ඉන්දියාවේ අශෝක විශ්වවිද්‍යාලය ගැන මගේ කලින් ලිපියකද සඳහන් විය. ඒ විශ්වවිද්‍යාලය ඉන්දියාවේ පවත්නා අලුත් සම්ප්රදායක විශ්වවිද්‍යාල කිහිපයකින් එකකි. මගේ නොයෙක් බ්ලොග් ලිපිවල සඳහන් වූ ලිබරල් ආර්ට්ස් හෙවත් නිදහස් කලා විශ්වවිද්‍යාලයක ආකෘතියට ගොඩ නගා ඇති අශෝක විශ්වවිද්‍යාලයෙහි ස්වභාවය පෙන්වන ලිපියක් එම විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරියක වන ශිවානි ක්‍රිෂ්ණා විසින් ලියන ලදී.
මෙම කෙටි ලිපිය ඇගේ රචනය ඇසුරිනි.
ශිවානි බටහිර රටවල අධ්‍යාපනය ලද විද්‍යාඥවරියකි. ඇය අශෝක විශ්වවිද්‍යාලයෙහි තනතුරක් ලබා එයි. එය නිදහස් කලා විශ්වවිද්‍යාලයකි. නිදහස් කලා හෙවත් ලිබරල් ආර්ට්ස් අධ්‍යාපන සම්ප්රදාය ඇමරිකාවේ වර්ධනය වූ දීර්ඝ ඉතිහාසයක් ඇති අධ්‍යාපන සම්ප්රදායකි. එහිදී විශ්වවිද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍යයන්ට ස්වභාවික විද්‍යා, සමාජයීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර විෂයන් අතරින් ගත් පාඨමාලා සමූහයක් හදාරන්නට සිදු වේ. නිදහස් කලා අධ්‍යාපනය පිළිබඳ හැඳින්වීමක් මගේ අනෙකුත් බ්ලොග් ලිපි අතර ඇත. එසේම මවිසින් පරිවර්තනය කෙරුණු කලාව කුමකටද? නම් පොතත් ඒ අධ්‍යාපන ධාරාව පිළිබඳ හොඳ හැඳින්වීමකි.
දිල්ලි නගරය ආසන්නයේ පිහිටා ඇති අශෝක විශ්වවිද්‍යාලයට අමතරම ඉන්දියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක්ම ලිබරල් ආර්ට්ස් සම්ප්රදාය අනුගමනය කරයි. බැංගලෝරයේ අසිම් ප්‍රේම්ජී විශ්වවිද්‍යාලය, පූනේහි ෆ්ලේම් විශ්වවිද්‍යාලය, ඕපී ජින්දාල් ග්ලෝබල් විශ්වවිද්‍යාලය ඒ අතර වේ.
මහාචාර්ය ක්‍රිෂ්ණා දකින හැටියට නිදහස් කලා අධ්‍යාපන සම්ප්රදාය ලෝකය ක්‍රියාත්මක වන සැටි සමස්තයක් සේ වටහා ගන්නටත්, සැබෑ ලෝකයේ ප්‍රශ්න සමග ගැටෙමින් ඒවා අවබෝධ කරගන්නටත් උගන්වයි.
සම්ප්‍රදායිකව විෂයයන් විද්‍යා, කලා, වානිජ ආදී වශයෙන් අතර පවත්නා සීමාමායිම් අද ලෝකයෙහි පවතින ප්‍රධාන ප්‍රශ්න පාරිසරික, ආර්ථික සහ සෞඛ්‍යමය ගැටලු වටහා ගැනීමට උපකාර නොවේ යැයි ඇය කියයි. ලෝකයෙහි සහ මනුෂ්‍ය ජීවිතයෙමි විශාල ප්‍රශ්න වටහා ගැනීමට සියලු විෂයධාරාවලින් එන ඥානය අවශ්‍ය බැවිනි.
ඇය ජීව විද්‍යාව ඉගැන්වීමට පත්වීමක් ලබා අශෝක විශ්වවිද්‍යාලයට එන්නේ එවන් පසුබිමකය. අපේ ශාස්ත්‍ර පීඨයක් නිදර්ශනයකට ගන්න. අපොස උසස් පෙළට කලා විෂයයන් හදාරා විශ්වවිද්‍යාලයට ආ ශිෂ්යශිෂ්යාවන්ට ජීව විද්‍යාව ඉගැන්වීමට සිදු වේ යැයි සිතන්න. තරුණ මහාචාර්යවරියක වූ ශිවානි ක්‍රිෂ්ණා මුහුණ දුන්නේ ඒ අභියෝගයටයි.
එහෙත් ඒ අභියෝගය ඇයට ආස්වාදයක් වෙයි. වෙහෙස මහන්සි වී දේශන සකස් කරමින් විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයක් නැති පිරිසකට ඒවා ඉගැන්වීමේ වැදගත්කම ඇයට අවබෝධ වෙයි.
විද්‍යාව අමාරු යැයි සංස්කෘතික බයක් ඇති කර තිබෙන ලංකාවේ මෙන් නොව ඉන්දියාවේදී එය ඇයගේ ආස්වාදයට හේතු වූ බව පෙනෙන්නට තිබේ.
ඇය පරිසර විද්‍යාව ගැන පාඨමාලාවක් සාර්ථකව උගන්වයි. ඒ නිසා පරිසර ප්රශ්නය ගැන පුළුල්ව බලන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකියාව ලැබේ.
මමද පේරාදෙණියෙහි පරිසරවාදී සාහිත්‍ය විචාරය උගන්වමි. එය මා පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට පෙරය. එය උගන්වද්දී මට නිතර සිතුණ දෙයක් මෙයයි: අපේ ශාස්ත්‍ර පීඨවලට එන ශිෂ්යශිෂ්යාවන්ට මූලික විද්‍යා දැනුමක් තිබිණි නම් කොපමණ හොඳද?
මෙම විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හදාළ යුතු විෂයවලින් කීපයක් මෙසේය:
ජානවිද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය, ලලිත කලා.
ඇය දකින හැටියට මෙවැනි විශ්වවිද්‍යාලයක ඉගැන්වීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ. විවිධ පසුබිම්වලින් එන ශිෂ්‍යයන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරුවරයාට පෘථුල විෂය පරාසයක් පැතිරුණු දැනුමකින් යුක්ත විය යුතුය. නිදර්ශනයක් මෙසේය: සාහිත්‍ය කලා පසුබිමකින් එන ශිෂ්‍යයෙක් ජීව විද්‍යාව සම්බන්ධයෙන් අසන ප්‍රශ්නයකට පිළිතුරු දීම ජීව විද්‍යා පසුබිමකින් එන ශිෂ්‍යයෙකු එම විෂය සම්බන්ධයෙන් අසන ප්‍රශ්නයකට පිළිතුරු දීම තරම් පහසු නොවේ. එහි අනෙක් පැත්තද එසේය. විද්‍යා අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙකු සාහිත්‍යය ගැන අසන ප්‍රශ්නයකට සාරවත් පිළිතුරක් දීමට නම් සාහිත්‍යය පිළිබඳ ආචාර්යවරයාද පෘථුල දැනුමක් ඇත්තෙකු විය යුතුය.
ශිවානි කියන හැටියට එම විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය මණ්ඩලයේ රැස්වීම්ද අභියෝගාත්මකය. එවන් රැස්වීමක ජීවි විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය, දර්ශනය, ලලිත කලා, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී විවිධ විෂයයන් උගන්වන ආචාර්ය මහාචාර්යවරු සිටිති. ලංකාවේ නම් එවැනි තත්ත්වයක් ඇත්තේ සෙනෙට් සභාවේ පමණි. එහෙත් නිදහස් කලා විෂය විශ්වවිද්‍යාලයකදී අධ්‍යයන අංශ මට්ටමේදීම එවැනි විවිෂ විෂයවල ප්‍රවීණයන් අතර සංවාදයක් ඇති වේ. එයද විෂයයන් අතර වඩා සමීප සම්බන්ධයකට හේතු වේ.
අශෝක විශ්වවිද්‍යාලයෙහි ශිවානි උගන්වන ආකාරය ගැන කියවන විට ලංකාවේ අප තව කොපමණ කාලයක් විද්‍යා කලා දෙක අතර දැවැන්ත තාප්පය දෙපැත්තේ සිටිය යුතුදැයි මම මගෙන්ම අසමි. මේ වූකලි දියුණු නිදහස් කලා සම්ප්රදායක් ඇති ඇමරිකානු විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හදාළ මා කලෙක සිට අසන ප්රශ්නයකි.
No comments:
Post a Comment