ලංකාවට විශ්වවිද්‍යාලයක් දිනාගැනීම උදෙසා ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරය නම් සංවිධානය බිහි විය. ඒ 1906 ජනවාරි 19 වෙනිදාය. එහි සභාපතිවරයා වූයේ පොන්නම්බලම් අරුණාචලම්ය. ඒ ජනවාරි 19 වෙනිදා කොළඹ පිටකොටුවේදී පැවැති සමාරම්භක රැස්වීමට පොන්නම්බලම් ඉදිරිපත් කළ දේශනය අද අප අප සාකල්‍යවාදී අධ්‍යාපනය යැයි සැලකෙන සියලු දේම පාහේ අඩංගු කරගත්තකි. එහිදී එච්.ඒ. ජයවර්ධන, වෛද්‍ය එච්.එම්.ප්‍රනාන්දු, ආර්.එම්. ජේ. පාර්ක්, එස්.සී.කේ. රත්නම් යන අයද ඉතා වැදගත් අදහස් ඉදිරිපත් කළහ.
ආචාර්ය ආනන්ද කුමාරස්වාමිට ඒ රැස්වීමට සහභාගි වෙන්නට නොහැකි වූයේ ඔහු මහනුවර සිටි බැවිනි. එහෙත් ඔහු නුවර සිට ඡේද තුනක කෙටි ලිපියක් ලිව්වේය. මේ එහි එන වැකි දෙක තුනකි:
“... විශ්වවිද්‍යාලය ගැන සම්බන්ධයෙන් මට හැඟෙන දේ රඳා පවතින්නේ ඒ ලැබෙන විශ්වවිද්‍යාලය කවර වර්ගයේ එකක්ද යන්න මතය. මෙකල අපට සුදුසු යැයි මෙහි සැලකෙන උසස් අධ්‍යාපනය වූ කලි ආසියානු සංස්කෘතිය, සංගීතය, කලාව සහ භාෂා නොසලකා හැරීමද ඇතුළත් වූ උසස් අධ්‍යාපනයකි. ඒ වූකලි සම්පූර්ණයෙන්ම බටහිර සංස්කෘතිය මත පදනම් වූද විදේශීය භාෂාවක් මගින් ලබා දෙන්නා වූද අධ්‍යාපනයකි. අප ලබන්නට යන විශ්වවිද්‍යාලයද ඒ කාර්ය දැනට පවතිනවාටත් වඩා විශාල පරිමාණයකින් දිගටම කරන්නේ නම් අප ඒ විශ්වවිද්‍යාලය අත්හැර මදුරාසි විශ්වවිද්‍යාලය දෙසට ඇස් යොමු කරමු.
අනෙක් අතට ලංකා විශ්වවිද්‍යාලය යනු දැනට පවතින කොලීජීවල(නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය වැනි) හුදු විශාලකරණයක් නොවූ, නිදහස්, නේවාසික විශ්වවිද්‍යාලයක් නම්, ඒ විශ්වවිද්‍යාලයෙහි පෙරදිග සේම බටහිර සංස්කෘතිය උකහා ගැනීමට උචිත ඉඩහසර ඇත්නම්, අපි ඒ විශ්වවිද්‍යාලය අපට හැකි ඉක්මනින් ලබා ගනිමු.”
කිසිදු වචනයක් අලුතින් එකතු නොකර පරිවර්තනය කළ මෙම වැකි කිහිපයෙහි යනු කුමක්ද යන්න ගැන සැලකිය යුතු අදහසක් අඩංගු වේ. මෙහි ඇතැම් වචන කළු අකුරින් තැබුවේ මාය. ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරය සතුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තිබූ දැක්මෙහි දිගුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එහි සමහර අංග 60 දශකයෙන් පමණ පසු ටික ටික දුර්වල විය.
පරිවර්තනීය සමාජ ව්‍යාපාරයක ඵලය සුවපහසු රැකියා ලබා දෙන තැනක් බවට පෙරළී අර වැනි යුගකාරක ව්‍යාපරයක දැක්ම අඳුරු විය.
ආචාර්ය කුමාරස්වාමි වැනි අය පැතුවේ තුලනාත්මක සංස්කෘතික අධ්‍යයනයට ඉඩ ඇති, බහුවිධ භාෂා සංස්කෘති වෙත අනාවරණය වූ, සැබෑ අර්ථයෙන්ම ද්වීභාෂික වූ, ජාතික සංස්කෘතියෙහි සීමාව ඉක්මවා පොදු මනුෂ්‍යයත්වය වටහා ගත හැකි, විශ්වීය සංස්කෘතිය නාමයෙන් ඉදිරිපත් කෙරෙන අධිරාජ්‍යවාදී යුරෝපීය සංස්කෘතියෙහි සීමා විචාරය කළ හැකි අධ්‍යාපනයකි. එවන් අධ්‍යාපනයක් ලද උගතා මව් බස හා ඉංග්‍රීසිය එක සේ හැසිර විය හැකි ද්විභාෂිකයන් වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාව විය.
අද ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීම ගැන හදිසි උනන්දුවකින් කතා කරන අය විසින් හදාරනු ලැබිය යුතු අදහස් මාලාවක් ලංකා විශ්වවිද්‍යාලය ව්‍යාපාරය පැවැත්වූ සියලු සම්මන්ත්‍රණවලින් ප්‍රකාශ විය. ඒ ශතවර්ෂයකටත් වඩා පෙරය.
සිංහල සාහිත්‍යය ආදිය උගන්වමින් වැටුප් ලබන මම අපේ සාහිත්‍ය කලා සහ භාෂා අධ්‍යයනය විශ්වවිද්‍යාලයෙහි අනිවාර්ය අංගයක් විය යුතු බවට සටන් කළ ජනවාර්ගිකව සිංහල නොවූ අරුණාචලම්, කුමාරස්වාමි, රත්නම්, පාර්ක්, විලියම් මිලර්, ඒ. පී. සවුන්ද්‍රනායගම් යන දූරදර්ශී උගතුන්ට ණය ගැති වෙමි. ඩී.බී.ජයතිලක, ජේම්ස් පීරිස්, චාල්ස් පී. ඩයස්, රිචඩ් පෙරේරා, ඩොනල්ඩ් ඔබේසේකර, මාකස් ප්‍රනාන්දු, එස්.එන්.ඩබ්ලිව්.හුළුගල්ලේ යනාදී අයද ඒ ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරයෙහි වූහ. 1906 ජනවාරි 19 රැස්වීමටද ඔවුහු සහභාගි වූහ.
බොහොමත්ම ස්තූතියි මෙම ලිපියට!
ReplyDeletehttps://www.slnewsmirror.com/2021/07/01/ආචාර්ය-ආනන්ද-කුමාරස්වාමි/
ReplyDelete