අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පසුගිය තුන් වෙනිදා (මැයි 03) හෙළිදරව් කළ දූෂණ වංචා ලිපි ගොණු තොගය මෙරට ප්‍රගතිශීලී ජනයාගේ ජයග්‍රහණයකි. දීර්ඝ කාලයක් පැවති සොරකම් මාලාවක තොරතුරු ඒවාගේ අඩංගු වේ. ඒවා සම්පාදනය කළ නිලධාරින්ටත් ඒ වංචා මහජනයා හමුවේ තැබූ අනුර, වසන්ත, හඳුන්නෙත්ති යනාදීන්ටත් අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.
සැබැවින්ම දූෂණය සහ හොරකම නවත්වන්නට කැමති රජයක් බලයට පත් වුවහොත් ඒ අපරාධකරුවන්ට දඬුවම් දීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඒවාගේ තිබේ. ඒ ඇතැම් නඩුවලින් වරදකරුවන් නිදහස් වී ඇත්තේ දේශපාලන බලය ලැබීම නිසාය. ගෝඨාභය රාජපක්ෂ නඩු කිහිපයකින්ම නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය. එනම්, ජනාධිපතිට විරුද්ධව නඩු නොඇසෙන නිසාය.
ඒ ලිපිගොණු හඳුන්වා දෙමින් දිසානායක මහතා කී දෙයක් ඉතා නිවැරදිය. “මෙතන තියෙන්නෙ ටිකක් විතරයි. තව විශාල හොරකම් ගොඩක් අතරින් මේ ටිකක්.” එය ඇත්තකි. පාලක පවුල අයථා ලෙස උපයාගෙන ඇති ධනය සම්පූර්ණයෙන් හෙළිදරව් කර ගැනීම ඉතා දුෂ්කර වැඩකි.
මෙම රචනයෙහි අරමුණ ඒ දුෂ්කරතාව ඇති වන ආකාරය පැහැදිලි කිරීමය. අපේ රටේ දේශපාලන චෞරයන් සොරා කෑ ධනය ගමන් කර තිබෙන්නට ඉඩ ඇති ස්ථාන ගැන හැඟීමක් මේ රචනයෙන් ඉඟි කෙරේ.
යනුකොවිච්ගේ නැග්ම සහ අවසානය
රාජපක්ෂ පවුල වැනි දූෂිත දේශපාලකයන්ගේ ධනය ආරක්ෂා කරදෙන ජාත්‍යන්තර පද්ධතියක් තිබේ. ඒ පද්ධතිය ඉතා ප්‍රබලය. අපි යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ කතාවෙන් පටන් ගනිමු. ඔහු ඉතා දූෂිත පාලකයෙකි. ඔහු සහ ඔහුගේ හෙංචය්යෝ අතිවිශාල මුදලක් අයථා ලෙස උපයා ගත්හ. 2014 දී අද ලංකාවේ සිදු වන අන්දමේ විරෝධතාවලට බෙහෙවින් සමාන, එහෙත් ඊට වඩා ප්‍රබල විරෝධතා මාලාවකින් ඔහු බලයෙන් පහ කර එලවා දැමිණි. ඔහුගේ අතිවිශාල ජනාධිපති මන්දරය පිහිටි විශාල ඉඩමේ පෞද්ගලික සත්වෝද්‍යානයක්ද තිබිණි. උද්ඝෝෂණ දරාගත නොහැකිව බලය අතහැර රුසියාවට පලා ගිය යනුකොවිස්කිට විරුද්ධව නඩු අසා ඔහු වරදකරු කෙරිණි.
ඔහු විදේශ රටවල සඟවා තිබූ ධනය ආපසු ගැනීමේ ක්‍රියාවලිය ඇරඹිණි. එය හිතූ තරම් පහසු නොවිණි.
හාස්‍යජනකම කාරණයක් වූයේ යනුකොවිච්ගේ මන්දිරය සහ එය පිහිටි ඉඩම පවා සැබැවින්ම අයිතිව තිබී ඇත්තේ යුක්රේනයේ කිසිවෙකුට නොව විදේශවල පිහිටි සමාගම්වලටය. ඒ විදේශ සමාගම් යනු සැබැවින්ම පවතින ආයතනද නොවේ. යනුකොවිච්ගේම චෞර වළල්ලට අයත් අය විදේශවල පිහිටුවා ඇති සමාගම්ය. මේ වැකි දෙක තුන කියවන විට තිරු නඩේසන්ගේ හෝ නිමල් පෙරේරාගේ හෝ වෙන ඕනෑම කෙනෙකුගේ නමින් විදේශීය භූමියක ලියා පදිංචි කර ඇති සමාගම් අපගේ මතකයට එයි. එවැනි චෞර සමාගම් ලියා පදිංචි කිරීමටම භාවිත කරන රටවල් තිබේ. ඒ රටවල් විවිධාකාරයේ දූෂිත දේශපාලකයන් සොරා කෑ ධනයට ආරක්ෂාව ලබා දෙයි. ඉදිරියේදී අපටද මෙවැනි තවත් ලිපිනයක් පමණක් ඇති සමාගම් රාශියක් ගැන දැන ගැනීමට ඉඩ ලැබෙනු ඇත.
බි්‍රතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් නම් දූපත් රාජ්‍යයෙහි ලියා පදිංචි කළ සමාගමක යනුකොවිච්ගේ ධනය තිබිණි. ඒවා ලුහුබැඳ යන නීතිවේදීන් ඒ රාජ්‍යයෙහි අදාළ ලිපිනයට ලියුම් පිට ලියුම් ලිව්වද පිළිතුරු නොලැබිණි. යුක්රේනයේ දූෂිතයන් පමණක් නොව තවත් බොහෝ රටවල දූෂිත දේශපාලකයෝ සොරා කෑ ධනය ඒවාට ආරක්ෂාව ඇති රටවලට අයත් බැංකු පද්ධතිවල සඟවති. ඒවා පිළිබඳ පර්යේෂණ කිරීමට ඉතා දියුණු රාජ්‍ය තාන්ත්‍රික සේවා පද්ධතියක්ද, සියුම් අන්තර්ජාතික දේශපාලන සම්බන්ධතාද ගොඩනගා ගැනීමට සිදු වේ. එවැනි පර්යේෂණ පැවැත්වෙන අතරේ එසේ හොරුන් අල්ලන්නට තැත් කරන ආණ්ඩු පෙරළා දැමීමට සොරා කෑ ධනයම භාවිත කිරීම දූෂිතයාගේ සිරිතය. ලංකාවද එවැනි දේ සිදු වන රටකි.
මෙසේ දියුණු වන රටවල දූෂිත දේශපාලකයන් වසරකට සොරා කන ධනය ඩොලර් බිලියන 20 ක සිට ටි්‍රලියනය දක්වා විය හැකිය. ඒ මුදල් කන්දරාව මයාමි, නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස්, ලන්ඩන්, මොනාකෝ, ජිනීවා ආදී නගරවල ආරක්ෂිත බැංකු පද්ධති වෙත ළඟා වෙන බව සොයාගෙන තිබේ.
චෞර දේශපාලක ධනය
මීට පෙර දූෂිත දේශපාලකයන් අයථා ලෙස උපයාගත් ධනයෙන් දේශීය වශයෙන් දේපොළ මිලට ගැනීම, පවුලේ අයට ලබා දීම, තමන්ගේ නිවාස, යාන වාහන සඳහා වියදම් කිරීම සිදු විය. අද එයද සිදුවේ. එහෙත් ඊට අමතරව රටින් බැහැර මෙවැනි දූෂිත ධනය රැස් කිරීම සඳහාම වූ ආරක්ෂිත මූල්‍ය ආයතන පද්ධතියක් ඇති වී තිබේ. ඒ නිසා මේ සොරා කෑ ධනය නැවත සොයා ගැනීම ඉතා අසීරුය. බොහෝ දියුණු වෙමින් පවත්නා රටවල දූෂිතයන් බලයෙන් පහ කරන ලද පසු ඔවුන්ගේ ධනය විදේශවල සිට ආපසු මව් රටවලට ගෙන එන අවස්ථා ගැන අප අසා ඇත. මේ විෂය පිළිබඳ අගනා පොතක් ලියන ඔලිවර් බුලෝ කියන හැටියට එසේ මව් රටවලට ආපසු එන්නේ සොරා කෑ ඩොලරයකින් සත කීපයක් තරම් සුළු මුදලකි. ඊට හේතුව සොරුන්ගේ ධනය ආරක්ෂා කරගෙන ආයතන පද්ධතිය යම් ධනයක හෝ දේපොළක අයිති ස්ථර ගණනාවකින් වසා ආරක්ෂා කරදීමය. ඒ නිසා ඔවුන් බලයෙන් පහ වුණත්, ඔවුන්ට අයත් ලන්ඩනයේ පිහිටි නිවස, විදේශ සමාගමක ලියා පදිංචි කර ඇති නැව, විදේශයක තැන්පත් කර ඇති වටිනා කලා කෘතිය ආදිය ආරක්ෂා වේ. ඇන්ගෝලාවේ දීර්ඝතම කාලයක් බලය හෙබ වූ ජනාධිපතිගේ දියණිය වූ ඉසබෙල් ඩොස් සැන්ටෝස් අප්‍රිකාවේ ධනවත්ම ගැහැනිය ලෙස බටහිර රටවල ගෙවූ තාරකා ජීවිතයෙහි පදනම එයයි.
දේශපාලක වංචාකාරයන් සොරාගත් ධනය සඟවා තබන මේ ආයතන පිහිටි රටවල් ඒ ආයතන පද්ධතිය අපේ ලෝකයට සමාන්තරව පවත්නා තවත් ලෝකයක් වැනිය. බුලෝ එය නම් කරන්නේ මනිලෑන්ඩ් යනුවෙනි. එය මූල්‍යදේශය හෙවත් සල්ලි රට යැයි අපට හඳුන්වන්නට පුළුවන. මූල්‍යදේශයේ පිහිටි බැංකුවල තම ධනය තැන්පත් කරන ධන කුවේරයෝ ඒ දේශයේ පුරවැසියෝ වෙති. ඔවුන්ද ඔවුන්ගේ ධනයද ඒ දේශයේදී ආරක්ෂිතය. ධනය කෙසේ ලැබුණේදැයි හෙළි නොකර ඒ දේශයේ තැන්පත් කරන්නට පුළුවන. ජාතික රාජ්‍යයේ මුදල් සම්බන්ධ නීති සහ රෙගුලාසි ඒ ජාතික රාජ්‍යයේ දේශ සීමාවේදී නවතියි. සොරාගත් මුදල්වලට ඒ රෙගුලාසි අදාළ නොවන මූල්‍යදේශයකට යා හැකිය. ඇතැම් විට සොරාගත් මුදල් ජාතික රාජ්‍යයට එන්නේම නැත. අපේ රටේ දූෂිත ගනුදෙනුවල මුදල් ලංකාවට නෑවිත් කෙළින්ම ආරක්ෂිත ස්ථානවලට යන්නාක් මෙනි.
හොර සල්ලි කොච්චර ඇද්ද?
මේ ආරක්ෂිත මූල්‍යදේශවල සැඟවී තිබෙන මුදල් කොපමණද යන්න දැනගත නොහැකිය. ඒවා ආරක්ෂා කර දෙන බැංකු පද්ධති සහ අනෙක් ආයතනවල වැඩ කරන්නෝ ඉතා ඉහළ පඩි ලබන දක්ෂ පුද්ගලයෝ වෙති. 2014 දී පමණ ස්විස් බැංකුවල සැඟවී තිබෙන මුදල් කොපමණද යන්න ගණන් බැලීමට ඇමරිකාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ගේබි්‍රයෙල් සුක්මන් නම් ප්‍රංශ ආර්ථික විද්‍යාඥයා තැත් කළේය. එවකට ලෝකයේ පැවති මූල්‍යමය ධනයෙන් සියයට 8ක් වත් ස්විස් බැංකු වැනි බදු ක්ෂේමභූමිවල පවතින බව ඔහු ගණන් බැලුවේය. එය ඩොලර් ටි්‍රලියන 7.6 කි. ටි්‍රලියනයක් යනු බිලියන 1000කි. ඒ ටි්‍රලියන 7.6ක මුදලින් තුනෙන් එකක් පමණ ස්විට්සර්ලන්තයේ පැවති අතර අනෙක් මුදල් සිංගප්පූරුව, හොංකොං, බහාමාස්, ජර්සි, ලක්සම්බර්ග්, සීෂෙල්ස්, වර්ජින් අයිලන්ඩ්ස් යනාදී තවත් තැන්වලය. ඒ ඩොලර් ටි්‍රලියන 7.6 මුදල් පමණි. මුදල් නොවන අනෙක් දේපොළද ටි්‍රලියන 2ක් පමණ වෙතැයි සුක්මන් ගණන් බැලුවේය. ඒවා ඉඩකඩම්, ගෙවල් දොරවල්, වටිනා කලා කෘති(චිත්‍ර, මූර්ති වැනි), ආභරණ, විනෝද නෞකා ආදී වශයෙන් විවිධාකාරය. අයථා ආකාරයෙන් උපයාගත් මුදල් හෝ තමන් වාසය කරන ජාතික රාජ්‍යයේ බදුවලින් බේරා ගැනීමට අවශ්‍ය මුදල් හෝ මෙසේ මූල්‍යදේශවල ආරක්ෂා කර ගත හැකිය.
ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වන ජේම්ස් හෙන්රි 2010 දී පමණ මේ රහස් මූල්‍යදේශය සිතියම් ගත කරන්නට තැත් කළේය. ඔහු එවක ගණන් බැලූ ආකාරයට සැඟවී තිබෙන මුදල් ප්‍රමාණය ටි්‍රලියන 21-32 අතර ප්‍රමාණයකි. ලෝකයේ බොහෝ ධනවත් රටවල ධනවත්ම පුද්ගලයන්ගේ මුදල් ඒ රටවලින් පිට මූල්‍යදේශවල තිබේ. එහෙත්, එවැනි රහස් තැන්වල ධනවත් රටවල ධනවතුන්ගේ ධනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. සංවර්ධනය වන රටවල ධනවත්ම පුද්ගලයන්ගේ ධනයෙන් විශාල ප්‍රතිශතයක් විදේශීය මූල්‍යදේශවල තිබේ. ඊට හේතුව ධනවත් රටවල බලවතුන්ට ඒ රටවල් සොරාකෑම පහසුවීමය. ඒ රටවල ශක්තිමත් නීති පද්ධති, නීතිය ක්‍රියාත්මක කිරීම ආදියද, විනිවිදභාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදයද නැත. ඒ නිසා බලවතුන්ට ඒ රටවල් සොරා කෑම පහසුය. “අපේ හාමුදුරුවනේ” කියා පපුවට ගහගෙන හෝ ජාතිවාදය අවුස්සා හෝ පහසුවෙන් රවටා ගත හැකි ජනතාවක් ඇති අපේ වැනි රටවල හොරකම් කිරීම ඉතා පහසුය.
මෙවන් මූල්‍යදේශවල තම ධනය සඟවන සියලු දෙනාම දේශපාලක චෞරයෝ නොවෙති. සමහර සුපිරි ධනවත් පිරිමි තම පවුලේ අයටවත් තම සැබෑ වත්කම හෙළි නොකරති. විශාල ධන කුවේරයෝ ස්ත්‍රී ලෝලීහුද වෙති. ඒ නිසා ඔවුහු නිතර නිතර දික්කසාද වෙති. සුපිරි ධනවත් සැමියන් තම බිරින්දෑවරුන්ට සැබෑ වත්කම හෙළි නොකරන්නේ දික්කසාදවලදී ගෙවිය යුතු වන්දි අඩු කර ගැනීමටය. එවැනි ධනකුවේරයෝද ආරක්ෂක මූල්‍යදේශවල ධනය සඟවති. සමහරු තම රටවල බදු මග හැරීමට එසේ කරති. සමහරු තම ආයතනවල සේවකයන්ට ගෙවිය යුතු පාරිතෝෂික, දීමනා ආදියෙන් බේරීමට ධනය සඟවති. මෙවැනි හේතු රැසකි. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල වේගයෙන් ධනවත් වන බොහෝ දෙනා දේශපාලකයෝ හෝ දේශපාලක හෙංචය්යෝ වෙති. ඔවුන් ඒ ධනය උපයන්නේ ඒ රටවල ජනතාවට වංචා කරමිනි. ආරක්ෂිත මූල්‍යදේශවල ධනය තැන්පත් කළ අප්‍රිකානු, ආසියානු, හෝ ලතින් ඇමරිකානු රටවල බොහෝ දෙනා චෞර දේශපාලකයන් වීම පුදුමයක් නොවේ.
අපි මෙහෙම හිතමු ආසියානු රටක දේශපාලක පවුලක් කාලයක් තිස්සේ දූෂණ වංචාවලින් උපයාගත් ධනයක් තිබේ. එහෙත් ඒවා මහජනයා ඉදිරිපිට භාවිත වියදම් කිරීම අමාරුය. ඒ පවුලේ තවත් දේශපාලන අභිලාෂ තිබේ නම් එය තවත් අමාරුය. මූල්‍යදේශය කරන්නේ ඒ පවුල අර දුෂ්කරතාවෙන් මුදවාලීමය. මූල්‍යදේශයේ ප්‍රධාන ව්‍යාපාරය එයයි. එලෙසින් සොරාගත් ධනය අපහසුතාවකින් තොරව භාවිත කළ හැකි ආකාරවලින් අන්තර්ජාල ලෝකය වෙත නිදහස් කර දීමේ දක්ෂතා ඇති තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ අය මූල්‍යදේශයේ සේවය කරති. ඔවුන් කරන එක් දෙයක් වන්නේ අයථා ලෙස උපයාගත් ධනය ඇති තැනැත්තාට ඒ ධනය නිදහසේ භාවිත කිරීමට අවශ්‍ය පහසුව ඇති කරන ශෙල් සමාගමක් හෙවත් ආවරණ සමාගමක් සාදා දීමය. ආවරණ සමාගමක් යනු අර්ථවක් කිසිම ව්‍යාපාරයක් නොකරන, සමාගමක් සේ පෙනී සිටින සමාගමකි. එය යම් ව්‍යාපාර කරන බව බැහැරට මවාපාන නමුත් එහි නමින් වියපැහැදම් කෙරෙන්නේ අර සොරාගත් ධනයයි. ලංකාවේ දේශපාලකයන් හා සම්බන්ධ එවැනි ආවරණ සමාගම් අපමණ තිබෙන බව අනුර දිසානායක අනාවරණය කර ලිපි ගොණුවලින්ද පෙනිණි.
දේශපාලක චෞර දියණිය
එහෙත් මේ ආවරණ සමාගම්ද සදාකාලික ආවරණ සපයන්නේ නැත. අපි ගුල්නාරා කරිමෝවාගේ කතාව සැකෙවින් සලකා බලමු. ඇය ලෝකයේ ඉහළ පෙළේ වෙළඳපොළවලින් මිළ අධික භාණ්ඩ මිලට ගත්තාය. ධනවත් ව්‍යාපාරිකයාවක සේ ලෝකයට පෙනිණි. ඇය එවක (1991-2016) උස්බෙකිස්ථානයේ ජනාධිපතිගේ දියණියයි. ඇය ස්පාඤ්ඤයේ උස්බෙක් තානාපතිනිය, හාවඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක, මෝස්තර නිරූපණ ශිල්පිනියක, ව්‍යාපාරිකාවක, සමාජ සේවිකාවක, ගායිකාවක ආදී නොයෙක් ස්වරූපවලින් පෙනී සිටියාය. මහින්ද රාජපක්ෂගේ පොඩි පුතා අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකු, ගායකයෙකු යනාදී වශයෙන් පෙනී සිටින්නාක් මෙනි. උස්බෙකිස්ථානයෙන් ආ වාර්තාවලින් කියවුණේ ගුල්නාරා යනු ඉතා දූෂිත කාන්තාවක බවය. එහෙත් එරට නිදහස් මාධ්‍ය සංස්කෘතියක් නැති බැවින් ඒවා මහජන අවකාශයේ කතා නොවිණි. උස්බෙකිස්ථානයේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ආ නිවේදනවල ඇගේ දූෂණ ක්‍රියා වාර්තා විය. ඇය ජිබ්රෝල්ටාහි පිහිටි ආවරණ සමාගමක් භාවිතකොට ගෙන උස්බෙකිස්ථානයේ දුරකථන සේවා සපයන්නට ඉදිරිපත් වූ රුසියානු සමාගමකින් ගත් අල්ලස් මුදලක් වූ ඩොලර් මිලියන 114ක් තමාගේ ගිණුමට හරවා ගත්තාය. ඇය තවත් ටෙලිකොම් සමාගමකට උස්බෙක් වෙළඳපොළ විවෘත කරදීම වෙනුවෙන් පගා ගත්තාය. එලෙස ඇය උපයාගත් මුදල ඩොලර් බිලියනයක් වන්නට ඇතැයි සැලකේ. එහෙත් එක් තැනකින් ඇය නීතියේ රැහැනට හසු වූවාය. ඇයට එරෙහි අපරාධ පරීක්ෂණ ස්විට්සර්ලන්තය කරාද ඇදී ගියේය. පසු කලෙක ඇය සිරගත වුවද, පසුව එය වෙනස් කොට නිවාස අඩස්සියට පත් කෙරිණි. ඇමරිකානු නීතිඥයින් විසින් ඇයට එරෙහිව කරන ලද ගවේෂණයක දීර්ඝ වාර්තාව මෙවැනි දේශපාලන දූෂණ ගැන බොහෝ තතු හෙළි කරයි.
මෙවන් මූල්‍යදේශවල ව්‍යාපාර ඉතා සියුම් ලෙස හොරකම් කරන ලද ධනය ආරක්ෂා කර දෙන අතරම නොයෙක් ආකාරයේ සොරුන්ගේ ක්‍රියා අනාවරණය කරන සංවිධානද පැන නැග තිබේ. සොරාගත් සම්පත් නැවත සොයාදීමේ අංශය යනුවෙන් කාර්යාංශයක් ලෝක බැංකුවේද තිබේ. ඇමරිකාවේ පවතින “විදේශවලදී කරන ලද දූෂණ ක්‍රියා පිළිබඳ පනත”ද ඉතා බලවත් පනතකි. ලංකාවේ මූල්‍ය අපරාධවලට සම්බන්ධ ඇමරිකානු පුරවැසියන් හෙළිදරව් කර ගැනීමට අවංක කැපවීමක් ඇති ආණ්ඩුවක් බලයේ සිටී නම් ඔවුන්ට අර පනත යටතේ නඩු පැවරීම රාජ්‍ය තාන්ත්‍රික සේවාවලට ඉතා පහසුවෙන් කළ හැකි කාර්යකි. ලංකාවේ දේශපාලන චෞරයන් සැබවින්ම නීතිය හමුවට පමුණුවන්නට දේශපාලන අධිෂ්ඨානය ඇති පාලනයක් බලයට පැමිණියහොත් කළ හැකි දේ බොහෝ තිබේ. එහිලා අවංක දේශපාලන කැපවීම ඇති පාලන තන්ත්‍රයක් බලයට ගෙන ඒම ජනතාව හමුවේ ඇති අභියෝගයකි.
මැයි තුන් වෙනිදා අනුර ඇතුළු පිරිස ලිපිගොණු ප්‍රදර්ශනය කළ අවස්ථාවේ කතා කළ නීතිඥවරු දෙදෙනා අපේ දේශපාලන චෞරයන්ට එරෙහිව භාවිත කළ හැකි අපේ රටේ නීති ගැන අගනා පැහැදිලි කිරීමක් කළහ. එහෙත්, මේ චෞරයන් මූල්‍යදේශවල සඟවා ඇති දේවල් හෙළිදරව් කර ගැනීමට දේශපාලන කැපවීම ඇති ආණ්ඩුවක් අවශ්‍ය වේ. එසේම නොනවතින පුරවැසි තෙරපුමක්ද එහිලා අවශ්‍ය වේ.
Timely and very informative
ReplyDelete