Wednesday, September 7, 2022

විරිත සහ අරුත: තෙන්නකෝන්, අමරසේකර, කොඩිතුවක්කු, සහ තවත් අයගේ විරිත්මය විස්කම් - ලියනගේ අමරකීර්ති

    




  




        

   විරිත සහ අරුත යනුවෙන් පොතක් පළව ඇති බව මා දුටුවේ අහම්බෙනි. විමල් දිසානායක සහ ශ්‍රීනාත් ගණේවත්ත දෙදෙනා විසින් සම්පාදනය කෙරුණු එය ඉතා ප්‍රයෝජනවත් කුඩා පොතකි. විරිත යනු හුදෙක් බාහිර සැරසිල්ලක් නොව පද්‍යයක අර්ථයට දායක වන බව පැහැදිලි කිරීම කතුවරුන් දෙදෙනාගේ අරමුණ වී තිබේ. එය හොඳ අරමුණකි. 

   විරිත යනු බාහිර සැරසිල්ලක් පමණක් නොවන බව මමද සිතමි. මේ වූකලි ආකෘතිවාදී අදහස් සම්ප්‍රදායත් තුළත් ව්‍යුහවාදී අදහස් සම්ප්‍රදාය තුළත් වරින් වර ඉතා සිත්ගන්නා සේ ප්‍රකාශ වී ඇති අදහසකි. ඒ කතිකාවලදී හුදෙක් විරිත ගැනම සඳහන් නොවුණත් ආකෘතිය යනු අර්ථයෙහි කොටසක්ය යන්න ඉතා හොඳින් පැහැදිලි කෙරී ඇත. මේ කරුණු පැහැදිලි කිරීමේදී මම සාහිත්‍ය කෘතියක “අර්ථය” යන්නටත් වඩා “කියවීම්” අත්දැකීම යන්න සංකල්පය භාවිත කරමි. ආකෘතිය යනු පාඨකයාගේ කියවීම් අත්දැකීම හැඩගස්වන මෙවලමකි.

    කියවීම් අත්දැකීම යන අදහස ගැන කිසිවක් නොකියතත් මේ පොතේ කතුවරු ඉතා වැදගත් නිරීක්ෂණයක් කරති: “භාරතීය ආචාර්යවරයන් ‘ඡන්දස්’ යන්න විග්‍රහ කරන්නේ ‘ඡදි’ යන ධාතුවට (ක්‍රියා මූලයට) ‘අසි’ යන ප්‍රත්‍යය එක්වීමෙන් නිපන්නක් ලෙසිනි. ඡදි ධාතුව පිනැවීමෙහි හෙවත් සතුටු කිරීමෙහි යෙදේ. එහෙයින් ඡන්දස යනු (මිනිසුන්) පිනවන, සතුටු කරවන සාධකයක් වේ.”

 කවියෙහි රසිකයෝ මෙය හොඳින් දනිති. ඡන්දස හරියට භාවිත වූ තැන ඇති වන්නේ ප්‍රීතියකි. කවියෙහි ගොඩ නැගෙන අර්ථ සහ තේමාව ‘අහා! මෙතරම් හොඳින් කිවහැකි අන් ලෙසක් තිබේදැ’යි අපට සිතෙන සේ විරිත යෙදුණු අවස්ථා ඇත. එසේ සිතීමම ප්‍රීතියකි. රැයිපියෙල් තෙන්නකෝන්ගේ කවිවල නිතර පාහේ මේ ගුණය ඇති බව ප්‍රකට කරුණකි. කුමාරතුංග මුණිදාසගේ පිය සමර වැනි කාව්‍යයක් කියවීමෙනුත් මම මේ මිහිර නිතර ලබමි. දර්ශන රත්නායකගේ දූත ගීතය මෑතකදී එවැනි ප්‍රීතියක් ගෙනදුන් හොඳ කාව්‍යයකි. 

  මෙම පොතෙහිදී හෙළ හවුල ආශ්‍රිත කවීන්ගේ කළ විරිත්මය විස්කම් ගැන සවිස්තර හැඳින්වීමක් කෙරේ. එය ඉතා හොඳ දෙයකි. හෙළ හවුලේ ඇතැම් කවීන් භාවිත කළ විරිත් නැවත සෞන්දර්ය කාර්යයෙහි යෙදවිය හැකිද යන්න තරුණ කවීන්ගේ අවධානයට ලක් වුව මනාය.

  විරිත සහ අරුත කෘතියෙහි කතුවරු විරිතෙහිද පොදුවේ ඡන්දසෙහිද සෞන්දර්යකාර්ය හොඳින් පහදා දෙති. එහිදී ඔවුහු සංස්කෘත කාව්‍ය ශාස්ත්‍රයෙහි ඡන්දස ගැන එන දැනුමද සරල සිංහලයෙන් අපට විස්තර කරති. ඒ ඇතැම් කරුණක් අන් අන් තැන්වලින් අප කලින්ද දැක ඇතත් ඒවා එක තැනකට ගෙන ඉදිරිපත් කර ඇති ආකාරය අගනේය. එහෙත් විරිත පිළිබඳ මෑතකදී පළ වූ අගනා පොතක් වන සඳස, විරිත, සහ අරුත යන පොත මග හැරී තිබීම කණගාටුවකි. එය ඇරැව්වල අනුර ගුණතිලක නම් තරුණ විද්වතෙකු විසින් ලියන ලද්දකි.






  සිංහලයෙහි එන ඡන්දස් සහ විරිත් හුදෙක් සංස්කෘත ඡන්දස් ශාස්ත්‍රය ඇසුරින් වටහා ගත නොහැකි බව හොඳින් පැහැදිලි කරදීම මේ පොතේ ඇති අංගයකි. අපේ සඳැස් ලකුණු අපටම ආවේණික වූවකියි කතුවරුන් පෙන්වා දෙන්නේ සංස්කෘතයෙන් ලද ආභාසයද සනිදර්ශනාත්මකව පෙන්වා දෙමිනි. අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙහිදී පවා විරිත ඉටුකළ යුතු සෞන්දර්ය කාර්ය හරියටම ඉටු නොවූ අවස්ථාද කතුවරු පෙන්වා දෙති. විරිතෙන් නැගෙන ශබ්දය අර්ථය මරාගෙන නැගෙන තැන්ද ගෙනහැර පාති.

   විරිත සහ නූතන සිංහල කවිය ගැන කරන සාකච්ඡාවකදී ගුණදාස අමරසේකර කවියාගෙන් නිදර්ශන ගැනීම පුදුමයක් නොවේ. නූතන සිංහල කවිය උදෙසා පැරණි විරිත් නැවත කැඳවීම පිළිබඳ කාරණය අපට නැවත නැවත මතක් කළ කවියා ඔහුය. මේ පොතේ කතුවරු අමරසේකරට බැතිබර මල් කලබ පුදති. එහෙත් අමරසේකර සිංහල ඡන්දස් ලකුණු තමන් අකමැති කවියන්ට පහරදීමටත්, නිදහස් කවිය ගැන ඉතා දුෂ්ට අදහස් ප්‍රකාශ කිරීමටත් යොදාගත්තේය. 1996 වසරේදී ඔහු ලියූ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතියෙහි සිංහල කාව්‍ය සම්ප්‍රදායෙහි හමුවන ආකෘති විරිත් ආදිය ගැන අගනා නිරීක්ෂණ කළේය. ඒ අතරම නිසඳැස සහ ඒ විධියෙන් කවි ලියන අය ගැන ඔහුගේ වෛරය ප්‍රකාශ කළේ එකල ලියන ලද නිසඳැසට ඊලාම් අනුග්‍රහයද ලැබිණියි කියමිනි! නූතන සාහිත්‍ය කතිකාව ඊලාම්වාදීන්ගෙන් යැපෙන්නේ යැයි අමරසේකර කීවේය(සිංහල කාව්‍ය සම්ප්‍රදාය 184 පිටුව). ඩෙරීඩා, ෆුකෝ, මාක්ස් ආදීන් ගැනද එක එක දේ කියන විමල් දිසානායක මෙවැනි විසකුරු අදහස් විචාරයට ලක් කරන්නට කවදාවත් ඉදිරිපත් වූයේ නැත. ලංකාවේ සිටින වඩාත් ඉදිරිගාමී වූද විපර්යකාරක වූද බුද්ධිමතුන්ට ඩොලර් කාක්කන්, ඊලාම්වාදීන්, හෝ විචාරක විදූෂකයන් යැයි අමරසේකර කියන විට විමල් දිසානායකට ඒවා ප්‍රශ්න නොවිණි. මේ වූකලි අමරසේකරට වඩා බෙහෙවින් ගොරහැඩි විඥානයක් ඇති තෝරදෙණිය වැන්නන් නොයෙක් දෙනාට ගර්හා කරන්නට භාවිත කළ යෙදුම්ය.

  මෙම කෘතියෙහිදී විමල් දිසානායක අමරසේකරට වක්‍ර පිළිතුරක් දී තිබේ. සිංහල නිදහස් පද්‍යය සැබැවින්ම විරිතෙන් තොරද යන ප්‍රශ්නය මෙම පොතෙහි කතුවරු අසති. එය අර්ථවත් ප්‍රශ්නයකි. පොතෙහි හත් වෙනි පරිච්ඡේදයෙහිදී සිරි ගුණසිංහගේ නිදහස් කවි ගැන අමරසේකරට වඩා බෙහෙවින් මැදහත් නිරීක්ෂණ කරන්නට කතුවරු යොමු වෙති. සැකෙවින් වුවත් කෙරෙන ඒ නිරීක්ෂණ ඉතා වැදගත්ය. ඒ පරිච්ඡේදය අමරසේකර වැනි ඒකමානීය චින්තකයන්ට වක් මගින් දුන් පිළිතුරක් සේ සලකන්නට කතුවරුන්ට කෙසේ වෙතත් අපට පුළුවන.

   අමරසේකරට පසුව විරිතෙන් හොඳින් වැඩගත් කවියෝ බොහෝ වෙති. මෙකල ලියන කවීන් වන පරාක්‍රම කොඩිතුවක්කු, එරික් ඉලයප්ආරච්චි, ආරියවංශ රණවීර, රත්නශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ යනාදී කවුරුත් තමන්ගේ කවියෙහි විශිෂ්ටතම අවස්ථාවලදී විරිත හෝ ඡන්දස ඉතා නිර්මාණශීලී ලෙස භාවිත කරති. ඉලයප්ආරච්චිගේ කවියෙහි වෘත්ත ලක්ෂණ තරමක් ඒකාකාරී වෙමින් පැවතියත් කොඩිතුවක්කු, රණවීර වැනි අයගේ කවිය එසේ වූයේ නැත. තරුණ පරම්පරාවේ දක්ෂ කවීන් වන මංජුල වෙඩිවර්ධන, ලක්ශාන්ත අතුකෝරල වැනි අය අමරසේකර “අපේ” යැයි හඳුනාගන්නා විරිත් ඉක්මවා ගොස් නව සිංහල කවිය නව අලංකාරයක් එක් කරන ඡන්දස් උපක්‍රම සොයා සපයාගෙන තිබේ. තමන්ගේම පොත්වලින් පවා නිදර්ශන ගන්නා මහාචාර්ය දිසානායක සමකාලීන කවියෙහි විරිත භාවිත කොට ඇති ආකාරය පෙනෙන්නේ නැත. කොඩිතුවක්කුගේ දිවමන් ගජමන් පොත පළ වූයේ 1999 වර්ෂයේදීය. එහි විරිත භාවිත වී ඇති ආකාරය අවධානයට ලක් වූයේ නම් තම පොත මත වැටී ඇති අමරසේකරගේ සෙවණැල්ලෙන් තරමක් එළිමහනට යන්නට කතුවරුන්ට ඉඩ තිබිණි.

   එවැනි අර්ධ අන්ධකාර සෙවණැලිවලින් එළියට ගෙන අධ්‍යයනය කළ යුතු ක්ෂේත්‍රයක් විරිත හා අරුත පොතෙන් විවර කර තිබේ. හුදෙක් අමරසේකර වටා කැරකි කැරකී සිටීමෙන් පමණක් ඒ ක්ෂේත්‍රය අවංකව අධ්‍යයනය කළ නොහැකිය. ඒ වූකලි ලක්ශාන්ත අතුකෝරල වැනි තරුණ කවියෙකුගේ සෞන්දර්ය ව්‍යායාමයද පෙනෙන එළිමහන් තැනක සිට අධ්‍යයනය කළ යුතු අඩවියකි. අතුකෝරලගේ අලුත්ම පොත වන ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු යනු විරිත්මය කවිකම් අතින් විස්මයක් වැන්නකි. මේ වූකලි පරාක්‍රම කොඩිතුවක්කු,රත්නශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර වැනි කවීන්ගේ සමස්ත ව්‍යායාමය තුළද නිතර පාහේ දක්නට තිබූ ලකුණකි. කෙටි හයිකුමය කවි ලියන්නෙකු සේ අමරසේකර වැනි අයගේ අපහාස උපහාසවලට ළක් වූ රණවීරගේ කවිය සමස්තයක් සේ ගත් විට පෙනෙන වැදගත් ගුණයක් නම් විරිත්මය විචිත්‍රතාවය.

මෙම පොතෙහි එන මූලික ප්‍රවාදය ඉතා වැදගත්ය. විරිත යනු බාහිර දවටනයක් නොව අර්ථයෙහි මෙන්ම කියවීම් අත්දැකීමෙහිද කොටසකිය යන්න ඒ ප්‍රවාදයයි. එය තවත් නිදර්ශන ඇසුරින් විස්තාරණය කරන්නට වටින ප්‍රවාදයකි. සමකාලීන සිංහල කවිය ඇසුරින් එය සාධාරණ ප්‍රවාදයක් සේ ගොඩනගන්නට නම් දිසානායක සහ ගණේවත්ත දෙදෙනා සිර වී සිටින ඉතා සීමිත කවි ලෝකයෙන් එළියට පැමිණිය යුතුය.

(තරමක් දිග ලිපියකින් කොටසකි)


  

  


  





 


No comments:

Post a Comment