Wednesday, November 16, 2022

දේශජ ප්‍රතිසංස්කෘතික චින්තනයක් ගවේෂණය කරන ගෞතම බුද්ධරාජ්‍යය- ලියනගේ අමරකීර්ති

 





    

    ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතාගේ ගෞතම බුද්ධ රාජ්‍යය කෘතිය මේ මොහොතේ ලංකාවේ පළවීම එක්තරා ආකාරයක විස්මය දනවන සිද්ධියකි. එහෙත් එය ප්‍රසාදජනක විස්මයකි.  සිංහලත්වය හා බෞද්ධත්වය පිළිබඳ ජාතිවාදී හා රණකාමී අදහස් රජයන සමයක අබේසිංහ මහතා වැනි වැඩිහිටි පරම්පරාවේ වියතුන් සිංහලත්වය හා බෞද්ධත්වය යනු කුමක්ද යන්න ගැන නැවත සිතීමට තැත් කිරීම ගෞරවනීය කාර්යකි. ලයනල් සරත්, සිරිලාල් කොඩිකාර, එස්.ජී පුංචිහේවා යනාදී විද්වත්හු සිංහල භාෂාවට හා සංස්කෘතියට ආදරය කරන අතරම අප ගැනම විචාරාත්මකව බලන ශක්තිමත් දේශීය මුල්ද ලෝකය වෙත විහිදුණු බුද්ධිමය හා සංස්කෘතික සංවේදනාද සහිත පිරිසක් වූහ. ඔවුහු මීට ටික කලෙකට පෙර නිතර නිතර ලියූහ. ඉන් පසු අප නොගැඹුරු ජාතිකවාදී කතිකාව යට ගිලීයාම නිසා සංස්කෘතික ස්වයං-විචාරය පිළිබඳ මහජන අවකාශය ඇහිරිණ. ඒ තැන ගත්තේ “දොරඩමඩලාකාරයන්” යැයි  අබේසිංහ මහතා විසින් හඳුන්වනු ලබන පිරිසයි. ඔවුන් බොහෝ විට කරන්නේ අතිසරල ජාතිකවාදයේ බුද්ධිමය ආධිපත්‍යයට වක්‍ර තල්ලුවක් දෙන දේ දෙසා බෑමයි. ඒ නිසා ඔවුහු බොදු බල සේනා වැනි විනාශකාරී බලවේගවල අනියම් පියවරු හා මව්වරු වෙති. 




    අබේසිංහ මහතා මේ කෘතිය මගින් කරන්නේ නැවතත් සිංහල බෞද්ධ බුද්ධිමතුන් අතරින්ම විකල්ප බුද්ධිමය කතිකාවක් නිර්මාණය කිරීමට තැත් කිරීමයි. සිංහල බෞද්ධයාගේ නියම උරුමය වන්නේ සියලු දේහි මැදහත් බව හා සංස්කෘතික සුඛනම්‍යතාව යැයි යළි සිහිපත් කරදෙන මෙවැනි කෘතියක් අපගේ අගය කිරීමට ලක් විය යුත්තේ එහෙයිනි. 

   මෙකල ලංකාව මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්න යනු අධිරාජ්‍යවාදයත්, දෙමළ ජාතිවාදයත් පමණක් නොවන බවත්, සිංහල බෞද්ධයාගේම ඇතැම් මුග්ධකම්ද ලංකාව රටක් වශයෙන් ලෙඩ කරන බවත් අබේසිංහ මහතා නිවැරිදිව දකියි. එසේ දැක එවන් මුග්ධ සිංහලයන්ට කෙළින්ම මුහුණ දී කතා කරයි. මෑතකදී සිංහලයාගේ මෙම මුග්ධකම්වලට කෙළින්ම කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන කිහිප දෙනෙකු පමණි. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය දයාන් ජයතිලක, තිසරණී ගුණසේකර, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජයවර්ධන, ආචාර්ය ජයන්ත ධනපාල වැන්නෝ දැනට වසර කිහිපයක සිටම සිංහලයා සිය සංස්කෘතික ආත්මකේන්ද්‍රීයත්වයේ අන්ධකාරයෙන් එළියට ගන්නට තැත් කළහ. ඒ කාලය තුළ සිංහල බසින්ද එම කාර්ය කළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි තරුණ පරම්පරාවේ බුද්ධිමත්තු සිටියද වැඩිහිටි පරම්පරාවේ බුද්ධිමතුන් සිටියේ සාපේක්ෂ නිහඬතාවකය. එහෙයින් ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ ගෞතම බුද්ධ රාජ්‍යය නම් කෘතිය පළ කිරීමේලා නිර්භයවීම අගය කළ යුතුය.

    අබේසිංහ මහතා ජාතිවාදී සිංහල බෞද්ධයාගේ මුග්ධකම් විචාරයට භාවිත කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළම පහළ වූ නිර්-ජාතිවාදී විකල්ප විචාරාත්මක චින්තන ධාරාවකි. ඒ චින්තන ධාරාව නියෝජනය කරන්නේ උඩකැන්දවල සරණංකර හිමි, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා යනාදී පිරිසකි. විසි වැනි සිය වස බෞද්ධයන් ලෙස ජීවත්වීමේදී  සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි හඳුන්වනු ලබන දේ ප්‍රශ්න නොනගා බාර නොගත හැකි බව ඒ බෞද්ධ චින්තකයෝ පෙන්නා දුන්හ. ලංකාවේ දේශපාලන බෞද්ධයෝ ඒ චින්තන ධාරාව ක්‍රමිකව යටත් කර දැම්මේය. එල්ටීටීඊ වැනි සංවිධානවල සීමාන්තික ජාතිකවාදය සහ හිංසනයද ඒ යටත්පත් කර දැමීමට සහාය වූ බව ඇත්තය. එහෙත් ඒ නිසා අපට අහිමි වූයේ මිල කළ නොහැකි දේශජ විචාරාත්මක චින්තන සම්ප්‍රදායකි.

      අබේසිංහ මහතා මෙකල සිහිබුද්ධිය ඇති ටික දෙනෙකුටවත් දකින්නට ඒ චින්තන සම්ප්‍රදාය මේ කෘතිය ඔස්සේ අප හමුවේ තබයි.

     මෙරට සංඝ සංස්ථාව තීරණාත්මක ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු ආයතනයක් බවත්, එහි ආයතනික පදනම් ආචාරධාර්මිකව නිර්-බෞද්ධ බවත්, උඩකැන්දවෙල සිරි සරණංකර හිමියන් කළ තර්කය අප හමුවේ යළි තබන අබේසිංහ මහතා මෙකල ලංකාවේ වසන ගිහියන්ගේ බුද්ධාගම පමණක් නොව පැවිද්දන්ගේ බුද්ධාගමද නියම බුද්ධ ධර්මයදැයි ප්‍රශ්න කළ යුතු යුගයකට අප පැමිණ ඇති බව කියයි. වර්තමාන සිංහල බෞද්ධයාගේ සංස්කෘතියෙහි ආචාරධාර්මික දුබලස්ථාන ප්‍රතිසංස්කරණය කොට නියම බෞද්ධ නිර්-හිංසනය හා මැදහත් චින්තනය ඉල්ලා හඬ නගන්නවුන් දේශද්‍රෝහීන් යනුවෙන් හඳුන්වා නිහඬ කිරීම නැවැත්වීමට කාලය පැමිණ ඇතැයි අබේසිංහ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ කියයි:

“දේශපාලකයන් කරන සියලුම නිර්ලජ්ජී වැඩවලට හාමුදුරුවන්ද ඇදගත හැකිය. ඔවුන්ගේ තක්කඩිකම් සිවුරෙන්ද අඳනයෙන්ද වැසිය හැකිය. කුඩු ගෙන්නුවත් කමක් නැත. බාලාපචාර කළත් කමක් නැත. මහ දවල් මහ පාරේ චණ්ඩිකම් කළත් කමක් නැත. පෙත්සම් අත්සන් කරන්නටද බෝධිපූජා පවත්වන්නටද හාමුදුරුවරු වකාරෙට සිටිති. ඒ අතර මහාචාර්ය හාමුදුරුවරුද සිටිති.” ඔහු මේ කියන්නේ සහතික ඇත්තය. නියම විචාරාත්මක බෞද්ධයා මේවා ප්‍රශ්න කළ යුතුය.

    “අපේ හාමුදුරුවරුන්ට බුදු බණෙන් පිට පනින්නට ඇති හොඳම මාර්ගය නම් දේශප්‍රේමය” යැයි කියන අබේසිංහ මහතා “දේශප්‍රේමය ලැගුම් ගෙයි ඉස්සරහ දොරින් එන විට බුදු බණ පස්සා දොරින් පළා යන” බවද පෙන්නා දෙයි. දේශප්‍රේමය යනු හරයක් නැති දේශපාලන අදහසක් යැයි ලොවට කියූ චින්තකයෝ අපමණ වෙති. අපට නම් ඒ කවුරුත් අපට එරෙහි විජාතිකයෝ වෙති.

     මෙරට ලංකාවේ වසන සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකු ජාතිවාදයෙන් ආගම්වාදයෙන් උමතු වී සිටින බව කියන අබේසිංහ මහතා එවන් සමයක ජනතාව ඉදිරියට පැමිණ “ජනතාවනි නුඹලා උන්මත්තකයෝ” යැයි කියන දාර්ශනිකයන් අවශ්‍ය බවද අපට සිහි කරදෙයි. එවන් දාර්ශනිකයන් පහළ වීමේ ඉඩ එන්න එන්නම අඩු වන තත්ත්වයකදී අපට ගත හැකි මග නම් අපට අමතකව ගිය විකල්ප බෞද්ධ චින්තන ධාරා යළි මතු කර ගැනීමයි. මේ කෘතිය එහිලා දැරෙන උත්සාහයකි.

   ශ්‍රී ලංකාව නිදහස ලැබූ සමයේම අද අප දකිනවාට වඩා වෙනත් බෞද්ධකම්වලින් යුත් සිංහල ජනතාවක් ගොඩ නගා ගැනීමට ආචාර්ය අදිකාරම් වැනි චින්තකයන් ප්‍රයත්න දැරූ බව ප්‍රකට කරුණකි. ඔහු ලියූ “සිතුවිලි” පොත් මාලාව අසූව දශකයේ ගැටවර වියට එළඹි මට පවා තීරණාත්මකව බලපෑවේය. ඒ පුංචි පොත් මාලාව ජාතික චින්තකයන්, හෙළ උරුමකාරයන්, බොදු බල සේනා වැනි බුදුන්ගේ සැබෑ උරුමය සඟ වන ව්‍යාපාර ගැන දෙවරක් සිතනු කැමති බෞද්ධයන්ට අදත් සපයන්ගේ පුදුමාකාර ආචාරධාර්මික දීප්තියකි. අදිකාරම් මහතාගේ මරණයත්, අසූව දශකය වන විට දේශපාලන බෞද්ධයන් රජවීමත්, එල්ටීටීඊ ත්‍රස්තවාදයත් නිසා අදිකාරම්තුමා වැනි අය නියෝජනය කළ බෞද්ධ චින්තනය යට ගියේය. බුදුදහම මත පදනම් වූ දේශජ සංස්කෘතික විචාරයන් පිළිබඳ මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර දැක් වූ නොසැලකිල්ලත් ඊට තවත් හේතුවක් විය. අබේසිංහ මහතා මේ කෘතියෙහි සඳහන් කරන හැටියටම ඒ අහිමි වූ විචාර චින්තනය යළි මතු කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

    මේ අව්‍යාජ හා සාරවත් බෞද්ධ විචාර චින්තනය අහිමිව යාමට ජනමාධ්‍යයද වගකිව යුතු යැයි අබේසිංහ කරන නිරීක්ෂණය ඉතා නිරවද්‍ය වේ. 1952 වර්ෂයේදී “ජාති ආලය අපගේ විනාශය පිණිස නොවේද?” යනුවෙන් ලියූ තීරණාත්මක ලිපිය ලංකාදීප පුවත්පතේ පළ විය. ජාතිභේදය බොරුවක් බවත්, ජාතිය, ආගම, භාෂාව ආදිය ගැන ඇති සීමාන්තික හා අතාර්කික ආලය හිංසනයට මග කියන බව ආචාර්ය අදිකාරම් ඒ ලිපියෙහි ලිවීය. එවැනි ලිපියක් අද ජාතික යැයි කියා ගන්නා පත්තරයක පළ කරවා ගත හැකිදැයි අබේසිංහ මහතා අසයි. එය මාද නිතර අසන ප්‍රශ්නයකි. මෙරට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සිංහල සංස්කෘතියට නෛසර්ගිකවම පාහේ හිමිව තිබූ විචාරාත්මක චින්තනය පණ පොවන්නට තැත් දරනු වෙනුවට කරන්නේ විවිධ සීමාන්තිකවාදයන් හා අවිද්‍යාවන්ට දිරි දීමයි. තව වසර පනහකින් පමණ සිංහල ජනතාවට මග වැරදුණේ කොතැනදැයි පරීක්ෂා කරන්නට තැත් කරන කෙනෙකුට ජාතිය ආරක්ෂා කරන්නේ යැයි කියන ඇතැම් පුවත්පත්ද ඊට වගකිව යුතු බව පෙනෙනු ඇත. එහෙත් ඒ සංස්කෘතික ආත්ම පරීක්ෂාව තවත් වසර පනහක් පස්සට දැමිය යුතුද? අපට සිටින ප්‍රවීණතම සේම නිරහංකාරම ලේඛකයෙකු වන අබේසිංහ මහතා මෙම කෘතියෙන් අසන්නේ එම ප්‍රශ්නයයි. 

                  (2013 වර්ෂයේදී ලංකාදීප පුවත්පතෙහි පළ වූවකි)


   පසු සටහන

   ජාතිවාදී භික්ෂූන් සහ බෞද්ධයන්ගේ මුග්ධකම් පිළිබඳ අප මෙසේ 2013 දී වර්ෂයේදී ලිව්වද ඉන් වසර හයකට පසු සිදු වූ දේ කවුරුත් දනිති. අද ආචාර්ය අබේසිංහගේ සේවය සමරන දවසේ ඒ සිදු වූ දේ ගැනද විචාරාත්මක කල්පනා කිරීම උචිතය.

   


     


No comments:

Post a Comment