ලංකාවේ දේශපාලන වේදිකාවල සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ගැන නිතර සඳහන් වේ. සිංගප්පූරුව ලංකාවක් කරන්නේ යැයි ඔහු 1950 ගණන්වල කියූ කියුමක් වම දකුණ මැද යන හැම තැනින්ම කියනු අසන්නට ලැබේ. ලංකාවේ එක්පුද්ගල දළ ජාතික නිෂ්පාදනයත්, සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනයත් සන්සන්දනය කරන අයද සිටිති. ලී ක්වාන් යූ ගැනත්, සිංගප්පූරුව ගැනත් යම් යම් පොත පත කියවා ඇති මාද ඇතැම් දේශපාලන වේදිකාවල කතා කොට ඇතත් මේ දෙරට අතර පහසු සන්සන්දනය කරන්නේ නැත.
ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව අත්කරගත් ආර්ථික ජයග්‍රහණ කාටත් පෙනේ. දශක කිහිපයකට පෙර පැල්පත්වලින් යුක්ත වූ ඒ කුඩා රාජ්‍යය අද ඉතා දියුණු නූතන නගර රාජ්‍යයක් බවට පත්ව ඇති බව පැහැදිලිය. මා එහි සංචාරය කර ඇත්තේ එක වරක් පමණක් නිසා එහි ජීවිතය ගැන විශාල අද්දැකීමක් නැත. එහෙත් එරට ආර්ථික ජයග්‍රහණ යනු මෙරට නිතර කියවෙන උපමාකතාවක් වැනිය.
මා මේ රචනයෙන් තැත් කරන්නේ සිංගප්පූරුව ගැන සිංහල භාෂාවෙන් වැඩි වශයෙන් කියවන්නට නැති පැත්තක් ගැන අනාවරණයක් කරන්නටය. පෙබරවාරි 22 වෙනිදා ජාතික ජනබලවේගයේ මහනුවර රැලියේදී ලාල් විජේනායකද සිංගප්පූරුවේ ආර්ථික ජයග්‍රහණ අගය කළේය. ඒ අසා සිටින විට ‘අනේ කතාව ඔච්චර සරල නෑ නේද’ කියන ප්‍රශ්නය මගෙන්ම අසන්නට මට සිදු විය. මේ කෙටි රචනය මගේ ඒ දෙගිඩියාවට හේතු සැකෙවින් හෙළි කරයි.
යටත්විජිත පාලනයෙන් නිදහස්ව සිංගප්පූරු ජාතිකවාදීන් අත්පත් කරගත් ආර්ථික හා භෞතික ජයග්‍රහණ එවැනි ජයග්‍රහණ එපමණින් අත්පත් කරගන්නට බැරි වූ අපට ආදර්ශයක් බව ඇත්තය. ඊට වඩා ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමේ විභවතාවක් ලංකාවට තිබුණු බවද ඇත්තය.
එහෙත් සිංගප්පූරුවේ ජාතික සටනෙහි සිටි අනික් නායකයන් අපේක්ෂා කළ මානව සංවර්ධනය කරා යන්නට සිංප්පූරුවට හැකිවීද? සිංගප්පූරු ජාතික සටනෙහි ලී ක්වාන් යූ සමග සිටි අනෙක් බොහෝ නායකයින්ගේ පරමාදර්ශය වූයේ ආර්ථික සමෘද්ධිය හා තාත්ෂණික ජයග්‍රහණවල ප්‍රතිඵලයක් සේ සාරවත් මානව ජීවිතයක් ඇති කරගැනීමය. නිදහස, විමුක්තිය, යුක්තිය, සාධාරණය වැනි පරමාදර්ශ ඔවුන්ගේ අපේක්ෂාව විය. ලී ක්වාන් යූද ඒ පරමාදර්ශ වෙනුවෙන් කතා කළේය. එහෙත් 1994 ගණන්වලදී ඔහුගේ ස්වරූපය ගැන කතා කළ දේවන් නයියර් කීවේ ලී ක්වාන් යූ අර පරමාදර්ශ අත්හළ දේශපාලන බලලෝභියෙකු හා මර්දනීය යන්ත්‍රයක් බවට පත් වී ආකාරය පුදුම සහගත බවය. නයියර් යනු සිංගප්පූරුවේ තුන් වෙනි අගමැතිවරයාද වූ ප්‍රවීණ දේශපාලනඥයෙකු සේම ඉතා මනරම් ආකාරයෙන් ලියූ ලේඛකයෙකි. ඔහුගේ ලේඛන කියවන විට පණ්ඩිත් ජවහර්ලාල් නේරු වැනි කෙනෙකුගේ අගනා ගද්‍ය රචනා සිහිවීම පුදුමයක් නොවේ. ඔහු දකින හැටියට ලී ක්වාන් යූගේ ආර්ථික වර්ධනය සැබෑ ලෙසම සාරවත් වූ මනුෂ්‍ය ජීවිතයකට තුඩු දෙන්නක් නොවිණි. ආර්ථික වර්ධනයේ පළමු ඉලක්කය සමාජය ලෙසත් පුද්ගලයා දෙවෙනි තැනට වැටීමත් නිසා ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ඒකාධිපති පාලනයක් කරා ගිය බව නයියර් විස්තර කරන්නේ තම පැරණි සටන් සගයා දේශපාලන මැෂිමක් බවට පත්වීම ගැන දැඩි කණගාටුවකිනි. ජාතික ආරක්ෂාව කේන්ද්‍රකරගත් ජාතිකවාදයක් විශ්වාස කළ ලී ක්වාන් යූගේ පාලනය නිදහස, යුක්තිය, සාධාරණය යනාදී මනුෂ්‍ය ජීවිතයෙහි පොහොණි බවට උදෙසා අවශ්‍ය වන සියලු මූලිකාංග නොසලකා හැරියේය. ලී ක්වාන් යූගේ ඇසින් තම සහෝදර පුරවැසියන් පෙනුණේ ආර්ථික සංවර්ධනය උදෙසා වන හුදු අංක මාලාවක් පමණි. ඒ පුරවැසියන් නිර්නාමික, අනන්‍යා විරහිත, හැඟීම් දැනීම්වලින් තොර හුදු අංක විශේෂයක් පමණි. මේ වූකලි නිර්වින්දනය වූ දේශපාලන මැෂිමක් වන රනිල් වික්‍රමසිංහගේ ස්වභාවය සිහි කරන තත්ත්වයකි.
වික්‍රමසිංහට සහාය දක්වන සමහරු අද කියන්නේ “ජනරජය එක ජනතාව දෙක” වැන්නකි. මේ වූකලි “සමාජය එක” පුද්ගලයා දෙක” යනුවෙන් ලී ක්වාන් යූ කළ විශ්වාසයේම වෙනස් තත්ත්වයකි. ආර්ථික එක ප්‍රජාතන්ත්‍රවාදය දෙක යැයි වික්‍රමසිංහ කියයි. ඒ අතරම ඔහු රාජ්‍ය බලය සහිත බලවත් තනතුරුවල දශක ගණනාවක් සිටි බව අමතක කරයි.
අපි නැවතත් දේවන් නය්යර් වෙත යමු. සිංගප්පූරුව සාමූහිකවත්, සිංගප්පූරු ජනයා ඒකපුද්ගලික වශයෙනුත් අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ අගය කරන ඔහු ඒවා නිසා උදාවූ ජීවිතය ගැන සතුටු වන්නේ නැත. දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය පමණක් එකම නිර්ණායකය කරගෙන සංවර්ධනය මැනීම නිසා ලී ක්වාන් යූ විසින් සිංගප්පූරුව වෙනුවෙන් පිස ඇත්තේ තිත්ත පාන් ගෙඩියක් බව නය්යර් කියයි. මෙහි ඇත්තක් තිබේ. ලී ක්වාන් යූගේ පාලනය කාලය තුළ සිංගප්පූරුව අතහැර පිටුවහල් ජීවිතය කරා ගිය බුද්ධිමතුන්, නිදහස් මතධාරීන් ගණන අතිවිශාලය. මේ කිසිවක් ලී ක්වාන් යූගේ සිංගප්පූරුව ලංකාව සමග සසඳන කිසිවෙක් සිහි නොකරති. ලී ක්වාන් යූගේ ආණ්ඩුවලට ප්‍රජාතාන්ත්‍රික ආකාරයෙන් විරෝධය පෑ අයට පවා ඔහු සලකා ඇත්තේ දරුණු මර්දකයෙකු ලෙසය. ලී ක්වාන් යූගේ ආර්ථික ජයග්‍රහණ වර්ණනා කරන අයට කියවිය හැකි පොත් රැසක් තිබේ. ෆැන්සිස් ටී. සියොව්ගේ ටු කැච් අ ටාටාර් නම් කෘතිය ඉන් එකකි. සියොව් සිංගප්පූරුවො සොලිසිටර් ජෙනරාල්වරයා ලෙසද සේවය කළේය. 1986 තෙක් ලී ක්වාන් යූ සමග සමීපව කටයුතු කළ ඔහු වෙත ඉන් පසු යූගේ දේශපාලන සැකය එල්ල විය. 1988 දී අත්අඩංගුවට ගැනුණු ඔහු සිරගෙදර ගත කළ දින හැත්තෑ දෙකක තතු මේ පොතෙහි විස්තර වේ. හුදෙක් ඒ සිරගත අද්දැකීමට පමණක් සීමා නොවන පොත සිංප්පූරු ඉතිහාසය විස්තර කරන්නේ හුදෙක් ආර්ථික වර්ධනය පමණක් ඉලක්ක කරගත් සංවර්ධනයක් සාරවත් මනුෂ්‍ය ජීවිතයක් අහිමි කරන රාජ්‍යයක් බවට පත් වූයේ කෙසේද යන්න අපටද අවබෝධ කරගත හැකි ආකාරයටය. එසේම ඔහු සමගම අත්අඩංගුවට ගැනුණු ජනමාධ්‍යවේදීන්, පොත් ප්‍රකාශකයන්, නාට්‍යකරුවන්, කලාකරුවන් ආදීන්ට විඳින්නට සිදු වූ රාජ්‍ය හිංසනය ගැනද තොරතුරු මෙහි අඩංගු වේ. සියොව් වැනි ප්‍රභූ රැඳැවියන්ට පවා වධ දී ඇති ආකාරය අදත් අප සිත ලොමුදැහැගන්වයි. මේ වධදීම එකල සිදු වූයේ නියෝජ්‍ය අගමැති වූ ජෙනරාල් ලී සින් ලූංගේ අණසක යටතේය. ඒ වූකලි ලී ක්වාන් යූගේ පුතාය. මෙවන් මර්දන කටයුතුවලදී අධිකරණය හා ජනමාධ්‍ය බැඳ තබන නීති සම්මත කරන්නටද ලී ක්වාන් යූ පසුබට වූයේ නැත.
සිංගප්පූරුව පරමදර්ශී රාජ්‍යයක්ද ලී ක්වාන් යූ ආදර්ශවත් නායකයෙකියිද යන ඇඟවුම මාද සම්බන්ධ දේශපාලන කඳවුරු වෙතින් පවා ඇසෙන විට දැනෙන අපහසුව නිසා මෙම කෙටි ලිපිය ලිව්වෙමි. ආර්ථික වර්ධනය යනු අවශ්‍ය දෙයකි. එහෙත් දළජාතික නිෂ්පාදනයේ ප්‍රමාණය යනු සමාජයක සංවර්ධනයේ එක් දර්ශකයක් පමණක් බව මේ වන විට අමර්තයා සෙන්, මාර්තා නස්බෝම් වැනි අය අපමණ වාරයක් පෙන්වා දී තිබේ. සිංගප්පූරුවේ ඇත්තේ ක්‍රය සහ වික්‍රය හෙවත් මිලට ගැනීම හා විකිණීම හෙවත් වෙළඳාම පමණකියි මහාචාර්ය සරච්චන්ද්‍ර ධර්ම සමාජයේදී ලිව්වේය. එය තරමක් අතිසරල විචාරයකි. ඊට වැඩි සංකීර්ණ අවබෝධයක් සිංගප්පූරුව ගැන ලබා ගැනීමට අවකාශ දැන් අපට ඇත.
No comments:
Post a Comment