Friday, July 14, 2023

තේමාත්මක මානය සහ කලාවේ කාර්ය: හැඳින්වීමක් - ලියනගේ අමරකීර්ති

   

 

    




  මෑතකදී අසන්නට ලැබුණු සාහිත්‍ය කලා සංවාද කිහිපයකදීම සාහිත්‍ය කෘතියක තේමාත්මක මානය සහ කලාත්මකත්වය යන දෙක අතර සම්බන්ධය පැහැදිලි කරන්නට අලුත් සාහිත්‍යකරුවන් කිහිප දෙනෙකුම තැත් කරනු පෙනිණි. නඳුන් යසිත දසනායක, ප්‍රභාත් ජයසිංහ, සුදර්ශන සමරවීර, සහ නලින් එන් කාරියවසම් යනාදීහු ඒ ප්‍රයත්නය දැරූහ. එය අත්‍යවශ්‍ය සංවාදයකියි මමද සිතමි. කලා කෘතිය ඊටම ආවේණික සුන්දරත්වයකින් යුතු සෞන්ර්දය ප්‍රීතිය නම් අද්දැකීම ජනිත කරවන යාන්ත්‍රණයකියි කියන අය සිටිති. ඒ ඇතැම් අය ඉන් එහා ගිය අර්ථයක් කලාවෙන් අපේක්ෂා නොකරති. ඔවුන්ට අනුව කලා කෘතියක කාර්ය එයම පමණි. මෙය නොවැදගත් ප්‍රවේශයක් නොවේ. යමක් තුළ වන අගය යනු එයම වේ යැයි ගැනීම ඉතා හොඳ ආචාර ධාර්මික ප්‍රවේශයක්ද වේ. එනම් යම් කෙනෙකුගේ අගය යනු ඔහු හෝ ඇයම මිස ඒ තැනැත්තාගෙන් අපට ලැබෙන ප්‍රයෝජනය නොවේ යැයි ගැනීම ඒ මනුෂ්‍යයාගේ වටිනාකම වඩා හොඳින්ම පිළිගන්නා විධියයි. කලා කෘතියක්ද ඒ ප්‍රවේශයෙන් ගැනීමද ඒ කෘතියට දෙන හොඳම ගෞරවය යැයි කෙනෙකුට තර්ක කරන්නට පුළුවන. 

අපි නිදර්ශනයක් සේ මනමෙ නාට්‍යය ගනිමු. එහි අගය වූ කලි ඉන් ලැබෙන කිසිම අර්ථමය ප්‍රයෝජනයක් නොව මනමෙ නම් සෞන්දර්ය වස්තුවම වේ යනුවෙන් යට කී ප්‍රවේශය ගන්නා අයට තර්ක කළ හැකිය. එය මනමෙ නාට්‍යයෙහි නෛසර්ගික සෞන්දර්ය අගය පිළිගන්නා හොඳම විධියද වේ. ඉමෑනුවෙල් කාන්ට්ගේ අදහසක් ණයට ගෙන මනමෙ නාට්‍යයෙහි ඒ සෞන්දර්ය අගය නිසා ලැබෙන්නේ නිර්-උපයෝගිතා ප්‍රීතියකි. 

  එහෙත් හොඳ කලා කෘතිය හුදෙක් සෞන්දර්ය වස්තුවක් පමණක් නොවේ. හොඳ සාහිත්‍ය කෘතියද කලා කෘතියකි. ඒ නිසා හොඳ සාහිත්‍ය කෘතියද හුදෙක් සෞන්දර්ය වස්තුවක් පමණක් නොවේ. එය නොයෙක් අර්ථද සම්පාදන කරයි. අර්ථ සම්පාදනය යන්න පණිවිඩ දීමක් වැනි අතිසරල අර්ථයක් දෙන්නේ නම් අපට මෙසේද කිව හැකිය: හොඳ සාහිත්‍ය කෘතිය නොයෙක් තේමා උත්තේජනය කරයි. එසේ පැන නගින තේමාත්මක මාන සමස්තයක් සේ අදාළ කෘතියෙන්ම පමණක් ප්‍රකාශ නොවන්නේ විය හැකිය. එහෙත් බොහෝ කලක් සාහිත්‍ය සේවනය කර ඇති රසිකයාට ඒ තේමා ඔස්සේ අර්ථවත් සංකථනවලට එළඹෙන්නට පුළුවන. එසේ අදාළ යුගයට සමාජයට හෝ මනුෂ්‍ය ජීවිතයට අදාළ වන්නා වූ සංකථන හෙවත් කතිකාවලට තුඩු දෙන දෙස සාහිත්‍ය කෘතියක් ඇසුරින් පැන නගින අර්ථමය තරංගය ‘තේමාත්මක මානයකි’යි හැඳින්විය හැකිය.

   

   මනුෂ්‍ය අත්දැකීම විෂයෙහි කලාව නොයෙක් ආකාරවලින් ක්‍රියා කරයි. හොඳ කලා කෘතිය එසේ ක්‍රියා කිරීම නවතා දමන්නට එය නිර්මාණය කළ මනුෂ්‍යයාට හැකියාවක් නොලැබේ. කලා කෘතියක විවිධ කාර්ය නොයෙක් දාර්ශනිකයන් සහ කලාකරුවන් විසින්ම විස්තර කරනු ලැබ තිබේ. දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන රූබන් අබෙල් Man is the Measure කෘතියෙහි කරන පැහැදිලි කිරීමක් ඇසුරින් අපි මේ කාරණය සැකෙවින් වටහා ගනිමු. 

මහා   කවි ෂෙලී දුටු හැටියට කලාවේ කාර්ය ‘පරිකල්පනය ප්‍රකාශයට පත් කිරීමය’. මෙහිදී ඔහු නිදර්ශනය සේ ගන්නේ කවියයි. ඇරිස්ටෝටල් දුටු හැටියට කලාවේ කාර්ය ‘අනුකම්පාව සහ භීතිය ඔස්සේ භාවයන් ශෝධනය කිරීමය’. ඔහුගේ අවධානය යොමු වූයේ ශෝකාන්ත නාට්‍යය වෙත බව අපි දනිමු. කලාවේ කාර්ය පන්ති අරගලය ප්‍රවර්ධනය කිරීම හැටියට මාක්ස් දුටුවේය. මහා ලේඛක ටොල්ස්ටෝයි කලාව යනු කුමක්ද කෘතියෙහි විස්තර කළ ආකාරයට කලාවේ කාර්ය විශ්වීය මානව සහෝදරත්වය ඉදිරියට ගෙන රැගෙන යෑමය. කලාවේ අත්‍යවශ්‍ය කාර්ය යනු සදාචාරය වර්ධනය කිරීම බව ඩී. එච්. ලෝරන්ස් කීවේය. ඔහු ඉන් අදහස් කළේ හොඳ නරක පිළිබඳ අවබෝධය ඉහළ දැමීම යන්නයි. කලාව පිළිබඳ නූතන කතිකාවේ ආරම්භකයෙකු වන මැතිව් ආර්නල්ඩ් දුටු හැටියට කලාවේ කාර්ය ‘ජීවිතය විචාරය’ කිරීමය. වෝල්ටර් පේටර් සහ ජෝන් ඩුවී දෙදෙනාම විශ්වාස කළේ යහපත් ජීවිතයක් ගත කිරීමට කලාව උපකාර කරන බවය. වෝල්ටර් පේටර් යනු විසි බි්‍රතාන්‍ය ජාතික කලා විචාරකයෙකි. ජෝන් ඩුවී අප රටද ප්‍රකට අධ්‍යාපන දාර්ශනිකයෙකි. කලාව ගැඹුරු ආවර්ජනයට දිරි දෙන බව දාර්ශනික ශෝපන්හවර් දැක්කේය. අප රට එතරම් ප්‍රකට නොවන ප්‍රංශ දාර්ශනික හෙන්රි බර්ග්සන් දැක්කේ කලාව යනු අප ‘යථාර්ථය සමග මුහුණට මුහුණ මුණ ගස්වන’ යාන්ත්‍රණයක් සේය. ප්‍රංශ චිත්‍ර ශිල්පී හෙන්රි මටීස් දුටු හැටියට කලාව අපට සැහැල්ලු සන්සුන්භාවයක් ඇති කර ගැනීමට උපකාර කරයි. මේ සියල්ල සඳහන් කරන මහාචාර්ය අබෙල් මෙසේද කියයි: ‘කිසිම කාර්යක් ඉටු නොකර කලාව කලාව සේ පැවතීමද’ එහි ස්වභාවයකි. මේ අවසාන විකල්පයද නරක එකක් නොවේ. ඇතැම් ආකර්ෂණීය කලාකෘතිවල කලාත්මක කාර්ය වූකලි එහි පැවැත්මම පමණි.

    කලාවේ කාර්ය සහ ස්වභාවය පිළිබඳ තවත් අපමණ අදහස් සොයා ගැනීමටට පුළුවන. කලාව නමැති මනුෂ්‍ය ක්‍රියාවෙහි ඇති බහුවිධ බවත්, කලාව වෙතින් තනි සරල කාර්යක් අපේක්ෂා කිරීම වැරදිබවත් එයින්ම පෙනේ.


   ඉහත ගෙන හැර සියලු අදහස් අතර ඇත්තේ ‘හරි’ අන්තය සහ ‘වැරදි’ අන්තය යනුවෙන් සරල රේඛීය බෙදීමක් නොවේ. කලාව යනු කිසිම අදහස්මය උපයෝගීතා කාර්යක් කරන දෙයක් නොව සෞන්දර්ය වස්තුවක් ලෙද පැවතීමම කාර්ය කරගත්තකි. ඒ වූකලි පාරිශුද්ධ කලාත්මකත්වය පිළිබඳ අන්තයයි. කලාවෙන් සැපයෙන සමාජමය පණිවිඩයක් ඇත යනු කලාවේ උපයෝගීතාවාදී අන්තයයි. අප මේ කතා කරමින් සිටින කාරණය වටහා ගැනීමට අපි ඉහත අන්ත දෙක ලකුණු කර ගනිමු. එහෙත් සාහිත්‍ය කලා ලෝකයෙහි පවත්නා ඕනෑම නිශ්චිත කෘතියක් පවතිනුයේ මේ අන්ත දෙක අතර යම් තැනකය. ඒ නිසා මේ අන්ත දෙක දෙක අතර පවතිනුයේ දරුණු අගාධයක් නොව වර්ණාවලියකි. මේ අන්ත දෙකම නියෝජනය කරන ලක්ෂණ එක එක තරමින් මිශ්‍ර වූ වර්ණාවලියකි. වර්ණාවලියක් යනු එක් අන්ත දෙකෙහි පවත්නා වර්ණ දෙක එක් එක් පමණින් මිශ්‍ර වූ වර්ණ දර්ශකයකි. අපි ඒ කාරණය නිදර්ශන ඇසුරින් වටහා ගන්නට තැත් කරමු.

  පසුගිය වසරේ පළ වූ කෙටිකතා සංග්‍රහ අතර බෙහෙවින් නිර්මාණශීලී කතා සංග්‍රහ දෙකක් තිබිණි. එකක් සහන් කසීර වික්‍රමසිංහගේ “සරසවි සිසුවාගේ මරණය” යන්නයි. අනෙක සඳුන් ප්‍රියංකර විතානගේගේ “හතර මං හන්දියක වචනතර” නම් වේ. ඒ පොත් දෙකම සිංහල කෙටිකතාවට ඉතා ප්‍රතිභාසම්පන්න ලේඛකයන් දෙදෙනෙකු හඳුන්වා දුන්නේය. 

 “වෙනුවට මියෙන දිවියක අරුත” යනු විතානගේගේ පොතෙහි එන කතාවකි. කතාව ආරම්භ වන්නේ මෙසේය:

“හාත්පස පුරා රෑ-දේවි මල් සුවඳ පැතිර තිබේ. කවර නම් සුගන්ධයක්ද? ඒ සුසුවඳ අවුස්සන්නේ අතිමනෝහර හැඟුම් සමුදායකි. කෙතරම් දුක්ඛ දෝමනස්ස අප්‍රිය අමනාප හැඟුම් තිබුණද ඉර හැංගෙන හැන්දෑවක රෑ-දේවියගේ සුගන්ධය කාමී හදමනස් ප්‍රලය කරවයි. බිසෝ මාලිගා පෙදෙසේ සෑම ලැගුම්ගේක ම පාහේ පහන් එළි දැල් වී තිබේ. චන්ද්‍රබිම්බ පතිත ව අඩුපාඩවක් ඇත් නම් එය ද දුරැරලයි. උත්සවකාරී වටපිටාවක හද පුරා නැඟෙන ප්‍රීතිය ඉමහති. 

  මුව වසා වාඩම් පැලඳි හේවා පන්නයේ සෙබළුන් පවා ඔහුට පෙනුණේ සසොබන ව ය. සිත් හි ප්‍රීතිය දරද්දී හාත්පස පවා ප්‍රීතිය වගා දිගා වන බව නිලමේ කල්පනා කළේය.” 

   ඒ කතාව ලියැවී තිබෙන්නේ මෙකල සිංහල සාහිත්‍යකරණය සඳහා භාවිත වන සාමාන්‍ය භාවිතයට වඩා ඉහළට ඔසවන ලද භාෂා ප්‍රස්ථරයකිනි. සයිමන් නවගත්තේගමගේ නිර්මාණවල භාවිත වන බසෙහි එළිය මෙහි දැකිය හැකිය. ඒ බස ආකර්ෂණීය ලෙසද අදාළ කෙටිකතාවට උචිත ලෙසද භාවිත කිරීමට විතානගේ සමත් වෙයි.

  මේ කතාව කේන්ද්‍රගත වන්නේ අංගම්මන නිලමේගේ ජීවිතයෙහි අවසාන රාත්‍රිය වටාය. මේ බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන් මහනුවර අල්ලා ගැනීමට තැත් කරන කාලයයි. අංගම්මන නිලමේට සුවිශේෂ රාජකාරියක් පැවරී තිබේ. ඒ රජු වෙනුවට පෙනී සිටීමයි. එනම් ඔහු රජුගේ ප්‍රතිරූපකයෙකි. මේ අතර ඔහු හා අගමෙහෙසිය අතර ආදර සම්බන්ධයක්ද තිබේ. එය රාජකාරියේම කොටසක්දැයි අපට හරිහැටි පැහැදිලි නැත. සැබෑ රජු කායික ප්‍රේමයේදී පවා රළු ගතිපැවතුම් ඇත්තෙකි. ඔහුගෙන් මෙහෙසියට ලැබෙන්නේ හිංසාකාරී රමණයකි. අත ළඟට පැමිණ ඇති යටත්විජිත ආක්‍රමණය නිසා ඇති වූ දේශපාලන කැළඹිල්ල රජුගේ ලිංගික ජීවිතයද අවුල් කර තිබෙන්නේ විය හැකිය. රජුගේ පීඩක කායික ප්‍රේමයට වඩා බෙහෙවින් මුදු මොලොක් ප්‍රේමයක් අංගම්මන නිලමේගෙන් අගමෙහෙසියට ලැබේ. ඔහුගේ සිරුර තම තන හස මුස කරන්නට දේවිය බලා සිටින්නේද මහත් ආසාවෙනි. 

  එහෙත් ප්‍රශ්නයක් තිබේ. අංගම්මන නිලමේ ඉටු කරන්නේ රාජකාරියකි. ඔහු රජු වෙනුවට රජු සේ රඟපෑම රාජකාරිය කරගත්තෙකි. ඒ නිසාම හැඟීම්වලින් තොරව ඒ රාජකාරිය කරන්නට ඔහු පුහුණු වී තිබේ. එසේම තවත් බරපතළ රහසකි. කායික පෙනුමෙන්, හැසිරීම් විලාසයෙන්, ගමනින්බිමනින් රජුම යැයි පෙනෙන පරිදි රඟපාන ඔහුගේ පුරුෂ ලිංගය කපා දමා ඇත. එය ඒ තනතුරට පත් වන කෙනෙකාගේ රාජකාරිමය අවශ්‍යතාවක් සේ පෙනේ. අගමෙහෙසිය සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණද සම්පූර්ණ කායික ප්‍රේමය රසවිඳින්නට ඔහුට හැකියාවක් නැත. සම්පූර්ණ රාජ්‍ය බලය විඳින්නට ඔහුට අවස්ථාවක් නැත්තාක් මෙනි. කතාවේ මෙසේ එයි:

“අහිමි වූ අංගජාතය වෙනුවට අංගම්මනට හිමි වූයේ ඔහු සිහිනෙන් වත් නොසිතූ තරමේ බරෙන් යුක්ත රාජකීය සැලකුම්ය. මහරජුගේ ගමන් විලාසය, ගම්භීර කටහඬද, ආචාර සමාචාරද මේ රහස් ඉසවුවේ ඔහු වෙත එන්නත් කරනු ලැබීය.

  අංගඡේදනයෙන් ඉක්බිති ව ද බොහෝ කලක් අංගම්මන මේ ව්‍යාජ මුත් මහේශාක්‍ය රාජ ලීලාව ප්‍රීණනය කළේ ය. 

බලයේ අනුහස!

ව්‍යාජ වූයේ වුව ඉතිරුණු පැතිරුණු බලයේ අනුහස කොතෙක්දැයි අංගම්මනට දැනුණේ ය. ඔහු එහි රසපහස වින්දේය. සකල රාජ ආභරණයෙන් සැරසී, සිංහලයේ කිරුළ ද හිසින් ගෙන මහාමාත්‍යාදීන් අසලින් හේවායන් පිරිවරා ඇවිද යන්නට ඉඳහිට අංගම්මනට වරම් ලැබුණේ ය. එක් විටෙක මහාධිකාරම් පවා නැඟිට එකත්පස්ව සිටිනු නෙත් කොනින් දුටු අංගම්මනගේ සිතෙහි හටගත්තේ මහාසාර සන්තුෂ්ටියකි. අහිමි වූ කිසිවකට වඩා මේ හිමි කරනු ලැබූ ශ්‍රීයේ දිස්නය ඔහු විස්මයෙන් පිළිගෙන තුෂ්ටියෙන් ජීවත් ව සිටියේය.”

  අංගම්මන යනු සැබෑ රජු නොවේ. රජු වෙනුවට පෙනී සිටින කෙනෙකි. රාජකීය ස්ත්‍රීන් අතරද ගැවසෙන ඔහුට දාව දරුවන් බිහි කිරීම වැළැක්වීමටත්, රාජකීය ස්ත්‍රීන්ට පූර්ණ ලිංගික තෘප්තිය අත්කරදීම නමැති බලය ඔහුගෙන් ඉවත් කිරීමටත් ඔහු ලිංග ඡේදනයකට ලක් කොට තිබේ. ඒ නිසා ඔහු රජෙකු යැයි පෙනුණද රජෙකු නොවන්නෙකි; පුරුෂයෙකු යැයි පෙනුණද නිර්-පුරුෂයෙකි. රාජ්‍යයත්වය සහිත රාජ්‍ය බලව්‍යූහයක වසන මේ පුද්ගලයා නොයෙක් ආකාරයෙන් බැලූ කල මතුපිටක් පමණක් ඇති අභ්‍යන්තරයක් නැති කෙනෙකි. කතාව අවසන අංගම්මන නම් රාජ ප්‍රතිරූපකයා බි්‍රතාන්‍ය සෙබළුන්ගේ අත්අඩංගුවට පත් වේ. ඔහුගේ ඉරණම කවරක් වේදැයි කතාව කියවා දත හැකිය.

   මෙය උපමාකථාවක් වැනි කෙටිකතාවකි. ප්‍රබන්ධ කථාවක් ලෙස එය ගොඩ නැගීමට කතුවරයා භාවිත කර ඇති භාෂා ශෛලියද අනෙකුත් ප්‍රබන්ධ ශිල්පද නිසා එය සිත්ගන්නා කලා කෘතියක් බවට පත් වේ. ඒ ලක්ෂණවල සුන්දරත්වය විඳින පිණිෂ මමද එය කීපවරක් කියවීමි. එයද කතා කලාවෙන් ලැබෙන මිහිරකි. ඒ සෞන්දර්ය කාර්ය හැරුණු විට එහි වන තේමාත්මක කාර්යක්ද තිබේ. මේ රාජ ප්‍රතිරූපක අංගම්මන ඔස්සේ අද අප වසන සමාජය තුළ අපගේ ඉරණමද වටහා ගැනීමට නොහැකිද? තමන්ට සිතෙන පරිදි ජනතාවක් පාලනය කිරීමට බලය ඇති ජනාධිපති ක්‍රමයක් හා ඒ ජනාධිපති තනතුරට සුවච කීකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරයක් ඇති පාලන ක්‍රමයක ඉහළ නිලධාරි තන්ත්‍රය, අධිකරණය නියෝජනය කරන නිලධාරියාගේ සිට පුරවැසියා දක්වා අපි සියලු දෙනාම අංගම්මනලා නොවෙමුද? අපට රාජ ප්‍රතිරූපක බලයක් හෙවත් බලයේ පෙනුමක් තිබේ. එහෙත් ඇතුළතින් හිස්ය. සම්පූර්ණ මනුෂ්‍ය කායික ලිංගික ප්‍රීතියාස්වාදය විඳින්නවුන් බව අඟවමින් ජීවත්වීමට අපට අවස්ථාව තිබුණද අපි ඒ ප්‍රීතිය අඩවශයෙන් විඳින්නෝ නොවෙමුද? අංගම්මනට සිදුවන අංග ත්‍ඡ්දනය සංකේතයක් සේ ගත් කල ඉන් ඇඟවෙන්නේ හුදෙක් අර්ධ පුරුෂභාවයක් පමණක් නොවේ. ස්ත්‍රී-පුරුෂ අප කාගේත් කායික ප්‍රීතිය හෝ ජීවිත පැවැත්මේ ප්‍රීතිය අහිමි කරන අංග ඡේදනයක් ඉන් ඇඟ වේ. අපි කවුරුත් ලෞකික මනුෂ්‍ය ප්‍රීතිය කප්පාදු කරන ලද්දෝ නොවෙමුද?

   ප්‍රබන්ධ කථාවක කලාත්මකත්වය හා තේමාව අතර සම්බන්ධය පැහැදිලි කරගත හැකි නිදර්ශන කිහිපයක්ම මේ කුඩා පොතෙහි තිබේ. මෑතකදී මා කිය වූ බොහෝ කෙටිකතාවල මේ ලක්ෂණය දැකිය හැකිය. ඇතැම් විට ඒ කතා සම්මාන තරගවලින් මතු වී ප්‍රකට වන පොත්ම නොවිය හැකිය. සඳුන් ප්‍රියංකර විතානගේගේ කෘතිය මෙවර රජත පුස්තක කෙටි ලැයිස්තුවලට ඇතුළත් වී නැත. ඉන් දුප්පත් වී ඇත්තේ ඒ ලැයිස්තුවය.

    (Aruna 16/07/23)

  

    


No comments:

Post a Comment