ලංකාවේ දේශපාලන කතා පැවැත්වීම් ක්ෂේත්‍රයේ ඇති ප්‍රාසාංගිකත්වය නාට්‍යමය ඉදිරිපත් කිරීමක් සඳහා යොදා ගැනීම අතින් සුද්දෙක් ඔබ අමතයි නාට්‍ය ඉතා නිර්මාණශීලී ප්‍රයත්නයකි. ඒ නිසාම එය ප්‍රාසාංගික උත්ප්‍රාසායක්ද වෙයි. දේශපාලන කතා යනුද හුදු ප්‍රසංග බව අපට දැනවීම ඒ උත්ප්‍රාසායයි. මෙකල සිටින ප්‍රකට දේශපාලන කටකාරයෝ ප්‍රසංගකාරයෝද වෙති.
දේශපාලනයේ ප්‍රසංගකාරිත්වය නාට්‍ය වේදිකාව වෙත උකහා ගෙන කලාත්මක කාරියක් සඳහා යොදා ගැනීම අතින් උදයසිරි වික්‍රමරත්න කර ඇත්තේ විප්ලවීය වැඩකි. ඒ නාට්‍යයේ ව්‍යූහය ඇසුරිනි. ඒ අතින් එය නාට්‍යයක් නැති නාට්‍යයකි. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැතැයි යන බර්නාඞ් ෂෝගේ ප්‍රකාශය අප පාසැල් යන කාලයේ සිට අපට කටපාඩම් කරවන ලද කියමනකි. එවැනි සරල සමීකරණයක් මිම්මක් කොට බලන කල සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයක් නොවන බව පෙනේ. එහෙත් එය මෙකල සිංහලයාට ඉතා ප්‍රයෝජනවත් නාට්‍යයකි. සමහර විට එතරම් ප්‍රකටව නොපෙනෙන එම ප්‍රයෝජනය විස්තර කිරීම මෙම රචනයේ අරමුණයි. ඒ විස්තර කිරීම කෙරෙන්නේ එම නාට්‍යය එහිම වන දෘෂ්ටිවාදී කේන්ද්‍රයට එරෙහිව කියවමිනි.
ජාතිකවේදිකාවටද විජාතික වේදිකාවටද?
මෙය නාට්‍යකරුවා විසින් “ජාතික වේදිකාවට” ඉදිරිපත් කරන බව කියවේ. එසේ ඉදිරිපත් කරන ලද එකම නාට්‍ය එය නිසා අනික් නාට්‍ය ඉදිරිපත් කරන්නේ විජාතික වේදිකාවට විය යුතුය. නැතිනම් අනික් නාට්‍ය ඉදිරිපත් කරන්නේ ප්‍රේක්ෂකයාට වුවත් මෙය ජාතියට බලන්නට ඉදිරිපත් කරන නාට්‍යයකි. මෙම නාට්‍යයට උද්යෝගයෙන් සහාය පළ කළ ගුණදාස අමරසේකර, ජැක්සන් ඇන්තනී වැනි ජාතියේ ඝෝෂාකාරී ආරක්ෂකයන් කළ ප්‍රකාශවලින්ද අපට වැටහී තිබුණේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යය විමල් වීරවංශ වැනි අයගේ දේශපාලන ව්‍යාපෘතිවල නාට්‍යමය ප්‍රකාශනය බවයි. එහෙත් එම නාට්‍ය පේරාදෙණියේ එළිමහන් රංග පීඨයේදී එය නැරඹූ අපට එය එවැනි පැතලි දේශපාලන ප්‍රකාශනයකට වඩා සංකීර්ණ ලෙස කියවිය හැකි නාට්‍යයක් බව පසක් විය.
නාට්‍යයේ පළමු අංකය හෙවත් පළමු ඇමතීම සුද්දෙක් ඔබ අමතයි නම් වෙයි. බැලූ බැල්මට ගුණාදාස අමරසේකරගේ අතිසරල සංස්කෘතික මැනිෆෙස්ටෝවක් වේදිකා ගත කිරීමක් ලෙස පෙනුණද එය එවැන්නක් නොවේ යැයි තර්ක කළ හැකිය. නාට්‍ය නම් සම්මත ශානරීය ව්‍යූහය පුපුරුවා හරිමින් ප්‍රකාශ කරන නාට්‍යකරුවාගේ නිර්මාණය අති සරළ ජාතිකවාදයන්ගෙන් බේරා ගත හැක්කේ එම නාට්‍යය එහිම මතුපිට දෘෂ්ටිවාදයට එරෙහිව කියවීමෙනි.
නාට්‍යයේ පළමු අංකයේදී අප අමතන සුද්දා කවුද? මේ වූකලී එක් තනි සුද්දෙක් නොවේ. පශ්චාත්-යටත් විජිත රටවල පවතින විවිධ කතිකාවල ගොඩ නැගෙන විවිධ සුද්දන්ගේ සමස්ත එකතුවකි. සුද්දා යනු ඇත්තටම ජීවත්වන තත්‍ය මනුෂ්‍යයෙක් පමණක් නොවේ.
එක අතකින් සුද්දා යනු යටත් විජිත ක්‍රමය තුළදී බටහිර පාලකයන් අනුකරණය කරමින් ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය උකහා ගනිමින් බිහි වන අනුකාරකවාදී කළු සුද්දාය. මෙවැනි සුළු පිරිසක් සෑම යටත් විජිතයකම බිහි වුවද එය සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසකි. මැකෝලේ සාමිගේ යටත් විජිත අධ්‍යාපන පනත මගින් අපේක්ෂා කළේ හමෙන් කළු විඥානයෙන් සුදු මිනිසෙකු බිහි කර ගැනීම වුවද එය මුළුමනින්ම සාර්ථක වූවක් නොවේ. කිසිම සංස්කෘතික මනුෂ්‍යයෙකු මුළුමනින්ම මකා හදන්නට යටත් විජිත අධ්‍යාපනයට හැකියාවක් නැත. ඉන්දීය නිදහස් සටනේ වැදගත් නායකයන් පමණක් නොව දේශීය සංස්කෘතිය තුළින්ම පහළ වූ සමාජ-සංස්කෘතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාර වන බෙංගාලයේ බ්‍රාහ්මෝ සමාජ් ව්‍යාපාරය වැනි දේ බිහි වූයේ යටත් විජිත අධ්‍යාපනයෙනි. ලංකාවේ පවා බිහි වූයේද ඕනෑම මොහොතක ටයිකෝට් ගලවා ආගමද අතහැර බෞද්ධද ජාතිකද විය හැකි කළු සුද්දන් පිරිසකි. මේ නිසා කළු සුද්දා යනු සම්පූර්ණ වශයෙන් "ජාතික" යැයි තමා හඳුන්වා පිරිසකගේ කතිකාමය නිෂ්පාදනයකි. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ සුද්දා විටෙක මේ කළු සුද්දාය.
අනික් අතට මේ නාට්‍යයේ එන හා ඉන් ප්‍රක්ෂේපණය කරනු ලබන සුද්දා තථ්‍ය වශයෙන් පවතින්නෙකු නොව විවිධ ජාතිකවාදී කතිකා මගින් නිර්මාණය කෙරෙන සුද්දෙකි. ජාතිකවාදී කතිකා මගින් කරන්නේ තම ජාතියේ සාරමය කේන්ද්‍රය නිර්වචනය කර පවත්වාගෙන යාම පිණිස නිරන්තරයෙන් සංස්කෘතික "අන්‍යයෙකු" නිර්මාණය කිරීමය. පශ්චාත්-යටත් විජිත ජාතිකවාදියා විසින් නිර්මාණය කෙරෙන එක් ප්‍රධාන අන්‍යයෙකු වන්නේ සුද්දාය. සැබවින්ම මේ වූකලි යටත් විජිතවාදියා තම අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති සාධාරණීකරණය කිරීම සඳහා සුදු නොවන මිනිසුන්ගේ සංස්කෘතීන් හා ඉතිහාසයන් අන්‍යයත්වයට නැංවීමේම අතුරු පලයකි. එනම් යටත් විජිතවාදියා තම අධිරාජ්‍යවාදී ව්‍යාපෘති හඳුන්වා දුන්නේ නිර්-යුරෝපීය ලෝකයට එනම් සුදු නොවන මිනිසුන් වසන ලෝකයට ශිෂ්ටාචාරයද නූතනත්වයද ගෙන යාමක් ලෙසය. යටත් විජිත ක්‍රමයේ ආරම්භයේ සිටම අද දක්වාම මේ දෘෂ්ටිවාදය දැකිය හැකිය. රුඞ්යාඞ් කිප්ලිංගේ ප්‍රකට කවියකදී “සුදු මිනිසා මත පැටවුණු බර” ලෙස හැඳින් වූයේ මේ ශිෂ්ටාචාරකරණ ව්‍යාපෘතියයි.
ඇමරිකානු හමුදා ඉරාකයට හා ඇෆ්ඝනිස්ථානයට බෝම්බ දමන්නේ ඒ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යන බව කියමිනි. අපේ යුගයේ වැදගත් බුද්ධිමතියක වන අරුන්දතී රෝයි අධිරාජ්‍යවාදයේ මෙම දෙබිඩි ලක්ෂණ කෘති කිහිපයකින්ම හෙළිදරව් කර ඇත. ශිෂ්ටාචාරකරණයේ බර තම පිට මත පටවා ගත් මෙම යටත් විජිතවාදියා හා අධිරාජ්‍යවාදියා ජාතිකවාදී කතිකා තුළදී සුද්දෙක්ම බවට පත් වෙයි. මේ නිසා ඒ කතිකාවලදී අධිරාජ්‍යවාදියා සුද්දෙක්ම වෙයි. සුද්දා අධිරාජ්‍යවාදියෙක්ම වෙයි. උදාහරණයක් ලෙස සිංහල ජාතිකවාදි කතිකාවලදී සුද්දෙකුට අධිරාජ්‍ය විරෝධීවීමට නම් අනුරාධපුර යුගයට ගොස් මහා විහාරයේදී බෞද්ධ වී එළාරට එරෙහිව යුද්ද කොට වැව් දෙකක් වත් හදන්නට දායක වී, හමද සම්පූර්ණයෙන්ම කලු කර ගෙන වර්තමානයට ආ යුතුය! එසේ ඇවිත් වර්තමානයේ සිංහල බෞද්ධයන් කරන සියලු කුපාඩිකම් ඉවසා, සිංහලයන්ගේ ලෝකය නියම ධාර්මිකයන්ගේ ලෝකයක් යැයි කෑ ගසා කිව යුතුය. එසේ නොකරන තාක් ඔහු ක්‍රිස්තියානි-යුදෙව් චින්තනයේ නියෝජිතයෙකි; බටහිරයෙකි; එන්ජීඕකාරයෙකි; සුද්දෙකි. මේ වූකලි සුද්දා නම් ජීවියා ජාතිකවාදී කතිකාවල ගොඩ නැගී තිබෙන ආකාරයයි. මෙහි එන සුද්දා යනු ඇත්තමට සිටින්නෙක් නොවේ. කතිකාමය නිර්මිතයකි. නාට්‍යකරුවා කතිකාමය නිර්මිත ගැන සවිඥානක බව නාට්‍යයේ තුන් වන කොටසේ එන මෙම කියමනෙන් පෙනේ:
“ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙයක් ඇත්තටම නෑ. තියෙන්නෙ මතවාදයක් විතරයි.” මෙයම සුද්දා ගැනත් කිව හැකිය. එහෙත් වඩා නිවැරිදි කීම නම් සුද්දා හා ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව බොහෝ මිනිස් ප්‍රපංචවලට තත්‍ය පැවැත්මක් තිබෙන විට පවා ඒවාට මතවාදීමය හා කතිකාමය දෙවැනි පැවැත්මක් ඇත යන්නයි.
එන්ජීඕ කුමන්ත්‍රණයක්
සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ පළමු කොටස මගින් අවිඥානකව වුවත් පෙන්වන්නේ සුද්දා නම් කතිකාමය වශයෙන් අධිනිශ්චය වූ ජීවියා තමන්ගේ විඥානය තුළ වවාගත් ජාතිකවාදී සිංහලයාගේ ඛේදජනක ඉරණමයි. ඒ අතින් බලන කල මේ නාට්‍යය එන්ජීඕ කුමන්ත්‍රණයකියි හඳුන්වනු නොලැබීම පුදුම සහගතය.
මෙහි අප අමතන සුද්දා සුද්දෙකු බව හඳුන්වා දුන්නද ක්‍රමයෙන් ඔහු සිංහල විඥානය තුළ ලැගුම් ගත් විවිධ සුද්දන්ගේ භූමිකාවලට මාරු වෙයි. සුද්දා විටින් විට සිය භූමිකා මාරු කරන සැටි වටහා ගත හැක්කේ ඉතා සාවධානව නාට්‍යය නරඹන විටය. මේ නාට්‍යයේ එන සුද්දා යනු නාට්‍යකරුවාගේ අදහස් දෙබසින් කියන්නෙකු නොව චරිතයක් ලෙස ගත් කල ඔහු චරිත ගණනාවක එකතුවකි. ඔහු සැබෑ සුද්දෙකුගේ සිට ජාතිකවාදියාගේ කතිකාවල ගොඩ නැගෙන සුද්දා දක්වා විවිධ තලවලට මාරු වෙයි. ඒ බව නාට්‍යමය වශයෙන් ආකර්ෂණීය රංගයකට නගන්නට ඇතැම් විට අසමත් වෙතත් මේ කතා කරන සුද්දා තනි සුද්දෙකුගේ තනි කටහඬක් නොවේ.
අතිසරළකරණය වූ සුද්දා
එහෙත් මෙහිදී ප්‍රධාන වශයෙන් මතු වී පෙනෙන්නේ අධිරාජ්‍යවාදී සුද්දා හා ජාතිකවාදියාගේ විඥානයේ ඉන්නා සුද්දා යන දෙදෙනාය. අධිරාජ්‍යවාදය සේම ජාතිකවාදයද එකම අන්දමට සුද්දා අතිසරළකරණය කරයි. මෙහි කතා කරන සුද්දාට අනුව එංගලන්තය හා අයර්ලන්තයත් ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාවත්, බ්‍රසීලය හා ඕස්ටේ්‍රලියාවත් සුදු මිනිසුන්ගේ රටවල්ය. රුසියාවේ පැසිපික් සාගර මායිමේ සිට ඇමරිකාවේ පැසිපික් මායිම දක්වා සියලු රටවල් සුදු මිනිසුන්ගේ රටවල්ය. මේ වූකලි අතිදරුණු ඇංග්ලෝ සැක්සන් සුද්දෙකු වත් කියන්නට කරන්නට ඉඩ නැති අතිසරළකරණයකි. එහෙත් ලංකාව වැනි අතිසරල ජාතිකවාදයන් ප්‍රධානම බුද්ධිමය කතිකාව වූ රටවල මෙවැනි අතිසරලකරණයන් දක්නට පුළුවන. මේ අතරින් රුසියාව පමණක් ගත්තද විවිධ විවිධ ජනවර්ගයන්ගේද ආගම්වලද භාෂාවලද එකතුවකින් සැදුණු විචිත්‍ර සංස්කෘතික කලාපයක් බව පෙනේ. ඒ ජනවර්ග අතර සුදු යැයි හැඳින් විය හැක්කේ ජනවර්ග කීයක්ද? ඇමරිකා එක්සත් ජනපදය මුළුමනින්ද සුදු රටක් යැයි කීම දරුණු සරලකරණයකි. එහි ජනවර්ග විවිධත්වය මොහොතකට අමතක කරමු. එහි සාර්ථක වී ඇති ප්‍රජාතන්තවාදයද එහි ආරම්භක ව්‍යවස්ථාද යුරෝපීයන් පැමිණීමට පෙර එහි සිටි ස්වදේශීය ජනයාගේ පාලන ක්‍රමවල ආභාසයෙන් සකස් වූ බව පෙන්වන අධ්‍යයන රැසකි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හුදෙක් යුරෝපීය බුද්ධි ප්‍රබෝධ චින්තනයේ හෝ ප්‍රංශ විප්ලවයේ නිර්මාණයක් නොවේ. එසේම ඇමරිකානු ස්වදේශීකයන් හෙවත් රතු ඉන්දියානුවන්ගේ ඇතැම් ගෝත්‍ර දැන් ඇමරිකා එක්සත් ජනපදය නමින් හැඳින්වෙන ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත්තේ හිමාල කන්දේ අනෙක් පැත්තේ විවිධ තැන්වල සිට බව සොයා ගෙන තිබේ. මේ සියලු සංකීර්ණ ඉතිහාසයන් අමතක කරන්නට හැකි දෙන්නෙක් මෙලොව වෙති. ඒ යුරෝ-කේන්ද්‍රීය සුදු අධිරාජ්‍යවාදියා හා සුදු නොවන පශ්චාත් යටත් විජිතවල ජාතිකවාදියාය. මේ නාට්‍යයේ අප අමතන සුද්දා මේ දෙදෙනාගේම සුද්දා එකවර නිරූපණය කරයි.
මේ නාට්‍යයේ කතා කරන සුද්දාට අනුව ඒබ්‍රහම් ලින්කන්ද ජෝර්ජ් බුෂ්ද ලියෝ ටොල්ස්ටෝයිද එරික් සෝල්හයිම්ද එක වැනිම සුද්දෝ වෙති. ඔබාමා යනු ලෝකෙ හොඳම සුද්දන්ගේ රටේ ජනාධිපතිය! ජාතිකවාදියාගේ මනසේ තමාගේ සංකල්පමය පිදුරු මිනිසා, එනම් තමන් පහරදීමට සාදා ගන්නා අනිකා, නිර්මාණය වන්නේ කෙතරම් අතිසරල ලෙසද යන්න මින් පෙනේ. මේ නාට්‍යයේ කතා කරන සුද්දාට අනුව නුතන විද්‍යාවේ සියලු සොයා ගැනීම් කර ඇත්තේ සුද්දන් විසිනි. මෙය වුකලි අධිරාජ්‍යවාදී තත්‍ය සුද්දා කළත් ජාතිකවාදිගේ මනස් සුද්දා ඉතිහාසය බරපතල ලෙස විකෘති කිරීමකි. මිනිසාගේ ඥානයේ වර්ධනය එක් තනි ජාතිකත්වයකට හෝ හමේ පාටකට ලඝු කළ නොහැකිය. උදාහරණයක් ලෙස නූතන විද්‍යාව හෝ දර්ශනය යැයි ගැනෙන දේවලට සුදු නොවන මිනිසුන්ගේ ශිෂ්ටාචාරයන් කළ දායකත්වය කෙතරම්ද? ඇරිස්ටෝටල් වැනි බටහිර දාර්ශනිකයන්ගේ ඇතැම් මුල් කෘති කාලයක් සංරක්ෂණය වූයේ අරාබි වැනි නිර්-යුරෝපීය භාෂාවලිනි. බටහිර විද්‍යාව යැයි දැනට ගැනෙන දේ පෘතුවිය හා ස්වභාව ධර්මය විනාශ කොට ඒවා අනතුරේ හෙලීමට දායක වී ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් බටහිර විද්‍යාව යන්න එක තැනක නතර වී තිබේද? නැත්නම් එයත් තාමත් විකාශනය වෙමින් තිබෙන්නක්ද? ජාතිකවාදියාට අනුව එය විකාශනය නතර වූ එකකි. එසේ නොමැතිව එය සුද්දාගේ එකක් බවට හිරකොට තැබිය නොහැකිය. එසේ හිරකොට නොතබා තමාගේ පහරදීමට අවශ්‍ය කතිකාමය සුද්දා නිර්මාණය කර ගත නොහැකිය.
ඉංග්‍රීසිය සුද්දාගේ බසක් විතරද?
මේ නාට්‍යයේ කතා කරන සුද්දාට අනුව ඉංග්‍රීසි යනු සුද්දාගේ භාෂාවයි. මේ සුද්දා මෙසේ කියයි: “සුදු මහත්තුරු දැක්කහම අපිට මොනව හරි ඉංග්‍රීසි වචනයක් කියන්න හිතෙනවා. ඉංග්‍රීසි වචනයක් වත් දන්නෙ නැත්නම් ඒ ගැන දුකක් හිතෙනවා. ඉංග්‍රීසි ඉගෙනගන්න හිතෙනවා.” මේ සුද්දා කියන හැටියට ඉංග්‍රීසිය ලස්සන භාෂාවක් වන අතර ඊටත් වඩා වැදගත් වන්නේ ඒ භාෂාව හැදුවේ කවුද කියන එකය. මේ නාට්‍යයේ සුද්දාට අනුව ඒ බස සාදා ඇත්තේ සුද්දාය.
මේ වූකලි ජනප්‍රිය ජාතිකවාදියාගේ මනස තුළ ඉංග්‍රීසි බස විඥානගත වී ඇති ආකාරයයි. ඔහු මේ කතා කරන්නේ කවර කලෙක ඉංග්‍රීසියක් ගැනද? 17 වැනි සියවසෙන් පසු ඉංග්‍රීසිය සුද්දා සෑදු බසක් යැයි කිව හැකිද? එය වූකලි ලෝක වාසි විවිධ ජනයා එක්ව සෑදූ බසකි. බටහිර ඉන්දීය කොදෙව්වාගේ මුවින් වෑහෙන ඉංග්‍රීසියත් හොංකොං හෝ සිංගප්පූරු වාසියාගේ ඉංග්‍රීසියත් එකක්ම නොවේ. ලෝකය පුරා විවිධ රටවල ඉංග්‍රීසියෙන් ලියවෙන සාහිත්‍ය ලියවෙන්නේ සුද්දාගේ ඉංග්‍රීසියෙන්ම යැයි කීම ඉතිහාසය ඉතා සරල කිරීමකි. පසුගිය ජපන් සුනාමිය දවස්වල පැහැදිලි ජපන් ගතියක් ඇති ඉංග්‍රීසියකින් ජපන් ජාතික ටෙලි සන්නිවේදකයෝ කතා කළහ. මෙම සිය වස මැද වන විට ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල සුද්දා සුළු ජාතිකයෙක් වන්නේය. එහෙත් ලංකාවේ ජාතිකවාදියාට ඉංග්‍රීසිය තවමත් සුදු බසකි. මේ ජාතිකවාදී විඥානයේ ඇති පටු බවද අනම්‍ය බවද ඓතිහාසික විරෝධයද උදයසිරි වික්‍රමරත්නගේ සුද්දා වෙතට හසු වෙයි. වයසක ජාතිකවාදියාගේ සිට මාලින්ද සෙනෙවිරත්න වැනි තරුණ ජාතිකවාදියා පවා ජාතියේ ව්‍යූහමය හිංසනය හා කුණු කන්ද වැසීමට ඉතා අලංකාර ලෙස අලංකාරික ගන්වා ඉංග්‍රීසිය භාවිත කරන්නේ එය සුද්දාගේ බසක් වන නිසාද?
ජාතිකවාදි කතිකාවන් විසින් තමාගේ ඊනියා සංස්කෘතික පාරිශුද්ධත්වයට එරෙහි අන්‍යයා ලෙසට කතිතාමය වශයෙන් නිර්මාණය කරන සුද්දා ජාතිකවාදියාවම මංමුලාවකට හෙළන සැටි නාට්‍යයේ පෙනෙයි. “මං කියන දේ මංම දන්නෙ නෑ. මට මාවයි සුද්දයි පැටලිලා” මේ අවුල වූකලි මානව ශිෂ්ටාචාර ඉතා සංකීර්ණ අවස්ථාවකදී ඒ පිළිබඳ අතිසරල නිර්වචන සපයන ජාතිකවාදියාගේ අවුලයි. නාට්‍යයේදී ඉතා හාස්‍ය ජනක ලෙස පෙන්නුම් කරන්නේ ජාතිකවාදිය විසින් අධි-අවධාරණය කර ඇති සුද්දා ජාතිකවාදියාව බුද්ධිමය රූකඩයක් බවට පත් කර ඇති අයුරුයි.
ඊ ළඟට සුද්දා එන්ජීඕ වැනි ආයතන ගැන අතිසරල ප්‍රහාර එල්ල කරයි. ඔහු මෙසේ කියයි:
“අපි බොහෝ අයට යුරෝපීය රටකට යන්න ලැබෙන්නෙ නෑ. ඒත් එන්ජීඕ ආයතනයකට ගියාම යුරෝපීය රටකට ගියා වගේ තමයි. එම ආයතනවලින් කෙරෙන්නේ යුරෝපය පැතිරවීමක්. අපේ රටේ තියෙන එංගලන්තයක්, ජර්මනියක්, ඉතාලියක්. ඇමරිකාවක් වගේ.” මෙය අති සරල ජාතිකවාදියෙකු විසින් එන්ජීඕවක් සංකල්පගත කරන්නට ඉඩ ඇති සැටිය. ඒවා උදයසිරි වික්‍රමරත්නගේ අදහස් නොවේ. නැත්නම් ඔහු සේවය කරන වෙළඳ දැන්වීම් කොම්පැනි ඇතුළතද ඇත්තේ එංගලන්තයක්, ජර්මනියක්, ඉතාලියක්. ඇමරිකාවක් බව ඔහු නොදන්නේ නොවේ. අනික එන්ජීඕ යනු මොනවාද? ඒවා සුද්දාගේ ආයතන පමණද? උදාහරණයක් ලෙස මහින්ද චින්තනය සමග නෑදෑකම් පවත්වන සණස වැනි එන්ජීඕවක් ඊට අයිති නැතිද?(සණස එන්ජීඕවේ කුරුණෑගල බැංකුවක මුදල් තැන්පත් කළ අපේ පවුලට සෑහෙන මුදල් ප්‍රමාණයක් අහිමි විය. නඩුත් නැත. බඩුත් නැත. ඒ සිංහල බෞද්ධයන්ට එරෙහි සිංහල බෞද්ධ එන්ජීඕ එකක කුමන්ත්‍රණයක්ද?) නමුත් ජනප්‍රිය ජාතිකවාදියාගේ විඥානයේ එන්ජීඕ යනු එක් තනි සරල දෙයකි. එන්ජීඕ මගින් මෙරටට ගෙනෙන මුදල් නැතිනම් රාජ්‍යවාදී ජාතිකවාදියාට ජාතිය නමින් හොරා කෑම ටිකක් හෝ අමාරු වන්නට තිබිණ! එන්ජීඕ කරන්නේ රාජ්‍ය දූෂණයට වක්‍රව උදව් කිරීමක් වීම මට නම් එන්ජීඕ ගැන ඇති ලොකුම ගැටලුවයි. නාට්‍යකරුවා මේ පෙන්වන්නේ ඔහුගේ එන්ජීඕ විචාරය නොවේ. ඔහු ඊට වැඩි සාරවත් විචේනයකට සමතෙකි. ඔහු පෙන්වන්නේ ජාතිකවාදියා තමාම නිර්මාණය කර ගත් අතිසරල සංකල්පමය ලෝකයක ජීවත් වීමේදී මුහුණ දෙන අර්බුදයයි.
මෙම නාට්‍යයේ සුද්දෙක් ඔබ අමතයි නම් කොටස අවසන් වන්නේ “සුදු මහත්වරුන්ව අනුගමනය කළොත් අපටත් පුළුවන් අනාගතය ගොඩ නගාගන්න. ඒත් මගේ අධිෂ්ඨානය සුදු මහත්වරුන් ගොඩ නගා ඇති ලෝකයේ මට හිමි තැන ලබා ගැනීම. මට හිතෙනව මට ඒක කවද හරි කරන්න පුළුවන් කියල.”
මට හිතෙන හැටියට නම් ලෝකයේ අපට හිමි තැන ලබා ගැනීමට කළ හැකි දේ ලෝකය යනු සුදු මහත්වරුන් විසින් පමණක් ගොඩ නගා ඇති දෙයක් නොවන බව සුද්දන්ටත් වටහා දී අපත් වටහා ගැනීමයි. අපට වඩා වෙනස් සියල්ල සුද්දන්ගේ දේවල් යැයි අතිසරලකරණය කොට සුද්දා නම් අනෙකා අධි-අවධාරණය කිරීම නැවැත්වීමයි. මෙහිලා අපට ආභාසය ලැබිය හැක්කේ ගුණදාස අමරසේකර වැනි සරල රේඛීය චින්තකයන්ගෙන් නොව අමර්තයා සෙන් වැනි විවෘත විඥානයෙන් යුත් බුද්ධිමතුන්ගෙනි. සියලු ජාතිකවාදීනුත් සියලු රාජ්‍ය මාධ්‍යනුත් කරන්නේම සංකීර්ණ මානව ඉතිහාසය දෙකට බෙදා ඉදිරිපත් කිරීමයි. එවැන්නවුන්ගේ සංකල්ප උගුල්වල සිර වූ කල බිහි වන්නේ උදයසිරි වික්‍රමරත්න නිමවන ආකාරයේ “අවුල් වූ” සුද්දෙකි. ඔහු කල්ලෙකු වුවත් මහා අවුලකි. සමහර විට තමාගේම දෘෂ්ටිවාදාත්මක පිහිටා සිටීම්වලට එරෙහිව වික්‍රමරත්න මේ කරන්නේ අපට මෙකල අත්‍යවශ්‍ය ස්වයං-සංස්කෘතික විචාරයකට සරිලන ව්‍යූහයක් සැකසීමයි.
කතිකාමය ස්ත්‍රිය
නාට්‍යයේ ඊ ළඟ කොටස වන්නේ ඉතිහාසය ඔබ අමතයි යන්නය. එය පළමු කොටස තරම් සංකීර්ණ ව්‍යූහයක් අඩංගු කරගත්තක් නොවේ යැයි මම සිතමි. එහෙත් මේ කොටසේ ඇතැම් තැන්වලදී මානව වර්ගයාගේ සියලු ඉතිහාසය තමා වෙත උකහා ගන්නා පරම්පරාවකට ඇමතීම දක්නට ලැබෙයි. මේ ලිපියේ ප්‍රමාණය එම කොටස මග හැර ගියද ස්ත්‍රියක් ඔබ අමතයි යන තුන් වන කොටස මගේ සිත තදින් ඇදගත් හෙයින් ඒ මන්දැයි සැකෙවින් කිව යුතුය.
මේ කොටසේදී අපට දැකිය හැකි විශිෂ්ට ලක්ෂණයක් නම් සිංහල භාෂාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කතිකාමය වශයෙන් ගොඩ නගා පවත්වා ගෙන යන සැටි ගැන ඉතා දේශජ හා නිර්මාණශීලී විචාරයක් පැවතීමයි. දාර්ශනිකයෙකුගේ තියුණුකමින් භාෂාව ගැන යළි සලකා බැලීමක් මෙහි ඇතැම් තැන්වල දැකිය හැකිය. නාට්‍යයේ පළමු කොටසේ සුද්දා සේම මෙහි එන සිංහල ස්ත්‍රියක් පිරිමි භාෂාවේ හා ඒ භාෂාවෙන් කෙරෙන කතිකාවලම ගොඩ නැගීමකි.
මේ කතිකාමය තිරපට ඉරා ස්ත්‍රිය යළි මතු කර ගැනීමට නාට්‍යකරුවා තැත් කරයි. අප අමතන ස්ත්‍රිය මෙසේ කියයි:
“ඔබ තමුන්නාසේලාට මාව පෙනෙන්නේ ස්ත්‍රියක් හැටියට නම් ඔබ තමන්නාන්සේලාට මාව මලක් වගෙත් පේනවා ඇති. නැති නම් හඳ වගේ. ඔව් ස්ත්‍රීන්ට තමන්ගෙ මූණවත් අයිති නෑ.”
ඇය තව තැනක මෙසේ කියයි:
“ගෑනු බොළඳයි කියනවා. ළඳ බොළඳයි කියනවා. අපි ඒක පිළිගමු. ළඳ බොළඳයි කියලා පිළිගමු. ගෑනු බොළඳයි තමා. ඇත්ත. ඒත් ඇයි පිරිමි ගෑනුන්ට කැමති? පිරිමි ගෑනුන්ට කැමති ගෑනුන්ගේ බොළඳකම නිසා. ඒ කියන්නේ පිරිමි කැමති ගෑනුන්ගේ බොළඳකමට. බොළඳකමට කැමති කවුද බොළඳ අය නොවෙයිද? ඒ කියන්නේ පිරිමි බොළඳයි.”
බැලූ බැල්මට සරල කියමන් සේ පෙනෙන එනම් ස්ත්‍රි කියමන් සේ පෙනෙන මේ කියමන් තුළ සාම්ප්‍රදායික පිරිමි භාෂාව ස්ත්‍රියක විසින් විසංයෝජනය කිරීමක් දක්නට තිබේ. අප සාමාන්‍යයෙන් ස්ත්‍රියක ලෙස ගන්නා මනුෂ්‍යයා පිරිමි භාසාවේ නිර්මිතයක් වන අතර ඒ නිර්මිතය ගොඩ නැගීමේදී එය ගොඩ නගන පිරිමියාද එක්තරා ආකාරයකට ගොඩ නගනු ලබයි. කතිකාවක් මගින් ගොඩ නැගෙන්නේ ගොඩ නගනු ලබන විෂය පමණක් නොවේ. ගොඩ නගන්නාද එමගින් ගොඩ නැගේ.
සුද්දෙක් ඔබ අමතයි නම් පළමු කොටසින්ද අප දුටු හැටියට ජාතිකවාදියා විසින් සුද්දා ගොඩ නගනු ලබන විට එම කතිකාව තුළදීම ජාතිකවාදියා තමාවම ගොඩ නගා ගනියි. එසේ ගොඩ නගන සුද්දා අතිසරල වන්නේ යම් සේද එසේම ගොඩ නැගීම කරන ජාතිකවාදියාද අතිසරල වෙයි. මේ වුකලි අති සරල ජාතිකවාදීන් සියලු දෙනා දැන් වැටී ඇති උගුලයි. නියම ත්‍රස්තවාදියෙකු බැරි නම් පාන් පිටි හෝ ඒ සඳහා යොදා ගැනීමට තැත් කරන්නේ ඒ නිසාය. (2009 වර්ෂයේ යුද්ධයේ අවසානයෙන් පසුව ජනප්‍රිය පාන් පිටි විරෝධයක් රටේ ඇති කිරීමට ඇතැම් ජාතිකවාදී කොටස් තැත් කළේය.)
සුද්දෙක් ඔබ අමතයි මෙකල ජාතික වේදිකාවට නියමෙටම ගැලපෙන නාට්‍යයකි. එය ජාතික මෙන් පෙනෙන “විජාතික” නාට්‍යයක් වීම එහි ඇති විශිෂ්ටත්වයයි.
(2011 අප්‍රියෙල් 24 රාවය )
බෙදාගැනීමට තුති සර් .
ReplyDelete