මැයි මස 9 වෙනිදා බටහිර බෙංගාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් සමරු දේශනයක් පැවැත්විණි. ඒ ඔහුගේ 162 වැනි ජන්ද සංවත්සරය වෙනුවෙනි. ජාතිවාදී දේශපාලකයෙකු වන ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා ඒ දේශකයා වූයේය. අමිත් ෂාට අමතරව භාරතීය ජනතා පක්ෂයේ තවත් කීපදෙනක්ම ඒ රැස්වීමේදී කතා කළහ. මෙය ඉන්දියානු බුද්ධිමතුන් අතර විමතියක් ඇති කළේය. සිය ජීවිතය පුරාම ගුරුවරයෙකු ලෙසත්, චින්තකයෙකු ලෙසත්, සාහිත්‍යකරුවෙකු ලෙසත් ජාතිවාදයට විරුද්ධව ජනවාර්ගික අන්තර් සහජීවනය ගැන කතා කළ තාගෝර් සමරන්නට දැඩි සේ ජාතිවාදී භාරතීය ජනතා පක්ෂයට සුදුසුකම් තිබේද? මේ ප්‍රශ්නය නොයෙක් දෙනා විසින් අසන ලදී. බෙහෙවින් සක්‍රීය බුද්ධිමතුන් නිරන්තරයෙන් ජනමාධ්‍යයෙහි පෙනී සිටිමින් මෙවැනි විහිළු සහගත සිදුවීම් ගැන ප්‍රශ්න ඇසීම ඉන්දියාවේදී සිදුවේ. අපේ රටේ නම් රෝහිත අබේගුණවර්ධන වැනි නූගත් දේශපාලකයෙකු හෝ විදේශ වෛරයෙන් පැහෙන විමල් වීරවංශ පන්නයේ කෙනෙකුට හෝ තාගෝර්, ගාන්ධි, හෝ මැන්ඩෙලා වැනි ඕනෑම විශිෂ්ටයෙකු ගැන කතා කරන්නට ඉඩ තිබේ. විවාදශීලී ඉන්දියානු ජනමාධ්‍ය ඕනෑම ජාතිවාදියෙකුට ඕනෑම දෙයක් කියන්නට ඉඩ දෙන්නේ නැත. මට මේ රචනය ලියන්නට ආවේශය සැපයූයේද ස්නිග්ධේනු භට්ටාචාර්ය ලියූ එවැනි ලිපියකි.
මේ රචනය ලියන්නට තවත් ආසන්න හේතුවක් තිබේ. මේ දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය තම වාර්ෂික ශිෂ්‍ය සාහිත්‍ය උත්සවයට සූදානම් වේ. ඒ උත්සවයේ තේමාව ලෙස යොදා ගැනෙන්නේ “මාගේ දේශය අවදි කරනු මැන” යන යෙදුමයි. එය ගුරුදේව තාගෝර්ගේ ගීතාංජලී පද්‍ය ඛණ්ඩයකි. ඒ ගී කඩෙහි කියවෙන්නේ මනුෂ්‍ය සමාජය බෙදා වෙන් කරන ගතානුගතික අදහස්, දෘෂ්ටිවාද ආදියෙන් නොබෙදුණු මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳය. නවක වධය වැනි තිරශ්චීන බෙදුම්කාරක ක්‍රියා සහිත ශිෂ්‍ය සමාජයක් ඒ තාගෝර් පද්‍ය ඛණ්ඩය ඉතා වැදගත් වාර්ෂික උත්සවයක් වෙනුවෙන් යෙදා ගැනීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ වෙත මේ රචනයෙහි අගට නැවත එමු.
භාරතීය ජනතා පක්ෂය යනු හින්දුත්ව දෘෂ්ටිවාදය ගත් ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයකි. ඔවුන් විසින් සැමරෙන ගුරුදේව තාගෝර් යනු ආගමික අන්තවාදයටත්, වර්ගවාදයටත් සිය ජීවිත කාලය පුරා විරුද්ධ වූවෙකි. ඒ විරෝධය ගෝරා, ඝරේබයිරේ වැනි නවකතාවලින්ද, බොහෝ කෙටිකතාවලින්ද නොයෙක් ශාස්ත්‍රීය ලේඛනවලින්ද පළ කළේය. සත්‍යජිත් රායි ඝරේ බයිරේ නවකතාව ඇසුරින් සිනමා පටයෙන්ද ඒ තේමාව උද්දීපනය වේ. ආගමික මෝහයෙන් මෝහනය වූ අය එක්කෝ ඝාතකයන් නැන්නම් ඝාතනයට ලක්වන්නන් වන බව තාගෝර් “ධර්ම මෝහ” නම් කවියේදී කීවේය. ප්‍රඥාවේ ආලෝකය පැමිණ සාපලත් දේශය ආලෝක කරන්නට නම් ආගමේ සිරගෙවල බිත්ති බිඳලිය යුතු බව තාගෝර් ඒ කවියේදී කීවේය. මෙය හුදෙක් ආගම ගැන ප්‍රකාශයක් නොව සෑම අන්තවාදී දෘෂ්ටියක් සම්බන්ධයෙන්ම ගැලපෙන කියමනකි. විශ්වීය මනුෂ්‍යත්වය අගය කළ තාගෝර් ‘ඊනියා දේශප්‍රේමයට පොදු මනුෂ්‍යත්වය ඉක්මවා නැගෙන්නට ඉඩ නොදෙමි’ යැයි ලිව්වේය. ඔහුගේ මේ චින්තනය ගැන සිතිවිලි සිතිජය (2019) නම් පොතෙහි මා සවිස්තරව ලියා ඇත.
ඔහුගේ මේ පසුබිම ගැන සිහි කරන ස්නිග්ධේනු භට්ටාචාර්ය කියන හැටියට රවීන්ද්‍රනාත් තාගෝර් අද ජීවත්ව සිටියේ නම් මෝදි ආණ්ඩුව ඔහු හඳුන්වන්නට ඉඩ ඇත්තේ “ජාතියට විරුද්ධ” කෙනෙකු හැටියටය. බීජේපී චින්තනය එසේය. තාගෝර් ලංකාවේ සිටියේ නම් ඔහු ‘විජාතිකයෙකු, බටහිර අනුකාරකයෙකු, ඩොලර් කාක්කෙකු’ ලෙස හැඳින්වෙන්නට ඉඩ තිබේ.
1916 දී තාගෝර් ජාතිකවාදය නමින් ලියූ අගනා කුඩා පොත ජනවාර්ගික ජාතිකවාදයට දැඩි සේ විරුද්ධ විය. ප්‍රකට ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පෙන්වා දෙන හැටියට සියලු දෙනාම ඇතුළත් කරගන්නාසුලු විවෘත මනසින් යුතු වූද, එක් ආගමක් හෝ භාෂාවක් වරප්‍රසාදිත තත්ත්වයට පත් නොකරන්නා වූද ඉන්දියාවක් පිළිබඳ අදහස ගාන්ධි සහ නේරු දෙදෙනා තුළම වර්ධනය වන්නට එක් හේතුවක් වූයේ ඔවුන් තාගෝර්ගේ ලේඛන කියවීමය. ඒ විවෘත ඉන්දියාව පිළිබඳ අදහස හිංසනයට ලක් කරන භාරතීය ජනතා පක්ෂය වැනි හින්දුත්වවාදී දේශපාලන කණ්ඩායම් අද බිහි වී ඇති බව ඇත්තය. එහෙත් තාගෝර් වැනි අයගේ චින්තනය නැවත ස්මරණය කරන ශක්තිමත් බුද්ධිමත් සංවාදයක් අදත් ඉන්දියාවේ තිබේ.
ඉන්දියාවේ පමණක් නොව බංග්ලාදේශයේද ජාතික ගීය ලෙස තාගෝර්ගේ ගී යොදා ගෙන ඇති බව අප රටද නිතර කියවේ. එහෙත් මුස්ලිම් ජාතිකයෙකු නොවන තාගෝර් බංග්ලාදේශයේ මුස්ලිම්වරුන්ගේ වීරයෙකු බවට පත් වූ කාරණා මෙනවාදැයි අප විමසා බලන්නේ ඉතා කලාතුරකිනි. බංග්ලාදේශයේ නිර්මාතෘ හෙවත් පීතෘවරයා සේ සැලකෙන ශීක් මුජිබුර් රහ්මන් වරක් මෙසේ කීවේය:
“නිදහස් බංග්ලාදේශය සතුව පරාජය කළ නොහැකි ආරක්ෂකයෝ දෙදෙනෙක් වෙති: ඒ වූකලි වංග භාෂාව සහ රවීන්ද්‍රනාත් තාගෝර්ය. ඒවා කිසිවෙකුට සිදුරු කළ නොහැකි අපගේ සන්නාහයෝ වෙති.”
අපේ තාගෝර්
ඔහු දුටු හැටියට තාගෝර් යනු වර්ගවාදයට අව්‍යාජ ලෙසම විරුද්ධ වූ චින්තන සම්ප්‍රදායක් නියෝජනය කළ කෙනෙකි. ඒ නිසා මුජිබුර් රහ්මන්ගේ නායකත්වයෙන් බිහි වූ බංග්ලාදේශයේ ජාතික ගීය ලෙස රවීන්ද්‍ර ගීයක් යොදා ගැනීම පුදුමයක් නොවේ. මේවා කරුණුමය වශයෙන් නිතර නිතර කියවෙන අපට නොඇසෙන වැදගත් ප්‍රශ්නයක් තිබේ. අප රට වසන මුස්ලිම්වරුන්ගේ ඇසට තාගෝර් සේ පෙනෙන අපේ කවියා හෝ චින්තකයා කවුද? අපට එවැන්නෙකු නැති වූයේ ඇයි? රවීන්ද්‍රනාත් තාගෝර්ගේ එළිය ලද එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අයට තාගෝර්ගේ සමාජ-සංස්කෘතික චින්තනයෙන්ද එළිය ලද බලපෑම් සහගත මහා චින්තකයන් බවට පත්වන්නට බැරි වූයේ ඇයි? අප රට මහා සාහිත්‍යධරයන් වන ගුණදාස අමරසේකර වැනි අය චින්තනය අතින් තාගෝර්ට වඩා නරේන්ද්‍ර මෝදි වැනි ජාතිවාදියෙකුට සමාන වන්නට කරුණු යෙදුණු සංස්කෘතික අර්බුදය කුමක් වීද?
ගුරුදේව තාගෝර් ඔහුගේ නොයෙක් රචනාවලදී සෑම ආගමකම පාහේ ඇතුළත් අන්තවාදී වූ, කල් ඉකුත් වූ ගතානුගතික අදහස් විවෘත මනසකින් විචාරය කළේය. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ අමර්තයා සෙන් නොයෙක් වර තාගෝර් ගැන ලිව්වේය. The Country of First Boys කෘතියෙහි දී ඔහු තාගෝර් ගැන කළ නිරීක්ෂණයක් සිහි කර ගැනීම වැදගත්ය. මහාචාර්ය සෙන් දකින හැටියට තාගෝර්ගේ ජීවිත කාලයක බුද්ධිමය ව්‍යායාමයට එක් ප්‍රධාන තේමාවක් තිබේ. ඒ වූකලි විවෘත මනසින් තර්කානුකූලව අප අවට ඇති සියල්ල නැවත සලකා බැලීමත්, මනුෂ්‍ය නිදහස් උත්කර්ෂයෙන් සැමරීමත්ය. තාගෝර් මහාත්මා ගාන්ධිට බෙහෙවින් ගරු කළේය. එහෙත් ගාන්ධිගේ ඇතැම් ගතානුගතික අදහස් ප්‍රශ්න කරන්නට ඒ ගෞරවය බාධාවක් නොවිණි. නූතන ආර්ථිකයට විකල්පයක් ලෙස දවසකට පැය භාගයක් සෑම දෙනාම අත්යන්ත්‍ර රෙදි විවීමෙහි යෙදිය යුතු යැයි ගාන්ධි යෝජනා කළේය. එහිදී ගාන්ධි අදහස් කළේ අතින් කරකවන චර්කයෙන් රෙදි විවීමයි. එමගින් එක්තරා භාවානාත්මක අභ්‍යාසයක් සිදු වන නිසා පුද්ගල මනසෙහි ගුණයද ඉහළ යන බව ගාන්ධි කීවේය. තාගෝර් මේ තර්කයට සපුරා එරෙහි විය. මනුෂ්‍ය වර්ගයා දුප්පත්කමින් හා දුෂ්කර ශ්‍රමයෙන් මුදවන නූතන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත යුතු බව තාගෝර් තර්ක කළේය. නූතන තාක්ෂණය කල්පනාවෙන් යොදා ගත් විට එහි විමුක්තිකාරක ගුණයක් ඇති බව තාගෝර් දැක්කේය. දිනපතා පැය භාගයක් අත්යන්ත්‍ර රෙදි විවීමෙන් ගැඹුරු භාවනාත්මක මානසික තත්ත්වයක් ඇති වේය යන ගාන්ධිගේ තර්කයටද තාගෝර් විරුද්ධ වූයේය. චර්කයෙන් රෙදි විවීම යන සරල කාර්ය මගින් මිනිසා ගැඹුරු චින්තනයකට යොමු නොකරන බවත්, කායික ශක්තියේ වර්ධනයට දායක වන ව්‍යායාමයක් ඉන් සිදු නොවන බවත් තාගෝර් කීවේය.
එසේම උපත් පාලනය පිණිස වන නිවැරදි ක්‍රමය ලිංගික සංසර්ගයෙන් වැළකීම යැයි ගාන්ධි කී විට තාගෝර් ඊටද විරුද්ධ විය. ඔහු කීවේ නූතන උපත් පාලන ක්‍රමවල පිහිට පැතිය යුතු බවයි. ලිංගිකත්වය ගැන භීතියක් ගාන්ධි තුළ ඇතැයිද තාගෝර් කීවේ මනුෂ්‍ය ලිංගික ප්‍රීතිය යනු බිය විය යුතු දෙයක් නොවේ යැයි කියමිනි.
තාගෝර්ගේ විචාරාත්මක නිදහස් චින්තනයට අනුව ඉන්දියාව සංවර්ධනය කරන ප්‍රධාන මෙවලම හැටියට තාගෝර් දුටුවේ නූතන අධ්‍යාපනයයි. අධ්‍යාපනය පිළිබඳ කාරණයේදීද තාගෝර් බෙහෙවින් විවෘත මනසකින් යුක්ත විය. ලෝකයේ ඕනෑම තැනක පහළ වන දැනුම තර්කානුකූල සම්පරීක්ෂාවකින් පසුව අත්පත් කරගත යුතුය යන මතය ඔහු නිතර ප්‍රකාශ කළේය. ඔහු වරක් තමාගේම බුද්ධිමය හා සංස්කෘතික සැකැස්ම විස්තර කළේ තමන් හින්දු, ඉස්ලාමීය, හා බි්‍රතාන්‍ය සංස්කෘතිවල සංකලනයෙන් ගොඩනැගුණු කෙනෙකු බව කියමිනි.
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට තදබල සේ විරුද්ධ වූ තාගෝර් “ශේක්ශ්පියර්ගේ නාට්‍ය, බයිරන්ගේ කවි පමණක් නොව 19 වෙනි සියවසේ බ්‍රිතාන්‍ය ලිබරල්වාදය” සමග සංවාදයෙන් ඉන්දියාවට අර්ථවත් ප්‍රතිලාභ ලැබුණු බව තාගෝර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහෙත් “බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරයෙහි සැබෑවින්ම විශිෂ්ට අංගයක් වන සෑම මනුෂ්‍ය සම්බන්ධතාවකම පවත්නා මනුෂ්‍ය අභිමානය පිළිබඳ අදහස” බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙහි ගෙන යන පාලනය තුළ දක්නට නැතැයිද කියන්නට ඔහු අමතක නොකළේය. එනම් බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කළේ බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරයේ හොඳම අංගය වන “මනුෂ්‍ය අභිමානය” යන්නෙන් තොරවය. බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කළේ ඉන්දියානු මනුෂ්‍යයන්ට හිමි අභිමානය නොදෙමිනි යන්න ඔහු කී සැටිය ඒ.
පේරාදෙණි සාහිත්‍ය උත්සවය
මේ වසරේද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල දැන් ඇරඹී තිබේ. ඒ ආශ්‍රිත නොයෙක් වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වේ. මේ වූකලි අතිවිශාල ශ්‍රමයක් හා කාලයක් ගත වන වැඩසටහනකි. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාරවල ඇවිද කැටවලට මුදල් එක් කර මේ වැඩසටහනට අවශ්‍ය මුදල් සොයති. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනු කඩාකප්පල්කාරී පිරිසක්ය යන අදහස ආණ්ඩුව විසින්ම සමාජගත කරනු ලැබ ඇති කාලයක කැටවලට මුදල් එක් කරන්නට පාරතොට ගැවසීමද පහසු නැත. එවන් දුෂ්කර කාලෙක ‘මාගේ දේශය අවදි කරනු මැන’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල පවත්වන පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමයට අපගේ උපහාරය හිමි විය යුතුය. අවශ්‍ය ශාලා හා ස්ථාන පහසුකම්, විදුලිබලය, මූල්‍යාධාර හෝ පරිපාලන සේවා පහසුකම් ආදිය මගින් විශ්වවිද්‍යාලයද මේ සාහිත්‍ය උත්සවයට උපකාර කරයි. එයද අගය කළ යුතුය.
එහෙත් සාහිත්‍ය උත්සවයෙහි තේමාව සේ ගැනෙන තාගෝර් පද්‍ය කණ්ඩය තරමක් වෙනස් ආකාරයට පරිවර්තනය කර බැලීම උචිතය:
“කාගෙත් හිත් මර බියෙන් මිදුණ තැන
නොනැමුණ සිරසින් හැම ඇවිදින තැන
නොයෙකුත් පටු පවුරෙන් ලොව
කැබලි කැබලි කර නොබෙදුණ තැන
මළ ගිය සිරිතේ බිහිසුණු කතරේ
මිනිස් තර්කනය නැතිව නොගිය තැන
එහෙව් නිදහසේ දිව්‍ය ලෝකයට
මගේ පියාණනි
මා රට අවදි කරනු මැන”
තාගෝර් මේ ගී කඩින් අපේක්ෂා කරන සමාජය තුළ කිසිම කෙනෙකුගේ සිත මර බියෙන් යුක්ත වන්නේ නැත. මරණය ගැන බියක් නොව කිසිම බියක් නැත. කිසිවෙකු බියෙන් හිස නමාගෙන ඇවිදින්නේ නැත. කිසිම පටු අදහස්මය පවුරුවලින් ඒ සමාජය බෙදී නැත. මිය ගිය පරණ සිරිත් යනු කාන්තාරයක් බව තාගෝර් කියයි. ඒ වූකලි මනුෂ්‍යයන්ගේ තර්කන හැකියාව වියළවා හරින කාන්තාරයකි. තාගෝර් පතන නිදහස් සමාජය එවැන්නක් නොවේ. තමන් ගොඩ නැගූ අධ්‍යාපන ආයතන තුළද මේ නිදහස් විමර්ශනය පවත්වා ගන්නට ඔහු තැත් කළේය. කලාව කුමකටද? නමින් ම විසින් පරිවර්තනය කෙරුණු කෘතියෙහි කතුවරිය මහාචාර්ය මාර්තා නස්බෝම් මෙසේ කියයි:
“ශාන්ති නිකේතනයෙහි සමස්ත අධ්‍යාපනයෙන්ම පෝෂණය කෙරුණේ හුදෙක් සම්ප්‍රදාය අනුගමනය නොකර ස්වාධීනව සිතීමේ හැකියාව හා සංස්කෘතික හා දේශපාලන තෝරා ගැනීමේ කියාවලිවලදී ගතිකවත් වූද ක්‍රියාකාරී වූද සහභාගි වන්නෙකු වීමේ හැකියාවය. මළ ගිය චාරිත්‍රවාරිත්‍ර පිරිමින් මත යොදන පීඩනයටත් වඩා වැඩි පීඩනයක් ස්ත්‍රීන් මත යෙදීම පිළිබඳ තාගෝර් විශේෂයෙන් සංවේදී වූයේය.”
තමන් ජීවත් වන සමාජවල සියලු අංග විචාරශීලී පරීක්ෂාවකට ලක් කරමින් සියලු දෙනාට වඩා නිදහස් වූ ලෝකයක් ගොඩ නැගීම අධ්‍යාපනයේ සේම පොදු මනුෂ්‍ය ප්‍රබුද්ධත්වයේ අරමුණයි. එසේ නොකරන අධ්‍යාපන සහතික හෝ අධ්‍යාපන ආයතනවලින් පලක් නැත.
ඒ නිසා තම සාහිත්‍ය උත්සවයේ තේමා පාඨය ලෙස “මගේ දේශය අවදි කරනු මැන” යනුවෙන් පේරාදෙණි ශිෂ්‍ය සංගමය තෝරාගෙන ඇත්තේ ඉතා උචිත යෙදුමකි. ඒ නිසා ප්‍රථම වර්ෂයේ සිසුන්ට හෝ තමන් දරන දේශපාලන අදහස් නොදරන සිසුන්ට හෝ බියක් ඇති නොකරන නිදහස් සමාජයක් විශ්වවිද්‍යාලය තුළ පවත්වා ගැනීම ඒ තාගෝර් ගීයෙන්ම ශිෂ්‍ය සංගමයට පැවරේ. එවැනි නිදහස් අවකාශයක් විශ්වවිද්‍යාල නැති නම් තාගෝර්, ගාන්ධි හෝ මැන්ඩෙලා ගැන පුරසාරම් දොඩන ජාතිවාදී, අන්තවාදී දේශපාලකයන් පොදු සමාජයෙහි සිටීම ගැන විචාරයක් ගොඩනගන්නේ කෙසේද?
(2023 මැයි 21 වෙනිදා අරුණ පුවත්පත)
No comments:
Post a Comment