Saturday, April 6, 2024

මාතර මහ කැරැල්ල ඉතිහාස පොතෙන් සාහිත්‍යකරුවාට උගත හැකි පාඩම් - ලියනගේ අමරකීර්ති

     

 






 නෙදර්ලන්ත ජාතික ඉතිහාසඥයෙකු වන ලුඩවැයික් වාක්හනාර් විසින් ලියන ලද පොතකින් කොටසක් මාතර මහ කැරැල්ල නමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් සිංහලට නගනු ලැබ ඇත. ඒ කෘතිය සිංහලෙන් පළ වන තෙක් එහි මුල් කතුවර වාක්හනාර් ගැන මා දැනසිටියේ මහාචාර්ය නීරා වික්‍රමසිංහ වැනි අයගේ පොත්වල ඔහු ගැන එන සඳහන් පමණි. ඒ කෘතියට විෂය වන ලංකාවේ ලන්දේසි යුගය පිළිබඳ ඉතිහාසය ගැන මා දන්නේද ඉතා සුළු වශයෙනි. ඒ නිසා මේ රචනය වෙන්වන්නේ යම් යුගයක ඉතිහාසය වටහා ගැනීමෙහිලා ඒ පොතෙන් ලැබිය හැකි අන්තර්දෘෂ්ටි වෙනුවෙනි. ලන්දේසි භාෂාවෙන් ලංකාව ගැන ලියැවී ඇති හෝ ලියැවෙන දේ සිංහලට හෝ ඉංග්‍රීසියට නොපැමිණීම 18 වෙන සියවස ගැන උගන්නට කැමති අප කාටත් පාඩුවකි.

 මේ රචනයේදී මා කෘතිය දෙස බලන්නේ සාහිත්‍ය අධ්‍යයනය ක්ෂේත්‍රයෙහි සිටය. ඒ නිසා මගේ අවධානය වඩාත් යොමු වන්නේ මෙවැනි පොතකින් නවකතාකරණයෙහි යෙදෙන අයට ලැබිය හැකි යම් වැදගත් අවබෝධයක් තිබේද යන කරුණ ගැනය. 18 වෙනි හා 19 වෙනි සියවස් ගැන ඓතිහාසික නවකතා ලිවීම සිංහල නවකතා ක්ෂේත්‍රයෙහි පවත්නා වාර්ෂික පුරුද්දක් සේය. එහෙත් එවැනි නවකතාකරුවෝ සංකීර්ණ යටත් විජිත සන්දර්භවල පවත්නා දේශපාලන හා ආර්ථික ගතිකයන් සියුම් ලෙස පරීක්ෂා නොකරති. ස්වදේශිකයාගේ ජාතික අභිමානය වැනි සංස්කෘතික කාරණා කේන්ද්‍රකරගෙන ඔවුහු යටත් විජිත වැසියාගේ චර්යා නිර්වචනය කරති. එහෙත් මාතර මහ කැරැල්ල කෘතියෙන් නැවත වරක් පෙන්නා දී ඇත්තේ පීඩිත මහජන නැගිටීම් හුදෙක් සංස්කෘතිකමය වශයෙන් පමණක් තේරුම් ගත නොහැකි ව්‍යුහමය කාරණා වන අන්දමය. 

  18 වෙනි සියවසේ මැදභාගය පමණ වන විට ස්වදේශිකයන් සම්බන්ධයෙන් ලන්දේසි ප්‍රතිපත්තිය වූයේ ලාංකේය ජනයාගේ විවිධ සිරිත් විරිත් ආදිය කෙරෙහි බලපෑම් නොකළ යුතුය යන්නය. එනම් ස්වදේශිකයාගේ විවිධ සංස්කෘතික අනන්‍යතා කෙරෙහි සාවධාන විය යුතු බවය. ඒ ප්‍රතිපත්තිය බොහෝ දුරට ආරක්ෂා වූ පසුබිමක පවා ලංකාවේ දකුණුකර ප්‍රදේශවලින් ගොවි ජනතාව අතරින් කැරලි පැන නැග්ගේ ඇයි? සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික ආරක්ෂා කරන්නට අතිවිශාල ඡන්ද ප්‍රතිශතයකින් 2019 දී ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ ඒ ජනයාගේම මැදිහත්වීමෙන් බලයෙන් පහ කර පන්නා දැමුණේ ඇයි? වාක්හනාර්ගේ පොත ඒ ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන බව පෙනේ. පළමු ප්‍රශ්නයට කරුණුමය පිළිතුරකුත් දෙවැනි ප්‍රශ්නයට රූපකමය පිළිතුරකුත් ඒ පොතෙන් ලැබේ.

   වාක්හනාර්ගේ පොත ඉතිහාස රචනයක් වුවද ඉතිහාස කතාවේ එන චරිතවලද ඒ ඒ ඓතිහාසික අවස්ථාවේ සියලු සංකීර්ණතාවෙතද හොඳ අවධානයක් යොමු කරන්නට කතුවරයා තැත් කරයි. මේ නිසා කෘතියෙහි කේන්ද්‍රීය මාතෘකාව වන මාතර ගොවි කැරැල්ල ගැන පමණක් නොව තවත් පුංචි පුංචි නිරීක්ෂණ ඇසුරින් බොහෝ දේ ගැන අර්ථවත් අන්තර්දෘෂ්ටි ලබා ගැනීමට අපට හැකිවේ. එවැනි අවස්ථා කීපයක් මෙසේය:

ණය දීමෙහි දේශපාලනය

ලන්දේසීන් මෙහි එන විට පෘතුගීසීහු වෙරළබඩ කලාපයේ සිටියහ. ඔවුන් පළවා හරින්නට උඩරට රජු ලන්දේසින්ගේ උදව් පැතුවේය. යුරෝපීය කණ්ඩායම් දෙක අතර යුද්ධයක් සිදුවිය. ඒ යුද්ධයට පෙර උඩරට රජු හා ලන්දේසින් අතර ගිවිසුමක් පැවතිණි. ඊට අනුව පෘතුගීසීන් සමග යුද්ධයට යන වියදම් උඩරට රජු විසින් (ලංකාවාසීන් විසින්) ගෙවනු ලැබිය යුතු විය. එය කළ යුතු වූයේ එවකට ප්‍රධානම වෙළඳ භාණ්ඩය වූ කුරුඳු සැපයීමෙනි. උඩරට රජු ඒ ණයෙන් විශාල කොටසක් ගෙව්වේය. ඔහු එය සම්පූර්ණයෙන් ගෙවා දමා අවසන් කරතියි ලන්දේසීන් බියෙන් සිටි බවක් පෙනේ. ඒ නිසා එවක හුවමාරු වූ ලිපිවල යුද්ධයට ගිය අධික වියදම් ගැන නැවත නැවත කියවේ.

  උඩරට රජු ලන්දේසීන්ගේ ණය ගෙවා දමතියි යන බිය ඔවුන් තුළ පැවතියේ ඇයි? ‘ණය’ යනු අද සේම එදාත් යම් යම් රටවල් හෝ ප්‍රජාවන් පාලනය කිරීමේ උපකරණයක් බව මින් නොපෙනේද? ‘ණය’ ජාත්‍යන්තර භූ දේශපාලනයේ උපකරණයක් සේ යටත්විජිතවාදයේ මුල් යුගයේ සිටම පැවති බව මින් පෙනේ.

යටත් විජිත නිලධාරින්ගේ ආර්ථික පසුබිම

   එකල ලංකාවේ සිටි ලන්දේසි වෙළඳ සමාගමේ ඉහළ නිලධාරීන් ලද විශාල වැටුප් හා ආදායම් ගැනද විස්තර මේ පොතෙහි එයි. ඒ වූකලි අපට ඒ යුගය ගැන අනෙක් මූලාශ්‍රවලින් දැනගත නොහැකි තොරතුරුය. මේ පොතට අනුව ලන්දේසි ආණ්ඩුකාරයට පමණක් දෙවෙනි වන ආඥාපති තනතුරු දරන කෙනාට නිල වැටුප මෙන් දහතුන් ගුණයක වාර්ෂික ආදායමක් ලබා ගැනීමට හැකි විය. ඔවුන්ට ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය සියලු පහසුකම් තිබිණි. මේ වූකලි සාමාන්‍ය ජනයා අතරින් ගොවි කැරැල්ලක් පැන නැග ඒමේ පසුබිම ඉඟි කරන තොරතුරුය. පාලක ප්‍රභූ තන්ත්‍රය ස්වදේශික වුවද විදේශික වුවද ඔවුන් සාමාන්‍ය ජනයාගේ නිෂ්පාදන අතිරික්තය උකහාගෙන සුඛෝපභෝගී ජීවිත ගෙවති. විදේශීය වෙළඳපොළෙහි හුවමාරු භාණ්ඩ විකිණිමේ ඒකාධිකාරය ඇති විට ඒ පාලක ප්‍රභූතන්ත්‍රය  නිෂ්පාදනවලට අතිවිශාල ආදායම් ලබාගත හැකිය. 

කුලවාදයෙහි දේශපාලන-ආර්ථිකය

බුද්ධධර්මය කුලවාදයට විරුද්ධ වුවත් ලංකාවේ බුද්ධාගම අපට ආවේණික කුලභේදයක් වර්ධනය කර පවත්වාගෙන යෑම ගැන නොයෙක් දෙනා චෝදනා කරති. ලංකාවේ කුල ක්‍රමය ගැන අපමණ අධ්‍යයන තිබේ. මෑතකදී ලියවුණු බොහෝ නවකතාවල 18 හෝ 19 සියවස්වල කුල භේද ආදිය ගැන සඳහන් වේ. කුල ක්‍රමය විචාරයට ලක් කරන මානවවාදී ප්‍රවේශයක් ඒවාගේ තිබුණද ඒවා හැඟීම්බර විලාපකින් ඔබ්බට යන්නේ කලාතුරකිනි. යම් අවස්ථාවක ආර්ථික-දේශපාලන කොන්දේසි කුල ක්‍රමය වැනි පද්ධතියක් ස්ථාපිත කරන්නට දායක වන ආකාරය ගැන සාකල්‍යවත් නිරූපණයක් කරන්නට බොහෝ නවකතාකරුවෝ අසමත් වෙති. එවැනි අයගේ අවධානයට ලක් විය යුතු තැනක් මේ පොතෙහි තිබේ.

  උඩරට සිංහල ප්‍රභූවරුන් හා සංඝ සංස්ථාව අතර පැවතියේ ආර්ථික-දේශපාලන සම්බන්ධයකි. ලන්දේසින්ගේ උපකාරයෙන් උපසම්පදාව ඇති කොට සියම් නිකාය පිහිට වූ පස ඊට ගොවිගම කුලයේ අය පමණක් ඇතුළු කිරීම උඩරට ප්‍රභූන්ගේ දේශපාලන ප්‍රයෝගයකි. උඩරට සිංහල ප්‍රභූවරු ලංකාවේ රාජ්‍යයත්වය තමන් අතට ගැනීමේ දේශපාලන අභිලාෂයෙන් යුක්ත වූහ. මේ කොටස බලන්න:

‘උපසම්පදාව පිහිටුවීමෙන් පසු උපසම්පදා කරන ලද භික්ෂූන් හයදෙනාගෙන් එක් අයෙකු වූ තිබ්බොටුවාවේ හිමි උදාහරණයක් සේ දැක්විය හැකිය. ඔහු ප්‍රබල රජවාසල ප්‍රධානියෙකු වූ දෙවන අධිකාරම්ගේ ඥාති සහෝදරයෙකි. ඒ හිමි කීර්තිමත් විද්වතෙකුද චූලවංශයේ අවසාන කොටස හෙවත් මහාවංශයේ තුන්වෙනි කොටසේ කතුවරයා වූයේය. එහෙත් එවැනිම උගත් භික්ෂු කෙනෙකු වූ සිටිනාමළුවේ හිමිට උපසම්පදාව නොලැබුණේ ඒ හිමි ගොවි කුල කණ්ඩායමෙන් නොපැමිණි නිසාය.’

   එවැනි සිද්ධි ගැන නවකතා ආදිය ලියන අය මේ කුලවාදයේ නැග්මට තුඩුදුන් ආර්ථික දේශපාලන අභිලාෂ ගැන අවධානය යොමු කිරීම උචිතය. එතැනදී උඩරට ප්‍රභූවරු සහ භික්ෂූහු බෞද්ධ ආචාර ධර්ම පසෙකින් තබන්නේ දේශපාලන අභිලාෂ නිසාය. සෑම සමාජයකම දේශපාලන බලයට වඩා ආසන්නයෙන් සිටින ප්‍රභූ පන්තියේ ආර්ථික හා දේශපාලන තර්කනය ඔවුන්ගේ ආචාර ධාර්මික තර්කනය ඉක්මවා සිටියි. ඒ දේශපාලන ආර්ථික ගණන් බැලීම් කරන්නේ බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙනියි කියමින් ඒ උපාය මාර්ගවලට ආගමික මුහුණුවරක් දීමටද ඒ ප්‍රභූන්ට හැකියාව තිබේ. 18 වෙනි සියවසේදී අප මේ පැහැදිලිව දකින්නේ අදත් අපගේ දේශපාලන ක්ෂේත්‍රයෙහි දැකිය හැකි සටකපට උපායකි.

  හුදෙක් ඉහළ යැයි සම්මත කුලවල අය පමණක් නොව වෙනත් කුලවල අයද යම් යම් දේශපාලන-ආර්ථික සන්දර්භ තුළ නව කාරක ශක්තියක් ලබති; ආර්ථික දේශපාලන ව්‍යූහයේ කේන්ද්‍රයට එති. ලන්දේසින්ගේ ප්‍රධානම ආර්ථික බෝගය කුරුඳු වූ නිසා කුරුඳු නිෂ්පාදනයට සම්බන්ධ සලාගම කුලය 18 වෙනි සියවසේදී විශේෂ වැදගත්කමක් අත්පත් කරගනියි. ඒ ඒ යටත් විජිත යුගයේදී ඒ ඒ ජනප්‍රජාවන් අත්පත් කරගන්නා නව කාරක ශක්තියක් තිබේ. මෙම කෘතියට අදාළ ලන්දේසි යුගයේදී කුරුඳු වෙළඳාම නිසා සලාගම කුලයේ ජනයාට නව වැදගත්කමක් ලැබෙන්නාක් මෙනි. 

යටත්විජිතවාදියාගේ ජීවිතයෙහි අභ්‍යන්තරය

 මෙම ඉතිහාස පොතෙහි ඇති තවත් වැදගතච්කමක් මෙසේය: එය යටත් විජිතවාදියාගේ ජීවිතයෙහි පෞද්ගලික තොරතුරුද ඉතිහාස කතාව වෙතට ඇතුළු කරයි. සමාන්‍යයෙන් නවකතාකරුවාගේ අවධානයට ලක් වන පුංචි පුංචි ජීවන තතුද ඒ නිසා අපට හමුවේ. යටත් විජිතවාදියා එක්තරා දේශපාලන-ආර්ථික පද්ධතියක උපකරණයක් වන අතරම ඔහු මනුෂ්‍යයෙක්ද වේ. ඉතිහාස කතාවට අදාළ සියලු චරිත මනුෂ්‍ය චරිත සේ ඉදිරිපත් කරන්නට ගෙක ඇති තැත ඉතා වැදගත්ය. ලන්දේසි ඉන්දීය වෙළඳ සමාගමෙහි නිලධාරියෙකු සේම ලංකාවේ ලන්දේසි පාලනයෙහි නිලධාරියෙකු යන් ශ්‍රෑඩර් වැනි චරිතයක් නිදර්ශනය සේ ගත හැකිය. ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ආසියාවේදී ලන්දේසි සේවය කරමින් ලංකාවේදී ඉහළ නිලධාරියෙකුද ආණ්ඩාකාරයද බවට පත් වන නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී නොයෙක් ඛේදවාචකවලට මුහුණ දෙයි. ඔහුගේ පළමු හා දෙවන බිරින්දෑවරු ආසියාවේදී මිය යති. තුන් වන බිරිඳගෙන් ලබන දරුවෙක්ද මිය යයි. ඊ ළඟ දරු ප්‍රසූතියේදී බිරිඳ මිය යයි. ඔහුගේ සිව් වන විවාහය ඉන් පසුව සිදුවෙයි. 

   යටත් විජිත ක්‍රමය නම් ආර්ථික-දේශපාලන පද්ධතිය යටත් විජිතවාදියාගේ සේම යටත් විජිත වාසියාගේ පෞද්ගලික ජීවිත ගෙන එන සුඛදුක්ඛ දෝමනස්ස මේ පොතෙහි විස්තර වන්නේ සිත්ගන්නා ලෙසය. ඉතිහාසය යනු යාන්ත්‍රික වාර්තාවක් නොවේ. කවර ඓතිහාසික අවස්ථාවක වුවත් ඒකපුද්ගල මිනිසා දෙන දෙන ඓතිහාසික සන්දර්භය තුළ මනුෂ්‍ය වූ ජීවිතයක්ද ගෙවයි. ඒ ජීවිතය අල්ලා ගැනීම ඓතිහාස නවකතාකරුවාගේ කාර්ය වුවද දැන් දැන් ඉතිහාසය ලියන දක්ෂ රචකයෝද තම රචනාවලදී අගනා ‘ජීවිත නිරූපණයක්’ කිරීමටද ප්‍රයත්න දරති.

ගැමි ගොවි කැරැල්ල

  අපි දැන් මේ පොතෙහි ප්‍රධාන තේමාව වන ගොවි කැරැල්ල වෙත යමු. අපට සමාන්‍යයෙන් මතක ඇත්තේ 1818  වෙල්ලස්සේ හා 1848 වර්ෂවල මාතලේ ඇති වූ ප්‍රකට කැරලිය. ඒවා සිදු වූයේ බි්‍රතාන්‍ය පාලනයට එරෙහිවය. ඒවාට යම් යම් මට්ටමින් උඩ රට ප්‍රභූවරුන්ගේ සම්බන්ධය හා අනුදැනුම ඇතිව සිදු වූ දේය. ආගමික ප්‍රභූවරුන් වූ භික්ෂූන් වහන්සේද ඒවාට සහභාගි වූහ. ඒ කැරලිවලට අමතරව අප සමාජයේ නිර්ප්‍රභූ පිරිස් වෙතින්ද තීරණාත්මක කැරලි පැන නැග තිබේ. ඒවා සම්බන්ධයෙන් අපේ නිල ඉතිහාසය තරමක් නිහඬව ගොස් ඇත්තේ ඇයි? ඉතිහාසය පදනම් කරගෙන නවකතා ලියන අයද ඒවා නොසලකා හැර ඇත්තේ ඇයි? මේ වූකලි මාතර මහ කැරැල්ල කියවන කල අපට ඇති වන ප්‍රශ්නය.

   කොළඹ හෝ මුහුදුබඩ ප්‍රදේශවල සිට ලන්දේසින් ආර්ථික හා දේශපාලන කටයුතුවල යෙදෙන අතරේ සාමාන්‍ය සිංහල ගොවි ජනයා කෘෂිකර්මාන්තයේ යෙදී සිටියේ යැයි සරල ඉතිහාස කතා අපට කියයි. විදේශිකයා හා ස්වදේශිකයා යන ප්‍රභේද දෙකට ඒ යුගයේ මනුෂ්‍ය කාරකයෝ බෙදා දක්වනු ලබති. ඒ විස්තර කිරීම සරල වැඩිය. ග්‍රාමීය ප්‍රදේශවල ‘ස්වදේශීය ප්‍රාදේශීය පාලකයෝද’ සිටියහ. මේ ප්‍රාදේශීය පාලකයෝද තමන්ගේම ස්වදේශික ජනයා විවිධාකාරයෙන් සූරාකෑහ; පීඩාවට ලක් කළහ. ලන්දේසින්ට සේවය කළ මේ ස්වදේශික ප්‍රාදේශීය නායකයන් මුදලිවරුන් හා කෝරළේවරුන් වැනි අය ලන්දේසින්වත් අපේක්ෂා නොකරන අන්දමින් සාමාන්‍ය ගොවි ජනයා පීඩාවට ලක් කළහ; සාමාන්‍ය ජනයාට වංචා කළහ. මේ වූකල අද දවසේ ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ ආර්ථික-දේශපාලන ව්‍යාපෘති මෙහෙයවන දේශපාලන නායකයන් ජනතාව පෙළන්නාක් වැනි තත්ත්වයකි. අද අප අත්දකින පීඩක ආර්ථික ව්‍යූහයක විකාශනයේ ආරම්භය ලන්දේසි යුගය තරම් ඈතක සිදුවන ආකාරය දකින්නටද මේ පොත උපාකාර වේ.

   ඒ නිසා මේ ගැමි ගොවි කැරලි හුදෙක් ‘සුද්දන්ට හෝ ලන්සින්ට’ එරෙහිව ‘සිහලුන්’ ගසන කැරලිම නොවේ. යටත් විජිත සන්දර්භයකදී ඒ කැරලිවලට එවැනි ජාතිකවාදී ස්වරූපයක් දීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් මෙවැනි ඉතිහාස පොතකින් අපට උපකාර කරන්නේ ඒ ගැමි ගොවි නැගිටීම් එක්තරා ආර්ථික-දේශපාලන ව්‍යූහයකින් එන පීඩනයට එරෙහිව නැගිටීමක් සේ දකින්නටය.

  යටත් විජිතවාදියා කුරුඳු වැනි වානිජ වගාවන්ට අධික අවධානයක් යොමු කරන විට ග්‍රාමීය යැපුම් කෘෂිකර්මය බිඳ වැටේ. වී වගාව වැනි ආහාර බෝග වගා බිඳ වැටුණු විට ආහාර අර්බුදයක් ග්‍රාමීය ප්‍රදේශවල ඇති වේ. සාමාන්‍ය ජනයාගේ ඛේදජනක ඉරණම ගැන කිසිම හැඟීමක් නැති ස්වදේශීක ප්‍රභූවරු ඒ පීඩිත ජනයා තවත් පීඩනයට පත් කිරීම දිගටම කරගෙන යති. එයද අද දක්වා සිදුවන දෙයකි. එහෙත් දරාගත නොහැකි පීඩනය නිසා පොදුජනයා අතරින් කැරලි මතුවන විට එයද අවස්ථාවාදී ලෙස තම දේශපාලන අභිලාෂ වෙනුවෙන් යොදාගැනීමට ඊනියා ප්‍රභූවරු කටයුතු කරති. කැරැල්ල නිශ්චිත දේශපාලන වෙනසක් ඇති නොකරන විට නැවතත් ඒ ප්‍රභූවරු ලන්දේසින් යටතේ පවත්නා ස්ථාපිතය හා සම්මුතිගත වෙති. මේ වූකලි කිසිම ස්ථිර ආචාරධාර්මික ප්‍රතිපත්තිමය පදනමක් නැති ලාංකේය ප්‍රභූවරුන්ගේ නොවරදින කතාව සේ පෙනේ.

    මුල් කෘතියෙන් කොටසක් පමණක් වන මේ පොත අදාළ යුගය පිළිබඳ චිත්‍රණයක් සේ අසම්පූර්ණය. එහෙත් අගනුවර, රජවරුන්, හෝ ප්‍රධාන බෞද්ධ විහාර ආදිය කේන්ද්‍ර කරගෙන ඉතිහාසය විස්තර කරන රචනා නිතර හමුවේ. නිර්නාමික නිර්ප්‍රභූන් කාරකයන් සේ ගන්නා ඉතිහාසය ඉතා දුලභය. මේ පොත එවැන්නකි.

  2024 March 24 - Aruna

  




2 comments:

  1. මේ ලිපිය ගැන ලින්ක් එකක් Pra Jay මහතා 'නිදිගෙ පංච තන්තරේ' අඩවියේ post එකකට කමෙන්ටුවක් වශයෙන් එවා තිබුණා. එතුමා එහෙම කරන්නට ඇත්තේ මගේ ලිපිවලදී 'සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර්' මහතා ගැන කියවුණු නිසා විය යුතුයි. අපේ අම්මා 1976 එංගලන්තයට ගිය පසුව විවහ වුණේ සැසිල් මහතා සමඟයි.
    අමරකීර්ති මහතාණෙනි,
    ඔබ ලියා ඇති තොරතුරු අනුව මට හැඟෙන්නේ 'අටවක පුත්තු- කුරුලු හදවත- අහම්බකාරක' (කැළැලිකාරයෝ ගැන නොලීවේ මා එය කියවා නැති නිසයි.) වගෙ රසවත් හරවත් නිර්මාණයක් කරන්නට උත්තේජනයක්, මේ තොරතුරුවලින් ඔබතුමාට ලැබී ඇති බවයි.
    එවන් කෘතියක් ශ්‍රී ලංකේය පාඨකයන්ට තිළිණ කෙරේවායි පතමි!

    ReplyDelete