Saturday, October 21, 2023

අගනා කවි සමූහයක් අපට ඉතිරි කළ විපුලි හෙට්ටිආරච්චි - ලියනගේ අමරකීර්ති (Amarakeerthi)

 


  සිංහල බසින් ලියවුණු මගේ ප්‍රියතම කවි ගොන්න අතර එකක මෙවැනි සිද්ධියක් එයි: මේ 2009 වර්ෂයට කලිනි: කොළඹ ආශ්‍රිත මධ්‍යම පාන්තික නිවාසවලටද රාත්‍රියට කඩා පනින හමුදා කණ්ඩායම් ඒ නිවාස සෝදිසි කරති. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ අය සොයන අදහසිනි. එක් නිවසකට රාත්‍රියේ එවැනි පිරිසක් එයි. ඒ ගෙදර සිටින්නේ මහලු මවක හා තරුණ විය ඉක්මවමින් සිටි දියණියක පමණි. ඒ දෙදෙනා සිටින්නේ නින්දේය. එවැනි අවස්ථාවක fදාරට තට්ටුව වදින විට ස්ත්‍රියකට වහා fදාර වෙත යා නොහැකිය. නිදන ඇඳුමට උඩින් හවුස් කෝට් ආදිය දමාගෙන පිරිමි ඇස ඉදිරියේ පෙනී සිටීම උචිත ලෙස සැරසිය යුතුය. එවිට තරමක් පමා වෙයි. ඒ පමාව යනු පැමිණ සිටින ආරක්ෂකයන්ගේ කෝපය ඇවිස්සෙන්නකි. මේ වූකලි පහසු යුගයක් නොවේ. මහ දවල් මාධ්‍යවේදීන්ට පවා වෙඩි තබා මරා දැමුණු යුගයකි. අපි කවියේ මැදට යමු:

පැමිණ ඇත ඔවුහු 

නියම කළ රාජකාරියකට

“කෝ නැද්ද කවුරුවත්...?”

   දෑස නිදි ගැට කඩා

    වචන ගළපන අම්මාගේ

    හිස කඳ මුහුණ

    සිටි තැනම ගල්වනු නොදී

    දැල්වීමී විදුලි පහන් 

    කාමරයෙන් කාමරයට

පිටස්තරයින් නේවාසිකයින් තබා

රැකවලට බල්ලෙක් වත් නැති ගෙදර

සෝදිසි කරති ඔවුහු 

ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස

“කෝ මේ ගෙදර පිරිමි?”

කුරා කූඹියෙකුටවත් වරදක් නොකළ

අපේ සිත් පවා ඉව කර

බලති වටපිට සැකෙන්

“මේ දෙන්නා විතරමද?”


මහත්තයා දැන් එතැයි

පොඩි පුතා වැඩට ගොස් ඇතැයි

වෙනදාට බොරු ගොතන

අම්මාගෙ තන් වැසි නුවණින්ද 

වැඩක් නැත


නිල කබා තරු හැඳ

ගිනි අවිද අතින් ගත්

පිරිමි රොත්තක් ඉදිරියේ

කෑ ගසා කියමි මම

“ඔව්... වෙන කවුද?

අපි තමයි මේ ගෙදර

ඉතිරි වූ පිරිමි...”

   මෙය ඒ දුෂ්කර යුගය ගැන පමණක් නොව බෙහෙවින් මිලිටරීකරණය වූ සමාජයක් ගැන ඉතා ප්‍රබල කවියකි. විවිධාකාරයේ දේශපාලන හිංසන නිසාම දැන් මේ ගෙදර පිරිමි ඉතිරි වී නොසිටිති. ඒ ඇතැම් පිරිමි රාජ්‍ය ත්‍රස්තවාදයටද නොයෙක් දේශපාලන කණ්ඩායම්වල ත්‍රස්තවාදයටද ගොදුරු වී අකාලයේ මියගොස්ය.  දැන් ඉතිරි වී ඇත්තේ ස්ත්‍රීන් පමණි. ඒ මව සහ දියණිය මුලින්ම දකින හමුදා නිලධාරියා අසන්නේ ‘කෝ කවුරුවත් නැද්ද?’ කියාය. ‘පිරිමි’ සතුරෙකු සොයන ඔවුන්ට ස්ත්‍රිය නොපෙනී යයි. එසේ නොපෙනී ගිය ස්ත්‍රියගේ පැවැත්ම රාජ්‍යයේ ඒජන්තයා වන හමුදා නිලධාරියාට මතක් කර දීමට මේ දියණියගේ ප්‍රශ්නය හේතු වේ. එසේම පෙනෙන්නට තරම් වැදගත්කමක් නැති මනුෂ්‍යයෙකු බවට පත් කරනු ලැබ ඇති ස්ත්‍රිය පෙනෙන්නට සලස්වන කවියක් සේ මෙය ඉතා වටියි. අනේකාකාර හිංසන නිසා පිරිමින් අහිමි වූ දේශයක් ගැන ශෝකී සිතිවිලිද මේ කවිය නිසා ඇති වේ.

   මේ කවිය එන්නේ 2009 වර්ෂයේ පළ වූ සැන්දැග නම් කාව්‍ය සංග්‍රහයේය. මේ කවිය මවිසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබ මහාචාර්ය රජීව විජේසිහ මහතාගේ සංස්කරණයෙන් ඉන්දියාවේ පළ වූ Mirrored Images  කෘතියෙහිද ඇතුළත් විය. 

   ‘ගැහැනු අපි’ නම් මේ කවිය ලියූ විපුලී නිරෝෂණී හෙට්ටිආරච්චි පසුගිය සතියේ මියගියාය. ඒ නිර්මාණය ඇගේ චරිතාපදානයට බෙහෙවින් සමීප කවියකි. පනස් පස්වෙනි වියේදී විපුලී මිය යන විට සිය මව සමග තනිව ජීවත් වූවාය. 2009 පෙර යුගයේ විටින් විට හමුදා කණ්ඩායම් තම නිවස පැවති ප්‍රදේශයේ නිවෙස්වලට ඒ කවියෙහි කියැවෙන ආකාරයෙන්ම පැමිණි බව ඇය මට කියා තිබිණි. ඊටත් වඩා අනුවේදනීය ආකාරයෙන් මේ කවියෙහි කියැවෙන ජීවිතය විපුලීගේ ජීවිතය හා සම්බන්ධය. ඒ මෙසේය:

  සිය මව සමග ඇය ජීවත් වූ මාකොළ පිහිටි නිවසට දවසක මහරෑ නාඳුනන පිරිසක් ඇතුළු විය. ‘කුඩුකාරයන්’ යැයි සාමාන්‍ය ව්‍යවහාරයෙන් හැඳින්වෙන ඔවුහු නිවසෙන් යම් යම් දේ සොරාගත්හ. ඒ නිවසේ වසන්නේ කාන්තාවන් දෙදෙනකු පමණක් බව ඒ සොරුන් දැන සිටින්නට ඇත.

  ඒ සිද්ධියෙන් පසු විපුලීට හිතසැනසිල්ලේ නිදාගන්නට ලැබුණේ නැත. නැවතත් සොරුන් කඩාවදිතියි තිගැස්මක් තිබිණි. තරමක හෘදරෝගිනියකද වූ ඇයට ඒ නිදිවැරිල්ල විශේෂයෙන් හානිකර විය. තම නිවසට හොරුන් එතියි බියෙන් නිදිවර්ජිතව සිටීම කවරක මනුෂ්‍යයෙකුගේ වුවද ජීවිතයද හොඳ දෙයක් නොවේ. ඇගේ හෘදයාබාධ තත්ත්වය උත්සන්නවීමට ඒ නිදිවැරිල්ල බෙහෙවින් හේතු වූ බව කියවේ. ඒ වන විට පළ කොට තිබුණු කාව්‍ය සංග්‍රහ හතරෙන් බොහෝ දේ පොරොන්දු වූ හෙට්ටිආරච්චි කිවිඳිය අකාලයේ මිය ගියාය. 

   අප මුලින් කියවූ ‘ගැහැනු අපි’ කවියෙහි කියැවෙන ආකාරයෙන් තරුපටි පැළඳි අය සහ ඔවුන්ට නායකත්වය දුන් ආණ්ඩව විසින් බේරාගන්නා ලද ලංකාවේ බොහෝ නාගරික ප්‍රදේශවල නිවෙස් අද අනාරක්ෂිතය. දේශපාලන සහායද ඇතිව ජයට පැවැත්වෙන මත්ද්‍රව්‍ය වෙළඳාම නිසා බිහිවී ඇති ලුම්පන් පන්නයේ මත්ලෝලීන් විසින් අප බොහෝ දෙනෙකුට සැපනින්ද හා සැනසිල්ල අහිමි කරනු ලැබ තිබේ. පිරිමින් නොමැති නිවෙස්වල ගැහැනුන් විශේෂයෙන් ආනාරක්ෂිත වන අවස්ථා තිබේ. විපුලීගේ කවියෙන් පමණක් නොව ඇගේ චරිතාපදානයෙන්ද එය පෙනේ. 

                                              අකල් මරණය

   විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳියගේ අනපේක්ෂිත මරණය පසුගිය සතියේ කලා ලෝකය ශෝකයට පත් කළ සිද්ධියක් විය. එයට හේතුව ඇයගේ අකාලයේ මිය යෑමම නොවේ. ඇය ඒ වන විටත් ඉහළ මට්ටමේ කිවිඳියක වීමත්, අපගේ සාහිත්‍ය කලා කතිකාව පෝෂණය කරන්නට නොමසුරු දායකත්වය ලබා දීමත්ය. ඇය තරමක් සෙමින් ලියූ කිවිඳියකි. එහෙත් සහෝදර කවිකිවිඳියන් හා ලේඛක ලේඛිකාවන්ගේ පොතපත ගැන සංවාදයක් ගොඩනගන්නට ඇය නිරන්තරයෙන් කැප වූවාය. ඇගේ මරණයත් සමග සමාජ මාධ්‍යවල සංසරණය වූ ඡායාරූපවලින් පෙනුණේ සාහිත්‍ය කලා ආශ්‍රිත විවිධ සංවාද හා උත්සව අවස්ථාවලට ඇය සහභාගි වී ඇති බවයි. ඇය කිවිඳියකට අමතරව දක්ෂ ළමා සාහිත්‍යකාරියකද වූවාය. ඇගේ එක් ළමා සාහිත්‍ය කෘතියක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයද දිනා ගත්තේය. 

  මෙම රචනය ඇගේ කවිය ගැනය. ඇය පළ කළ කාව්‍ය සංග්‍රහ හතර තුළ ඇගේ ප්‍රතිභාව පිළිබඳ අපමණ සාක්ෂි තිබේ. කවියෙහි භාෂාව, ආකෘතිය ආදිය පිළිබඳ තරමක සෞන්දර්යවාදී ප්‍රවේශයකින් ආරම්භ කළ ඇයගේ කවිය කවියට ආවේණික සෞන්දර්ය අංග රැකගෙනම තියුණු සමාජ විචාරක කවියක් බවට පසු කලෙක මෝරා ගියේය. මිය යන්නට මාස දෙකකට පමණ පෙර මට මුණ ගැසුණු ඇය කීවේ තවත් කාව්‍ය සංග්‍රහයකට සූදානම් වෙමින් සිටින බවය.

  විපුලී හෙට්ටිආරච්චි ප්‍රතිභාසම්පන්න කිවිඳියක වූයේ පමණක් නොව හොඳින් හදාරන්නිකයද වූවාය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධිය දිනූ ඇය ඉන්පසුද සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල යෙදුණාය. ඉංග්‍රීසි බසද හොඳින් දැන සිට ඇයට තම විෂය ක්ෂේත්‍රය තුළ හැදෑරීම් කරන්නට අවශ්‍ය පසුබිමි හොඳින් තිබිණි. ජීවිතයේ පස්වෙනි දශයක හරි මැද දී ජීවිතයෙන් සමුගැනීමට ඇයට සිදුවීම සාහිත්‍ය ලෝකයේ අපට සිදුවුණු මහත්ම අලාභයකි. අද අග්‍රගණ්‍ය කවියෙකු වන ආරියවංශ රණවීර සිය පළමු කවිපොත පළ කළේ මැදිවියට ආසන්න වී සිටියදීය. ඉන් දශකයක් ඇතුළත ඔහු ප්‍රධාන පෙළේ කවීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකු බවට පත් විය. විපුලීටද ඒ විභවතාව තිබිණි. ඇගේ නොපළ කවි සංග්‍රහයක් ලෙස මතුදා පළ වන විට අපට අහිමි වූයේ කවර නම් කිවිඳියකදැයි හොඳින්ම දැනගන්නට ලැබෙනු ඇත. ඇගේ මරණය පිළිබඳ දරුණුම ශෝකය මට නම් දැනෙනු ඇත්තේ එදාටය.

  ඇය ජීවත්ව සිටියදී පළ කළ නික්මනට නිමිත්තක්, සකුන්තලාගෙන් චූල කාව්‍යයක්, සැන්දැග, සහ ‘රූ’ යන කාව්‍ය සංග්‍රහ තුළ අමරණීය කවි කිහිපයක් ඇය අප වෙත තබා ගියාය. අපගේ යුගයෙහි සැබෑ තතු ඉතා සියුම් ලෙස ග්‍රහණය කරගන්නා කවි ඒ අතර වේ. අප කලින් දුටු ‘ගැහැනු අපි’ කවියද එවැන්නකි.

  ඇගේ කවි ගණනාවකම සමාජයේ සම්මත සදාචාර රාමු සහ යහපත්භාවය පිළිබඳ සම්මත නිර්ණායකවලින් එළියට විසි කරන ලද ස්ත්‍රීන්ගේ ජීවිතය ගැන කියවේ. සැන්දැග කාව්‍ය සංග්‍රහයෙහි එන ‘පිස්සී’ නම් කවිය එහිලා නිදසුනකි. එහිදී අපට පිස්සියක හමුවේ. ‘තොරණ හන්දියෙන්’ බස්වලට නගින බසින ඒ ‘පිස්සිය’ බසයේ සිටින හෝ බස් නැවතුමේ සිටින තරුණියක වෙත ළංව ‘මෙයා තමයි මගෙ මහත්තයව රවට්ට ගත්තෙ’යි කියයි. විටෙක බසයේ හිඳ සිටින තරුණියක දක්වා බස් කොන්fදාස්තරට මෙසේ කියයි: ‘ඔයා නම් මල්ලි රැවටෙන්න එපා මෙයාට.’ මේ පිස්සියට අවුරුදු හතළිහක් පමණ ඇත. ‘මුං මගේ දරුවත් හැංගුවා’ යැයිද ඇය විටෙක කියයි. මේ ගැහැනිය කාගේ කවුදැයි කවියෙහි කථිකාවිය දන්නේ නැත. කවුරුත් ඇය පිස්සියක යැයි සිතති. කවිය අවසන් කරන දෙපය මෙසේය:

“සිහි ඇත්තෝය අපි කවුරුත්

’පිස්සි ඇය.”

   විවාහවීම, දරුවන් හැදීම,  උදේ වැඩට යෑම, හවස ගෙදර ඒම වැනි සම්මත දිනචරියාව ගත කරන ‘අප’ ඇයට ‘පිස්සී’ කියන්නේ ඇයි? ඇය පිස්සිය වන්නේ අප දෛනිකව කරන අර කටයුතු වැරදී යෑම නිසා නොවේද? උමතුභාවය යනු සැබැවින්ම කුමක්ද? උමතු යැයි හැඳින්වෙන ගැහැනුන් ගැන කවි කීපයක්ම ලියන විපුලී ‘පිස්සුව’ යනු හුදෙක් කෙනෙකුගේ අභ්‍යන්තරික රෝගී භාවයක් පමණක්ද නොඑසේ නම් යම් යම් සම්මත සමාජමය රාමුවලට කීකරු නොවීම හෝ ඒ රාමු බිඳවැටීම නිසා ඇති වන තත්ත්වයක්ද යන ප්‍රශ්නය මතු කරයි. මේ වූකලී බෙහෙවින් බුද්ධිමත් කිවිඳියකට පමණක් නැගිය හැකි පැණයකි.

  අපි තවත් කවියක් කියවමු:

නි-ගරු

(නිමිත්ත- බුදුරුවක් අතේ කෙටූ විදේශික තරුණිය රටෙන් පිටමං කෙරෙයි)

සුදුම සුදු ලියේ යෙහෙළිය ඔබේ  හදේ

කෙටූරුව අතේ දුටුවෙහි   හැඳින්නෙමී

හදේ මුනි බඳේ මුනි ගුණ ගලා    ගියේ

සඳේ සඳ දියේ සඳ දිය වුණා වගේ


සැඳෑ සිල් සුවඳෙ දැහැනේ වැදී  බැඳී

නොගෑ සඳුන් කොකුමගරා සුවඳ රැඳී

සැබෑ සම් නහර ඇඟ මස පුරා ඇඳී

බඳේ මුනි බඳේ රැස් නොදුටුවෙද අපි?


පියුම් පුන් පියුම් පිපිලා එමත    වැඩී

උතුම් මුනි නෙතේ එළියෙන් එළිය දිදී

ත්‍නාහිම් දහම් සයුරේ කිමිසෙන්න නොදී

දහම් දේශයෙන් නුඹ පැන්නුවා අපී

   මේ කවිය කරුණු කීපයක් නිසා වැදගත්ය. විපුලී හෙට්ටිආරච්චි යනු සම්භාව්‍ය සිංහල කවි බස හොඳින් මෙල්ල කරගත් කිවිඳියකි. ඒ ඒ විෂයයට ගැළපෙන ලෙසින් සිංහල භාෂාවෙහි විවිධ ප්‍රස්ථර කවිය උදෙසා භාවිත කිරීමේ හැකියාව ඇයට තිබිණි. ඒ භාෂා ශක්‍යතාවේ උපරිම ඵල දකින්නට රසිකයාට ඉඩ නොතබා ඇය මිය යෑම විශේෂයෙන්ම ඛේදජනයකය. මේ කෙටි කවියේදී ඇය බුදුන් වෙත ආදරයෙන් යුතුව බුදුරුව අතෙහි පච්චා කොටාගත් බි්‍රතාන්‍ය ජාතික තරුණියට ලංකාවේදී අත් වූ ඉරණම ගැන ලියන්නට සම්භාව්‍ය කවිබස කැඳවන්නේ සිත්ගන්නා ලෙසය. මේ තරුණියගේ දෘෂ්ටියට අනුව බුදුන්ගේ රුව යනුම මුනිගුණ ප්‍රකාශයට පත් කරන රූපාකාරයකි. ඒ නිසා ඒ රුව යනු ඇගේම හදේ ඇති මෙත් සිතත් බුදුගුණ අත්පත් කර ගැනීමේ අපේක්ෂාවත් සංකේතවත් කරයි. මේ කරුණ කියන්නට කිවිඳිය ගොතන මනරම් කවි පදය නැවත බලන්න:

“සඳේ සඳ දියේ සඳ දිය වුණා වගේ”

 එහෙත් අප රට අන්තවාදී බෞද්ධයන් දන්නේ බෞද්ධවීමේ එක් ආකාරයක් පමණි. බි්‍රතාන්‍යය වැනි බටහිර රටක පමණක් නොව ආසියානු රටවල පවා බෞද්ධවීමේ විවිධ රූපාකාර පවතී. බුදුරුව පච්චා කොටා ගැනීම යනු බෞද්ධත්වයට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ බටහිර විධියක් නොවේ. ඇතැම් ආසියානු රටවලද බුදුරුව පච්චා කොටා ගැනීම සිදුවේ. එය බුදු බැතිය දක්වන එක් විධියකි. මේ කිසිවක් නොදන්නා මෙරට අන්තවාදීන්ද ඒ අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු නීතිය පසිඳලන ආයතනද ඇයට සැලකූයේ බෙහෙවින්ද අබෞද්ධ ආකාරයකටය. මෙවන් අන්තවාදීන්ම ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහි සටනේද පෙරමුණේම සිටීම මෙරට නිතර දැකිය හැකි උත්ප්‍රාසයකි.

  විපුලීගේ කවි මින් පෙර කියවූ දවස්වල මගේ සිත එතරම් ඇද නොගත් කවියක් අද මගේ හදපාරයි. ඒ මෙසේය:

සිත් ගත් පොත්

සැත්කමට නියම වූ

හදවතින්

දැනුත් මේ

උහුලනා

පොත් කන්ද

දමා යන්නේ කෝම

මේ දැන්ම...?

පොතින් පොත

දලු දාන

සිත් ලන්ද

  විපුලී යනු ඉතා හොඳ සාහිත්‍ය රසිකාවියකි. ඇයට ඉතා පොහොසත් පෞද්ගලික පුස්තකාලයක්ද තිබිණි. 2015 දී පළ වූ රූ පොතෙහි එන මේ කවිය හෘද සැත්කකම නියම වූ ඇගේම ජීවිතය ගැන කවියක් විය හැකිය. සිය මව දමායෑම හැරුණු විට ආදරයෙන් එක් රැස් කළ පොත්ද දමා යන්නට සිදුවීම වේදනාවකි. ඒ වූකලි පොතපතට ආදරය කරන අප කාටත් ඇති වන වේදනාවකි. ඒ සෑම පොතක් නිසාම සිත නමැති භූමියේ අදහස් දළුදායි. දැනටත් සිත් භූමියෙහි පවත්නා ශාඛවලට පොත් නිසා පොහොර ලැබේ. සිත් ලන්දෙහි පවත්නා වල්පැල ගලවා දමන්නට ඇතැම් පොත් උදව් වේ. මරණය යනු අපගේම සාරවත් සිත් ලන්දද හැරදමා යෑමකි. මේ හැරදමා යෑම ගැන සැක සංකා සහිත ජීවිතයක් ගෙවූ විපුලි ඇගේම සාරවත් සිත් ලන්දද හැරදමා ගියාය. ඒ සිතත් රැගෙන යා හැකි මරණයක් නැත. තව බොහෝ කවි ඉපිද මල් පැල දරන්නට ඉඩ තිබුණු ඒ සිත් ලන්ද තව දුරටත් වවන්නට ඇයටත් අපටත් දැන් හැකියාවක් නැත. එහෙත් රසික අපේ සිත් නමැති භූමි ප්‍රදේශය හරිතවත් කරමින් නව දළු නංවන කවි මාලාවක් ඇය අපට උරුම කර ගියාය. නවකවි සලකුණ (2018) පොතෙහිදී ඇගේ කවි ඇය ජීවත්ව සිටියදීම අගය කරන්නට ලැබීම දරුණු ශෝකයක් වෙතින් මා තරමක් නිදහස් කරයි.

(Aruna 22/10/23)

   


2 comments: