Friday, April 12, 2019

මායා බන්ධන නම් අපූරු නාට්‍යයට දර්ශන නැතිවීම - ලියනගේ අමරකීර්ති



ප‍්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ මායා බන්ධන නමින් සිංහලට නැගූ ආතර් මිලර්ගේ The Crucible නාට්‍යය ඇසුරින් උෂාන් පෙරේරා නම් තරුණ අධ්‍යක්ෂකවරයා කළ නිෂ්පාදනය ඉතා අගනා නාට්‍යයකි. 2018 වසරේදී යෞවන සම්මාන උළෙල සහ රාජ්‍ය සම්මාන උළෙල යන දෙකෙහිදීම හොඳම නාට්‍යය ඇතුළු සම්මාන රැුසක් දිනා ඇති මේ අගනා නාට්‍ය තවමත් පවත්වා ඇත්තේ දර්ශනවාර 6ක් පමණකියි දැන ගැනීම හද බිඳින පුවතකි. ඒ දර්ශන හයෙන් දෙකක්ම නරඹා ඇති  මම මෙවන් කෘතියක් ලංකාවේ ප‍්‍රධාන නගරවලවත් ප‍්‍රදර්ශනය කිරීමට අවකාශ නැතිවීම විශාල සංස්කෘතික ඛේදවාචකයකියි තරයේ සිතමි.
මෙම ඛේදවාචකයට මුහුණ දීම අවශ්‍ය වේ. දැනටත් ලංකාවේ පවත්නා නාට්‍ය ප‍්‍රදර්ශන විධික‍්‍රම භාවිතයට ගෙන තම නාට්‍ය දර්ශනවාර වැඩි වැඩියෙන් පවත්වන්නට ක‍්‍රම සොයා ගන්නා අධ්‍යක්ෂකවරු සිටිති. මායා බන්ධන නාට්‍යයට වඩා අවුරුද්දකින් පමණ වයසින් අඩු මනරම් නාට්‍යයක් වන අඛිල සපුමල්ගේ ගුත්තිල කාව්‍යය දර්ශන වාර පනහක් පවත්වා තිබීම හද සනසවන කරුණකි. ඒ දර්ශනවාරවලින් බහුතරයක් පවත්වා ඇත්තේ විභාගවලට ගුත්තිල කාව්‍යය හදාරන අයගෙන් සැදි පේ‍්‍රක්ෂාගාරවලට විය හැකිය. එසේ වුවත් එය හොඳ තත්ත්වයකි. විභාගවලට ඉගෙන ගන්නා දරුවන් අතරින් විභාගය ඉක්මවා කලා රසඥතාව සොයා යන දරුවන් සහ ගුරුවරුන් සිටින්නට පුළුවන. මායා බන්ධන වැනි නාට්‍යයක් මෙරට විශ්වවිද්‍යාලවල වත් පෙන්විය හැකි නම් එයින් දර්ශනවාර දහය ඉක්මවන්නට පුළුවන.

   මයා බන්ධන වැනි නාට්‍යයක් විභාගවලට නිර්දේශ වී නැත. එහෙත් එය අපගේ අධ්‍යාපන පද්ධතිය තුළ සිටින අයත්, පොදු නාට්‍ය පේ‍්‍රක්ෂකයාත් නැරඹිය යුතු නාට්‍යයකි. අනෙක, එය ආතර් මිලර්ගේ මෙම නාට්‍යය සැලකෙන්නේ නූතන සම්භාව්‍ය කෘතියක් ලෙසිනි. ලෝක නාට්‍ය කලාවෙහි අනුස්මරණීය කෘතියක් වන එය අපගේ කලා උරුමයේද කොටසක් විය යුතු ය. සෞන්දර්ය විශ්වවිද්‍යාලය ආශ‍්‍රිත තරුණ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලැබ ඇති මෙම උසස් නිෂ්පාදනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි කලා මණ්ඩල නාට්‍ය සතියෙහිදී දකින්නට අපි වාසනාවන්ත වීමු. සෞන්දර්ය විශ්වවිද්‍යාලය ආශ‍්‍රිත නාට්‍ය නිෂ්පාදන ඇතැම් විට අධි-ශිල්පීයතාවකින් යුතුය. රංග කලාවෙහි භාවිත කළ හැකි රංගමය ශිල්පක‍්‍රම එකම නාට්‍යයෙහි ප‍්‍රදර්ශනය කර ආඩම්බරවීම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් කෙරෙන ඇතැම් නිෂ්පාදනවල දැකිය හැකිය. මායා බන්ධන නිෂ්පාදන එවන් අමතර සන්දර්ශනවලින්ද තොරය; එය උචිතය. අනුරාධ මල්ලවආරච්චි සහ මිහිරි ප‍්‍රියංගනී යාපා ඇතුළු නළුනිළි පිරිස අතරින් අතිබහුතරයක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යශිෂ්‍යාවෝ වෙති. එහෙත් ඔවුහු ප‍්‍රවීණ නළු ප‍්‍රසන්නජිත් අබේසූරිය වැනි අය සමග කරට කර ර`ගපාති. මෙම නාට්‍යය අප රට විශ්වවිද්‍යාලවල වත් ප‍්‍රදර්ශනය කිරීමට නොලැබීම ඉතා විශාල අවාසනාවකි.

   ආතර් මිලර්ගේ ද කෘසිබල් නාට්‍යය වර්තමාන ලංකාවේ ප‍්‍රදර්ශනය වීමට ඉතා උචිතය. ආගමික අන්තවාදී කණ්ඩායම් ලෞකික මනුෂ්‍ය ජීවිතය වෙත කඩා වදින ප‍්‍රවණතාවක් අප රටද තිබේ. මෑතකදී ශක්තික සත්කුමාර නම් ලේඛකයා ලියූ කෙටිකතාවකින් බුද්ධ ශාසනයට අපහාස වන්නේ යැයි කියා ඒ රචකයා සේවය කරන ආයතනය වෙත භික්ෂු පිරිසක් කඩා වැදී වදාළහ. ඊට පෙරත් කලාකරුවෝ කීපදෙනෙක් එවැනි තත්ත්වවලට මුහුණ දුන්හ.

මායා බන්ධන කතා පුවත

    ආතර් මිලර්ගේ නාට්‍යයට පදනම් වන්නේ 17 වැනි සියවසේ ඇමරිකාවේ මැෂචුසෙට්ස් ප‍්‍රාන්තයේ ග‍්‍රාමීය ජීවිතයයි. ඒ වූකලි යුරෝපයෙන් ඇමරිකා මහාද්වීපයට සංක‍්‍රමණය වූ විවිධ කි‍්‍රස්තියානි නිකායවලට අයත් යුරෝපා ජාතිකයන් ( සුදු හම ඇති අය* තම ජ‍්‍රජා ගොඩනගා ගැනීමට තැත් කළ යුගයකි. රාජ්‍ය ව්‍යුහයට අමතරව ආගමික සංස්ථාව ඒ ප‍්‍රජා ගොඩනගා ගැනීමේ කේන්ද්‍ර වූයේය. ඔවුන්ට ප‍්‍රඥාව සපයන ප‍්‍රධාන මූලාශ‍්‍රය වූයේත් සමාජය සහ ස්වභාව ධර්මය අර්ථකථනය කළ ප‍්‍රධාන දැනුම් පද්ධතිය වූයේත් ආගමික ඉගැන්වීමයි. ඒ ආගමික නීති සහ රාජ්‍යයෙහි නීති අතර ආගමික සහ ලෞකික විභේදනය සිදු වී තිබුණේද නැත. අපි මේ නාට්‍යය හා සම්බන්ධ ඇමරිකානු සන්දර්භය පසෙකින් තබමු. ලෝකයෙහි දියුණුම රට යැයි සැලකෙන ඇමරිකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල තවමත් ලෝකය පිළිබඳ ආගමික අර්ථකථනය එලෙසම බාරගන්නා අය සිටින බවත්, ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි උමතු අන්තවාදීන් ජනාධිපති තනතුර කරා ගෙන ඒමට එවන් ආගමික මූලධර්මවාදීන් විශේෂයෙන් දායක වන බවත් අපි දැනට සිහියේ තබා ගනිමු.

   යුරෝපා සුදු ජාතිකයන් ඇමරිකාවට එන විට ඒ විශාල රට අයිතිය තිබුණේ ස්වදේශීය ඇමරිකානුවන්ටය. ඔවුන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ දැන් එතරම් භාවිත නොවන, ”රතු ඉන්දියානු” යන නමිනි. යුරෝපා ජාතිකයන් එම ස්වදේශික ඇමරිකානුවන් වෙතින් ඉඩම් පැහැර ගැනීමේ කතාවත් මෙම නාට්‍යයෙහි පසෙක තිබේ. ඒ සිංහල නිෂ්පාදනයෙහි එතරම් අවධාරණය වන කාරණයක් නොවේ. සිංහල නාට්‍යය සැලකිය යුතු සංස්කරණයකට ලක් වී ඇති බැවිනි. අප‍්‍රිකානු කළු ජාතිකයන් වහලූන් ලෙස තබා ගැනීමේ කතාවද නාට්‍යයෙහි පසුබිමින් එයි. එම මානයද සිංහල නිෂ්පාදනයේ එතරම් මතු නොවේ. අනෙක, ඒ මානය දැකීමට නම් ලෝක වහල් වෙළඳාමේ ඉතිහාසය ගැනද යම් අවබෝධයක් තිබිය යුතුය. ආතර් මිලර්ගේ දිගම නාට්‍යය වන මෙයින් සැලකිය යුතු කොටසක් සංස්කරණය කර ඇති බැවින් නාට්‍යයෙහි සමාජ-දේශපාලන අර්ථය එක් වරම වටහා ගැනීම අමාරුය. එය අවශ්‍ය අයට නාට්‍ය පිටපත කියවිය හැකිය.

  අපි මෙම නාට්‍යයෙහි සංකීර්ණ කතාව වෙත අවධානය යොමු කරමු. බටහිර ඉන්දීය කොවේවලින් එකක් වන බාබඩෝස් ¥පතේ වෙළෙන්දෙකු ලෙසද කලක් සේවය කළ සැමුවෙල් පැරිස් දේවගැතිවර වෘත්තියට පිවිස මැසචුසෙට්ස්හි සාලෙම් ප‍්‍රදේශයට පැමිණ ටික කාලයක් ගත වී ඇත. මේ 1692 වර්ෂයේ වසන්ත සෘතුවයි.

  නාට්‍යය ආරම්භ වන විට පැරිස් දේවගැතිවරයාගේ දස හැවිරිදි දියණිය රෝගී වී සිටියි. ඇය රෝගී සිටින මේ අවස්ථාව වූකලි ඓතිහාසිකව වැදගත්ය. රෝගීවීම්, විශේෂයෙන් ස්ත‍්‍රීන්ගේ රෝගීවීම් ගැන එවකට පැවතියේ ප‍්‍රධාන වශයෙන් එක් විස්තර කිරීමකි. බයිබලයේ සහ ආගමික සංස්ථාවේ ඉගැන්වීම්වලට අනුව මේ රෝගීවීම්වලට ප‍්‍රධානම හේතුව යක්ෂයා ආවේශ වීමය. සුදු ජාතිකයන්ගේ කි‍්‍රස්තියානි දෘෂ්ටියෙන් ගත් කල මෙය වාසිදායක විස්තර කිරීමක්ද වේ. යක්ෂයාගේ වාසස්ථානය යැයි විශ්වාස කෙරුණේ වනාන්තරයයි. වනාන්තරය වූකලි යුරෝපීය ජනයා ඇමරිකා එක්සත් ජනපදයට එන්නට පෙර ස්වදේශික ඇමරිකානුවන්ට අයිති ඉඩම්ය. ඒවා නූතන නීතිය යටතේ ඔප්පු තිරප්පුවලින් අයිති නොවුණත් ඒවාගේ හිමිකම ස්වදේශිකයන්ටය. ඒ ස්වදේශිකයන්ගෙන් බොහෝ දෙනෙකු කි‍්‍රස්තියානිය වෙත හරවා ගැනීමට සුදු ජාතිකයන්ට හැකි වූයේ නැත. ඒ නිසා ස්වදේශික ඇමරිකානුවාගේ ආගමික විශ්වාසද යක්ෂයා සමග අනන්‍ය කළ හැකිය.

   නාට්‍යයට පසුබිම් වන මැෂචුසෙට්ස් ප‍්‍රාන්තයේ සලෙම් ප‍්‍රදේශය සුදු ජාතිකයන් විසින් ජනාවාස කෙරී සෑහෙන කාලයක් ගත වී ඇත. පල්ලියෙහි ආගමික ඉගැන්වීම් සහ ආගමික සංස්ථාව පිළිබඳ විශ්වාසය සුදු ජාතික ප‍්‍රජාව තුළද සෑහෙන තරමට බිඳ වැටී ඇත. තාර්කික චින්තනයේ සුළ`ග මේ ප‍්‍රජාව වෙත හමා විත් ඇත. ඒ නිසා දේවගැතිවරයාගේ දියණිය ලෙඩ වීම පිළිබඳ ආගමික හෙවත් බයිබලීය අර්ථකථනය පමණක් පිළිනොගන්නා අයද සිටිති.

  දේවගැතිවරයාගේ දියණිය ලෙඩ වූ දින හවස තවත් ආගමික චාරිත‍්‍ර විධියක් ක‍්‍රියාවට නැගී ඇත. මෙය සිංහල නාට්‍යයෙහි එතරම් මතු වී නොපෙනෙන මානයකි. පැරිස් පියතුමාගේ සේවිකාව වන ටිටුබා යනු බාබඩෝස් සිට (බටහිර ඉන්දීය කොදෙව්* සිට ගෙන එන ලද්දියකි. ඇය ඔස්සේ යම් අප‍්‍රිකානු ජන ඇදහිලි විශේෂයක් ඇමරිකාව වෙත පැමිණ තිබේ. ඇය දේවගැතිවරයාගේ නිවසෙහි සහ අසල වසන තරුණ කෙල්ලන් කණ්ඩායමක් සමග මළවුන් නැගිටුවන චාරිත‍්‍රයක් ක‍්‍රියාවට නගා තිබේ. එහිදී ඇති වූ කිසියම් මානසික ආතතියක් දැරියගේ රෝගීවීමට හේතුව විය හැකිය.

  මෙතැනදී නාට්‍යය වෙත සංකීර්ණ මනෝවිද්‍යාත්මක පසුබිමක්ද එක් වේ. දේවගැතිවරයාගේ නිවසෙහි වසන 17 හැවිරිදි ඇබිගේල් දේවගැතිවරයාගේ ඥාති දියනියකි. ඇය ජෝන් ප්‍රොක්ටර් නම් ප‍්‍රදේශයෙහි ඉඩම්කඩම් ඇති කාර්යශූර වැවිලිකරුවෙකුගේ නිවසෙහි සේවය කර තිබේ. ඒ අතර ජෝන් සහ ඇය අතර ලිංගික සම්බන්ධයක් ඇති වී ඇත. ඇයගේ කන්‍යාභාවය අහිමි වී ඇත්තේ ඔහු අතිනියි පෙනේ. තමා අතින් සිදු වූ වරද ගැන පසු තැබෙන ජෝන් ප්‍රොක්ටර් ඒ සම්බන්ධය ඉදිරියට කරගෙන යාමට අදහස් නොකරයි. ඔහුගේ බිරිඳ විසින් ඇබිගේල් රස්සාවෙන් දොට්ට දමා ඇත්තේ සැමියා සහ තරුණිය අතර සම්බන්ධය ඉව වැටීමෙනි. සිය පළමු ලිංගික අත්දැකීම නිසා ජෝන් වෙත ආකර්ෂණය වුණු ඇබිගේල් ඔහු තමා වෙත දිනාගැනීම උදෙසා අප‍්‍රිකානු වහලියගේ චාරිත‍්‍ර විධි භාවිත කරන බවක්ද පෙනේ. ඒ චාරිත‍්‍ර විධිය පිණිස වනයට ගිය ඇය සහ ඇගේ තරුණ මිතුරියන් නිරුවතින් නැටූ බවක්ද කියවේ. ඉතා දැඩි ක‍්‍රිස්තියානි පවුල් පසුබිම් තුළ ඒ තරුණියන්ට නැති ලිංගික නිදහසක් ඔවුන් ඒ වනගත චාරිත‍්‍රයේදී භුක්ති විඳි බවක්ද අනුමාන කළ හැකිය.

   මේ සිද්ධි කිහිපය පල්ලි එන සහ නොඑන වශයෙන්ද දෙවියන්ට පක්ෂ සහ යක්ෂයාට පක්ෂ වශයෙන්ද නිසා ප‍්‍රජාව දෙකට බෙදේ. යක්ෂයාට පක්ෂ අය එල්ලා මරන අධිකරණයක්ද තිබේ. ජෝන් ප්‍රොක්ටර්ගේ බිරිඳද යක්ෂයාට පක්ෂ යැයි ඔප්පු කර ඇයගෙන් ලිංගික වශයෙන් පලිගැනීමට ඇබිගේල්ද මෙම අවස්ථාව යොදා ගනියි. ආගමික අන්තවාදය සහ රාජ්‍ය නීතිය අතර ඇති පෑහීම නිසා මෙම මනුෂ්‍ය ගැටලූව පිළිබඳ සංකීර්ණ විමසා බැලීමකට අවකාශ නැත. මෙවන් රෙජීමයක් යටතේ එක්කෝ කෙනෙක් දෙවියන්ගේ පැත්තේය නැත්නම් යක්ෂයාගේ පැත්තේය.

  නාට්‍යය අවසන් වන්නේ ජීවිතය පිළිබඳ වඩා සංකීර්ණ අවබෝධයක් වෙත යාමේ පියවර ජෝන් ප්‍රොක්ටර්ගේ බිරිඳ වන එලිසබෙත් විසින් තබනු ලබන බව පෙන්වමිනි. ජීවිතය, සමාජය සහ ඉතිහාසය පිළිබඳ ආගමික අන්තවාදයේ ප‍්‍රවේශය පමණක් ඇති සමාජ මනුෂ්‍ය යථාර්ථ වටහා ගැනීමෙහිලා කොතරම් නම් අසමත්ද යන්න මේ නාට්‍යයෙන් පෙනේ. ආගමික අන්තවාදී ලෞකික ජීවිතයේ සියලූ දේ තීරණය කරන්නට පටන්ගෙන ඇති අප රටද මෙම නාට්‍ය අද දවසේ වැඩි වැඩියෙන් ප‍්‍රදර්ශනය විය යුතුය. මෙවර රාජ්‍ය සම්මාන උළෙලෙහිදී හොඳම නිළිය සම්මානය දිනූ මිහිරි ප‍්‍රියංගනී යාපාද දක්ෂ තරුණ නළුවෙකු වන අනුරාධ මල්ලවආරච්චිද මායා බන්ධනහිදීද විශිෂ්ට රංගන ඉදිරිපත් කරති.
ලියනගේ අමරකීර්ති

    
 
   
     

No comments:

Post a Comment