Saturday, June 12, 2021

මගේ ඉරිදාව ගැන ඉරිදා ලියන රචනාවක් - ලියනගේ අමරකීර්ති



රටවල් දුසිමකටත් වැඩි ගණනක මුද්‍රාව මගේ විදේශ ගමන් බලපත්‍රයෙහි තිබේ. එසේ තිබියදීත් මගේ ඊර්ෂ්‍යාවට ලක් වන මිනිසෙක් සිටියි. ඔහුගේ නම නීල් විජේරත්නය. 

ඔහු තමන් සංචාරය කළ ස්ථාන ගැන ලියන මනරම් රචනා වැන්නක් මට තවමත් ලියාගන්නට හැකි වී නැති  බැවිනි, මගේ ඒ ඉරිසියාව. 

  මගේ ඒ සංචාර ගැන යම් දවසක ස්වයං-චරිතාපාදානමය ලේඛනයක එන්නට පුළුවන. මගේ ඒ සංචාර අත්දැකීම් ගැන සංචාරක රචනා යැයි නම් කළ හැකි ශානරයකට අයත් රචනා නොලියන්නට මා තීරණය කළ හේතුවද නීල් විජේරත්නය. ඔහු ඒවා ලියන මට්ටමෙන් මට ඒවා ලියන්නට බැරි බව මට දැනෙන තරම් ඉහළ ගුණයකින් විජේරත්න ඒවා ලියයි.

                             

විජේරත්නගේ අලුත් පොත මගේ ඉරිදාව නමින් පළ වී තිබේ. මෙහි එන බොහෝ “රචනා” විවිධ පුවත්පත් මගින් අපට කියවන්නට ලැබිණි. එහෙත් මනරම් නිමාවකින් යුතු පොතක් සේ දෝතින් ගෙන කියවන කල දැනෙන්නේ අමුතු මිහිරකි. ඒවා හැඳින්වීමට “රචනා” යන වචනය මා යොදන්නේ අරමුණක් ඇතිවය. පුවත්පත්වල පළ වන සෑම දේම "ලිපි" යැයි හැඳින්වීම අසාධාරණය. ලිපි යනුවෙන් ගොරහැඩි දේවල් අපමණ පළ වේ. ඇතැම් පුවත්පත්වල ලිපි යනුවෙන් පළ වන දේ ඝෝර ජාතිවාදයක් වපුරයි. නැත්නම් අතිසරල විදේශ විරෝධයක් ව්‍යාප්ත කරයි. නීල් විජේරත්නගේ රචනා ඒවාට වඩා බෙහෙවින් සියුමැලි මනුෂ්‍යත්වයක් පිළිබඳ හැඟීම් ඇති කරයි. ජාතික රාජ්‍ය සීමා, ජනවර්ග සීමා, චර්ම වර්ණ සීමා ඉක්මවා මනුෂ්‍යයත්වය පිළිබඳ උණුසුම් හැඟීමක් ඇති කරයි.


   “රචනාව” යනු ඊටම ආවේණික ලක්ෂණ ඇති ශානරයකි. හුදෙක් කරුණුමය හෝ ප්‍රවෘත්තිමය හෝ දෘෂ්ටිවාදීමය පත්තර ලිපියයකට වඩා මනුෂ්‍යමය අන්තර්ගතයක් රචනාවකට ඇත. එසේම රචනාව යනු බෙහෙවින් සාහිත්යික ශානරයකි. යම් යම් භාෂාමය අලංකාරිකවලට එහි ඉඩ තිබේ. රචකයාගේ ජීවන අත්දැකීම්වලින් බිඳක්ද එහි බහාලන්නට රචනාව ඉඩ දෙයි. එසේම එක්තරා දුරකට ප්‍රබන්ධමයත්වයටද ඉඩ තිබේ. රචනාව නම් ශානරයෙහි ශේක්ශ්පියර් සේ සැලකෙන මිශෙල් ඩී මොන්ටේන්ගේ  Essays කෘතිය මගේ පුස්තකාලයෙහි නිරන්තරයෙන් අතට ගත හැකි දුරක තබාගෙන සිටින්නකි. ඒ කෘතියත්, රචනාව නම් ශානරය ගැනත් මා කළ හැඳින්වීමක් සහ රචනා එකතුවක් සිතිවිලි සිතිජය පොතෙහි එයි. මොන්ටේන්ගේ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය පවා මිහිරි ගද්‍යයෙන් යුක්තය. 

      මුළුමනින්ම පනස් හයේ සහ අසූ අටේ දරුවෙකු වන මා වෙහෙස මහන්සි වී ඉංග්‍රීසි ඉගෙනීම වෙනුවෙන් දෛවය විසින් දෙන ලද තිළිණයක් සේ මා කියවන පොත් අතර එයද වේ. එවන් පොතක් හදවතින්ම විඳීමට යන්තම් ඊ මේලයක් කොටාගන්නා මට්ටම ඉක්මවා ඉංග්‍රීසිය ඉගෙනගත යුතුය. පනස් හයේ සහ අසූ අටේ දරුවෝ බොහෝ දෙනෙක් යන්තම් ප්‍රායෝගික වැඩ කරගත හැකි පමණට ඉංග්‍රීසි උගත් පසු භාෂාව හැදෑරීම නවතා දමති. නීල් විජේරත්න යනු කොළඹ ප්‍රභූ පාසලක ලද අධ්‍යාපනය නිසා සිංහල සේම ඉංග්‍රීසිය ළගන්නා සේ වහරන ලේඛකයෙකි. රචනා කලාව විඳිනු කැමැත්තන් ඔහුගේ ඉංග්‍රීසි රචනාද කියවුව මනාය.

                                                ඉරිදාව පොහොණි කිරීම

  අපි මගේ ඉරිදාව වෙත යමු. මෙතෙක් මෙරට පාලනය කරන ලද්දවුන් විසින් කාලකණ්නි කරන ලද රටක් වන අපේ රටේ ඉරිදා දවසද බෙහෙවින් කාලණ්නිය. එනම් ඉරිදා පත්තරයක් පෙළු විට දකින්නට ලැබෙන්නේ ජාතියේ අවාසනාව පෙන්වන දේවල්ය. බොහෝ ජනප්‍රිය පුවත්පත් මේ රටට සාපයක් වී ඇති ජාතික මංකොල්ලකාරයන්ගේ හොරණෑවන්ය. මේ නිසා ඉතා අවාසනාවන්ත දේශපාලන පුවත් සහ ප්‍රචාරවලට අමතරව ජීවිතයෙහි වෙනත් මනුෂ්‍යමය වටිනාකම් ගැන ලියවෙන සුන්දර රචනා හෝ අපගේ ජීවන කොන්දේසි ගැන ගැඹුරු අන්තර්දෘෂ්ටි ඇති රචනා හෝ දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නීල් විජේරත්න මෙරට පුවත්පත් කිහිපයකටම එවැනි රචනා සැපයමින් අපේ ඉරිදා දවස පොහොසත් කළේය. හුදෙක් මහේක්ෂ දේශපාලනය හෝ ආර්ථිකය ගැන ලිපි වෙනුවට වෙනත් සංස්කෘතික අඩවි, ජීවිතයට වැදගත් වන තවත් පුංචි පුංචි සිරාබිරා ආදිය ගැන හොඳ රචනාවක් කියවන මිහිරද සහිත රචනා ඔහු විසින් සැපයිණි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් නැමති කාලණ්නින් විසින් කාලකණ්නි කරන ලද රටක ඉරිදා දවසේ සංස්කෘතික දුගීභාවය ඒ නිසා මැකිණි. මේ පොතේ සංග්‍රහ වන්නේ ඒවාය.

  මේ තරම් අර්බුදකාරී රටක වුවද සාහිත්‍යය, නාට්‍යය, සිනමාව, ක්‍රීඩාව, ශාස්ත්‍රීය කටයුතු ආදිය වෙත දිවි කැපකොට අප රට සංස්කෘතික දුගීභාවයක් කරා ඇද වැටීම වළක්වන අය සිටිති. ඔවුන්ගේ කටයුතු ගැන ඒවාට ගැලපෙන තරම් ළගන්නා බසකින්, ඒ කටයුතු වෙත නිසි ගෞරවය දෙමින් ලියන කියන අය ඉන්නේ ටික දෙනෙකි. ඒ අතරින් නීල් විජේරත්න ඉදිරියෙන්ම සිටියි.


  මගේ ඉරිදාව පොතෙහි මුල් කොටස විජේරත්නගේ විසාරදත්වය ඇති අඩවියට වෙන් වේ. ඒ සංචාර රචනාවය. සෑහෙන තරම් දුරට ලෝකය දැක ඇති මා ඔහුට ඊර්ෂ්‍යා කරන බව මම ඉහත කීවෙමි. විජේරත්න ඉන්දියාවේ කළ සංචාරවලදී එක් කුඩා නිමේෂයකට පවා හමුවන ස්ත්‍රීන් ගැන කරන වැකි වැකියක දෙකක වැනුම් ස්ත්‍රීත්වයේ සුවිශාල ප්‍රදේශයක් සැණෙකින් හසු කර ගනියි. එසේම ස්ත්‍රී සෞන්දර්ය පිළිබඳ රචකයාගේ රසකාමී ඇසද අප හමුවේ නිරුවත් වේ. ඒ වූකලි රචනාව නම් ශානරය තෝරාගන්නා ලේඛකයාට මුහුණ දෙන්නට සිදුවන අනතුරකි. රචනාවේදී තමාගේ ආත්මීයත්වය වෙස් ගන්වන්නට ඇති ඉඩ අඩුය.

 අපි ඔහුගේම ඡේදයක් වෙත යමු:

“ අතුරුපාර කෙළවර, පාරෙන් එහා පැත්තේ වතුර පයිප්පයකි. ඒ දිගට පේළි ගැසී සිටින තරුණ ගැහැනු කට්ටියකි; ගණන් කළෝතින් විස්සකට වැඩි පිරිසකි. ඔවුහු දකුණු ඉන්දියානු මෝස්තරේට ඇඟට තදට හිරවෙන ලෙස දුහුල් සාරි ඇඳ සිටිති. ඔවුනගේ දෙපා ළඟ කළගෙඩියක් තරම් ලොකු පාට පාට ප්ලාස්ටික් සෙම්බුය. අතේ තවත් එවැනි කුඩා සෙම්බුවකිත ඔවුන් මේ බලා සිටින්නේ පයිප්ප කරාමයට කිට්ටු වන අවස්ථාව ලැබෙන තෙක්ය. පාට පාට ප්ලාස්ටික් සෙම්බු පේළියද, අනේකාකාර මෝස්තරයෙන් සහ පැහැයෙන් යුත් දුහුල් සාරි ඇඳි කාන්තා පිරිස පියෙවි නෙතට හසුවන්නේ දීප්තිමත් වර්ණාලේපිත පීත්ත පටියක සෙය්යාවෙනි. ඇත රැඳි සෙම්බු දෙකට වතුර පුරවා ගන්නා අයෙක් ඒවා රැගෙන මඳක් එහාට වී බලා සිටින්නී, ඊ ළඟ කෙනාද සෙම්බුවට වතුර පුරවාගන්නා තෙක්ය...

  අත රැඳි සෙම්බුවලට වතුර පුරවාගත් ඔවුන් ආපසු ගමන් යන්නේද එකටය; එක පේළියටය. ලොකු සෙම්බුව හිස මතය; කුඩා සෙම්බුව වමතේය. ඒ වටා ගිය වම් අතේ වාරුවෙන් එය ඉණට හිර වී ඇත...”

   මේ විස්තරය සෙමින් කියවන්න. විජේරත්න බසින් ගැහැනුන් වතුර ගෙන යන ඒ සාමාන්‍ය දර්ශනය හසු කරගන්නේ ළගන්නා ලෙසය. සාමාන්‍ය ඉන්දියානු ජන ජීවිතයෙහි කුඩා අවස්ථාවක් තුළ එක්තරා සංස්කෘතික රටාවක් දකින්නට රචකයාට ඇති හැකියාව පුදුමය. ඉතා සියුම් නිරීක්ෂණ ශක්තියත්, ඒ නිරීක්ෂණ භාෂාත්මක ප්‍රතිනිර්මාණයකට හැරවීමකටත් විජේරත්නට ඇති හැකියාව ප්‍රබන්ධ රචනයෙන් වෙනස් නොවේ. සත්‍ය සිද්ධි ප්‍රබන්ධ බවට හැරවූ ටෲමන් කැපෝටිගේ කෙටිකතාවක් සේ විජේරත්නගේ රචනය අපට පෙනේ. දුගී දුප්පත් ඉන්දියානු ජීවිතය අතිරොමෑන්තිකකරණය වීමේ ගැටලුව විටෙක පැන නැගුණත් මේ විස්ම කර්ම වදන් සිත්තම් ඇඳීම අපගේ අවධානයට ලක් විය යුතුය.

   ඉන්දීය නිර්ප්‍රභූ ජනයාගේ ජීවන අවස්ථාවල දර්ශනය වන සංස්කෘතිය රචකයා අප හමුවෙහි චිත්‍රණය කරයි. ඉන්දීය සංස්කෘතිය යනු ඉහළ පාන්තික ප්‍රභූ උරුමයකිය යන අදහස එනිසා අභියෝගයට ලක් වේ.

                                              අර්ථවත් ගද්‍ය රචනය

   සුන්දර ගද්‍ය රචනය පිණිෂ භාෂාත්මක ගිනිකෙළි දර්ශන අවශ්‍ය යැයි ඇතැම් ලේඛකයෝ සිතති. අවස්ථාවෙන් සහ අදාළ චරිත වෙතින්ද, තමන් අනුයන ප්‍රතිනිර්මාණ විධියෙන්ද අනුබල ලැබෙන අත්‍යවශ්‍යකත්වය නොමැති නම් භාෂා ගිනිකෙළි යනු භූෂණයක් නොවේ. ආධුනික ප්‍රබන්ධ රචකයා විජේරත්නගේ රචනා කියවා බැලීම වටියි. 

     ඉසාක් බාබෙල්ගේ මනරම් කෙටිකතාවක් "ගීද මෝපසාන් " නම් වේ. එහි චරිතයක් මෙසේ කියන බව මට සිහි වේ: “හරියටම හරි තැන තබන ලද නැවතීමේ  ලකුණ තරම් හදවත සිදුරු කර කිඳා බැසීමේ හැකියාව කිසිම යකඩයකට නැත.” මා මෙය ප්‍රබන්ධ රචකයෙකු ලෙස නිතර සිත දරන කියුමකි. බාබෙල් ඉන් අදහස් කරන්නේ නැවතීමේ ලකුණ පමණක් නොවේ. වචනයද එසේය. හරි වචනය හරි තැන යොදා රසික හද විනිවිදින සැටි හොඳ රචකයා දනියි. නීල් විජේරත්නගේ රචනාවල මේ රචනා කෞශල්‍ය හමුවන්නේ ඉඳහිට නොවේ. "ක්‍රිකට් යනු අහම්බයකින් එංගලන්තයේ පහළ වූ ඉන්දියානු ක්‍රීඩාවක්" යැයි අශීශ් නන්දි වරක් කීවේය. එය නම් ඇත්තය යන්න මට සිතෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දෛවයට ඇති ඉඩ සලකන කලය. විජේරත්න අහම්බයකින් සංචාර රචනා ලියන්නට යෙදුණු ප්‍රබන්ධ රචකයෙකියි මම සිතමි. සැණෙකින් රසික හද ඇල්ලීමේ ඔහුගේ හැකියාව නිසාය. 

   මේ පොතෙහි එන සියලු රචනා ගැන ලියන්නට මේ තැන නොවේ. ඇතැම් සංචාර රචනාවලට අමතරව, මෙහි සංග්‍රහ වන ජීවන චරිතාපදානමය රචනාද සාමාන්‍යයෙන් සිංහල පාඨකයාට අසන්නට දකින්නට නොලැබෙන ජීවන කලාපයක් අප හමුවේ විවර කරයි. කීර්තිමත් මලල ක්‍රීඩකයෙකු වූ ආතර් ක්ලීටස් ඩෙප් වැනි චරිතයක් ගැන මා මුල් වරට දැනගත්තේ විජේරත්නගේ රචනයකිනි. එය මෙම පොතේ "දැනහැඳුනුම්කම්" කොටසෙහි එයි. 

  නීල් විජේරත්නත් මාත් මිතුරන් බවට පත් කරන ක්ෂේත්‍ර දෙකක් වේ. එකක් සාහිත්‍යයයි; අනික ක්‍රීඩාවයි. මේ පොතෙහි අවසන් කොටසෙහි එන ක්‍රීඩා රචනා වියළි සංඛ්‍යා ලේඛන නොවේ. ක්‍රිකට් පිත්තක හරි මැද ලෙදර් පන්දුව වදින සජීවීව වදින හඬ අසා ඇති පාඨකයිනි. ඔබ ක්‍රීඩා ලෝලියෙකු නම් ඒ කෙතරම් මිහිරි හඬක්දැයි ඔබ දනියි. විජේරත්නගේ ක්‍රිකට් ලිපි ඒ ශබ්දය ඔබට ඇසෙන්නට සලස්වයි.

  විජේරත්නගේ සංචාරක රචනා තුලනාත්මක සාහිත්‍ය පාඨමාලාවක යෝජිත කියවීම් බවට මුලින්ම පත් කළේ මා විය යුතුය. ඒ හුදු ‘ආභාස අධ්‍යයනයක්’ වූ පාඨමාලාවක වපසරිය පුළුල් කරන අතරය. නීල් විජේරත්නගේ කේරළ නළඟන සහ බෙංගාලි යෙහෙළිය වෙත මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත හඳුන්වා දීමට මට හැකි විය. මේ වසංගත සමයේත් මම ඒ පාඨමාලාවේ දේශන කරමින් සිටිමි. ඒ දේශනය පැවැත්වෙන්නේ සිකුරාදටය.

  මගේ ඉරිදාව ගැන එන සිකුරාදා මගේ ශිෂ්‍යශිෂ්‍යාවන්ට කියන්නට සිතාගෙන මෙම රචනය නිමා කරමි.   

   

1 comment:

  1. හොඳ කියවීමක් මචං! පොත හොයාගෙන කියවන්න නොයිවසිල්ලක් හටගන්නවා! නීල්ගේ අනෙක් පොත් සියල්ල ම මා ළඟ තියෙනවා ! මේක ඉක්මනට හොයාගන්න ඕනෙ!!

    ReplyDelete