සෞන්දර්ය විනිශ්චය කේන්ද්‍රකරගත් විචාරය වර්තමාන සාහිත්‍ය කලා විචාරයේදී එපමණ භාවිත නොවන බව කලින්ද කියැවිණි. කෘතියෙහි හොඳ නරක මට්ටම නිවේදනය කිරීම එවැනි විචාරවල ලක්ෂණයකි. ඒ ප්රවේශයේදී විචාරකයා හැසිරෙන්නේ අදාළ කලා ක්ෂේත්රය පිළිබඳ සියල්ල දන්නා පුද්ගලයා තමා බවත්, ඒ කලාව පිළිබඳ අවසන් විනිශ්චය තමා ලබා දෙන්නේ තමා බවත් විශ්වාස කරමිනි. දැන් මේ ප්‍රවේශය තරමක් පරණය. කිසිම කලා ක්ෂේත්රයක සියලු දේ දන්නා වූද, ඕනෑම කෘතියක් පිළිබඳ අවසන් විනිශ්චය ලබා දීමෙහි හැකියාව ඇත්තා වූද කෙනෙකු වීම පහසු නැත. එවැනි අධිකාරිත්වයකින් කිසිම කලා කෘතියක් ගැන කතා කිරීමේ ස්වරයද දැන් යල් පැන තිබේ. කලෙකට පෙර මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි අය එවැනි ස්වරයකින් කතා කළහ; එනයින් තමා අදාළ කලාව ගැන සියල්ල දන්නා බවක් ඇඟවූහ. දැන් එවැනි ස්ථාවරයක් නඩත්තු කිරීම ලෙහෙසි නොවේ. දැනුම යන්න බෙහෙවින් ප්රජාතන්ත්රකරණය වී තිබේ. කාලය හා ශ්‍රමය අතින් යම් කැප කිරීමක් කළ හැකි බුද්ධිමත් ඕනෑම කෙනෙකුට යම් කලා ක්ෂේත්රයක් ගැන දැනුම පහසුවෙන් සපයා ගත හැකිය. ඉංග්‍රීසි වැනි භාෂාවක් දන්නේ නම් එය වඩාත් පහසුය. අදාළ කලා ක්ෂේත්රය ගැන යම් නිල අධ්‍යාපන පසුබිමක් ඇති කෙනෙකුට දැනුම ගවේෂණය පිළිබඳ යම් පුහුණුවක් ලැබී තිබෙන්නට පුළුවන. එය අමතර වාසියකි.
සෞන්දර්ය තක්සේරුව පිළිබඳ විචාරය යල් පැන ඇත් නම් විචාරකයාට කළ හැකි කාර්යයක් නැතිද? තිබේ. විනිශ්චය හා තක්සේරුව ඉක්මවන කාර්යයක් තිබේ. එය ‘කතිකාමය සහභාගිත්වය’ යැයි හඳුන්වන්නට පුළුවන. අපට මෙහිදී සියලු කලාවන් ගැන එක් වර කතා කළ නොහැකි නිසා නවකතාව වෙත පමණක් දැනට අවධානය යොමු කරමු. අද වන විට නවකතා කලාව තේමා අතිනුත්, ශිල්පීය ක්‍රම අතිනුත් වර්ධනය වී තිබේ. විවිධ ස්වරූපයෙන් පහළ වී ඇති නවකතාවල කලාත්මක අංග ගැනද පැතිරුණු දැනුමක් සාහිත්‍ය කලා ක්ෂේත්රයේ පවතී. ලෝකයෙහි සිටි හා සිටින සියලු ප්‍රධාන ලේඛකයන්ගේම පාහේ හොඳ නවකතා සිංහලට නැගී ඇත. ඒ නිසා ‘මම තමයි සියල්ල දත් විචාරක සක්විති’ වැනි ස්වරූපයකින් විචාරයෙහි යෙදීම පහසු නොවේ.
නවකතාවක් හොඳද නරකද යන්න සරල විනිශ්චයක් නොදී අදාළ කෘතිය මෙකල පවත්නා අර්ථවත් සමාජ සංවාදවලට දායක කරගන්නේ කෙසේද යන ප්රශ්නය සලකා බැලීම අද අපට ගත හැකි එක් ප්රවේශයකි. ඒ ප්‍රවේශයෙන් නිසි ලෙස එළඹුණ විචාරකයාට කෘතිය ගැන යම් විනිශ්චයක්ද කළ හැකිය. එනමුත් විචාරය ප්‍රධාන අරමුණ ඒ විනිශ්චය සැපයීම නොවේ.
මෙම රචනයේ දී මෙකල සමාජ විචාරක කතිකාව තුළ පවත්නා එක් තේමාවක් ඇසුරින් නවකතා දෙකක් පිළිබඳ තේමාත්මක සාකච්ඡාවකට එළඹෙමු. මා තෝරාගන්නා තේමාව ‘කාරකත්වය’ යන්නයි. ‘Agency’ යනුවෙන් එය ඉංග්‍රීසියෙන් හැඳින් වේ. යම් කතිකාවකදී කෙනෙකුට ලැබෙන කාරක ශක්තිය, මූලිකත්වය, නායකත්වය, ආරම්භක අවස්ථාව ආදිය කාරකත්වය යනුවෙන් හැඳින් වේ. ‘කතිකාව’ යනු ඕනෑම මනුෂ්‍ය සංවාදයක් හෝ මනුෂ්‍ය අන්තර් ක්‍රියාවක් සේ ගත හැකිය. එහිදී වැඩි නායකත්වයක්, මෙහෙය වීමේ අවස්ථාවක්, ලැබෙන්නේ කාටද ඔහුට හෝ ඇයට ලැබෙන කාරකත්වය වැඩිය. සරල නිදර්ශනයක් වෙත යමු. යම් නිවසක එදින රාත්‍රී ආහාරය පිළිබඳ සංවාදයක් සිදු වන්නේ යැයි සිතමු. එහිදී සැකසෙන ආහාර වර්ගය කුමක්ද යන්න පිළිබඳ සියලු තීරණ ගන්නේ පිරිමියා නම් ඔහුගේ කාරකත්වය වැඩිය. ස්ත්රීන්ගේ කැමැත්ත, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය, කෑම පිසීමේ ශ්‍රමය සැපයීමට ඔවුන්ට හැකියාවක්ද තිබේද නැද්ද යනාදිය ගැන අදහස් විමසන්නේ නැතිනම් ඔවුන්ට කාරක ශක්තියක් නැත. ඒ නිසා ඔවුන්ට සිදු වන්නේ පිරිමියා කැමති දේට අනුව ක්‍රියා කිරීමය. එවිට ඔවුන් හිමිවන්නේ බලය ඇති තැනැත්තා ‘අනුව ක්‍රියා කිරීම’ පමණි. වෙන කෙනෙකු කියන හැටියට පමණක් වැඩ කරන කෙනෙකුගේ කාරකත්වය අඩුය; කාරකත්වය යන්නට තමාගේම කැමැත්ත, තෝරා ගැනීමේ තීරක අවස්ථාව ආදියත් අයත් වන බැවිනි.
කාරකත්වය යනු සමාජයක කටයුතුවලට සහභාගි වන සියලු දෙනාට හිමි විය යුත්තකි. ගෙදර රෑ කෑම පිළිබඳ ප්රශ්නයේදී නොව ආර්ථික, දේශපාලන, සංස්කෘතික යනාදී සෑම තැනකදීම ඒ කාරකත්වයක් කාටත් ලැබිය යුත්තකි.
මෙම තේමාව නවකතා දෙකක් ඇසුරින් පැහැදිලි කර ගනිමු. ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා ලාඩං යනුවෙන් නවකතාවක් ලියා ඇත. ඊට පසුබිම් වන්නේ නුවර එළිය නගරයේ කුදිරකාර පරම්පරාවය. එනම් අශ්වයන් පුහුණු කරන හා ඔවුන් බලා ගැනීම පිණිස බි්රතාන්යයන් විසින් ලංකාවට ගෙන එන ලද ඉන්දියානු සම්භවයක් ඇති පිරිසය. සෞම්‍ය දේශගුණය නිසා නුවර එළිය පුංචි එංගලන්තයක් සේ බි්රතාන්ය යටත් විජිතවාදී වැවිලිකරුවන්ට පෙනිණි. ඒ නිසා නුවර එළියට ‘එංගලන්තමය’ ස්වරූපයක් ගෙන දීමට අශ්වයන් ඇති කිරීම, අශ්ව රේස් පැවැත්වීම වැනි දේද ඔවුහු කරති. මතු පිටින් අශ්වයන් ආශ්රිත සමාජමය අලංකරණයක් පැවතියද, නගරයෙන් එපිට තේ වතුවල ඇත්තේ අර්ධ වහල් මනුෂ්‍ය ජීවිතයකි. ඒ අශ්වයන් පුහුණු කරන හා නඩත්තු කරන ශ්‍රමිකයන් වන කුදිරකාරයන්ට පවා හිමිව ඇත්තේ අශ්වයන්ටත් වඩා අන්ත සත්ත්වමය ජීවිතයකි. වතුහිමියාට විශාල බංගලා හා අශ්වයා හිමි වන අතර කුදිරකාරයාට හිමි වන්නේ මනුෂ්‍යත්වයට නුසුදුසු වන ලයින් කාමර ජීවිතයකි.
මේ කුදිරකාර ප්‍රජාව යනු කාරකත්වයෙන් තොර ප්‍රජාවක් බව දැනටමත් පැහැදිලිය. නවකතාවට පදනම් වන්නේ මේ ප්‍රජාව ගැන පර්යේෂණයක් කරන එන මහේෂී නම් ප්‍රභූ පසුබිමක් ඇති සිංහල තරුණිය කුදිරකාරයන්ගෙන් පැවත එන ව්‍යාපාරිකයෙකු වන දෙමළ තරුණයෙකු අතර ඇති වන ප්‍රේමයයි.
නවකතාකරු මෙම ස්ත්‍රී චරිතයටත්, කුදිරකාරයන් ඇතුළු දෙමළ වතු කම්කරුවන්ටත් කාරකත්වය ලබා දීම සඳහා ඔවුන්ද කතාවේ කථකයන් බවට පත් කරයි. මෙම නවකතාවේ සියලු ප්‍රධාන චරිත එහි කථකයෝද වෙති. සිංහල ප්‍රභූ තරුණියක වන මහේෂි අපට මුලින්ම හමු වේ. ඇයගේ දෘෂ්ටියෙන් මුළු නවකතාවම කීවේ නම් ඇයට ලැබෙන කථක කාරක ශක්තිය වැඩිය. දෙමළ වතුකම්කරුවන් වෙත සමාජමය කාරක ශක්තිය ලබා දීමට කටයුතු කරන වෘත්තීය සමිති ව්‍යාපාරය හා වමේ ව්‍යාපාරයද මේ පොතේදී අපට හමු වේ. ඒ සමහර අයද කථකයෝ වෙති. මෙය ඉතා හොඳ ශිල්ප ක්‍රමයක් වුවද බොහෝ දෙනෙකු කතා කිරීම නිසා කථාවේ විකාශනයට බාධා වන තැන්ද තිබේ. ඇතැම් විටෙක සිංහල හා දෙමළ ප්‍රජාවන් පිළිබඳ නවකතාකරු අපේක්ෂා කරන සමාජමය කාරකත්වය සහිත යුක්ති ගරුක සමාජය පිළිබඳ ප්‍රාර්ථනාව යථාර්ථවාදයේ සීමාද තෙරපයි. යම් තැනක් ගැන ‘විය හැකිද’ යන ප්රශ්නය ඇති වේ. කතුවර දේශපාලන අපේක්ෂාව නවකතාවේ ‘කලාව’ තෙරපීමකට ලක් කරයි.
කාරකත්වය පිළිබඳ තේමාව සමගම සාකච්ඡා කළ හැකි නවකතාවක් මනෝහරී ජයලත් නම් තරුණ ලේඛිකාව ලියා තිබේ. එය ගිරිජා නම් වේ. ජයලත් යනු සිංහල නවකතාව වෙත මෑත කාලයේ එළඹි ඉතා ප්‍රතිභාසම්පන්න ලේඛිකාවකි. උචිත යැයි තීරණය කෙරෙන භාෂා ශෛලිය ගොඩ නගා තම නවකතාව තුළ එය පවත්වා ගැනීමට ඇයට විශේෂ දක්ෂතාවක් තිබේ. මේ එක් තැනකි:
“ගිරිජා බෙදා දුන්නු බත් පල්ල කාලා මං බුදිය ගත්තා. ඉර හැරෙද්දි බුදියගන්ඩ එපා කියලා අම්මා කිව්වේ හුඟ ඉස්සර. අටුව පුහු වෙනවා ගෑනු දවාලට බුදියෑවාම. මට ඒ මොකක්වත් නිච්චි නෑ. ඒ හැටියට ඉහේ ඇම්ම. මං දැක්කා ගිරිජා ඇවිත් රේන්ද මල්ල ඇදල බලනවා. ලේන්සු තුනයි තාම වැඩ දැම්මේ. වටටම තැටිං ගෙත්තම. කනප්පු වැහුම්කඩේ මුල පිරුවා විතරයි.”
සමස්ත නවකතාවම කියවෙන්නේ ගිරිජාදේවිගේ නැගණිය වන රම්මාගේ දෘෂ්ටිකෝණයෙනි; ඇගේ බසිනි; ඉහත එන ශෛලියෙනි.
කාරකත්වය පිළිබඳ තේමාව අතින් මේ නවකතාව වැදගත් වන අංශ කිහිපයකි: කතාවට පදනම් වන්නේ 1848 කැරැල්ල ආශ්රිත උඩරට ප්රදේශයයි. 1842 මුඩුබිම් පනත නිසා සිංහල ගැමියන්ට ඉඩම් අහිමි වේ. ඉඩම් පිළිබඳ යටත් විජිත නීතිරීති ක්‍රියාත්මක වන්නට පටන් ගනියි. කෝපි වගාවට ආ සුදු ජාතික වැවිලිකරුවෝ උඩරට ගම්වල පදිංචි වී මුල් ඇද සිටිති. එවැනි සුදු ජාතික වැවිලිකාර බංගලාවක් ආසන්නයේ සිංහල ගොවි පවුලක දියණියන් දෙදෙනක වන ගිරිජා හා රම්මාගේ ජීවිතය වටා කතාව ගෙතේ. නවකතාකාරිය තවත් සංස්කෘතික මානයක් නවකතාවට ගෙනෙයි. ඒ එක පිරිමියෙකු සමග ඒ දෙදෙනාම විවාහ වීමය; එය බහුභාර්යා විවාහයකි. යටත් විජිතවාදය නිසා ව්‍යාප්ත වූ ඒකභාර්යා න්‍යෂ්ටික පවුලට වඩා මෙවන් විකල්ප විවාහ ආකෘතිවල වූ ඇතැම් හොඳ අංගද නවකතාවේ සිත්ගන්නා සේ චිත්රණය වේ. ඒවා ගැන සවිස්තර සඳහනකට මේ රචනයේ ඉඩ නැත.
ඒ විවාහයේදී කාරක ශක්තිය අඩු තැනැත්තිය වන බාල සහෝදරිය රම්මා නවකතාවේ කථිකාව වීමද අර්ථවත්ය. මේ සංක්‍රාන්ති සමයකි. රටේ ආර්ථිකය වැවිලි කර්මාන්තය ඔස්සේ එන නූතනකරණයක් වෙත මාරු වෙමින් තිබේ. මේ ඓතිහාසික අවස්ථාව නිසි පරිදි තේරුම් ගෙන, අලුත් ආර්ථිකය වෙතින් වාසි ලබන්නට කාරක ශක්තිය ඇත්තිය බවට ගිරිජා පත් වේ. ඇය ළාබාල කාලයේ සිට යට කී සුදු ජාතික බංගලාව පැත්තේ ගොස් ටික ටික ඉංග්‍රීසි ඉගෙන ගනියි. එහි සිටින සුදු ජාතික පිරිමින් සමග ලිංගික-ප්‍රේම සම්බන්ධයක්ද තිබුණ බවට යම් ඉඟි තිබේ. ඇගේ නැගණිය වන රම්මාද ඒ බංගලාවේ පුතෙකු වන පෙඩ්රික් සමග යම් ආකාරයක පෙම් සබඳකමක් ගොඩ නගා ගනියි.
එහෙත් දක්ෂ ගොවියෙකු වන සුන්දරාට ඒ දෙදෙනාම විවාහ කර දීමට දෙමව්පියෝ තීරණය කරති. ඉඩම් බෙදීයාම වැළැක්වීම ඒ විවාහ ආකෘතියේ අරමුණක් වුවද, යටත්විජිතවාදීන් ගෙනැවිත් නව මුඩුබිම් පනතත්, වතු ආර්ථිකයත් ඉඩම් පිළිබඳ සාම්ප්‍රදායික පරිකල්පනයට අභියෝගයකි. අනෙක් අතට ලංකාවේ පැරණි රජවරුන්ද තම වැසියන්ට ඉඩම් පවරාදීමේදී ක්‍රමවත් නීතිමය පදනමක් භාවිත කර නැති නිසා භුක්තිය හැර අන් කිසිම නීතිමය ලේඛනයක් පෙන්වන්නට නැත. ඔප්පු වැනි නීතිමය ලේඛන මගින් ඉඩම් අයිතිය පැවරීමේ ක්රමයක්ද යටත් විජිත ආණ්ඩුව විසින් ඇති කරනු ලැබ තිබේ. ඉඩම් පිළිබඳ නීතිමය කතිකාවෙන් සම්පූර්ණයෙන් ඉවත් නොවී සිටින ගිරිජා තම ඉඩම්වලින් කොටසකට නීතිමය බලපත්‍රයක් සාදා ගැනීමට බි්රතාන්ය ජාතිකයන් සමග පැවති ඇගේ සම්බන්ධතාද භාවිත කරයි. එහිදී තරමක් දුරට හෝ ඉංග්‍රීසි දැන සිටීමද ප්රයෝජනයකි.
යටත් විජිත ආර්ථිකයෙන් විවර කෙරුණු ආර්ථික හා තාක්ෂණික අවස්ථාද ගිරිජා සහ ඇගේ නැගණිය රම්මා තම වාසියට යොදා ගනිති. රේන්ද ගෙත්තම් කලාව දන්නා රම්මා ‘ලන්දේසි මැසිම’ යැයි හැඳින්වෙන මහන මැසිමක් මිලට ගනියි. මැහුම් ගෙතුම් ශිල්පය හා නව තාක්ෂණය පිළිබඳ ඇගේ දැනුම නිසා රම්මා පානදුර ප්‍රදේශයට, එනම් යටත් විජිතවාදීන්ගේ බලපෑම වැඩි පහත රටට ගොස් අලුත් ජීවිතයක් ගොඩ නගා ගැනීමට ඇයට අවස්ථාව ලැබේ. ඒ අවස්ථාව ඇයට උදාකර දෙන්නේ ගිරිජාය. ගිරිජාගේ දරුවන්ද යටත් විජිත අධ්‍යාපනයෙන් පල ලබන අනාගතයක් නවකතාවෙන් ඉඟි කෙරේ.
කාරකත්වය යන තේමාව මත පිහිටා බලන විට මේ නවකතාවේ වැදගත් අවස්ථා කිහිපයක් ඇත. යටත් විජිත ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය ස්ත්‍රියගේ කාරක ශක්තිය වැඩි කරන බවක්ද පෙනේ. ගිරිජා යනු ඉතා නිර්භීත ගැහැනියකි. ඇය දැඩි සේ පුරුෂ කේන්ද්‍රීය විවාහයකට එළඹියත් තම තීරක ශක්තිය අහිමි කර නොගනියි. වහා අධෛර්යට පත් වන, නිරක්ෂර ස්වාමි පුරුෂයෙකු වන සුන්දරාගේ ඇතැම් නූගත් තීරණවලට තම ජීවිත ගමන තීරණය කරන්නට ගිරිජාට ඉඩ දෙන්නේ නැත. යටත් විජිතවාදයට විරුද්ධ වන අතරම යටත් විජිත ක්‍රමය මගින් ඇය හමුවේ විවර කරන නව ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නටද ඇය මැලි නොවෙයි. මේ නවකතාවේදී ගිරිජා සහ රම්මා යන සහෝදරියන් දෙදෙනාට පිරිනැමෙන ‘කාරකත්වය’ නිසා 19 වෙනි සිය වසේ ලංකාවේ යටත් විජිතවාදය ක්‍රියාත්මක වූ ආකාරය ගැන සමබර වූද, සංකීර්ණ වූද චිත්‍රණයක් ගොඩ නැගේ.
ඇතැම් සිද්ධිවල විශ්වසනීයත්වය ගැන ‘ඒක වෙන්න පුළුවන්ද’ ස්වරූපයේ ප්‍රශ්න කෙනෙකුට ඇති විය හැකිය. ප්‍රබන්ධ කලාවේ හැටි එහෙමය. වඩා වැදගත් වන්නේ යම් ඓතිහාසික මොහොතක ‘ඓතිහාසික ප්‍රාණය’ සමස්තයක් සේ හසු කර ගැනීමය. ඒ කාරණයේදී මනෝහරී ජයලත් සංසක්කාරී නම් සිය ප්‍රථම නවකතාවද ඉක්මවා සිටියි. ශෛලිය පිළිබඳ අධි-අවධානය සමහර තැනකදී නවකතා කලාවේ අනික් අංග කෙරෙහි අවධානය අඩු කරන බවක් පෙනෙන්නටද පුළුවන. මේවා ඒ නවකතාව ගැන කලාත්මක විනිශ්චයක් කරන විචාරකයෙකුට තුලනාත්මකව අගය කළ හැකිය.
(Aruna, April 30, 2023)
No comments:
Post a Comment