ඇමරිකාව තමන් සහභාගි වූ දීර්ඝතම යුද්ධයෙන්ද පැරදී ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් විය. එරට තලිබන් සටන්කාමීන් අතට පත්වූයේ කිසිවෙකු නොසිතූ වේගයෙනි. ඇෆ්ඝන් ආණ්ඩුවේ හමුදාවල ඉහළ සිට පහළට විශාල පිරිසක් කලෙක සිටම තලිබන් සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීය යන කාරණය ඇත්තක් බව වහා පෙනිණි. එසේම තලිබන් පක්ෂපාතී විශාල පිරිසක් පසුගිය අවුරුදු විස්ස තුළ ආණ්ඩුවේ හමුදා තුළට රිංගාගත් බවද කියවිණි. ඒ බව අන් කාටත් වඩා හොඳින් දැනසිටි ජනාධිපතිවරයා රටින් පැන ගියේය. දැන් ඇමරිකාවට පිටවෙමින් තිබේ.
2001 වර්ෂයේදී කාබුල් නගරයද සමග ඇෆ්ඝනිස්ථානය ඇමරිකාව අතට පත් වී දවස් හතකට පසු ධවල මන්දිරයේ අමුතු දෙයක් සිදු විය. එවකට මම පශ්චාත් උපාධි ශිෂ්‍යයෙකු ලෙස ඇමරිකාවේ උගෙනිමින් සිටියෙහි. එකල ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සතිපතා රේඩියෝ කතාවක් කළේය. ඒවාගේ සඳහන් වූයේද ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ කරමින් සිටි යුක්තිගරුක යුද්ධය ගැනය. මේ කියන දවසේ ජනාධිපති ආර්යාව ලෝරා බුෂ් මයික්‍රෆෝනය ගෙන අර සතිපතා කතාව කළාය! ඇමරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයෙහි කරමින් සිටින්නේ එහි සිටින ස්ත්‍රීන් බේරාගැනීම යැයි ඇය කීවාය. අවුරුදු විස්සකට පසුව ලෝරා බුෂ් කළ ඒ කතාවේ පිටපත සෙයූ මට එය හමුවිය. අන්තර්ජාලය යනු විස්මිත තොරතුරු ගබඩාවකි. 2021 නොවැම්බර් 17 වෙනිදා වොෂින්ටන් පොස්ට් පුවත්පතෙහි ලෝරාගේ සම්පූර්ණ කතාව පළ වී තිබේ.
“කුරිරු ලෙස ස්ත්‍රීන් මර්දනය කිරීම මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ එක් කේන්ද්‍රීය අරමුණක් බව ඇෆ්ඝන් ස්ත්‍රීහු අත්දැකීමෙන්ම දැන සිටියහ. සෙසු ලෝකය එය වටහා ගනිමින් සිටියි” යැයි කී ලෝරා මෙසේද කීවාය:
“ත්‍රස්තවාදයට එරෙහිව අප කරන යුද්ධය ස්ත්‍රීන්ගේ අභිමානය උදෙසා කරන යුද්ධයක්ද වේ.”
සිය කතාවේදී ඇය තලිබන් පාලනය යටතේ ස්ත්‍රීන්ට විඳින්ට සිදු වූ දුක් ගැහැට ගැන නොයෙක් සන්ත්‍රාසවත් නිදර්ශන විස්තර කළාය.
ස්ත්‍රීන්ට අධ්‍යාපනයට අවස්ථා නැතිකම, මව්වරුන් හඬ නගා සිනා සුණහොත් පහරදීම, නිය වර්ණ ගන්වා හසුවුවහොත් නියපොතු ගලවා දඬුවම් දීම, නිවසින් බැහැර වෘත්තියක යෙදීමට හෝ තනිව නිවසින් බැහැරයාමට අවසර නොදීම ආදී බොහෝ නිදර්ශන ඇගේ කතාවට ඇතුළත් විය.
“අප ලද යුදමය ජයග්‍රහණවලින් පසුව ඇෆ්ඝන් කාන්තාවන් දැනටමත් නිදහසේ සංගීතයට සවන් දීමටත්, තම දියණියන්ට අධ්‍යාපනය ලබා දීමටත් පටන්ගෙන ඇතැ”යි ලෝරා කියා සිටියේ උද්දාමයෙනි.
බුෂ් යුවළ වැඩිමනත් බුද්ධිමය කීර්තියක් නොතිබුණි. මේ කතාව කතා පිටපත් රචකයින් ලියන්නට ඇත. එහි එන කරුණුවල ඇත්තක්ද තිබේ. තලිබන් පාලනයක් යටතේ ස්ත්‍රීන්ට අත්වුණු ඉරණම සම්බන්ධයෙන් ලෝරා මූලික වශයෙන් නිවැරදිය. දැන් තලිබන්ලා වෙනස් වී ඇතැයි කියවුණද ඔවුන් යටතේ ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ ජීවිතය නැවත අර තත්ත්වයට යන්නට ඉඩ තිබේ.
ස්ත්‍රීන්ගේ විමුක්තිය සාදන්නට ආ ඇමරිකාව ප්‍රමුඛ හමුදා අතින්ද ස්ත්‍රීහුද දරුවෝද මිය ගියහ. කාබුල් වැනි ප්‍රධාන නගරවල ඇමරිකානු හමුදා කඳවුරු අවට ගණිකා වෘත්තිය අතිශයින් ඉහළ ගිය බවද සොල්දාදුවන් අතින් ඇෆ්ඝන් කාන්තාවන් දූෂණයට ලක් වූ බවද තලිබාන් සංවිධානය පිළිබඳ දරුණු විචාරකයෙකු වූ තරික් අලි ඊයේ පෙරේදා ලිව්වේය.
2001 දී ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළ කාලයේ නිව්යෝර්ක් ටයිම්ස් වැනි පුවත්පත්ද ඉල්ලා සිටියේ ඇෆ්ඝන් කාන්තාවනට පුරවැසි ජීවිතයෙහි සහ ආණ්ඩුකරණයෙහි වැඩි ඉඩක් ලබා දෙන ලෙසයි.
පසුගිය අවුරුදු විස්ස තුළ බොහෝ ස්ත්‍රීන්ට ඒ අවස්ථාව ලැබුණ බවද ඇත්තකි. ස්ත්‍රීන්ගේ අධ්‍යාපන අවස්ථා ඉහළ ගියේය. පෙරනොවූ විරූ ලෙස ස්ත්‍රීහු ජනමාධ්‍ය වැනි ක්ෂේත්‍රවලට ප්‍රවේශ වූහ. ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂා උගත්හ. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ඉහළ මට්ටමේ රැකියාවලට පිවිසුණහ. ග්‍රාමීය සංවර්ධන වැඩවලට එක් වූහ. පොතපත ලියූහ.
එහෙත් අවුරුදු 20කට පසු ඇමරිකාව ප්‍රබුඛ විදේශීය හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවන විට තලිබන්ලාගේ පළමු ගොදුර බවට පත්වන්නේ මදර් ජෝන්ස් සඟරාවේ ලේඛිකා මැඩිසන් පෝලි අගෝස්තු 17 වෙනිදා ලිව්වාය. පසුගිය කාලය තුළ ස්ත්‍රී නිදහස වෙනුවෙන් ප්‍රසිද්ධියේ ක්‍රියා කළ සමාජ ක්‍රියාධාරිනියන්ගේ ඉරණම තීන්දුවීමට ඇත්තේ දවස් කිහිපයක් නොවේ නම් සති කිහිපයක් පමණකියි විශේෂඥ අදහස් ඇසුරින් පෝලි වාර්තා කරයි. පසුගිය කාලය තුළ ඇෆ්ඝනිස්ථානයේ ප්‍රකට ජනමාධ්‍යවේදිනියක වූ කාන්තාවක් ගාඩියන් සඟරාවට මෙසේ කීවාය:
“ගතවුණු පැය විසි හතරෙ මම ගෙදරට හිරවෙලා බයෙන් ඉන්නෙ. හැම වෙලාවෙම එන්නෙ මරණ තර්ජන.” තලිබන්ලා විදේශීය මාධ්‍යයට මොනවා කිව්වාත් යටින් සිදුවන්නේ එයයි.”
”අපිට හතර වටින් පේන්නේ තලිබන්ලා ගැන භීතියෙන් පිරුණු නිහඬතාව විතරයි” ඇය තවදුරටත් කීවාය.
ඇමරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව වැනි රටවල් ඇෆ්ඝනිස්ථානයෙහි ක්‍රියා කළ කාන්තා නායිකාවන්, මානවහිමිකම් ක්‍රියාධාරිනියන්, ජනමාධ්‍යවේදිනියන් සහ ඔවුන්ගේ පවුල්වල අයට දේශපාලන රැකවරණ දෙන්නට ඉදිරිපත් වී සිටියද ඔවුන් බාරගන්නට කැමති වී ප්‍රමාණය මදිය. එහිලා ගත කරන්නට යන කාලය වැඩිය. බි්‍රතාන්‍යය විසිදාහක් දෙනාට රැකවරණ දෙන්නට ඉදිරිපත් වී ඇත්තේ අවුරුදු පහක කාලයක් තුළය. එය ප්‍රමාණවත් නැති බව බි්‍රතාන්‍ය විචාරකයෝම කියති. පසුගිය අවුරුදු විස්සක කාලය තුළ ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු කටයුතුවලට ලක්ෂ තුනක් (300000) සම්බන්ධ වුවත් 2014 වර්ෂයේ සිට මේ දක්වා ඇමරිකාවේ පදිංචියට යාම අවස්ථාව ලැබී ඇත්තේ 16000ක් දෙනාට පමණියි අනතුරට පත්වූවන් බේරාගැනීම සඳහා වූ ජාත්‍යන්තර කමිටුවේ වාර්තාව කියයි.
එහෙයින් ලක්ෂ තුනක් හෝ ඊට වැඩි ගණනක් වූ ඇෆ්ඝන් ජනයා රටෙන් ඉවතට ගැනීම කෙලෙසකවත් කළ හැකි දෙයක් නොවේ. ඇමරිකාව සමග සෘජු සම්බන්ධතා නැතත් නිදහස් ජීවිතයක් අපේක්ෂා ඇෆ්ඝනිස්ථානුවෝ බොහෝ වෙති. දැන් ඔවුන්ට සිදුවන්නේ තමන් අවුරුදු විස්සක් ගත කළ ලෞකික- සංස්කෘතික ජීවිතය මත නැවතත් ආගමික තීන්ත ගා වසා දමන්නටය. අඩු තරමින් අර ලක්ෂ තුනෙන් විසාල පිරිසක් දඬුවම් ලබනු ඇත.
තමන් දැන් ඉස්සරට වඩා වෙනස් වී ඇති නිසාත් ඉස්ලාම් දහමට ගැලපෙන ලෙස ස්ත්‍රීන්ට රැකියාවල යෙදෙන්නටත්, අධ්‍යාපනය ලබන්නටත් ඉඩ දෙන බව තලිබන්ලා කීහ. එහෙත් දැනට තලිබන්ලා යටතේ පවතින ප්‍රදේශවල වසන මල්වර වයස පසු කළ දැරියන්ට පාසල්යාම තහනම්ය. සති කිහිපයකට පෙර ෆර්යාබ් නම් පළාතේ කාන්තා පාසල් ගිනි තබා අළු කර දැමිණි. තලිබාන් බලය තිබූ ඊසාන දිග ඇෆ්ඝනිස්ථානයේ ස්ත්‍රීන්ට පිරිමි කෙනෙකුගේ සහයෙන් තොරව බැහැර යාමට තහනම් කෙරුණු අතර සමහර තරුණියන්ට තලිබාන් සටන්කරුවන් හා විවාහ වන්නට බලකෙරිණි.
අර 2001 රේඩියෝ කතාවේදී ලෝරා බුෂ් තලිබන්ලාගේ ස්ත්‍රී හිංසනය සම්බන්ධයෙන් සම්පූර්ණ ඉස්ලාම් දහමට චෝදනා නොකළාය. ඇය කීවේ ඊට වගකිව යුත්තේ ඉස්ලාම් දහම පිළිබඳ තලිබන් අර්ථකථනය බවයි. ඇගේ සැමියාගේ අධිරාජ්‍යවාදී ආක්‍රමණයට විරුද්ධ වන අතරම ලෝරාගේ මේ කියමනට නම් මමත් එකඟ වෙමි.
දැන් තලිබන්ලා අත එක තනි පොතක් ඇත. ඔවුන් අත බොහෝ තුවක්කු තිබේ. ඒ සමහර දරුණු තුවක්කු ඇමරිකානුවන්ගෙන්ම උදුරාගත් ඒවාය. විශාල තුවක්කු ගොඩක් ඇති නූගත් සටන්කාමීන් පිරිසක් අතට එක තනි පොතක් පත් වූ කල එය අර්ථකථනය කරන ආකාරය තීරණය වන්නේ අන් කිසිවකටත් වඩා තුවක්කු නිසා එන බලයෙනි. එවිට ඥානවිභාගමය විමර්ශනයට ඉඩක් නැත.
රුසියාව සහ ඇමරිකාවට පසු ඊ ළඟට ඇෆ්ඝනිස්ථානයට බහින්නට සූදානම් වී සිටින චීනයට තලිබන්ලා විසින් ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් උල්ලංඝනයක් ප්‍රශ්නයක් වන්නේද නැත.
මා නම් අධ්‍යාපනය මිලිටරිමය ආකෘතියක් ගැනීමට විරුද්ධ වන්නේ මේ අර්ථයෙනි.
හරීම වටීනා කියවීමක් සර්....
ReplyDeleteශානක...