Monday, April 22, 2024

ස්වයං චරිතාපදානමය රචනාව සහ සාහිත්‍යය -- ලියනගේ අමරකීර්ති

 


 




ලේඛක ලේඛිකාවන්ගේ ස්වයං චරිතාපදාන කියවීමෙන් සාහිත්‍ය කලා උගන්නා ආධුනිකයන්ට ලැබෙන අන්තර්දෘෂ්ටි ගැන කලින් ලිපියක ලියැවිණි. එහිදී සමර්සෙට් මෝම්ගේ කෘති දෙකක් ගැන ප්‍රධාන වශයෙන් සඳහන් කෙරිණි. මෙම රචනයේදී මා අවධානය යොමු කරන්නේ මෑතකදී සිංහල භාෂාවෙන් පළ වූ ස්වයං චරිතාපදාන හෝ මතක පොත් අතරට ගැනෙන කෘති කීපයක් ගැනය.

පසුගිය මාස කිහිපය තුළදී එවැනි පොත් දෙකක් මහනුවරදීම fදාරට වැඩියේය. ඒ අවස්ථා දෙකටම සහභාගි වන්නට ලැබීම වාසනාවක් විය. එක් පොතක් නවරත්න බණ්ඩාගේ මාතා: (අ)මරණීය මතක (2023) කෘතියයි. ඔහු 1987-89 කාලයෙහි ජවිපෙ දේශපාලනයෙහි නියුක්තවීම නිසා නොයෙක් දුක් ගැහැට විඳින්නට සිදුවූ කෙනෙකි. ඔහුගේ මහගෙදරද සන්නද්ධ හමුදා විසින් පුළුස්සා දමන ලදී. කෙසේ හෝ දිවි ගලවාගෙන නැවත දේශපාලනයට එන ඔහු 2004 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක් වූයේය. ග්‍රාමීය නිර්ධන පාන්තික පසුබිමක ඉපිද හැදී වැඩී වමේ දේශපාලනයට යොමුවීම යනු කොතරම් නම් භයානක ඉරණමක් උරුම විය හැකි තෝරාගැනීමක්දැයි මේ පොතෙන්ද පැහැදිලි වේ. 1983 කළු ජූලිය දඩමීමා කරගෙන ඊට සම්බන්ධ නැති ජවිපෙ තහනම් කිරීමත්, ක්‍රමයෙන් ඒ පක්ෂය යටිබිම්ගත දේශපාලනයට තල්ලු කිරීමත් ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම විය. ඒ අවස්ථාවේ ජවිපෙ කළ තෝරාගැනීමත් ජේආර්ගේ සැලැස්මට හසුවීමක්දැයි මෙවැනි පොත් කියවන විට අපට සිතේ. ඒ අවස්ථාවේ යෞවනයෙකුව සිටි නවරත්න බණ්ඩා තමන්ගේ දේශපාලන පක්ෂ නායකයන්ගේ දේශපාලන තෝරාගැනීම් වෙනුවෙන් ගෙවූ වන්දිය විස්තර කරන්නේ ඒ නායකයන් වෙත දෝෂාරෝපණය කරමින් නොවේ. නිදහසින් පසු ලංකාව පාලනය කළ දේශපාලන කණ්ඩායමේ දේශපාලන අභිලාෂ කෙසේද යත් නිර්ධන ග්‍රාමීය තරුණ තරුණියන් කීදාහක් ඒ අභිලාෂ වෙනුවෙන් මරා දැමිය යුතුද යන්න ඒ ප්‍රභූ පන්තියට කිසිම සැලකිල්ලක් නැත. 87-9 අරගලයේදී ජවිපෙ සටන්කරුවෝද සීමාන්තික ලෙස හිංසනය භාවිත කළහ. නවරත්න බණ්ඩාගේ කෘතියෙහි මේ ඉතිහාසය ගැන කෙරෙන ආවර්ජනය අර්ථවත්ය. පසු කලෙක ජවිපෙන් ඉවත් වූ ඔහු දැන් නිර්පාර්ක්ෂික සමාජ ක්‍රියාකාරිකයෙකු සේ ජීවත් වෙයි.     

 ගාමිණී මුතුකුමාරණගේ මතක ගිනි පුපුරු (2023)  යනු 87-89 භීෂණ යුගය ගැන එවක ජවිපෙ නායක මට්ටමේ සිටි කෙනෙකු ලියූ පළමු කෘතිය විය හැකිය. මුතුකුමාරණ යනු ජවිපෙ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු සේම ජවිපෙ සියලුම නායකයන් පාහේ ඇසුරු කළ කෙනෙකි. ඒ මට්ටමේ නායකයෙකුව සිට දිවිගලවා ගත් ඉතා සුළු පිරිසෙන් කෙනෙකි. 1990 දශකයේ මුල් කාලයේදී අත්අඩංගුවෙන් පලාගොස් තායිලන්තය ඔස්සේ ලන්ඩනයට ගිය ඔහු අදටත් එහි ජීවත් වේ. 87-9 යුගය ගැන මෙතෙක් ලියවුණු පොත්පත් අතර ඒ අභ්‍යන්තරය හොඳින්ම දැනසිටි කෙනෙකු විසින් ලියන ලද පළමු පොත මෙය යැයි කිවහැකිය. ස්වයං චරිතාපදානමය රචනයකදී යම් විෂයක් පිළිබඳ රචකයාගේ ආත්මීය සම්බන්ධය හා ඒ දෙස රචකයා බලන දෘෂ්ටිකෝණයද හෙළිවේ. නිදහසින් පසුව ලංකාව නම් රටෙහි ආර්ථික-දේශපාලන ව්‍යූහය පවත්වාගෙන යන ආකාරය හෙවත් ‘පවතින ක්‍රමය’ වෙනස් කිරීමට ග්‍රාමීය නිර්ධන පාන්තික ජනයාටත්, උගත් තරුණ තරුණියන්ටත් අවශ්‍ය වී ඇත්තේ ඇයි, එවැනි වෙනස් කිරීමකට ප්‍රයත්න දැරීම වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නට එවැනි පිරිස් සූදානම් වන්නේ ඇයි යනාදී ප්‍රශ්න වෙත අන් ලෙසකින් ලද නොහැකි අන්තර්දෘෂ්ටි සපයන්නටද මේ කෘතිය සමත් වෙයි. තමාද නායකයෙකු වූ දේශපාලන ව්‍යාපාරයේ ඇතැම් තෝරාගැනීම් පිළිබඳ විචාරාත්මක ආවර්ජනයක යෙදෙන්නටද ගාමිණී මුතුකුමාරණ පසුබට නොවේ.     




  මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුව සිටි ප්‍රේමදාස බටුගොඩද රසවත් මතකපොතක් මෑතකදී පළ කළේය. එය මහනුවරදී එළිදුටුයේ යැයි මා කී දෙවෙනි පොතයි. 71 මතකාවර්ජනයක් (2023) නම් වූ ඒ පොත ඒ නමින් ඇඟවෙන පමණටත් වඩා අර්ථවත් ස්වයං චරිතාපදානමය පොතකි. නුවර දිස්ත්‍රික්කයේ නිර්ප්‍රභූ හා නිර්ධන පාන්තික පසුබිමක උපන් බටුගොඩ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. ආර්ථික අපහසුකම්වලින් පිරි ශිෂ්‍යයෙකු ලෙස 1966 වර්ෂයේදී විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෙවූ ජීවිතයෙහි තතුද, එම තතුම ඔහු 71 කැරලිකරුවෙකු වන්නට මෙහෙය වූ සැටිත් බටුගොඩගේ පොතෙහි සිත්ගන්නා ලෙස විස්තර වේ.

  ලංකාවේ දකුණේ සේම උතුරේ ඇති වූ තරුණ කැරලි යනු ඒවාට සහභාගි වූ තරුණ තරුණියන්ගේ මනස්වලට විසබීජයක් යාමෙන් ඇති වූ ලෙඩක් නොවේ. තමන් උපන් රටෙහි අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමේ ආශාව හා අවශ්‍යතාව ඒ තරුණ නැගිටීම් සියල්ල පිටුපසම තිබේ. මෙතෙක් සඳහන් කෙරුණු පොත්වල ඒ අභිලාෂයේ විවිධ ස්වරූප ඉතා හොඳින් නිරූපණය වේ.

   මේ රටේ ප්‍රභූ පාලක පන්තිය තමන්ට අවශ්‍ය ආකාරයට සාදාගත් ලංකාවේ රාජ්‍යය රැඩිකල් වෙනස්කම්වලට බඳුන් නොකර ආරක්ෂා කරන්නට කොයි තරමක වුවත් රුධිර ගංගාවක් ගලා යවන්නට වුවද පසුබට නොවන සැටි පොත් තුනේම පෙනේ.

   මෙවැනි නිර්ප්‍රභූ චරිත තම ජීවිත සම්බන්ධයෙන් පොත පත ලිවීම ඉතා අර්ථවත් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ ජීවන යථාර්ථ ගොඩනැගුණු සැටි පමණක් නොව ඒ ජීවන යථාර්ථ වෙත ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයද අපට දැනගන්නට ලැබේ.




   එවැනි දේශපාලන චරිතයක් නොවන වේදිකා හා සිනමා නිළියක වන කුමුදු කුමාරසිංහ කොළඹ මතක (2023) නමින් රසවත් පොතක් ලියා තිබේ. එය ඉතා අසාමාන්‍ය පොතකි. දෙමටගොඩ ප්‍රදේශයේ නාගරික දුප්පතුන් වසන ප්‍රදේශයක ඈ ගෙවූ ජීවිතය කතුවරිය විසින් විස්තර කෙරෙන්නේ නාගරික දුප්පත්කම පිළිබඳ අන් කිසිලෙසකින් ලද නොහැකි අන්තර්දෘෂ්ටි ලැබෙන ආකාරයෙනි. දළ වශයෙන් පසුගිය අවුරුදු තිස් ගණනක කාලය තුළ කොළඹ නගරයේ නිර්ධනීන්ගේ ජීවිත කොළඹ නගරයේම ප්‍රභූන්ගේ දේශපාලනයෙහි බලපෑමට ලක් වන ආකාරය ඇය සිත්ගන්නා සේ විස්තර කරයි. එවැනි සමාජ පසුබිමක ස්ත්‍රියකගේ ජීවිතයට එන විශේෂ අභියෝග පිළිබඳ එහි එන හෙළිදරව් විශේෂයෙන් අර්ථවත්ය. 1977 සිට හඳුන්වා දෙන ලද නව ලිබරල් ආර්ථික .ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට එදා සිට අද තෙක් දැඩි කැපවීමෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපතිවරයාය. ඔහු අදත් දැඩිව අදහා සිටින්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තිමය. ඒවා නිවැරදි ප්‍රතිපත්ති යැයි ඔහුත් ඔහුගේ අනුගාමිකයෝත් කියති. ඒ ආර්ථික ප්‍රතිපත්ති දෙමටගොඩ ප්‍රදේශයේ නාගරික නිර්ධනීන් ප්‍රජාවකගේ ජීවිත වෙත කළ බලපෑම ගැන කිසිම මානව විද්‍යා අධ්‍යයනයකින් අප නොදුටු ආකාරයෙන් කොළඹ මතක කෘතියෙහි කතුවරිය අපට විස්තර කරයි.

  ඉහත කී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ යුගයෙහි දිදුලන නියෝන් එළි සහිත අගනුවරක් බවට පත් වූ කොළඹ ඒ විදුලි සන්දර්ශන පිටුපස ඇති පිටිපස්සක් තිබේ. ඒ පිටිපස්සේ කතාව මේ කෘතියට හසුවන්නේ අනුවේදනීය ලෙසය. විටෙක එය හාස්‍යයෙන්ද යුතුය. එසේම, නාගරික නිර්ධනීන් තම ප්‍රජාවේම අය මත ඇති කරන පීඩනය හා හිංසනයද පොතෙහි විස්තර වේ.  මේ එම කතුවරිය 1983 කළු ජූලිය විස්තර කරන තැනකි:

“අසූ තුනේ කළු ජූලියේදී අපේ පැත්තෙ කුඩුකාරයෝ පුළුවන් තරම් මංකොල්ල කෑවා. කිසිම කෙනෙක් එයාලව නතර කරන්න හිටියෙ නැහැ. පුංචිම පුංචි මුදලට අපේ පැත්තෙ මිනිස්සුන්ට මංකොල්ල කාපු ටීවී ගෙනැත් විකුණුවා. හැම ගෙදරකම වගේ ලොකුම ලොකු කලර් ටීවී තිබුණා කළු ජූලියෙන් පස්සෙ. හැමෝම එකිනෙකාට හොරෙන් දෙමළ කඩවලින් මංකොල්ල කාපු ටීවී අරන් තිබුණා... කටකතාවක් ගිහින් තිබුණා මංකොල්ල කාපු බඩුහොයන්න පොලීසියෙන් එනවා කියලා. ඒත් පොලීසියත් කඩ කඩලා මංකොල්ල කාලා තිබුණා. කිසිම පොලීසියක් (හොර බඩු අල්ලන්න) පැත්ත පළාතෙ ආවෙ නැහැ.”

   නාගරික දුප්පත් ප්‍රජාවක් තුළ ජීවත් වන විට ස්ත්‍රීන්ට විඳින්නට සිදුවන අතවර හා පීඩන ගැන කුමුදු කුමාරසිංහ කරන විස්තර අප අන් තැනක කියවා නැති තරම්ය:

“පුංචි කාලෙ මටයි මගෙ යාළුවන්ටයි ගෙවල් අවටදිම නොයෙකුත් අවස්ථාවල ලිංගික කරදරවලටත් මූණදෙන්න සිදුවුණා. අර මම කිව්වෙ අපි ටීවී බලන්න ගෙවල් ළඟ ලේන් එකකට ගියා කියලා. ඒ ලේන් එකේ ගෙදරක පැෂන් එකට දාපු යකඩ ගේට්ටු වැටක එල්ලිලා තමයි අපි ටීවී බැලුවෙ.

  දවසක් අපේ පේළියෙ අක්කා කෙනෙකුයි මමයි අපේ අනිත් යාළුවො කට්ටියයි ටීවී බල බලා ඉද්දි අන්කල් කෙනෙක් අපේ පිටිපස්සෙ හිටගත්තා. මේ මිනිහා බෙල්ල කඩාගෙන ටීවී බලනකොට ඒ ගෙදර ඇන්ටි ඒ මෑන්ට ගෙට ඇවිත් වාඩිවෙලා බලන්න කියලා කතා කළා. නැහැ නැහැ මෙහෙම හොඳයි කියලා අපේ පිටිපස්සෙම හිටියා. මිනිහා හිටියෙ සරමක් ඇඳගෙන. මගේ ළඟ හිටපු අක්කා ඇඹරෙනවා මම දැක්කා. ටික වෙලාවකින් මේ මිනිහා මගේ පිටිපස්සෙ හිටගත්තා. මගෙ කලව අස්සෙ මොකක් හරි ගෑවෙනවා මට දැනුණා. මම ඒ ඇතිල්ලෙන එක ගසා දාන්න ට්‍රයි කළා. පස්සෙ තේරුණා අර අන්කල්ගෙ බර්ඩිය තමයි කකුලෙ ගෑවෙන්නෙ කියලා.”

  දැරියක ලෙස ඒ පරිසරයේ හැදීවැඩීමේදී කතුවරියට විඳින්න සිදු වූ පීඩා සේම ඒ ජීවිතයෙහි මිහිරි අවස්ථාද කුමුදු කුමාරසිංහ විස්තර කරන්නේ අභිමානවත් මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය පසුබිම නොමැතිවීම යනු කොතරම් නම් අහිමිවීමක්ද යන්න පැහැදිලි වන ආකාරයෙනි.

ස්වයංචරිතාපදානමය ආඛ්‍යාන හා න්‍යාය

නොබෙල් ත්‍යාගලාභී කළු ඇමරිකානු ලේඛිකා ටෝනි මොරිසන් ස්වයංචරිතාපදානමය සාහිත්‍යය ගැන අගනා ලිපියක් ලිව්වාය. එහිදී ඉතිහාසය පුරා කළු ජාතික ලේඛක ලේඛිකාවන් ලියූ මතක පොත් තුලනාත්මකව අගය කළාය. කළු ජාතිකයන් ඇමරිකාවට ආවේ වහල් ක්‍රමය නිසාය. දීර්ඝ කාලයක අරගලවලින් පසු ඇමරිකාවේ වහල් ක්‍රමය අහෝසි විය. ඒ අරගල කාලය තුළ වහල්භාවයෙන් නිදහස්වීම පිණිස ඇමරිකාවේ දකුණුකර ප්‍රාන්ක්‍රවලින් වහල් ජීවිතයෙන් පැනගිය කළු ජාතිකයෝ අගනා ස්වයං චරිතාපදාන ලියූහ. ඒ මතක කතා ඇමරිකාවේ උතුරුකර ප්‍රාන්තවල සිට වහල් ක්‍රමයට එරෙහිව ක්‍රියා කළ සුදු සහ කළු ජාතික ක්‍රියාධරයන්ට ආවේශය සැපුයවේය. එවැනි කෘති කීපයක් ගැන වෙනම රචනයක් මතු දා ලියන්නට අදහස් කරමි. දැනට අපි ටෝනි මොරිසන්ගේ අදහස් ඇසුරින් අපේ සිංහල පොත් වෙත යමු.

  ඇයගේ අධ්‍යයනයට ලක් වහල් ජීවිත ගත කළ අයගේ ස්වයං චරිතාපදානමය රචනාවල මූලික අර්ථ තුනක් මොරිසන් දකියි. 

1. තමන්ද දෙවියන්ගේ ආදරය අනුකම්පාව ලැබිය යුතු මනුෂ්‍යයෙකු බව කළු නොවන ජනයාට පෙන්වා දීම

2. තමන්ද මනුෂ්‍යමය අභ්‍යන්තරයක් සහිත කෙනෙකු බව පෙන්වාදීම

3. කමන්ගේ ජීවිතය නිර්මාණය වූ ඓතිහාසික සමාජීය පසුබිම අනාවරණය කිරීම

(Inventing  the Truth: Art and Craft of Memoir)

  මේ එක් එක් කරුණු සනිදර්ශනාත්මකව විස්තාරණය කර දක්වන්නට මෙහි අවකාශ අඩුය. එහෙත් අපි එනිනෙක සැකෙවින් විමසමු.

  අප ඉහත නිදර්ශන සේ ගත් සෑම ස්වයං චරිතාපදානමය කෘතියක්ම තමන්ද අනික් මනුෂ්‍යයන් සම්පූර්ණයෙන්ම සමාන මනුෂ්‍යයෙකුය යන කාරණය විදහා දක්වයි. ඒ අතින් කොළඹ මතක සහ මාතා යන කෘති විශේෂයෙන් වැදගත්ය. ඒ පොත් දෙකෙහි විස්තර වන්නේ නාගරික දුප්පතුන් අතර උපන් කෙල්ලක හා ග්‍රාමීය දුප්පතුන් අතර උපන් කොල්ලෙකු තමන් වසන සමාජය වෙතින් ආහාර, නිවාස ආදී මූලික දේවල්ද අධ්‍යාපනය, සංස්කෘතික සම්පත් ආදී භාවමය පෝෂණයට අවශ්‍ය දේවල්ද අභිමානවත් ජීවිතයකට අවශ්‍ය ආර්ථික පසුබිමක්ද සොයා කරන අරගලයයි. ඔවුන් සොයන ඒ දේවල් අප කවුරුත් සොයන දේවල්මය. මනුෂ්‍ය ජීවිතයකට අර්ථයක් එකතු කරන ඒ දේවලින් වෙතින් ඔවුන් ඒ තරමට ඈත් කර ඇත්නම් එය සැබෑ මනුෂ්‍ය ජීවිතයක්ද?

අපි ඉහත එන දෙවන කරුණ වෙත යමු. සෑම මනුෂ්‍යයෙකුට තමාගේම වූ අභ්‍යන්තරික ස්වභාවයක් තිබේ. මනුෂ්‍යයෝ යනු ගිනි පෙට්ටියක කූරු වැනි එකිනෙකාට සමාන යාන්ත්‍රික නිෂ්පාදනයෝ නොවෙති. අභ්‍යන්තරික අද්විතීයතාව මනුෂ්‍ය ස්වභාවයකි. ඒ අද්විතීයතාව මනුෂ්‍යයාට වටිනාකමක්ද එක් කරයි. අන් අයට හානියක් නොවන සේ තමාගේ අභ්‍යන්තරික අද්විතීයතාව පොහොණි කරගැනීමට සෑම මනුෂ්‍යයෙකුටම අවස්ථාවක් තිබිය යුතුය. ඒ නිසා තමන්ගේ අද්විතීය අභ්‍යන්තරය ගැන කතාව කාටත් කියවිය හැකි සේ කියන මෙවැනි පොත් ඉතා අවශ්‍ය වේ.

  ඉහත මා නිදර්ශනයට ගත් පොත් හතරෙහිම විස්තර වන චරිත ආකස්මික හෙවත් අහසින් වැටුණු චරිත නොවේ. ඒ චරිතවල ජීවිත ඓතිහාසික නිර්මිත වේ. ඔවුන් තමන්ගේ පසුබිමෙහි වන සමාජ ඓතිහාසික යථාර්ථය වෙත විවිධාකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් ඒ චරිත ගොඩ නැගිණි. ඒ පොත් හතරේම එන්නේ 1948න් පසු මේ රට බාරගත් පාලක ප්‍රභූ තන්ත්‍රය විසින් නිර්මාණය කරන ලද හෝ පවත්වාගෙන යන ලද සමාජ ක්‍රමයක ඵල වශයෙන් බිහි වූ ජීවිත හතරක කතාවය. එවැනි ජීවිත බිහි කරන ඒ සමාජ-දේශපාලන තත්ත්වය එලෙසම පැවතිය යුතුද යන ප්‍රශ්නයද අපට ඒ කෘති ඇසුරින් ඇසිය හැක්කේ ඒ නිසාය.

සාමාන්‍යයෙන් ග්‍රන්ථ ගත නොව නිර්ප්‍රභූ මනුෂ්‍ය ජීවිත කලාපයක් මේ පොත්වල අන්තර්ගත කිරීමෙන් ඒ ලේඛකයන් හා ලේඛිකාව කර ඇත්තේ අගනා කාර්යයකි. ඒ වූකලි ස්වයං චරිතාපදානමය රචනාවෙන් පමණක් කළ හැකි කාර්යයකි.


(2024 අප්‍රේල් 21 අරුණ පුවත්පතිනි)

 

No comments:

Post a Comment