අවංකව ලියනකොට හරි ලස්සනයි. ප්‍රබලයි. අවංකව ලියනවා කියන එකට අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි තමන් කෙරෙහිව අවංකව ලිවීම. ආත්ම ගවේෂණයෙදි ස්වයං වාරණවලට ලක් නොවීම. මනුෂ්‍ය පැවැත්මේ සියලු අඩවි ගවේෂණය කිරීමට නිර්භය වීම. අදාළ වස්තු විෂය ගවේෂණයට අවශ්‍ය හොඳම වචනය භාවිතයට බය නොවීම. තමන්ගෙ පැවැත්ම පිළිබඳ ප්‍රධාන ගැටලු මග නොහැර අමුද්‍රව්‍ය සේ ගැනීම.
සුරේඛා සමරසේනගෙ වම් පියවුර කියන කවි එකතුවෙ කවි කියවද්දි මට ඔය වගේ දේවල් මතක් වුණා.
ඒ පොතේ තියෙන අවංක නිර්භීතකම ඉබේ ආපු එකක් නෙමෙයි. කවිකාරිය ඒ ගැන සවිඥානකයි. පොතට පෙරවදනක් වැනි කවියක කඩක් මෙහෙමයි:
මගෙ කවියෙන් වතුර නටන හඬ අහන්න
මගෙ කවියෙන් වෙඩි පිට වෙන හඬ අහන්න
මගෙ කවියෙන් වේසියකගෙ දඟ දකින්න
මගෙ කවියෙන් ඒ වේසිගෙ හිත දකින්න
ස්ත්‍රියගේ ශාරීරික අත්දැකීම, ලිංගික අත්දැකීම, ලිංගිකමය ස්පර්ශය ස්ත්‍රියට දැනෙන හැටි, ස්ත්‍රිය එය විඳින හැටි ආදිය ගැන සුරේඛා බය නැතුව ලියනවා. එයාගෙ හොට් චොකලට් කෙටිකතා පොතේ ඒ ලක්ෂණ තියෙනවා. ඒ ගැන පස්සෙ. මේ වම් පියවුර ගැන.
පැවැත්ම සහ ආධ්‍යාත්මය අතර සම්බන්ධය තමයි අපේ කවිවල නිතර ගවේෂණය වන්නෙ. විශේෂයෙන් කවිවල. කවිකාරියන් වැඩියෙන් ලියන්නෙ ආදර සිත ගැන. ආදර සිරුර ගැන ලියනවා අඩුයි. සුරේඛා පැවැත්මයි ශරීරයයි අතර සම්බන්ධය ගවේෂණය කරනවා. ඒක හොඳයි. හිතට දේවල් දැනෙනවා කියන එක එක අතකින් ගත්තම බොරුවක්. අපිට දේවල් මුලින්ම දැනෙන්නෙ ඇඟට. මිනිසාට සම නමැති විශාල ඉන්ද්‍රියක් තියෙනවා. ඒක තමයි විශාලම ඉන්ද්‍රිය. ඒකෙ සමහර තැන් වඩා සංවේදියි. සමහර තැන් සරාග කලාප. සමහර තැන් ආදරයේ වෙන වෙන ස්වරූපවලට වෙන් වූ කලාප.
ශරීරය සහ පැවැත්ම අතර සම්බන්ධය ගවේෂණය කරන්න එක්තරා නිර්භීතකමකුත් ඕනෙ. සුරේඛාට ඒක තියෙනවා. හැබැයි ඒක විතරක් නෙමේ ඇයට තියෙන්නෙ. ප්‍රබල කවිකමක් තියෙනවා. ඒ ගවේෂණයට අවශ්‍ය කාව්‍යමය ශිල්ප ඥානය තියෙනවා. වැඩේට ගැලපෙන දෘෂ්ටියක් තියෙනවා.
අර ඇමන්ඩා පාමර්ගෙ පියවුර පෙනිච්ච එක වස්තු කරගෙන තමයි සුරේඛා පොතට නම සපයන කවිය ලියන්නෙ. මේ ඒකෙ එක තැනක්:
අන්තර් ජාලයෙන් මම දකින ගී ගය පාමර් ඇමැන්ඩා
ඊයෙ රෑ මං උඹේ හිතුවක්කාර වම් තනේ දැක්කා
බ්‍රෙසියරෙන් නිදහස්ව බි්‍රතාන්‍යයේ හිරු එළිය විඳිනා
සුදු පාට ඒ තනේ ගැන මට ඉරිසියා හිතුනා
දන්නවද ඔය වගෙම දඟ එකක් ඉස්සර මගෙ ළඟත් තිබුණා
පෙම්වතුන් අතින් ඇතැඟිලි තුඩින් මිහිරිවට ඒකෙ තුඩ රිදුණා
ඒ මිහිරි වේදනාවක අත්දැකීම අත් කර දුන් කථිකාවගේ තනේ දැන් නෑ. ඒක තියෙන්නෙ තුවාල කැළලක්. එය තිබුණා නම් එය ලෝකෙට පෙන්නන්නත්, ඒක ආදරවන්තයින් ලවා අතගාව ගන්නට ආසා කරන බව ඇය කියනවා.
පියවුර ඇගේ පැවැත්මේ වැදගත් කොටසක් බව ඉන් කියවෙනවා. ජීව විද්‍යාත්මකව වුණත් මේකෙ පොයින්ට් එකක් තියෙනවා. මනුෂ්‍ය ස්ත්‍රීන්ගෙ පියුවරු ශරීර ප්‍රමාණයට සාපේක්ෂව ලොකුයි. අනික එව්වා දරුවෙක් පිරිසිඳ ගන්න කලින් ඉඳලම ලොකුයි. දරුවො ලැබිලා කිරි වැරුවට පස්සේ තන් නොපෙනී යන්නෙ නෑ. පරිණාමෙට ඕනැ වුණා නම් එහෙම හදන්නත් තිබුණා.
පියවුරක් කියන්නෙ හුදෙක් කිරි සැපයීම නමැති උපයෝගිතා කාර්යයකට විතරක් තියෙන එකක් නෙමේ. එය ප්‍රීතිය ඇති ගෙන දෙන ඉන්ද්‍රියක්. ඒ අතින් පියවුරට කිරි අදාළම නෑ. එඩ්වර්ඩ් ඕ. විල්සන් ඔන් හියුමන් නේචර් (ON Human Nature) කියන පොතේ තවත් දේවල් අතර මේ ගැන කතා කරනවා. පියවුරු විතරක් නෙමේ පොදුවේ මනුෂ්‍ය ශරීර සකස් වෙලා තියෙන්නෙ මනුෂ්‍ය ජෝඩුවලට එකිනෙකා වෙත ප්‍රීතිය සපයමින් දිග කාලයක් එකට ඉන්න. මේවා ගැන ඩෙස්මන්ඩ් මොරිස් එහෙමත් ලියලා තියෙනවා.
න්‍යාය කප්පරක් තිබුණත් සාහිත්‍ය කෘතියක අගය හරියට අල්ලන්න බෑ. විශේෂයෙන් කවි. ඒවා තනිව කියව කියවා, නැවත නැවත කියව කියවා විඳින්න ඕනෙ. සුරේඛාගෙ මේ පොතේ තියෙන කවිත් එහෙම තමයි.
සුරේඛා ශරීර කේන්ද්‍රීය ජීවිතය බය නැතුව ගවේෂණය කරන හැටි ගැන මම කිව්වා. හැම කවියකටම වගේ මේ ලක්ෂණය තියෙනවා: හංස විල කියන කවියෙ එක තැනක් මේ:
මිරැන්ඩාගෙ බෙල්ල දිගේ - නිස්සංකගෙ තොල් ඇදෙද්දි
ප්‍රේක්ෂාගාරෙ හිටපු- මගේ ඇඟත් හිරි වැටුණා
මගේ බෙල්ල දිගේ ඔයා- හුස්ම තවරනවා දැනුණා
ඇතැම් කවියක අතීත කායික ප්‍රීතිය පිළිබඳ යළි සිහි කරන ස්ත්‍රී කථිකාවියන් ඉන්න කවිවල තියෙනවා, මෙහෙම යෙදුම්:
කාමුක සුසුම්
ඈනුමක් වී නික්මෙන
මේ වගේ කළුවර රැයක
මතක් වෙනවා මට ඔබ...
බට නලාවෙන් නික්මෙන
තාලයත් එක්ක හැමිණුන
හැපින්නක් හිටියා - මතකද
ඔයාගෙම ඔලොගුවේ හැංගුණ
ආදර සම්බන්ධයක් ගැන එවන් රූපක මං කලින් දැකල තිබුණෙ නෑ.
ගෘහස්ථ ජීවිතය ඇතුළට යුවළක් සේ ඇතුළුව තනි තනිව ජීවත් වන ආදර ජෝඩු ගැන කවි කීපයක්ම මේ පොතේ තියෙනවා. හැම විවාහයක්ම ඒ වගේ නේද කියලා එතකොට හිතෙනවා. ඒ විවාහ ජීවිත ඇතුළෙ ස්ත්‍රියගේ ඉරණම ගැන, විශේෂයෙන්ම ගෙදර වැඩට උදව්පදව්වට තව කෙනෙකු කුලියට ගන්න බැරි මැද පාන්තික ස්ත්‍රියගේ ඉරණම ගැන, මේ පොතේ තියෙන කවිවලින් පේන්නෙ ඒ ජීවිතය ස්ත්‍රියගේ ආත්මපරිපූර්ණත්වයට කොතරම් බාධාකාරීද කියල පෙනෙන විදියට. එවැනි පවුල් පසුබිම්වල ගෘහස්ථ ශ්‍රම අවශ්‍යතාවලට දායක නොවන පිරිමිත් ඉන්නකොට තත්ත්වය තවත් නරකයි.
මේ පොතේ බොහෝ කවි සම්පූර්ණයෙන් උපුටා දක්වන්න තරම් දිග වැඩි වුණත් එක කවියක් අපි බලමු:
මගේ තොල ඉරීමට වඩා සිගරට්ටුවක් හරිම රසවත්?
තද දම්පාට ඔය තොල්වල සුව පහස
මට හිමි නොවේ සිගරට්ටුවකට විතර
දුර දවසක වින්ද එ’පහස මතක් කර
තදබල ඉරිසියාවෙමි, සිගරට් එක්ක...
ඇය සිහිනිය සුරතල්ය- මා මෙන් මහත නැත
දෑඟිල්ලෙන් හරව හරවා විඳිය හැක
උරමින් පෙනහැල්ල පුරවා අදින විට
රමණය විතර අම මිහිරක් දැනෙනවද...
මට නොකියන රහස් ඒකිට කියනවැ’ති
මා ගැන හිත හිතත් ඒකිව උරනවැ’ති
උරන කලාවේ සක්විති පදවි ඇති
ඔය තොල්වලට සිගරට් හරි කැමති ඇති...
දවට ඇඟිලි සිගරට් කිති කවනවද
මා වාගේම ඈත් කෙඳිරිලි නගනවද
දල්වද්දී කැමැත්තෙන් ඇය දැවෙනවද
‘අළු කරපන්න’ කියමින් උඩ පනිනවද...
සිගරට් නිසා ඇඟ හීතල කැපෙනවැ’තී
මට වගෙ පාලුවක් තනියක් නැතුව ඇතී
මම හීතලේ ඉන්නෙමි දුකින් තැවි තැවී
ගිනි මැල හතක් ගැසුවද පලක් නෑ සකී...
තනිව සිගරට්ටුව උරන පෙම්වතා හෝ සැමියාගේ කේවල ප්‍රීතිය මේ කථිකාව විසින් අර්ථකථනය කෙරෙන්නේ සපත්නී රෝෂයෙන් යුතුව. ඒ කායික ප්‍රේමය පිළිබඳ පිරිමි පරිකල්පනය අපි කව්සිළුමිණේ ඉඳල දැකල තියෙනවා. හැබැයි මේකෙදි අපි දකින්නෙ ස්ත්‍රිය තමාට ප්‍රීතිය ගෙන දෙන පිරිමි ශරීරය ගැන කල්පනා කරන ආකාරය. තමා දෙතොලින් උරා මුසපත් කළ පබාවතියගේ පියවුරු සිහි කර කර විලාප නගන කුස වගේ නෙමේ උරන කලාවේ සක්විති වැනි මේ ආදරවන්තයාගේ දෙතොලින් උරනු ලැබීමේ ආශාව ගැන මේ කිවිඳිය ලියනවා. අවංක ලියවිල්ලක් කිව්වෙ ඒකයි.
හැබැයි මෙතන තව දෙයක් තියෙනවා. තම පෙම්වතියගේ දෙතොල ඉරීම වෙනුවට පිරිමියා සිගරැට්ටුව ඉරීම විඳින්නේ ඇයි? ඇඟිලිවලින් අල්ලා තමාගෙ කැමති ආකාරයට මෙහෙය විය හැකි අචේතනික සිගරැට්ටුව නමැති උපකරණය මත ස්වාමිත්වය පෑම ඔහුට ප්‍රීතියක්ද? සැබැවින්ම පිරිමි අපි කැමති අපට ප්‍රීතිය ගෙන දෙන ස්ත්‍රීයද අචේතනික සිගරැට්ටුවක් වැනි උපකරණමය පැවැත්මකට ඌනනය කරන්නද?
විවාහ ජීවිතයට ඇතුළු වූ ස්ත්‍රියගේ පැවැත්ම ඇගේ ශරීරය කේන්ද්‍ර කරගෙන ගවේෂණය කිරීම අතින් මේ පොතේ තියෙන කවි කීපයක්ම මට අලුත්. ග්‍රීක කිවිඳිය සැෆෝ ක්‍රිපූ 6 වෙනි සියවසේදී ලිංගික ආශාව ඇගේ සම විනිවිද ගොස් ශරීරය වෙව්ලවන බව ලිව්වෙ ස්ත්‍රී සුරතාන්තය පිළිබඳ චිත්ත රූප මවමින්. අමායා ඇන්ජලෝ, ගර්ට්ටෲට් ස්ටයින්, අනයිස් නින් ආදීන් මේ වගේ දේවල් ලිව්වා.
මේ පොතේ හැම කවියක්ම මං මේ කියන කායික අත්දැකීම ගැන නෙමේ. ඩවුන් ටවුන් කියල කවියක් තියෙනවා. අමුතුම පරිකල්පන ශක්තියක් පෙන්වන. ඒවා කෙටි ලිපියක සාකච්ඡාවට ගන්න දිග වැඩියි.
මේ කවිය පරිකල්පනයත්, කාව්‍ය සංරචන ශිල්පයත් අතින් පරිසමාප්තයි කියන්න පුළුවන්:
ගඟ
උල්පත හැදුණෙ හදවත ගැඹුරේ තැනක
සෙනෙහස ඉණුවෙ කටුක ම ගිම්හානයක
සන්සිඳුවා නිවමින් මා වෙහෙස
ගඟක් වී ගලන්න - මා අසලම ඉන්න
කන් දෙමි රැයේ - ඔබ ගඟ ගලනා හඬට
විඳගමි කළුවරේ - පා කර එවන සිසිලස
දහවල පය ඔබාගෙන- කරන දඟවැඩ
ගඟ ඔබ ඉවසන්න- මගෙ මා සිපගන්න
විදුලිය කොටා - වහින වැස්සට පෙම් කරමී
ඔබ ගඟ- ගංවතුර වන තුරු දින ගනිමී
දෙගොඩ තලාගෙන- එනතුරු මඟ බලමී
හැකි නම් ගිලගන්න- කිසි දින ගොඩ නොඑමී
මේ කවියේ එන කථිකාවිය අනික් කවිවල උන්න කෙනා නෙමෙයි. වෙනස් ආකාරයක ජීවිතයක් සහ කවිතාවක් විස්වාස කරන කෙනෙක්.
රණවීර, නන්දන, එරික් වගේ අයගෙ කවි කියවන කොට හැම කවියෙම ඉන්නෙ එයාලා වගේ දැනෙනවා. මේක වැඩියෙම දැනෙන්නෙ එරික් සහ නන්දනගෙ. රණවීරගෙ නම් එක එක කවියෙ එක එක රණවීරලා ඉන්න අවස්ථා තියෙනවා.
සුරේඛාගෙ පොතේ කවිවලත් එක එක සුරේඛලා ඉන්නවා. මනුෂ්‍ය පැවැත්ම බොහෝ මුහුණුවර තියෙනවා. ඒක පේන එක හොඳයි. ඉහත කවියෙ විතරක් නෙමේ, කොළඹ, මලයාලම්, සමනලයා මිය ගියා යනාදී කවිවල ඉන්නෙ එක එක සුරේඛලා. සමනලයා මිය ගියා කියන අපූරු කවිය මෙතන සාකච්ඡා කරන්න ඉඩ හසර නෑ.
සුරේඛාගේ ඇතැම් කවි එක එකට පුපුරණ රතිඤ්ඤා වැල් වගේ. සමහර වෙලාවට වැලේ රතිඤ්ඤා වැඩියි. තව කරලක් දෙකක් අයින් කළා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේ තමයි සුරේඛා ලියන විදිය. සංක්ශිප්තභාවයේ ශික්ෂාපදවලින් ඈව හික්මවනවාට වඩා ඇය ලියා ඇත්තේ කුමක්දැයි දකින එක වටිනවා.
හැබැයි සිංහල කවියෙ අද සංක්ශිප්තභාවය ගැන එක තනි අදහසක් රජ කරනවා. රොබර්ට් ෆ්‍රොස්ට්ගෙ ඇතැම් කවි පවා දිග වැඩියි කියා අද සිංහලෙන් කියවෙන්න ඉඩ තියෙනවා. ඩොමිනික් චන්ද්‍රසාලි, සුදර්ශන සමරවීර, නිමල් ජයරත්න වගේ අයගෙ කවි වැඩිය සාකච්ඡා නොවුණෙ ඒ නිසා වෙන්න ඇති. ඒ තුන් දෙනාගෙ අවසන් පොත් තුනම අපේ අවධානෙට ගැනෙන්න ඕනෙ.
ඔය ඔක්කොම සැලකිල්ලට ගත්තම සුරේඛා මෙහෙම ලියන එක තමයි හොඳ.
මේ කවිපොත ගැන කරන හඳුන්වාදීම ඉතාම අපූරුයි ඇත්තටම නව කවි විලාසිතාවක් ඇයගේ කවි තුල තිබෙන බැව් සටහන් කර ගතිමි ඇයගේ කවි උරා බොන්නට ආශාවක් සිතට නැගුණි
ReplyDelete