Thursday, January 3, 2019

මේ කුමාරස්වාමි සහ ඒ කුමාරස්වාමි







කුමාරස්වාමි නාමය කරලියට පැමිණ ඇත.  කෙනෙකුගේ නම කුමාරස්වාමි වූ විට කිපෙන අය සිංහල සමාජයේ සිටිති. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකුවේ අධිපති වූ පසු සමාජ වෙබ් අඩවිවල ජාතිවාදය ඇවිස්සූ අය අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුද වූහ. තමන් ආචාර්ය කුමාරස්වාමිට වඩා ජාතියෙන් වෙනස් වන්නෝ පමණක් නොව ශිෂ්ටභාවය අතින් පහත් බවද ඒ අය පෙන්වා දුන්හ. ඒ පුස් වෙඩිල්ල බකස් ගා නිවී ගියද ඒ නිසා ශිෂ්ට සිංහලයන් තුළ ඇති වූ වරදකාරී හැීම තවම පහව ගොස් නැත. 

 
   ඒ ජාතිවාදී ඝෝර නාඩුව ඇසෙන විට මා සිටියේ කුමාරස්වාමි කෙනෙකු ගැන පොතක් කියවමිනි. එහි කතුවරයා  මාධ්‍යවේදී  සම්පත් බණ්ඩාරය. ඒ පොත ආනන්ද කුමාරස්වාමි ගැනය. ඒ සුප්‍රකටම කුමාරස්වාමිය. තමා ලියූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් මධ්‍ය කාලීන සිංහල කලා යැයි නම් කළ කුමාරස්වාමිය. ඒ පොත ලියූයේ සිංහල කලා ගැන පර්යේෂණ කරන සිංහලයන් පවා අඩු කාලයකය. ලංකාව නිදහස ලබන්නටත් වසර හතලිහකට පෙරය.

    ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සහ දැන් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඥාතීන්දැයි මම නොදනිමි. 

    බණ්ඩාරගේ පොත ආනන්ද කුමාරස්වාමි: විශ්වීය මිනිසෙකුග් ජීවිතය හා නිර්මාණ යන නම දරයි. එය ආකර්ෂණීය සරසවි ප්‍රකාශනයකි. මේ පොත වසරක් ඇතුළත දෙවැනි මුද්‍රණයක් පළ වන තරම් වේගයෙන් අළෙවි විය.  ඒ ශ්‍රේෂ්ඨ විද්වතා ගැන උනන්දුවක් සිංහල සමාජයේ පවතින බව ඉන් පෙනේ. බරපතල පර්යේෂණ කෘතියක් නොවන මේ පොත කුමාරස්වාමිගේ පෘථුල ශාස්ත්‍රීය ජීවිතය සාමාන්‍ය සිංහල පාඨකයාට හුන්වා දෙයි. තවදුර පර්යේෂණ කරන අයටත් ප්‍රයෝජනවත් කරුණු රැසක් මෙහි ලියැවී ඇත. මෙවැනි කෘතියක් කරන්නට තරම් ද්විභාෂික තරුණ මාධ්‍යවේදීන් සිටීම යහපත් දෙයකි. ඔවුන් කෙටිකාලීන වශයෙන් ජනප්‍රිය වන මාතෘකා ලුහු බැනොයා අපේ සමාජය සබුද්ධික කරන්නට දායක වන මෙවැනි කෘති කරන්නට ඉදිරිපත් වීම ඊටත් වඩා යහපත්ය. 

    චරිතාපදානමය ග්‍රන්ථයක් ලියද්දී අදාළ පුද්ගලයාගේ වෘත්තීය අංශ පමණක් නොව මනුෂ්‍යයෙකු ලෙස ඔහු කවරකු වීද යන්නත් වටහා ගත හැකි තතු ඇතුළත් කිරීම උචිතය. මේ ශ්‍රේෂ්ඨයන්ද සාමාන්‍ය මනුෂ්‍යයන් බව ඉන් අපට දැනේ. සම්පත් බණ්ඩාර මේ කුඩා කෘතියේදී පවා කුමාස්වාමි නම් මනුෂ්‍යයා අල්ලා ගන්නට තැත් දරයි. 

     මීට වඩා සවිස්තරාත්මක ආඛ්‍යානමය චරිතාපදානයක් ලිව්වේ නම් මතු කරගත හැකිව තිබූ සංකීර්ණ වූද ලාලසාත්මක වූද ජීවිතයක් කුමාරස්වාමිට විය. එවැනි සවිස්තර ආඛ්‍යානමය චරිතාපදානයක් ඉංග්‍රීසි බසින් පවා ලියැවී නැත. රාමචන්ද්‍ර ගුහා වැනි මෙවැනි ජීවිත කතා පිළිබඳ රුසියෙකුට නම් ආනන්ද කුමාරස්වාමි චරිතය මැණික් ආකාරයක් වැනිය. එවැනි පර්යේෂණ සඳහා කාලය සහ මූල්‍ය ප්‍රතිපාදනද අවශ්‍ය වේ.

   කුමාරස්වාමි හුදු පුස්තකාල පර්යේෂකයෙක් නොවේ. සමාජ ප්‍රතිසංස්කරණය අරමුණු කරගත් සමාජ ක්‍රියාධරයෙකි. මතුපිටින් සිදු වන ව්‍යාජ බටහිරකරණය වෙනුවට දේශීය සම්ප්‍රදායන් යළි පණ ගැන්වීමද බටහිර චින්තනයේ සාරවත් උරුමය තුලනාත්මක ප්‍රවේශයකින් උරාගැනීමද ගැන ඔහු කතා කළේය. ශ්‍රී ලංකාවට උරුම සංස්කෘතික බහුවිධත්වය නූතන පුරවැසියාට වටහා දෙන්නට සියලු ශ්‍රී ලාංකිකයන්ට සිංහල, දෙමළ, පාළි සහ සංස්කෘත ඉගැන්විය යුතු බවත්, බටහිර සංස්කෘතියේ හොඳම අංග උකහා ගෙන පෙරදිග හොඳම අංග සමග මුසු කළ යුතු බවත් ඔහු තර්ක කළේය. ඔහුගේ සමාජ චින්තනයේ මෙවැනි අංග බණ්ඩාරගේ කෘතියෙන් මතු වන්නේ අඩුවෙනි.

   කලාව සහ පර්යේෂණයද මානව ශිෂ්ටාචාරය සමස්තයක් ලෙස වටහා ගැනීමද ඔහුගේ ජීවන ලාලසාව විය. ඔහු වෙහෙස නොබලා අධ්‍යයනය කළේය. වෙහෙස නොබලා ලිව්වේය. ඔහුගේ ලේඛනවල නාමාවලිය පමණක් වෙළුවම් දෙකකි! ඒ අතර විවාහ තුනක් සිදු විය. ඔහුගේ බිරින්දෑවරුද ඔවුන්ටම ආවේනික ආකර්ෂණීය චරිත කතා ඇත්තෝ වූහ. සම්පත් බණ්ඩාර මේ කෘතියෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ කුමාරස්වාමි සම්බන්ධ කරුණුමය සාරසංග්‍රහයක් කරන්නටය. අප ඉංග්‍රීසි පොතපතින් පමණක් දැක තිබූ ඡායාරූප මාලාවක්ම උසස් ප්‍රමිතියෙන් මුද්‍රණය කර මේ කෘතියෙහි ඇතුළත් කර ඇත. 

    සැලකිය යුතු ලොකු පඩි ලබන ඇතැම් සරසවි ඇදුරෝ වසර පහකට වත් පොතක් පතක් පළ නොකර නිකම් කැරකි කැරකී සිටිති. නැත්නම් ශාස්ත්‍රාලීය පසුබිමක අභිමානයෙන් කිව නොහැකි වැඩ කරමින් කල් අරිති. පර්යේෂණ යනු කවුරුහරි කුලියට ගෙන කරවා ගත හැකි වැඩ යයි සිතන අයද වෙති. ඔවුන්ට ලැබුණ කාර්පර්මිට් ගණන පළ කළ පොත් ගණනට වැඩිය. ඒ සමහරු ආනන්ද කුමාරස්වාමිගේ සිංහලට පරිවර්තිත පොත්වලින් ශිෂ්‍යයන්ට සටහන් දී පඩිද කති. කුමාරස්වාමි නම රටේ ඉහළ තනතුරක් හා සම්බන්ධ වන විට ජාතිවාදී මද කිපෙන්නෝද මොවුන් අතර සිටිති.

     කුමාරස්වාමි ඉතා මහලු වයසේදී පවා නව ඥානය වෙනුවෙන් වෙහෙස වු හැටි මේ කෘතියේ එයි. ආචාර්ය කුමාරස්වාමි පළ කළ ශාස්ත්‍රීය ලේඛන 340 ගණනක නම්ද ඒවා පළ කළ තැන් සහ දින වකවානුද සහිත ලේඛනයක් මෙම කෘතියට ඇතුළත්ය. ඒ ලැයිස්තුව පමණක් වුවත් මේ කෘතිය අමිල පොතක් බවට පත් කරයි.

      ආනන්ද කුමාරස්වාමිගේ The Dance of Shiva තුලනාත්මක සෞන්දර්ය දර්ශනය පිළිබ උනන්දු මගේ ප්‍රියතම කෘතියකි. එහි එන රචනාවලින් පෙනෙන පරිදි ඔහු කලාව පිළිබ දකුණු ආසියානු අදහස් බටහිරදී ප්‍රකාශ කළ කෙනෙක් නොවේ. ඔහු තුලනාත්මක සෞන්දර්යවේදියෙකි. මුල් සහිත සර්වභෞමිකයෙකි. දේශීය සංස්කෘතියෙහි සාධු හරය උකහා ගෙන ලෝක පුරවැසියෙකු ලෙස සිතූ, ක්‍රියා කළ කෙනෙකි. එවැන්නවුන්ගේ බිහිවීමට ප්‍රභූ පවුල් පසුබිමකට අයත් වීමද හේතුවකි. එහෙත් හැම ප්‍රභූ පවුලක්ම කුමාරස්වාමිලා බිහි නොකරන බව මෑත කාලීන සිංහල ප්‍රභූන්ගේ දරුවෝ දිනපතා පෙන්වා දෙති. ඒ නිසා සියලු දක්ෂ දරුවන්ට ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලබා දිය හැකි නම් මෙවැනි විශිෂ්ටයන් කොයි පන්ති පසුබිමකිනුත් බිහි කළ හැකිය. ඉතාම වැදගත් ඉන්දියානු උගතෙකු සහ බුද්ධිමතෙකු ආචාර්ය අම්බෙඩ්කර් මතු වූයේ ඉතා දුප්පත්, පීඩිත පවුලකින් මතු වූයේ අධ්‍යාපනය නිසාය. අධ්‍යාපනයට 6%ක් වෙන් කළ යුත්තේ එවැනි අරමුණකින් මිස දේශපාලකයන්ට සහ නිලධාරීන්ට තව වැඩියෙන් හොරා කන්නට නොවේ.
   .
   

No comments:

Post a Comment