Friday, September 3, 2021

කවියා තම ආරම්භක අමුද්‍රව්‍ය ඉක්මවා තේමාත්මකය කරා යන ආකාර: ගෙදර ගැන රචනයක් - ලියනගේ අමරකීර්ති

 



 

 

අපි ඉන්නෙ ගෙවල්වලට හිර වෙලා. ගෙවල් ඉන්නෙ අපිට හිරවෙලා කියල කියන්නත් පුළුවන්. කවිය ගැන වෙන රචනාවකට දේවල් නැවත කියවද්දි ගෙදර කියන වස්තු විෂය අරගෙන ලියවුණු කවියක් දෙකක් පරීක්ෂා කරන්න හිතුණා. තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයනයෙදි අපිට අවධානය යොමු කරන්න පුළුවන් තුලන විධියක් තමයි ඒ වගේ තනි තේමාවක් අරන් කොහොමද සාහිත්‍යකාරයො ඒ තේමාව සමග වැඩ කරන්නෙ කියන එක. මේ වැඩේ කරන්න පුළුවන් සංස්කෘති කීපෙක නිර්මාණ සන්සන්දනය කරමින්. ඒ වගේම එකම සංස්කෘතිය තුළ පහළ වුණු නිර්මාණත්, එකම නිර්මාණකරුවාගෙ එකම තේමාව යටතෙ ලියවුණු නිර්මාණත්  තුලනය කරන්නපුළුවන්.

     ඊයෙ රුහුණු විශ්වවිද්‍යාලෙ වෛද්‍ය පීඨය සංවිධානය කළ කවිය ගැන සංවාදෙකට සූදානම් වන අතරෙ මම තෝරාගත්තා ගෙදර කියන සංකල්පය. ගෙදර අපිට හරිම තීරණාත්මක යුගයක් ඇවිල්ලා තියෙන්නෙ. ආණ්ඩුව නිරෝධායන ඇඳිරි නීතියක් දික්කරලා නිසා ගෙදරමයි අපිට ඉන්න වෙන්නෙ. අපේ පැවැත්මේ කේන්ද්‍රය ගෙදර. වසංගතය නිසා අපිව ගෙදරටම හිරවෙලා තියෙන බව ඇත්ත. ඒත් කුටුම්භය නමැති ව්‍යුහයට අපි හිර වුණේ වසංගතය නිසාද? නැතිනම් වසංගතය නිසා අපිට ඒ හිරවීම පැහැදිලිව පේනවද?

    "ගෙදර" නම් තේමාව ගැන හිතද්දිම අපිට මතක් වෙන්නෙ ගුණදාස අමරසේකරගේ අමල් බිසෝ පොතේ ගෙදර ගැන එන කොටස. ඒක ඒ කාව්‍යයෙන් ගලවලා ඉවතට ගන්න එක හරිද කියන ප්‍රශ්නෙ එන බව ඇත්ත. මහාචාර්ය ආරිය රාජකරුණා එහෙම කරල සිංහල කාව්‍ය සංග්‍රහයෙ පළ කරලා තියෙනවා. 

“ගෙදර කියා දෙයක් ලොවේ හැමට     තියෙනවා

 පුදුමයිනේ එහෙම තැනක් ලොවේ     තියෙනවා” කියා අමරසේකර කියනවා.


  ඒ පැදි හත ගෙදර නම් වස්තුව අපේ පැවැත්මේ කේන්ද්‍රය වී ඇති ආකාරය සිත්ගන්නා සිත්රූපවලට නගනවා. ඒක කරන්නෙ ඉතා සරලව. ඒත් ගෙදර නම් කේන්ද්‍රය අප මත ඇති කරන ව්‍යුහමය පීඩාව ඒ කවියෙ නෑ. ව්‍යුහමය පීඩාව කියන්නෙ මෙහෙම දෙයක්: ගෙදර අපේ පැවැත්මේ අනිවාර්ය ස්වභාවික කේන්ද්‍රයක් බවට පත්වීම නිසා සාමාජික මනුෂ්‍යයාට සිද්ධ වෙන දේ. මෙහෙම හිතමුකො. ගෙදර කියන්නෙ ගෙය නැමැති ගොඩනැගිල්ල විතරක් නෙමෙයි. ඒක මානව සම්බන්ධතා ව්‍යූහයක්. ඒත් අපි ගොඩනැගිල්ල හදන්න විශාල වශයෙන් වෙහෙසෙනවා. මධ්‍යම පාන්තික අපි අපේ වැඩිහිටි ජීවිතයෙන් සැලකිය යුතු ශ්‍රමයක්, ධනයක්, කාලයක් ගෙයක් හදන්න ගත කරනවා. සමහරු ජීවිත කාලයටම ඊට වඩා ලොකු ක්‍රියාවකට දායක වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගෙයක් හදලා තියලා මැරිලා යනවා. ඒ කියන්නෙ ඒක ව්‍යුහයක් විදියට වැඩ කරල ඒ පුද්ගලගෙ පැවැත්ම සීමා කරනවා. 

     ආරියවංශ රණවීර ගෙදර, ගෘහස්ත ප්‍රේමය ආදිය ගැන කවි විශාල ගණනක් ලියපු කවියෙක්. ඔහු විවිධ ප්‍රවේශවලින් සිය කවියත් අරන් ගෙදරට පිවිසෙනවා. සමහර විට ගෙදර ජීවිතය උත්කර්ෂයට නංවනවා. සමහර විට ගෙදර ජීවිතය ප්‍රශ්න කරනවා. ගෙදර නමැති සංකල්පය මනුෂ්‍ය පැවැත්මේ කේන්ද්‍රීය ව්‍යුහයක් කියන දේ රණවීර තරම් හොඳට ග්‍රහණය කරගන්න කවියෙක් මට එක පාරට මතක් වෙන්නෙ නෑ.

    මේ රචනයෙදි මම ඔහුගෙ කවි කීපයක් අරන් මේ ගැන කතා කරන්නෙ කවියෙක් කොහොමද තමන්ගෙ කවියට පදනම් කරගන්නා ආරම්භක අමුද්‍රව්‍ය ඉක්මවන අර්ථ කලාපයක් ඇති කරන්නෙ කියන එක පැහැදිලි කරන්න. ඒ කියන්නෙ අත්දැකීම ඒ විදියටම වාර්ථ නොකර ඒ වෙත තේමාත්මක මානයක් එක් වන සේ අත්දැකීම ඉක්මවන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ආමන්ත්‍රණය කරන්න. විෂය ග්‍රහණය කරගැනීමෙන් එපිටට කවිය වර්ධනය කරන්නෙ කොහොමද කියන එක පැහැදිලි කරන්න.

 ගේහසිත ප්‍රේමය

සියළු දෙය

එපා වී ගිය විට

ඉඩ දෙන්න මට

පැමිණ

හිඳගන්න

ඔබ ළඟ

නිහඬව



පහනේ එළිය

හ්ම් ගානා අතර

පොතෙහි පිටු මත

නෙත් යවන ගමන්ම

නොබලාම ම දෙස

යවන්න

ඔබේ ඇතැඟිලි

සුවදෙන

අවුල් කෙස් අතරින්

මා අවනත හිස


   තිත් පොතේ ආපු මේ කවිය ගෘහස්ත ජීවිතේ සුන්දර පැත්ත ගැන බව කාටත් පේනවා. ගෙදර බැහැරින් එන ජීවිත පීඩාව නිවන තැනක් බව ඇත්ත. හැම ගෙදරකම, හැම වෙලාවෙම තියෙන ජීවිතය මේක නොවන්න පුළුවන්. මේ දවස්වල නම් ගෙදර කියන්නෙ අපි වැඩ කරන තැන. මේ කියන අන්දමේ නිස්කලංක සැහැල්ලුව නැති වෙන්න පුළුවන්. 

  රණවීරගේ කවි බොහොමයක ගෙදර එන්නෙ පිරිමියාට සැනසුම දෙන තැනක් විදියට. මේ කවියෙදි නම් බිරිඳ පොතක් කියවන අතරෙ තමයි සුවදෙන ඇඟිලිවලින් මේ කථකයාගෙ හිස පිරිමදින්නෙ. ඒක හොඳයි. බිරිඳ හුදෙක් සැමියාගේ සුවයේ උපකරණයක් නෙමෙයි. ඇයට වෙනම පැවැත්මක් ඇති බව පේනවා පොතක් කියවීමෙන්. 

 පහත එන කවිය රණවීරගෙ ගෙදර ගැන කවි අතර මම කැමති නැති එකක්.

 ගෙදර


සරම

සීතල

වතුර ටික

උණු

උණුවෙ

තේ එක

සනීප

පුටුව

දැවටෙන

පියබඳ

අහෝ

සුව


  මේ කවියට මම කැමති නොවන්න හේතුව තමයි එහිදී බිරිඳ සැමියාගේ සුවය ඇති කරන උපකරණය වීම. ඔහු ලැබීමෙන් සතුටු වන අතර ඇය දීමෙන් සතුටු වෙනවා. මේ කවිය ගැන මම පන්ති කාමර සාකච්ඡාවලදි මෙහෙම අහනවා. මේ කවියෙ සරම අයින් කරලා ගවුම ඇතුළු කළොත් කවියට මොකද වෙන්නෙ? |"පියබඳ" අයින් කරලා "ප්‍රියයාණ" වගේ එකක් දැම්මොත් මොකද වෙන්නෙ? අපිට හිනා යන්න ඉඩ තියෙනවා. ඇයි? මොකද පිරිමියාට ගෙදරක සුවය සදන්නිය හැටියට අපේ විඥානයෙ ඉන්නෙ ස්ත්‍රිය. ඒකෙ අනික් පැත්ත ගැන සංස්කෘතික රූපක නෑ.

  හැබැයි රණවීර කියන්නෙ විවිධාකාරයේ සුන්දර කවිවලින් බිරිඳට ආදරය පෑ කවියෙක්. එක කවියක් මේ:

 බිරිඳට

මේ දැන් ගියත් ගෙදරින් මඳක්

මහ කල්පයක් වගේ දැනෙන්නේ ඇයි?

සුව මඳනලක් වගේ ගෙට ආ සැණින්

දිවි බර ගෙයින් දුරුවන්නෙ ඇයි?

  තරමක් අතිරොමෑන්තිකයි වගේ පෙනුණට මෙහෙම දැනෙන මොහොතවල් අපේ ජීවිතවල තියෙනවා. දිවිබර ඇති කරන කෙනෙක් විදියට නෙමේ ඒක දුරු කරන කෙනෙක් විදියට බිරිඳ අප ඉදිරියට එනවා. ඒත් සැහැල්ලුව ඇති කරන ශක්තිය ඇය තුළ ස්වභාවිකවම තියෙන බව කීම ගැන කෙනෙක් වාද විවාද කරන්න පුළුවන්.

     නිවස ඇතුළේ ප්‍රේමය හෙවත් මානව සම්බන්ධතා ආගමික මට්ටමේ පූජණීයත්වයක එසවීම ගැන බෙහෙවින් උත්ප්‍රාසාත්මක කවියක් පියංකාරගේ බන්දුල ජයවීර ලියා තිබෙනවා. ජයවීර කියන්නෙ ගෙදර කියන ආයතනය ගැන තියුණු නිරීක්ෂණ සහිත කවි ලියපු කෙනෙක්. මේ කවිය නිකමට බලමු:

කුටුම්බාරාමය

ප්‍රේමයේ ආගම

හදපිරි බැතින් අදහන

භක්තිවන්ත

ප්‍රේමවන්තයා වෙමි

ප්‍රේමයේ නාමයෙන්

තෙල් මල් සුවඳ දුම්

පූජා නොකරන

එහෙත්

හතරපෝයට මතු නොව

ජීවිත කාලයටම

ඔබ නමින් “සිල් රකින”

බණ භාවනා කරන

නිබඳ “දන්-පින්” කරන

ඔබේ සෙවණේ

“කුටුම්බාරාමයේ”

ප්‍රේමයෙන්...

භාවනානුයෝගීව

වෙසෙන මම

කුමට “පන්සල්” යන්නද?


  මේ කවියේ උත්ප්‍රාසය අපට අඟවන්න කවියා කරන්නෙ තෝරාගත්තු වචන කීපයක් උද්ධෘත ලක්ෂණවලින් ලකුණු කර පෙන්වීම. ප්‍රේමය ආගමක් සේ අදහන්න වුණාම ලෞකික අවකාශයක් වන ගෙදර එක්තරා පන්සලක් වෙනවා. අප සමග වසන අයට කොච්චර ආදරේ කළත් මොනව ආකාරයකවත් පන්සලක් කියන්නෙ ලෞකික අවකාශයක් නෙමේ. ආදරේ වුණත් ඇදහිලිවාදයක් වුණොත් මොකද වෙන්නෙ?

  

    ගෘහ ජීවිතය ගැන රණවීර ලියපු කවි අතර මගෙ ප්‍රියතම එකක් තමයි මේ.

                     ගෙය

බඩවත මුදු සුවැති මකරෙකි නුඹ             පුදුම

පිඹ පිඹ ගිනි විදින උක්කුටුව              ඉඳගෙන

ගිල ගිල සියලු දෙය දුක සේ සරි             කරන

නොනිවෙන සදා කල කුසගිනි මැද         පෙළෙන


පුරා රැයක් බඩතුර වැද නිදා                    ගෙන

උදෑසන නැගිට යමි ගොජුරු                සොයමින

සදා ගෙනත් නෙක රස අහර                  කවමින

බදා වැළඳ ගමි උණුසුමෙහි                ගැලෙමින



  රණවීර සිය කවිවලදි ගෙදර කියන සංකල්පය ගොඩනැගිල්ල කියන අර්ථෙනුයි, වාසස්ථානය කියන අර්ථෙනුයි භාවිත කරනවා. House කියන්නෙ ගෙය නමැති ගොඩනැගිල්ල Home කියන්නෙ වාසස්ථානය.  නිවස. මේ දෙක බොහෝ වෙලාවට එක මත එක වැටෙනවා. වෙනස මැකෙනවා. 

    මේ කවිය ගෙය, ඒ කියන්නෙ ගොඩනැගිල්ල ගැන වගෙයි පේන්නෙ. ගෙය මකරෙක් වගේ තමයි කථකයාට පේන්නෙ. ඔහු දුක සේ සරි කරන සියලු දේ භක්ෂණය කරන මකරෙක්. මම ඉස්සරලා කිව්වා වගේ මේක ඇත්ත. ගෙයක් කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙ ඵලදායකම කාලෙදි ඔහුගේ හෝ ඇයගෙ ශ්‍රමයේ ඵල සියල්ල කා දමන මකරෙක් තමයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ගෙයක් සෑදීම කියන ජීවන අරමුණ නැති සමාජයකදි මනුෂ්‍යයා පොදුවේ සාමුහිකව ඵලදායක වන දේවල්ම කරයි කියලා. ඒත් එවැනි නැඹුරුවක් තියෙන මනුෂ්‍යයන්ගෙ ජීවිතෙන් ගේ කිය බර අයින් කරල දෙන්න පුළුවන් නම් හොඳයි. ගේ කියන වස්තුව තමන්ගෙ පැවැත්මේ කේන්ද්‍රය බවට පෙරළා නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේක ලේසි වැඩක් නෙමේ. ගේ කියන වස්තුව ධනවාදය වෙතින් ආර්චන වටිනාකමකුත් දෙනවනෙ. එහි රුපියල් අගය ඉක්මවූ වටිනාකමක් තියෙනවා. නිවාස වෙළඳාම්කරුවො, නිවාස සැලසුම්කරුවො, නිවාස ගැන වෙළඳ දැන්වීම්කරුවො, ජීවිතයේ සාර්ථකත්වය ගැන උගන්වන අය ආදීන් ගෙය හුදු ප්‍රයෝජ්‍ය වස්තුවකින් එහා සංකේතීය වටිනාකමකට උස්සනවා. එතකොට රණවීර කවියෙදි කියන මකරා තව තව තර වෙනවා. තව තව භයානක වෙනවා. 

  මේ වසංගතය අපව මකර බඩේ හෙළා තිබෙනවා. ගෙදර කියන්නෙ දැඩි ලෙසම සංස්තෘතිකකරණය වූ මකර බඩක්. ඒ නිසා ඒක මකරෙක් විදියට නෙමේ පේන්නෙ සංස්කෘතිය විදියට. කවියෙක්ම අපිව නවත්තල පෙන්නුවොත් මිසක් අපිට ඒක පේන්නෙ නැත්තෙ ඒකයි. 



2 comments: