Friday, October 25, 2024

කලා අධ්‍යාපනයෙහි මහජන කාර්යභාරය සාරවත් කරගන්නේ කෙසේද? - ලියනගේ අමරකීර්ති(Liyanage Amarakeerthi)

 

  






අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත් ඇමතිවරියක් පත් වී සිටියි. අගමැති තනතුරට අමතරව ඇය අධ්‍යාපන ඇමති ධුරයද දරයි. මහමැතිවරණයෙන් පසුවද ඇය දිගටම අධ්‍යාපන ඇමතිවරිය සේ කටයුතු කරතියිද යන්න පැහැදිලි නැත. එහෙත් මේ වූකලි බොහෝ කලකට පසු අපට ලැබුණු උගත්ම අධ්‍යාපන ඇමතිවරියයි. ඇය අධ්‍යාපනය පිළිබඳ සංවාදයට කාලයක සිට දායක වූ කෙනෙකි. ඒ කාරණය සැමරීමද අරමුණු කරගෙන නැවතත් මම මේ රචනයෙන් මානව ශාස්ත්‍ර හෙවත් කලා විෂය ධාරාවේ වැදගත්කම ගැන ලියමි. මේ ලිපි මාලාවේදී කිහිප වරක් ඒ මාතෘකාව ස්පර්ශ කරන්නට යෙදිණි.

  කලා විෂය ධාරාවල මහජන වැදගත්කම කුමක්ද යන ප්‍රශ්නයට බොහෝ ශාස්ත්‍රාලයිකයෝ පිළිතුරු දෙති. ඒ පිළිතුරුවලින් සමහරක් සම්පිණ්ඩනය කරන්නට මෙම රචනය කැප කරමි. කලා විෂයවල පවත්නා වටිනාකම විස්තර කරන්නට ‘පබ්ලික් වැලියු’ (public Value) යන යෙදුම ඔවුහු භාවිත කරති. ඒ යෙදුම සිංහලයට ගැනීම එතරම් පහසු නැත. ‘මහජන වටිනාකම,’ ‘පොදු වටිනාකම’ හෝ ‘ප්‍රජාමය වටිනාකම’ හෝ ‘සියලු මනුෂ්‍ය වර්ගයා හා සම්බන්ධ වටිනාකම’ යනාදී වශයෙන් සිංහලයට ගන්නට පුළුවන. පොදු මනුෂ්‍ය සමාජයෙහි ගුණය ඉහළ දැමීමට මානවශාස්ත්‍ර විෂයවල දායකත්වය ඉන් අදහස් වේ. හුදෙක් රැකියාවක් ලබා ගැනීම ඉක්මවූ පොදු, ප්‍රජාමය අර්ථවත්භාවයක් කලා විෂයවල පවත්නා බවක් ඉන් අදහස් වේ. මේ විෂය ශාස්ත්‍රීය ලෝකය ඇසුරින් අප මේ වටිනාකම් කීපයක් වටහාගන්නට තැත් කරමු. මෙහිලා මා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය හෙලන් ස්මෝල්ගේ THE VALUE OF THE HUMANITIES  කෘතියයි. 








   කලා විෂයවලින් පහත සඳහන් ප්‍රජාමය වටිනාකම් අත්පත් කරගත හැක්කේ ඒවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විචාරාත්මක චින්තනය හා පරිකල්පනය දැල්වෙන සේ ඉගැන්වුවහොත්ය. විභාගයක් සඳහා ලිවීම පිණිස කටපාඩම් කරගැනීමට සටහන් දීමෙන් ඒ කාර්යය සිදු නොවේ. ඒ විෂය ඉගැන්විය යුතු හොඳම ස්වරූපයෙන් ඉගැන්වුවහොත් ඒ විෂයවල පවත්නා වටිනාකම් මතු කරගන්නට පුළුවන. පහත එන වටිනාකම් විස්තර කෙරෙන්නේ ඒවා ඉතාම විශිෂ්ට ආකාරයෙන් ප්‍රාමාණික දැනුමින් පමණක් නොව බුද්ධිමය උද්යෝගයෙන්ද යුත් ගුරුවරුන් විසින් උගන්වනු ලබතියි යන උපකල්පනයේ සිටය. අප රට ශාස්ත්‍රාලය තුළ එවැනි ඉගැන්වීම් ඉතා දුර්ලභ විය හැකි බව මම දනිමි.

   ● මානව ශාස්ත්‍ර හෙවත් කලා විෂය ධාරාවෙහි ඇති එක් ප්‍රධාන වටිනාකමක් මෙසේය: මනුෂ්‍ය සංස්කෘතිය තුළ සිදු වන අර්ථ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සුවිශේෂ වූද ඊටම ආවේණික වූද ආකාරයකින් අවබෝධ කරගන්නට කලා විෂයයන් උපකාර කරයි. මනුෂ්‍යයෝ තම ජීවිත කාලය තුළ නොයෙක් ආකාරයේ අර්ථ නිෂ්පාදනය කරති. මනුෂ්‍ය ආත්මීයතාව හෙවත් මනුෂ්‍ය පුද්ගලභාවය යනු තමා අවට ඇති දේවල් ඇසුරින් අර්ථ නිෂ්පාදනය කරමින් පවතින්නකි. ජීවිතයෙහි අර්ථය කුමක්ද, වඩා යහපත් ජීවිතය යනු කුමක්ද, ආදරය හා විවාහය යනු කුමක්ද, දෙවියන් යනුවෙන් කෙනෙකු සිටීද යනාදී නොයෙක් ප්‍රශ්න ගැන මනුෂ්‍යයෝ උනන්දු වෙති. මේ උනන්දුව නිසා ඇති වූ නොයෙක් මනුෂ්‍යමය නිර්මාණ, කතිකා හා විෂයධාරා තිබේ. සාහිත්‍ය කලා ලෝකයට පහළ වන්නේද මේ නිසා නොවේද? මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ කාර්යයක් වන්නේ මෙම සුවිශේෂ අර්ථ නිෂ්පාදන ක්‍රියාවලි ඉදිරියට පවත්වා ගැනීම, ඒවා ආරක්ෂා කිරීම හා ඒවා වඩා ගැඹුරු කිරීමට දායක වීමය. මනුෂ්‍යයන් විවිධ සන්දර්භවල සිට නිර්මාණය කරන අර්ථවල සැබෑ ‘අර්ථ’ ගවේෂණ කරන විෂය ධාරා තිබිය යුතුය. අර්ථවල අර්ථ පරීක්ෂා කරන්නට කලා විෂය ධාරාවලට විශේෂ හැකියාවක් තිබේ. එය කලා විෂයවලට අයත් දර්ශනය වැනි විෂයකට පමණක් නොව සාහිත්‍ය කලාවලටද තිබේ. සාහිත්‍ය කලාවලින් කෙරෙන්නේ යම් සමාජයක දැනට පවත්නා සම්මත අර්ථ සැබැවින්ම අර්ථවත්දැයි පරීක්ෂා කිරීමය. 

● සංස්කෘතිය නැවත නිර්වචනය කරමින් වර්තමානයට උචිත පරිදි සකසා ගැනීමේ සංස්කරණ කාර්යය කලා විෂයවලින් කෙරේ. එය අත්‍යවශ්‍ය මනුෂ්‍ය කාර්යයකි. මනුෂ්‍යයෝ සංස්කෘතිය නම් අඩවියෙහි නොයෙක් අර්ථ නිෂ්පාදනය කරති. ඒවා තමන්ගේ පැවැත්මේ කොටසක් බවට පත් කරගනිති. එහෙත් යම් සංස්කෘතික අංගයක් හුදෙක් මනුෂ්‍ය පැවැත්ම සිරගත කර වැඩෙන සිරගෙයක් බවට පත් වේ නම් එය විචාරාත්මක පරීක්ෂාවට ලක් විය යුතුය. දර්ශනය, සංස්කෘතික විචාරය, කලාව යන අඩවිවල මෙය නිරන්තරයෙන් කෙරේ. කලා විෂයධාරා හුදෙක් විභාගයකට ලියා සහතික දිනීමට නොව විචාරාත්මක හා චින්තන මෙවලමක් සේ තරුණ පරම්පරාව වෙත පවරා දිය යුත්තේ ඒ නිසාය.

● මානවශාස්ත්‍ර විෂයයන් නිසා ඒකපුද්ගල හා ප්‍රජාමය ප්‍රීතිය වර්ධනය වේ. සතුට යනු ධනයකි. එය තනි තනි පුද්ගලයාගේ පමණක් නොව සාමූහික ධනයකි. මනුෂ්‍යයන්ට සතුට ලැබෙන්නේ හුදෙක් ආහාර හෝ නිවාස ආදිය ලැබීමෙන් පමණක් නොවේ. ආහාර, නිවාස, ලිංගික ප්‍රීතිය, ආරක්ෂාව වැනි මූලික ජීව විද්‍යාත්මක අවශ්‍යතා සැපිරීමෙන් ලැබෙන සතුට මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය වේ. යහපත් සමාජයක ඒ අවශ්‍යතා ආරක්ෂා වී තිබිය යුතුය.  එහෙත් මනුෂ්‍ය ප්‍රීතියෙහි එක් උත්තර අවස්ථාවක් ඇති වන්නේ චින්තනමය හෝ බුද්ධිමය ප්‍රීතිය නිසාය. එය ඇති කෙරෙන එක් විධියක් කලා රසාස්වාදය නිසා ඇති වන ආනන්දයයි. නොයෙක් ස්වරූපයේ සුන්දරත්වය නිසා ඇති වන ආනන්දය අප විසින් ආරක්ෂා කරගනු ලැබිය යුතු ධනයකි. කලා විෂය ධාරා අධ්‍යාපනය නිසි ලෙස සිදුවන්නේ නම් ඒ වැදගත් ආනන්දය නිෂ්පාදනය කිරීමටත්, ඒ ආනන්දය අගය කිරීමටත්, ඒ ආනන්දය නිසා මනුෂ්‍ය ජීවිතය පොහොසත් වන ආකාරය අවබෝධ කරගන්නටත් සමාජයට අවකාශ ලැබේ. මනුෂ්‍යයන් වන අපට වැදගත් වේ යැයි සලකන දේ කලින් කල පරීක්ෂා කර බැලීම අවශ්‍ය වේ. නැතිනම් ‘වටිනා දෙයකි’යි අප මත පටවන ලද අදහසක සිරකාරයන් වීමට අපට සිදු වේ.

● කලා විෂය ධාරාවල ප්‍රජාමය වැදගත්කම ඇති වන තවත් විධියක් මෙසේය: ඒ විෂය නිසා ප්‍රජාතන්ත්‍රවාදයෙහි නිරෝගීභාවය වර්ධනය වේ. මානව ශාස්ත්‍ර විෂයයන් හොඳින් ඉගැන්වෙන විට ගැඹුරු චින්තනයෙහි, විවාදයෙහි හා විචාරාත්මක චින්තනයෙහි ශක්‍යතා වර්ධනය වේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙහි වර්ධනයට විවාදශීලිත්වය අවශ්‍ය වේ. අධිපති අදහස්වලට හෝ පාලකයාගේ අදහස්වලට සුවච කීකරුව යටත්වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. තමන් ජීවත් වන සමාජයෙහි පවත්නා අධිපති අදහස් විචාරාත්මක පරීක්ෂාවට ලක් කිරීම සඳහා යම් යම් සුවිශේෂ කුසලතා අවශ්‍ය වේ. විශිෂ්ට ලෙස උගන්වන ලද මානව ශාස්ත්‍ර විෂයයන් නිසා ඒ කුසලතා වර්ධනය වේ. කලා විෂය ධාරා ඒ කුසලතා වර්ධනය කරගත් පුරවැසියන් බිහි කළ විට ඒ පුරවැසියෝ විවාදශීලී ලෙස මහජන සංවාදයට මැදිහත් වෙති. ඒ වූකලි අතීතයේ සිට කලා විෂය ධාරාවලින් කෙරුණු අපේක්ෂාවකි. අවසනාවකට අප රටදී සිදු වී ඇත්තේ එවන් විචාරාත්මක ශක්‍යතා පොහොණි නොකර විභාග ලියා සහතික දිනාගැනීම සඳහා සිසුන්ට ඉගැන්වීමය. මීට හේතුව තරගකාරී විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය මිස ඒ ඒ විෂයවල නෛසර්ගික දුර්වලතාවක් නොවේ. ඉතා දීර්ඝ කාලයක් මේ විෂයයන් විභාග සඳහා ඉගෙනීම නිසා සිසුන්ට පමණක් නොව ගුරුවරුන්ටද ඒවාගේ ‘ප්‍රජාමය පුරවැසි කාර්යභාරය’ අමතක වී තිබේ.


● කලා විෂය ධාරාවල වටිනාකම් පිළිබඳ අප මෙතෙක් කළ පැහැදිලි කිරීම්වලට එක්තරා ශක්තිමත් පදනමක් අවශ්‍ය වේ. මහාචාර්ය හෙලන් ස්මෝල් ඒ පදනම මෙසේ විස්තර කරයි: ඉහත කී සියලු වටිනාකම් ඇති වන්නට නම් කලා විෂයධාරාවල නෛසර්ගික වටිනාකම ගැන අවබෝධයක් සමාජයක තිබිය යුතුය. ඒ මෙසේය: කලා විෂයයන් යටතේ අප උගන්නා සාහිත්‍ය කලා ආදිය නිදර්ශනයක් සේ ගනිමු. සාහිත්‍ය කලාවල ඉහත කී බොහෝ ප්‍රජාමය වටිනාකම් අඩංගු වේ; සාහිත්‍ය කලා අධ්‍යාපනය ඇසුරින් ඉහත කී ප්‍රජාමය වටිනාකම් වර්ධනය කළ හැකිය. එහෙත් එය කළ හැක්කේ සාහිත්‍ය කලාවල ප්‍රයෝජ්‍ය වටිනාකමට පෙර නෛසර්ගික වටිනාකමක් ඇතැයි පිළිගැනෙන සමාජයකය. එනම් කවිය යනු එයින් කිසිම මහජන ප්‍රයෝජනයක් ලැබෙන්නට පෙරම ධනයක් යැයි සැලකෙන සමාජයකය. හුදෙක් සාහිත්‍ය කලා ආදිය පමණක් නොව සංස්කෘතික අඩවියෙහි කෙරෙන බොහෝ නිර්මාණ හා පහළ වන සංකල්පවල ඒවාටම ආවේණික අගයයක් ඇතැයි යන අදහස නොසලකා හළ යුතු නැත. 

  මිහිරි සංගීතයෙහි ඇති ප්‍රයෝජනය ඒ සංගීතමය මිහිරමය; ඒ මිහිරම වටිනා ධනයකි. සාහිත්‍ය කලා ආදිය ඇසුරින් ඒවාගේ නෛසර්ගික අගය පිළිබඳ කතිකාව පොහොසත්ව පවත්වා ගැනීමද ප්‍රජාවකට වැදගත් වේ. ඒ නිසා හුදෙක් ප්‍රායෝගික ප්‍රයෝජන පිණිස පමණක් දේවල් අගය නොකළ යුතුය යන අදහස සජීවීව පවත්වා ගැනීමට අපට ඉඩ ලැබේ. මනුෂ්‍ය ලෝකයෙහි පවත්නා සෑම දෙයක්ම ඒවාගේ ‘ප්‍රායෝගික ප්‍රයෝජන’ ඇසුරින් පමණක් මැන බැලීමට තැත් කිරීම ඉතා දුප්පත් ක්‍රියාවකි; එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටද එරෙහි ක්‍රියාවකි. බැලූ බැල්මට ‘ප්‍රයෝජනයක්’ නැති දේවල් නිර්මාණය කිරීමද මනුෂ්‍ය ශිෂ්ටාචාරයෙහි කොටසකි. 

ඒකපුද්ගල විශිෂ්ටතාව හා ප්‍රජාමය වටිනාකම්

  මානව ශාස්ත්‍ර හෙවත් කලා විෂය ධාරාවට දර්ශනය, ඉතිහාසය, සාහිත්‍ය කලා, ලලිත කලා ආදී විෂය ගණනාවක් ඇතුළත් වේ. ඒවා නිසා පොදු මහජන ජීවිතය හෙවත් ප්‍රජාමය ජීවිතය වෙත අර්ථවත් වටිනාකම් එකතු වන බව ඉහත පැහැදිලි කෙරිණි. එහෙත් මෙහිදී මහාචාර්ය හෙලන් ස්මෝල් මතු කරන තවත් වැදගත් කරුණක් වෙත අපද අවධානය කළ යුතුය. ‘කලා විෂය ධාරා’ අර්ථවත් වන්නේ ඒවා නිසා ‘පොදු මනුෂ්‍ය ජීවිතය’ අර්ථවත් කෙරෙන නිසාම නොවේ; ඒවා නිසා සාමූහික ප්‍රජාවට වටිනාකම් එකතු වන නිසා පමණක් නොවේ. කලා විෂය ධාරාවලින් ඒකපුද්ගල මනුෂ්‍යයාට ලැබෙන හුදෙක් ප්‍රජාමය නොවන වටිනාකම් තිබේ. ඉන් වැදගත්ම කාරණය නම් පෞද්ගලික ආත්ම පූරණයයි.

   මේ කාරණය පැහැදිලි කරගැනීමට අප සාහිත්‍යය පමණක් වෙත මොහොතකට අවධානය යොමු කරමු. සාහිත්‍ය කලා නිසා එක්තරා ඒකපුද්ගල පරිපූර්ණත්වයක් හෙවත් ආත්ම ක්ෂාත්ෂාත්කරණයක් සිදුවේ යැයි සෞන්දර්ය දාර්ශනිකයෝ කියති. ඊට ඉඩ සැලසෙන්නේ සාහිත්‍යය නිසා ඇතිවන ආනන්ද-චමත්කාරයේ ප්‍රීතියත්, ඉන්පසු ජීවිතය හා මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ ගැඹුරු ආවර්ජනයට ඉඩසැලසීමත් නිසාය. මෙය සිදුවන්නේ ඒකපුද්ගල මට්ටමෙනි. බැලූබැල්මට මෙය සාහිත්‍ය කියවීමේ පුද්ගලවාදී වටිනාකමක් සේ පෙනුණද, එය සාර්ථකව සිදු වූ කල ඉන් ප්‍රජාමය බලපෑමක්ද ලැබේ. එහෙත් පුද්ගල පරිපූර්ණත්වය උදෙසා සාහිත්‍ය රසවින්දනය ඉගෙනීම යනු විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ළඟා විය හැකි ඉලක්කයක් නොවන්නට පුළුවන. ඉතා ගැඹුරු සාහිත්‍ය රසිකයන්ද ජීවිත පරිපූර්ණත්වය පිණිස සාහිත්‍යය ඇසුරු කරන අයද අපට බොහෝ විට හමුවන්නේ සාහිත්‍ය කලා පිළිබඳ නිල ශාස්ත්‍රාලයෙන් පිටදීය. අප රට ශාස්ත්‍රාලය තුළ සාහිත්‍ය ඉගැන්වීම විභාග සඳහා කෙරෙන යාන්ත්‍රික කාර්යයක් වී තිබෙන නිසා ආත්ම ක්ෂාත්ෂාත්කරණය උදෙසා සාහිත්‍ය කලා රසවින්දනය බොහෝ විට මග හැරී යයි. හොඳ සාහිත්‍ය රසිකත්වය නිසා ඇති වන ඒකපුද්ගල මනුෂ්‍ය පරිපූර්ණත්වය වෙළෙඳපොළෙහි වටිනාකමක් ලැබෙන ‘ආර්ථික යහපතක්’ නොවේ. එය ‘මනුෂ්‍යමය යහපතකි.’ ඒ මනුෂ්‍යමය යහපත ජීවිත කාලයක් පුරා පුද්ගලයෙකු තුළ වටිනාකමක් සේ එක් රැස් වන විට ඔහුගේ හෝ ඇයගේ චරිතය ගැඹුරින්, චින්තන හා පරිකල්පන ශක්තියෙන් වැඩී සුඛනම්‍ය බවට පත් වේ. ඔහු හෝ ඇය හුදෙක් ප්‍රායෝගික වෙළෙඳපොළ තර්කනය ඉක්මවා මනුෂ්‍ය යහපත පිළිබඳ ආචාරධාර්මික වටිනාකම් ආරක්ෂා කරන්නෙකු බවට පත් වේ. ඉතා සෙමින් වුවත් මෙය සිදු වීම ආර්ථිකයට සෘජු දායකත්වයක් නැතත් එය අගනා වටිනාකමකි. 

   හොඳ කලාකෘතියක් රස වින්දනය පිණිස සැහැල්ලු නිදහස් සුවයකින් වාඩි විය හැකි ජීවිතයක් යනු ඉතා පොහොසත් ජීවිතයකියි දැකීම සඳහා අර්ථවත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු අදහසක් සමාජයක පැවතිය යුතුය. කලා අධ්‍යාපනයෙහි එක් කාර්යයක් විය යුත්තේ ඒ ගැඹුරු අදහස ආරක්ෂා කර පවත්වා ගැනීමය. එවන් අධ්‍යාපනයක් උදෙසා කොපමණ ආයෝජනයක් කළ යුතුද, සමාජයක කොපමණ දෙනෙකුට එවැනි අධ්‍යාපනයක් අවශ්‍යය යන්න ගැන නොයෙක් විවාද පවතී. සියලු පුරවැසියන් අඩුවැඩි වශයෙන් එවැනි අධ්‍යාපනයක් වෙත ප්‍රවේශ විය යුතු යැයි සිතන සමාජ ඇත. එවැනි සමාජවල උසස් අධ්‍යාපනයේදී විද්‍යා විෂය ධාරාවල අය පවා කලා විෂය ධාරා වෙත යම් තරමකට හෝ අනාවරණය කෙරෙති. තවත් සමාජවල ඉතා සුපරික්ෂාවෙන් තෝරාගත් පිරිසකට එවන් විෂය ධාරා පිළිබඳ ගැඹුරු අධ්‍යාපනයක් ලබා දෙනු ලැබේ. අප රටදී වඩාත් සුදුසු වන්නේ ඒ ප්‍රවේශය විය හැකිය. එනම්, කලා විෂය ධාරාවලට සැබැවින්ම සුදුසු, ඒවා ඉගෙනීමට කුසලතා ඇති පිරිසක් විශේෂයෙන් තෝරා ඔවුන්ට ඒ විෂයවල උපරිම ගැඹුරට යන්නට අවශ්‍ය පහසුකම් සැපයීමය. එය සිදුවන්නේ එය නොවේ. අන් කිසිම විෂයධාරාවක් ඉගෙනීමට අවස්ථාව නැති දහස් ගණනක් සිසුන් පිරිසක් දේශන ශාලාවල වාඩි කරවා විභාගයකට ලිවීමට සාහිත්‍ය කලා ඉගැන්වීම උසස් පෙළදී පමණක් නොව විශ්වවිද්‍යාලයේදීද සිදු වේ. එවැනි අධ්‍යාපනයකින් ඉහත විස්තර කෙරුණු ඉලක්ක සපුරාගත හැකි වන්නේ ඉතා කලාතුරකිනි.

(2024 ඔක්තෝබර් 6 වැනි ඉරිදා අරුණ පුවත්පතේ පළ වූ ලිපියකි)

No comments:

Post a Comment