Saturday, November 27, 2021

"ශානරයක් කියන්නෙ යථාර්ථයේ යම් දෙන ලද කොටසක් දෘශ්‍යගත කරන විශේෂ විධියක්" මිඛායෙල් බක්තීන් -

 




(2016 වසරේදී ලක්මාල් බෝගහවත්ත දිවයින වටමඩල  වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡාවක්)

  

1. ඔබ මනසෙහි පැළපදියම් වන යම් වස්තු විෂයක් වඩා සුදුසු නවකතාවටද කෙටිකතාවටද කවියටද යන්න තීරණය වන්නේ කෙසේද?

     මම නම් එහෙමට කවියෙක් නෙමේ. කවිය ස‍‍ඳ්හා උචිතයි කිවහැකි අත්දැකීම් මගේ හිතට එන්නේ සංකල්ප රූප විදියට. කෙටිකතාවෙදි සහ නවකතාවෙදි චරිත, ආඛ්‍යායිකා හෝ තේමා විදියට. අනික ඔය මාධ්‍ය තුන අත්දැකීමකට සත්කාර කරන ශිල්ප ක්‍රම තුනක්. ගම්පෙරළිය නවකතාවෙ අත්දැකීමට ආසන්න අත්දැකීමක් නන්දන වීරසිංහ වලව්වට වැසි ඇවිත් නමිනුත් එරික් ඉලයප්ආරච්චි ලීස්තර වැට නමිනුත් විශිෂ්ට කවි දෙකකදි අල්ල ගන්නවා. ඒ නිසා අපට කියන්න පුළුවන් අත්දැකීම විසින්ම මාධ්‍ය තීරණය වන වෙලාවලුත් අත්දැකීමට සත්කාර කරන ආකාරයෙන් මාධ්‍ය තීරණය වන වෙලාවලුත් තියෙනවා කියලා. වස්තු විෂයක් කියන්නෙ එය දැමිය යුතු භාජනයක් පිළිබ‍ඳ පූර්ව නිගමනත් අරගෙනම පහළ වෙන එකක් නෙමේ. එහෙම හිතන එක වැරදියි. ඒ වැරදි සිතිවිල්ලේ පදනම තමයි විෂය ප්‍රාථමිකයි මාධ්‍යය ද්වීතියිකයි කියන අදහස. මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් මිඛායෙල් බක්තීන් ශානරය ගැන කියපු ආදහස් ඇසුරින්. ශානරයක් කියන්නෙ යම් නිශ්චිත ප්‍රතිනිර්මාණ නීතිවලින් යුතු මාධ්‍යයක් කියල අපි කියමුකො. ක්තීන් කියනවා ශානරයක් කියන්නෙ යථාර්ථයේ යම් දෙන ලද කොටසක් දෘශ්‍යගත කරන විශේෂ විධියක් කියලා. ඒකෙ තමයි තමයි යථාර්ථයේ එකම කොටස වුණත් කවිය, කෙටිකතාව හෝ නවකථාව විසින් ඉදිරිපත් කෙරෙන ආකාරය වෙනස්. ඒ නිසා ඒ ඒ මාධ්‍යය රස විඳිද්දි අර යථාර්ථ කොටස අපට දැනෙන විදිය වෙනස්. ඒ නිසා යම් මාධ්‍යයක් කියන්නෙ අපගේ විෂය රසිකයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න අප තෝරගන්න ප්‍රතිනිර්මාණ තාක්ෂණය. ඒ වගේම ක්තින් කියන දෙයක් තමයි ඒ ඒ මාධ්‍ය මගින් අප විෂය දකින ආකාරයත් තීරණය වෙනවා කියන එක. ඒ නිසා මම හිතන්නෙ පොඩි දේවල් පොඩි භාජනවලත් ලොකු දේවල් ලොකු භාජනවලත් දානව වගේ විෂය දිහා බලලා මාධ්‍ය තීරණය කරනවා කියන එක තරමක් යල් පැනපු අදහසක්.

 

2. ඔබට අනුව නූතන සමාජ සංකීර්ණතා පිළිබිඹුවෙදි වඩා පහසු සාහිත්‍ය මෙවලම කුමක්ද?

නවකථාව කියන්න පුළුවන්. ඒක සමාජමය කලාලයක් පහසුවෙන් ගොඩනගන්න පුළුවන් මාධ්‍යයක්. ඒ වගේම මනුෂ්‍ය සමාජය සංකීර්ණ වෙන්නෙ විවිධ දෘෂ්ටිවාදී ආස්ථාන නිසා. හුදෙක් ආර්ථික සමාජමය කාරණා හින්ද විතරක්. මනුෂ්‍යයන්ට දේවල් ගැන අදහස් තියෙනවා. ඒ අදහස්මය වෙනස්කම් නිසා මනුෂ්‍ය ජීවිතය තවත් සංකීර්ණතා ඇති වෙනවා. නවකතාව ඉතා හොඳ මාධ්‍යයක් මේ සංකීර්ණතා හසු කරන්න.

 

3. ඔබ රචනා කළ නවකතා ත්‍රිත්වයම මෙරට ප්‍රධාන සම්මාන උළෙලවලදි සම්මානයට පාත්‍ර වෙනවා. ඔබගේ නවකතාත් සම්මානත් අතර ඇති මේ සමීප සම්බන්ධය දැනෙන්නේ කෙසේද?

මම නවකතා හතරක් ලියලා තියෙනවා. පළ වෙනි එක විශ්වවිද්‍යාලෙ ඉද්දි. 1992 දී. ඒක කාගෙවත් අවධානයට පත් වුණේ නෑ. දෙවැනි නවකතාව අටවක පුත්තු ඒක ලියද්දි මම ලංකාවෙ හිටියෙ නෑ. ඒකට හම්බ වුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන. ඊට කලින් 2000 වර්ෂෙදි කෙටිකතා පොතකට රාජ්‍ය සම්මාන ලැබුණා. එතකොටත් මම ලංකාවෙ නෑ. මෑත කාලීන නවකතා සියල්ලම විවාදයට ලක් උනා. ඒනිසා කාගෙත් අවධානයට යනවා. මේවා නවකතා නෙමේ කියලා එක ප්‍රවීණයෙක් කිව්වා. ඒක දැකල මගෙ පොත කියවමු බොහෝ දෙනෙක් මේක නවකතාවක් විතරක් නෙමේ හොඳ නවකතාවක් කියලා කිව්වා. ලැව් ගින්න නවකතාව පැතිරුණා. සම්මාන උත්සව වෙනකොට පොතේ මුද්‍රණ හතරක් ඇවිත්. ඒ වගේම ලංකාවෙ වැඩියෙන්ම සම්මාන හම්බවුණ ලේඛකයා මම නෙමෙයි.

මම ලියල තියෙන පොත් 24න් හතරකට විතරයි සම්මාන හම්බවෙලා තියෙන්නෙ. ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්ආරච්චි, නන්දන වීරසිංහ, රත්නශ්‍රී විජේසිංහ, සුනේත්‍රා රාජකරුණානායක වගේ අය ඉන්නවා පිට පිට සම්මාන දිනපු. ඒකට හේතුව ඒ අය නිරන්තරයෙන් නිර්මාණ කාර්යයේ යෙදීම.  

           

4. අටවක පුත්තු නවකතාවට පසුව ඔබ නවකතාවක් රචනා කරන්නේ අවුරුදු 9කට පසුවයි. නමුත් දෙවැනි නවකථාව වන කුරුලු හදවත පළ වී අවුරුදු දෙකක් යන්න මත්තෙන් ඔබගේ තෙවැනි නවකතාව වන අහම්බකාරක බිහි වෙනවා. මින් හැගෙන්නේ ඔබ අධිවේගී ලිවීමකට ප්‍රවිශ්ෂ වී ඇති බවද?

නෑ. පළමු නවකථාව 1992 අවුරුද්දෙ. ඉන් වසර 15කට පසු දෙක අටවක පුත්තු. ඉන් වසර 6කට පසු කුරුලු හදවත. ඉන් දෙවසකරකට පසු අහම්බකාරක.  අර පළමු නවකථාව සහ දෙවැනි නවකථාව අතර කාලෙ මම ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කළා. කෙටිකතා පොත් දෙකක් සහ අමුතු කතාව නම් ශාස්ත්‍රීය පොතක් ලිව්වා. දෙවැනි නවකතාවයි තුන්වෙනි නවකථාවයි අතර කාලෙ පරිවර්තන පොත් දෙකක් සහ තවත් ශාස්ත්‍රීය පොතක් ලිව්වා. ඒ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන්න පටන් ගත්තා. නොයෙක් බාහිර වැඩවලට සම්බන්ධ උනා. ගෙයක් හදන්න කාලය යෙදෙව්වා. පොඩි දරුවො දෙන්නෙක් වෙනුවෙන් කාලය ගියා.  දැන් කියවීම, ඉගැන්වීම සහ ලිවීම ඇර වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ. සාපේක්ෂ නිදහස් කාලයක් තියෙනවා. මට ගෙදර ඉඳලා වැඩට යන්න ගත වෙන්නෙ විනාඩි පහක් විතරයි. ඒ නිසා මට වෙලාව තියෙනවා. ඒත් අවුරුදු දෙකක් හෝ තුනක් යනවා මට නවකථාවක වැඩ ඉවර කරන්න. දැන් බලන්නකො ඉලයප්ආරච්චි මහත්තයා මේ අවුරුද්දෙ ගිය අවුරුද්දෙ පළ කළා, කවිපොත් දෙකක්. කෙටි කතා පොතක් සහ නවකථාවක්. ඒ එකකටවත් සම්මාන ලැබුණෙ නැති හින්දා කාගෙවත් අවධානයට ලක් වුණේ නෑ ඒ මහත්තයා එච්චර ලිව්වා කියන කාරණේ.  සුනේත්‍රා රාජකරුණානායක නවකථා දෙකක් ලියල තිබුණා ගිය අවුරුද්දෙ. ඇය පූර්ණ කාලීන ලේඛිකාවක්. පූර්ණ කාලීනව කැපවෙන්න පුළුවන් නම් මම මීට වඩා වේගෙන් ලියනවා. හංගේරියානු ලේඛකයෙක් ඉන්නවා ආන්ද්‍රේ කුර්කොව් කියාල. ඔහු මට ලංකාවෙදි හම්බ වුණා. ඔහු පසුගිය අවුරුදු දහය ඇතුළත නවකථා 17ක් චිත්‍රපටි තිරනාටක 10ක් රචනා එකතු කෙටිකතා ලියා තියෙනවා. ඔහුගෙ නවකතා දෙකක් මම කියවලා තියෙනවා. එව්වා අවරගණයේ පොත් නෙමේ. ඔහු අවුරුදු 10කට කලින් පූර්ණ කාලීන ලේඛකයෙක් වුණාට පස්සෙ දවසකට පැය හතක් අටක් ලියන බව මට කිව්වා. නිර්මාණශීලි ලේඛනය උගන්වන පොත්වල කියන්නෙත් ලිවීම නිසාම ලිවීම වර්ධනය වෙනවා කියලා. එක නවකතාවක් ලියන කාලෙදි තව කතාවලට තේමා, වස්තු බීජ වර්ධනය වෙනවා. පළවෙනි නවකතාව නොලිව්වොත් අර අමතර අදහස් එන්නෙ නෑ. මගේ ගුරුවරයෙකු බඳු දයාසේන ගුණසිංහ මහත්තයා ඉස්සර මට කියපු දෙයක් තමයි “කෙටිකතා මීටරේ කරකවාගෙන ඉන්න කොට කෙටිකතාවලට වස්තු බීජ එනවා” කියන එක. ඒ කාලෙ ඔහු ඔහුගෙ තුන්වෙනි කතා සංග්‍රහය ලියමින් උන්නෙ. ඔහු ඉන් අදහස් කළේ යම් සාහිත්‍ය රචනා විධියකට අවශ්‍ය විඥානයෙන් ඉන්නකොට තමයි ඊට සරිලන වස්තු විෂයයන් ඇස ගැහෙන්නෙ. කවි ලියන අය දන්නවා එක කවියක් ලියලා මීටරේට ආවම තව කවි එනවා අපේ විඥානයේ නොදන්නා අඩවිවලින්. මේ එන දේවල් අල්ලල කඩදාසියට දාන්න සහ නැවත නැවත ලියන්න වෙලාව සහ කැපවීම තියෙනවා නම් අවුරුද්දකට පොතක් ලිව්වත් මොකද? අවුරුද්දකට පොත ගානෙ ලියනවා කියල ලේඛකයින්ට බැණ බැණ උන්නු තෝරදෙණිය මහත්තයාත් ලියලා තිබුණෙ අවුරුද්දට පොත ගානෙ. ඒවා පොඩි පොතුත් නෙමේ තඩි පොත්.

 

5. නිර්මාණකරුවෙකුගේ දේශපාලන දෘෂ්ටිය නවකතාවකදි යොදාගත යුත්තේ කුමන ආකාරයෙන්ද?

   

   ඒක විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. ටොල්ස්ටෝයි නම් යුද්ධය හා සාමය නවකථාව මැද්දෙ දීර්ඝ දේශපාලන විවරණයක් ඇතුළත් කරනවා. ඩොස්ටොයෙව්ස්කිගෙ ඇතැම් නවකථාවල චරිත දීර්ඝ සංවාදවලදි දේශපාලන අදහස් ඉදිරිපත් කරනවා. අමරසේකර මහත්තයාගෙ නවකථාවල චරිතත් හරි හරියට දේශපාලන අදහස් කියනවා. ආඛ්‍යානය වින්‍යාස ගත කෙරෙන ආකාරයෙන් දේශපාලන දෘෂ්ටිය සූචනය කරන්න පුළුවන්. විවිධ දේශපාලන ආස්ථාන අතර තෙරපුම ඇසුරින් ඒ වගේ දේවල් පෙන්නන්න පුළුවන්.

 

6. අහම්බකාරක නවකතාවෙ ලයනල් බලගල්ල චරිතයට ඔබගේ බලපෑම තදින් ලැබී ඇති බව පේනවා.

 

බන්දුල බලගල්ලට මගේ චරිතයේ බලපෑම තියෙන බව ඔබ නිරීක්ෂණය කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ මුලින්ම අහන්න පුළුවන්. අපි දෙන්න දුරකථනයෙන් වරක් දෙකක් කතා කරල තියෙනවා විතරනෙ. එහෙම නම් ඒ නිරීක්ෂණයේ පදනම තමයි මම සාහිත්‍යයෙන් බාහිරව කරන සමාජමය මැදිහත්වීම් ගැන ඔබ දන්නවා කියන එක.  රටේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් මගේ මත ඔබ දන්නවා ඇති. මම ඒවා පත්තරවලට ලියන කියන නිසා. සමහර ලේඛකයො ඉන්නවා අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ගැන තමන් හිතන්නෙ මොනවද කියලා කටක් ඇරලා නොකියන. ඉලයප්ආරච්චි වගේ කෙනෙක් ගන්න. රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන ඒ මහත්තයා මොනවද හිතන්නෙ කියල කවුරුත් දන්නෑ.  සටකපට විදියට හැංගිලා ඉන්නවා. ඒ නිසා එයාගෙ නවකථාවල චරිතයි එයයි අතර සම්බන්ධයක් ගොඩ නගන්නෙ නෑ. අනික එතකොට පුළුවන් තමන්ට වාසි තැනට ඒ ඒ වෙලාවට සෙට් වෙන්ඩ. මම එහෙම ඉන්න කැමති කෙනෙක් නෙමේ. මගේ නවකථාව කියන්නෙ මගේ අනික් බුද්ධිමය ව්‍යායාමවලට දිගුවක්.

 

මා සාහිත්‍යයෙන් බාහිර ලෝකයේදී හිතන පතන විදිය නොදන්නා  අය ඔබ කළ නිරීක්ෂණය නොකරන අවස්ථා තියෙනවා. මේ නවකථාව කියවූ බොහෝ පාඨකයො බලගල්ල සහ මා අතර කිසිම සම්බන්ධයක් දැක්කෙ නෑ. අනික මේ නවකථා තව කාලෙයක් මේ සමාජයේ තියෙයි. වැඩි කල් තියෙන්න තියෙන්න කෘතිය සහ කතුවරයා අතර ඔය වැනි සම්බන්ධතා මැකී යනවා.

ඒ ඒ චරිතවල අදහස් අතින් ගත්තොත් මගේ අදහස්වලට සමාන අදහස් මේ නවකතාවේ රාධා කියන චරිතෙනුත් ප්‍රකාශ වෙනවා. මේ නවකථාවෙ දෘෂ්ටිමය සමස්තය සමග මගේ එකගතාවක් තියෙනවා. නවකතාකරුවා කියන්නෙ බුද්ධිමය මැදිහත්කරුවෙක්. පරම කලාත්මකත්වයක් වෙනුවෙන් සමාජයෙන් දුරස්ථව ඉන්න කෙනෙක් නෙමේ. කෙසේ නමුත් මේ නවකථාවෙ තේමාත්මකව වැදගත් වෙන තේමාත්මක සමස්තය ප්‍රකාශ වෙන්නෙ සෘජු දෙබස්වලින් නෙමේ කතා වින්‍යාසයෙන්. සිද්ධිය මෙහෙම වුණේ ඇයි කියන කාරණා ඇසුරින් කියවෙන දේවල් ගොඩක් තියෙනවා.

 

7. ඒ වගේම ඔබ ජාතිවාදයේ එක් අන්තයක් (සිංහල ජාතිවාදය) පිළිබඳ පමණයි විවේචන එල්ල කරන්නේ.

   මේ නවකථාවෙදිදි? ඒකට මෙහෙම කියන්න පුළුවන්. මේ නවකථාවෙදි 1983 ජූලි කලබලවලදි කුරුණෑගල සිද්ධ වුණු ඇත්ත තොරතුරු ටිකක් භාවිත වෙනවා. සාහිත්‍යකරුවාගේ එක් කාර්යක් තමයි යුගයක් පිළිබඳ සාක්ෂිකාරයෙක්වීම. හෘදයසාක්ෂියේ බර ප්‍රකාශ කිරීම. නමුත් මේ තොරතුරු නවකථාවෙ එන්නෙ සිංහල ජාතිවාදය ගැන අති සරල විවේචනයක් විදියට නෙමේ. නගරයේ තිබුණු ආර්ථික සම්බන්ධතා ජාතිවාදයටත් වඩා ඒ කළබලවලදි බලපෑවා. දෙමළ ව්‍යාපාරිකයන්ට යම් යම් අංශවල තිබුණු ආධිපත්‍යය, ඒ අය සතුව තිබුණු වටිනා කඩකාමර ආදිය අවශ්‍ය වුණ අය හිටියා. ඒ වගේම තමයි ඒ කාලෙ දෙමළ ජීවිත බේරපු සිංහල අය ගැනත් මේ පොතේ තියෙනවා. ඒවා ඇත්ත තොරතුරු ඇසුරින් ගොඩනගපුවා. මේ ප්‍රශ්නෙට තව උත්තරයක් තියෙනවා.

මම රවීන්ද්‍රනාත් තාගෝර්ගෙන් උගත් දෙයක් තමයි ජාතිවාදය ගැන අපේ විචාරය පටන්ගන්න ඕනෙ අපි අයත් ප්‍රජාව තුළින්ම කියන එක. ජාතිවාදයට සංකල්පයක් විධියට විරුද්ධවීම ආරම්භ වෙන්න ඕනෙ අපිත් ඇතුළු අපේ ප්‍රජාව තුළින්. එතකොට තමයි විචාරයට ස්වයං-චිචාරාත්මක පදනමක් සැපයෙන්නෙ. නැතිනම් අපිට ඈතින් ඉන්න ප්‍රජාවක ජාතිවාදය විචාරය කරන්න ලේසියි. එතකොට තමයි අනික් ප්‍රජාවන් තුළත් එවැනි විචාර පහළ කර ගත හැක්කෙ. දැන් බලන්න සෝභාශක්ති, සුදාරාජ් වගේ දෙමළ ලේඛකයො ඉන්නවා දෙමළ ජාතිවාදයට විරුද්ධව ලියන. වව්නියාවේ ආර්. උදයනන් කියලා ලේඛකයෙක්ගෙ නවකතා පරිවර්තනය කරල තියෙනවා උපාලි ලීලාරත්න මහත්තයා. ඒ නවකථාවලදි උදයනන් දෙමළ ජාතිවාදයටත් බෙදුම්වාදයටත් විරුද්ධව ලියනවා. දෙමළ සමාජය තුළ ජාතිවාදී බලවේග පරාජය කළ හැක්කේ අපේ සමාජයේ මැදුම් පිළිවෙතට ආමන්ත්‍රණය කිරීමෙන්. මේ නවකථාවෙදි දෘෂ්ටිමය වශයෙන් එවැනි තැනක් ගන්නවා. සිංහල මනසේ ඇති මධ්‍යස්ථ ගුණයට හරියට ආමන්ත්‍රණය කරන සාහිත්‍යකාරයො බුද්ධිමත්තු වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕනෙ.  මාර්ටින් වික්‍රමසිංහ එහෙම කරපු කෙනෙක්. කුමාරතුංග මුණිදාස, රැපියෙල් තෙන්නකෝන්, සිරිලාල් කොඩිකාර එහෙම අය. මහාචාර්ය සරච්චන්ද්‍ර ඒ වගේ කෙනෙක්. සිරි ගුනසිංහ එහෙම කෙනෙක් ඔහුගේ චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය වැනි රචනා එහිලා හොඳ නිදර්ශන. තිස්ස අබේසේකර ඒ විදියෙ චින්තකයෙක්. ඔහුගේ අයාලේ ගිය සිතක සටහන් කෘතිය විශිෂ්ට නිදර්ශනයක්. සුසිල් සිරිවර්ධන සහ නෙවිල් ජයවීර වගේ පරිපාලන නිලධාරියො එහෙම අය.

 

සිංහල පාඨකයොත් තමන් ඇතුළෙ ඉන්න මධ්‍යස්ථ මතධාරියාට, මැදුම් පිළිවෙතට ආමන්ත්‍රණය කරන පොත් කියවන්න කැමති බව මට ලැබිලා තියෙන ලියුම්, ඊමේල් පණිවිඩ නොදන්නා පාඨකයන් එයාලගෙ ෆේස්බුක් පිටුවල ලියා ඇති දේවලින් පේනවා.

 

9. 2008 වසරේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණු අටවක පුත්තු නවකථාවේ මෙන් නොව ඔබගේ මෑතකදී පළ වූ නවකථා දෙකේදී භාෂා භාවිතය ගැන ඔබ සැලකිලිමත් වී තිබෙනවා. ඒ අටවක පුත්තු නවකතාවේ භාෂාව පිළිබඳ එල්ල වූ විවේචන නිසාද?

 

ඒ පොතේදීත් මම භාෂාව ගැන සැලකිලිමත් වුණා. ඒ භාෂාව ඒ වැඩේට හරි ගියා. විශේෂයෙන් විශ්වවිද්‍යාල වයසෙ ජීවිතය පෙන්වන්න ඒ බස හරි ගියා. අර විවේචනත් සැලකිල්ලට ගත්තා. ඒක මගේ පාඨක ලෝකය සමග යම් සම්මුතියකට ඒමක් වගේ දෙයක්. මම නණලළ භේදය නොසලකා ලිව්වම හැමෝම බැලුවෙ අක්ෂර වින්‍යාසය දිහා මිසක් නවකතාවේ තේමාත්මක කාරණා ගැන නෙමේ. මම දිගටම ඒ විදියට ලිව්වා නම් ඇතැම් පිරිසක් ඒවා නොකියවා අත්අරින්න තිබුණා. මගේ මේ අලුත් නවකතාවලින් මම තැත් කරන්නෙ ලංකාවේ සබුද්ධික සිංහලයාගෙ විඥානය ඇතුළට යන්න. හැකි තරම් වැඩි දෙනෙක් වෙත ළං වෙන්න. මොකද මේ නවකතාවලදි මම අහන තේමාත්මක ප්‍රශ්න කවුරුහරි ඇසිය යුතුයි. ඒත් මම හිතනවා අජිත් තිලකසේන මහත්තයා මැදි වහර පොතෙන් කරන යෝජනා ගැන මීට වඩා සැලකිල්ලක් යොමු කළ යුතු දවසක් එයි කියලා. අමරසේකර මහත්තයා සැරයක් කියල තිබුණා අක්ෂර වින්‍යාසයේ නවීකරණය වගේ දේවල් මුලින්ම හිතන්න ඕනෙ නිර්මාණකාරයො නෙමේ ජනමාධ්‍යවේදියො වගේ අය කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා.

 

10. අද්‍යතන විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රපීඨ සඳහා නව ආචාර්යවරු බඳවා ගැනීමේ දී නුසුදුස්සන් බඳවා ගන්නා බවට පසුගිය දිනවල මාධ්‍යයේ දැඩි විවේචනයට ලක් වුණා. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ලෙසින් මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

  නුසුදුස්සන් බ‍ඳ්වා ගැනීමටත් වඩා ප්‍රශ්නෙ තියෙන්නෙ සුදුසුම අය බඳවා නොගැනීම. පර්යේෂණය, ඉගැන්වීම සහ ලේඛනය වෙනුවෙන් කැපවෙන්න පුළුවන්. විචාරාත්මක චින්තනයෙහි සමත් අය අපිට ඕනෙ. ශාස්ත්‍ර පීඨවලට තමයි සමාජ මනස පරිවර්තනය කළ හැකි අය අවශ්‍ය. අනික විශ්වවිද්‍යාලවල දැන් සැලකිය යුතු වැටුප් ලැබෙනවා. ඒනිසාත් අපි බලන්න ඕනෙ අපේ ආයතනවල අනාගතය වෙනුවෙන් හොඳම පිරිස තෝරලා ගන්න.  විශ්වවිද්‍යාල වගේ ජාතික ආයතනවල බඳවා ගැනීම් ගැන ජාතික මට්ටමේ විපරමක්, විමසිල්ලක් තියෙන එක හොඳයි. ඒව ප්‍රශ්න කරන අයට වධ දෙන එක නෙමෙයි කළ යුත්තේ. මගේ අත්දැකීම් ඇසුරිනුත් පේන්නෙ අපේ ආයතනවල මේ තරමට වත් නීතිරීති නොතිබුණා නම් අපේ විශ්වවිද්‍යාල ඒ වගෙ ඉන්න සමීප ඥාතින්ගෙන් හිතමිතුරන්ගෙන් දේශපාලන හිතවතුන්ගෙන් පිරිලා තියෙයි කියන එකයි.. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පුවත්පතකට කියලා තිබුණා දේශපාලන බලපෑම්වලින් තනතුරුවලට ආපු අය ගැන. ප්‍රශ්නෙ තියෙන්නෙ එළියෙ ඉන්න විචාරකයොත් අපහාස උපහාස කරන්නෙ විශ්වවිද්‍යාල ඇතුළෙ ඉඳගෙන කිසියම් දෙයක් හෝ කරන්න හදන අයට මිසක් ඒවා ඇතුළෙ ඉන්න නුසුදුස්සන්ට නෙමේ. විශ්වවිද්‍යාලවල පළමු පත්වීම්වලට බඳවා ගන්නා ක්‍රමය මීට වඩා වෙනස් සහ සුපරික්ෂාකාරි වෙන්න ඕනෙ.