(වර්තමාන සාහිත්‍ය කලා කතිකාව පොහොසත් කරන්නට කළ හැකි දේ ගැන ඇසූ ප්‍රශ්නයක ලංකාදීපයට ලියූ කෙටි ලිපියකි)
ලංකාවේ සිංහල සාහිත්‍ය ලෝකයේ ඉතා විශාල ප්‍රමාණාත්මක වර්ධනයක් තිබේ. බොහෝ පොතපත පළ වේ. ඒ ප්‍රමාණයෙහි වර්ධනය අගය කළ යුතුය. ඉන් පෙනෙන්නේ බොහෝ දෙනෙකු ප්‍රකාශන මාධ්‍යයක් ලෙස සාහිත්‍ය තෝරාගෙන ඇති බවය. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සැලකිය යුතු දිගු කාලයක් ගත කර ඇති මට පෙනෙන්නේ ආත්ම ප්‍රකාශනය දිරි ගැන්වීම අතින් අපේ අධ්‍යාපනය එතරම් සාර්ථක නොවන බවය. සමාජයේ අනෙකුත් ක්ෂේත්‍රවලද අදහස් ප්‍රකාශනයට වඩා අකර්මණය සවන්දීම බහුල වශයෙන් දැකිය හැකිය. එහෙත් දැන් දැන් පොත් වශයෙන්, පුවත්පත් ඇසුරින් සහ සමාජ මාධ්‍ය වෙතින් තම නිර්මාණ පළ කරන අය වර්ධනය වීම නිසා අදහස් ප්‍රකාශනයේ වර්ධනයක් ඇති වී තිබේ. මෙය හොඳ දෙයකි. සාහිත්‍ය ලෝකයටත් අලුතින් පිරිස් පැමිණීම මා දකින්නේ අදහස් ප්‍රකාශනයට බිය නැති පිරිසක් පහළ වීමක් ලෙසයි. නමුත් ඒ සමගම සාවධානී සවන්දීම සහ පාඨනය පුහුණු කළ යුතුයි.
අදහස් ප්‍රකාශනයෙහි වර්ධනය නිසා සාහිත්‍ය ස්වරූපද විචිත්‍ර වී තිබේ. එනම් විවිධ ආකෘතික ලක්ෂණ, ප්‍රතිනිර්මාණ විධි රැගත් නිර්මාණ බිහි වේ. මෙයද හොඳ ලක්ෂණයකි.
ලේඛිකාවන්, කිවිඳියන් බොහෝ දෙනෙක් බිහි වී සිටිති. එයද හොඳ දෙයකි. අප සමාජයේ අදහස් ප්‍රකාශනයට ඉදිරිපත් වන ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය පිරිමින්ට සාපේක්ෂව තාමත් අඩුය. එහෙත් විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය 80%ත් ඉක්මවන අවස්ථා තිබේ. ඒ නිසා මෑතකදී කවි, කෙටිකතා, නවකථා ලියන ස්ත්‍රීන්ගේ ගණන වැඩි වී තිබීම සතුටට කරුණකි. ස්ත්‍රීන් සාහිත්‍ය ලෝකයට පැමිණීම නිසා ස්ත්‍රීන්ට ආවේනික අද්වීතීය ලෝක දෘෂ්ටි, පර්යාලෝක අපගේ ජීවිතය සම්බන්ධයෙන් විවර වී තිබේද යන්න අප ඇසිය යුතු ප්‍රශ්නයකි. එවැනි අපූරු දෘෂ්ටිකෝණ ජීවිතය වෙත විවර කළ ලේඛිකාවන් කිහිප දෙනෙකුම බිහි වී සිටින බවද පෙනේ. හුදෙක් පුරුෂයන්ට ලෝකය සහ ජීවිතය පෙනෙන ආකාරයටම ප්‍රතිනිෂ්පාදනය නොකරන ප්‍රබන්ධ කථා ඉඳහිට වුවත් ලේඛිකාවන් අතින් බිහි වී තිබේ.
මෙම ප්‍රමාණාත්මක වර්ධනය තුළම ඇති ගැටලු කිහිපයක්ද දකින්නට පුළුවන. ඉන් එකක් වන්නේ සාහිත්‍යයෙහි ප්‍රමාණාත්මක සහ ශිල්පීය වර්ධනයට සාපේක්ෂව කලාත්මකත්වය සහ තේමාත්මකත්වය අතින් වර්ධනය ඉතා අඩුවීමය. මෑත කාලීන නවකථා මාලාව ගන්න. බොහෝ නවකථා 19 වැනි සියවස පසුබිම් කරගත් ඒවාය. විසි එක් වෙනි සියවසේදී නවකථා රචකයින් ගණනාවක්ම 19 වැන සියවස ප්‍රතිනිර්මාණය කරන්නේ ඇයි? 19 වැනි සියවස කලාත්මකව හසු කරගැනීමෙන් අපට අද ලංකාව වටහා ගැනීමට උදව් වන්නේ කෙසේද? නැතිනම් මෙය හුදෙක් 19 වැනි සියවස උත්කර්ෂණය කර පාඨකයාට විසි එක් වෙනි සියවස වෙතින් පාරිකල්පනික පලායාමක් ලබා දෙන විධියක්ද? බොහෝ පාඨකයන් මේ නවකථා කියවන්නේ ඒ පලායාම් අවකාශය නිසාද? 19 වැනි සියවස පසුබිම් කරගත් මේ නවකථා මාලාවෙන් සේවය කරන්නේ අතිසරල ජාතිකවාදවලටමද? අද අප රට පවතින සියලු අර්බුදවලටද සුද්දාටම බැණ බැණ සිටීමේ දේශපාලනයටද මේ නවකථා දායක වන්නේ? මෙවැනි තේමාත්මක ප්‍රශ්න ගණනාවක් අපට ඇසිය හැකිය.
එහෙත් සාහිත්‍ය ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටලුවක් නිසා ඒ ප්‍රශ්න අසනු නොලැබේ. ඒ ගැටලුව නම් බරසාර විචාර කතිකාවක් හෝ සාහිත්‍ය ආශ්‍රිත ශාස්ත්‍රාලික කතිකාවක් නොමැතිකමය. දීර්ඝ සාහිත්‍ය විචාරාත්මක රචනා පළ කළ හැකි සඟරාවක් අපට නැත. අඩු තරමින් වාර්ෂික සාහිත්‍ය විචාර සංග්‍රහයක්, පැවැත්වීම, සාහිත්‍ය විචාර පොතපතට පොත් ප්‍රදර්ශනයේදී විශේෂ අවධානයක් යොමු කිරීම ආදිය කළ හැකිය. හුදෙක් ප්‍රායෝගික සාහිත්‍ය විචාරවලට අමතරව සාහිත්‍යයෙහි සමාජ-දේශපාලන මානය අධ්‍යයන කරන කෘති පළ කළ හැකිය. නිදර්ශනයකට බලන්න. ලෝකයේ මෑත කාලයේ සිටි ප්‍රධාන සමාජ විද්‍යාඥයන්, සමාජ න්‍යායවේදීන් සියලු දෙනාම පාහේ සාහිත්‍ය කලා ගැන ගැඹුරු අධ්‍යයන පළ කොට තිබේ. අපේ රටේ සාහිත්‍ය සමාජ දේශපාලන මාන ගවේෂණය කරන සමාජ විද්‍යාඥයෝ සිටිත්ද? මහාචාර්ය ගණනාථ ඔබේසේකරගෙන් පසු සාහිත්‍ය-කලා විඥානයකින් යුතු කිසිම සමාජ විද්‍යාඥයෙකු අපට සිටින බව නොපෙනේ. සිංහලයෙන් වැඩි වශයෙන් ලියා නැතත් මහාචාර්ය සසංක පෙරේරා ඒ අතින් මහාචාර්ය ඔබේසේකරට බෙහෙවින් ආසන්න කෙනෙකි. ලෝකයේ බොහෝ රටවල සාහිත්‍ය සහ මනෝ විද්‍යාව, සාහිත්‍ය සහ දර්ශනය අතර අන්තර් සම්බන්ධය ගැන අපමණ අධ්‍යයන තිබේ. සිංහල සාහිත්‍ය පදනම් කරගත් මනෝවිද්‍යාත්මක අධ්‍යයන තිබේද? විශ්වවිද්‍යාල මනෝවිද්‍යා ආචාර්යවරුන් සාහිත්‍ය කලා ගැන කිසිම අවධානයක් යොමු කර තිබේද? මේ ප්‍රශ්නවලට අවංකව මුහුණ නොදී අපට ගැඹුරු සාහිත්‍ය කලා කතිකාවක් ඇති කර ගත නොහැකිය.
(දිනපතා ලංකාදීපයෙහි පළ වූ කෙටි ලිපියකි)
No comments:
Post a Comment