ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද නවකතාව නිර්මාණශීලී කියවීමේ කාර්යක් විශේෂයෙන් අපේක්ෂා කරන නවකතාවකි. ඕනෑම ප්‍රබන්ධ කතාවක් නිර්මාණශීලී කියවීමක් පාඨකයා වෙතින් අපේක්ෂා කරන බව ඇත්තය. එහෙත් මෑතක සිට විශිෂ්ට නවකතාකරුවෝ තම ප්‍රබන්ධ පඨිතය වෙත පාඨකයාටද පැමිණ ක්‍රියාත්මක වන්නට ඉඩ විශේෂයෙන් සැලසුම් කරති. සිංහල නවකතා ක්ෂේත්රයේත් කතා කලාව ගැන හොඳ අවබෝධයක් ඇති අය එසේ කරති. පියල් කාරියවසම්ගේ වීදුරු කටු කැවුණු කලෙක, එරික් ඉලයප්ආරච්චිගේ ලලිත සමය එවැනි නවකතා වෙයි. කාරියවසම්ගේ නවකතාව එවැන්නක් ලෙස හිතාමතාම රචනා කර ඇති බව එය “විශේෂ සංස්කාරිකාවක” විසින් සංස්කරණය කරන ලද බව කෘතියේම සඳහන් කිරීමෙන් පෙනේ. සාමාන්‍යයෙන් සංස්කාරක කවුදැයි පොත්වල සඳහන් නොකරන නමුත් වීදුරු කටු කැවුණු කලෙක කෘතියෙහිදී එසේ කළේ එම කෘතිය අලුත් ආකාරයකට කියවිය යුතුය යන කාරණය විශේෂයෙන් මතක් කරන්නට විය යුතුය. එහෙත් එම කෘතිය පසුගිය වසරේ සම්මාන තරගවල ලැබිය යුතු තරම් අවධානයක් දිනා නොගත්තේය. සම්මාන සමයේදී කර්තෘ විසින්ම සංවිධානය කරන ලද එම කෘතිය පිළිබඳ “විශේෂ සංවාදයකින්” පසුව පවා ඒ කෘතිය වැද්ද ගනු ලැබුවේ එක් සම්මාන උළෙලක පරිධියට පමණි.
මෙවැනි සාහිත්‍ය කෘති පාඨක විචාරක අවධානයෙන් ගිලිහී යාම වැලැක්වීමට කළ හැකි දෙයක් නම් ඒවා නිර්මාණශීලී කියවීම්වලට ලක් කිරීමයි. එසේ කිරීමේදී එවැනි කෘති පමණක් තෝරා කියවීම වත් ඒවා තමන්ගේ ගුරුකුල දහම්වලට ගැලපේද ඒවා තමන් හා එකට කන බොන අයගේ කෘතිද යන කාරණා නොසලකා ඒවා කියවීමවත් නොකළ යුතුය. නිර්මාණශීලී කියවීමක් සැපයිය හැක්කේ වීදුරු කටු කැවුණු කලෙක වැනි අත්‍යවශ්‍ය ආඛ්‍යාන සැකිල්ල පමණක් ඉතිරි වන සේ පෘෂ්ටීය පඨිතය (එනම් ශෛලිය, උපමා රූපක, භාෂාව ආදිය) සංස්කරණය කරන ලද කෘතිවලට පමණක් නොවේ. භාෂාවෙන්, උපමා- රූපක අලංකාරිකවලින්, සංඥාර්ථවේදීමය ඉඟි කිරීම්වලින්, උපාඛ්‍යාන හා සවිස්තර තොරතුරුවලින් පිරි ඉතා ගණ පෘෂ්ටීය පඨිතයක් ඇති නවකතාවලටද හොඳ කියවීම් සැපයිය හැකිය. එනම් බුද්ධදාසි වැල්වටාරමක්ද වීදුරු කටු කැවුණු කලෙක කලා කෘතියක්ද වශයෙන් ඇතමුන් විසින් වටහා ගැනෙන බව පෙනේ. නියම විචාරකයා කළ යුත්තේ මේ කෘති දෙකෙන් පෙනෙන්නේ ආඛ්‍යාන කලා ප්‍රභේද දෙකක් බව වටහා ගැනීමයි.
සෑම නවකතාවක් පිළිබඳවම තමන්ට හැකි හොඳම කියවීම සපයමින් ඒ කෘතිය ගැන තම අදහස ප්‍රකාශ කිරීම නියම විචාරකයාගේ කාර්ය වුවද කෘතියෙහි එන කථකයා විසින් යම් කෘතියක තේමාත්මක මානය සෘජුව ඉඟි නොකරන නවකතා කියවීමේදී වඩාත් නිර්මාණශීලී වීමට පාඨකයාට සිදු වෙයි. යම් කෘතියක තේමාව මේ යැයි සෘජුව නොකියන්නේ හේතු කීපයක් නිසා විය හැකිය. එකක් නම් ආඛ්‍යානයෙහි එන සිද්ධිදාමය විසින් තේමාව ඉතා පැහැදිලි වන බැවින් එය කථකයෙකු විසින් පෙන්නා දෙනු ලැබීම අනවශ්‍ය වීමයි. ඇතැම් විටෙක යම් කෘතියක තේමාත්මක මානය ආඛ්‍යානයේ යම් තැනක කලාත්මකව සඟවා තිබෙන නිසා එය පාඨකයා විසින් සොයා ගැනීම අපේක්ෂා කෙරෙයි. ආඛ්‍යාන පඨිතය කියවීමේ ප්‍රීතිය එයයි. එවන් කෘතිවල තේමාත්මක අර්ථය මතුව එන්නේ අර සැඟවුණ කරුණු සොයා ගත් විටයි. සමහර නවකතාකරුවන් සිය කෘතිවල තේමාත්මක ඉලක්කය හෙළි නොකරන්නේ තමන් විසින් සපයන ලද ආඛ්‍යානය එය කියවනු ලබන සංදර්භයට අනුව, එනම් පාඨකයාගේ සංදර්භයට අනුව කියවනු ලැබීමේ අවස්ථාව දීම සඳහාය. තවත් සමහර ලේඛකයන් තම ආඛ්‍යාන නිශ්චිත තේමාත්මක මානයකින් යුතුව ගොඩ නගන්නේ හුදෙක් ආඛ්‍යාන ප්‍රීතිය හෙවත් කියවීමේ ප්‍රීතිය ලබාදීම පමණක් තම අරමුණ වන බැවිනි. මේ ප්‍රීතිය නිර්-උපයෝගීතා ප්‍රීතියකි. එනම් ආඛ්‍යාන කියවීමෙන් දේශපාලනය වැනි මිනිස් ක්‍රියාකාරකම්වලට සෘජු උපයෝගීතාවක් නොලැබේ යන විශ්වාසයයි. එවැනි නවකතාවක් පවා පාඨකයෙකු විසින් යම් සමාජ-දේශපාලන තේමාවක් මතු වන සේ කියවීම වරදක් නොවේ. එහෙත් එසේ කළ නොහැකි වූ කල එම පාඨකයා කෘතියට ද්වේශ කරන්නේ නම් එය වරදකි. එවන් පාඨකයන් කළ යුත්තේ තමන්ගේ කාර්යට ගැලපෙන වෙනත් කෘතියක් සොයා ගැනීමයි.
චුම්බන කන්ද නොකියවීම
ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද නවකතාව පළ වී සෑහෙන කාලයක් ගත වුවත් ඒ කෘතිය සමග නිර්මාණශීලී කියවීම් අරගලයක් කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී සිටිනු දක්නට නොලැබිණ. දේවදූතයන් පය ගසන්නට යන තැන්වලට මෝඩයෝ දඩිබිඩි ගා කඩා වදිතියි කියමනක් තිබෙන බැවින් විය යුතුය. පළවෙනි මෝඩයා වීමට බය අයට කිසිම සංවාදයක් අරඹන්නට බැරිය. අනෙක සාහිත්‍ය කියවීම හා විචාරය යනු දේවදූතයන්ගේ වැඩක් නොවේ. තමන් දේවදූතයන් නොව දෙවියන්ම යැයි සිතා ගත් විචාරකයන්ට සාහිත්‍ය වෙනුවෙන් කළ හැක්කේ අල්ප මෙහෙයකි. මිනිස් සංවාදයක් ඇරඹීම වෙනුවෙන් එක් වරක් නොව දෙතුන් වරක් මෝඩයෙකු වීම හොඳ යැයි සිතූ මම මෙම රචනය කරන්ට සිතුවෙමි!
ඕනෑම හොඳ නවකතාවක් පාඨක නිර්මාණශීලිත්වයට ගරු කරන අතර චුම්බන කන්ද පාඨකයාගේ නිර්මාණශීලිත්වයට විශේෂ ඉඩක් සලසන නවකතාවකි. සිය ආඛ්‍යානවලට සියුම් අරුත් නගන නම් දෙන කම්මැල්ලවීර මේ නවකතාවට දී ඇත්තේ මිනිස් ජීවිතයේ භාවමය හා කායික මානය අඟවන නමකි. මේ නවකතාව ආරම්භ වන්නේ හිටපු කරුලිකරුවෙකු අවුරුදු තිහක තම ජීවිතය දෙස යළි සලකා බලන දර්ශනයකිනි. 1971 කැරැල්ලේදී යම් ප්‍රහාරයකට ගිය කැරලිකරුවන් කණ්ඩායමක් ඒ ප්‍රහාරය වැරදීමෙන් විසිරී යයි. ඉන් තුන් දෙනෙක් එක්ව පසු බසින අතර පොඩි සිංහයා යන නම ගත් කැරලිකරුවෙකුගේ කකුලට පොලීසියෙන් තබන ලද වෙඩිල්ලක මූනිස්සමක් වදියි. මෙය සිදුවන්නේ විශාල ගල් කන්දකින්ද යුතු කැලෑබද පෙදෙසකදීය. මේ ඉලක්කයක් නැතිව තබන ලද වෙඩිල්ල සිංහයාගේ ජීවිතය වෙනස් කරයි. මේ නවකතාවේ සිද්ධිදාමයට ප්‍රාණය සපයන්නේ අහම්බෙන් මෙන් වැදුණ වෙඩිල්ලයි. එතැන් සිට වර්ධනය වන සිද්ධි මාලාවට ඇත්තේද අහම්බයේ තර්කනයයි. පොඩි සිංහයා තිස් වරසකට පසු නැවත විශ්ලේෂණයේ යෙදෙන්නේ එසේ අනපේක්ෂිත ලෙස වෙනස් කරන ලද සිය ජීවිතය ගැනයි. මෙය නැවත විශ්ලේෂණයේ හෙවත් ප්රත්යෙක්ෂණයේ නවකතාවක් බව එම ආරම්භයෙන්ද පොඩි සිංහයා තමාග් ජීවිතය ගැන ප්රත්යෙක්ෂණයේ යෙදෙන සටහන් පොතෙන්ද පෙනේ.
පොලිසිය සමග වෙඩි හුවමාරුවේදී පොඩි සිංහයාගේ කකුලට වෙඩි වදියි. ඔහු හා ඉතිරි වන සගයන් පසුදින වන විට පොඩි සිංහයා රෝහලකට ගෙන යන අතර එහිදී තිදෙනාම අත්අඩංගුවට පත් වෙති. වසර හයකට පසු තිදෙනා පැරණී විප්ලවීය දේශපාලනයෙන් ඉවත්ව එක් එක් මංවල ගමන් කරති. ඉන් පොඩි සිංහයා තමා වෙඩි වැදී වැටුණ චුම්බන කන්දේ කැලය වෙත ආපසු එයි. ඔහුගේ ජීවිතයේ ඉන් පසු වසර තිහක්ම ගත වෙන්නේ එම කැලය අක්කර සීයක තේක්ක කැලයක්. ගොවිපලක්, භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කරන්නටය. එහෙත් මේ ගොවිපල සමාජවාදී කැරලිකරුවෙකු සාමාන්‍යයෙන් ගොඩ නගන්නට ඉඩ ඇති ජනතාවාදී සමූහ ගොවිපලක් නොවේ. ඒ අතින් එය හෙය්යම්මාරුවේ ගොවිපළද වෙනස්ය. ඒ නිසාම මේ ගොවිපළෙහි සංකේතමය අගය වැඩිය. පොඩි සිංහයා කරන මේ සෙවීම හා වැවීම තමාගේම විඥානය සෙවීමට හා වැවීමට ගන්නා තැතක් වැනිය.
මේ චුම්බන කන්ද වෙත නවතින්නට පොඩි සිංහයා තීරණය කරන්නේ මන්දැයි යන්න මෙම නවකතාවෙන් පැහැදිලි නොවේ. නවකතාවේ බොහෝ සිද්ධි මෙහෙය වන්නේ මිනිස් විඥානය විසින් මෙහෙය වන ලද දැනුවත් හේතුපල සම්බන්ධයකින් නොවේ. පොඩි සිංහයාගේ ජීවිතය මේ මාවතේ ගමන් කරවන්නේ ඉලක්කයකට නොතබන ලද වෙඩිල්ලකි. ඒ නිසා කෘතිය මිනිස් ජීවිතය තුළ අහම්බය හා සැලසුම් විරහිත බව ගවේෂණය කරන නවකතාවක් වැනිය. මෙය කතා කීමේ නවකතාවකට වඩා ප්රත්යෙක්ෂණයේ නවකතාවකියි මා කීයේ එහෙයිනි.
චුම්බන කන්ද පිහිටියේ මිනිස් වාසයෙන් සාපේක්ෂ වශයෙන් දුරස්ථ තැනකය. එහෙත් ඊට ඇත්තේ මිනිස් බව, ආශාව හා මිනිස් සහ වාසය අඟවන නමකි. චුම්බනය හුදෙකාලව කළ හැකි කාරියක් නොවේ. චුම්බනය යනු මිනිසාගේ සාමූහික බවද එකිනෙකා වෙතින් මිනිසා ලබන කායික- භාවමය අන්තර්පෝෂණය අඟවන ක්‍රියාවකි. ඒ නිසා පොඩි සිංහයා ජීවිතය වෙතින් පලායාමට තෝරා ගන්නා මේ ස්ථානයට ඇත්තේ උත්ප්රාසාත්මක නමකි. කැරැල්ලේ පරාජයෙන් පසු තමාවම යළි සොයා ගැනීම සඳහා ඔහු හුදෙකලා වන තැන වෙත ඔහු දුරස්ථව සිටින්නට තැත් කරන සියලු දේ ක්‍රමයෙන් වුවද ගලා එයි. දේශපාලන කැරලිකාරිත්වයෙන් ඈත්ව සිටින පොඩි සිංහයාට 1987-89 සමයේ දෙැවැනි කැරැල්ලේ කැරලිකාරයෙකුට රැක වරණ දෙන්නට සිදු වෙයි. ආයුධද හිංසනයද පැමිණෙයි. ඔහුගේ එක් දේශපාලන සගයෙකු ධනේශ්වර දේශපාලනයට සම්බන්ධ වී නියෝජ්‍ය ඇමතිවරයෙකු බවද පත් වෙයි. ඔහුගේ අනියම් බිරිඳ චුම්බන කන්දේදී ඔහු හා පෙම් කෙළිමින් සිටියදී සිදුවන අනතුරකින් මිය යයි. හුදෙකලාව වනයේ දිවි ගෙවන තාපස පොඩි සිංහයාට දාව එක්තරා ගැහැනියක් පුතෙකු බිහි කරයි. හුදෙකලා වනාන්තරයක් වන චුම්බන කන්ද අවසානයේ ප්රාග්ධනයේද ආගමේද ආශාවේද අඩවියක් බවට පත් වෙයි. ජීවිතයෙන් පලායාම සඳහා චුම්බන කන්ද වෙත පසු බසින පොඩි සිංහයා ක්‍රමයෙන් ඇදී ගොස් ඇත්තේ ජීවිතය වෙතමය. ආශාව, ලිංගිකත්වය, හිංසනය, රැස් කිරීම(ධනය) සේම ආධ්‍යාත්මික ගවේෂණයද ජීවිතයේම කොටස් බවද මේ කතාකරුවා උපමා බසින් කියන්නේ? හිටපු කැරලිකරුවන් යෙදෙන භාවනාව කිරීම වැනි ඒකපුද්ගල ආත්ම ගවේෂණයන් අවසාන වශයෙන් කිසිම කැරලිකාරිත්වය ප්‍රකාශ නොකරන බවද මේ කියවෙන්නේ? අක්කර සියයක් පුරා වැවෙන තේක්ක වගාව තව අවුරුදු දහයකින් රුපියල් කෝටි ගණනක ධනයක් පොඩි සිංහයාට උපයා දෙන බව ඔහු දනියි. මේ වූකලි අවුරුදු තිහක් චුම්බන කන්ද වෙත වූ ඔහුගේ බැඳීම හෙවත් ආශාව ප්රාග්ධනය බවට පෙරලීමය. එනම් ඔහුගේ පළායාම හා නෛෂ්ක්‍රම්‍යය ව්‍යාජයකි. මේ නිසා ඔහු චුම්බන කන්ද හීලෑ කිරීමක යෙදුණත් සැබවින්ම සිදුව ඇත්තේ චුම්බන කන්ද විසින් ඔහු හීලෑ කරනු ලැබීමයි.
මේ නවකතාවේ ප්‍රධාන චරිත වන පිරිමින් තිදෙනාගේ පුද්ගල ව්‍යායාමවල පසුබිමෙහි සිටින ස්ත්රීන්ගේ කටහඬ නවකතාව අගදී “අතුරුපස” යන හිසින් යුතුව ඉදිරිපත් කරනු ලැබේ. ඒ ප්‍රකාශ තුන පිරිමින් තුන්දෙනෙකුගේ ජීවිත වෙත කවුළු තුනක් විවර කරන අතර ඔවුන්ගේ ව්‍යායාමවලදී ස්ත්‍රීන් හුදු අතුරු පසක් වී ඇති බවද පෙන්වයි.
චුම්බන කන්ද වැනි නවකතාවක් කියවීමේදී පාඨකයාට නිර්මාණශීලි ක්රියාකාරියත්වයකට මැදි වන්නට සිදු වෙයි. එහිදී ඔහුට හෝ ඇයට ඒ ප්‍රබන්ධ අත්දැකීම විඳීමේ බුහුටිකමද තිබිය යුතුය. යම් රචකයෙකු පැහැදිලි තේමාත්මක අදහසක් හඳුනා ගන්නට ඉඩ නොතියා සිය පඨිතය රචනා කරන්නේ එම පඨිතය පණිවිඩයක් බහාලන ලද භාජනයක් ලෙස නොව අත්දැකීමක් සාදන ලද ව්‍යූහයක් ලෙස පාඨකයා විසින් සලකනු ලැබීම අපේක්ෂාවෙනි. අජිත් තිලකසේන කවදත් මෙවැන්නක් පාඨකයාගෙන් අපේක්ෂා කළ කෙනෙකි. ඔහුගේ නවතම කෘතිය වන පස් වසරක් (2010) කතා සංග්‍රහයෙන්ද මෙය පෙනේ. කම්මැල්ලවීර කතා කලාවට පිවිසියේ අන්තර්ගතය කේන්ද්‍රීය කතා ලියන්නෙකු ලෙසය. ඉන් පසු ක්‍රමයෙන් කර්තෘ-කේන්ද්‍රීය අන්තර්ගතය වෙතින් පාඨක-කේන්ද්‍රීය අන්තර්ගතය සහිත කතා කලාවක් දක්වා සිය කතා කලාව සියුම් කරන්නට ඔහුට හැකි විය. මේ නවකතාවෙන්ද පෙනෙන්නේ ඒ පාඨක-කේන්ද්‍රී අන්තර්ගතයෙන් යුතු කතා කලාවයි. සංකීර්ණ ප්‍රබන්ධ පඨිතයක් නිමවා පාඨකයා අතට දී කතුවරයා ඈතින් සිටින කතා කලාවකි මේ.
ලංකාවේ දකුණේ දේශපාලන කැරලි ආශ්රිත චරිතවල ජීවිතය ගවේෂණය කරන නවකතාවක් ලෙස මෙම නවකතාවට මීට වඩා පැහැදිලි තේමාත්මක මානයක් තිබිණි නම් මැනවියි මට සිතුණද මෙය ප්‍රබන්ධ රචනය පිළිබඳ නිර්මාණශීලිත්වය පෙන්වන කෘතියකි. අජිත් පැරකුම් ජයසිංහ නම් තරුණ ලේඛකයාගේ ප්‍රථම නවකතාව වන ශාස්තෲ කෘතියෙන්ද දකුණේ දෙවැනි කැරැල්ලට සම්බන්ධ වූ පරම්පරාවේ පශ්චාත් කාලීන ජීවිතය - විශේෂයෙන්ම ඔවුන්ගේ ආශාවේ ජීවිතය - ගවේෂණය කරන්නට තැත් දැරෙයි. චුම්බන කන්ද, ශාස්තෘ, හා ප්‍රභාත් ජයසිංහගේ අනවරත කාව්යාඛනය එකිනෙක සමීප විෂය පදාසයක් ගවේෂණය කරයි. ඒවා අපේ බුද්ධිමය- භාවමය ලෝකය වෙත උකහා ගැනීම අවශ්‍ය වෙයි. එහෙත් සාහිත්‍ය විචාරය යනු අපේ ශ්රමයට ස්තුතියක් වත් නැතිව අප කිහිප දෙනෙකු විසින් පමණක් කරගෙන යන කාර්යකි. අලුත් නවකතා බිහි වන අතරම අලුත් විචාරක පිරිසක්ද බිහිවීම අවශ්‍ය වෙයි. එසේ නොමැතිව මේ නිර්මාණකරුවන් සමග නියම හා අඛණ්ඩ සංවාදයක් පවත්වාගෙන යා නොහැක්කේය.
/* අජිත් පැරකුම් ජයසිංහ නම් තරුණ ලේඛකයාගේ ප්‍රථම නවකතාව වන ශාස්තෲ කෘතියෙන්ද */
ReplyDeleteවිශේෂණ පදය ගැන අජිත් සතුටු වේ යැයි සිතමි!
-Rasika
මේ නවකතාවේ මා කැමති ම කොටස නම් පූජාවක් පවත්වන්නට පැමිණි කාන්තාවක් සොයා තවුස් දම් ගෙන පුද්ගලයා රාගී සිතින් යන ගමනයි!
ReplyDelete