Friday, August 26, 2022

සිහිනය පවා අපි දකින්නෙ දෙන ලද ව්‍යූහ ඇතුළෙද? ලියනගේ අමරකීර්ති

 




ඊයෙ "අඳුරෙන් එළියට" නමින් නූතන කවිය ගැන සංවාදයක් තිබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ කලාගාරයෙ. ඒ වැඩේට ළහිරු කරුණාරත්න, ළහිරු කිතලගම, නලින් එන්. කාරියවසම්, සහ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි ආවා. ඒක තියෙන්නෙ පේරාදෙණියෙ වුණාට එහෙම පිරිසක් එන බව මම දැන ගත්තෙත් ළහිරු කරුණාරත්නගෙන්. 


සංවාදෙ හොඳයි. දෛනික දේශපාලන වැඩ සඳහා කලාව උපයෝගීතා අර්ථයකින් භාවිත කරන්නෙ කොහොමද කියන එක තමයි සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට ශිෂ්‍ය ව්‍යාපාර සහ එයාලගෙ පසුබිමේ ඉන්න පක්ෂ අපේක්ෂා කරන්නෙ.


හැබැයි ආපු කවියො තෝරපු කවි එහෙම කවි නෙමෙයි. ඒවා කවිමය කවි.


මේ සංවාදෙට නලින් එන්. කාරියවසම් තෝරපු කවියක් මගේ ප්‍රියතම කවියක්. ඒක ආරියවංශ රණවීරගෙ මෑත කවි අතර එන හොඳ කවියක්.


 මේකයි ඒ කවිය. කවියෙ නම අම්මා.


                       අම්මා

අම්මා දකින්න ආසයි හීනෙන් වත්

තාත්තාමයි එන්නේ මහ උදාරමින්

මුල්ලේ ද ඔබ ලිපි ගිනි මැද ඔහේදිත්

හීනයත් අත්පත් කරගෙන ද තාත්තා......?


  මේ කවිය එන්නෙ 2017 වර්ෂයේ පළ වුණ තවමත් මල් පොතේ.


 මේක කවිය ගැන නොයෙක් මනෝවිශ්ලේෂණීය අර්ථ දෙන්න පුළුවන්. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ගැන අර්ථත් දෙන්න පුළුවන්. ඒ සියල්ල හොඳ අර්ථ.


  සිහිනය පවා , එනම් අවිඥානය පවා, පියා සහ පීතෘමූලිකත්වය විසින් අත්පත් කරගෙන තිබීමේ මානය හරි වැදගත්. සිහිනය සාමාන්‍යයෙන් හඳුනා ගැනෙන්නේ තාර්කික කර්තෘකත්වයක් නැති දෙයක් හැටියට. අඩු තරමින් සිහිනයේදී වත් සවිඥානක තෝරා ගැනීම් කරන්න ඉඩ නොතිබීම ගැන කියවෙනවා. ඒකියන්නෙ තෝරලා තෝරලා කැමති කොටස් විතරක් හීනෙන්න බලන කර්තෘකයෙක් නෑ කියන එක. හැබැයි අවිඥානයේදී සිහින සැකැස්ම තාර්තික ව්‍යූහයක් නොගත්තට, සිහින සැලැස්මද එදිනෙදා සැලසුම්වල ස්වභාවය නොගත්තද සිහින අමුද්‍රව්‍යවලට බාහිර සමාජමය ව්‍යූහවල බලපෑම තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක ටිකක් සංකීර්ණ කෑල්ලක්.


මේකෙ ඉන්න පියා සහ මව කියන දෙන්නා රූපක ලෙස ගත්තොත් මේ දවස්වල ලංකාවෙ සිද්ධ වෙන සමහර දේවල් තේරුම් ගන්නත් එළියක් සැපයෙනවා. මේ දවස්වල සිහින දකින අය ඒ සිහිනය පවා දකින්නෙ ධනේශ්වර වෙළඳපොළ සංකේත පියෙක් විදියට අරගෙන. මේ කවියෙ තාත්තා සිහිනය තම ආධිපත්‍යයට අරන් ඉන්නවා වගේ වෙළඳපොළ සහ එය මෙහෙය වන අය මේ දවස්වල ලංකාවෙ සිහින දකින අයගෙ අවිඥානය මෙහෙය වනවා. 

ඒ නිසා ඒවා නිදහස්කාරක සිහින නෙමෙයි අතිසරල දෙවරක් චක්කර.

"මං මාර ලස්සන හීනයක් දැක්ක" කියලා හරි උජාරුවෙන් කියන අය ඉන්නවා. හැබැයි එයාලට බලන්න ඕන හීන කෑලි ටික කලින්ම කවුරුහරි තෝරලා දීලා කියල එයාලට තේරෙන්නෙ නෑ.


ඒ අර්ථයෙන් ගත්තම ආරියවංශ රණවීරගෙ අර කවිය ලොකු දේශපාලන කවියක්. සොයා යව සොයා යව ගඟ දිගේ සොයා යව, වගේ කවි දේශපාලන කවි කියල ගත්ත කෙනෙකුට මේ කෙටි කවිය දේශපාලන කවියක් කියා තේරෙන්නෙ නෑ.

                                   

                               

ළහිරු   කරුණාරත්නත් සංවාදය ඉතා හොඳ තැනකට ඉස්සුවා. ළහිරු බොහොම කල්පනාකාරී සියුම් කවියෙක් බව ගොළු වෙණ තුරුළු කරගෙන නම් කවිපොත කියවපු අය දන්නවා. ඔහු සාකච්ඡාවට ගත් එක කවියක් තමයි පරාක්‍රම කොඩිතුවක්කුගෙ "මම වහිනවා".  

කලාවෙන් දේශපාලනය කරන හැටි ගැන 'ප්‍රායෝගික උපදෙස්' වැනි  දේවල් අපේක්ෂා කරන සංවාදයකදි මේ වගේ කවියක් තෝරගත්ත එක ලොකු සතුටක්. 






මම වහිනවා


අතැරදා වැරහැලි


ඉවතලා කඳුළු ගුලි

බොරළු වැලි උඩින් ඔබ

යන්න.... මම වහිනවා


මැඩගන්න බැරිම තැන

ඔය කෝප ගිනි දැල්ල

සිත තුළම පුපුරයිද

ඉන්න ... මම වහිනවා



හිත වෙනස් වෙන්ඩ ඇති

කමක් නැහැ ඔබ යන්න


මා මාරු වැරදුණොත්

ජීවිතය සොයා යළි 

එන්න ... මම වහිනවා


කරුණාව ඔතැන නැහැ

දයා සිත් ඔතැන නැහැ

ආරාම ඇතැරදා

පොළොවට ම බැස එන්න

බියෙන් තොර නිදහසක්

ගන්න ... මම වහිනවා

       මේ කවිය කොඩිතුවක්කුගෙ මම වහිනවා (2017) පොතේ අවසාන කවිය. ඒ නිසා එය ඔහුගෙ සමස්ත කාව්‍ය ව්‍යාපාරය පිළිබඳ මැනිෆෙස්ටෝවක් විදියටත් ගන්න පුළුවන්. ඔහුගෙ හොඳ කවි මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ආසාව, විස්වාසය ඇති කරනවා. මනුෂ්‍ය විභවතාව සමරනවා. මනුෂ්‍ය ආත්ම පරිපූර්ණත්වයේ ප්‍රීතියත්, පරිපූර්ණත්වය පිණිස මනුෂ්‍යයන් තුළ පවත්නා ආශයත් සමරනවා.


  ඊයේ සංවාදෙදි ලහිරු කරණාරත්න මෙය මනුෂ්‍ය කාරක ශක්තිය සමරන කවියක් සේ හැඳින්වූවා.

 "මම"කියන්නෙ කවියා යැයි ගත්තොත් ජීවිතය පිළිබඳ සැබෑ සන්සුන් භාවනාවක් පිණිස ලෝකය නිවා, සිහිල් කර ගැනීමට මම උදව් කරන්නම් කියා කවියා කියනවා. මේ කවියා කියවන රසිකයන් තුළත් වැස්සක් වී වහින්න ආසා ඇති වෙනවා.

පන්සල්, ආරාම ආදිය තදින් ගත් තැන්වලත් ජීවිතය මල් ඵල ගන්නන් සජීවී හරිතවත් බව නැති බව කවියා කියනවා. එය කවිය වැන මාධ්‍යයක්ද භාවිතයට ගෙන සොයාගත යුතු අලුත් හරිත පැහැයක් බව ඉන් ඇඟවෙනවා.

   මේ මොනවා කිව්වත් විචාරයේ යාන්ත්‍රික ගද්‍යයට ගන්න බැරි පණක් කවියෙ තියෙනවා. ඒක මෙල්ල හරියටම මෙල්ල කරලා වැඩක යොදවන්න බෑ. කෙටිකතාව කලාව නම් පොතේදී මම මේ ගුණය හැඳින්වූයෙ අදම්‍යතාව කියා. ඒ කියන්නෙ  උපයෝගීතා අර්ථයකින් හරියටම දමනය කරගන්න බැරි ගුණය. ඒ ගුණයම දේශපාලනිකයි. 

හැබැයි අපි මේ සටහනේ දැක්ක කවි දෙකම අදම්‍යතාවත් සහිත වුවත් රසිකයාට සම්බන්ධ විය හැකි අර්ථ තල ගණනාවක් තියෙන කවි. කොඩිතුවක්කුගෙ මම වහිනවා වගේ පොතක එහෙම කවි බොහොමයක් තියෙනවා.

සම්පූර්ණයෙන් අදම්‍යතා ගුණ සහිත කවි කියන්නෙ රසිකයාට කිසිවක්ම නොදනවන කවි. එහෙම කවිත් තියෙනවා. හැබැයි ඒවා හොඳ කවිද? රසිකයෙක් නැතිව කවියක් තියෙන්න පුළුවන්ද?

  

 තරුණ කවියන් හතර දෙනෙක් පැමිණ සරල ප්‍රචාරාත්මක කවියකින් කරන දේශපාලනයට වැඩි දේශපාලනයක් ගැන කතා කරනු දැකීම ආස්වාදයක්. එවැනි සංවාදයක් ඇති කරන්න යම් හෝ දායකත්වයක් කරන්නට ලැබීමත්, අපගේ දක්ෂතම ආදිශිෂ්‍යයන් ටික දෙනා අතර කෙනෙකු වන නලින් එන්. කාරියවසම් එතන සිටීමත් තවත් ආස්වාදයක්. 




No comments:

Post a Comment