Sunday, October 10, 2021

නවකතාවක භාෂාවට වියුක්ත නිරවද්‍යතාවක් තිබේද? - ලියනගේ අමරකීර්ති

 




පුවත්පත් සාහිත්‍ය අතිරේකවලට සම්මුඛ සාකච්ඡා ලබා දෙන ඇතැම් අය අහවල් නවකතාවේ භාෂාව හොයි අහවල් එකේ නරකයි යනාදී වශයෙන් කරුණු දක්වති. නවකතාවක භාෂාව හොද නරකද යන්න වියුක්තව සාකච්ඡා කළ හැකිද?

නවකතාවක් තුළ භාෂාව භාවිත වන්නේ ඉන් අපේක්ෂිත තේමාත්මක සහ කලාත්මක කාර්යයේ මෙවලමක් ලෙසය. නවකතාවකදී භාෂාව මුලින්ම කීකරු විය යුත්තේ ඒ කාර්යටය. නවකතාව ආඛ්‍යාන කලාවකි. ආඛ්‍යානවල චරිත ඇත. ඇතැම් විට නවකතාව තුළ සිටින චරිතයෝ කතාව කියති. ඇතැම් විට ඒ චරිතවලින් පිටත සිටින සර්වවේදී කථකයෙක් කථාව කියයි. ඒ කවර උපක්‍රමය භාවිත කළත් නවකතාව භාෂාවේ ස්වභාවය තීරණය වීමට කථකයා කවුද යන්න ප්‍රධාන වශයෙන් බලපායි. සර්වවේදී කථකයා භාවිත කරන විට නම් යම් භාෂාවක පොදු සම්මත ව්‍යවහාරයට කිට්ටුවෙන් තම භාෂා ශෛලිය පිහිටුවන්නට නවකතාකරුවාට යම් හෝ ඉඩක් ලැබේ. මෑතකදී සිංහලෙන් පළ වූ රමණීය නවකතාවක් වන කපිල කුමාර කාලිංගගේ කන්දේ වීදිය වැනි කෘතියකදී අපට මේ තත්ත්වය දක්නට පුළුවන.

සුපුරුදු පරිදිම වැව රවුම පාළුය. කහපැහැති සාළුවකින් හිස ආවරණය කරගත් මහලු භික්ෂුවක් පන්සලට වම් පසින් පිහිටි බෝමළුව අමදිනු පෙනේ. උදෑසනම ගමනක් පොරොන්දු වූ මහළු රික්ෂෝකරුවෙක්, කඩිසර ලෙස නගරය දෙසට දිව යයි. රික්ෂෝ රෝදයෙන් නින කිරි කිරි හින් අවදි වූ බල්ලෙක් ඔහු පසුපස යමින් බුරා හැළෙයි.

 ඉකා සරල සුගම ගද්‍යයෙන් ලියැවී ඇති ඒ කෘතියේ භාෂාව ඒ නවකතාවේ තේමාවට සහ චරිත නිරූපණයට ගැලපෙන ශෛලියක් බව අපට දැනේ.

සර්වවේදී කථකයෙකු ඔස්සේ කතාව කියන විට පවා මීට වෙනස් භාෂා ශෛලියක් අනුගමනය කරන අවස්ථා දකින්නට පුළුවන. ඒ ඒ නවකතාවේ එන ජීවන ප්‍රදේශය, ප්‍රධාන චරිතවල මනෝභාව, නවකතාකරුවා පාඨකයා තුළ ඇති කරන්නට තැත් කරන මනෝභාවී ස්වභාවය ආදිය අනුව ශෛලිය වෙනස් වේ.

මෑතකදී නවකතාකරණයට එළඹි ඉතා දක්ෂ තරුණ ලේඛකයෙකු වන කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාවේදී සර්වේදී කථකයා භාවිත වන්නේ එක්තරා පර්යේෂණකාමී ආකාරයකටය.

ශ්‍රීපුර සරසවියේ රශ්මි කාන්තා නේවාසිකාගාරයේ පද්මිගේ කාමරය තුළ ඇත්තේ නිහතාවයක් සේම නිසලතාවයක්. මදුරු දැලකින් වට වූ දෙමහල් ද්විත්ව යහනක පහත යහනේ වැතිර සිටින පද්මිගේ සිරුර තිරයක් නැති වීදුරු ජනේලයක, බිුණු වීදුරුවක් තාවකාලිකව වසා සිටින, ඉටි කොළයක් ඉරුනු තැනකින් ගලන හ එළියෙන් නැහැවී ඇත. ඒ ම‍ඳ එළියෙන්ම අපට කාමරයේ අනෙක් පස ඇති තවත් මෙවැනිම ද්විත්ව යහනක් දැකිය හැකිය.”

  මේ නවකතාවේදී කටවහරේ ව්‍යාකරණය සහ ලිඛිත වහරේ ව්‍යාකරණය මිශ්‍ර කිරීමක් දකින්නට පුළුවන. විවිධ චරිත දෙස කැමරා ඇසකින් බලා සිටින්නාක් මෙන් ලියැවෙන ඒ නවකතාවේදී භාෂාව භාවිත වන්නේ එක්තරා දෘශ්‍යමයත්වයක් ගොඩ නැගීමටය. එය නවකතාකරුවා කරන තෝරා ගැනීමකි. එය අයිතිවන්නේ ඔහුගේ නිර්මාණ කාර්යටය. ඒ නිර්මාණ කාර්ය සම්මත භාෂාව පිළිබ‍  නිර්ණායකවලින් ඇහිරිය යුතු නැත.

මේ නවකතාවේ නිරූපණය කෙරෙන ජීවන ප්‍රදේශය අයිතිවන්නේ විසි එක් වැනි සියවසේ නාගරික ලංකාවටය. වර්තමාන පරිභෝජන ධනවාදය සහ ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය සංස්කෘතිය විසින් හසුරුවනු ලබන ජීවිතය පිළිබ ලියන ලේඛකයා ඒ ජීවන ප්‍රදේශය සිය නවකතාවෙහි ගොඩනගනු පිණිස භාෂාව භාවිත කරයි.

   සර්වේදී දෘෂ්ටිකෝණයෙන් ලිව්වද ඇතැම් විට නවකතාකරුවා අවධානය යොමු කරන්නේ තමන්ගේ චරිතවල චිත්තාභ්‍යන්තරය වෙත නම් නවකතාකරුවා කරන භාෂාමය තෝරාගැනීම වෙනස් විය හැකිය. එහිදී ඒ චිත්තාභ්‍යන්තරික යථාර්ථය හසු කර ගැනීමට වඩාත් උචිත යැයි රචකයා තීරණය කරන භාෂාවක් භාවිත කෙරේ. මෙය තත්ත්වය හැින්වීමට මරියෝ වර්ගාස් යෝසා භාවිත කරන යෙදුම යථාර්ථ තලය යන්නයි. යථාර්ථය යනු සජාතීය පැතලි දෙයක් නොවේ. එහි විවිධ තල ඇත. ඇතැම් තල සිහිනමය වේ. ඇතැම් තල උමතුභාවයට ආසන්නය. ඇතැම් තල දාර්ශනිකය. ඇතැම් තල සැහැල්ලු විනෝදයෙන් සැදුණේ වෙයි. මේ ආදී වශයෙන් අප යථාර්ථය යැයි ගන්නා දෙයෙහි විවිධ තල හෙවත් මට්ටම් ඇත. නවකතාකරුවා එක්කෝ විටින් විට මේ යථාර්ථ තල වෙත මාරු වෙයි; නැතිනම් එක් තෝරාගත් යථාර්ථ තලයක සිය සමස්ත ආඛ්‍යානය පිහිටුවයි. තම ආඛ්‍යානය පිහිටුවන යථාර්ථතලය මේ යැයි පාඨකයා වෙත ඉිකොට පාඨකයා ඒ වෙත තබා ගන්නට නවකතාකරුවාට ඇති ප්‍රධානම මෙවලම භාෂාවය. ඒ නිසා තමාගේ ආඛ්‍යානය පිහිටුවන යථාර්ථ තලය අනුව භාෂාව වෙනස් කිරීම නවකතාකරුවාගේ නිර්මාණ කාර්යට අයිති දෙයකි.

   කීර්ති වැලිසරගේගේ මායා තීර්ථ

යනු එහි එන චරිතවල අභ්‍යන්තරික මානසික ලෝකය ගැනද අවධානය යොමු කරන නවකතාවකි. ඉතා ශූර ලේඛකයෙකු වන වැලිසරගේ ඒ නවකතාව සර්වවේදී දෘෂ්ටිකෝණයෙන් ලිව්වද ඒ ඒ යථාර්ථ තලයට අනුව භාෂාවේ ස්වරූපය වෙනස් කරයි. ඒ චරිතවල බාහිර ද්‍රව්‍යමය යථාර්ථය ගැන ලියන විට එක් ශෛලියකුත් ඔවුන්ගේ අභ්‍යන්තරික මානසික ලෝකය නිරූපණයේදී එක් ශෛලියකුත් භාවිත කරන ඔහු ඒ දෙක අතර සීරුවෙන් මාරුවෙයි.





නදී හෙට උදයේම එනු ඇත. වරුණ නදීත් සමග එකට ආවොත් හොඳය. නැත්නම් ඔහු කවුරුන්දැයි කතාබහ ඇති වනු ඇත. නෑයන් ගැන මතක් වෙද්දී ඇගේ සිත මතුවන්නේ අපුලකි. දැන් ඔවුන්ගේ මාතෘකාව අලුත් වී ඇතැයි ඇයට සිතේ. ඔය ගෑනු ළමයින්ට කනවැන්දුම් රෝගයක් තියෙනවා. ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි. අම්මල ලොකු පුංචි අම්මලටයි එතකොට ආච්චිලටයි ඔක්කොටම...”මෙය ඉතා දීර්ඝ ඡේදයකින් කොටසකි. අදාළ චරිත ජීවත්වන බාහිරයේ සිට ඔවුන්ගේ අභ්‍යන්තරයට කිඳා බසින්නට කතුවරයා ශෛලිය වෙනස් කරන සිට ඉතා සිත්ගන්නාසුලුය.

   මා මෙහි සාකච්ඡා කළ කිසිවක් අලුත් දේ නොවේ. අපේ ආරම්භක නවකතාකරුවන් පවා මේ ශිල්ප ක්‍රම දැන සිටි බව පෙනේ.  එහෙත් අහවල් පොතේ භාෂාව හොයි අහවල් එකේ නරකයි අහවල් භාෂාවෙන් භාෂාව දූෂිතයි ආදී වශයෙන් කියමන් අසන්නට ලැබේ. නවකතාවක භාෂාව ගැන එවැනි වියුක්ත කියමන් කිව නොහැකිය. ජනමාධ්‍ය භාෂාව ගැන නම් එවැනි නිරීක්ෂණ කළ හැකිය.

 (වසර කිහිපයකට පෙර  ලියූ තීරු ලිපියකි. මෙය නැවත පළ කරන්නේ මේ සාහිත්‍ය මාසයේදී අහවල් නවකතාවේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වූ බැවිනි.)

 

 


1 comment:

  1. ඒ අසවල් නවකතාව කුමක්දැයි දැනගැනීමට රිසියෙමි. 😃😃

    ReplyDelete