Saturday, April 10, 2021

අර්ජුන පරාක්‍රමගේ සාහිත්‍ය දේශනයෙහි බුද්ධිමය ආලෝකය- ලියනගේ අමරකීර්ති

                   

               

   ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව ආරාධිත සාහිත්‍ය දේශනයක් පැවැත්වීමේ කටුත්ත මෑතකදී ඇරඹිණි. එය සිදුවූයේ සාහිත්‍ය අනුමණ්ඩලයේ නිලධාරි පාර්ශ්වයේ චින්තන විශ්වය හදිසියේ පුළුල් වීමක් නිසා නොවේ. ඒ අනුමණ්ලයට අලුතින් එක් වූ විචාරාත්මක ශක්තියෙන්ද, ජාත්‍යන්තර ශාස්ත්‍රීය පුහුණුවෙන්ද යුතු තරුණ කීපදෙනෙකු නිසාය. එවන් පිරිසකට සවන්දීමේ ගුණය ඇති රඹුකන සිද්ධාර්ථ හිමි වැනි කෙනෙකු එහි මුලසුනෙහි වැඩසිටීම ඉතා උචිතය. විශ්වවිද්‍යාලවලට නාකි වෙන ගතානුගතිකයන්ට වඩා විවෘත මනසින් සාහිත්‍ය කලා ආදී බුද්ධිමය කටයුතු දෙස බැලිය හැකි පිරිස් එවන් ආයතනවලට එක්වීම සාධනීය දෙයකි. 

   මහාචාර්ය ජයදේව උයන්ගොඩ 2017 අගෝස්තු 30 වෙනිදා පැවැත්වූ සාහිත්‍ය දේශනය පිටු අසූ ගණනක පුස්තිකාවක් සේ මුද්‍රණය විය. ඒ ගැන එදවසම මා ලියූ රචනය මුලින් පුවත්පතකද, පසුව මගේ සිතිවිලි සිතිජය පොතෙහිද පළ විය. විසි වෙනි සියවසේ මුල සිටම ඉන්දියාව සහ ලංකාව අතර පැවති සංස්කෘතික-බුද්ධිමය සම්බන්ධතා ගැන මහාචාර්ය උයන්ගොඩ එදා පැවැත්වූ දේශනය අලුත් කරුණු ගණනාවක් හෙළි කළේය. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම ඔහු කරන ශාස්ත්‍රීය රචනා නිසා අපගේ චින්තන විශ්වය ප්‍රසාරණය විය.

   මෙවර සාහිත්‍ය දේශනය අප්‍රේල් 7 වෙනිදා පැවැතිවිණි. එය පවත්වන ලද්දේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසිනි. එයද රාජ්‍ය සාහිත්‍ය උත්සව සන්දර්භයකදී සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන දේශනයකි. අපගේ ශාස්ත්‍රාලික ලෝකය තුළ සිටින විශිෂ්ට චින්තකයන් දෙදෙනෙකුටම මෙම දේශනයට ආරාධනා කරනු ලැබීම සතුට දනවයි.




 

මහාචාර්ය පරාක්‍රමගේ දේශනයේ “මාතෘකාව සාහිත්‍ය, විචාරය හා සමාජය: නව න්‍යායික ප්‍රවේශයන්හි අවශ්‍යතාන සහ අභියෝග” යන්නයි. අප ශිෂ්‍ය කාලයෙහි කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටි අර්ජුන පරාක්‍රමට වඩා නිවුණු, වෙහෙස වුණු බවක්  පෙනුණද ඔහු මෙම දේශනයේදී ඉටුකරන්නේ අභියෝගාත්මක කාර්යකි. කාලාම සූත්‍රයෙහි ප්‍රසිද්ධ කොටසින් උපුටා දක්වා, නිදහස් චින්තනයෙහි වැදගත්කම ගැන ඉඟි කරමින් මහාචාර්යවරයා දේශනය අරඹයි. සමාජයක පවතින අධිපති කතිකාව අධිපති වන නිසාම එයට කීකරු නොවීමේ වැදගත්කම අවධාරණය කරන අතරම තමාගේම දේශනයෙහි සීමා සහිතකම ගැන ආචාරධාර්මික වගවීමක්ද ඉන් ඇඟවේ.

                                             අධිපති දෘෂ්ටිවාද

    ඉන් පසු මහාචාර්යවරයා දේශනයෙහි මුල් කොටස ගත කරන්නේ සමාජයක බුද්ධිමතුන්ද, ශාස්ත්‍රාලිකයන්ද, කලාකරුවන්ද අධිපති දෘෂ්ටිවාදවලින් විචාරාත්මකව ඈත්වීමේ වැදගත්කම අවධාරණය කරන්නටය. ලංකාවේ මෙකල අතිශයින් ප්‍රබල ජාතිකවාදී කතිකාව විසින්ම බලයට ගෙන එන ලද රජයක් යටතේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයකදී වුවද මහාචාර්ය පරාක්‍රම අදීනවද නිර්භයවද සිය තර්ක ගොඩ නගයි. එය මහාචාර්යවරයාගේ ජීවිතය අවුරුදු තිස් ගණනක් නිරීක්ෂණය කර ඇති මා කවදත් දන්නා ගුණ පරාක්‍රමයකි. එදා දේශනය පැවැත්වෙන දා සභාවේ සිටින බොහෝ දෙනෙකුද, නිලධාරි තන්ත්‍රයෙන් වැඩිකොටසක්ද එක එක මට්ටමේ ජාතිකවාදීන් බව මහාචාර්යවරයා දනියි. ඉන් සමහරුන් දරුණු ජනවාර්ගික ජාතිකවාදීන් බවද ඔහු දනියි. මේ වූකලි සිනමාකරුවන් එල්ලා මැරිය යුතු යැයි කී සරත් වීරසේකරද විශාල මනාප දිනා පැමිණ ඇමැතිකම් කරන රජයකි. එහෙත් ජනවාර්ගිකත්වය යන්න "සමාජ නිර්මිතයක් " බව කියන්නටත්, වර්තමාන දෙමළ සාහිත්‍යයෙහි ඇතැම් ප්‍රකට නිදර්ශන ඇසුරින් තර්ක ගොඩනගන්නටත් ඔහු පැකිලෙන්නේ නැත. 2017 වර්ෂයේ සාහිත්‍ය දේශනය කරද්දී මහාචාර්ය උයන්ගොඩට ලැබී තිබුණ තරම් හිතමිතුරු පරිසරයක් නැති පසුබිමක පවා සිය දේශනයෙන් විශාල කොටසක් මහාචාර්යවරයා ගත කරන්නේ සීමාන්තික ජාතිකවාද නිසා ඇති කරන අවිචාරවත් සංස්කෘතිය සමාජයක බුද්ධිමය පෝෂණයට සීමා පනවන බව පෙන්වා දෙන්නටය. 

    ඒ ජාතිකවාදීන්  අවිශිෂ්ට(Mediocre) දේශපාලන කල්ලි බට පෙරළී විශ්වවිද්‍යාලවලට කරන හානිය සැබැවින්ම දැකගන්නට හැකි වන්නේ තවත් අවුරුදු ගණනාවකිනි.  එවැන්වුන්ට තමනුත් වක්‍ර අනුග්‍රහය පෑවේ නොවේදැයි දුක්වීමට සිදුවන දවසක් මහාචාර්යවරයා වෙත නෙඑළඹේවායි මම පතමි.

                                                        විද්‍යාවේ සීමා

   එසේම සීමාන්තික විද්‍යාත්මකවාදයද, දරදඬු අච්චුගත මාක්ස්වාදයද ඔහුගේ විචාරයට ලක් වෙයි. ඒවාද අර තරම්ම ගැටලුකාරීය. යුරෝකේන්ද්‍රීය නූතනත්වයෙහි සීමා සහිතකම් ගැනද මහාචාර්යවරයා කතා කරයි. මෑත වසරවල ඔය මාතෘකා ගැනම නොයෙක් නින්දා අපහාස විඳගෙන කතා කළ පොතපත ලියූ නිර්ප්‍රභූ පසුබිම්වලින් ආ බුද්ධිමතුන්ගේ ව්‍යායාම නොදැක්කා සේ කතා කරන ස්වරූපයක් පෙනුණත් ඉංග්‍රීසි මහාචාර්යවරයෙකු කියන නිසා නොරිදෙන පනස් හයේ දරුවන්ගේ දෙසවන මේ ටික වැක්කිරීම පවා සාධනීය දෙයකි. මහාචාර්ය උයන්ගොඩ, මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, විදර්ශන කන්නංගර, වංගීස සුමනසේකර, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, මහාචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය දිලිප විතාරණ, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය ප්‍රබා මනුරත්න ආදී බොහෝ දෙනෙක් මහාචාර්ය පරාක්‍රම සිය දේශනයෙන් එළඹෙන කතිකා අඩවිය පෝෂණය කළහ. මහාචාර්යවරයා ඒ කිසිවක් දැක නැත.  

  විශ්වවිද්‍යාලයෙහි කාර්ය සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයෙහි කාර්ය ගැන මහාචාර්යවරයා කරන කතිකාවද අගනේය. විචාරාත්මක චින්තනයේ අඩවියක් ලෙස විශ්වවිද්‍යාලයක් පැවතිය යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් අප බොහො දෙනෙකු නොයෙක් වර කතා කර ඇතත්, ඉංග්‍රීසි මහාචාර්ය කටකින් ඒ ටික නැවත කියවෙන එක හොඳය. එහෙත් අපේ විශ්වවිද්‍යාල අවිචාරත්වයට ඇද වැටෙන්නට එක් හේතුවක් වී ඇත්තේ එක එක ජාතිකවාදයන්ගෙන් එළියට එන්නට බැරි මීඩියෝකරයන් රෑනක් ඒ ආයතන අවුරාගෙන සිටීම නොවේද? මීඩියෝකරයා යනු සබ්ඕල්ටනයෙකු නොවේ. මීඩියෝකරයා එසේ වීමට ප්‍රතික්ශේපිතත්වය (sub-alternity) යම් පමණකට බලපාන්නට පුළුවන. මීඩියෝකරයන් රජ කරන තැනට ආයතනයක් වැටුණ විට ඔවුන් තව දුරටත් සබ්ඕල්ටන්ද? විශ්විවිද්‍යාල ජීවිතයෙන් විශ්‍රාම ගන්නට දෙවසරකටත් වඩා අඩු කාලයක් ඇති මහාචාර්යවරයා මේ ප්‍රශ්නය බරපතලෙට ගනු ඇතැයි මම සිතමි. ශිෂ්‍යයන් විචාරාත්මක බුද්ධිමය සංවාදයට කැඳවන ලෙස විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට බාධා කරන්නන්ද, එවැනි ඉගැන්වීම්වලට සතුරු පිරිසද  කවුදැයි කොළඹ පදනම් ආයතන සභා ගැබේදී පමණක් නොව පේරාදෙණියේදීද සිතාබලන්නට මහාචාර්යවරයාට හැකි විය යුතුය. 


   මහාචාර්ය පරාක්‍රම විශිෂ්ට කවියෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් සෙල්ලම් දැමීමේ සමතෙකි. ඔහු ඉංග්‍රීසිය නිර්-හෙජමොනික කිරීම පිළිබඳ ඔහුගේ ප්‍රවාදය කෙසේ වෙතත් අවශ්‍ය විටක අසන්නන් මෙල්ල කිරීමට ඉංග්‍රීසි අලංකාරික හතර අත වනන්නෙකි. මදිපාඩුවට ලතින් කෑලිද දමන්නට ඔහු පසුබට වන්නේ නැත. ඒ අප දන්නා අර්ජුනගේ හැටිය. එහෙත් ඒ භාෂා කුසලතාව නිසා ඔහු කරන ඇතැම් පරිවර්තන හරි අලංකාරය. එය අනූගණන්වල අප දුටු උසස් අර්ජුන ගුණයකි. ඒ නිසා මේ දේශනයේදී පවා පරිවර්තිත කොටස් කියවන්නා තුළ හෘද-බුද්ධි තරංග නංවයි.

   අවුරුදු විස්සකටත් වඩා කලින් මහාචාර්යවරයාගේ විචාරයට ලක් වූ රණවීරගේ 'පවුන්ඩ් පරිවර්තනය 'වෙනුවට අලුත් නිදර්ශන සොයාගන්නට බැරිවීමත්, වර්තමානයෙහි සිංහල භාෂක ප්‍රගතිශීලි බුද්ධිමය ලෝකයෙන් හුදෙකලා වූ ස්වරූපයක් පෙනීයාමත් පැහැදිලිව පෙනෙන නමුත් මෙය එයාලගේ මාළු එයාලගේම ඇඟේ  තබා කපන්නාක් වැනි දේශනයකි. මෙතරම් මිත්‍රශීලී සංවාද කැඳවීමක් මෙරට අධිපති බුද්ධිමය කතිකාවට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ බුද්ධිමය කඳවුරේ කීපදෙනෙකුවත් ඒ ආරාධනය සුහද සිතින් බාරගන්නේ නම් ඔවුන්ටද එය නරක නැත.  



 


No comments:

Post a Comment