Thursday, March 4, 2021

ගුණසිංහ මහත්තයා ගැන පෞද්ගලික මතක බිඳක්- ලියනගේ අමරකීර්ති

 



  

1990 වර්ෂයේදී විශ්වවිද්‍යාල නැවත විවෘත වූයේ 1987-9 භිෂණයෙන් පසුවය.  ඒ වන විට විශ්වවිද්‍යාලවලට සම්බන්ධයක් නැති සාහිත්‍යකාර තරුණතරුණියෝද 1990 පසුව නැවත එකිනෙකා මුණ ගැසෙන්නට, සාහිත්‍ය කලා සංවාදවලට එළඹෙන්නට පටන් ගෙන තිබිණි. 87-9 භීෂණය කොතරම් නම් භීෂණකාරීද යත් 90 වර්ෂය වන විටම දේශපාලන නැඹුරුවක් සහිත තරුණ කණ්ඩායම් යළි එක් රැස්වීම යනු හිතාගන්නවත් බැරි තරම් වැඩකි.

90 පරපුර නමින් සාහිත්‍ය කලා ආදිය ගැන උනන්දු කණ්ඩායමක් ඇති විය. එය හුදෙක් ඉබේම වාගේ ඇති වූ ළිහිල් සාහිත්‍ය රසික කණ්ඩායමක්ද නැති නම් පිටුපසින් යම් දේශපාලන අරමුණක් වූ කණ්ඩායමක්ද යන්න මම නොදනිමි. එහෙත් 90 පරපුර කණ්ඩායමෙන් කෙරුණේ ප්‍රධාන වශයෙන් කලා වැඩය. සාහිත්‍ය පිස්සුව නිසාම ඒ කණ්ඩායමේ ඇතැම් වැඩවලට සම්බන්ධ වූ මට කමල් පී. අලහකෝන් සහෝදරයා ඇතුළු කිහිපදෙනෙකු නිසා වැදගත් පුද්ගලයෙක් හුනා ගන්නට ලැබිණ. ඒ දයාසේන ගුණසිංහ මහතාය. ඒ එක එක සාහිත්‍ය වැඩවලට ඔහුගේ උපකාර ලබාගැනීමටය.

ඒ කාලයේ දයාසේන ගුණසිංහ මහතා දිවයින පුවත්පතෙන් අනිවාර්ය නිවාඩු යවා (හෝ ඊට සමාන තත්ත්වයකින්) උන්නේය. ඒ නිසා ඔහුට සාපෙක්ෂ නිදහසක් තිබිණ. අපි විටින් විට ඔහුගේ නිවසට ගොස් ඔහු සමග කතාබහෙන් ලැබුවේ අපමණ ප්‍රීතියකි. මහරගම ඔහුගේ නිවසේ ඔහුගේ පෞද්ගලික පුස්තකාලය සහ ලියන කාමරය පිහිටියේ පිටතින් ඇතුළු විය හැකි පරිදිය. ඒ නිසා ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට බාධාවක් නොවී ගුණසිංහ මහත්තයා සමග කතා කරන්නට හැකි විය. ඒ අයට බාධාවක් නොවුණේ යැයි කීවද ඔවුන් සෑම විටෙකම අපට හොින් සංග්‍රහ කළ නිසා අපගේ පැමිණීම කරදයක් වන්නට ඇත.

නිවසට පැමිණ තමා හමුවන්නැයි ගුණසිංහ මහත්තයා මට පණිවිඩයක් එව්වේ 1990 වර්ෂයේ මැද වසරේ විතරය. ඊට හේතුව එවකට මුද්‍රණය වෙමින් පැවති මගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ මානව භක්තිය හා සිත්තරා කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දේශනයකට එතුමා සම්බන්ධ කර ගැනීමට කමල් පී. අලහකෝන් සහෝදරයා මැදිහත්වීමය. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වර්ෂයේ ශිෂ්‍යෙයකු වූ මම කමල් සහෝදරයාත් සමග එහි ගියෙමි. ඒ වන විට මගේ කෙටිකතා පොත කියවා සිටි ගුණසිංහ මහත්තයා සතුටු මුහුණක් පෑවේය. උපහාස බිණීමෙහි බුහුටු ඔහු මා උපහාසයට ලක් කරතියි මා සිටියේ බියෙනි. ඔහු ඒ කතාවල දුර්වල තැන්ද යම් ප්‍රබලතාවක් තිබුණ තැන්ද පෙන්වා දුන්නේය. ගුණසිංහ මහත්තයාට කියවන්නට දුන් ඒ පොතේ කවරෙ නැති මදේ තවමත් කමල් පී. අලහකෝන් සහෝදරයා ළ ඇතැයි මෑතකදී දැනගතිමි.



                        (මගේ පළමු පොත මානව භක්තිය හා සිත්තරා දොරට වැඩුම - 1990 කොළඹ විශ්වවිද්‍යාලයේදී දයාසේන ගුණසිංහ මහතා වේදිකාවේ)

ඒ වන විට කේතුමතී හෝටලයේ රාත්‍රියක් කෙටිකතා සංග්‍රහය පළ කර සාහිත්‍ය ලෝකයට නැවත පැමිණීම නිවේදනය කර සිටි ඔහු මගේ පොතේ දොරට වැඩීමේ උත්සවයේ දේශනය කළේය. ඊ ළ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදී ඔහුගේ කෘතිය සම්මානය දිනාගත් අතර මගේ පොත විශිෂ්ට කෘතියක් ලෙස නම් කරනු ලැබිණි. එය අනපේක්ෂිත ගෞරවයක් විය. 1990න් පසුව නිතර දෙවේලේ මම තනිවමද ඔහුගේ නිවසට ගොස් සාහිත්‍ය ආදිය ගැන කතාබහ කළෙමි. ඒ වන විටත් ඉංග්‍රීසි පොතපත කියවීමේ හැකියාවෙන්ද පුරුද්දෙන්ද සිටි මට කියවිය යුතු පොතපත ගැන ගුණසිංහ මහත්තයා නිතර උපදෙස් දුන්නේය. ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ ලෝකයේ විවිධ රටවල සාහිත්‍ය කෘති තිබිණි. විවිධ රටවල දේ කියෙව්වද ඔහු තමන් සියල්ල දන්නා කෙනෙකු යැයි අවන වහසි බස් නොදෙඩුවේය. කියවිය යුතු පොතපත ගැන ඔහු කියාදුන්නේ වක් මගිනි; අණක් පණවන්නෙකු සේ නොවේ. ඔහු කොච්චර කඩු පොත් කියවූද ජීවත් වූයේ අපේ රටට මුල් ඇති සාමාන්‍ය කෙනෙකු මෙනි. අප සමග කතා කරන විටද බුලත් විටක් සැපුවේය. දේශීයත්වය ගැන ගෞරවයක් ඇතත් ලෝකයෙන් ඉගෙනගැනීමට ඇති දේ ගැන විවෘත මනසකින් පසුවීමේ වැදගත්කම ගැන විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ සිසුවෙකු වූද ජවිපෙ දෙවැනි කැරැල්ල ආශ්‍රිත දේශපාලනයෙන් දිවිගලවා ගත්තා වූද කෙනෙකු වූ මට ගුණසිංහ මහත්තයාගෙන් ලැබුණේ ඉතා වැදගත් ආභාසයකි.

ඔහු සාහිත්‍යයට අමතරව තවත් විවිධ විෂයයන්, විශේෂයෙන් විද්‍යාව ගැන දැක්වූයේ තරුණයෙකුගේ වැනි උනන්දුවකි; කුතූහලයකි. ඔහු ඒ විවිධ විෂයයන්හි පැතිරුණු උනන්දුව මටත් බෝ කළේය.

ඔහු කිසිම දැවැන්ත ප්‍රතිරූපයකට බය නැති ස්වාධීනත්වක් ඇති කෙනෙක් වූයේය. එවකට වාගාගබ්බර ගිණිකෙළි සංදර්ශනවලින් සාහිත්‍ය ක්ෂේත්‍රය වශී කරගෙන සිටි එක් මහාචාර්යවරයෙක් තමන් ද්විභාෂික යැයිද දැන් ඉන්නා කට්ටිය ඒකභාෂික යැයිද නිතර වහසිබස් කීවේය. ඔහු පරිවර්තනය කළ පොතක් දවසක ගුණසිංහ මහත්තයාගේ මේසයේ තිබිණි. මිනිහ හොට සංස්කෘත තත්සම එහෙම දාල සිංහල නම් ලියනවා. හැබැයි එයාට ඉංග්‍රීසි තේරෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ. ගුණසිංහ මහත්තයා කීවේය. ඔහු මුල් කෘතියේ එන වැකි කියවා කියවා මට විස්තර කළේය. එදවස ඒ ඉංග්‍රීසි මට තේරුණේ නැතත් අර මහාචාර්යවරයා තමාම කෑ ගසා කියන තරම් ද්විභාෂිකයෙකු නොවන බවත්, කිසිම ලේඛනයක් ඉංග්‍රීසියෙන් ලියා නැති බවත්, ඉංග්‍රීසියෙන් දේශනයක් පැවැත්වීමේ හැකියාවක් ඔහුට නොවූ බවත් මම පසුව දැන ගතිමි.

 

ගුණසිංහ මහත්තයා දිවයිනෙන් අයින් වී සිව්දෙස නම් විශේෂාංග පුවත්පත පටන්ගන්නා විට එහි ආරම්භක ලේඛක පිරිසට මාද ඇතුළත් විය. දෛනික දේශපාලන ප්‍රවෘත්තිවලින් එපිටට ගිය මහජන දැනුම වර්ධනය කරන පුවත්පතක් ආරම්භ කිරීම ඔහුගේ අරමුණ බව කීවේය. සිව්දෙස පුවත්පතේ ආරම්භක කලාප කිහිපයකටම මම ලිව්වෙමි. ඒ නිසා ගුණසිංහ මහත්තයා මගේ පළමු පුවත්පත් කලා ගුරුවරයා විය. ඒ පුවත්පත සහා යම් යම් දේ පරිවර්තනය කරන්නට ඒ මහතා මට ආරාධනා කළේය. ඒ පරිවර්තනය පිණිස මගේ පළමු හුරුවද විය.

අධ්‍යාපන කටයුතු වෙත අවධානය යොමු කිරීමද වෙනත් විවිධ හේතුද නිසා ගුණසිංහ මහත්තයා සහ මා අතර සමීප සම්බන්ධය ඈත් විය. සිව්දෙස පුවත්පතද ඩයිජස්ට් සරාවක් බවට පත් විය. ගුණසිංහ මහත්තයා වැනි යෝධයෙකු හා සසන කල ඒ ප්‍රකාශනය ඉතා කුඩා එකක් විය.

ටික කාලයකට පසු ගුණසිංහ මහත්තයා බලවත් සේ අසනීප වී සිටින බව ආරංචි වී වික්ටර් අයිවන්, සුනිල් ජයසේකර, ආනන්ද ජයසේකර, කමල් පෙරේරා සහ මම ඔහු බලන්නට මහරගම ගියෙමු. ඔහු සුපුරුදු සිනාමුහුණින්ද උපහාස කතාවෙන්ද අප හා කාලය ගත කළේය. එදින ඔහු කී දෙයක් මට තාම මතකය.

ඔහු අසනීප වී රෝහලේ සිටි ඔහු බලන්නට ඔහුටද සම්බන්ධයක් තිබූ පත්තර කන්තෝරුවක තුන්දෙනෙක්  ආහ. ඒ වන විටත් ඔහුගේ හදිසි රෝගයේ අක්මුල් සොයාගෙන නොතිබිණි. පසුදින වෛද්‍යවරයා ගුණසිංහ මහත්තයාට එක් රෝග නිශ්චයක් හෙළි කළේය: විෂබීජයක් ගිහිල්ලා. කොහොමද ඒක වෙන්ඩ ඇත්තෙ කියල අදහසක් තියෙනවද?

විෂබීජ තුනක් ඊයෙ ආවා කෝක ගියාද දන්නෑ. ගුණසිංහ මහත්තයා පිළිතුරු දුන්නේය.

අප ආපසු එන විටද ඒ කතාවද ඔහු කී තවත් උපහාස කතාද සිහි කර සිනාසුණෙමු. ගුණසිංහ මහත්තයා ආයෙත් ලෙඩ උනොත් මෙහෙම කියයිද දන්නෑ: විෂබීජ පහක් ආව කෝක ගියාද දන්නෑ. කිසිවෙක් කීවේය.

ඒ මහත්තයාගේ උපහාසාලාප එවැනිය.

විශිෂ්ට සාහිත්‍යය හුනා ගැනීම සම්බන්ධයෙන් ඔහුට වූයේ පුදුමාකාර ඉවකි. එරික් ඉලයප්ආරච්චිගේ කවියේ විශිෂ්ටතාව මුලින්ම දුටු අය අතර ගුණසිංහ මහත්තයාද සිටියි. ඉලයප්ආරච්චිගේ මුල් කෘති දෙක දැක ගුණසිංහ මහත්තයා ඒවා අපේක්ෂා සහගතව අගය කළේය. සිය දොරමඩලාව කාව්‍ය සංග්‍රහයට ගුණසිංහ මහත්තයා ලියූ පෙරවදනින් එය පෙනේ. ඔහුගේ අගය කිරීමට ලක් වූ තවත් එක් කවියෙකුගේ පසු කාලීන ප්‍රහේලිකාකාර කවි දැක ගුණසිංහ මහත්තයා මෙසේ කීවේය. ඔය විදියට ගියොත් සිංහල කවිය කටුගෙයි තමයි තියන්ඩ වෙන්නෙ.” සාහිත්යික විශිෂ්ටත්වය සහ මොළයෙන් නිපදවන බුද්ධිවාදී ප්‍රහේලිකා අතර සියුම් වෙනස ගැන ඔහු නිතර කල්පනා කළේය. ගුණසිංහ මහත්තයා තව දුරටත් කවි ලියමින් ජීවත් වී නම් රණවීර, එරික්, නන්දන, පරාක්‍රම වැනි අය අතර අපේ ප්‍රධානතම කවියෙකු ලෙස ඔහුද වැජඹෙන්නට ඉඩ තිබිණි. අද පවා ඔහු සිටින්නේ අර අයට වඩා බොහෝ පිටුපසින් නොවේ. එහෙත් ගුණසිංහ මහත්තයාට තව කවි පොතක් දෙකක් ලියන්න ලැබුණා නම් කොතරම්ද යන්න සිංහල කවිය හදාරණ මට නිතර සිතෙන දෙයකි.

ඉස්සර මා හා ඔහු කළ කතා අතරතුර නවකතාවක් ලිවීමේ සැලැස්මක් ගැන ඔහු කතා කළේය. ඔහු එය නිම කළේදැයි ඔහුගෙන් අසන්නට මට අවස්ථාවක් නොලැබිණි.  

ලේඛන කලාවට පිවිසෙන්නට මට අතදුන් බොහෝ දෙනෙකු අතර ගුණසිංහ මහත්තයාද වැදගත්ම කෙනෙකි. අපේ දේවල්ද ලෝකයේ දේවල්ද වීවෘත මනසින් අගය කළ හැකි, ලෝක පුරවැසියෙකු සේ සෙසු මනුෂ්‍යයා ගැන සිතන්නට හැකි එවැනි මුදුමොලොක් බහුශ්‍රැතයන් ගැටවර වයසේදීම කෙනෙකුට මුණගැසීම වාසනාවකි.

 (2016 මැයි මාසයේ පමණ සිළුමිණ පුවත්පතෙහි පළ විය)

 

No comments:

Post a Comment