැරීමක්."
මේ වෙලාවෙ සෞඛ්‍ය ඇමතිට විතරක් නෙමේ විදේශ ඇමතිටත් වැඩ තියෙනවා. ලක්ෂ්මන් කදිරගාමර් වගේ දක්ෂ විදේශ ඇමති කෙනෙක් හිටියා නම් ධනවත් ලෝකයේ හෘදය සාක්ෂිය ආමන්ත්‍රණය කරන හඬක් වෙන්න තිබුණා. හුලං ගිය බැලුමක් වැනි ලක්ෂමන් පීරිස්ට එහෙම හැකියාවක් ඇති බවක් පේන්නෙ නෑ. ජයන්ත ධනපාලලා, දයාන් ජයතිලකලා වැනි අය සිටිය යුතු රාජතාන්ත්‍රික අරගලයක් එනවා ඉදිරියට.
ඒ රාජතාන්ත්‍රික අරගලයේදී කීමට සිදුවන දේ තමයි:
"ලෝකයේ කොහේ වුවත් අනතුරට මුහුණ දී ඇති ජීවිතවලට ඇත්තේ එකම වටිනාකමකි" කියන ආචාරධාර්මික තර්කනය.
ඒ තර්කය ඒත්තු යන සේ කළ හැක්කේ ඒ තර්කය තමන් පාලනය කරන ජාතික රාජ්‍ය තුළත් පිළිපදින අයට. අපට එහෙම පාලකයො නෑ. දුප්පත් යැයි කියන බොහෝ රටවලට එහෙම පාලකයො නෑ.
ධනවත් ලෝකය තුන්වෙනි එන්නත දෙන්න ගත්තම දුප්පත් රටවල අයට එන්නත නැති වෙනවා. ඒ වගේම එන්නතේ මිල ඉහළ යනවා. එන්නතේ මිල ඉහළ යනකොට බඩුමිල ඉහළ යනවා. දූෂණය වැඩි වෙනවා. ගජමිතුරන්ට ලාභ ගොඩ ගැහෙනවා.
ඇමතිලාට කොමිස් ගහගන්න වෙන වැඩත් අඩු නිසා සෞඛ්‍ය ඇමති වෙන්න තරගෙකුත් එයි. තව අවුරුද්දක් විතර යද්දි තව කෙනෙකුට ඇමතිකම දෙයි. එන්නත් ව්‍යාපාරයේ කොමිස් ටික කැබිනට්ටුව අතර ප්‍රජාතාන්ත්‍රිකව බෙදෙන්නෙ එතකොට!
තව දෙයක් වෙනවා. ඇමරිකාව වැනි ධනවත් රටවල් එන්නත් ජාතිකවාදය වෙත පසුබසිද්දි චීනය වැඩට බහිනවා. අපේ එන්නත් අවශ්‍යතාවෙන් විශාල කොටසක් ඔවුන් පුරවනවා. චීන රතු හමුදාව එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් අපේ හමුදාවට දීලා ඒ වගේ සංඥාවක් දීලත් තියෙනවා.
දැන් ධනවත් රටවල එන්නත් දේශපාලනය සිද්ධ වෙන හැටි බැලුවම අපිට ඇති ප්‍රධාන සරණය චීනය බවත් පේන්න තියෙනවා. ඒක භූ දේශපාලන යථාර්ථයක්. එහි ඵලවිපාක වසංගතයට වඩා බොහෝ කාලයක් තියෙයි.
No comments:
Post a Comment