මේ සටහනේදී මම කවිපොත් දෙකක් ගැන කෙටියෙන් කතා කරමි. ඒ ඒවා කියවූ අනුපිළිවෙළිනි. ඒ පොත් ගැනම දීර්ඝ වශයෙන් අන් තැනක කතා කරන නිසා මේ සටහන කෙටිය.
පද්මිණී ශ්‍රියාලතාගේ කවියෙහි ‘එය අළුපැහැති කවුළුවකි’ කාව්‍ය සංග්‍රහය මා මාස කීපයක් පුරා වරින්වර කියවීමි. ඇගේ වර්ධනය පුදුමාකාර සතුටක් ඇති කරයි.
කවිය ආශ්රිත පොඩි පහේ ඝෝෂාකාරිත්වයක් පවතියි. ඇතැම් තරුණ අය තම තම කවිපොත්ද අතින් ගෙන ඡායාරූපවලට පෙනී සිටින දර්ශනද නිතර දැකිය හැකිය. ශ්‍රියාලතා ඒ ඝෝෂාකාරිත්වයට ඈතින් සිටිමින් වැඩ කරන කවිකාරියකි. ඇය ලියන්නේද කෑගසමින් වේගයෙන් දුවන කවියක් නොවේ. සන්සුන්ව නැවතී සිතන්නියකගේ කවියක් ඇයගේ පොතෙන් අපට පෙනේ. ඇයට හසුවන ඇතැම් මාතෘකාද බොහෝ බරය.
‘රහස’ නමින් අපූරු කවියක් එයි. එහිදී කවියෙහි කථිකාවිය හෝ කිවිඳිය විශාල පරණ ගසක කඳට කන තබා විමසා බලන්නී සියවස් කල් නොනැසී යෙහෙන් ඉන්නා රහස දැන ගැනීමටය. එවැනි රහසක් දැන ගැනීමට උනන්දු වීමෙන් පෙනෙන්නේම අමුතු කාව්‍ය විඥානයකි. ඇයට රහසේ අංශ කීපයක් පෙනේ. මේ ඉන් එකකි:
නිල් අහස පිරිමදින
හිරු කිරණ වෙත ඇරණු
තුරුපත් නිපදවන අහර
මිහිමඬල විනිවිදින
අක්මුල් උරාගත් ජලය
නැතිව කිසි ගැටුමක්
ඉහළ පහළ යන හඬ
ඇසෙයි සියුමුව
ඉන් පසු ඇය ගසෙන් ඈත් වී නිරීක්ෂණය කරයි:
“පිටපොත්ත මත
විසිර පැතිරුණු
පාසි පෙඳ පැල්ලම් අපමණි
හෙළ පහළ යන එන
කුරු කුහුඹුවන් අපමණි
මේ දැන් පුපුර පුපුරා
බිජුවලින් එළි බට
දඟලන දළමු අහිනකි
එසැණ වැටහිනි මට
කාලයේ කැට මුගුරු ඉවසා
මේ විසල් තුර
සියක් වස් ඉක්මවූ රහස”
ඒ කවි කඩ කවියේ අර්ථය හුදු ගසක් වෙතින් ඉවතට රැගෙන යයි. එවන් විසල් ගස් තවත් කුඩා කුඩා ජීව පද්ධතිවල පැවැත්මට විශ්වයක් වැනි විශාල අවකාශයක් සපයන බව ඇත්තය. ඒ ලොකු කුඩා ජීවීන් ඒ පද්ධතිය තුළ සියුම් අන්තර් සම්බන්ධතාවක යෙදී පැවැත්ම සාදා ගන්නා බවද ඇත්තය. එවන් මහා ගස් වැනි මනුෂ්‍යයෝද වෙති. රවීන්ද්‍රනාත් තාගෝර්, අමර්තයා සෙන්, එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, දයාසේන ගුණසිංහ වැනි අය මට මගේ ජීවිතය ඇසුරින් සිහි වේ.
“කිනම් මිනිසෙක්ද මොහු” යන කවියෙහිදි මෙවැනි නිරීක්ෂණාක්ෂියක් හමුවේ. එහි එන මිනිසා විශාල කඳු මුදුනකි නැගී දිනුවෙමියි කෑ ගසයි. ඒ දකින සූර්යයාට සිනා පහළ වෙයි. හාත්පස බොහෝ දෙනා දුක් පීඩා විඳින අතර ‘තමා දිනුවෙමියි’ කෑ ගසන මිනිසා මොන මිනිසෙකුදැයි සූර්යයා අසයි.
නොයෙක් ක්ෂේත්රවල ඇතැම් අය තමන්ගේ ජයග්‍රහණ ගැන උදම් අනනු දැකිය හැකිය. ධනාන්මක චින්තනකාරයෝ එවැන්නවුන්ට දිරි දෙති. අපේ අධ්‍යාපන ක්‍රමය බොහෝ විට මග කපන්නේ එවන් තනියම දිනන අයටය. වරක් මා කියවූ ස්වයං චරිතාපදානයක් මට සිහි වේ. දුප්පත් පවුලකින් හා ගමකින් පැමිණ ඉහළ පරිපාලන නිලධාරියෙකු අගමැති ලේකම්වරයෙකු වූ තමාගේ ජයග්‍රහණය ගැන උදම්වන මිනිසෙක් අපට එහි හමුවේ. ඔහු ඒ නිලධාරිකම් කළ රට උතුරේත් දකුණේත් තරුණ තරුණියන් දහස් ගණනක් මිය ගිය, ඝාතනය වූ රටක්ය යන්න ගැන ඔහුට වගේ වගක් නැත. ඔහු කඳු මුදුනට නැගගෙන සාර්ථක වී සිටියි !
ශ්‍රියාලතාගේ කාව්‍ය සංග්රහයෙහි එන “හිරු එළිය” යන කවිය ඉතා අපූරුය. එහි යටකී කවිවල එන වැනි ගැඹුරු නිරීක්ෂණ නැත. එහෙත් එහි එන්නේ මිහිරි කවිතාවකි.
කවිය ආරම්භ වන්නේ අප කාටත් පාහේ හුරුපුරුදු අපූරු දර්ශනයකිනි. වහලෙහි සිදුරු අතරින් එන හිරු රැස් ගෙබිමෙහි ඕවලාකාර හැඩ සාදා තිබේ. ඒ හිරු එළිය පුල්ලිය පතිත වන ස්ථාන විටින් විට වෙනස් වෙයි. හිරු ගමනෙහි යෙදී සිටින බැවිනි.
“හිස් කළය ගෙන
fදාරට බැස යමි
අඩිපාර ඔස්සේ
තේ පඳුරු අතරින්”
තේ පඳුරු මතද හිරු එළිය වැටී ඇත. ළිං දිය මතද හිරු එළිය පිළිබිඹු වේ. කිවිඳිය මෙසේ කියයි:
“තෙලිතුඩක් ගෙන කිසිවෙක්
උැන්ද සිතුවමකි මනරම්
ඵැහැදුල්ය දිය විනිවිද
වැතිර පැතිරෙන ළද`රු හිරු කැන්
පුරෝගමි හිස් කළය පා
දියට වැඩියෙන් හිරු එළිය
උද්දාමයෙන් පිය නගමි යළි
හිරු එළිය මා උකුළත
නටයි නැළවෙයි දැන්”
කළයට හිරු එළිය පුරවාගෙන් උද්දාමයෙන් උකුල නටවා ඇවිද එන ස්ත්‍රිය ගැන චිත්‍රය මනුෂ්‍ය පැවැත්ම ගැන ඇති කරන චිත්තරූප මාලාව ගැඹුරුය; එය මිනිසාද ඇතුළත් කරගත්තා වූ පරිසර දර්ශනයකි. පොත අවසන් කරමින් යෙදී ඇති නමක් නැති කෙටි කවියද ඉතා ගැඹුරු චිත්තරූප මවයි:
උදා හිරු එළියට
දුම් දමන පිදුරු කන්දක පාමුල
පහත් වී
පිදුරු හතු නෙළයි අම්මා
පද්මිණී ශ්‍රියාලතාගේ කවියෙහි ආනන්දකර වර්ධනයක් පෙනේ. ඒ බර සේම සොඳුරු කවි සැබෑ කවිය සොයන තරුණ තරුණියන්ගේ අවධානයට ලක් විය යුතුය.
උපෙකලා අතුකෝරළද කිවිඳියක සේ මෝරාගොස් ඇති බව පෙන්වමින් තුංග වූ මැදුරකි නමින් සිය නවතම කෘතිය පළ කොට තිබේ. මනුෂ්‍ය පැවැත්ම ගැන බරකවි කියවනු කැමති අය කියවා බැලිය යුතු පොතකි, ඒ. කිවිඳියගේම කවි පදයක එන ලෙස ‘අඩියක් අරන් පස්සට පැත්තට වෙලා ඉන්නෙක’ ගැන කැමැත්තක් ඇය තුළ තිබේ. මා මේ රචනයෙහි මුලින් කී ඝෝෂාකාරිත්වය මැදට නොයා ඈතින් සිටීම පිළිබඳ කවි කිහිපයක්ම මේ පොතේ එයි.
ඒ දෘෂ්ටිය ‘ජයා’ නම් කවියේද ප්‍රකාශ වේ:
‘අමිතාබ් වගේ
උස ම උස පිරිමියෙක් ළඟ
ජයා වගේ
මිටි ම මිටියට ඉන්න
තමයි ඕනෑ උනේ
දන්න කාලේ ඉඳලාම’
කථිකාවට පමණක් නොව තරුණියක විවාහ කර දෙන දෙමාපියන්ට පවා අවශ්‍ය වන්නේ තම දියණිය ‘උස’ අමිතාබ් කෙනෙකු ළඟ මිටියට ඉන්නා බිරිඳක වනු දැකීම විය හැකිය. අබිතාබ් සහ ජයා දෙන්නා ගතානුගතික විවාහය ගැන රූපයක් බවට පෙරළන සැටි අගේය. එහෙත් කවිය අවසන් වන්නේ ඒ විවාහ ආකෘතියට අභියෝග කරන්නියක බවට පත් වන ස්ත්‍රියක අපට මුණගස්වමිනි:
කොච්චර උනත් පිරිමි ළග
මිටිවෙලා මිඩිකම් කෙරුම අතහැර
‘රේඛා’ වගේ ඇඳ පැලඳ ගෙ
හැම ‘මගුලටම’ යන එක තනිය ම
ඈතින් ඉඳන් ‘අමිතාබ්’ලා සිඹින එක
ඇබ්බැහියක් උනේ ඒ වගෙයි ටික ටික
කථිකාව ඒ ඇබ්බැහිය කරා ආ සැටි කවියෙහි මැද විස්තර වේ. මේ කවි පොත පුරාම ඇති උපෙකලාගේ භාෂා බුහුටිකම් මේ කවියෙහිද දැකිය හැකිය. විවාහය නම් ආයතන තුළ මිටිවීමත් මිඩිකම් කිරීමත් සමාන්තර වන සැටි අපට සැණෙකින් පෙනෙන්නේ ඒ භාෂා බුහුටිකම් නිසාය.
ඒ ගතානුගතික විවාහ සංස්ථාව කෙරෙහි වන අකමැත්ත මේ කවි බොහෝ ගණනක පෙනෙන්නේ එක්තරා ‘ආසයි බයයි’ විඥානයක් හෝ ‘මිදි ඇඹුලයි’ විඥානයක් ලෙසිනි. ඒ නිසාම මේ කවි ගැඹුරු වේ. ඒ කවිවලට අපූරු සන්දිග්ධාර්ථයක් ලැබේ. විවාහය නමැති ආයතනයට හෝ ගතානුගතික ප්‍රේම ආකෘතිවලට සටන්පාඨමය ප්‍රහාර එල්ල කිරීම පහසුය. එවැනි ආයතන ආධිපත්‍යයට පත් සමාජයක ඒවාගෙන් ඈත්ව ජීවත් වන්නට තැත් කරන ස්ත්‍රියකගේ විඥානමය චංචලභාවය ග්‍රහණය කර ගන්නා කවියක් ලිවීම අමාරුය. එය කළ හැක්කේ එක්තරා කාව්‍යමය අවංකකමක් ඇති විටය. මට පෙනෙන හැටියට උපෙකලාගේ ඇතැම් කවිවල බර එන්නේ ඒ අවංකකම වෙතිනි.
‘යතුර’ නම් කවිය මේ පොතෙහි එන මගේ ප්‍රියතම කවි බොහෝ ගණනකින් එකති:
පෙත් මගක
එකලා ව පිය මනින
ඔබ සමග
ත්හමි හෙමින්
නොගෑවී ගෑවී
පසු ගමන් එමි
සැන්දැග
ගොස නගන වෙරළක
අනිමිසයක ගිලුණු
ඔබ දකිමි
ඔබ ගෙල බදන්නට
කැපදැයි සිතමින්
හෙමින් බර සුසුමක්
මුහුදට මුදමි
ඔබ හෙළන සුසුමකට
යා වෙමි
සති අග ඉසිඹුවක
පතොකක
අති මන්ද වැඩුමට
ඇස හරිමි
ඔබ කියාදුන්
අහරක් තනාගෙන
තනි ව ගිල දමමි
අලුත් රිදුමක
ස්පන්දනයට බිය වෙමි
පවුරක් තනා හද වට
යතුර
ඔබ වෙත විසිකරමි
සම්මත සමාජයෙන් වෙන්ව පවුරක් තනාගෙන ජීවත් වන නමුත් එහි යතුර නැවත සමාජය වෙත විසි කිරීමේ නැඹුරුව තවත් කවි කිහිපයකින්ම පෙනේ. එය මගේ සිත්ගත් විඥානයකි. ඒ වූකලි ඒකපුද්ගල නිදහස හා පොදු සමාජය අතර පවත්නා නිරන්තර ආතතියකි. ඒ ආතතිය අල්ලා ගැනීමට ප්රයත්න දැරීම හොඳ දෙයකි. ‘තාත්තෙක් වෙනමයි ඔබ’ වැනි කවියකින්ද පෙනෙන්නේ ඒ විඥානය යැයි මට සිතේ.
‘හිස් විය යුතුය දැන් මට’ යනුද මේ පොතෙහි එන අපූරු කවියකි. කවිය ඇරඹෙන්නේ මා ඉහත කී ඒකපුද්ගල නිදහස පිළිබඳ ඉඟියකිනි:
ප්‍රියය
පැමිණිය හැකි ද හනිකට
මා රැගෙන යන්නට දුරකට
කවුරුත් ම නොසොයන
දුර ම දුර ඈත දුරකට
මිනිස් කිලුටින් හිස් වූ
විජන වූ පෙදෙසකට
අස්වන්නට හා හිස් වන්නට හා ඈත් වන්නට මේ කථිකාවට එන ආවේශය අපටද හුරුපුරුදුය.
සුව විය යුතුය දැන් මට
වණමුඛ පවා මක මක
සිහිල‘ඹ පිරුණු පොකුණක
ගිල්විය යුතු ය කළ හොඳ
බුබුළක් නගා යළි නැග
ඉල්පෙනු නොදී ගල් බැඳ
ප්‍රියය,
සිප්සත දමමු කෝවක
අපි යමු ඉතින් දුරකට
මේ ගල් අරන් දෑතට
එක එක දමා දියකට
ඔබ උර බදා මොර දී
හිස් විය යුතු ය දැන් මට
මේ කවි සියල්ලේම පාහේ අපට හමුවන නිදහස්කාමී ස්ත්‍රිය සේ සම්මත ජීවිතයෙන්ද සම්මත දැනුමින්ද වෙන් ව හිස් වනු පිණි ප්රියයෙකුගේ උරහිස ආයාචනා කිරීම උත්ප්රාසයක් සේ කෙනෙකුට දැනෙන්නට පුළුවන. එහෙත් සාර්ථකත්වය හා යහපත්භාවය පිළිබඳ සම්මත ජීවිතය අත්හැරීම හා වැළඳගැනීම අතර දෝලනය වන විඥානයක් සහිත ස්ත්‍රියක මේ කවි බොහෝ ගණනකින් මුණ ගැස්සවීමෙන් කිවිඳිය අපට කියන්නේ ඒ මනුෂ්‍යයන් ජීවත් වන සම්මත ආයතන ප්‍රතිසංස්කරණය කිරීම හෝ යළි සැකසීම හුදෙක් ඒකපුද්ගල කාර්යයක් නොව සාමූහික ව්‍යායාමයක් බවද?
කවියෙහි සංරචනය අතින්ද, කවි බසෙහි තියුණුකම අතින්ද වැඩීගිය කවිතාවක් මේ පොතින් පෙනේ. ඒ නිසා එය බරකවි අධ්‍යයනය කරනු කැමති අයගේ අවධානයට ලක් විය යුතු පොතකි.
No comments:
Post a Comment