Monday, December 18, 2023

කලාව අධ්‍යාපනයෙන් පිටමං කළ යුතුද? ලියනගේ අමරකීර්ති


   



මෙවර ලිපියෙන් යම් නිශ්චිත කලා විධියක් හෝ කෘතියක් හෝ ගැන කතා නොකර පොදුවේ සෞන්දර්ය කලාවල වැදගත්කම ගැන අවධානය යොමු කරමි. ඊට ප්‍රධාන හේතුව මෙයයි: සති කීපයකට පෙර විශ්වවිද්‍යාලවලට තෝරාගත් සිසුන්ගේ නාම ලේඛන නිකුත් විය. ඊට ටික දවසකට පසු අපොස (සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල ආවේය. ඒ දෙකම නිසා පැරණි මාතෘකාවක් යළිත් මතු වී තිබේ. ඒ අපේ රටේ කලා විෂය ධාරාව හදාරන සිසුන්ගේ ගණන ප්‍රතිශතයක් සේ අතිවිශාලවීමේ ප්‍රශ්නයයි. 

                                         කලා අධ්‍යාපනයේ අදාළත්වය

  ඒ නිසාම නැවත වරක් කලා විෂයවල අනාදාළත්වය ගැන කතාව පැතිරේ. කලා උපාධිධාරීන් ගණනින් අතිවිශා්‍යල වීම රටෙහි සංවර්ධනයට දායක නොවන බව කියවේ. මෙහි ඇත්තක් තිබේ. නිර්මාණශීලී විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය නැති අප වැනි රටවල ඉදිරි වර්ධනය ඇති කරගත නොහැකිය. අපේ විශ්වවිද්‍යාලවලට අතිවිශාල කලා උපාධි අපේක්ෂකයන් පැමිණෙන්නේ ඔවුන් කලා විෂයවලින් සැපයෙන නිර්මාණශීලිත්වය, රසවින්දනය, හෝ විචාරාත්මක චින්තනය ආදියට ආසාවෙන් නොවේ. ඔවුන් විශ්වවිද්‍යාල වරම් ලැබී ඇත්තේ ඒ විෂයවලින් නිසාය. ඊට ප්‍රධාන හේතුව ඒ සිසුන්ගේ ග්‍රාමීය පාසල්වල හෝ ග්‍රාමීය ටියුෂන් අධ්‍යාපන ආයතනවල විද්‍යා විෂය ධාරා ඉගෙනීමටඅවස්ථා නැති නිසාය. 

    විශ්වවිද්‍යාල කලා විෂයධාරාවලට වඩාම සුදුසු ඒවා ආසාවෙන් උගන්නා අයය. මා උගන්වන සාහිත්‍ය කලා විෂයවලට ඒකපුද්ගල නිර්මාණ ශක්තියද විචාරාත්මක හා ස්වාධීන චින්තනයද වර්ධනය කරගන්නට කැමති අය පැමිණිය යුතුය. සාහිත්‍ය කලා ආදිය රසවින්දනයට සේම නිර්මාණයටද ඒකපුද්ගල ප්‍රතිභා ශක්තිය හා විචාරාත්මක වූද, ස්වාධීන වූද චින්තන ශක්තිය අවශ්‍ය වේ. හුදෙක් ප්‍රතිභා ශක්තිය පමණක් ප්‍රමාණවත් නැත. නිර්භයව තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවද, දෙන ලද අධිපති රාමුවලින් පිටට පැමිණ චින්තනයෙහි යෙදීමද අවශ්‍ය වේ. ඒවා වර්ධනය කරගත හැකි කුසලතා වුවද ඒවා වෙත වූ ආරම්භක නැඹුරුව සහිත අය විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ නම් හොඳය. එවැනි අය දහස් ගණනින් අවශ්‍යද නැත. කවර කලෙකද, කවර සමාජයකද ඉහත කී ලක්ෂණ ඇති අය දුලභය. එහෙත් එවැනි සැලකිය යුතු පිරිසක් නොපැමිණ අතිවිශාල ගණන්වලින් ‘කලා පීඨවලට’ සිසුන් පැමිණීම අවශ්‍ය නැත. එම එකඟතාව මත මෙම රචනය කරන්නට කැමැත්තෙමි.

  සෞන්දර්ය-කලා අවශ්‍යම නැද්ද? මගේ පිළිතුර එය අත්‍යවශ්‍ය වන්නේය යන්නය. සෞන්දර්ය-කලා අධ්‍යාපනය අවශ්‍ය වන්නේ පමණක් නොව පොදු අධ්‍යාපනය තුළ සෞන්දර්ය කලාවලට අර්ථවත් භූමිකාවක් තිබේ. ඒ කින්දමන්දැයි දැන් අපි සාකච්ඡා කරමු. මේ මාතෘකාව ගැන අවධානය යොමු කළ සියලු සෞන්දර්ය දාර්ශනිකයන් මෙහි කැඳවන්නට ඉඩහසර නැත.

  අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය පරීක්ෂා කරන විට සෞන්දර්ය කලාවල කාර්ය දෙකක් අපට පෙනේ.

1. අධ්‍යාපනය තුළ කලාවල (විශේෂයෙන් ලලිත කලාවල) කාර්ය 

2. කලා විෂයයන් හෝ අන් ඕනෑම විෂයක් හදාරන සිසුන්ගේ අධ්‍යාපනය තුළ සෞන්දර්ය දර්ශනයේ කාර්ය

  මේ කරුණු දෙකටම දිග ඉතිහාසයක් තිබේ.

  මෙම රචනයේ ඉඩ හසර සලකා අපි පළමු කරුණ පමණක් සාකච්ඡා කරමු. 

    අධ්‍යාපනයේ සෑම අවස්ථාවකම තුළ සියලු කලාවලට භූමිකාවක් තිබේය යන්න පැරණි තර්කයකි. එය ප්ලේටෝ දැක්වා ඈතට ගොස් විසි වෙනි සියවසේ ප්‍රධානතම අධ්‍යාපන දාර්ශනික ජෝන් ඩුවී දක්වා මෑතට පැතිරෙන අදහසකි. කලාව නිසා ශිෂ්‍යයා ලබන සෞන්දර්ය අද්දැකීම සෑම තලයකම අධ්‍යාපනයෙහි වැදගත් කාර්යක් ඉටු කරන බව ඔවුහු විශ්වාස කරති. 

   ජනරජය කෘතියෙහි 10 වෙනි පොත හෙවත් 10 කොටසේදී සිය පරමාදර්ශී රාජ්‍යයෙන් කලාකරුවා පලවා හළයුතු බව කීවේය. කලාව වෙත ප්ලේටෝගේ එම ප්‍රහාරය අප රටද ඉතා ප්‍රචලිතය. බොහෝ දෙනෙක් එය කටපාඩම් කරගෙන විභාගවලටද ලියති. එහෙත් ජනරජය කෘතියේම 2, 3, හා 7 පොත්වලදී  කිසිම ලෙසකින් කලාව හෙළා නොදකින ප්ලේටෝ එය ජනරජයක නායකයන්ගේ අධ්‍යාපනයෙහි අත්‍යවශ්‍ය කොටසක් වියයුතු බව තර්ක කළේය. අප බොහෝ දෙනෙකුට ඒ කොටස කටපාඩම් නැත.

  ප්ලේටෝ මෙසේ තර්ක කළේය: සැබවින්ම ලොව පවතින දේ (එනම් තථ්‍ය දේ) සහ මනුෂ්‍ය ඉන්ද්‍රිය සංවේදීතාව තුළ පවතින්නේ යැයි අතර වෙනස පෙන්වීමට කලාවට හැකියාව ඇත. සරල උදාහරණයක් වෙත යමු. ස්ත්‍රියකගේ මුහුණ සමීප රූපය දක්වන ආලේඛ්‍ය චිත්‍රයක් ගැන සිතන්න. එය හොඳ චිත්‍රයක් නම් සැබෑ ලොව පවතින ස්ත්‍රී මුහුණ ඉක්මවන ඉන්ද්‍රිය සංවේදීතාවක් චිත්‍රය නිසා ඇති වේ. හොඳ චිත්‍ර ශිල්පියා වර්ණ, රේඛා, හැඩතල ආදිය භාවිත කරන්නේ සැබෑ ලොව සිටින සැබෑ ස්ත්‍රියකගේ මුහුණ ඡායාරූපගත කළාක් සේ ‘හරියටම’ දැක්වීමට නොව ඒ චිත්‍රය තුළින්ම පමණක් දැනෙන සෞන්දර්ය අද්දැකීම සාධනය කිරීමටය. ඝනිකවාදී ස්ත්‍රී මුහුණු සිත්තම් කළ පිකාසෝගේ අවධානය යොමු වූයේ ස්ත්‍රී මුහුණ සැබෑ ලොව පවතින සේ අඳින්නට නොව චිත්‍රය නිසා ඇති වන සෞන්දර්ය අද්දැකීම සාධනය කරන්නටය. ඒ නිසා ඔහුගේ ඒ චිත්‍රවල ස්ත්‍රී මුහුණු සැබෑ ලොව පවත්නා සැබෑ ස්ත්‍රී මුහුණවලට සමාන නොවේ. මෙය අප හොඳින් දන්නා කාරණයකි. ඕනෑම කලාවක මේ වෙනස පවතී.

සැබැවින්ම පවතින දෙය හා පැවතිය යුතු දෙය

  ප්ලේටෝ දකින හැටියට මෙම වෙනස නිසා සැබැවින්ම පවත්නා දෙය හා පැවතිය හැකි අතර වෙනසද, තථ්‍ය ලෝකයෙහි පවතින දේ හා පරිකල්පන ලෝකයෙහි පවතින දේ අතර වෙනසද ගැන කල්පනා කරන්නට අවස්ථාවක් ශිෂ්‍යයාට ලැබේ. මේ වූකලි තරුණ මනස් නිදහස් කරන්නා වූ අද්දැකීමකි. තථ්‍ය ලෝකයෙන් එපිට පවත්නා අදහස් ගැන චින්තනයෙහි යෙදෙන්නට අවස්ථාවකි. මෙය අධ්‍යාපනයෙහි වැදගත් කොටසක් සේ ප්ලේටෝ දකියි. ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දීර්ඝ කාලයක් සාහිත්‍ය කලා උගන්වා ඇති මමද ප්ලේටෝ මේ කියන දේ නිවැරදි බව අද්දැකීමෙන් දනිමි. තථ්‍ය ලෝකයෙහි ගොරහැඩි බරින් නිදහස්ව ඊට වඩා සුසංවාදී ලෝකයක් ගැන සිතිවිලි සිතන්නටද, හැඟීම් හඟින්නටද හොඳ කලාව අප හුරු කරයි.

  තව දෙයක් ප්ලේටෝ ඉඟි කළේය. හොඳ කලා කෘතිය යම් සමාජයක දැනට පවත්නා ලක්ෂණ හා වටිනාකම් ගැන දැනුමක් ලබා දෙන්නේ පමණක් නොව අවසන් පරමාදර්ශී සමාජයක්, හොඳින් ජීවත්වීමේ කලාව ගැන ආකෘතිද සපයයි. මේ පරමාදර්ශී සමාජ හා පරමාදර්ශී ජීවිත පැවැත්ම පිළිබඳ කලාව සපයන ඉඟි මගින් අනාගත පාලකයන්ට දාර්ශනික නැඹුරුවක් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයන් බවට පත්වීමට හුරු කෙරෙන බව ප්ලේටෝ තර්ක කළේය. දෛනික තථ්‍ය ලෝකය ඉක්මවා පරිකල්පනය කිරීමත්, දැනට පවත්නා ලෝකයට වඩා යහපත් ලෝකයක් පරිකල්පනය කිරීමත් ඕනෑම අධ්‍යාපනයක කොටසක් විය යුතුය.

  ප්ලේටෝගේ මෙම අදහස් පසුකාලීන ප්ලේටෝවාදීන්ට බෙහෙවින් බලපෑවේය. ඉතාලියානු පුනරුද යුගයේ කලාවේ සමාජමය කාර්ය බවට පිරිපහදු වී වර්ධනය වූයේ මේ අදහසය. ෆ්ලොරන්ස් නගරයේ සිය ‘නව ශාස්ත්‍රාලය’ තුළ සම්පූර්ණ විෂය මාලාවක් බවට යට ඒ ප්ලේටෝනියානු අදහස වර්ධනය කෙරුණේ මාර්සිලියෝ ෆිසීනෝ විසිනි. එහිදී ඔහු අපේක්ෂා කළේ නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට සම්පූර්ණ සුසංවාදී සමාජ හා ආයතන ගැන පරිකල්පනය කරන්නට කලාව භාවිත කිරීමටය. එය ඉතා හොඳ අරමුණකි.

   කලා කෘතියක් තුළ සමස්තය හා එහි අංග සුසංවාදී ලෙසද ඓන්ද්‍රීය ලෙසද එකිනෙක පෝෂණය කරමින් බැඳී තිබේ. සුසංවාදී සම්බන්ධතා පිළිබඳ පරම නිදර්ශන ලෙස ෆිසීනෝ ඇතුළු පුනරුද චින්තකයන්ට පෙනුණේ සංගීතය, චිත්‍රය, සාහිත්‍යය හා නාට්‍යය වැනි කලා ප්‍රභේදවලට අයත් කලා කෘති වේ. ඒ දළ වශයෙන් 14-17 වෙනි සිය වස් අතරය.

  පසු කලෙක බුද්ධිප්‍රබෝධ චින්තනය පැන නැගුණු විටද කලාව එහි කොටසක් වූයේය. බුද්ධිප්‍රබෝධය (enlightenment) යනු දේවනිර්මාණවාදයට එරෙහිව මනුෂ්‍ය තර්ක බුද්ධියේ නැගීමය. මනුෂ්‍ය තර්ක ඥානය ලෝකය විස්තර කිරීමට හා වෙනස් කිරීමට හැකියාව ඇතැයි යන විශ්වාසයෙන් ඇති වූ ඒ ප්‍රබෝධය නූතන චින්තනයේ නැග්මේ වැදගත් අවස්ථාවකි. දළ වශයෙන් 17-18 සියවස් අතර එය සිදු විය. ප්‍රකට බුද්ධි ප්‍රබෝධ චින්තකයෙකු වන ජීන් ජාක් රූසෝ නූතන යුගයට අවශ්‍ය අධ්‍යාපනය කුමක් විය යුතුද යන්න පැහැදිලි කරමින් එමිල් නම් ප්‍රකට පොත ලිව්වේය. එය අදත් අධ්‍යාපන දර්ශනය තුළ ඉතා වැදගත් පොතකි. විද්‍යාව, ගණිතය, තර්ක ශාස්ත්‍රය වැනි විෂයවල ලබන අධ්‍යාපනය ඌනපූරණය කරමින් මානව ප්‍රේමය ඒ ඒ විෂය වෙතත්, පොදු අධ්‍යාපනය වෙතත් එක් කිරීමට කලාවට හැකියාව ඇතැයි රූසෝ තර්ක කළේය.

   නූතන ශිෂ්ටාචාරයේ දූෂ්‍යකාරක බලපෑම්වලින් ප්‍රීතිමත් වූද, තෘප්තිකර වූද ජීවිත ගෙවීමේ ශක්‍යතා වර්ධනය කරගන්නට කලාව තරුණ ජනයාට උපකාර කරන බව රූසෝ දුටුවේය. ලාභය, මූල්‍යමය වාසි, පුද්ගලවාදී ලාභ ප්‍රයෝජන වැනි දේ නූතන යුගය සමග එන දූෂ්‍යකාරක සේ ඔහුට පෙනිණි. 

   සෞන්දර්ය දර්ශනය අද පවත්නා ආකාරයට වර්ධනය කළ ප්‍රධානතම දාර්ශනිකයා වන ඉමෑනුවෙල් කාන්ට් (1724-1804) තවත් වැදගත් බුද්ධිප්‍රබෝධ චින්තකයෙකි. ඔහු කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බොහෝ අදහස් අතරින් එකක් අප කතාකරමින් සිටින මාතෘකාව සම්බන්ධයෙන් තීරණාත්මක වැදගත්කමක් දරයි. ඒ වූකලි කලාවේ ස්වායත්තාව පිළිබඳ අදහසයි. කලා කෘතියක් ස්වායත්ත වස්තුවකි. නිදර්ශන සඳහා මෙහි අවකාශ මඳ හෙයින් කෙටි කවියක් කියවමු. මේ අපරැක්කේ සිරිසුධම්ම හිමිගේ මොහොතින් මොහොත සිඹිමි පොතෙනි:

සඳ ළඟම

නිවි නිවී පත්තු වෙයි

තාරකාවක්

  වචන හතකින් මේ කවියෙහි මැවෙන චිත්තරූපවලින් එක්තරා ස්වායත්ත සෞන්දර්ය වස්තුවක් සෑදෙයි. ඒ නිසා නොයෙක් අර්ථ උපදියි. සඳ නමැති මහා කවියාගෙන් එළිය ලබන ආධුනික කවි තාරකාවක්, ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගෙන් එළිය ලබා බැබලෙන්නට තැත් කරන ශිෂ්‍ය තාරකාවක්, සඳින් නියෝජනය කරන ඕනෑම ප්‍රබල කෙනෙකු ළඟ තැවි තැවී සිටින කෙනෙකු යනාදී ඕනෑම අර්ථයක් සේ ස්වායත්ත සෞන්දර්ය වස්තුව වෙතින් පැන නගී. රසිකයා ඒ සියලු අර්ථ ජනිත කරවන්නේ ආත්මීය වශයෙනි. එනම් ඒවා ආරම්භයේදී ඒ ඒ තනි තනි රසිකයාට පොදුය. එහෙත් ඒ අර්ථ කවිය හා සෞන්දර්ය වස්තුව පිළිබඳ පොදු අදහසක් පිළිගන්නා ප්‍රජාවක් සමග එකඟාවකින් බෙදාහදාගත යුතුය. එක් එක් තනි රසිකයාගේ ඒකපුද්ගල සෞන්දර්ය විනිශ්චය වැදගත් වන අතරම එය පොදු ප්‍රජාවක් සමග එකඟතාවෙන් බෙදාගත යුතුය. මෙය සෞන්දර්ය අද්දැකීමේ ඉතා වැදගත් අංශයකි.

  කාන්ටියානු සෞන්දර්ය දර්ශනය අනුව කලාව හා කලා අධ්‍යාපනය මගින් අප හුරුවන්නේ මේ කාරණයටය. එනම් අපගේ ඒකපුද්ගල හා ආත්මීයතාව පොදු සමාජයක් සමග සම්බන්ධ කිරීමය. ඉහත කවිය සේම ඕනෑම සෞන්දර්ය වස්තුවක් අද්විතීය වේ. එනම් එයම පමණක් දනවන අර්ථ තිබේ. අද්විතීය වස්තු ඒවාට ආවේණික ලෙස ගැඹුරින් අගය කරන්නට උගන්නා දරුවා ලබන හුරුව අධ්‍යාපනයේ වැදගත් කොටසකි. තමන් සමග ජීවත් වන අනික් මනුෂ්‍යයන්ද අද්වීතීය වූද ඒ ඒ මනුෂ්‍යයාට ආවේණික වූ ලක්ෂණ ඇති අය ලෙසද දකින්නට කලා අධ්‍යාපනයෙන් දරුවා හුරු කෙරේ. 

                                    ඇමරිකානු දාර්ශනික ඩුවී

   විසිවෙනි සියවසේදී අධ්‍යාපනය තුළ කලාවේ කාර්ය ඉතාම හොඳින් න්‍යායගත කොට ආරක්ෂා කළ අධ්‍යාපන දාර්ශනිකයා ජෝන් ඩුවී වේ. කලාව සහ සෞන්දර්ය අද්දැකීම අධ්‍යාපනයෙහිලා මූලධාර්මික වැදගත්කමක් ඇති බව ඔහු පෙන්නා දුන්නේය. ඊට ප්‍රධාන හේතුව හැටියට ඔහු දැක්කේ මනුෂ්‍ය ජීවිතය ක්‍රමයෙන්ද ස්වභාවිකවද විකාශනය විකාශනය වීම හොඳින්ම හසුකරගන්නේ කලා කෘතිය වීමය. මෙය තරමක් පැහැදිලි කළ යුතු අදහසකි. ඉතා සමීපව ළමයින්ගේ ජීවිතය හා හැසිරීම් නිරීක්ෂණය කළ දාර්ශනිකයෙකු වූ ඩුවී ළමයින් ‘වැඩ’ හා ‘සෙල්ලම් කිරීම’ යන දෙක අතර වෙනසක් නොදකින බව දැක්කේය. මෙය ඇත්තකි. දරුවෙකු ගෙදරfදාරේ සුළු වැඩක් කරන විටත් සින්දුවක් කියමින් හෝ නටමින් හෝ එය කරන බව අපද දැක තිබේ. ‘වැඩ’ යැයි හැඳින්වෙන ක්‍රියා සහ ‘සෙල්ලම් කිරීම’ යැයි හැඳින්වෙන ක්‍රියා වැඩිහිටි ජීවිතයේදී එකට මුසුවන අර්ථවත්ම අවස්ථාව කලාව යැයි ඩුවී දැක්කේය. මෙයද ඉතා හොඳ නිරීක්ෂණයකි. ඕනෑම හොඳ කලා කෘතියක එක්තරා සෙල්ලම්කාරකමක් තිබේ. මෙය ගාර්සියා මාර්කේස්ගේ නවකතාවක, පරාක්‍රම කොඩිතුවක්කුගේ කවියක, දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යයක යනාදී ඕනෑම කලා කෘතියක පවතී. මේවා අහඹු ලෙස ගත් නම්ය. 

   සෙල්ලම් කිරීම යනු උපයෝගීතා කාර්යක් නොවේ. එනම් ඉන් කිසිම දෛනික ප්‍රායෝගික අවශ්‍යතාවක් ඉටු නොවේ. බඩගිනි වූ විට සෙල්ලම් කිරීමෙන් බඩගින්න සන්සිඳවාගත නොහැකිය. ඒ නිසා එය නිර්-උපයෝගිතා ක්‍රියාවකි. කලාවද මූලික වශයෙන් එවැනි ක්‍රියාවකි. අප අධ්‍යාපනයේදී සංගීතය, චිත්‍ර හෝ සාහිත්‍යය වැනි  ක්ෂේත්‍රවලට අයත් කලා කෘති රසවිඳින්නට හෝ නිර්මාණයට උගන්නා විට හුදෙක් ප්‍රායෝගික ප්‍රයෝජන ඉලක්ක කර නොගත් හා සෙල්ලමක් වැනි නිර්-උපයෝගීතා ක්‍රියා අගය කරන්නට උගනිමු. එමගින් අපි දෛනික ප්‍රයෝජනවලින් තොර වටිනාකම් අගය කරන්නට උගනිමු. මනුෂ්‍ය ශිෂ්ටාචාරයෙහි ඇති බොහෝ උසස් දේවල් ‘දෛනික ප්‍රායෝගික ප්‍රයෝජනවලින්’ තොරය. එවැනි දේ පවතින බව ඉගෙනීම අධ්‍යාපනයේ වැදගත් කොටසකි. සෞන්දර්ය කලා ඉගෙනීමේ වැදගත්කම එයයි. අපේ එදිනෙදා අවශ්‍යතා සපුරන්නේ නැති වුවත් මිහිරි සංගීත කණ්ඩයක් යනු කොතරම් නම් විශාල ධනයක්දැයි ඉගෙනීම ඉතා අර්ථවත් අධ්‍යාපනයකි. දෛනික ප්‍රායෝගික ප්‍රයෝජන හෝ ක්ෂණික භෞතික ලාභ උපදවන හෝ දේ පමණක් ඉගෙනීම බෙහෙවින් අධ්‍යාපනයකි.

  ඒ නිසා ඉහළ ගුණාත්මකත්වයකින් යුතු සමබර අධ්‍යාපනයක කලාවද අනිවාර්ය කොටසක් විය යුතුය. අප රට විද්‍යා හා තක්ෂණ අධ්‍යාපනය වඩ වඩා දියුණු විය යුතු බවට විවාදයක් නැත. එහෙත් ඒ අධ්‍යාපනය පවා කලා හා සෞන්දර්ය අධ්‍යාපනය මගින් පොහොසත්ද ගැඹුරුද කරනු ලැබිය යුතුය. නැති නම් බිහිවන්නේ මනුෂ්‍ය රොබෝ පිරිසකි. අපි තව රචනයකින් මේ තේමාව වෙත නැවත එමු.  

(දෙසැම්බර් 17 වෙනිදා අරුණ පුවත්පතේ පළ විය)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

   

  


1 comment: