ප්‍රියන්ත ෆොන්සේකා පරිවර්තනය කළ කවි එකතුවක් පොතක් ලෙස පළ වුණා. ඒකෙ නම කවි සෙවණැල්ල.
කවි සෙවණැල්ල කියන යෙදුම ඔහුගෙ පරිවර්තන කලාව වගේම කාව්‍ය පරිවර්තනය පිළිබඳ න්‍යායකුත් අඟවනවා.
කවි පරිවර්තනය කරන එක ලේසි නෑ. මහාචාර්ය රංජිනී ඔබේසේකර පරිවර්තනය කළ කවි එකතුවක් මේ දිනවල මම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට උගන්වන්න භාවිත කරනවා.(Sinhala Poetry in Translation- Vijitha Yapa Publications) ඒ පරිවර්තන උගන්වනකොට තේරෙනවා කවි පරිවර්තනය කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද කියලා.
තමන් මේ පොතේදි කරන වැඩේ ප්‍රියන්ත ලස්සනට විස්තර කරන්නෙ මෙහෙම:
එ කවෙහි සෙවණැල්ල
මත මෙකව ලීවෙමි
එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත
මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන
ප්‍රියන්ත ෆොන්සේකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන තරුණ කථිකාචාර්යවරයෙක්. ඔහු උගන්වන්නෙ සාහිත්‍ය අධ්‍යයන අංශයක නොවෙයි. ඒත් ඔහුට සාහිත්‍ය කලා පිළිබඳ තියුණු සංවේදීතාවක් තියෙන බව ඔහුගෙ පරිවර්තන කියවන විට පේනවා.
ෆොන්සේකා මේවා සෙවණැලි කියල හඳුන්වන්නෙ පරිවර්තන වැරදි කිරීමට අවසරයක් ලෙස නෙමෙයි. මුල් කවියෙ ආත්මය අල්ල ගන්නා සෙවණැල්ලක් ඔහු සිංහලෙන් ගොඩ නගනවා. මෙහි පරිවර්තිත ඇතැම් කවිවල මුල් කෘති මම දැකලා නෑ. දැකලා කියවලා තියෙන කවි අතර මායා ඇන්ජලෝගෙ, විලියම් කාර්ලෝස් විලියම්ස්ගෙ සහ අපේ විවිමරී වැන්ඩර්පූට්න්ගෙ කවි තියෙනවා.
ඒවා සිත්ගන්නා ලෙස ඔහු ප්‍රියන්තගෙ සිංහලෙන් අපේ කවි බවට පත් වෙනවා.
ඒ වගේම ඕනෑම හොඳ කවියකට හෙවැණැලි කීපයක් තියෙන්න පුළුවන් නේද කියා අපට හිතෙනවා.
තුලනාත්මක සාහිත්‍ය පිළිබඳ ගුරුවරයෙකු වන මට අගනා සම්පතක් සේ මේ කුඩා කාව්‍ය සංග්‍රහය මට පේනවා.
අර හෙවණැල්ල කියන අදහස දැක ගන්න කියවන්න පුළුවන් කවියක් සුනිලෙ නමින් මේ පොතේ තියෙනවා. ඒක ලියලා තියෙන්නෙ ඇලෙක් කොකර්ස් නමැති තරුණ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු මුල් කවියට දීල තියෙන නම ටොම්.
ප්‍රියන්ත තමන්ගෙ හෙවණැල්ලට දීල තියෙන නම සුනිලෙ.
සුනිලෙ
ඔව් ඒ මගේ යාළුවා
උන්නෙ මගෙ පන්තියේ
ගේ තිවුණෙ අපෙ ගමේ
ඕ ලෙවල් පේල් වෙලා
එකට යුද්දෙට ගියේ
හිටියෙ එක බැරැක්කේ
එකම රෙජිමන්ට් එකේ
ෆරන්ට් එකට යවන කොට
එකටමයි අපි ගියේ
යුද්දෙ සැරටම ගියා
සුනිලෙ ඉස්සර වුණා
කැප්ටන්ල කියනකොට
ෆයර් කරගෙන ගියා
කතා වෙල උන්නාට
එකට ඉමු බං කියල
සුනිලෙ දාල තිබුණෙ
කිලිනොච්චි දිහාවට
නිවුස් එක ලැබෙන කොට
මං හිටියෙ මෙස් එකේ
පිළිගන්න බැහැ කියල
මමයි කලබල කළේ
කඳුළු වාවන් නැතිව
මං එදා අඬනකොට
කැප්ටන්ල මට බැන්න
යුද්දෙ එහෙමයි කියල
ඔව් සුනිලෙ මගෙ යාළුවා
උන්නෙ මගෙ පන්තියේ
ගේ තිවුණෙ අපෙ ගමේ
ඕ ලෙවල් පේල් වෙලා
එකට යුද්දෙට ගියේ
ටොම් ගැන ඉංග්‍රීසි කවිය මම කියවලා නෑ. ඒත් අපිට පරිවර්තනය කියවද්දි තේරෙනවා බ්‍රිතාන්‍ය සොල්ලාදුවන් ඇෆ්ඝන් යුද්දෙදි වින්ද වේදනාව ඇසුරින් ලංකාව තේරුම් ගන්නත් පුළුවන් කියලා. මේ කවිය ඉංග්‍රීසියෙන් ලියපු කවියා කොමාන්ඩෝ භටයෙකු ලෙස ඇෆ්ඝනිස්ථානයේ යුද බිමේ සිටි බව විස්තර කරන සටහනක් ප්‍රියන්ත තමන් ගොඩ නගන හෙවණැලි කවිය අවසානයේ ලියනවා.
ඇතැම් විටෙක ප්‍රියන්තගේ හෙවණැල්ල සියුමැලි වැඩියි. මායා ඇන්ජලෝගේ මම තවම නැගෙමි කියන ප්‍රසිද්ධ කවියෙ තියෙන ඇඟ කිළිපොලන ප්‍රහාරාත්මක ස්වරය හෙවණැල්ලෙ නෑ. ඒක අනවශ්‍ය තරම් මුදුමොළොක් රසිකත්වය වෙත හීලෑ කරන ලද කවියක් කියා කියන්න පුළුවන්. එහෙත් එහි ඇතැම් තැන් ළඟන්නා සිංහලට නැගෙනවා.
කලාවයි යථාර්ථයි අතර සම්බන්ධය, නැත්නම් තථ්‍ය ලෝකය සහ පරිකල්පිත ලෝකය අතර සීමා ඉර හරි ලස්සනට බොඳ වෙන කවි දෙක තුනක්ම මේ පොතේ තියෙනවා. මේ එකක්. ලියලා තියෙන්නෙ වෙන්ඩි කෝප් කියලා බ්‍රිතාන්‍ය කවිකාරියක්.
මම කවියෙක්මි
මම කවියෙක්මි
කෙසෙල් ගෙඩිවලට බොහෝ කැමති
මම වෙමි කෙසෙල් ගෙඩි
කවියන්ට බොහෝ කැමති
මම කෙසෙල් ගෙඩි කවියාය
මම බොහෝ කැමතිය
කැමති කවියා ය 'මම'
බොහෝ කෙසෙල් ගෙඩි ය
කැමති 'මම කෙසෙල් ගෙඩි ද?'
'මම ද?' බොහෝ කවියා
කවියාගේ කෙසෙල් ගෙඩි !
මම ද කැමතිද? මම ද බොහෝ?
කවි කෙසෙල් ගෙඩි මම
මම කැමතිය 'බොහෝ'
මම බොහෝ කැමති කෙසෙල් ගෙඩි
මම කවියෙක් ද?
මේක අමුතු කවියක්. පරිවර්තනයට වුණත් අභියෝග කරන කවියක්. කවිය නමැති ගොඩ නගන ලද සෞන්දර්ය වස්තුවෙහි ස්වභාවය කුමක්ද යන්න මින් ඇඟවෙනවා. කවියා කියන්නෙ වාස්තවික දූරස්ථභාවයකින් කෙසෙල් ගෙඩිය නමැති බාහිර වස්තුව විස්තර කරන කෙනෙක්ද? හොඳ කවියෙදි කවියා කෙසෙල් ගෙඩිය වෙතටත් කෙසෙල් ගෙඩිය කවියා වෙතටත් කිඳී යන අමුතු ආත්මීයතාවක් ඇති වෙනවා. ඒක වාස්තවිකත්වය සහ ආත්මීය තාව අතර අමුතු මිශ්‍රණයක්. ඒ කියන්නෙ සෞන්දර්ය වස්තුව කියන්නෙ නිරීක්ෂකයා සහ නිරීක්ෂිතය අතර කාටිසියානු බිත්තිය බිඳින තැනක්.
මේ පොතේ මීට සමාන තව කවියක් තියෙනවා. ඒකෙ නම "ප්‍රොජෙක්ටර් ක්‍රියා කරවන්නා දුටු සිහිනය. "
කවි තෝරාගැනීමේදී එතරම් සංගත නැති තැන් මේ පොතේ තියෙනවා. සමහර කවියක් එක්තරා නවකතාවක සඳහන් වන ජනකවියක්. තව කවියක් පූර්ව නූතන චීන කවියක්. සමහර කවි සෙවණැල්ලක් ප්‍රකට ඉංග්‍රීසි ගීත සිංහලට නැගීමක්. ඒ නිසා මේ පොත නූතන ලෝක කවියෙ හරස්කඩක් හැටියට ගන්නවාට වඩා හොඳ අගනා පරිවර්තන අභ්‍යාසයක් සේ ගැනීමයි.
සාහිත්‍ය පරිවර්තනය කියන්නෙ පරිවර්තනයක් නෙමෙයි පරිනිර්මාණයක් කියා ඇතැම් න්‍යායධරයන් කියනවා. මමත් හිතනවා ඒක ඇත්ත කියා. මුල් කෘතියේ සමස්තයම නැවත සත්කාරක භාෂාව තුළ නැවත ගොඩ නැගීම ඉන් අදහස් වෙනවා. එවැනි නිර්මාණක දීප්තියක් මේ පොතේ බොහෝ තැන්වල තියෙනවා.
මේ පොත සන්ථව ප්‍රකාශනයක්. කොරෝනා කලබල නිසාදෝ පොතේ මුද්‍රිත වර්ෂය සඳහන් කරන්න පවා සන්ථවලට අමතක වෙලා. මං හිතන්නෙ මේක 2021 වර්ෂයේ පළ වූවක්.
මේ පොතේ කවරයට සටහනක් ලියපු මම මෙහෙම කිව්වා. "රසිකයිනි මෙය නොපමාව කියවන්න." ඒ වුණත් වැඩි දෙනෙක් මේ පොත දැකපු බවක්වත් නොදැක්ක නිසා මටම මේ රචනාව ලියන්න හිතුණා.
හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන්:
ඒ වැකිය සන්ථවලා මුදුණය කරල තියෙන්නෙ "කියවන්න" කියන වචනෙ නැතුව. එතකොට මෙච්චරයි ඉතුරු වෙන්නෙ: "රසිකයිනි මෙය නොපමාව..."
"මේ පොත නොකියවා ඉන්න" කියලා ඒ වැකිය සම්පූර්ණ කරගන්නත් බැරිකමක් නෑනෙ. හැබැයි මේ පොත කවිය හදාරන අය අත්හරින්න හොඳ නෑ.
ප්‍රියන්ත ෆොන්සේකා විසින් ලියන ලද මේ කවි මුලින් ම පළ වූයේ ඔහුගේ "කවි හෙවනැල්ල" නම් බ්ලොග් අඩවියේ බව සතුටින් සිහිපත් කරමි.
ReplyDeletehttp://shadowpoem.blogspot.com/
සෙවණැලි කවි ලියන්න පටන් ගත්තු කාලේ ප්‍රියන්ත මීටත් වඩා තරුණයි. මං කියන්නේ පොතක් පළ කර ගන්න කොච්චරක් නම් කල් යනවද?
ReplyDelete😀