Monday, October 12, 2020

මාලන් බණ්ඩාර කපුවත්තගේ නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර



 

(මේ තියෙන්නෙ 2020 ඔක්තෝබර්  12 වෙනිදා සූම් මගින් පැවති සංවාදයට මා ඉදිරිපත් කරන්නට සිටි අදහස්. එහෙත් කාලය මදිවීම නිසා බැරි උනා.

  අනික් හැම කලාවක් වගේම කවිය කියල කියන්නෙත් මෙන්න මේ දේවල සංකීර්ණ මිශ්‍රණයක්: අඩංගුව (අදහස, මදය) සහ විලාසය, සිතිවිල්ල සහ ආකෘතිය, තර්කය සහ ශිල්ප ක්‍රමය. කලාවෙදි කියන්නේ මොකක්ද කියන එක වගේම කියන්නේ කොහොමද කියන එකත් එක තරමට වැදගත්.

   අපි චිත්‍ර කලාවෙදි මුලින්ම වගේ ප්‍රතිචාර දක්වන්නෙ ඒ ඒ චිත්‍රශිල්පියාගෙ වර්ණ භාවිතය හෝ රේඛා භාවිතය සම්බන්ධයෙන්.

මම නිර්වාග්මය කලා රසවින්දනය සහ ඒවා ගැන ලිවීම ගැන එක පාඨමාලාවක උගන්නනවා. එතකොට මම ශිෂ්‍යයන්ට භාවිත කරන්නැයි කියන උපක්‍රමයක් මෙහෙමයි. මම කියනවා සියලු දෙනාටම ඇස් වහගන්න කියලා. ඒ අය ඇස් වහගෙන ඉන්න අතරෙ මම චිත්‍රයක් ප්‍රක්ශේපණය කරනවා තිරයට. මම අත්පොළසමක් දෙන කොටම එයාලා ඇස් අරින්න ඕනෙ. ඔවුන් අදාළ චිත්‍රය තුළ මුලින්ම දැක්කෙ මොකක්ද? පළමුවෙන්ම ඇහැ ගියෙ මොකක් වෙතටද කියල මම අහනවා. සමහර විට ඒ දකින දේ වර්ණයක් හෝ රේඛාවක්. ඉතින් මම ඔවුන්ට කියනවා ඒ මුලින්ම දැකපු දේ චිත්‍රය කියවීමේ යතුරක් විදියට භාවිත කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. සමහර විට පුළුවන්. සමහර විට බෑ. කොහොම වුණත් අපේ ඇහැ එක පාරටම යන්නෙ ඒ චිත්‍රයෙ විලාසය, ශිල්ප ක්‍රමයට අයත් දෙයක් වෙත. ඉන් පස්සෙ තමය අපි අන්තර්ගතය කියල දෙයක් ගවේෂණය කරන්නෙ.

   මම මේ නිදර්ශනය කිව්වෙ මේකයි: කවියෙදිත් අපි එහෙමයි. කෙටිකතාව, නවකතාව ආදියෙදිත් එහෙමයි.

අපි දන්නවා නවකතා කියවද්දි කතාවට අමතරව අදාළ කතුවරයගෙ ශෛලිය, තාක්ෂණික ප්‍රයෝග අපට වෙනම ආනන්දයක් ලබා දෙනවා. කවියෙදිත් එහෙම තමයි. හැබැයි කවියෙදි, කියන දේයි කියන විදියයි අතර අනික් කලාවලට වඩා ළඟ සම්බන්ධයක් තියෙනවා. ඒ දෙක එකට වෙලිලා තියෙන්නෙ.

බර්ට්න් රැෆල් කියන මහාචාර්යවරයා සහ කවියා කවිය මෙහෙම නිර්වචනය කරනවා: (1.)“ශික්ෂිත (පාලිත), සංක්ශිප්ත වාග්මය ප්‍රකාශයක් වන කවියෙ යම් හෝ (2.) සංගීතමය ස්වභාවයක් තියෙනවා. (3)කවිය අභ්‍යන්තරික හෝ බාහිර යථාර්ථයක් සමග යම් අර්ථවත් ආකාරයකට ගනුදෙනු කරනවා.

   අංක තුන කවියෙ මදය හෙවත් අන්තර්ගතය ගැන. එක සහ දෙක ශිල්පය ගැන.

  නවකතාවක් වගේ දිග වාග්මය නිර්මාණයකදි නම්, එහි පැහැදිලිව පේන කතාවක් තියෙන නිසා, කියන දේ සහ කියන සැටි එකිනෙකින් ඈත් වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා ඒවා වෙනම ගලවලා සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. කවියෙදි මේවා එකිනෙකට බැඳිලා ඓන්ද්‍රීය සම්බන්ධයක් හැදෙනවා.

  ඒ නිසා අපි හොඳ කවිය මොකක්ද කියලා හොයද්දි මේ ඓන්ද්‍රීයතාව ගැන හිතන්න ඕනෙ. ඓන්ද්‍රියතාව කියන්නෙ කවියෙ සමස්තය සහ අංග එකට බැඳී එකිනෙක පෝෂණය කරන ස්වභාවය.

 

   මාලන් බණ්ඩාර කපුවත්තගෙ දෙවෙනි කවිපොත වෙන කොටම, ඒ පොතේ කවි කෙටි වුණත්, ඉහත මම පැහැදිලි කරන්න හදන කාරණේ අවබොධ කරගත්තු බවක් පෙනුණා.

කෙනෙක් හිතන්න පුළුවන් කෙටි කවියක අර කියපු මාන තුන තියෙන්න පුළුවන්ද කියලා. පුළුවන්. ඒකට නිදර්ශන ඕනෙ තරම් තියෙනවා.

  මම අවුරුදු තුන්දාහක් විතර පරණ කවියකින් මේක පෙන්නන්නම්. මේ ලියලා තියෙන ග්‍රීක කිවිඳිය සැෆෝ.

  pain penetrates

  me drop

  by drop

  වේදනාව විනිවිදියි

 මා බිඳෙන්

 බිඳ

   මම මාලන්ගෙ මේ පොතේ එන කවියක් දෙකක් විතරක් සාකච්ඡා කරන්න කැමතියි. ඒ අනික් අයට වෙලාව දෙන්න. මම කැමති නෑ අනවශ්‍ය තරම් වෙලාව ගන්න.

  තනිව

 

දොර හරිමි

සැඳෑවට

විඩාවෙන් පීඩිත සිතින්

 

තැන තැන තව ම

ළතවනා වැනි අඩක් හිස් කළ

තේ කහට බඳුන්

 

ගැටි බිඳුණු මැටි පහන්වල

පිරී ගිය හිස්කම

 

පුස් පසුඹ ගෙන

ගෙතුළ තනිකම

තනිව ඇවිදියි

 

නිල් දිගු මුහුලසක ගැවසී

මේ දැන් ඇද වැටුණ වැනි

පස් පෙති මලක්

ඉදිරි දොර වෙතින් ගෙතුළට

ඉඳහිට

ඇතුළු වෙයි

 

මගේ අර ආරම්භක නිර්වචනයේ තියෙනවානෙ කවියක යම් ආකාරයක සංගීතමය බවක් ගැන. ඒ කියන්නෙ රිද්මයක්නෙ. මාලන්ගෙ මේ පොත කවිවල ඒක තියෙන්නෙ තරමක් ඒකාකාර විදියට. ඒ රිද්මය ගන්නෙ පේළි බිඳෙන විදියට. ඒක තරමක් සන්සුන් නිරීක්ෂකයෙකුගේ රිද්මයක්. ජවසම්පන්න නිරීක්ෂකයෙකුගේ රිද්මයක් නෙමේ.

මේ පොතේ නිර්මාණ පිටිපස්සෙ ප්‍රධාන මිනිස් ස්වභාව දෙකක් තියෙනවා. ඒ නිර්මාණ පිටිපස්සෙ කාව්‍යමය චරිත දෙකක් ඉන්නවා කියන්නත් පුළුවන්. එක්කෙනෙක් ලෞකික ජීවිතයට ආසා කරන, තනිකම ගැන වැළපෙන, ජීවන ගමන යන්න සහකාරියකට ආසා කරන කෙනෙක්. තනිකම පිළිබඳ කවි කිහිපයක්ම තියෙනවා. අපි ඒ කවි පිටිපස්සෙ ඉන්න කෙනාට සාමාන්‍ය මනුස්සයාකියමු. අනික් කෙනා නොඇලුණු දාර්ශනිකයෙක් වගේ කෙනෙක්. ස්වභාවික ලෝකයේ මොකක් හරි අරන් ඒ ගැන දාර්ශනික භාවනා කරන්න හදන කෙනෙක්. එතකොට නන්දන වීරසිංහව අපිට මතක් වෙනවා. අපි ඒ කවි පිටිපස්සෙ ඉන්න කෙනාට ආලෝචකයාකියමු.

මට හිතෙන්නෙ මාලන් අර පළමු කෙනා, සමාන්‍ය මිනිසා යන මාර්ගයේ ගියොත් තමයි වඩා හොඳ. එතකොට තනිකම වගේ දේවලට අමතරව ජීවිතයේ විවිධ ආනන්ද කවියට නගන්න පුළුවන්. ටිම්රාන්, වෙඩිවර්ධන කරනවා වගේ.

 මේ පොතේ එන කජු බදින්නා සහ බැතිමතාකියන කවිය මගේ සිත ඇදගත්තා. ඒ කවිය අර මම කලින් කියපු දෙන්නා, එනම් සාමාන්‍ය මිනිසා සහ ආලෝචකයා එකතු වෙනවා. නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර වගේ අයගෙ ආලෝචකයො ඉන්න කවිය සාර්ථක වෙන්නෙ ඒ කවිවල අර සාමාන්‍ය මිනිසාත් ඉන්න වෙලාවට.

   කජු බදින්නා හා බැතිමතා

කුඩා කුටියකි

ගිනි උදුන් දෙකකි

එහි අපි දෙදෙන

 කෝකියෝ වූයෙමු

 

රත් කබල මත බැදෙයි

කිරි කජු පියලි,

කාලෙකින් හදන්නේ අද

 පැණි කජු බඳුනෙන් රැගෙන ඔහු පැණිත්තක්

 වියළුණු දෙතොලතර ලා ගනී

 

දනිමි, ඔහු සරණාගතයෙකි

 ඉතියෝපියාව නුදුරු ය අපටත්,

අප දෙදෙන අතරෙහි ඇති වෙනස

මට වඩා ඔහු මදක් කළුවීම

 

කතා බහ අඩු වුණත්

හිනා වෙනවා වැඩි ද ඔහු

 වරෙක නළලත රැලි නඟා

ගිලිගනු වැනි මහත් තැවුලක්

 

දැවෙන කබලෙන් පියල්ලක් ගෙන

නිසි පදම විමසමි ඔහු ගෙන්

ගින්න සැර වැඩි බව

සන් කොට කියයි ඔහු ඇඟිල්ලෙන්

එළා හැඩි වූ ගෙබිමෙහි රෙදි කඩක්

මඳ දුමින් අඳුරු වූ

 සුදු බිතට මුහුණ පා

 දණ නවා ඔහු නමදියි සිය දෙවියන්

 

මෙතෙක් මා හා එක් ව හුන්

 කජු බදින්නා කෙමෙන් ක්ෂය වී

මට පෙනෙයි ඔහු රුව අඳුරු සේයාවක් ව

ඈතින් ....  

    මේ කවිය මාලන්ගෙ පොතේ තියෙන හොඳම කවියක් කියා මට සිතෙනවා. වස්තු විෂය මත කරන භාවනාව ඇසුරින් දාර්ශනික අදහස් මතු කිරීමේ කාව්‍ය විධිය මාලන්ට ප්‍රිය බව පේනවා. ඒක හිතන තරම් ලේසි කාව්‍ය විධියක් නෙමේ. කවි පොතක එහෙම කවි ගොඩක් තිබෙන විට රසිකයා වෙහෙසට පත් වෙනා. අනික ඒ දාර්ශනික චින්තාව මිනිසා සහ ස්වභාව ධර්මය නමැති මහා සත්තාව පෙන්වන එකක් වෙනකොට දාර්ශනික චින්තාවත් ඒකාකාරියි.

 මේ කවියෙදි තමන් සමග එකට කජු බැද බැද උන් මිනිසා කිසිම දේව පිළිමක් නැති සුදු බිත්තිය ඉදිරියේ යාඥා කරද්දි ඒ මිනිසා නොපෙනී ගියා යැයි කියද්දි ගැඹුරු රූපයක් උපදිනවා. අපිව විස්මයානන්දයකට පත් කරනවා. ඔහුගේ දෙවියන් සුදු බිත්තියෙන් මතු වේ කිව්ව නම් තවත් හොඳයි.

 

    මාලන්ගේ කවිපොතේ තියෙන ප්‍රධාන දුර්වලකමක් තමයි ශිල්පමය ඒකාකාරීභාවය. එය ඇති වෙන්නෙ, කියන දේ ගැන තරමටම කියන විදිය ගැන අවධානය අඩුකමින්. අර මහාචාර්ය රැෆල්ගෙ නිර්වචනය අනුව 1 සහ 2 ගැන අවධානය අඩුවීම. මාලන්ගෙ කවියත් යම් ආකාරයක සංගීතයක් ඇති කරනවා. මෙතන සංගීතය කියන්නෙ රිද්මීයතාවට. ඒත් රිද්මීයතාව ඒකාකාරිය. කියන දේ අනුව වෙනස් වෙන්නෙ නෑ. අපේ ප්‍රවීණ කවියො සියලු දෙනාගෙම මෑත කාලීන කවිවල මම දකිනවා ඒ ප්‍රශ්නෙ. ඒත් මාලන්ගෙ විෂය දෙස බලන දෘෂ්ටියෙ නෛසර්ගික කවිකමක් තියෙනවා.

යම් වස්තු විෂයක් මත කවියා භාවනාව ආරම්භ කරන කොටම කවියා යන්නෙ කොහොද කියල අපට පෙනෙනවා නම් ඒක ප්‍රශ්නයක්. හොඳ කවියා අපිව අල්ල ගන්න ඕනෙ ඕෆ් ගාඞ්. ඒ කියන්නෙ තර්කයේ සහ බුද්ධියේ මුරකාරයො අපිව මුර කරගෙන නොඉන්ක වෙලාවක අල්ලගෙන කවියේ සෞන්දර්යාත්මක ප්‍රකාශනයෙන් අපිට යටතපත් කරන්න ඕනෙ. මේක කරන්න නම් එකම රිද්මීයතාවකින් මිදෙන්න ඕනෙ. මංජුල වෙඩිවර්ධන වගේ කවියෙක් තමයි මේ වැඬේ හොඳටම කරන්නෙ අද. ලොකු පණ්ඩිතකම් නොකියන කවියෙක් වන ටිම්රාන් කීර්ති වුණත් එහෙමයි.

 

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සමාන්‍ය ජීවිතය ඇසුරින් කවිය පටන් අරන් යම් දාර්ශනික අර්ථ සමුදායක් දෙසට කවිය ඔසවන අවස්ථා රොබර්ට් ෆ්‍රොස්ට්ගේ කවිවල තියෙනවා. මම එක පොඩි නිදර්ශනයක් කියන්නම්. ඒක මම කියන්නෙ මාලන් කවියාත් ඒ වගේ දාර්ශනික උනන්දුවක් පෙන්නන නිසයි.

ඒ කවිය හරි ප්‍රසිද්ධයි.

Stopping by Woods on a Snowy Evening

BY ROBERT FROST

Whose woods these are I think I know.   

His house is in the village though;   

He will not see me stopping here   

To watch his woods fill up with snow.   

 

My little horse must think it queer   

To stop without a farmhouse near   

Between the woods and frozen lake   

The darkest evening of the year.   

 

He gives his harness bells a shake   

To ask if there is some mistake.   

The only other sound’s the sweep   

Of easy wind and downy flake.   

 

The woods are lovely, dark and deep,   

But I have promises to keep,   

And miles to go before I sleep,   

And miles to go before I sleep.

 

මේ කවියෙ තියෙන්නෙ ඇමරිකාවේ, ඊසානදිග පැත්තෙ, සාමාන්‍ය ගමක සීත සෘතුවෙ සාමාන්‍ය ජීවිතය. කථකයා අශ්වයා පිට යනවා, ගම හරහා. හිම වැටිලා, ගස්වල අතුවලත් හිම රැඳිලා තියෙනවා. කථකයා එක්තරා නම් නොකළ ඔහු කෙනෙකුගේ ගේ ළඟ නවතිනවා. ඒ නිවැසි පුද්ගලයා නෑ. ඒ ගෙවත්ත හිමෙන් වැසී යමින් තියෙනවා. මේ අඳුරු හැන්දෑවෙ ඒ ගේ ළඟ නැවතීම අමුතු දෙයක් කියලා අශ්වයා පවා හිතයි කියලා කථකයා කල්පනා කරනවා. අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ ඒ ගේ කාගෙද කියලා. ඇයි ඔහු නැවතුණේ කියලා. ඒ නිසා අශ්වයා එයාගෙ තෝන්ලණුවෙ ගෙජ්ජිය හොල්ලලා අහනවා වගේ ඇයි මේ නැවතුණේ වැරදීමක්ද කියලා.

  ඊට පස්සෙ කවිය එසවෙනවා වෙනම තලයකට.

 මා නිදන්නට පෙර යා යුතු සැතපුම් ගණනාවකි කියන පදේ දෙපාරක් කියවෙනවා. මේ දෛනික, තථ්‍ය නින්දම නොවන බව අපට පේනවා. යායුතු සැතපුම්ද තථ්‍ය සැතපුම් පමණක් නොවන බව අපට තේරෙනවා. අපි දන්නෙවත් නැතුව වගේ කවියා අපව දෛනික සිද්ධියක් වෙතින් සංසාරය නොවේ නම් සමස්ත පැවැත්ම වෙත ඔසවනවා.

  දැන් බලන්න කවිය ආරම්භ කරන යථාර්ථ තලයෙන් වෙනස් යථාර්ථ තලයකට එසවෙන්න අපිටත් හොරෙන්. ඒක අපිට ප්‍රසන්න ආනන්දයක්. විස්මය සහිත ආනන්දයක්. එහෙම විස්මයානන්දය ඇති කිරීම කලින් ඉගෙනගත්තු සූත්‍රයකින් කරන්න බෑ. ඒ නිසා හොඳ කවියක් පැනනගින මොහොතෙ තියෙනවා, කලින් ඉගෙනගත්තු සූත්‍ර තෙරපෙන මොහොතක්, ඒ සූත්‍ර බිඳෙන මොහොතක්. ඒවගෙ යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් විතරක් සලකා බලන්න.

දැන් මම මේ කියපුව අසම්පූර්ණ අදහස් ටිකක් විතරයි.

 

  ලියනගේ අමරකීර්ති

 

No comments:

Post a Comment