Thursday, January 3, 2019

නොදුටු ගුරුවරයෙකු පිළිබඳ සටහනක්


එරික් හොබ්ස්බෝම් ( උපත 9 ජූනි 1917 විපත 1 ඔක්තෝබර් 2012

ලෝ ප‍්‍රකට ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම්ගේ මරණය මට වාර්තා වූයේ ගාල්ලේ සිට කොළඹ දක්වා දින පහක පාගමනක යෙදී හයිඞ් පාර්ක් පිටියේ පැවති අතිසාර්ථක රැුළියකින් පසු පේරාදෙණියට පැමිණ මහන්සි නිවමින් සිටින විටය. මේ රජය කරන  ඕනෑම ක‍්‍රියාවක් අවිචාරාත්මකව ආරක්ෂා කරන ඊනියා ජාතිකවාදීන් මොනවා දෙඩෙව්වත් නිදහස් අධ්‍යාපනය යනු නන් ආකාරයෙන් අසමාන සමාජයකට සාපේක්ෂ සමානත්වයක් ගෙන දෙන්නට දායක වූ යාන්ත‍්‍රණයක්ය යන කාරණය මහජනතාවට නැවත මතක් කර දෙන්නට අපි සමත් වීමු. ඒ මහා පාගමනත් මහා රැුළියත් අපට සංවිධානය කරන්නට හැකි වූයේ අධිපති දෘෂ්ටිවාද හා ඒවායේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ කවර තරම් ප‍්‍රබල වුවත් සැබෑ සමාජ ප‍්‍රශ්න වෙනුවෙන් ජනයා පෙළ ගැස්විය හැකිය යන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන අප විශ්වාස කළ බැවිනි. ඉතා තියුණු සංතෘප්තියක් පිළිබඳ හැ`ගීමකින් මා මගේ පුස්තකාලයේ වාඩි වී වෘත්තීය සටන් කි‍්‍රයා මාර්ගවලින් ටික දවසකට ඈත් වී මෙවර සම්මාන තරගවලින් මතු වූ තාමත් මා නොකියවා ඇති පොත් කියවීමටය. එහෙත් ඔක්තෝබර් පළවෙනිදා එරික් හොබ්ස්බෝම් පිළිබඳ ශෝකජනක ආරංචිය ආවේය.


      ජාත්‍යන්තර කීර්තිධර ඉතිහාසඥයා
  මහාචාර්ය හොබ්ස්බෝම් මගේ නොදුටු ගුරුවරුන්ගෙන් කෙනෙක් වෙයි. මාක්ස්වාදී ඉතිහාසඥයෙකු වූ ඔහු අවුරුදු අනුපහක ආයු කාලය තුළ ලියූ පොත්වලින් හතරක් මාගේ දැනුම හා චින්තනය වර්ධනය කිරීමට මහත් සේ දායක වී ඇත. එකක් නම් ඔයැ ්ටැ දෙ ඍැඩදකමඑසදබ හෙවත් විප්ලවයේ් යුගය කෘතියයි. විප්ලවීය ජන නැගිටීම් යනු ඒවායෙහි නායකයන්ගේ මනස්ගාත නිසා සිදුවන්නක් නොව ඓතිහාසික-දේශපාලන යථාර්ථයන්ද පවතින සමාජ සංවිධාන ව්‍යුහයන්ගේ පීඩනය හා හිංහසනයද දරා ගත නොහැකි තැන ඒ යථාර්ථයන් වෙනස් කිරීමට මිනිසාගේ ඇති නැඹුරුව නිසා පැන නගින්නක් බව ඒ පොතෙන් උගත හැකිය. මහාචාර්ය හොබ්බෝම් එය පෙන්නා දෙන්නේ හුදු න්‍යායික කරුණු හැටියට නොව මිනිස් ඉතිහාසයේ සි¥ වූ ප‍්‍රකට විප්ලවීය නැගිටීමක් පිළිබඳ ඓතිහාසික ආඛ්‍යයානයක් ඔස්සේය. විශේෂයෙන් ප‍්‍රංශ විප්ලපය පිළිබඳ අනිවාර්ය අත්පොතක් හැටියට මෙය සලකන්නට පුළුවන. කාර්මික විප්ලවය නිසා ඇති වූ තාක්ෂණික දියුණුව හා සමාජ වර්ධනයත් ප‍්‍රංශ විප්ලවයත් අතර සම්බන්ධය ඔහු විස්තර කරන්නේ සිත් ගන්නා ආකාරයටය. එංගලන්තයේ කාර්මික වර්ධනය ප‍්‍රංශයේ විප්ලවයක් ඇති කරන්නේ ඇයි? ඊටත් වඩා සිත් ගන්නා කාරණය වන්නේ මේ කෘතියෙහි සාකච්ඡුා කෙරෙන අවුරුදු හැටක කාලය තුළ අද ලෝ ප‍්‍රකට වචන වන ”වැඩ කරන පන්තිය,” ”මධ්‍යම පන්තිය,” ”ධනවාදය,” ”සමාජවාදය” යන යෙදුම් නිර්මාණය වීමයි.

   ඔහුගේ ඔයැ ්ටැ දෙ ෑංඑරුපැි හෙවත් සීමාන්තිකත්වයන්ගේ යුගය නම් කෘතිය අප පසු කළ සියවසේ ප‍්‍රධානතම ඓතිහාසික සිද්ධීත් ඒවායෙහි අන්තර් සම්බන්ධයත් පිළිබඳවය. මේ කෘතිය මා මුලින්ම කියවන්නට පටන් ගත්තේ නිව්යෝර්ක් හා වොශින්ටන් දෙනුවරට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසුවය. එකල ආචාර්ය උපාධි පාඨමාලාවක් හදාරමින් සිටි මා මුස්ලිම් අන්තවාදයන්ගේත් ඒවාට ඇමරිකාව දැක්වූ අන්තවාදී ප‍්‍රතිචාරයන්ගේත් ස්වභාවය පිළිබඳ පමණක් නොව නිදහසින් පසු ලංකාව විනාශ කළ අන්තවාදී දේශපාලන ව්‍යාපාරයන්ගේත්  ස්වභාවය පිළිබඳ කල්පනා කරමින් උන්නෙමි. ඒ කාලයේ හොබ්ස්බාම්ගේ ද ඒජ් ඔෆ් එක්ස්්ටී‍්‍රම්ස් කෘතිය සීමාන්තිකභාවයන් දේශපාලනය පිළිබඳ මට සැපයූ අන්තර්දෘෂ්ටීන් අපමණය. කවදත් සරල සුගම බසින් ලියන හොබ්ස්බෝම්ගේ එම කෘතිය පිටු පන්සීයක් ඉක්මවුවද පළමු වැනි ලෝක යුද්ධයේ සිට සීතල යුද්ධයේ අවසානය(1991* දක්වා ලෝක ඉතිහාසයේ ප‍්‍රධාන සිද්ධි පිළිබඳ සංයුක්ත ආඛ්‍යානයක් කියවීමට කැමති අයට අතිශය ප‍්‍රයෝජනවත් කෘතියකි. මහාචාර්ය හොබ්ස්බෝම්ගේ මරණය ආරංචි වීමෙන් පසු මා කළේ මේ කෘතිය නැවතත් පෙරලා බැලීමයි. ඒ පොතේ ඇතැම් පිටුවල අයින්වල මීට එකලොස් වසරකට පෙර පැන්සලකින් මා යෙ¥ සටහන් තවමත් ඇත. පැරණි මිතුරෙකු හා මා කළ සංවාදයක් සිහිනෙන් මෙන් නැවත සිදු වූවාක් මෙන් ඒ සටහන් කියවන විට මට දැනේ. ඒ නිසා කොම්පියුටරයට වාඩි වී මේ රචනය ලියන්නට ගත්තෙමි.
මිනිස් කලා නිර්මාණ ඉතිහාසයෙහි ලා සැලකීම
    අන් ඉතිහාසඥයන්ට වඩා හොබ්ස්බෝම් වෙත මා දකින විශේෂත්වයක් නම් හුදෙක් දේශපාලන ආර්ථික කාරණා ගැන පමණක් ගැන අවධානය යොමු නොකර කලා සංස්කෘතික කාරණා ගැනත් අවධානය යොමු කිරීමයි. ඔහුගේ සෑම කෘතියකම පාහේ මේ ගුණය දැකිය හැකිය. මානව ජීවිතය හුදෙක් ආර්ථිකයට හෝ නිෂ්පාදනයට ඌණනය නොකරන මෙවන් ඉතිහාසඥයෝ අප අතර නොසිටිති. සෑහෙන තරම් හෝ මේ ගුණය සහිත රචනා මා දැක ඇත්තේ මයිකල් රොබර්ට්ස්ගේ හා ගණනාථ ඔබේසේකර යන මහාචාර්යවරුන්ගේ රචනාවලය. එහෙත් මහාචාර්ය රොබර්ට්ස් ඉතිහාසය විෂයෙන් ආරම්භ කර මානව විද්‍යාව දෙසට යොමු වූ කෙනෙකි. මහාචාර්ය ඔබේසේකර සාහිත්‍යයෙන් හා මානවවිද්‍යාවෙන් ආරම්භ කර ඉතිහාසය වෙතට ගමන් කළ කෙනෙකි. හොබ්ස්බෝම්ගේ මූලික විෂය ඉතිහාසය වුවද ඔහු මිනිස් ඉතිහාසය වෙත ප‍්‍රවේශ වන්නේ ඉතා පුළුල් සාකල්‍යවාදී ප‍්‍රවේශයකින් නිසා ඔහුගේ අවධානයට ලක් වන යුගයේ මිනිසාගේ කලාත්මක පරිකල්පනයත් ඒ පරිකල්පනය ඒ ඓතිහාසික යුගයට අදාළ වන ආකාරයත් ගැන අවධානය යොමු කරයි. එසේ ඔහු කලාව ගැන ලියන දේවලින් ගම්‍යවන්නේ කරුණු පමණක් ලූහුබඳින ඉතිහාසඥයෙකු නොව හොඳ කලා රසිකයෙකි. මේ වූකලි සිංහලෙන් ලියන ඉතිහාසඥයන් වෙත නිතර නොදැකිය හැකි ගුණයකි.
   ද ඒජ් ඔෆ් එක්ස්ටී‍්‍රම් කෘතියේ හය වන පරිච්ෙඡ්දය 1914-45 කාලයේ යුරෝපයේ නූතනවාදී කලාව ගැනය. එහිදී ඔහු සාකච්ඡුා කරන්නේ විසි වැනි සියවසේ විවිධ කලා මාධ්‍යයන්හි ඇති වූ නුතනවාදී ප‍්‍රවනතා ගැනය. මේ ප‍්‍රවනතාවල එක් කලාත්මක ලක්ෂණයක් නම් සම්ප‍්‍රදාය යැයි හඳුන්වන ලද ලක්ෂණවලින් බෙඳී වෙන්වීමට මේ යුගයේ කලාකරුවන් තුළ වූ නැඹුරුවයි. එසේම මේ යුගයේ කලාකරුවන් සම්භාව්‍ය කලාව හා ජනප‍්‍රිය කලාව යන දෙබෙදුම අභියෝගයට ලක් කිරීමයි. ලෝක යුද්ධ දෙක අතර ඇති වූ තාක්ෂණික වර්ධනයන් කලාවේ ස්වරූපය හා කලාව රසිකයා වෙත ළං වන ආකාරය වෙනස් කළේය. කලාවේ යාන්ත‍්‍රික ප‍්‍රතිනිෂ්පාදනය මගින්් කලෙක බූෂූවා සැලූනයටද ඔපෙරා ශාලාවටද සීමා වී තිබූ කලාව සාමාන්‍ය මිනිසාගේ නිවසටද තැබෑරුමටද ගෙන එන ලදී. ඔහු දකින හැටියට තාක්ෂණය මගින් කලාව විප්ලවීය වෙනසකට ලක් කළේය. ට‍්‍රාන්සිස්ටරය හා කුඩා වියලි බැටරි කෑල්ල විසින් නාගරික විදුලිබලයේ ආධිපත්‍යයෙන් නිදහස්ව සාමාන්‍ය ජනයාගේ නිවසට හෝ පැල්පතට සංගීතය වැනි කලාවන් ගෙන යන ලදී.
   විසි වැනි සියවසේ මුලදී ඇති වූ විප්ලවීය නැගිටීම් හා මේ කලාත්මක විප්ලවීයත්වය අතර සම්බන්ධයක් ඇතැයි හොබ්ස්බෝම් කියයි. මෙසේ කියන පළමු වැන්නා ඔහු නොවුණත් අපට වැදගත් වන්නේ ඉතිහාසඥයෙකු ලෙස තමා හදාරණ කාලයේ කලාත්මක පරිකල්පනය තම ඓතිහාසික ආඛ්‍යානය තුළ අන්තර්ගත කිරීමට ඔහු දක්වන නැඹුරුවයි. යුරෝපය තුළ කලාත්මක පර්යේෂණයත්  සමාජ විප්ලවයත් එකිනෙකට සම්බන්ධ බව හොබ්ස්බෝම් පෙන්වා දෙයි(පිටුව 501*.

   ජාතිකවාදයන්ගේ උපත හා ඒවායෙහි විනාශකාරීත්වය
   මහාචාර්ය හොබ්ස්බෝම්ගේ පොත් අතරින් මා කෙරෙහි බලපෑමක් ඇති කළ තවත් වැදගත් කෘතියක් වෙයි. එය නම් භ්එසදබි ්බා භ්එසදබ්කසිපි ීසබජැ 1780 කෘතියයි. ජතීන් හා ජාතිකවාදයන් යැයි එය සිංහලෙන් හඳුන්වන්නට පුළුවන. මේ පොත ආරම්භ වන්නේ සිතට බිය ගෙන දෙන රූපකයකිනි. එය මෙසේය: කවදා හරි දවසක න්‍යෂ්ටික යුද්ධයකින් පෘතුවිය සම්පූර්ණයෙන්ම විනාශ වූ පසු මෙම ග‍්‍රහලෝකයට වූ විනාශයේ හේතු සොයන්නට වෙනත් ග‍්‍රහලෝකයකින් පර්යේෂකයෙක් හෝ පර්යේෂිකාවක් එයි. සෑහෙන තරම් සොයා බැලීමකින් පසු ඔහු හෝ ඇය වටහා ගනු ඇත්තේ පෘතුවිය නම් ග‍්‍රහලෝකයට අත් වූ ඉරණම ඒ ග‍්‍රහලෝකයේ අවසන් ශතවර්ෂ දෙක පැවති එක් සංකලපයක් ගැන අවධානය යොමු නොකර වටහා ගත නොහැකි බවයි. ඒ සංකල්පය ”ජාතිය” යන්නයි. ජාතිය යන සංකල්පය ආශ‍්‍රිත අනික් දේ වන ”ජාතිකත්වය” ”ජාතිකවාදය” යන දේද මීට ඇතුළත්ය. මේ රූපකය අප සිත සනසවන එකම කාරණය නම් ඒ අවසන් ශත වර්ෂ දෙක කුමක්දැයි නොකීම පමණය! අප දැන් ජීවත් වන්නේ ඒ ශත වර්ෂ දෙකින් එකක වන්නටද පුළුවන. ජාතිය හා ජාතිකක්වය පිළිබඳ කවර ආකාරයක හෝ දෘෂ්ටිවාදීන්ගේ ඉගැන්වීම් දෙස සැකයෙන් බැලීම අපේ යුගයේ අවශ්‍යතාවක් වන්නේ එහෙයිනි.
   අර පාරිකල්පනික පිටසක්වල පර්යේෂකයාට විස\ ගත නොහැකි ගැටලූව වන්නේ තමන් වසන ග‍්‍ර‍්‍රහලෝකයේ විනාශයට හේතු වන තරම් මිනිසාට වැදගත් වූ සංකල්පයක් වූ ”ජාතිය” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්නය. ඒ පිටසක්වල පර්යේෂකයාටත් සිහිපත් වනු ඇත්තේ බි‍්‍රතාන්‍ය ජාතික වොල්ටර් බේජ්හොට්(1826-1877* ජාතිය සම්බන්ධයෙන් වරක් කියූ කියුමයි: ”ඔබ ඒ ගැන නොසන කොට අපි දන්නව ඒ මොකක්ද කියල. නමුත් ඒ මොකක්ද කියල ඉක්මනට විස්තර කරන්නවත් නිර්වචනය කරන්නවත් බෑ” මේ කියමන ලංකාවේ ඇතැම් ජාතිකවාදීන්ද අනුරාවය කරනු අපට දැකිය හැකිය.
   ජාතිය හා ජාතිකත්වය යනු 18-19 වැනි ශත වර්ෂයේ යුරෝපයේ පැතිරුණු හිතුමතික සංකල්පයක් බව හොබ්ස්බෝම් පෙන්නා දෙයි. ඉතිහාසය, භාෂාව, දේශසීමා හෝ ආගමික කාරණා නිසා යම් ජන සමූහයක් එකම ජාතියකට අයත් ගත් ජාතිකවාදයන් පැන නැගි සෑම රටක යථාර්ථය ඊට වෙනස්ය. ඒ ‘ඉතිහාසය’ හුදෙක් ඒ ජනවර්ගයට පමණක් අයිති යැයි කිව නොහැකිය. සිංහලයාගේ යැයි කියන ඉතිහාසයට සිංහල නොවන අයද දායක වූවාක් මෙනි. ඒ ‘භාෂාව’ හුදෙක් ඒ ජාතියට අයත් වූවක් හෝ ඒ ජාතිය විසින් පමණක් නිර්මාණය කළ හෝ භාවිත කළ හෝ භාෂාවකියි කිව නොහැකිය. සිංහලයාගේ භාෂාවේ පෝෂණයට සිංහල නොවන භාෂාද සිංහල නොවන ජනයාද දායක වූවාක් මෙනි. හොබ්ස්බෝම් මේ කාරණය පෙන්නාදීම සඳහා ලංකාවේ දෙමළ ජාතිකවාදය නිදර්ශනයක් සේ ගනියි. ඉලංකෙයි තමිල් අරසු කච්චු විසින් ලංකාවේ දෙමළ ජාතිකත්වය පිළිබඳ දෙන නිර්වචනය ලංකාවේ දෙමළ ජනයාගේ ජීවිතය හා ඔවුන්ගේ භූගෝලීය විසිරීම පිළිබඳ වාස්තවික යථාර්ථය පිළිබිඹු නොකරන බවත් එයින් පෙනෙන්නේ පරිකල්පිත දේශපාලන අපේක්ෂාවක් බවත් ඔහු තර්ක කරයි. අප මෙය භාවිත කළ යුත්තේ දෙමළ ජාතිකවාදය පිළිබඳ විචාරයක් සේ පමණක් නොවේ. ඒ විචාරය සිංහල ජාතිකවාදයටද අදාළය. 1989 දී හොබ්ස්බෝම් මේ පොත පළ කොට අවුරුදු විස්සක් ගිය තැන දෙමළ ජාතිකවාදය දෙමළ ජනයා මත විශාල විනාශයක් සාදා අවසානය. මෙයින් අප වටහා ගත යුත්තේ සිංහල ජාතිකවාදය ඇතුලූ අනික් ජාතිකවාද නිවැරිදිය යන්න නොවේ. මේ කොයි ජාතිකවාදයත් අවසාන වශයෙන් මිනිසා මත හෙලනු ඇත්තේ විනාශයය යන්න හොබ්ස්බෝම් පමණක් නොව ජාතිකවාදය පිළිබඳ ¥රදර්ශී විචාරකයන්ගේ අදහසයි. මේ විනාශකාරී දෘෂ්ටිවාදය ලෝකය පුරා පැතිරවීමේ වගකීම පැවරියයුත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ටය. සංස්කෘතික වශයෙන් ගත් කල බටහිර අධිරාජ්‍යවාදය යනු බටහිර ජාතිකවාදයන් කිහිපයක ජාත්‍යන්තර ව්‍යාප්තියකි. ජනවාර්ගික ජාතිකවාදය පිළිබඳ ඉතිහාසයක් නැති සාපේක්ෂ වශයෙන් බහුත්වවාදී භූමිප‍්‍රදේශ ගණනාවකට ඊනියා ජාතිකවාදය පැතිර වූයේ අධිරාජ්‍යවාදයයි. ලංකාවද එවන් තැනකියි තර්ක කළ හැකිය.
    එහෙත් අපට එය අමතකව ඇත. හොබ්ස්බෝම් මේ කෘතියේ උපුටා දක්වන අර්නස්ට් රෙනාන්ගේ කියමනක් මෙහිලා අපගේ අවධානයට ලක් විය යුතුය. ඔහු මෙසේ කියයි:
” ජාතියක් වශයෙන් පැවතීමේ අංගයක් වන්නේ ඒ ජාතියේ ඉතිහාසය වැරදියට වටහා ගැනීමය” ඉන් අදහස් වන්නේ යම් ජන පිරිසක් සජාතීය ජාතියක් වශයෙන් පෙන්නීමට ඒ ජාතිය සම්බන්ධ සැබෑ යථාර්ථයේ ඇති විෂමජාතීය බව අකා මකා තනි ජාතියක් සේ ඉදිරිපත් කළ යුතුය යන්නය. සිංහල ජාතිය යනුවෙන් සජාතීය, කේවල ආඛ්‍යානයකට බහා ඉදිරිපත් කරනු ලබන පිරිසිදු ජාතිකත්වයේ කතාව යළි සලකා බලන තරුණ පරම්පරාවක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. ඒකමානීය ජාතිකවාදියා අපේ සංස්කෘතියේ හා රටෙහි නියම බහුවිධ බව හා බහුරූපීය බව අකාමකා විකෘත කොට ඉදිරිපත් කොට ඉදිරිපත් කරයි. දේශපාලන හා දෘෂ්ටිවාදීමය අවශ්‍යතා සඳහා ඉදිරිපත් කෙරෙන ඒ විකෘත කිරීම් මගින් යම් සංස්කෘතියක විචිත‍්‍රත්වය සදහටම විනාශ කළ හැකිය. ඒ කාරණයේදී අධිරාජ්‍යවාදියා හා ජාතිකවාදියා යන දෙදෙනාම විධික‍්‍රමිකව එක සමාන වෙති. මෙය වටහා ගැනීමට පමා වීම යනු අපේ සැබෑ ජාතික උරුමය අනතුරේ හෙලීමකි. මේ වූකලි ලංකාවේ වසන සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජනපිරිසක් විසින්ම වහා වටහා ගනු ලැබිය යුත්තකි.

සම්ප‍්‍රදායේ දේශපාලනය
    මහාචාර්ය එරික් හොබ්ස්බෝම්ගේ් තවත් එක් කෘතියක් අපේ පරම්පරාවේ ද්වීභාෂික උගතුන්ට බෙහෙවින් බලපා ඇත. එය නම් ඔහු සහ ටෙරන්ස් රේන්ජර් සංස්කරණය කළ ඔයැ ෂබඩැබඑසදබ දෙ ඔර්ාසඑසදබ කෘතියයි. සම්ප‍්‍රදාය නිර්මාණය කිරීම යැයි සිංහලයෙන් හැඳින් විය හැකි එම කෘතියෙන් සාකච්ඡුා කෙරෙන්නේ සම්ප‍්‍රදාය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්නයි. සාමාන්‍යයෙන් ඉතා පැරණි යැයි සම්මත සම්ප‍්‍රදායන් සාපේක්ෂ වශයෙන් මෑත කාලීන නිර්මාණයන් බව මේ කෘතියෙන් සාකච්ඡුා කෙරේ. සම්ප‍්‍රදාය යනුවෙන් යමක් නිර්මාණය කිරීමේ දේශපාලන අවශ්‍යතා පිළිබඳ හොඳ අවබෝධයක් මේ කෘතියෙන් ලබා ගත හැකිය. සම්ප‍්‍රදායයන් යනු මිනිස් නිර්මිතයන් නිසා මිනිසාට ඒවා සංස්කරණය කළ හැකිය යන පණිවිඩයද එහි අඩංගු වෙයි. බි‍්‍රතාන්‍ය රජ පවුල ආශ‍්‍රිත විවිධ චාරිත‍්‍රවාරිත‍්‍ර හා සම්ප‍්‍රදායන් චිරාත්කාලීන ඒවා යැයි සාමාන්‍යයෙන් පිළිගැනුණත් ඒවා ඉංග‍්‍රීසී ජාතිකවාදය හා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ නැග්ම හා ව්‍යාප්තිය අනුව ක‍්‍රමයෙන් අලූත් වෙමින්, වෙනස් වෙමින්, තහවුරු වෙමින් එන දේ මිස එන දේ බව මේ කෘතියෙහි එක් පරිච්ෙඡ්දයක එයි. බි‍්‍රතාන්‍යයේ පමණක් නොව අප‍්‍රිකාව හා ඉන්දියාව යන තැන්වලද සම්ප‍්‍රදාය යැයි ඉදිරිපත් කෙරෙන දේවල් ඒවායෙන් ඇ`ගවෙන තරම් චිරාත්කාලීන දේ නොවන බව මේ කෘතියෙන් අපට පෙනේ. මින් ලැබෙන අන්තර්දෘෂ්ටිය ඔස්සේ අපේ සම්ප‍්‍රදාය මේ යැයි කියමින් මිනිසා පෙළන අය පිළිබඳ දේශපාලන විචාරයක් සැපයීමට අපට පුළුවන. විචාරාත්මක ඉතිහාස අධ්‍යයනයෙහි හරය විය යුත්තේ වර්තමානයෙහි වසන මිනිසාට, සතා සිව්පාවාට හා ගහ කොළට සුබදායක වර්තමානයක් ගොඩ නැගීමයි. එවන් සුබදායක වර්තමානයක් ගැන කතා කරන විට සම්ප‍්‍රදායට මුවා වී ලෝකය පවතින ලෙසම පවත්වා ගන්නට එසේ පැවතීමෙන් වාසි ලබන අය තැත් කරති.
   සම්ප‍්‍රදාය යැයි හැඳින්වෙන දේ අවශ්‍යයෙන්ම නරක දෙයක්ද නොවේ. ඒවායෙන් ජනප‍්‍රජාවකට ලැබෙන ප‍්‍රයෝජනද ඇත. එය ඒකපුද්ගලත්වය ඉක්මවා ප‍්‍රජාවක් හැටියට මිනිසා සම්බන්ධ කරන දෙයක්ද වේ. එහෙත් සම්ප‍්‍රදායේ සමාජමය කාර්ය හා සම්ප‍්‍රදායේ දේශපාලන භාවිතය අතර වෙනසක් තිබේ. යම් සම්ප‍්‍රදායක් දේශපාලනික වැරදියට භාවිත වීම ඒ සම්ප‍්‍රදායේ සමාජමය කාර්යට හානි කරන අවස්ථා තිබෙන්නට පුළුවන. නිදර්ශනයක් ලෙස භාෂාවක් ගන්නට පුළුවන. භාෂාවකින් ඉතා වැදගත් සමාජමය කාර්යයන් කෙරේ. එහෙත් ඒ භාෂාව යම් ප‍්‍රජාවක අනන්‍යතාකාරක සම්ප‍්‍රදායේ කොටසක් ලෙස පූජණීයත්වයට එස වූ විට එහි භාවිත අගය ඉක්මවා ආගමික අන්දමේ අගයක් ගනී. එවිට එය තවත් මිනිසුන් හා බැඳෙන උපකරණයක් වෙනුවට තවත් මිනිසුන් මරා දැමීමට හේතුවක් වන්නට පුළුවන. ඒ නිසා සම්ප‍්‍රදාය යනුවෙන් හැඳින්වෙන සියල්ල යළි පරීක්ෂා කිරීම සෑම පරම්පරාවක් විසින්ම සිදු කරනු ලැබිය යුත්තකි. එවැනි විචාරාත්මක චින්තනයක් වගා කර ගැනීම පිණිස මහාචාර්ය හොබ්ස්බෝම් සපයා ඇති ආවේශය ලෝක පරිමාණය.
   මෙවන් උගතුන්ගේ විශිෂ්ට ශාස්ත‍්‍රීය ප‍්‍රතිපදානයන්ගෙන් එළිය ලබන්නට හැකි වන සේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය යළි නගා සිටුවීමට දවස ඇවිත් තිබේ. කන්නන්ගර මහතා අපේක්ෂා කළ සේ ග‍්‍රාමීය දරුවන්ටත් හොඳ ද්වීභාෂික අධ්‍යාපනයක් දෙන පාසැල් හා විශ්වවිද්‍යාල පද්ධතියක් ඇත් නම් ඇතැම් ඒකමානීය ජාතිකවාදීන්ගේ දෘෂ්ටිවාදී යදමින් තවත් පරම්පරාවක් බැඳ දැමීම අමාරු වනු ඇත. එවිට ලෝක පුරවැසියන් ලෙස තමන් වත් සෙසු මනුෂ්‍යයන්වත් දකින්නට අපේ දරුවන්ට හැකි වනු ඇත. අධ්‍යාපනයෙහි සැබෑ ප‍්‍රතිසංස්කරණයක් ඇතිවීම විජාතික කුමන්ත‍්‍රණයක් යැයි සිංහල මුල්ලාවරුන් කියන්නේ ඒ නිසාය. මේ විසකුරුවන්ගේ කතරෙහි හොබ්ස්බාම් වැනි අය සිටීම වාසනාවකියි මට සිතෙන්නේ මිනිස් වචනයෙහි ප‍්‍රඥාව හා උණුුසුම ඔවුන් නිසා අපට දැනෙන බැවිනි.

   
   

No comments:

Post a Comment