පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය සුදේශ් මන්තිලකගේ නර්තන අධ්‍යයන න්‍යාය සහ විධික්රම නම් ග්‍රන්ථය මෑතකදී පළ විය. එය ලංකාවේ නර්තන කලා අධ්‍යයන ක්ෂේත්රයට එක් වූ වැදගත් දායකත්වයකි. විශේෂයෙන් සාම්ප්‍රදායික නර්තනය ආදිය ගැන සිංහල බසින් පොතපත ලියන අය ඒ විෂය වෙත ප්‍රවේශ වන්නේ රැස් කරන්නන්ගේ ප්‍රවේශයෙනි. යමක් රැස් කිරීමේ ප්‍රවේශයෙන් අධ්‍යයනය කිරීම වරදක් නැත. අපේ රටේ ජනශ්රැති අධ්‍යයනය සාමාන්‍යයෙන් පවතින්නේ රැස් කරන්නන්ගේ අඩවියක් ලෙසය. ඒවා සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් දැකිය නොහැකි තරම්ය. ඒ නිසා ජනශ්රැති පර්යේෂකයන් තමන් රැස් කළ ජනශ්රැති අංග නූතනයේ පවතින්නේ යැයි ඔවුන් දකින සියලු ගැටලුවලට විසඳුම් සේ ඉදිරිපත් කරනු දැකිය හැකිය. කෙම්ක්රම මගින් රසායනික කෘෂිකර්මාන්තය ආශ්රිත සියලු ගැටලු විසඳිය හැකිය. තොවිල්පවිල් දිගටම පැවතියේ නම් ජනයාගේ සියලු මානසික රෝග හොඳ වන්නේය වැනි බරපතල නිගමන ජනශ්රැති පොත්වල නිතර දැකිය හැකිය. එසේ වන්නේ අදාළ දැනුම් ක්ෂේත්‍ර න්‍යායික විශ්ලේෂණයට යටත් නොවන නිසාය; තුලනාත්මක ප්රවේශයකින් අධ්‍යයනය නොකරන නිසාය.
ඒ නිසා කෙම්කං නිසා කීඩෑවන් වඳ නොවෙන බව පෙනී ගියහොත් කෙම්කං නමැති ජනශ්රැති අංගයටද නිගරු වේ. ජනකලා අංග අධ්‍යයන කළ යුත්තේද ඒවාගේ ශක්‍යතා පිළිබඳ කියාපෑම් කළ යුත්තේද අවසානයේදී ඒවා නිගරු වි විහිළු බවට පත් නොවන ලෙසය. ධම්මික පැණිය සම්බන්ධයෙන් ඇතැම් අය කළ කියාපෑම්වලට සමාන දේ ජනශ්රැති අංග ගැන කරන ජනශ්‍රැතිවේදීහු වෙති. එය ජනශ්‍රැතියට කරන දරුණු හානියකි.
විශ්ලේෂණීය දුගීභාවය
ලංකාවේ නර්තන කලා ක්ෂේත්රයද විශ්ලේෂණීය අධ්‍යයන ප්‍රවේශ නොමැතිකමින් පීඩි විඳි ක්ෂේත්රයකි. සාම්ප්‍රදායික නර්තන කලා අධ්‍යයනවල නිතර පාහේ දැකිය හැක්කේ අපේ සංස්කෘතික උරුමය රැකීම පිළිබඳ සංස්කෘතික ජාතිකවාදී අලංකාරිකවලින් බරවුණු වාක්‍යයන්ය. නූතන නර්තනය ගැන එපමණ රචනා සිංහල භාෂාවෙන් පළ නොවේ. අපගේ සිහියට එන්නේ මනුබන්ධු විද්‍යාපති ලියූ ලිපි පමණි. නූතන නර්තනය ගැන න්‍යායික කතිකාවක් නැති නිසාම නූතනය නර්තන කලාව ලෙස අපගේ මනසට එන්නේ චන්න---චන්දන පන්නයේ සින්දුවලට නැටීමය. ටීවී මියුෂික් ෂෝවල සින්දු අස්සෙන් නැටීම, ඇතැම් උත්තසව වේදිකාවල සින්දු තාලෙට නැටීම ආදියට නූතන නර්තනය සීමා වේ. බොහෝ පෞද්ගලික සමාගම්වල වාර්ෂික උත්සව ආදියෙහි සින්දු නැටුම් වැනි නැටුම් ඉදිරිපත් කරන කණ්ඩායම් දැකිය හැකිය. එවැනි නර්තන උත්සව ශාලාවේ එල්ලන බැලුම් බෝලයක් හෝ උත්සව මේසයේ තබන මල් බඳුනක් හෝ මෙන් සැරසිල්ලක් පමණි. නූතන නර්තනයට කලාවක් සේ වර්ධනය වන්නට ඇති ඉඩ අඩුය. මේ නිසාම නූතන නර්තන අධ්‍යයන ආදිය ගැන නූතන විශ්ලේෂණීය රචනා සොයා ගැනීම දුර්වලය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නූතන ඔපෙරා, නූතන නර්තන ආදී අධ්‍යයන අංශ තිබුණද, ඒවාගේ කථිකචාර්යවරුන් සිටියද යම් බරක් ඇති පොතක් පතක් ඒ විෂය සම්බන්ධයෙන් ලියැවී නැත.
න්‍යායික කතිකාවට ආරම්භයක්
එවන් පසුබිමෙක පිටු 140ක් වන මෙම කුඩා පොත අප රට නර්තන කලා අධ්‍යයනය විශේෂ දායකත්වයකි. ඒ විෂය සම්බන්ධ ශාස්ත්‍රීය කතිකාවට හොඳ ආරම්භයකි.
මෙවන් කතිකාවක් ආරම්භ කිරීමට හෝ ඊට දායකවීමට අවශ්‍ය සුදුසුකම් කිහිපයක් තිබේ. පළමු සුදුසුකම නම් ඉංග්‍රීසි භාෂාව දැන සිටීමය. මෙවැනි කලා ගැන උසස් අධ්‍යයන සිදුවන්නේ ඉංග්‍රීසියෙනි. අනික් යුරෝපීය භාෂාවලින් ලියවෙන දේද ඉංග්‍රීසියට නැගේ. ආචාර්ය මන්තිලකට එම සුදුසුකමද තිබේ. අපේ නැටුම්, අපේ සම්ප්රදාය ආදිය කියමින් සිංහල කෑගසමින් සිටීමෙන් සිංහල නර්තනයට කිසිදු සේවයක් සිදු නොවේ.
ඊ ළඟ සුදුසුකම නර්තන විෂය ක්ෂේත්රය තුළ විශ්ලේෂණීය අධ්‍යයන කිරීමට ශක්තිය ලබා දෙන පශ්චාත් උපාධි පුහුණුවය. ආචාර්ය මන්තිලක ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරි උපාධිය ලබා ඇත. ඒ අධ්‍යයන කාලය ඇතුළත මානව ශාස්ත්‍ර විෂය ක්ෂේත්රය හා සම්බන්ධ න්‍යායික කතිකා ගණනාවක් වෙත අනාවරණය වීමේ අවස්ථාව ඔහුට ලැබී තිබේ. ඒ නිසා සිංහල නර්තන අධ්‍යයන පිණිස පශ්චාත් යටත් විජිත න්‍යාය, අභිවහන කලා න්‍යාය, ප්‍රාසාංගික කලා න්‍යාය, පශ්චාත් ව්‍යූහවාදය ආදියෙන් එළිය ලබන්නටත්, ලංකාවේ නර්තනය ලෝකයේ අනෙකුත් රටවල නර්තන සම්ප්‍රදායන් හා තුලනාත්මකව සලකා බලන්නටත් අවශ්‍ය ශක්තිය ආචාර්ය මන්තිලක විසින් සතු කරගනු ලැබ තිබේ. න්‍යායික කතිකා ගැන දන්නා අය බොහෝ විට පෙරහැරේ යන ගිනිකෙළිකරුවන් මෙන් න්‍යාය භාවිත කරනු දැකිය හැකිය. එය පහසු වැඩකි. අදාළ අධ්‍යයන වස්තුව වෙත නව අන්තර්දෘෂ්ටි සපයන්නට න්‍යාය භාවිත කරන අතර පාඨකයා තුළ න්‍යාය භීතිය ඇති නොකරන්නටත් ආචාර්ය මන්තිලක සමත් වේ. ඒ වූකලි සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්රය තුළ මාද ගන්නා ප්රවේශයකි.
මේ පොත මෑතකදී දොරට වැඩියේ විදර්ශන ප්‍රකාශන ආයතනයේදීය. ලංකාවේ නර්තන කලාකරුවන් සමාජ අවස්ථාවලදී අඳින ස්වරූපයේ කමිසයක් ඇඳගෙන ආචාර්ය මන්තිලකද ඒ උත්සවයට සහභාගි වී සිටියේය. ඒ මහාචාර්ය මුදියන්සේ දිසානායක වැනි අය අඳින කමිස වර්ගයකි. සිය පොතේදී කතුවරයා මෙසේ කියයි: "මම නැට්ටුවෙක්මි. මම ඒ බව අභිමානයෙන් කියමි."
"නැට්ටුවා" යන්නට ඇතැම් විට ඇත්තේ අවමානාර්ථයකි. ඒ අවමානාර්ථයට මකාදමා නැට්ටුවා යන්නට සාධනීය අර්ථයක් දියහැක්කේ විචාරශීලි නැට්ටුවාට යැයි ඔහු කියයි.
එය ඇත්තකි.
තමාද නැට්ටුවෙකුවීමත්, තමාගේ නැට්ටුක්කාරකම වෙනුවෙන් පෙනී සිටීමත් අගය කළ යුතුය. ඒ නිසා පොතට එක් වූ වටිනාකමක්ද තිබේ.
විසිවෙනි සිය වස මුලදී නවකතා ලියන අය පවා නොවැදගත් ලියන්නන් පිරිසක් සේ සලකන අය සිටියහ. ඒ කාලයේම නවකතා කලාව ගැන න්‍යායික කතිකාව ගොඩනැගූ අයද ඒ කලාව විශිෂ්ට ලෙස භාවිත කළ අයද ඒ කලාවෙහි යෙදෙන අයට අභිමානයක් ගෙනාහ. බයිස්කෝප් නැමති "බාල කලාව" සිනමා කලාව ලෙස වර්ධනය කරමින් ඒ කලාව වෙත අභිමානයක් ගෙනා ආ අයගේ කතාවද එසේය.
ආචාර්ය මන්තිලකගේ පොත හොඳ පොතකි; හොඳ එක පොතකි. ඒ තනි පොතට පමණක් පියවිය නොහැකි බුද්ධිමය හිඩැසක් ඒ ක්ෂේත්රයෙහි තිබෙන බව ඒ විෂය උගන්වන විශ්වවිද්‍යාල පිළිබඳ ගුණාත්මක තත්ත්ව පරීක්ෂා කරන කණ්ඩායම්වල සේවය කර ඇති මම දනිමි. මේ පොත විශ්වවිද්‍යාලවල නර්තන කලා අධ්‍යයන කරන අයට භාවිත කළ හැකි පාඨ ග්රන්ථයක් වැන්නකි. ඒ නිසා එය නර්තන කලාව බරපතල අධ්‍යයනයක් නොවේ. අධ්‍යයන සඳහා මග පෙන්වන අත්පොතකි. නර්තන කලා යැයි අද හැඳින්වෙන නැටුම් ගැන අවංක වූද නිර්භය වූද තක්සේරුවක් කරන අධ්‍යයනයකද නියැලෙන්නට අචාර්ය මන්තිලකට හැකිවේවායි පතමි.
(පොතෙහි පිටකවරයෙහි සිටින නැට්ටුවා ආචාර්ය මන්තිලකය)
No comments:
Post a Comment