Friday, November 19, 2021

සිරිලාල් කොඩිකාරගේ කාව්‍ය මාර්ගය යළි වටහා ගැනීම - ලියනගේ අමරකීර්ති

 




   සිරිලාල් කොඩිකාර මම දකින්නෙ සිංහල කාව්‍ය වංශයේ එක් වැදගත් ධාරාවක් අපේ යුගයට අරන් එන කෙනෙක් හැටියට. ඒ කාව්‍ය ධාරාව අපේ රටේ වඩාත්ම නිර්සේවිත ධාරාව. ඔහුගේ කවි මග නොගිය මගක්. මේ කවි මග නැවත පාදා ගැනීම ඒ මගෙහි ඇවිද බැලීම අපගේ පරම්පරාව විසින් යළි ආරම්භ කළ යුතු කාර්යක්.  සිරිලාල් කොඩිකාරගේ කවි මගෙන් ඉගෙන ගත හැකි විධි කීපයක් තියෙනවා


  භාෂා ශෛලිය හා අලංකාරික අතින් තමයි කොඩිකාරගෙ කවිය අපි කාලෙකින් නොගිය මගක් ගන්නෙ. මේ සම්ප්‍රදාය හරියටම නම් කරන එක ලේසි නෑ. ඒ නිසා නමක් දෙන්න කලින් ඉතිහාසය ගැන යමක් කියන්න ඕනෙ. 


අපි දන්නවා කෝට්ටේ යුගයේදී ඉහලටම වර්ධනය වූ කාව්‍ය ධාරාවට භාෂාමය වශයෙන්, අලංකාරික වශයෙන් හා ආකෘතික වශායන් ණය ගැති භාෂා අලංකාරික සම්ප්‍රදායක් අපිට තියෙනවා. මේ සම්ප්‍රදාය අද දක්වාම එනවා. මේ කාරණය ගැන සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතියෙදි අමරසේකර කරන නිගමන නිවැරිදියි. 


මේ බලන්න අපේ යුගයේ විශිෂ්ට කවියෙකුගේ වචන:


සෙව්වන්දි අරවින්ද එකම කෙමියේ පිපෙන

නළල තිලකෙව් නාරි ග්‍රීක රූපය ඇඳුණ

කෙදිනවත් අඩු නොවන ඉනා සිලිලෙන් පිරුණ

සිසිරකර සොමි ගුණෙන් සැදුණ ආදර බඳුන

  (එරික් ඉලයප්ආරච්චි. මැදියමේ ගීතය සහ තවත් කවි. සුරස ප්‍රකාශකයෝ. 2008,

 වෙසතුරු සිරිතක් 1996)


තව ටිකක් අතීතයට යනකොට අපිට පේනවා අර භාෂාවම සරච්චන්ද්‍රයන්ගෙ නාට්‍යවල  නාට්‍යමය ස්වරූපයක් ගන්නවා. 

වියොවින් වියරු වැටුණු ඒ රුදු කෙසරින්දා

දැක පුතුගෙ වත 

තුරු හිසින් නැගි 

සේ තරින්දා


පිබිදුණි මනකොඳ හටගත් පෙමින අමන්දා

වැටුණි සරබිම

මෙත් බෙලෙන් ඇඟ

මස නොසින්දා


මේ භාෂා ධාරාව මේ විදියට අපේ යුගය දක්වාම එනවා. ඒක හොඳ දෙයක්. නමුත් ඒක තමයි සිංහල කවියේ හදබස කීම වැරදි දෙයක්. සිංහල කවිය නෙක නෙක හඬින් ප්‍රකාශ වෙනවා. 


ඊ ළඟට අපට හමුවන තවත් කාව්‍ය ධාරාවක් තමයි ජනකවියෙන් ආභාසය ලබන ධාරාව. මේ ධාරාව වඩාත් විශිෂ්ට විදියට නූතන යුගයට එන්නෙ ගුණදාස අමරසේකර අතින්.


ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණ කොළ ටිකක් උඹට

තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම් කන්නට

දෙය්යො තමයි අඳුර දුන්නෙ අපෙ ඇඟ පත ගිනි නිවන්ට

හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පොරව ගන්ට



මේ තව තැනක්: 


ගිය වාරේ ගොයම් කපන කාලෙ නෙවෙද උඹල ආවෙ

ඒ වාරේ තමයි අපේ ගොයම හරිම ලෙසට පැහුණෙ

පාලම ළඟ අලුත් කඩේ හරි විදියට සාර වුණේ

එකාට උස්සන්නට බැරි කැන් හැම පඳුරෙම වැටුණේ 


නූතන නිදහස් කවිය වෙත ජනකවි බස හික්මවීමේ භාෂාමය කාර්ය අමරසේකර අතින් වූ වැදගත් කාර්යක්. ඒ කාර්යේ වැදගත්කම ඔහුගේ කවියේ අර්ථමය වැදගත්කමටත් වඩා වැඩියි. 

මේ කාව්‍ය රීතිය අර්ථමය විශිෂ්ටත්වයත් අත් කරගන්නවා එරික් ඉලයප්ආරච්චි වැනි කවියෙකු අත. 

මියැදුණු විරුවන් සොයමින් රජ රට සැරි සරා මසක්

ගෙදර ගෙනාවේ රෝගය ඇඟ උණකින් සලිත කරන

වනපොත් කළ වට්ටෝරුව නුඹට සරණ වූ එදවස

වෙදෙකු ලෙසින් සුපතළ විය ඔබ අප නෑසියන් අතර


සඟ පරපුර සමඟ නිතර ඔබ ගෙන ගිය ඇසුර දුරට

ඉඳ හිට මතුවේ ගිය කල ඈත මෑත පන්සල් වෙත

ඔබගේ ගුණ කඳ සිහිකර සිවුරු පොටින් කඳුළු පිසින

කොස්වතු ඔය ලොකු සාදුද මහලුව සිට අපවත් විය 


නූතන කාව්‍යයේ තවත් වැදගත් ධාරාවක් තියෙනවා. ඒකට මම කියන්නෙ නූතනවාදී ධාරාව කියලා. මේ ධාරාව භාෂාව ආකෘතිය වස්තු විෂය ආදී සෑම අංශයකින්ම නූතනවාදියි. ඒ ධාරාවේ ප්‍රධාන ප්‍රකාශකයා සිරි ගුනසිංහ: 


දිලිසෙන දෙව් ලෝ ගරා පෙරා

කපා කොටා හැඩ වැඩ දා පලිප්පු දා

පසාරු කරගෙන කලු පැහැ සක්වල


මා හදවත විනිවිද යන්නට

මා හදවත පොලඹා ගන්නට

රන් රැස් මිනි කැට වැසි වැස්සත්

සක්වල පැතිරෙන වෙහෙස මිසක්

නැත මෙහි පැතිරෙන වෙන එලියක් 


සිරි ගුනසිංහ ගත් මගත් හරියටම ඉස්සරහට අරන් යන කවියෙක් නැති උනත් ආරියවංශ රණවීර වැනි කවීන් තුළ ඒ කවි මගේ ඇතැම් ලක්ෂණ දකින්න පුලුවන්- නමුත් සිරි ගුනසිංහගේ කවියෙහි වූ අභ්‍යන්තරික හරය ඊ ළඟ පරම්පරා වෙතට ආවෙ දියාරු වෙලා- අපි සංස්කෘතිය යැයි ගන්නා දේ අපි සම්ප්‍රදාය යැයි ගන්නා දේ අපි හරි දේ යැයි ගන්නා කොන්දේසි විරහිතව ප්‍රශ්න කරන්න සිරි ගුනසිංහගේ කවියේ වූ මුවහත අලුත් පරම්පරාවල් වෙත ආවෙ නෑ- ඒකට හේතුව පස්සෙ පරම්පරාවල් හැදෙන්නෙ වැඩෙන්නෙ සංස්කෘතික ජාතිකවාදී අලංකාරික- අපේ අරක තමයි හොඳම එක අපේ මේක තමයි හොඳම එක වගේ අලංකාරික- අහමින් දකිමින් වීම වෙන්න ඇති. සිරි ගුනසිංහ සංස්කෘත හොඳටම දැන සිටියා. ඉංග්‍රීසි දන්නව කියල සිංහලෙන් කෑ ගහපු කෙනෙක් නෙමේ හොඳටම සිරි ගුනසිංහ. ඒක හොඳටම දැන සිටිය කෙනෙක්. බටහිර නූතනවාදී කවිය හොඳටම දැන සිටිය කෙනෙක්. මේ නිසා සිංහල සංස්කෘතිය හා භාෂාව තවත් ඒ සංස්කෘතීන් හා භාෂාවල් අතර එකක් මිස වටහා ගත්තා මිස ලෝකෙ හොඳම එක යනාදී බොරු අලංකාරික දොඩවන්න ගියෙ නෑ. ඒ යථාර්ථවත් අවබෝධය නිසා සංස්කෘතික ආත්මීයත්වය හෙවත් සංස්කෘතික අපි බව වෙත ගත්තෙ ප්‍රතිසංස්කරණවාදී දෘෂ්ටියක්. මේ නූතනවාදී කාව්‍ය භාෂා ධාරාවත් යළි හැදෑරිය යුතුයි. 


තවත් වැදගත් භාෂා රීතියක් විසි වැනි සියවසේදී සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ බහුලව භාවිත උනා. කුමාරතුංග මුනිදාස, රැපියෙල් තෙන්නකෝන් වැනි අයගෙන් නියෝජනය උනේ ඒ ධාරාව. ඇත්ත වශයෙන්ම මෙම ධාරාව අර කලින් ධාරාවන්ට වඩා පැරණියි. ඒ භාෂා ධාරාවේ උරුමක්කාරයො නම් කියන්නෙ ඒක දහ වෙනි සියවසටම යන බව. මට නම් හිතෙන්නෙ ඒ 19-20 සියවස්වලදි යළි සොයා පාදාගෙන නමක් දුන් බසක් කියලයි. ඒ කියන්නෙ අඛණ්ඩව විසිවෙනි සියවස දක්වම ආ ධාරාවක් නෙමේ. මේ ධාරාවට හෙළ හවුළේ භාෂා ධාරාව කියන එක නිවැරිදි නැතැයි මට හිතෙනවා. කවියො කියන්නෙ එක තනි ලේබලයක් අලවලා විස්තර කරන්න බැරි අය. තෙන්නකෝන්ගෙ අමුණ, පස්මංදොර අන්දරය වගේ පොත් කියවනකොට පේනවා ඔහුත් විවිධ සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලබන බව. තෙන්නකෝන් සිංහල ජනකවියේ ඇතැම් ලක්ෂණ විශේෂයෙන් එහි සරලත්වය හෙළ හවුලේ රීතිය තුළට හික්මවන විට සුන්දර කවි පද මතුවෙනවා 


 එ හෙ මැ තිබෙද්දිත්

වටපිටාවත් නොබලා

උන්දැගෙ කට හැකර කමට දෝ කීවා-

රෙදි නැන්දේ ඔබෙ

සළුව අහකට කැරැපන්

මගෙ මියුවන් බාන

දක්වා ගන්නට යි


මේ වගේම තවත් තැනක්:


කිය ලේඬියො තට

හෙට උදේ නොවරදවා

දෙනවා දෙනවා මැ යි

දිය ආප්පය! 


සොබනියගේ දිය 

ආප්පය ඕනෑ නම්

කියව! කියව! ඇගෙ සිත 

සැනසෙන්නට තව යමක් 



 ඒ සරලත්වය ගිලිහෙන පණ්ඩිතමානී තැන්ද තියෙනවා:

හිණෙන් පලා දළු

හිසෙන් දරමිටි හා ගත්

ලියෝ නිවෙස් නහමති

බැහැරැ වී කෙත් අහවනාතෙන්


හඟල සක් වහන්

කරැගසා ගත් දන ගේ 

පෙරහරක් සෙ දිස්නේ

ඊම ගොයි වැල් කැපුමැ ගියවුන් 


කොයි තරම් විචිත්‍රකම් තිබුණත් අපි දැනට කියමු මේ හෙළ ධාරාව කියලා. මේ ධාරාවේ කාව්‍ය ශක්තිය අපේ යුගය වෙත රැගෙන එන ප්‍රධාන කවියා සිරිලාල් කොඩිකාර. ඇත්තටම එවන් එකම කවියා සිරිලාල් කොඩිකාරද? ඒ කවි මගට නූතන කවි ආත්මයක් සපයන්නෙ සිරිලාල්. මේ රෙදි බැනියම් අඳින සිරිලාල් පස්ස පැත්තෙ ඩෙනිම එල්ල ගත්තු අලුත්ම ගීත රචකයාට වඩා අභ්‍යන්තරිකව නූතනයි. ඒ හරයාත්මක නූතන බව අලුත් පරම්පරාව නොදකින්නෙ ඇයි?

  මෑතකදි චින්තක රණසිංහගෙ කාලයක් තිස්සේ ලියූ කවි නම් කවි පොත කියවන කොට මට විසාල සතුටක් ඇති උනා තෙන්නකෝන්-කොඩිකාර කාව්‍ය භාෂා ධාරාවෙන් පොහොණිවන්නට දරණ උත්සාහය දැකලා. අඩු තරමින් ඒ ධාරාව දිහාට අවධානය යොමු කරන්න ඔහු දරන තැත අගය කරන්න ඕනෙ. තෙන්නකෝන්-කොඩිකාර ධාරාව ගැන කතා කරන එකම තරුණ විචාරකයත් ඔහු වෙන්න චින්තක රණසිංහ වෙන්න පුලුවන්. 


රැ තෙන්නකෝන් කිවිසුරාණන්ටම පිදෙන කවි උපහාරයක් වන කවියකදී චින්තක මෙහෙම කියනවා:

ඔබේ මහා ගත් සයුරේ

ගැඹුරු පතුල් වැදී

රනින් මිණින් මරකතයෙන්

අරුත් රැසක් හිඳී

එකින් එකම ගෙන බුදිමින්

රුවා මහද ගැබේ

බසින් ලැබූ කෙනෙහිලි

නෙක් ගැහැට මඩින්නෙමී


හදේ රැඳුණු ඔබෙ කවිකම්

හදේම නොම තබා

තදේ රැකූ වියරණ

සහ නේක විරිත් බදා

උදේ හවා දුක් විඳිමින්

ඇලෙමින් පන්හිඳේ

මගේ ලොවට දුන් උරුමය

නිරතුරු සිහි කරම්  


චින්තකගෙ කවි පොතේ තවත් නොයෙක් තැන්වල මේ කාව්‍ය භාෂා ධාරාවේ එළිය තියෙනවා. 

ඒ කාව්‍ය ශෛලිය අර්ථවත් බවින්ද දියුණු කරන්න ඔහු වැනි නව කවීන්ට හැකිවෙන්න ඕනෙ.


ඒ නිසා මෑත කාලෙදි සිරිලාල්ගෙ කවි මග නැවත සිහි කරන විචාරකයන් අතරත් ඉදිරියෙන්ම ඉන්නෙ චින්තක රණසිංහ වීම ගැන අපි පුදුම වෙන්න ඕනෙ නෑ. ඔහු හා විමලනාත් වීරරත්න එකතුව පළ කළ ලිපි එකතුවක සිරිලාල් කොඩිකාර ගැන රචනයක් එනවා. ඒ රචනයේදී රණසිංහ සිරිලාල්ගේ කවිත්වය පළල් පසුබිමක තබා අගය කරනවා- මේ ලිපිය මුලින් ලියවිලා තියෙන්නෙ 2005 වර්ෂයේදී- එහෙත් මම ඒක දැකල තිබුණෙ නෑ- පුදුමයකට වගේ 2006-7 කාලෙ මමත් අපට අමතකව ගිය වැදගත් කවීන් ගැන යළි සිතමින් ඉද්දි කොඩිකාර කවියා නැවත හැදෑරීමක යෙදුණා- එහි ප්‍රතිපලය මගෙ සහෘද සාක්ෂිය පොතේ පරිච්f‏ඡදයක් ලෙස පළ වෙනවා- සිරිලාල් කොඩිකාර නැවත හැදෑරීමට මා යොමු කළේ ඔහුගෙ කියමි සිහිකර පොතේ එන රැඩිකල් අදහස් හා ඒ අදහස් ඉදිරිපත් කර ඇති රසවත් සුමට ගද්‍යය-

අනික් අතට සිංහල බෞද්ධ කේන්ද්‍රීය සංස්කෘතික හා ඓතිහාසික පරිකල්පනයේ විපාක මීට

දශක කීපයකට කලින් සිටම පෙන්නල දුන්න සාහිත්‍යකරුවන් නැවත සොයා යාමට මට ඇති වූ අවශ්‍යතාවත් මීට හේතු උනා. එහිදී ඔහුගේ පොත් සිඟිත්තක් වන මහාවංශ විමර්ශන කෘතිය ඉතා දේශපාලනික මැදිහත්වීමක් කියා මට හිතුණා. අනික් අතට කොඩිකාර අපේ සංස්කෘතික ආත්මීයත්වය, ඒ කියන්නෙ සංස්කෘතික අපි බව, ප්‍රශ්න කිරීම අතින් බොහෝ තරුණ කවීන්ට වඩා රැඩිකල්.  ඒ වගේම හෙළ හවුල විසින් සම්මත බසෙහි මිහිරිම තැන්වල ගැඹුරින් ගරු කරන සිරිලාල් සිංහලය ගැන යථාර්ථවාදී හා ප්‍රතිසංස්කරණවාදී ආස්ථානයක ඉන්නවා. මේ බලන්න:

“ණ- ළ භේදයක් සිංහලයාගේ කනට වත් කටට වත් නැත. ඇසට හුරු තැන් ඇත. එ නිසා මේ අකුරු මා දැන් යොදන්නේ ඇසේ හුරුව සලකා ය.”

රංචාගොඩ ළමයා සහ ඇත්ත -1995

අපි දැනට සිරිලාල්ගෙ කවිය ගැන විතරක් අවධානය යොමු කරමු. ඉහත සඳහන් ලිපියෙදි චින්තක රණසිංහ සිරිලාල් කොඩිකාර ගැන නිරීක්ෂණ කීපයක් කරනවා. එකක් තමයි සිරිලාල්ගේ කාව්‍ය මාර්ගය තෙන්නකෝන්ගේ කාව්‍ය මාර්ගයේම දිගුවක් බව. මේ නිරීක්ෂණය හරි. ඒක කරන්න අමාරු නිරීක්ෂණයකුත් නෙමේ. ඒ නිරීක්ෂණයට අර්ථවත් බව එන්නෙ ඒ නිරීක්ෂණය කළ රසිකයා අයිති වෙන්නෙ කවර පරම්පරාවකටද කියන කාරණය වෙතින්. 

 චින්තක රණසිංහ කරන තවත් නිරීක්ෂණයක් තමයි සිරිලාල් කොඩිකාර ජනතාවාදී ලේඛක මඩ වලේ පිපුණ නෙළුම කියලා. ඒකත් නිවැරිදි නිරීක්ෂණයක් කියලයි මට හිතෙන්නෙ. ඔය ජනතාවාදී කියන කණ්ඩායමේ ව්‍යාජ නිර්මාණ දිහා බලන කොට ඒ අය අතර කොඩිකාර වගේ ස්වාධීන ප්‍රතිභාශක්තියක් ඇති කවියෙක් වැඩුණ එකත් පුදුමයි. යම් යම් වාසි සඳහා යන්තමට ඒ සංවිධානෙට ගෑවිල හිටපු කීපදෙනෙකුට ඇර ඔය ජනතා ලේඛකයන්ට කල් පවතින සාහිත්‍ය කෘතියක් කරන්න ලැබුණෙ නෑ. එවන් ව්‍යාජ මිනිස්සු අතරින් කවියො බිහි වෙන්න හොඳටම අමාරු හින්දද මන්ද ඒ ගොඩේ කවියෙකුට ඉන්නෙ කොඩිකාර විතරයි. අර ව්‍යාජ සාහිත්‍යකාරයො දැන් සංස්කෘතික සංරක්ෂණවාදීන්, සංස්කෘතික ජාතිකවාදීන් වෙලා. මේ කොඩිකාර වැනි කවියන් ගත් මගේ කණපිට. වසන්ත කාලෙ ආවම තමයි කාක්කන්ගෙයි කොවුලන්ගෙයි වෙනස පේන්නෙ. මොකද කාක්කො කාක් කාක් ගානව කොවුලා මිහිරි ගීම ගයනව. මට ආරංචි උනා කලාකාරයන්ට දෙන්ඩ තට්ටු නිවාස වගයක් හදනව කියල දැනිල කවුද කලා කාක්කො ටිකක් දේශප්‍රේමෙ එහෙම දාල මොකක්ද සංවිධානයක් හදලලු ගෙවල් ගන්න. ජීවිත කාලෙම ප්‍රගතිශීලී දේශපාලනේට කැප කළ කොඩිකාර වැනි කවියන්ට නම් මොනව දුන්නත් මොකද? 

 කොඩිකාර අපේ යුගයටද අරන් එන කවි මග අගය කරන්න තව හේතු තියෙනවා. සාහිත්‍යයට තරමක් බාහිර කරුණක් මෙහෙමයි: මේ කවියා විසින් නියෝජනය කරනු ලබන ජාතික ඇඳුම අඳින, යම් සමාජවාදී ලංකාවක් පතන එහෙත් ජනවාර්ගික අනන්‍යතා දේශපාලනයේ නොයෙදෙන, එනම් ජනවාර්ගික ජාතිකවාදය දේශපාලන මතවාදය නොවුණ පිරිසක් තාමත් අප අතර ඉන්නවා. සිරිලාල් කොඩිකාර, ලයනල් සරත් හා එස් ජී පුංචිහේවා මම සාමාන්‍යයෙන් දන්න ඒ වගේ තුන් දෙනෙක්. මේ වගේ අය මගෙ සමීප ඥාතීන් අතරත් ඉඳලා තියෙනවා. මේ පිරිස සම්ප්‍රදාය හා නූතනත්වය අතර හැසිරෙන සුවිශේෂ ආකාරය අපේ පරම්පරාවේ සමීප අවධානයට ලක් වෙන්න ඕනෙ. ගුණදාස අමරසේකර වැනි ජාතිකවාදීන්ට වඩා මේ අන්තර්ජාතිකවාදීන් අපේ අනාගතයට වැදගත් වෙනවා වෙනවාමයි. ඒ අර්ථයෙනුත් කවියෙකු හැටියට සිරිලාල් කොඩිකාර සම්ප්‍රදාය හා නූතනත්වය අතර හැසිරෙන ආකාරය ඉතා නිර්මාණශීලියි. 

  අනෙක් අතට මෙකල සිංහල කවිය විඳින නිරන්තර දුකක් තමයි, ගැඹුරු සිතුවිල්ලකට වැටෙන්නට යන කොට එන මදුරු කරදරයක් වගේ ගීතය කියන චූල සාහිත්‍යාංගය අපේ අනික් සාහිත්‍යාංග විශේෂයෙන් කවිය වසාගෙන වැඩෙන්න උනා. මීට අවුරුදු දහයකට කලින් නම් මෙහෙම කියන එක උදහසට ලක් වෙන කාරණයක්. නමුත් අද නොයෙක් ගීත රචක රාළළා සහ සින්දු විෂුවල් වෙළෙන්දො ගීතය කියන්නෙ සැහැල්ලු වෙළඳ කලාවක් මිස අනිකක් නෙවෙයි කියල පෙන්නල ඉවරයි. අසංකීර්ණ සැහැල්ලු ශබ්ද කේන්ද්‍ර කරගත් සින්දුව හා වෙළඳ දැන්වීම අතර දැන් තියෙන්නෙ කෙස් ගහක වෙනසක්. මේක හොඳ දෙයක්. ඒ නිසා ගීතය හා කවිය අතර නෑකම් කියමින් ගීතයට විදග්ධත්වය ගේන්න තැත් කරපු බරපතලක් ඇති ගීත රචකයන්ගෙ අනන්‍යතාව දැන් හොඳට පේනවා.  අනික කවිය ශිෂ්ටාචාරයන්හි බර දරමින් වැඩී යන විශිෂ්ට පදනම් ශානරයක්, පදනම් සාහිත්‍ය මාධ්‍යයක් බව දැන් කාටත් පැහැදිලිව පේනවා. වෙළඳ කලාවක් බවට පිරිහුණ ගීතයේ ලක්ෂණවලින් ඈත් වී කවියන් වෙන්න තැත් කරන තරුණ කවියන්ට දැන් අවස්ථාව තියෙනවා. ලක්ශාන්ත, චින්තක වගේ තරුණ කවීන් එවන් උත්සාහයක ඉන්න අය කියා කියන්න පුලුවන්. 


ගීතවත් බව ගීතමය ලක්ෂණ රිද්ම යන වචනවලින් හඳුන්වනු ගුණ සින්දුකාරයොයි වෙළඳ දැන්වීම් කාරයො විකුණගෙන කාල ඉවරයි. ඒ නිසා ඒ වගේ ලක්ෂණ කවිය හතර මායිමට වත් නොගන්න තරමට හොඳයි. අන්න එතනදී සිරිලාල් කොඩිකාරයන්ගෙ කවි මග අපට ආයෙත් වැදගත් වෙනවා. ඔහුගෙ කවියෙ තියෙන්නෙ අර වෙළඳ කලාවන්ට ළං වෙන්න අමාරු අනන්‍යතාවක්. ඒ නිසා සිංහල කවිය නැවතත් බරපතල සාහිත්‍ය ශානරයක් කරන්න තැත් කරන කවීන්ට කොඩිකාර සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න පුලුවන්. 

     

 භාෂාව තලයෙදි කොඩිකාර කවියාගේ සමත්කම් කනේරු මල්, මානස විල, නොරජුන්ගේ අන්තඃපුරය, නාගවත, කාව්‍යයන්ගෙන් දැන ගන්න පුලුවන්. ඒ කාව්‍යයන්ගෙන් දැනගන්න පුලුවන් පද්‍ය ආකෘති තලයේ ඒ කවියාගේ සමත්කම්. ඒවගේම ඒ කාව්‍යයන්ගෙන් දැනගන්න පුලුවන් කාව්‍ය ආඛ්‍යාන ක්‍රම නැත්නම් කාව්‍ය ආකෘති තලයෙදිත් කොඩිකාර කිවිඳුන්ගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා. 

 මේ අංශ තුනේදිම කොඩිකාරයන්ගේ විශිෂ්ටතා අගයන අතර මගේ වඩාත් සිත් ගන්නේ ඔහුගේ ඉතා නූතනවාදී තේමාත්මක තලය. කනේරුමල් කාව්‍යයේ තේමාත්මක ගැඹුර මට හැකි පමණින් පෙන්නා දෙන්න තැත් කරලා තියෙනවා සහෘද සාක්ෂිය කෘතියෙදි. එහිදි කණවෙර ජාතකයට කවියා දෙන නව අර්ථකථනය හා කාව්‍යාඛ්‍යානයක් බවට එය පෙරලන්නට ඔහු යොදන කාව්‍ය උපක්‍රම අතින් ඒ කෘතිය ඒ ජාතකයම පාදක කරගත් විලාසිනියකගේ ප්‍රේමයට වඩා උසස් බව මම ඒ රචනයේදී තර්ක කෙරුවා. එහෙත් කවියාට හා කාව්‍යයට නිසි පිළිගැනීම නොලැබීම නිල ශාස්ත්‍රාලයේ අනුග්‍රහය කොඩිකාර කවියාට නොලැබීමත්, එම කවියා පහු ගිය දශක කීපයේ නිල කලා රුචිය තීරණය කළ සිංහල බෞද්ධ කේන්ද්‍රිය දෘෂ්ටිවාදයන්ට එරෙහිව සිතූ කියූ ලියූ කෙනෙකුවීමත් විය හැකි බව මම ඒ රචනයේදී අනුමාන කළා. 

 සාමා ගණිකාවගේ ජීවිතය හා ඇගේ ලිංගිකත්වය ඇසුරින් පුරුෂ කේන්දී්‍රය සමාජවල ස්ත්‍රී-පුරුෂ මිනිස් සම්බන්ධතාවල ස්වභාවය ගැන විලාසිනියකගේ ප්‍රේමය කරන අර්ථ කථනයට වඩා බොහෝ සංකීර්ණ අර්ථ කථනයක් කනේරු මල් කාව්‍යයෙදි කෙරෙන බව මම අර ලිපියෙදි තර්ක කෙරුවා. ඒ ඇරුණම හාරිත නම් සොර දෙටු ගැන කරන අර්ථ කථනයත් ඒ සොර දෙටු වෙත සාමා නම් වෙසඟනගේ ආකර්ෂණයත් කොඩිකාර කවියා දකින්නෙ අපූරුම ආකාරවලට. ඒ නිසා 

අනේ රුසිරු පෑ සාමා වෙසඟනට

කනේරු මල් වදළකදී කළ ගැහැට

බණේ බෙණෙයි බෝසත් සිරිතක් ලෙසට

පෙනේ කරුණු අතකින් එ ද හරි බවට 


යනුවෙන් ආරම්භක කවිය කියවන විටම අපිට දැනෙනව අපි ඉන්නෙ විශිෂ්ට කවියෙකුගෙ අඩවියේ බව. දැන් පළ වී ඇති මගෙම ලේඛනයක් ප්‍රතිරාව නොකර අපි සිරිලාල් කොඩිකාරගෙ කාව්‍යය ලෝකයේ තේමාත්මක ගැඹුර ගැන වෙනත් කාව්‍යයක් ඇසුරින් කතා කරමු. කනේරු මල් කාව්‍යයෙදි වගේ හරියටම තේමාත්මක පරිසමාප්තිය හා කලාත්මක පරිසමාප්තිය එකට නොපෑහෙන නමුත් “නොරජුන්ගේ අන්තඃපුරය” කාව්‍ය කොඩිකාරට අභිමත කාව්‍යාඛ්‍යාන කලාවේ වැදගත් ස්ථානයක්. මේ කාව්‍යත්මකව එක්තරා කලාත්මක සංකීර්ණකමක් දරනවා. 

අපි දන්නවා අන්තඃපුර තියෙන්නෙ රජුන්ට බව. එහෙත් කවියා නිපදවන “නොරජ” යන විශේෂණයෙන් හැඳින්විය හැකි අයගේ අන්තඃපුරය කුමක්ද? නොරජුන් යනු හුදෙක් රජවරු නොවන අය නොවන බව අපිට පේන්න ගන්නවා. ඔවුන්ගේ අන්තඃපුරය යනු හුදෙක්  ගණිකා නිවාසයක් යම් පුරඟන පියසක් නෙමෙයි. විශිෂ්ට කවීන්ගේ ලෝකය හුදෙක් එක තනි දෙයක් නෙමෙයි. මේ විදියටම අපේ කවියාත් කරන්නේ නොරජ හා අන්තඃපුරය යන කාව්‍යමය යුගල ගැන්වීම මිනිස් ලිංගිකත්වය ආර්ථික, සාමාජික, සංස්කෘතික ව්‍යුහයන් හරහා අත්විඳිය යුතු දෙයක් බවට පත් වීමෙන් එය විඳින්නන් මිනිසුන් නොව රූකඩ බවට පත් වන සැටි තේරුම් ගැනීම සඳහා භාවිත කිරීම. කොඩිකාර කවියා සෑම නිර්මාණයකදිම වගේ සංස්කෘතිය කියල අපි සාමාන්‍යයෙන් සලකන මතුපිට තට්ටුව හාරනව, කණිනව ඒවට යටින් තියෙන ස්වභාවික මිනිස් මොහොතක් හොයන්න. මේ කාව්‍යයෙදිත් පතිවත වැනි පුරුෂ කේන්ද්‍රිය සංස්කෘතික පියන ඇරල ඊට යට මොනවද තියෙන්නෙ කියල කවියා හොයලා බලනවා. එක්තරා නිශ්චිත මොහොතක අපි ගෑනු මිනිස්සු අපේ ස්වභාවික මනුෂ්‍ය සම්බන්ධතාවලින් සංස්කෘතික, සාමාජික, ආර්ථික ආයතනවලට ඈත් වෙනවා. ඒ ආයතන නිසා චිරජීවනය ලබන්නෙ මිනිස් සබඳතා නෙමෙයි වියුක්ත සමාජ ආයතන. ඒ නිසා දැනෙන මිනිස් තනිය නැති කරන නොතනිය - ලෙස වෙළඳ පොලේ ගන්න තියෙන දෙයින් ලැබෙන්නෙ මිනිස් නොතනියක් මිනිස්-මිනිස් මුණ ගැසීමක් නොවෙයි. (මේ කාව්‍යයෙදි කවියා පළ කරන බොරු ඇඟවුම් නැති වදනිසුරු බව කියාපාන යෙදුමක් තමයි නොතනිය) 

කොහොම හරි කවියා ක්‍රම ක්‍රමයෙන් කාව්‍ය අරගෙන යනවා පත්තිනි හෑල්ලෙ පත්තිනි කතාව පිළිබඳ නව අර්ථ කථනයක් කරා. 

පතිධර්ම ශීලයෙන්

සප්‍රාණ භාණ්ඩය 

මතු පිටින් සොමි ගුණය 

වර්ධනය වන අතර

ඇතුළතින් තමා ගැන

දැවෙන දුක් ගින්දරින්

ගිනියම් ව ගිනියම් ව

පැවැත ගෙන එද්දී ය

මදුර පුරයෙදි එ දා

පඬියාට බැණ වැදී

ළ පැත්තේ මේ පැත්ත

කඩා මා ගැසූයේ

ඒ සමග පිටවුණේ 

අපේ අභ්‍යන්තරය 

මුළුල්ලෙ ඇවිලෙමින්

බුරන අපෙ ගින්දරයි


ඒ විනා පතිවතක

මහිමයක් නො වේ ම ය!


මේ කතා කරන්නෙ පත්තිනි ලෙසින් පියවුර කඩා පොළොවේ ගැසූ ජගත් ස්ත්‍රීත්වයයි


ඇය මෙසේද කියයි: 


“කන බඳුන බොන බඳුන

නිදන ඇඳ පොරෝනය

මේ මගේ ය යි කියා

තබා ගන්නා ලෙසට

නීරෝගි සම්පතට

තැන දීමෙ පිළිවෙතින්

අවබෝධයක් ඇති ව

නුඹ මගේ මා නුඹේ

කියා පවතිනු මිසක

නුඹෙන් බත් කන නිසා 

මා නුඹේ ය යි කියන

තත්ත්වයෙන් පැවැත්වෙන

පතිවතෙන් මිදෙන ලෙස

කියා පෑමට ලොවට” 


  මේ කාව්‍ය කියන්නෙ අපි ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා පිළිබඳ තීරණාත්මක යළි සංවිධාන කිරීමක් කළ යුතු බවයි. මේ නම් ගැඹුරු ලෙස විප්ලවවාදී වීමක්. මොකද ඉන් කරන්නෙ අපි උනුන් හා ජීවත් වන්න සාදාගෙන තියෙන දිසි අදිසි ව්‍යූහ සංස්කරණයට ඉල්ලීමක්. හුදෙක් නිෂ්පාදන ක්‍රම වෙනස් කිරීමෙන්, ආර්ථිකය වෙනස් කිරීමෙන් මිනිස් සබඳතාවලට මානුෂිකභාවයේ හුස්ම නිකම්ම වගේ වැටෙයි කියල හිතන අති සරල මාක්ස්වාදී අදහසක් නෙමෙයි මේ. සම්භාව්‍ය මාක්ස්වාදී අදහස් සින්දු පද විමසන සරල සමීකරණයක් බවට පත් කරපු අපේ සමහරු නම් එහෙම කියයි. කොඩිකාර කවියා මිනිස් මොහොත සොයා කරන මේ කැණිම හරියට විස්තර කරන්න මාක්ස් විතරක් මදි ෆූකෝ වගේ කෙනෙකුත් ඕනෙ වෙනවා. ඒත් මදි වෙනවා. ඉතින් මොකද? එහෙම තමයි හොඳ කවි. 

     කාව්‍යයට අමතරව සිරිලාල් කොඩිකාරගෙන් අපට ඉගෙන ගන්න පුලුවන් දෙයක් තමයි. ආඛ්‍යාන කලාව ගැන යම් යම් දේ ඔහුගේ ආඛ්‍යානමය කවි හතරම ආඛ්‍යාන බන්ධනය ගැන හොඳ උපදෙස් සපයනවා. තමන් අත ඇති ආඛ්‍යානය ඇසුරින් අලුත්ම අරුතක් තමාගේම අරුතක් මතු කර ගන්නා සැටි සම්බන්ධයෙන් අපිට ඔහුගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. 

සමාප්ති සටහන්     

   මේ දවස්වල ගුණදාස අමරසේකරට අවුරුදු අසූව පිරිල කියලා ඔහුගෙ පොත් ප්‍රකාශකයා ප්‍රත්‍යාලෝකන වැඩ වගයක් කරගෙන යනවා. ඒ පරම්පරාවටම අයිති කවියෙක් වන සිරිලාල් කොඩිකාරගෙ කාව්‍ය සම්ප්‍රදාය යළි තක්සේරු නොකරන්නෙ ඇයි? අර කට්ටිය අරහෙම කරන හින්දම තමයි කොඩිකාර වගේ කවීන්ව නැවත වටහා ගන්න ඕනෙ. ලංකාව සිංහලත්වය හා බෞද්ධත්වය ඇසුරින් පමණක් පරිකල්පනය නොකරන, ගතානුගතිකත්වය සුන්දර ලෙසත් ප්‍රබල ලෙසත් ප්‍රශ්න කරන, එක්තරා දේශජ ලෞකිකත්වයක් දිවි සැරියෙන් කවි සැරියෙන්ද ප්‍රකට කරන කොඩිකාර වැනි අය හැදෑරීමට මේ හොඳම කාලෙ. මේ හොඳම කාලෙ.  

   සිංහල කවිය මෙහෙමයි විය යුත්තෙ කියල කියන සංස්කෘතික ජාතිකවාදියො ඒකමානීය විචාරකයො කොතෙකුත් ඉන්නවා. ඒ උනත් නූතන කවියෙ ඉතිහාසෙ අරගෙන බැලුවම පේනව ඒ කවිය රූපීය වශයෙන් බෙහෙවින් විචිත්‍ර බව. මේ විවිධ මුහුණත් ඇති බව ඉතා වැදගත්. සිරිලාල් එකතු කරන ඔහුගේ කවියේ අපූරු මුහුණ අපේ කවියට එක් කරන්නෙ තවත් විචිත්‍රත්වයක්. අපේ කවිය, අපේ භාෂාව, අපි ලෝකයේ හැසිරෙන හැටි පිළිබඳ සජාතීය ඒකමානීය විධියක් යෝජනා කරන කාලෙක මෙවන් විචිත්‍රත්වය දැකීම ඉවසීම හා ඊට හුරුපුරුදුවීම එක්තරා ප්‍රගතිශීලී කාර්යක්. 

(2009 වර්ෂයේදී කළ දේශනයක්.)



     

  

  



  




1 comment: