ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ උපන් දිනය ජූනි 2 වෙනිදාට යෙදිණි. විය යුතු පරිදිම ඔහුගේ බොහෝ රසිකයෝ ඔහුට සුබපැතූහ. ඔහුගේ කවිය අගය කළහ. වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල අපූරු යෙදුමකින් රත්නශ්‍රීගේ කවියෙහි එක් ස්වභාවයක් විස්තර කළේය. ඒ කවියාගේ යෙදුම්වල ඇති “ඖෂධීය ගුණය” යන්න නිවුන්හැල්ලගේ ඒ යෙදුමයි.
ආචාර්ය විජේසිංහගේ වදනිසුරුබව ඉතා ප්‍රකටය. සම්භාව්‍ය සාහිත්‍යයෙන්, ජන සාහිත්‍යයෙන්, පුරවහරින්, ගැමි වහරින් ගත් යෙදුමින් ඔහුගේ වදනිසුරුබව සැකසී ඇත.
අපේ පරම්පරාවට හොඳටම කටපාඩම් එවන් ‘ඖෂධීය යෙදුම්’ රත්නශ්‍රීගේ කවිසිතෙහි බිහි විය.
එහෙත් රත්නශ්‍රීගේ කවිය අගයන අයගේ වැඩිමනත් අවධානයට ලක් නොවන වෙනම රත්නශ්‍රී කෙනෙකු හමුවන කවිද තිබේ. ඒවා එතරම් පහසුවෙන් හසුවන සින්දු පද වැනි යෙදුමින් සෑදී නැත. එහෙත් ඒවා අනාවරණය කරගතහොත් ලැබෙන ඖෂධීය ගුණයද ඉහළය.
මේ කෙටි රචනයේදී එවැනි කවි බොහොමයක් සාකච්ඡා කරන්නට අවකාශ නැත. අපි කවියක් දෙකක් පරිස්සමට කියවමු.
පළමු කවිය “දිගු සෙවණැලි” නම් වේ.
සෙවණැල්ල දිගු වේ ය නොනැවත
උසින් මහතින් හැඩ රුවින් සපිරි
බිමේ අන් කිසිවකට ඉඩක් නැත
සෙවණැල්ල මිස කිසිවකට නොසරි
අඟ පසඟ මුහුණුවර හා දෑස
නොවේ දැකගන්ට එහි වෙන වෙන ම
කළු ම කළු සෙවණැල්ල ගිලගෙන ය
සියල්ල ම වැතිර හිඳ එක තැන ම
දිගුවත් ම සෙවණැල්ල, දිගු වේය
තමා පිළිබඳව ඇති මහ දිගුව
පැමිණ ඇති බවක් තව නොදනී ය
කෙළවරක් වෙත ජීවිතේ අගුව
සෙවණැල්ල දිගු වීම කියන්නේ
බැස යන්න ආසන්න වන හිරු ය
පාළුවට, කාන්සිය දුරලන්න
ඉහ ඉද්දරින් දැල්වෙනා තරු ය
මෙය ආචාර්ය විජේසිංහගේ කවි මාලාවෙහි හමුවන අමුතුම කවියකි. එහි කවියෙහි කේන්ද්‍රය සාදන හෙවණැල්ල නම් සංකේතය රූපකාත්මකය. එය බහුවිධ අර්ථ නංවන යෙදුමකි.
ආරම්භක පද්‍යයෙන් කියවෙන හැටියට මේ සෙවණැල්ල නොනැවතී වැඩෙයි. එය අන් කිසිවකට සමාන නැති සෙවණැල්ලකි. මේ බිමෙහි ඒ සෙවණැල්ල නිසා අන් කිසිවකට ඉඩක් නැත. ඒ සෙවණැල්ලට, ඕනෑම සෙවණැල්ලකට මෙන්ම, අඟපසඟ මුහුණුවර නැත. එහෙත් එය සියල්ල ගිලගෙන සිටියි.
මේ කවිය එන්නේ 2017 වර්ෂයෙහි පළ වූ වස්සානෙන් පසුව කෘතියෙහිය.
මේ අඳුරු සෙවණැල්ල කුමක් විය හැකිද?
කවියා මෙසේ කියයි:
“දිගුවත් ම සෙවණැල්ල, දිගු වේය
තමා පිළිබඳව ඇති මහ දිගුව”
හොඳ කවිය එක්වරම ඒකපුද්ගල මනුෂ්‍ය ජීවිතයත්, ඒ මනුෂ්‍ය ජීවිතය ගත වන තැන සන්දර්භයත් ග්‍රහණය කර ගනියි. එක් අතකට මේ සෙවණැල්ල යනු ඒකපුද්ගල මනුෂ්‍යයාගේම ආත්මභාවයේ සෙවණැල්ල විය හැකිය. ඒ ආත්මභාවය සෑදී ඇත්තේ ස්මරණය, පුද්ගල ජීවිත කතාව ආදියෙන් විය හැකිය. එමෙන්ම ඒ සෙවණැල්ල යනු පුද්ගල ඊගෝවේ සෙවණැල්ලද විය හැකිය.
සන්දර්භමය වශයෙන් ගත් කල ඒ සෙවණැල්ල මෙවැනි අර්ථ සාදයි. අපේ රටේ සියලු සංවාද ජාතිකත්වය, ජාතියේ ඉතිහාසය යන සෙවණැලිවලින් වැසේ. මේ දවස්වල ඒ සෙවණැල්ලට සියල්ල වසා දැමීමට ඇති බලය තරමක් දුර්වල වී තිබෙන නමුත් මෙය අප වැනි පශ්චාත් යටත් විජිත රටවල නිතර දැකිය හැකි සියල්ල වසා දමන දරුණු හෙවණැල්ලකි. අන්ධකාරක හෙවණැල්ලකි.
කවියා මෙසේද කියයි:
සෙවණැල්ල දිගු වීම කියන්නේ
බැස යන්න ආසන්න වන හිරු ය
කවියේ අන්තිම පද්‍යය කරා සෙවණැල්ල පිළිබඳ චිත්තරූපය ගෙන යන ආකාරය අපූරුය. එක් තනි පුද්ගලයෙකුගේ ජීවිතයෙහි අවසානයද, ජීවිතය නමැති දවසෙහි අවසානයද, සියල්ල වසා දමනා අර කතිකාවේ අවසානයද එකවර හසු කරගන්නට මේ චිත්තරූපයට හැකි වෙයි.
ඒ හෙවණැල්ල එහි නිශ්චිත අවසානයට එන විට කාන්සිය දුරලන්න ඉහ ඉද්දරින් නව තරු දැල්වේ. ඒ තරුවල එළිය වැඩිවීම යනු හෙවණැල්ල සජාතීය කාකවර්ණය ඉරී යන ලකුණුය.
බිමේ අන් කිසිවකට ඉඩක් නැති දිගින් දිගටම දිගුවන සෙවණැලි යන ඉතා භයානක දෙයකි. සෙවැණලි පොඩි පොඩි අඳුරු තැන විදියට පැවතීම වරදක් නැත. එහෙත් සියලු තැන් වසා එක් තනි සෙවණැල්ලක් පැතිරීම මිනිස් ජීවිතයෙහි පොහොණිබවට දිරි දෙන්නක් නොවේ. ජීවිතය නිර්-හරිතවත් කරන්නකි. අන්ධකාර කරන්නකි.
“මා අවදිවීම පිටතට පැමිණීම තැත් කරන නපුරු සිහිනය ඉතිහාසය වේ” යැයි ජොයිස්ගේ චරිතයක් කීවේය. අනවශ්‍ය තරම් අධිඅවධාරණය වූ ඉතිහාසයද අන්ධකාරක සෙවණැල්ලකි. ඒකමානී ඉතිහාස කතාවල සෙවණැල්ල වඩාත් අන්ධකාරකය.
මොන බසින් වුවත් ගැඹුරු කවිය සොයන මට මේ කවිය පෙනෙන්නේ ආචාර්ය විජේසිංහගේ කාව්‍යාවලියෙහි අනුස්මරණීය නිර්මාණ බොහෝ ගණනක් අතර වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවූ කවියක් හැටියටය.
මේ කාව්‍යමය ගාම්භීරත්වය අතින් මේ කවියට සමාන කවියක් මේ වස්සානෙන් පසුව කාව්‍ය සංග්‍රහයේම තිබේ.
එය අපට හොඳට හුරුපුරුදු රත්නශ්‍රීගේ වචන, සඳ, සඳ එළිය වැනි යෙදුම්, ඔහු ඉතා බුහුටිව භාවිත කරන සිව්පදය ආදිය සහිත කවියකි. එහෙත් එයද එහි කේන්ද්‍රීය චිත්තරූපය අතින් වෙනම ආකාරයක රත්නශ්‍රී කෙනෙකු අනාවරණය කරන කවියකි.
රිදී වණින් රිදියෙන් කළ වැඩ සදිසි
දිසේ සඳක් යට එක යායට පියැසි
මෙසේ පෙනෙන විට සමබිම්පෙත නොනැසි
බලා ඉන්න බෑ මට ඒකයි හදිසි
සදාතනික සුන්දර සුබ සිහින පිට
බදා සිය පියඹ සුතනන් මිදෙනු වට
උදාරම් සිතින් සිහිනය පරම කොට
නිදාන ඇති බෝ දන ඒ පියසි යට
අහෝ දුකකි නිදනා මිනිසුනි තොපට
තිබේ ද හද තෙත ඉතිරි ව වට අවට
ලැබේ ද කට දිව කුෂ තෙත්වන පිහිට
කෙසේ ද තොප දිවි රැකගන්නේ එවිට
පෙනේ එවිට උන්ගේ සුදු පියසි පිට
රනේ රුවට කළු ජල කුලුනකි රුවට
මහා ධමනියකි ඉන් විහිදෙන යටට
අහා අසිරියකි ඒ හදවත තොපට!
හොඳ කවිය අනිශ්චිතාර්ථවත් මිහිරකින් අප බැඳලයි. මේ කවියේද කලින් කවියෙහි සේම ඒ ගුණය ඇත. කවියා සිය චිත්තරූප සංරචනය ආරම්භ කරන්නේ සඳ එළියේ එකම පැහැයට පත් වහලවල් යට නිදන තනි තනි ගෙවල වසන මිනිසුන් ගැන චිත්‍රයකිනි. මේ ගෙවල මිනිස්සු නිදති. ඔවුන් පහළ සිට ඉහළ දක්වා පැතිරුණු මධ්‍යම පාන්තික කලාපයකට අයත් මිනිසුන් බව පෙනේ. ඔවුන් සඳ එළිය විසින් ඇති කරන ලද සමබිමක් යට නිදන්නේ සාමූහික සිහිනයක නොවේ. ඒ ඒ වහලය යට තම තමන්ගේ සුතනඹුවන්ගේ විමුක්තිය ගැන සුබ සිහින දකිමින් ඔවුහු නිදති.
සඳ නමැති ස්වභාවික වස්තුව විසින් මේ පියැසි සියල්ල රිදී පැහැ ගන්වා ඒවා සමාන කර තිබුණද මිනිසුන් මේ වහල යට නිදන ආකාරයෙහි ව්‍යුහමය ආත්මාර්ථකාමීත්වයක් ඇත. කවියා එය මෙසේ හඳුන්වා දෙයි:
රනේ රුවට කළු ජල කුලුනකි රුවට
හැම නිවසකම වහලයෙහි කළු පාට ජල ටැංකියක් තිබේ. පියස්ස යට සිටින අයට ජලය (ජීවය) සැපයෙන්නේ එයිනි. චන්ද්‍රයා නමැති ස්වභාවික වස්තුව සමාජ සමානකරණීය ආලෝකයක් ලබා දෙන අතර මනුෂ්‍යයෝ තම තම ජල ටැංකි යට නිදති. කවියා මේ නින්දට සරදම් කරන්නේ මෙසේය:
අහා අසිරියකි ඒ හදවත තොපට!
ඒ ආත්මාර්ථකාමී හදවත, ඒ වහලය යට ජීවිතය ගැන පමණක් වගකියන, හදවත අපි අසිරියක් කොටගෙන නොවසන්නෙමුද? අප වැනි මධ්‍යම පාන්තිකයන්ගේ ව්‍යාජ ආරක්ෂිතභාවය පිළිබඳ හැඟීම වසංගතයක් විසින් දැඩි සේ අභියෝගයට ලක් කර ඇති කාලයක මේ කවියෙන් මතුවන්නේ ගැඹුරු අරුතකි.
අපේ තථ්‍ය ජීවිතයෙන් ගත් වස්තු විෂයක් කවියාගේ නිරීක්ෂණයට හසු වන්නේ පමණක් නොව ඒ වස්තු විෂය මත කවියා කරන භාවනාවෙන් ගැඹුරු කවියක් උපදී. එනයින් සාමාන්‍යයෙන් දන්නා රත්නශ්‍රීගේ මිහිරි කවියට වඩා වෙනස් කවියක් උපදියි.
රත්නශ්‍රීට සුබ උපන්දිනයක් පතන තරුණ කවීන් මේ අනෙක් රත්නශ්‍රීද දැකගත මනාය.
ගී පදමාලා හෙවත් ගේය පද යනු සිංහල කාව්‍ය ක්ෂේත්‍රය නමැති කුඹුර වනසාලන වල් පැලෑටි බව ගුණදාස අමරසේකර පවසා තිබුණා.
ReplyDeleteනමුත් එකෙන් අපට මහගම සේකර, රත්නසිරි විජේසිංහ නම් ඇසුණු ගමන් සිහිවෙන්නේ ඔවුන් ලියූ ගී පද මාලා යි. එනම් කවියන් කරන නිර්මාණ වලින් දනන් තුඩ තුඩ පවතින්නේ ගේයපද යි.
රත්න ශ්‍රී කිවියාණන්ගෙ සන්ධ්‍යා තීර්තයෙහි එන ‘අතරමග’ නම් හිසින් යුතු කවියත් මට දැනෙන්නෙ ඒ වගේ කවියක් කියල
ReplyDeleteඑකම එක සඳක් විය
පරෙයිගල කඳ හිසෙහි
රැය එපා වු හෙයින
බසින්නට පය තියන
එකම එක ගඟක් විය
එකඳු පා මුල බිමෙහි
නැවතීමකැයි ගමන
නෙගලාම නතරවුණ
එකම ඒක ගසක් විය
ඉවුර අස මුඩු පසෙහි
සිහිනයෙන් මුල් අදින
පත් එකින් එක මුදන
එකම එක මිනිසෙක්ය
නන්නාඳුනන ලොවෙහි
කොතැන හෝ බිම වැටුණ
හැඳුනුම්පතක් සොයන
හරියට හරි. මේකත් මට හමු වී තිබුණු එවැනි කවියක්. ඔබේ නිරීක්ෂණය විශිෂ්ටයි.
DeleteFYI : an article written by me sometimes ago
ReplyDelete-> https://tinyurl.com/RatnaSri
thanks
Nirasha Gunasekera