විශ්වවිද්‍යාල
ආචාර්යවරුන් තම ශිෂ්‍යයන් සමග එක්ව කිසියම් ප්‍රායෝගික හෝ නිර්මාණාත්මක කාර්යන්හි
යෙදීම ඒ දෙපිරිසටම අමරණීය අත්දැකීම් ලබා දෙන අතරම එය අධ්‍යාපනයෙහි අත්‍යවශ්‍ය
අංගයකි. යමක් ගොඩ නැගීමට හා නිර්මාණයට ලාලසාවක් දක්වන තරුණ ශිෂ්‍යශිෂ්‍යාවන් හා
එක්ව කළ හැකි ප්‍රායෝගික ව්‍යපෘති සම්බන්ධයෙන් නිර්මාණශීලීවීම නූතන අධ්‍යාපනයෙහිදී
ආචාර්යවරයා වෙතින් අපේක්ෂා කෙරේ. එවන් කාර්යන්හි යෙදෙමින් වර්තමාන ලංකාවේ
විශ්වවිද්‍යාල සජීවී කරන කෙනෙකු හැටියට ප්‍රියංකර රත්නායකට අපගේ ගෞරවය හිමි
වේ.
ඇරිස්ටොෆනීස්ගේ ලයිසිස්ට්‍රාටා නාට්‍යයේ පරිවර්තනයක් විසේකාරියෝ නමින්
නිෂ්පාදනය කරමින් ප්‍රියංකර රත්නායක නැවත වරක් ශිෂ්‍යශිෂ්‍යාවන් පිරිසක්ද සමග
සිංහල වේදිකාවට පැමිණ සිටියි. ඒ නාට්‍යයේ රඟපාන සියලු දෙනාම පාහේ විශ්වවිද්‍යාල
ශිෂ්‍යශිෂ්‍යාවෝ වෙති.
ඔවුහු අපේ වාචාල උසස් අධ්‍යාපන ඇමති ඔහුට ආවේනික වචනයෙන්
නිතර විස්තර කරන වර්ගයේ ශිෂ්‍යශිෂ්‍යාවෝ නොවෙති. නාට්‍ය නැරඹීම වැනි ශිෂ්ටසම්පන්න
ක්‍රියාවල කලාතුරකින් වත් යෙදෙන්නේ නම් ඇමතිට මේ බව දෑසින්ම දැකගැනීමට පුළුවන.
ඇරිස්ටොෆනීස් ක්‍රිස්තු
පූර්ව පස් වැනි සියවසේදී ලියූ ලයිසිස්ට්‍රාටා නාට්‍යය ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය
සම්බන්ධයෙන් ස්ත්‍රී කාරකත්වයේ හා දායකත්වයේ වැදගත්කම සමරන නාට්‍යයකි. ඒ වූකලි එය
ලෝක නාට්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් ගැනීමටත් හේතුවකි.
ඇරිස්ටෝෆනීස්
ජීවත් වූයේ ඇතන්සය විවිධාකාරයේ දේශපාලන කැළඹිලිවලට ගොදුරුව පැවති කාලයකය. නොනවතින
යුද්ධ මාලාවක් නිසා ඒ නගර රාජ්‍යය බිඳවැටීමට ආසන්නව තිබිණ. මේ නොනවතින යුද්ධය
වූකලි ස්වභාවික හෝ නොවැලැක්විය කාරණයක් නොව පිරිමින් දේශපාලනය කරන ආකාරයේ හා
පිරිමින් බලය යැයි සලකාගෙන සිටි දේවල ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූවකි. සාහිත්‍ය
කලාවන් හා අදහස් ප්‍රකාශ කිරීමට කවර තරමක් අවකාශ තිබුණත් පුරාණ ග්‍රීසියේ බලය හා
පිරිමිකම යනුවෙන් සැලකුණේ ආක්‍රමණශීලිත්වය හා හිංසනයයි. ධෛර්ය යනුවෙන් සැලකුණේ යුද
බිමේදී මුහුණට මුහුණ සටන් වැද මිය යාමයි. බලය පිළිබඳ මේ පිරිමි සංකල්පයට සොක්‍රටීස්
නිතර අභියෝග කළ බව ප්ලේටෝ ලැචස් හා මීනෝ රචනාවලින් පෙනේ. ලයිසිස්ට්‍රාටා නාට්‍ය
ඔස්සේ ඇරිස්ටොෆනීස් කරන්නේද නාට්‍යගත කරන ලද සොක්‍රටික ප්‍රශ්න කිරීමකි.
තම නගර රාජ්‍යයන්
යුද්ධයෙන් විනාශව යාමත් තමන්ගේ පිරිමින් ස්වයං-ඝාතක විනාශයට ඇද වැටීම වැලැක්වීමටත්
ලයිසිස්ට්‍රාටා කරන්නේ යුද වැදී සිටින දෙපාර්ශවයේම(ඇතන්ස් සහ ස්පාර්ටා) ස්ත්‍රීන්
හා සමග ලිංගික වැඩවර්ජනයක් සංවිධානය කිරීමයි. යුද බිමේ සිට කෙටිකාලයකට නිවෙස්වලට
එන පිරිමින්ගේ ආසාව වඩවනසුලු ඇඳුමින් සැරසී ඔවුන් අවුස්සන නමුත් තම ශරීර ඔවුන්ගේ
ආසාව වෙනුවෙන් විවර නොකිරීමට ස්ත්‍රීහු තීරණය කරති. ලිංගික වැඩවර්ජනයක් යනු තමන්ට
ලැබෙන ප්‍රීතියක්ද අහිමිවීමක් නිසා එය වූකලි ආත්මපරිත්‍යාගයෙන් යුතු
වැඩවර්ජනයකි. ඒ නිසා ස්ත්‍රීන් වැඩවර්ජනයට
පොළඹවා ගැනීමත් වැඩවර්ජනය තුළ රඳවා ගැනීමත් ලෙහෙසු පහසු වැඩක් නොවේ. නාට්‍යයේ
සිද්ධිදාමය බැඳී ඇත්තේ මෙම වැඩවර්ජනය ජයග්‍රහණය දක්වා යන ගමන සමගය.
එකල ග්‍රීසියේ
ස්ත්‍රීන් සිය පියවරුන්ගේ හා ස්වාමිපුරුෂයන්ගේ පාලනයට යටත්ව සිටීමට සිදු වූ බව
කියනු ලැබේ. ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයේ හෝ මහජන ජීවිතයේ කිසිදු කාර්යක් සිදු නොකළ
අතර දේපළට උරුමකම් කියන්නට හෝ මුදල් සතු කර ගැනීමටත් අවසර නොවිණ. සාමාන්‍යයෙන්
අවුරුදු දහතුනක් තරම් ළාබාල කාලයේදී ඔවුන් විවාහ කරදෙන ලද්දේ ඔවුන්ගේ සැමියන් හා
ඔවුන් අතර භාවමය සමානකම් ගැන කිසිම සැලකිල්ලක් නැතිවය. එවන් පසුබිමෙක සිට පිරිමි
දේශපාලන දෘෂ්ටිවාදවලට අභියෝග කරන මෙම නාට්‍යය ඇරිස්ටොෆනීස්ගේ අනෙක් නාට්‍ය සේම
විවාදාත්මක වන්නට ඇත.
මෙම නාට්‍යය
මෙකල ලංකාවේද දේශපාලනය හා බලය පිළිබඳ පිරිමි දෘෂ්ටිවාදවලට අභියෝග කිරීමේ විභවතාව
ඇත්තකි. මෙවන් විවාදාත්මක තේමාවක් සහිත නාට්‍යයක් තරුණ ශිෂ්‍යශිෂ්‍යාවන් පිරිසක්
සමග මහජන වේදිකාවට ගෙන ඒම එක් අතකින් නිර්භීත ක්‍රියාවකි. මෙහි රඟන තරුණ නිළියෝද
ලයිසිස්ට්‍රාටාගේම දියණියෝ වෙති. ඒ නළුනිළියන්ගේ පරම්පරාව රංගනයේදී සේම සැබෑ
ජීවිතයේදීත් අධිපති දෘෂ්ටිවාද ප්‍රශ්න
කිරීමේ ලයිසිස්ට්‍රාගේ උරුමය අත් නොහැරියහොත් පමණක් ලංකාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක්
උදා වනු ඇත. එසේ නොමැති නම් සිදුවන්නේ පාලකයන් අප වෙත ප්‍රදානය කරන ඕනෑම දෙයක් ප්‍රජාතතන්ත්‍රවාදය
යැයි නම් කොට පිළිගැනීමත් වර්ණනා කිරීමත් පමණි.
පිරිමින්ගේ පිරිමි පරාජය
ලයිසිස්ට්‍රාටා
විසින් මෙහෙය වනු ලබන ස්ත්‍රීන්ගේ ලිංගික වැඩවර්ජනය නිසා පිරිමි අසරණ වෙති. මෙය අප
දැකිය යුත්තේ හුදෙක් පිරිමි අසරණවීමක් සේ නොව පුරුෂ-කේන්ද්‍රීය දෘෂ්ටිවාදද ලෝකය
තුළ පැවතීමේ පුරුෂමය ආකාරවලට එරෙහි ස්ත්‍රී ප්‍රතිචාරයක් සේය. මේ නිසා මෙය පරාජය
පිරිමින්ගේ පිරිමිබවේම පරාජයකි. පිරිමි ලෝකය තුළ පවතින්නේ ආක්‍රමණකාරී, යටත්කිරීම්වාදී, සිය දේශපාලන
හෝ බුද්ධිමය බලය පිළිබඳ අධිතක්සේරුවකිනි. මෙය දේශපාලන නායකයන්ගේ සිට බුද්ධිමතුන්
යැයි හැඳින්වෙන අය වෙත පවා දැකිය හැකිය. විසේකාරියෝ නාට්‍යයේදී ප්‍රියංකර රත්නායක
ස්ත්‍රී ඇසුර පතා සෘජු වූ පුරුෂ ලිංග දරාගෙන දුෂ්කර ක්‍රියාවක යෙදී සිටින යුද වැදි
පිරිමින් නිරූපණය කිරීමට ඉතා අපූරු ඇඳුම්ද රංග වින්‍යාසද නිර්මාණය කර ඇත. සෘජු වූ
පුරුෂ ලිංග වසා ගැනීම පිණිස ඒ පිරිමින් ඉණ පැළඳ සිටින බාල්දි හුදු පුරුෂ ලිංග
නිමිත්ත ඉක්මවන පල්ලසයේ(චය්කකමි* සංකේතයකි. පල්ලසය හෝ පල්ලසීය සංකේත යනු හුදෙක්
පුරුෂ ලිංග නිමිත්ත ඉන් ඇඟවෙන පුරුෂකේන්ද්‍රීය සංස්කෘතික දෘෂ්ටිවාදීමය අංගවල
නිරූපණයකි. මෙසේ පල්ලසයේ සංකේතය පැළඳවීම යනු නාට්‍යයේ මුල් රචක ඇරිස්ටොෆනීස් පවා
අනුබල දුන් කාර්යක් බව පෙනේ.
රත්නායකගේ ස්වීයත්වය
මේ නාට්‍ය
නිෂ්පාදනයේදීද ප්‍රියංකර රත්නායක ඔහු “අද වගේ දවසක ඇන්ටිගනී” නාට්‍යයේදී පළ
කළ අන්දමේම අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණාත්මක ස්වීයත්වය පළ කරයි. එය වඩාත් ප්‍රකටම
පෙනෙන තැනක් සේ මා සිත් ගත්තේ ලයිසිස්ට්‍රාටාගේ චරිතය දෙකට බෙදා නිවුන් චරිතයක් සේ
ගොඩනගා එය නිළියන් දෙදෙනෙකු ඔස්සේ ඉදිරිපත් කිරීමයි. ඒ නිළියෝ දෙදෙනා මුදු හා රළු
හෝ වේගවත් හා මන්දගාමී යැයි හැඳින්විය හැකි ශෛලීන් දෙකකින් රඟපාති. ඒ දෙදෙනා නිසා
ස්ත්‍රී ශක්තීයේ බහුවිධ බවද ප්‍රකට වෙයි. දෙදෙනාම එකම ආකාරයේ ඇඳුම් හැඳ සිටියත්
එක් කෙනෙකුගේ ඇඳුම ස්ත්‍රී කායික වේගය හා සරාගයේ අග්නිවේගය මතු වන සේ සකස්වී නම්
මැනවියි මට සිතිණ. ඒ කෙසේ වෙතත් ලයිසිස්ට්‍රාටා තනි ගැහැනියක සේ ඉදිරිපත් නොකිරීම
ඉතා නිර්මාණාත්මක වන අතර ඒ නිසා මේ ස්ත්‍රීන්ගේ සාමූහික කැරැල්ලද අඟවයි. තනි
ලයිසිස්ට්‍රාටා කෙනෙකු රඟපෑවේ නම් ඇගේ ඇතැම් දෙබස් අනවශ්‍ය සේ දීර්ඝ යැයි අපට
දැනෙන්නට ඉඩ තිබිණ.
මෙම නාට්‍යය
ග්‍රීසියේදී රඟ දක්වන ලද්දේ සියලුම චරිතවල පිරිමි නළුවන් යොදවමිනි. සැබවින්මි
නළුවන් හතර දෙනෙකු ලවා චරිත විස්සක් රඟදැක්වීම ඇරිස්ටොෆනීස්ගේ සැලැස්ම වී යැයි
කියනු ලැබේ. ලයිසිස්ට්‍රාටා සෑම දර්ශනයකදීම පාහේ පෙනී සිටි නිසා අන් සියලු චරිත
රඟපාන්නට සිදු වූයේ නළුවන් තුන් දෙනෙකුටය. ඇරිස්ටොෆනීස් ප්‍රියංකර රත්නායකගේ
නිෂ්පාදනය දුටුවේ නම් නාට්‍ය නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන විෂයයන් කොතරම් දියුණු
වී තිබේදැයි දැක සතුටු වනු ඇත. ඇරිස්ටොෆනීස්ට තිබුණේ නව්‍යත්වය ඉවසන විවේක
බුද්ධියක් බව ඔහුගේ රචනාවලින් පෙනෙන නිසා ඔහු සතුටු වනු ඇතැයි අපේක්ෂා කිරීම
සාධාරණය.
සම්භාව්‍ය
නාට්‍ය නැවත නිෂ්පාදනය යනු නාට්‍ය කෞතුකාගාරයක් සෑදීම නොවේ. එසේ නව නිෂ්පාදනයක්
කරන අධ්‍යක්ෂකවරයා කරන්නේ පැරණි පඨිතය ඔස්සේ වර්තමානයට කතා කිරීමයි.
ඇරිස්ටොෆනීස්ගේ මුල් පඨිතය රත්නායක විසින් නැවත රචනා කරනු ලැබේ. මුල් කෘතියේදී
ලයිසිස්ට්‍රාටා කරන ඇතැම් ප්‍රකාශ පවා අනෙක් චරිත අතර විසුරුවා හැර ඇති බව ප්‍රියංකර
රත්නායක කියයි. ඒ කෙසේදැයි බලන්නට සිංහල පරිවර්තනය(අරුණ ප්‍රේමරත්න කළ පරිවර්තනය)
සමග සසඳා බලන්නට මට අවකාශ නොලැබිණ. කෙසේ වෙතත් නාට්‍ය අධ්‍යක්ෂකයා යනු නාට්‍ය
පඨිතයේ සිරකරුවෙක් නොවේ. පඨිතය එහි මුල් ඓතිහාසික සන්දර්භයේ සිරගෙයින් මුදවන්නෙකි.
ප්‍රියංකර රත්නායක යනු එසේ පඨිතය නිදහස් කරන්නෙකු පමණක් නොව එමගින් රසිකයාද නිදහස
පිළිබඳ අලුත් හැඟීමක් වෙත අවදි කරවන්නෙකි. මෙවැනි මැදිහත්වීම්වාදී කලාකරුවන්ගේ ව්‍යායාම
සුහද සිතින් අගය කිරීම අපගේ යුතුකමකි.
(මෙයට වසර කිහිපයකට පෙර
පුවත්පතක පළ වූ ලිපියකි)
No comments:
Post a Comment