Monday, November 9, 2020

අමරසේකර චින්තනය සමතික්‍රමණය කිරීම - ලියනගේ අමරකීර්ති


   

    ගුණදාස අමරසේකර මහා ලේඛකයෙකි. එසේ වන්නේ ඔහු අඛණ්ඩව ජීවිතයේ අනූවෙනි දශකය දක්වා ලියූ නිසා පමණක් නොවේ. ඔහු සිංහල කවියට, කෙටිකතාවට, නවකතාවට, කවිය පිළිබඳ විචාර කතිකාවට කළ දායකත්වය ඉමහත්ය. එසේම ඔහු ලංකාවේ සමාජ දේශපාලන සංවාදය සමග අඛණ්ඩව බැඳී සිටි ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. මෑත ඉතිහාසයෙහි සිදු වූ ප්‍රධාන දේශපාලන සිදුවීම් සියල්ලම ඔහු ඇසින් දුටුවේය. නිදහස ලැබීම, පනස්තුනේ හර්තාලය, පනස් හයේ පෙරළිය, හැත්තෑ එකේ කැරැල්ල, අසූ තුනේ කළබල, ඉන්දීය සාම සාධක මැදිහත්වීම, ජවිපෙ දෙවෙනි කැරැල්ල, යුද්ධයේ අවසානය ආදය ඔහු අත්දැක්කේය. ඒ ඇතැම් තැන්වල ඔහු න්‍යායධරයෙකු ලෙසද සිටියේය. ජවිපෙ දෙවෙනි කැරැල්ලට න්‍යායික අනුග්‍රහය දැක්වීය. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්නට අවශ්‍ය දෘෂ්ටිවාද සැකසීය. මෑතකදීම සභ්‍යත්ව රාජ්‍යය නම් පුස්තිකාව ලියමින් චීන ව්‍යාප්තවාදය වෙස් ගන්වන්නට තැත් කළේය. ඒ මහතාගේ ජීවිතයෙහිදී ඔහු අත්දකින අවසාන තීරණාත්මක දේශපාලන සංසිද්ධිය වනු ඇත්තේ ඇමරිකාව, චීනය සහ ඉන්දියාව අතර ඉන්දීය සාගර කලාපයෙහි බල අරගල වේදිකාවෙහි නාටකය නැරඹීම විය හැකිය. 

           කහපාට ජනවාර්ගික අනන්‍යතාවකිනුත්, රතුපාට රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයකිනුත් යුතුව චීනය වෙතින් ලෝකය පුරා පැතිරෙන්නේ බටහිර ධනවාදයට හා පරිභෝජනවාදයට කිසිම විකල්පයක් නොවූ ධනවාදයක්ම බව බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.  චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වීමත්, ඔවුන් ඉතා දරුණු පරිභෝජනවාදයකට ගොදුරු වීමත් නිසා ලෝකයම විනාශ කරන තත්ත්වයක් ඇති විය හැකි බව අනතුරු අඟවනු ලැබ තිබේ. ඒ අතින් එය ඇමරිකානු පරිභෝජනවාදයෙන් කිසිසේත්ම වෙනස් නැත. China Goes, So Goes the World: How Chinese Consumers are Transforming the World   නම් කෘතියේදී මහාචාර්ය කාර්ල් ගර්ත් එය මැනවින් පෙන්වා දුන්නේය. එවැනි පොත් රැසක් මෑතකදීත් ලියවිණි. එහෙත් අමරසේකරට පෙනුණේ බටහිරට විකල්ප වූ සභ්‍යත්වය චීනය විසින් ගෙන එනු ලබන බවයි. ඒ ඔස්සේ අපටද එවන් සභ්‍යත්ව රාජ්‍යයක් සකසා ගත හැකි යැයි ඔහු සිතුවේය. මෙය දරුණු වරදක් බව අත්දැකීමෙන්ම දකින්නට තරම් කාලයක් අමරසේකර මහතාට ජීවත්වීමට ලැබේවාය යන්න මගේ පැතුමය. මනුෂ්‍යයා පරිභෝජනවාදයෙහි ගිල්වන සියලු සමාගම් සෘජුව සහ වක්‍රව චීනයට රිංගා අවසානය. ඒ සමාගම් සියල්ල බටහිරට අයත් ඒවාම නොවේ. 

  චීනය පිටුපසින් ඇත්තේ ධනවාදය සහ පරිභෝජනවාදය නොව වෙනම සභ්‍යත්ව රාජ්‍යයක් බවත්, එයින් විකල්ප සමාජ සැකැස්මක් පිණිස අපටද ආභාසය ලැබිය හැකි බවත් අමරසේකර මහතාට පෙනෙන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අප රට ඉතිහාසයේ තරමක් පිටුපසට යා යුතුය. ඒ නිසාම අමරසේකර මහතාගේ ජීවිතයෙහිද දශක කිහිපයක් පසුපසට යා යුතුය.

“අනුකාරකයන්”

  1950 දශකයෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිත බුද්ධිමය උද්දාමයක් පැවතියේය. එය ශාස්ත්‍රීය සේම කලාත්මක පුනරුදයක්ද ඇති කළේය. කවිය, කෙටිකතාව, නවකතාව, නාට්‍යය යන කලා මාධ්‍ය පමණක් නොව ශාස්ත්‍රීය පර්යේෂණය යන සියලු ක්ෂේත්‍රවල ප්‍රබෝධයක් ඇති විය. ඒ ප්‍රබෝධයෙහි කේන්ද්‍රයෙහි සිටි ප්‍රතිභාසම්පන්න තරුණ සාහිත්‍යකරුවන් අතර ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ වැනි අයද වූහ. ඒ අතර සිටි වඩාත්ම ප්‍රතිභා සම්පන්න තරුණ නිර්මාණකරුවා අමරසේකර යැයි පෙනේ. ඒ ශාස්ත්‍රීය-නිර්මාණාත්මක ප්‍රබෝධයෙහි කේන්ද්‍රයෙහි සිටි ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ වඩාත්ම හිතවත් අනුග්‍රාහකයා වූයේ තරුණ අමරසේකර වූ බවද පෙනේ. 

    පේරාදෙණියෙහිදී ඇති වූ සාහිත්‍ය ප්‍රබෝධයෙහි එක් අංගයක් වූ නිදහස් කවියෙහි පැන නැගීමය. නිදහස් කවිය පහළ වූ පසු එහි එක් රමණීය ධාරාවක් අමරසේකර නිසා ඇති විය. භාවගීත (1955)  කාව්‍ය සංග්‍රහයෙහි පෙනෙන්නේ ඒ ලක්ෂණයි. ඒවා නිදහස් කවි වුවද “නිසඳැස්” ධාරාවට අයත් නොවේ. අදත් හඬ නගා කියවන කල සිංහල කාව්‍යාවලියෙහි ඇති ඉතා මිහිරි වාග් රිද්ම ධාරාවක් අප සවනට ඇසෙන කවි භාවගීතයෙහි ඇතුළත් වේ. එයින් දෙවසරකට පසු උයනක හිඳ ලියූ කවි (1957) කාව්‍ය සංග්‍රහය පළ විය. එහි එන ඇතැම් කවිවලින් ඔහු නිදහස් කවියෙහි නිසඳැස් ධාරාව වෙතද යන බව පෙනේ. එනම් යම් තාලයක් සහිතව කියවන්නට ඉඩ නොදෙන නිසඳැස් කවි ලක්ෂණ එහි ඇත. එනම් ඔහු යුරෝපීය නූතනවාදී පර්යේෂණකාමය සම්පූර්ණයෙන් අත් හරින්නේ නැත. සිරි ගුනසිංහ වැනි අය නියෝජනය කළ පර්යේෂණකාමී නූතනවාදය සමගද අමරසේකර ගනුදෙනු කරයි. එනම් ගතානුගතික කාව්‍ය සම්ප්‍රදායෙන් බිඳී, ඒ සම්ප්‍රදාය විවාදයට කැඳවන සාහිත්‍ය ධාරාවක් වූ බටහිර නූතනවාදය සමග අමරසේකරද සිටියේය. 

    එහෙත් 1961 දී අමල්බිසෝ කෘතියද 1962 දී ගුරුළුවත කෘතියද ලියන විට දේශීය කාව්‍ය සම්ප්‍රදාය සොයා යා යුතු යැයි කියමින් අමරසේකර දේශීයත්වය සොයා යන්නට විය. එතෙක් පෙරදිග සහ බටහිර සාහිත්‍ය ලෝක සමග නිදහසේ ගනුදෙනු කළ අමරසේකර විසිවෙනි සියවසේ මැද තමන් සමගම පර්යේෂණාත්මක සාහිත්‍ය කටයුතුවල නියැලී සිටි ආචාර්ය සිරි ගුනසිංහ වැනි අයට සෘජුව සහ වක්‍රව පහර දෙමින් දේශීයත්වය සොයා යන්නට වූයේය. ඒත් සමගම ඔහු බටහිර නූතනවාදයේ ආභාසෙයන් ලියූ නවකතාද මනස් පුතුන් යැයි අත්හැර දමමින් සමාජමය වශයෙන් අර්ථවත් වූ සාහිත්‍යයක් සොයා ගියේය. ඒ සොයා යාමේදී සිංහල භාෂාවෙන් එතෙක් මෙතෙක් ලිය වුණු විශිෂ්ටතම කෙටිකතා මාලාවක් ලියවිණි. එකම කතාව (1969), එක්ටැමෙන් පොළොවට (1972), කතා පහක් (1975) කතා සංග්‍රහවල පශ්චාත් යටත් විජිත ලංකාවේ සමාජ ඉරණම විදහා දක්වන චරිත මාලාවක් අමරසේකරගේ කතාවලට හසු විය. බටහිර අධ්‍යාපනයත්, ධනේශ්වර පරිභෝජනයත්, දේශීය සංස්කෘතියත් අතර නොයෙක් අතර ඇදෙන, මැඩෙන, නූතන සිංහලයාගේ මනස් අභ්‍යන්තරය මේ කතාවලට හසු වෙයි.

    එහෙත් අමරසේකර පේරදෙණියෙහි පර්යේෂණකාමී නූතනවාදීන් වෙත පහර එල්ල කිරීම දිගටම කළේය. ඔහු ඔවුන් හැඳින් වූයේ “අනුකාරකයන්” යන උපහාස වදනිනි. ඔහු එයින් අදහස් කළේ බටහිර අනුකාරකයින් යන්නය. පර්යේෂණකාමීන්ට අනුකාරකයින් යැයි චෝදනා කරන අතරම දේශීයත්වය, සම්ප්‍රදාය, ජාතිකත්වය ආදී සංකල්ප මාලාවක්ද ඔහුගේ විෂය ලෝකයට එක් විය. ඒ සිරි ගුනසිංහ වැනි නූතනවාදීන්ට අනුකාරකයින් යැයි පහර දීම 70 දශකය වන විට අමරසේකරගේ නිරන්තර පුරුද්දක් බව පෙනේ. 1974 සාහිත්‍ය දින විශේෂ කලාපයට “අනාගත සිංහල කවිය” නමින් ලිපියක් ලියන ඔහු අනුකාරකයන් යන වචන කිහිප වරක් යොදමින් සිරි ගුනසිංහගේ කවියට පහර දෙයි. නිදහස් ලංකාවේ සිංහලත්වය යනු විවිධ මූලාශ්‍රවලින් එළිය ලබා පොහොසත් විය යුතු දෙයක් යැයි කියන සංස්කෘතික විවෘතභාවය ප්‍රකාශයට පත් කරන්නට අමරසේකරට හැකි වූයේ නැත. 

බටහිර ගැත්තන්

    බටහිර අනුකාරකයන් යැයි නූතනවාදීන්ට පහර දීම පශ්චාත් යටත් විජිත රටවල නිතර දැකිය හැකි ලක්ෂණයකි. යටත්විජිතවාදියාගේ සංස්කෘතිය නිදහසින් පසුවත් තමන්ගේ සංස්කෘතිය මත ආධිපත්‍යය දරන්නේය යන සාංකාව යථාර්ථයක් බැවිනි. අනෙක, පශ්චාත් යටත් විජිත දේශපාලනඥයාත් බටහිර විරෝධය දේශපාලන සටන්පාඨයක් සේ භාවිත කරයි. 1956 වසරින් පසු සිංහල භාෂාවෙන් පමණක් උගත් පරම්පරාව සමාජයෙහි බලවත් ස්ථාන අත්පත් කරගන්නා නිසා අමරසේකර වැනි අය ද්වීභාෂික-පර්යේෂණකාමීන්ට, නව චින්තකයන්ට අනුකාරකයන් යැයි පහර දීම අර ස්වභාෂික පරම්පරාවට ආස්වාදයක්ද වූයේය. අසූව දශකය වන විට අමරසේකර ඒ පරම්පරාවේ චින්තනමය වීරයා බවට පත් විය. ඒ අතර කොටි සංවිධානයද, දෙමළ බෙදුම්වාදයද නැග ආ නිසා සිංහල සංස්කෘතිය තුළ සිටි ප්‍රතිසංස්කරණවාදීන් හුදෙක් අනුකාරකයන් පමණක් නොව, “බටහිර ගැත්තන්,” “ඩොලර් කාක්කන්,” “එන්ජීඕකාරයන්” යැයි නාමකරණය කෙරිණි. 

   ගුණදාස අමරසේකර යනු 1950 දශකයෙහි ලංකාවෙහි සිටි ඉතා දීප්තිමත් ප්‍රතිසංස්කරණවාදියෙකි; සංස්කෘතික සංස්කරණවාදියෙකි. සිරි ගුනසිංහ වැනි අය ඒ ප්‍රතිසංස්කරණවාදය කෙළින්ම ප්‍රකාශ කළ අතර මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි අය දේශජ ස්වරූපයකින් වක්‍රව එයම ප්‍රකාශ කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ට තිබිය යුතු බුද්ධිමය ඉඩහසර මනමෙ නාට්‍යයෙන්ද ඉල්ලා සිටින අතර පියවරුන්ගේ දෘෂ්ටිවාදී ගල් ගුහාවේ පුතුන්ද සිරවිය සිටිය යුතුදැයි සිංහබාහු නාට්‍යයෙන් ඇසෙයි. ඒ වූකලි පේරාදෙණිය කේන්ද්‍රකරගත් ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයයි. එහි එක් ධාරාවක් වූ නූතනවාදී ධාරාවට අනුකාරකයන් යැයි පහර දුන් අමරසේකර පසු කලෙක සියලු සමාජ ප්‍රතිසංස්කරණවාදී චින්තනය, අනුකාරකත්වය යටතට දැම්මේය. ලංකාවේ සමාජ-දේශපාලන ප්‍රශ්න මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානය පවතින බව ඇත්තකි. එහෙත් අනූව දශකය වන විට සිංහල සංස්කෘතිය අභ්‍යන්තරයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු නොවේදැයි අසන චින්තකයන්, කලාකරුවන් සියලු දෙනාම “එන්ජීඕකාරයන් ”යැයි හඳුන්වන තැනට අමරසේකර පිරිහිණි. සිංහල කාව්‍ය සම්ප්‍රදාය වැනි වැදගත් පොතක පවා එන්ජීඕකාරයන් වැනි යෙදුම් දැකිය හැකිය. ඔහුගේ අනුකාරකයෝ එන්ජීඕකාරයා හෝ ඩොලර් කාක්කා වැනි යෙදුම් අද යොදන්නේ ඕනෑම ප්‍රතිසංස්කරණවාදියෙකු හැඳින්වීමටය! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කිරීම පවා ඩොලර් කාක්කන්ගේ වැඩක් යැයි ඇතැම් පුවත්පත්වල ලියවේ! 

    ඊටත් වඩා දරුණු හානියක් අමරසේකරගේම සාහිත්‍යට සිදු විය. ඔහුගේ මෑත කාලීන ප්‍රබන්ධ කතා කිහිපයකම චරිත නිරූපණයටද අනුකාරකයා, බටහිර ගැත්තා, ඩොලර් කාක්කා වැනි සංකල්ප බලපා තිබේ. ඇතැම් කතාවල සිටින නිදහස්කාමී වූද, ලංකා සමාජය ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි සිතන්නා වූද චරිත එවැනි චින්තකයන් වී ඇත්තේ ඩොලර් නිසාය! නැත්නම් බටහිර කුමන්ත්‍රණයක කොටස්කරුවන් නිසාය. ඒ කතුවරයා ලෝකය පෙනෙන හැටිය. ජාතික-විජාතික වශයෙන් දෙකම බෙදුණු- දෙකටම පමණක් බෙදුණු-ලෝකයක මහා සාහිත්‍යකරුවෙකු සිරවීමෙන් ඔහුගේ සාහිත්‍යය ඉතා කුඩා විය. 

  සිංහල-බෞද්ධයන් තුළ තමන් වෙතම එල්ල වූ ආචාරධාර්මික විචාරයක් සක්‍රීව පවත්වාගෙන යාම සිංහල බසින් ලියන සාහිත්‍යකරුවාගේ කාර්යකි. බාහිරින් එන අධිරාජ්‍යවාදී බලවේග ගැන පමණක් විචාරශීලී වීම ප්‍රමාණවත් නැත. ප්‍රජාවක් ඉදිරියට යන්නේ අනෙකාද තමාද දෙදෙනාම වෙත එල්ල වූ සක්‍රීය විචාරාක්ෂියක් නිරන්තරයෙන් පවතින විටය. අද ජනප්‍රිය කතිකාව වී ඇත්තේ පුවත්පතේද, ටෙලිවිෂන් වැඩ සටහනේද, ටියුෂන් පන්තියේද බටහිරට බැණ අඩගසන්නාය. අමරසේකර නම් බටහිර හොඳම සාහිත්‍ය කලාවලින් සාරය උකහා ගත්තෙකි. අර ජනප්‍රිය බටහිර විරෝධියාට ඒ සාරයද අහිමිය. 

   ඉන්දියානු මහාකවි රවීන්ද්‍රනාත් තාගෝර් විසල් මනසක් ඇත්තෙක් විය. ඔහු මෙසේ කීවේය: “අපේ මුතුන් මිත්තන් අවුරුදු තුන්දාහකට පෙර විශ්වයෙන් ලබාගත හැකිව තිබූ සියලු වටිනාකම් ලබාගෙන අවසාන යැයි සිතීම වටිනා සිතිවිල්ලක් නොවේ. අපද විශ්වයද එසේ සිතන්නට තරම් දුප්පත් නැත. මනුෂ්‍යයන් කළ යුතුව තිබූ සියලු දේ අතීතයේදී කර අවසාන වී තිබේය යන සිතිවිල්ල නිවැරදි නම් අප තව දුරටත් පැවතීම පෘථිවිය මත පටවන ලද බරකි.”(සිතිවිලි සිතිජය- ලියනගේ අමරකීර්ති). මේ වූකලි තනි සම්ප්‍රදායක් තුළ සියලු ප්‍රඥා සාරය ඇතැයි ගන්නා ජනතාවකට කළ අනතුරු ඇඟවීමකි. නොයෙක් තැනින් එන ඥාන සංවේදීතාවට විවෘත නොවී කිසිම ප්‍රජාවකට ඉදිරි ගමනක් නැත. අපට අවශ්‍ය සියලු දේ අපේ සම්ප්‍රදායෙන්ම උකහා ගත හැකි යැයි සිතීම දරුණු දුගීභාවයකි. අමරසේකරට එහිදී තාගෝර්ගේ වැනි විසල් මනසක් තිබුණේ නැත. 

   අමරසේකර පේරාදෙණිය ආශ්‍රිත නූතනවාදය තුළ වූ ප්‍රතිසංස්කරණ විභවතාව වෙතින් කැඩී එවන් ප්‍රතිසංස්කරණවාද අනුකාරකත්වය යැයි හඳුන්වන්නට පටන්ගත් තැන් පටන් කළ වරදක් නම් අධිරාජ්‍යවාදය යන්න සුද්දා සමගත්, බටහිර සමගත් අනන්‍ය කිරීමය. අද අධිරාජ්‍යවාදය කහපාට සමක් ඇති නිර්-බටහිරකින් එන විට නොපෙනී යන්නේ ඒ නිසාය. එය අලුත් සභ්‍යත්වයක් යැයි කියන්නට අමරසේකරට සිදුවන්නේ ඒ නිසාය. ගුණදාස අමරසේකරගේ බුද්ධිමය දායකත්වය විචාරාත්මකව වටහා නොගෙන කටපාඩම් කරගෙන අනුකරණය කරන්නට තැත් කරන පරම්පරාවකට ලංකාව වෙනුවෙන් කළ හැකි සාධනීය වූ කිසිවක් නැත. “අනුකාරකත්වය” යනු සංකල්පමය වශයෙන්ම වැරදි නම් බටහිර අනුකරණය කිරීම පමණක් නොව ඉතා සීමාසහිත ජාතිකවාදයක් අනුකරණය කිරීම වුවද වැරදිය. අප මහා කවි අමරසේකර ඒ කරුණ මැනවින් දනියි. 

(ඉරිදා දිවයින නොවැම්බර් 8, 2010)

 

Monday, October 19, 2020

නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද? ලියනගේ අමරකීර්ති



නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලුත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. මෙය එහි දේශපාලන අර්ථයක කැටි කරගත් කෙටි තීරුවකි. එම කෘතියේ දෙවෙනි පරිච්ඡේදයේ අපගේ අවධානයට ලක්විය යුතු කරුණක් තිබේ. ඒ මෙයයි: නට්සින් විසින් ජර්මනියේ කරන ලද අතිවිශාල මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුත්තේ හිට්ලර්ගේ විශේෂ ඝාතක කණ්ඩායම්ය යන්න සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන දෙයකි. හිට්ලර්ගේ මිනීමරු රහස් පොලිසිය වු ගෙස්ටාපෝව සිය උකුසු ඇසින් බලා සතුරන් යැයි සැලකෙන අය අල්ලා ඝාතනය කළ බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එකල ජර්මනිය ගැන චිත්‍රපටිවලින් කෙරෙන්නේද එවැනි චිත්‍රණයකි.

එහෙත් නට්සින්ගේ කතාව නම් මේ පොත ඊට වඩා වෙනස් විදියකට කරුණු වටහා ගන්නට අපට උපකාර වෙයි. ජර්මනියේ සිදු වූ අපරාධවලට සරිලන තරමට නට්සි පක්ෂයේ සාමාජිකයෝ හෝ ගෙස්ටාපෝ පොලිස් මැරයෝ ජර්මනියේ නොසිටියහ. හිට්ලර් විසින් ජාතිවාදී දෘෂ්ටිවාදය වපුරන ලද පසු බොහෝ ජර්මන් වැසියෝ ඒ දෘෂ්ටිවාදය තමන් වෙත අන්තරීකරණය කරගෙන පවත්වාගෙන ගියහ. ඔවුහු මනුෂ්‍ය ඝාතනවලට ස්වේච්ඡාවෙන්ම උදව් කළහ.

මේ කරුණ හොඳින්ම පෙනෙන්නේ ගෙස්ටාපෝ ලේඛනාගාරයකින් හමු වූ ලිපිගොණු 18000ක් පමණ පරීක්ෂා කිරීමේදීය. නට්සින්ගේ මෙවැනි ලිපි ගොණු දහස් ගණනක් මිත්‍ර හමුදා එන්නට පෙර ගිනි තබා විනාශ කර දැැමිණ. එහෙත් වූර්ස්බර්ග් නගරයේ පැවැති මෙවැනි ලේඛනාගාරයක වූ ලේඛන විනාශ කරන්නට පෙර ඇමරිකානු හමුදා ඒ නගරය යටත් කර ගත්තේය. ඒ නිසා ලිපිගොණු විශාල ප්‍රමාණයක් ඉතිරි විය. ඒවායේ එන්නේ නට්සි විරෝධීන් යැයි සැලකෙන හෝ යුදෙව් ජාතිකයන් සමග සම්බන්ධතා ඇතැයි සැලකෙන හෝ අයගේ පෞද්ගලික විස්තරය. ඒවා ඒඒ පුද්ගලයන් ගැන රහස් පොලිස් වාර්තාය.

එහෙත් මේ වාර්තාවල තොරතුරු රහස් පොලීසිය විසින් මහන්සි වී සොයාගත් ඒවා නොවේ. ඇතැම් විට නට්සි පක්ෂයේ සාමාජිකයන් විසින් වාර්තා කරන ලද තොරතුරුද නොවේ. සාමාන්‍ය ජර්මානුවන් විසින් විවිධ හේතු නිසා තමන් අකමැති අයට විරුද්ධව කරන ලද පැමිණිලි ඇසුරින් ඒ බොහෝ වාර්තා සකස් වී ඇත. 

හිට්ලර් සම්බන්ධයෙන් කෙනෙකු විහිළු කළේ යැයි කෙනෙකුට ආරංචි වෙයි. ඔහු එය ගෙස්ටාපෝවට හෝ නට්සින්ට වාර්තා කරයි. වයස්ගත කාන්තාවක වසන තට්ටු නිවාසය කෙනෙකුට අවශ්‍ය වෙයි. ඔහු ඈට විරුද්ධව පැමිණිලි කරයි. නට්සින් බලයට පත් වෙන විට යුදෙව්-ක්‍රිස්තියානි විවාහ සම්බන්ධතා පවා නීතියෙන් තහනම් වූවක් නොවේ. බොහෝ දෙනා එවැනි මානව සම්බන්ධතා පැවැත්වූහ. එහෙත් නට්සින් විසින් ජාතිවාදී අදහස් අධිපති අදහස් බවට පෙරලන ලද පසු සාමාන්‍ය ජර්මානුවෝ යටකී මානව සම්බන්ධතා පවා වරදක් සේ දැක පොලීසියට වාර්තා කළහ.

හිට්ලර්ගේ සාර්ථකත්වය යනු ඔහුගේ පොලීසියේ සාර්ථකත්වය නොව ඔහුගේ ජාතිවාදයට ස්වේච්ඡාවෙන්ම සහභාගි වීමට විශාල ජර්මානුවන් පිරිසක් එකඟ කරගැනීමේ සාර්ථකත්වයයි. සීමාන්තික දෘෂ්ටිවාද පතුරුවන නායකයන්ගෙන් සිදු වන විනාශය මෙයයි. රට දේශද්‍රෝහි-දේශප්‍රේමී යනාදි වශයෙන් දෙකට බෙදන දෘෂ්ටිවාදය පතුරු වන ලද පසු තම නායකයා වෙනුවෙන් දේශද්‍රෝහීන් නම් කිරීමේ කාර්ය බාරගන්නා අය එමට සිටිති. එහිදී ඔවුන්ගේ පෞද්ගලික අමනාපකම්, අනුවණකම්, අගතීන්, හීනමානයන් ආදී ඕනෑම දෙයක් බලපාන්නට පුළුවන. නීතියේ ස්වාධිපත්‍යය නැති සමාජයක මේ ඕනෑම මිනිස් අගතියකට දරුණු හිංසක ස්වභාවයක් ගන්නට හැකියාව ඇත.

යම් සමාජයක බහුතරයට අයත් පිරිස මෙවැනි දෘෂ්ටිවාදයන්ට හසුවීම පාලනය කළ යුත්තේ ඒ නිසාය. අපේ රටේ සිංහල සමාජයෙන් මතුවන අන්තවාදී කණ්ඩායම් ගැන විචාරය කරන විට ඇතැම් සිංහල අය අසන්නේ “ලෝකයේ අපි විතරද අන්තවාදී වැඩ කරන්නේ” කියාය. එය ආචාරධාර්මිකව  බංකොලොත් ප්‍රශ්නයක් බව ඔවුන්ට වැටහෙන්නේ නැත. එහි ඇගවුම අනික් අය කරන නිසා අපත් කළ යුතුය යන්නය. යම් සමාජයක බහුතරය යැයි සැලකෙන පිරිස නිරන්තර විචාරයකට ලක් කොට තැබිය යුත්තේ ඒ පිරිස අන්තවාදී දෘෂ්ටිවාදවලට හසු වුවහොත් අනෙක් මනුෂ්‍යයන්ට සාපේක්ෂව තමන්ගේ උසස් බව පිළිබඳ කියාපෑම්වලට ඔවුන්ට වැඩි අවස්ථාවක් ඇති නිසාය. බහුතරයට අයත් නොවූවත් ආධිපත්‍යයෙන් වැඩි පිරිස අන්තවාදී අදහස් ගත් විටද එවැනි අවස්ථා පැනනැගි රටවල් අඩුය. එහිලා හොඳම නිදර්ශනය දකුණු අප්‍රිකාවය. තමන් නෛසර්ගිකවද ඓතිහාසිකවද ජානමය වශයෙන්ද උසස්ය යන දෘෂ්ටිවාදය ගැනීමෙන් විනාශව ගිය රටවල් අතර ප්‍රධන වන්නේ  ජර්මනියයි. 

ජර්මනියේදී ඒ බහුතර දෘෂ්ටිවාදයේ හිංසනයට හිංසනයෙන්ම පිළිතුරු දීමට තරම් විශාල සුළුජාතීන් ප්‍රතිශතයක් සිටියේ නැත. එසේ වී නම් ලංකාවේ හෝ ඝාසා තීරයේ ඇති වූ තත්ත්වයක් වැන්නක් ඇති වන්නට ඉඩ තිබිණි. බහුතරයට අයත් ජනතාවගේ දෘෂ්ටීන් බහුතරයේ දෘෂ්ටීන් වන නිසාම ආධිපත්‍යයට පත් වීම වැලැක් විය යුත්තේ ඒ නිසාය. එය දිගුකාලීන වශයෙන් ගත් කල බහුතරයටද හොඳය. එහෙත් ඒ කාරණය බහුතරයේ බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත.

නට්සින්ගේ කතාව කෘතියෙන් පෙනෙන තවත් වැදගත් දෙයක් ඇත. එය නම් හිට්ලර් තම දේශය වෙනුවෙන් දිවා රෑ වෙහෙස වූ දේශප්‍රේමී ජනනායකයෙකිය යන මිත්‍යාවයි. ඔහු ජාතිය වෙනුවෙන් වැය කළේ දවසින් ඉතා සුළු කාලයකි. අනික් කාලය අලසකමින්  හෝ ඉඳුරන් පිනවමින් ගත කළේය. රෑ කෑමෙන් බොහෝ විට කළේ චිත්‍රපටි බැලීමයි. එකල මෙකල මෙන් රියැලිටි ෂෝ තිබුණේ නම් ඔහුද කරනු ඇත්තේ ඒවා බැලීමයි. අදත් ඇතැම් ජනාධිපති මාලිගවල සිදුවන්නේ අතිසරල ටීවී ෂෝ බැලීම මිස පොත පත හැදැරීම නොවන බව ප්‍රකට කරුණකි.

ජර්මනියේ ආර්ථිකය ගතයුතු මග ගැන කිසිදු හැඟීමක් හිට්ලර්ට තිබී නැත. ඔහු කළේ විරැකියා ප්‍රශ්නය විසඳන ලෙස ජර්මන් බැංකුවේ සභාපතිට කියා පෑම පමණි. අපේ කට්ටිය ආචාර්ය පීබී ජයසුන්දරට එසේ කියන්නාක් සේය. 

හිට්ලර් වැඩිමනත් බුද්ධිමය ජීවිතයකින්ද ක්‍රියාශීලීකමකින්ද යුතු අලස ජීවිතයක් ගෙව්වද ඔහු ජාතිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ජාතියේ පියා යැයි සිතන ජනතාවක් නිර්මාණය කරන්නට ඔහුට හැකි විය. ඔහු ජර්මනිය පිළිකුල් සහගත ජාතිවාදයක් කරා ගෙන ගියේ එසේ සිතන ජනතාවකගේ සහායෙනි. 

නට්සින්ගේ කතාව නම් මේ කෘතිය සිංහලයෙන් පළ වීම අපට දේශපාලන කැඩපතක් ලබා දීමක් වැනිය. “ඉතිහාසයෙන් අනතුරු ඇඟවීමක්” යැයි ඒ පොතට උප මාතෘවක්ද ඇත. නට්සි ජර්මනිය යනු එක්තරා කලෙක එක් රටක් සේ නොව කොතැනත් විය හැකි විනාශයක් පිළිබඳ රූපකයක් සේ ගත යුතුය. ඉතිහාසය ඉගෙන ගන්නේ ඒ සඳහා නොවේද? එම කෘතියේ කතුවර ලෝරන්ස් රීස් සිය හැඳින්වීමේ අවසානයේ මෙසේ කියයි:

“නට්සි හිංසනයට සමාන වූ යම් දෙයක් ලෝකයේ කොහේ හෝ තැනක නැවත වාරයක් සිදු විය හැකිද? මා මෙහිදී සිටින්නේ කාල් යැස්පර්ස් සමගය: එය ඕනෑම මිනිත්තුවකදී නැවත වරක් සිදුවීමේ හැකියාව පවතී.”

ඇත්ත පුවත්පත- අගෝස්තු 3 2014