Saturday, May 8, 2021

අප සිතන විධිය වෙත වෙළඳ මාධ්‍ය කරන බලපෑම ඉක්මවන අධ්‍යාපනයක් - ලියනගේ අමරකීර්ති

                 




(මෙම කෙටි රචනයද මානව ශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රයෙහි කාර්යභාරය ගැන දේශනයකින් කොටසකි. වචන 1200කට කෙටි කර ඇත.)


අප ජීවත්වන යුගය වෙළඳ මාධ්‍ය මගින් බෙහෙවින් පාලනය කරන ලද්දකි. අපේ ඇසට පෙනෙන සියලු ශබ්ද සහ සියලු රූප වානිජ ජනමාධ්‍ය විසින් පාලනය කෙරේ. අපගේ පරිභෝජන පුරුදු හෙවත් භාණ්ඩ හා සේවා සඳහා අපගේ ඉල්ලුම හැඩගැස්වීම ඒ මාධ්‍යයෙහි කාර්යයි. ඊට අමතරව දැනට පවතින පරිභෝජන ධනවාදය සාමාන්‍යකරණය කිරීම, එය පැවතිය හැකි එකම යථාර්ථය යැයි ඒත්තු ගැන්වීම ආදිය වානිජ ජනමාධ්‍ය නිසා සිදුවේ. ඒ කාර්ය කිරීමට එවන් සන්නිවේදන ක්ෂේත්‍රවල සිටින අයට විශාල වැටුප් ගෙවනු ලැබේ. වානිජ ජනමාධ්‍යය යනු නව ලිබරල් ධනවාදයේ වාහකය නොව නවලිබරල් ධනවාදයෙහි නිෂ්පාදනයම ජනමාධ්‍යය යැයි අරුන්දතී රෝයි ලියූවේ එහෙයිනි. එනම් නව ලිබරල් ධනවාදය විසින් නිපදවනු ලබන යමක් වේද ඒ වූකලි වානිජ ජනමාධ්‍යමය සංකල්පරූපය.

මෙම කෙටි රචනයෙහි අරමුණ නූතන ජනමාධ්‍ය නිසා ඇති වන ජනප්‍රිය මහ ජන සංස්කෘතිය අපගේ චින්තනය පාලනය කරන ආකාරය ගැන ඔබගේ අවධානය යොමු කිරීමය. මේ කරුණ ගවේෂණය කිරීම සඳහා ලංකාවේ කෙරුණු පර්යේෂණ නැත. අප රට සන්නිවේදන අධ්‍යයනය උගන්වන විශ්වවිද්‍යාල පැවතියද ඒවායින් කෙරෙන්නේ අර කී ජනමාධ්‍ය ලෝකයට ශිල්පීන් බිහි කිරීම මිස වර්තමාන මාධ්‍ය සහ ජීවිතය අතර සම්බන්ධය විචාරාත්මකව අධ්‍යයනය කිරීම නොවේ. ඒ නිසා මා මෙහිලා කරුණු උකහා ගන්නේ ඉතා ප්‍රබල වානිජ මාධ්‍ය කර්මාන්තයක් ඇති ඇමරිකාවෙනි. ඒ කර්මාන්තය තරමටම ප්‍රබල ලෙස වානිජ ජනමාධ්‍ය පිළිබඳ විචාර සංස්කෘතියක්ද එරට ඇත. 

                               මහසෙනගෙහි සිතීම


නූතන ජනමාධ්‍ය නිසා ඇතිවූ සංස්කෘතික ගති ලක්ෂණ mass culture යනුවෙන් හැඳින්වේ. එය සිංහලයෙන් තේරුම් ගැනීම හිතන තරම් පහසු නැත. පොදු මහජන සංස්කෘතිය, ජනරාශියෙහි සංස්කෘතිය, මහ සෙනගෙහි සංස්කෘතිය වැනි අර්ථ එහි තිබේ. එමෙන්ම තොග නිෂ්පාදිත සංස්කෘතිය යන අර්ථයද එහි තිබේ. එසේම නොගැඹුරු මතුපිට සංස්කෘතිය යන අර්ථයද එහි වේ. මෙම යෙදුම වහරන්නේ ඉන් අදහස් වන සංස්කෘතිය කවරකින් වෙන් කරගන්නටද යන්නද නිතරම පැහැදිලි නැත. ඒ නිසා එය වටහා ගැනීම උදෙසා අපට එය සම්භාව්‍ය හෝ විදග්ධ සංස්කෘති සමග සන්සන්දනය කළ හැකිය. සම්භාව්‍ය විදග්ධ සංස්කෘතියට ඔතෙලෝ නාට්‍ය හෝ සිංහබාහු නාට්‍ය අයිති වේ නම් දෙවෙනි ඉණිම ජනරාශියෙහි සංස්කෘතියට අයිති වේ. මෙවන් කලා කෘතිවලට අමතරව වානිජ ජනමාධ්‍ය විසින් ප්‍රචලිත කෙරෙන විලාසිතා, රුචි අරුචිකම්, ප්‍රමුඛතා, පරිභෝජන රටා ආදිය මාස් කල්චර් හෙවත් මහසෙනගෙහි සංස්කෘතියට අදාළ වේ.


මෙම මතුපිට සංස්කෘතියෙහි මනෝමය බලපෑම ඉතා ප්‍රබලය. අද වන විට අපගේ තරුණ පරම්පරාව වෙත බලපාන ප්‍රඥාවේ මූලාශ්‍ර හැටියට ප්‍රධානත්වය ගෙන ඇත්තේ විද්්‍යුත් මාධ්‍ය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ආදියයි. මෙය අලුතින් කියන්නට තරම් දෙයක්ද නොවේ.

සාමාන්‍ය ඇමරිකානු දරුවෙකු අවුරුදු 18 වන විට පැය 11000ක් පන්ති කාමරයේද පැය 22000ක් ටෙලිවිෂනය ඉදිරිපිටද ගත කරන බව ගණන් බලා තිබේ. එම කාලය තුළ ඔහු හෝ ඇය පාසැලේ පාඩම් 13000කට සහභාගි වන අතර ටෙලිවිෂන් වෙළඳ දැන්වීම් 75000 (හත්ලක්ෂ පනස් දාහක්) පමණ නරඹයි. අවුරුදු 35 වන විට ඒ පුද්ගලයා නිල අධ්‍යාපනික පැය(ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි වැනි) 20000ක ඇසුරු ලබන අතර පැය 45000ක් පමණ ටෙලිවිෂන් බලයි. ඒ කාලය තුළ ඔහු හෝ ඇය වෙළඳ දැන්වීම් මිලියන දෙකක් නරඹයි. මෙහි භයානකත්වය වටහා ගත එරට දරුවන් නැවතත් පොත පත කියවීම වෙත යොමු කරන්නට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඇතැම් දැන උගත් දෙමව්පියෝ (සුළු පිරිසක්) ටෙලිවිෂනය තම නිවෙස්වලින් ඉවත් කළහ.


අප රට මෙවැනි සංඛ්‍යා ලේඛන සොයාගන්නට නැත. එහෙත් තත්ත්වය අඩු වැඩි වශයෙන් සමාන්තර යැයි උපකල්පනය කළ හැකිය.

                              අප වෙත එල්ල වන ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රහාරය

අප අර තරම් විශාල ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රහාරයකට ලක්වීම අපට බලපාන්නේ කෙසේද?

පර්යේෂකයෝ මෙසේ කියති: වර්තමාන වෙළඳ දැන්වීම් යනු ඉතා සියුම් නිෂ්පාදනයකි. ඒවාගේ ආකෘතියම අපගේ තාර්කික විඥානයෙහි මතුපිට විනිවිද යයි. මේ නිසා භාණ්ඩ හා සේවා පිළිබඳ කෘත්‍රිම අවශ්‍යතාවක් නිර්මාණය කෙරේ. එසේ කරන්නේ අපගේ භාවයන්ම ආමන්ත්‍රණය කරමිනි. ඒ නිසා වෙළඳමය කියාපෑම් වෙත හැඟීම්බර ලෙස, ආවේගමය ලෙස, වහා රැවටෙන බොළඳකමින් යුතුව ප්‍රතිචාර දැක්වීමට අපි හුරුවක් ලබමු. මෙය සෙමින් සෙමින් ඇති වන හුරුවකි. එසේම ඒ වෙළඳ දැන්වීම් මගින් වඩා කල්පනාකාරී, ගැඹුරු චින්තන සම්ප්‍රදායයන්ගෙන් අප උගත් වටිනාකම්වලට වඩා වෙනස් වටිනාකම් පද්ධතියක් වෙතට අප උරා ගැනේ. මෙයද සෙමින් සෙමින් සිදුවන්නකි. උදාරහණයක් මෙසේය: බොහෝ විට වෙළඳ දැන්වීම් මගින් සෙල්ලම් කිරීම යන්න වැඩ කිරීමට වඩා වැඩි සන්තෘප්තිදායක දෙයක් ලෙසද, ආත්මීය ඉන්ද්‍රිය ප්‍රීණනය හෙවත් ඉඳුරන් පිනවීම ආත්ම පාලනයට වඩා හොඳ දෙයක් ලෙසද, පරමාදර්ශී වටිනාකම්වලද වඩා භෞතිකමය දේවල වටින බවද පෙන්වා දෙනු ලැබේ. මේවාගේ විවිධ ස්වරූප පැවතිය හැකිය. මානසික හෝ බුද්ධිමය වර්ධනයට වඩා කාය ශක්තිය හා කායික ආකර්ෂණය වටිනා දෙයක් දෙයක් යැයි විටෙක අඟවනු ලැබේ. මෙවන් වටිනාකම් පිළිබඳ පීලි පැනීම් සිදුවන්නේ හුදෙක් එක වෙළඳ දැන්වීමකින් නොවේ. ලක්ෂණ ගණන් වානිජමය පණිවිඩ නිරන්තරයෙන් අපගේ විඥානය මත කඩා වැදී මේ වෙනස ක්‍රමයෙන් ඇති කරයි. 

   එවන් වෙළඳ පණිවිඩ බාරගෙන ඒවා ස්වකැමැත්තෙන් ප්‍රතිනිෂ්පාදනය කරන අයද සිටිති. නළුනිළියන්, ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය චරිත එහි යෙදෙන පිරිසකි. අපේ රටේ නම් මෝස්තර නිර්මාණකරුවන්, නිරූපණ ශිල්පීන්, ටියුෂන් ගුරුවරුන් වැනි අයද මේ ප්‍රතිනිෂ්පාදකයන් අතරට වැටේ. 

                                       අවධානයක් නැති හිස් බැල්ම

   මෙසේ අපගේ ජීවිතය හතර වටින් වට කර ඇති වානිජ මාධ්‍ය කරන බලපෑම් ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කළ අය වෙති. මහාචාර්ය වින්සන්ට් රයන් රගීරෝ එක් අයෙකි. ඔහුගේ පොතපත ගැන විස්තර මේ ලිපිය අග එයි. ටෙලිවිෂන් වැඩසටහන් නිතර පාහේ මෝටර් රථ අනතුරු, හිංසන ක්‍රියා, ලිංගික දර්ශන ආදිය ප්‍රේක්ෂකයන්ගේ අවධානය අඩුවීම වැළැක්වීම සඳහා භාවිත කරයි. එසේම නිරන්තර වෙළඳ දැන්වීම් විරාමද ගනු ලැබේ. එනම් පැය භාගයක වැඩසටහනක් නරඹන අපගේ අවධානය බොහෝ වාරයක් කඩමින් මාරු කිරීම වානිජ ටෙලිවිෂනයේ කාර්යයි. ලංකාවේ සියලු ටෙලිවිෂන් වානිජ ටෙලිවිෂන් නිසා මෙය අප කාටත් පොදු අත්දැකීමකි. ඇමරිකාවේ පීබීඑස් වැනි ටෙලිවිෂන් වානිජ චැනල නොවන නිසා අර වැනි නිරන්තර බිඳීම් සිදු නොවේ. එලෙස නිරන්තරයෙන් අපගේ අවධානය පිණිස වෙනස් වෙනස් දේ ලබාදීමෙන් සිදු වන්නේ කුමක්ද? අප කලින් කී පරිදි පැය හතලිස් පන්දාහක් වානිජ ටෙලිවිෂන් බලමින් තිස්පස් වෙනි වියට ආ කෙනෙකුට මෙය කෙසේ බලපානු ඇතිද? සිදුවන බරපතලම හානිය එවැනි අයගේ අවධාන කාල ශක්තිය ටෙලිවිෂනය මගින් හැඩගැස්වීමයි. මහාචාර්ය රගීරෝ විශ්ලේෂණය කළ ඇතැම් ටෙලිවිෂන් වැඩසටහන්වල එක් පැයක් තුළ දර්ශනයෙහි මාරුවීම් 78ක් පමණ සිදුවී තිබේ. මේ මාරුවීම් විවිධ ස්වරූප ගනියි. දෘෂ්ටිකෝණය මාරුවීම්, කැමරා කෝණය මාරුවීම්, පසුබිම මාරුවීම්, ශබ්දය වෙනස්වීම්, තථ්‍ය දර්ශනයක සිට ෆැන්ටසි දර්ශනයකට මාරුවීම්, වැඩසටහනෙන් වෙළඳ දැන්වීම් වෙත මාරුවීම් ආදී වශයෙනි. වෙළඳ දැන්වීම් ඇතුළෙහි සිදුවන යට කී වැනි මාරුවීම්ද සැලකිල්ලට ගත් විට ඇතැම් විට ටෙලිවිෂන් පැයකදී සිදුවන මාරුවීම් 800ක් පමණ ඔහුට හමු වී තිබේ. තප්පර පහළොවක වෙළඳ දැන්වීමක් තුළ මාරුවල සාමාන්‍යය 17ක් යැයි ඔහු කියයි. 

  මේ මාරුවීම් යනු මොනවාද? අපගේ අවධානය පැයක් තුළ ඉතා සියුම් ආකාරවලින් 800ක් සැරයක් 800ක් දේ වෙත පැනීමය. අපි 800 පැත්තකින් තියමු. පැයක් තුළ 200ක් එවන් මාරුවීම් සිදුවීම පවා විශාල ගණනකි. අවුරුදු දහයක් පහලොවක් පුරා දරුවන් මෙවන් ටෙලිවිෂන් අත්දැකීමක් ලබමින් හැදී වැඩීම යනු බරපතල කාරණයකි. අද මේ තත්ත්වය පළමු ලොව රටවල විශාල ප්‍රශ්නයක් ඇති කර තිබෙන බව කියවේ. බරපතල බුද්ධිමය කාර්යයන් සඳහා අවශ්‍ය දීර්ඝ අවධාන කාලයක් දරා ගැනීම යන්න පුරුදු නැති පිරිසක් ඒ සමාජවල සිටිති. අපේ රටේද ඒ තත්ත්වය ඇති වෙමින් පවතින බව තරුණ සරසවි සිසුසිසුවියන් සමග කාලයක් වැඩ කිරීමෙන් මටද අවබෝධ වී තිබේ. තෝරාගත් ගැඹුරු සාහිත්‍ය කෘතිය සෙමින් කියවමින් සියුම් විශ්ලේෂණීය භාවනාවකට ඔවුන් යොමු කිරීම ඉතා දුෂ්කරය. තරමක දිග වෙළඳ දැන්වීමකට සමාන කියමනකට ඇනා කැරනිනා හෝ අපරාධය හා දඬුවම කැටි කර දෙනු ඇතැයි ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අපේක්ෂා කරති. අප රට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයද ඊට දිරි දෙන අධ්‍යාපනයකි. මේවා අප තවම සාකච්ඡාවටවත් ගෙන නැති දරුණු අර්බුද වේ. 

    අද පාසල්වල ඉහළ පන්තිවල ළමයින්ගේ අවධානය බරපතල මාතෘකාවක් තුළ රඳවා ගැනීම ඉතා අමාරු ඇතැම් ගුරුවරු කියති. ඇතැම් ටියුෂන් පන්තිවල නෙක නෙක විනෝද කෑලි ඉදිරිපත් කරන්නට සිදු වී ඇත්තේද මේ නිසා විය හැකිය.  

   වානිජ මාධ්‍ය සංස්කෘතිය විසින් සිදු කෙරෙන තවත් ඒකමානීයතාවක් වෙත අවධානය යොමු කරන්නට කැමැත්තෙමි. ටෙලිවිෂන්වල සාකච්ඡා වැඩසටහන් ඇත. ඒවා කතා සන්දර්ශන හෙවත් ටෝක් ෂෝ යනුවෙන් හැඳින්වේ. මහාචාර්ය රගීරෝ වරක් එවන් ටෝක් ෂෝවලට සහභාගි වන අය පුහුණු කරන කෙනෙකුගෙන් තොරතුරු ගත්තේය.

ඔහු මෙසේ කීවේය: “අපි හිතමු අපි කාගෙන් හරි අහනවා කියල අයවැය පරතරයක් පැවතීම රටට හොඳද නැද්ද කියලා. එතකොට පිළිතුරු දෙන කෙනා කිව්වොත් “අය වැය පරතරයට පුළුවන් ආර්ථිකය උත්තේජනය කරන්න නමුත් ඒකෙන් ආර්ථික මත විශාල බරකුත් පැටවෙනවා” කියල ඒක ටෝක් ෂෝ එකකට හොඳ උත්තරයක් නෙමේ. කියන්න ඕනෙ මෙහෙමයි. “අය වැය පරතරය කියන්නෙ ඉතා හොඳ දෙයක්.” නැත්නම් “අයවැය පරතරය කියන්නෙ ඉතා නරක දෙයක්” කියල. ඔය දෙකෙන් කෝක කිව්වත් කමක්නෑ. අවශ්‍ය වෙන්නෙ සමබර විවරණාත්මක පිළිතුරක් නෙමේ අතිසරල කරපු පිළිතුරක්. එහෙම කිව්වොත් තමයි කියන කෙනා දිහාට අවධානය යොමු වෙන්නෙ. එහෙම කියන කෙනත් ප්‍රසිද්ධ වෙනවා.”

  පිළිතුර “කෝක වුණත්” ටෝක් ෂෝ එකට අදාළ නැත. ටෝක් ෂෝ සන්දර්ශනය ආකර්ෂණීය වන්නේ එවන් ඒකමානීය ප්‍රකාශ ලැබෙන තරමටය. සැබෑ අධ්‍යාපනය යනු එය නොවේ.

  මෙය අපගේ අවධානයට ලක් විය යුත්තකි. අප රට ඇතැම් ටෙලිවිෂන් ටෝක් ෂෝද අතිසරල කියමන් ප්‍රචාරය කරන මධ්‍යස්ථාන වී ඇත්තේ මන්ද යන්නට පිළිතුරක් එතන ඇත. ඊට වඩා බරපතල හානියක් තිබේ. ඒ වූකලි මහජනයා එවන් අතිසරල, ඒකමානීය, ඒකපාර්ශවීය චින්තන මාදිලියකට හුරුවීමය. ඒ නිසා ඔවුන් යමක් ගැන සිතන විදියද අර වැනි ඒකමානීය ස්වරූපයක් ගැනීමේ විවතාව තිබේ. ටෙලිවිෂනයෙහි එන සෑම වැඩසටහනක්ම මෙසේ යැයි මින් අදහස් නොවේ. 


  අප විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පාඨමාලා උගත යුත්තේ අපගේ යුගය විසින් සකස් කරන ලද අපගේ චින්තනමය ඒකමානීත්වය නමැති දුගීභාවයෙන් මිදීමටය.

වැඩිදුර කියවීම්

Vincent Ryan Ruggiero. Beyond Feelings: A Guide to Critical Thinking.

Daniel Coleman. Vital Lies, Simple Truths.


 


No comments:

Post a Comment