Saturday, October 10, 2020

පාතාලයටත් පශ්චාත් නූතන යුගය ආපු බව පෙන්වන නවකතාවක්

 


1 රතු ඉරි අඳින අත මේ සමාජ දේශපාලන ගොහොරුවේ පැතිකඩක් නිරූපණය කිරීමට ගත් උත්සාහයක් බව පේනවා. ඒ ගැන කිව්වොත්?

 

දේශපාලන මඩගොහොරුවටත් වඩා සමාජ මඩගොහොරුව. පශ්චාත් නූතන ධනවාදී තත්ත්වය තුළ සිදු වී තිබෙන පොටපැලුණු නූලබෝලමය තත්ත්වය. ඒ වගේම රටේ පවතින කලා-සංස්කෘතික කතිකාව පාතාලය සහ ඊට සමාන අය විසින් මංකොල්ල කෑවොත් මොකක් වෙයිද කියන කියන විකාරරූපමය තත්ත්වය. ගී රස වින්දනය වගේ මතු පිට මට්ටමේ කලා රසවින්දන වැඩවලට පාතාලමය කට්ටිය, හිටපු මිනීමරුවො එහෙමත් එනවා. යම් රටක කලා කතිකාව සටකපට පිරිසකට පහසුවෙන් උස්සගෙන යන්න හැකි වී තිබීම ආදිය මේ නවකතාවේ

තියෙනවා. භෞතික ප්‍රාග්ධනයටත් වඩා පහසුවෙන් සංස්කෘතික ප්‍රාග්ධනය කොල්ල කන තත්ත්වයට පාතාලය පත්වන තැන අපේ රට පත්වෙලා. අද මහාචාර්යවරයා ආසන්නයෙන්ම පාතාල මැරයා හිඳගෙන සිටින අවස්ථා ඕනැ තරම් දකින්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය වගේ පාතාල වැඩ කරන මහාචාර්යවරුත් ඉන්න පුළුවන් කියා ඉඟි පළවුණු අවස්ථා තිබුණා. මේ නවකතාවෙන් අල්ලන්නෙ ඒ විකාර ලෝකය. නමුත් ඒවා තියෙන්නෙ පසුබිමේ. පෙරබිමේ තියෙන්නෙ තමන්ගෙ ආත්මීයතාව හෙවත් පුද්ගලභාවය නැවත නැවත ප්‍රනිනිර්මාණය කරමින් අලුත් මමකෙනෙක් ගොඩනගන්න මිනිසා දරණ ප්‍රයත්නයේ ස්වභාවය. ඒක අපි කාටත් අදාළ ස්වභාවයක්.

2 ඔබ මේ කෘතිය රචනා කිරීමට අදාළ ප්ර්දේශවල සංචාරය කළ බවත්ජ සඳහන් වෙනවාග නමුත් අද බහුතරයක් දෙනා අන්තර්ජාලය බලාගෙන භූමි දර්ශන මවා ගන්නා බව එක් විචාරකයෙක් අපට පැවසුවාග එවැනි කෘති ගැන ඔබට නිරීක්ෂණය වුණාද?

 

මේ පොතේ සඳහන් වෙනවා විවිධ ජීවන අඩවි. ඒ සෑම අඩවියකම වගේ මං සංචාරය කරලා තියෙනවා. සමහර පුද්ගලයන්ට කතා කරලා තියෙනවා. සමහර ප්‍රදේශවල පොත ලියන්න කලිනුත්, ලියන අතරෙත් සංචාරය කළා. ඇතැම් ගමන් තනියම. ඇතැම් ගමන් මිතුරන් සමග. අන්තර්ජාලය බලා භූමිදර්ශන මවා ගන්නවාට වඩා ඒ ඒ ස්ථානවල එන ගඳ සුවඳ ආදිය විඳගන්න එක හොඳයි. නමුත් කෙනෙකුට බොහෝ දේවල් සඳහා අන්තර්ජාලය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

3 රතු ඉරි අඳින අතට ලැබුණු ප්රවතිචාර කෙසේද?

 

බොහෝ දෙනෙක් දැනටමත් පොත කියවලා තිබුණා. සමාජ මාධ්‍යවල ප්‍රතිචාර පළ වී තිබුණා. මේ වසරේ පොත් ප්‍රදර්ශනයෙදි තමන්ගෙ කුටියෙ වැඩියෙන්ම අළෙවි වුණ පොත ඒක කියලා ජනක ඉණිමංකඩ කියල තිබුණා.

මේ පොත උත්ප්‍රාසාත්මක වගේම තරමක් විකාරරූපී යථාර්ථවාදයක් සහිත පොතක්. බොහෝ රසිකයෝ ඒ උත්ප්‍රාසාත්මක බව වටහාගෙන තිබුණා. අනික මම කොහොමත් ප්‍රබන්ධ කථාවේ ශිල්පීය පැත්ත ගැන හිතන කෙනෙක්. ඒ නිසා මේ පොත කියවද්දි අහවලා කවුද අහවලා අහවලාගෙ කවුද අහවල් තැන සිද්ධ වූයේ කුමක්ද අහවලා සැබෑ චරිතයක්ද ෆැන්ටසියක්ද ආදිය සෘජුව කියලා නෑ. ඒ නිසා පොත වාච්‍යාර්ථයෙන් ගත්තොත් බොහෝ තැන් වරදිනවා. නමුත් බොහෝ රසිකයෝ නවකතාවේ තියෙන ප්‍රබන්ධ ශිල්පය වටහා ගෙන තියෙනවා.

4 අද විශ්වවිද්යාවලවල ආචාර්ය මහාචාර්යවරු බහුතරයක් ඉගැන්වීමට පමණක් සීමාවී සිටින බවයි බාහිර ලෝකයට පේන්නේග ඔවුන් අතින් විෂය වර්ධනයට අවශ්යහ ශාස්ත්රීටය හා සාහිත්ය  කටයුතු සිදුවන්නේ අඩුවෙන් නේද

 

විශ්වවිද්‍යාලෙ ඉගැන්වීම කියන්නෙ පන්ති කාමරේ දේශනය කරලා ගෙදර යාම විතරක් නෙමේ. පර්යේෂණ කරන්නෙ නැත්නම් හොඳට උගන්නන්නත් බෑ. විෂය වර්ධනය කිරීමත්, හොඳින් ඉගැන්වීමත් එකිනෙක පෝෂණය කරනවා. දැන් දැන් තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතරින් බොහෝ දෙනෙක් පර්යේෂණය, නිර්මාණකරණය ආදිය කරනවා. මැදි වියේ ඉන්න කීපදෙනෙක් තමයි එක තැන පල් වෙන ස්වභාවයක් පේන්නෙ. ඒකට ඒ අයට දොස් කියලා බෑ. ඒ අයටත් අනික් අයට ලැබෙන සියලුම වරප්‍රසාද ලැබෙනවනෙ. දැන් දැන් ටිකක් තත්ත්වය වෙනස් වේගෙන එනවා. ආචාර්ය උපාධි නැතුව, පිළිගත් ශාස්ත්‍රීය සඟරාවල පර්යේෂණ පත්‍රිකා පළ කරන්නේ නැතිව මහාචාර්යධුරයට අයදුම් කිරීම කළ නොහැකි තැනට ඇවිත් තියෙනවා. නමුත් බොහෝ අයට ලැබුණ කාර් පර්මිට් ගණන ලියා ඇති පොත් ගණනට හෝ කර ඇති පර්යේෂණ ගණනට වඩා වැඩියි. ඒකට වගකියන්න ඕනෙ ඒවා ගන්න නෙමේ දෙන අය. වෙන රටවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පාරිතෝෂික, දිරි ගැන්වීම්, වරප්‍රසාද දෙන්නෙ ඔවුන්ගේ ශාස්ත්‍රීය කැපවීම අනුව. මෙහෙ එහෙම නෑ.

5 නවකතාකරණයට තරුණයන් බහුතරයක් එළඹ සිටින බව පේනවා. ඔබ ඔවුන්ගේ කෘති කියවනවාද?

 

ඔක්කොම කියවන්න අමාරුයි. නමුත් හැකි තරම් කියවන්න උත්සාහ කරනවා. ප්‍රියන්ත ලියනගේගේ කොට තුවක්කු ඒක අර්ථවත් දායකත්වයක්.  ගාමිණී බස්නායකගේ බෝදිලිමානය, ඩී.එම්.එස්. ආරියරත්නගේ නිමුං කුරුල්ලා ආදී පොත් ඒ අයගේ පළවෙනි නවකතා. ඒවා ඉතා හොඳ ආරම්බ. ආශා රැළපනාව කුසලතාසම්පන්න තරුණ ලේඛිකාවක්. එවැනි පිරිසක් මතු වී සිටීම හොඳයි. 

 

6 එසේ නම් ඒ අතරින් සාර්ථක කෘති ගැන කිව්වොත්?

 

තරුණ අය ලියන සියලුම දේවල් නොකියවා සන්සන්දනාත්මක අගය කිරීමක් කරන්න අමාරුයි.

 

7 අද නවකතා බහුල වුවත් විචාර කෘති නම් පළවෙන්නේ කලාතුරකින්ග 60-70 දශකවල මෙයට වඩා විචාර කෘති පළවුණා නේද?

 

ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ වගේම ඒ කාලෙ විචාර සඟරා සංස්කෘතියක් තිබුණා. සංස්කෘති, පියවර වගේ සඟරාවල දීර්ඝ විචාර ලිපි පළ වුණා. ඒ ලිපි තමයි පසු කලෙක ග්‍රන්ථ ප්‍රමාණයේ අධ්‍යයන බවට පත් වුණේ. සඟරා සංස්කෘතියක් තිබීමේ වැදගත්කම ඒකයි. ඒ දීර්ඝ ලියද්දී කෙරෙන අධ්‍යයන ග්‍රන්ථ ප්‍රමාණයේ අධ්‍යයනවලට පදනම සපයනවා. මෑත කාලෙ යම් යම් ප්‍රායෝගික විචාර පොත් ලිව්වෙ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විතරයි.

60-70 දශකවල වුණත් හුඟක් ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයන පළ වුණා කියන්න අමාරුයි. අදත් අපි පරිශීලනය කරන ඒ යුගයේ පළ වූ නවකතා අධ්‍යයනය කුමක්ද? වික්‍රමසිංහගේ නවකතාංග හා විරාගය, මහාචාර්ය ආරිය රාජකරුණාගේ පොත් ආදිය තමයි කල් අල්ලා හිටියෙ. නමුත් තවමත් බහුල වශයෙන් භාවිත වන්නෙ මහාචාර්ය සරච්චන්ද්‍රගෙ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය. ඒ කාලෙ සරච්චන්ද්‍ර වික්‍රමසූරිය වගේ අය ඉංග්‍රීසි අධ්‍යයන අංශවලට සම්බන්ධ වෙලා හිටියත් අද ඉංග්‍රීසි අධ්‍යයන අංශවල එහෙම අය නෑ. ඒ සිංහල භාෂක ශාස්ත්‍රීය කතිකාවට දායක වෙන්නෙ නෑ. ආචාර්ය කංචුකා ධර්මසිරි, ආචාර්ය ප්‍රභා මනුරත්න වගේ අය එහෙම දායකත්වයක් ආරම්භ කර තිබීම විශාල සතුටක්.

(කුසුම්සිරි විජේවර්ධන දේශය පුවත්පතට 2019 වර්ෂයේ අගදී කළ සම්මුඛ සාකච්ඡාවකි)

 

No comments:

Post a Comment