සැප්තැම්බර් මාසය අලුත් සාහිත්‍ය වර්ෂයක් ආරම්භ කරන්නේ යැයි සාමාන්‍යයෙන් සැලකේ. ඒ නිසා අලුත් සාහිත්‍ය වර්ෂයේ මා කියවූ පළවූ නවකතාව ආරියවංශ අබේසේකරගේ අලුත්ම නවකතාව වන ආරාමදාස නම් වේ.
යටත් විජිත
පුරාවිද්‍යා කොමසාරිස් එච්සීපී බෙල් ආරම්භ කළ පුරා විද්‍යා ගවේෂණ අනුරාධපුරය සහ
පොළොන්නරුව නැවත සොයා සංරක්ෂණය කිරීමට බෙහෙවින් ඉවහල් විය. ඒ ගවේෂණවල එකල යුරෝපීය
යටත් විජිත පුරාවිද්‍යාවට ආවේණික වූද, ඒ යුගයේ තාත්ෂණික සම්පත්වලට ආවේණික වූද කවර
සීමා පැවතියද ඒ ගවේෂණ මානව උරුමයෙහි යට ගියාව සොයාගත්තේය. ඒ ගවේෂණවලට කම්කරුවන් සේ
ශ්‍රමය සැපයූ සිංහල, දෙමළ සහ
මුස්ලිම් ශ්‍රමිකයන් ඒ ගවේෂණ හැඳින්වූයේ “බැල් පාටියේ” වැඩ ලෙසිනි. එච්සීපී
බෙල්ගෙන් බොහෝ කාලයකට පසුවත් ඒ වැඩ බැල් වාඩියේ වැඩම වූ බව පෙනේ.
නවකතාවේම එන
හැටියට බෙල් සිය ගවේෂණ ආරම්භ කළ කාලයෙහි සිංහල සහ දෙමළ ශ්‍රමිකයෝ ඒ කැණීම්වලට නොපැමිණියහ.
ඒ වස්වදියි කියන බයටය. ආරම්භක කැණීම් ශ්‍රමිකයන් වූයේ මුස්ලිම් ජනයාය. සිංහල සහ
දෙමළ අය තමන්ගේ අතීතයට අයත් යම් ගුප්තබලයක් පොළොවින් වැසී ඇතැයි සිතන්නට ඇත.
පොළොන්නරුවේ ආනෛඋලන්දන් හෙවත් ආනඋලුන්දාව නම් ගම් ප්‍රදේශයේ විසූ සිංහල, දෙමළ සහ
මුස්ලිම් ජනයා එකම ප්‍රජාවක කොටස් සේ බෙල් පාටියේ වැඩ කරති. ඒ දෙමළ ජනයා ඉතා දීර්ඝ
කාලයක් ඒ ප්‍රදේශයේ වාසය කර ඇති බව පෙනේ. එය ශතවර්ෂ ගණනක් දිග කාලයක් වන්නට
පුළුවන.
පරාක්‍රම
සමුද්‍ර ජලාශ ව්‍යාපෘතිය යටතේ කැලෑ එළිකොට ජනපද ඇති කෙරිණි. ඒ වන විටත් දෙමළ ජනයා
පරම්පරා කිහිපයක් එහි වාසය කර තිබිණි. සමහර විට ඒ පොළොන්නරු රාජධානිය ආරම්භ වූ
තැන් සිට එහි විසූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන්ද විය හැකිය. එහෙත් පරාක්‍රම සමුද්‍රය
ඉඳිකිරීමෙන් පසු ලංකාවේ දකුණු කර ප්‍රදේශවලින් එහි ගොස් පදිංචි කරවන ලද සිංහල
ජාතිවාදීහු 1958 කෝලාහල වන
විට අර දීර්ඝ ඉතිහාසයක් ඇති දෙමළ ජනයා පහර දී එලවා දැමූහ. ඔවුහු වව්නියා පළාතට
ගොස් දුෂ්කර ක්‍රියාවෙන් දිවිසරිකරගන්නට තැත් කළහ. ඒ විතැන්වීමේදීම ඔවුන්ගේ ඇතැම්
පවුල් විසිර යයි.
ඒ ජාතිවාදය පතුරවන්නට පිංපෙට්ටියත් හොරකම් කරගෙන
පන්සලකින් පැන යන චීවරධාරී චෞරයෙක්ද දායක වේ. ඒ ජතිවාදී සිවුරු පළඳින්නා මුල් වරට
එහි සිටින සිංහල ජනයාගේ මනසට ජාතිවාදය ඇතුළු කරන විට ඒ අදහස් එහි වසන සිංහලයන්ට
වෙනම දේශයකින් පැමිණි අදහස් වැනිය. ඊට හේතුව සිංහල, දෙමළ සහ මුස්ලිම් දුගී
ජනයා යටත් විජිත ආණ්ඩුව විසින් ඇති කරන ලද පුරාවිද්‍යා දෙපාර්තනමේන්තුවේ කම්කරුවන්
සේ එකට වැඩ කරමින් එකිනෙකා අතර සමීප සම්බන්ධයක් ගොඩ නගා ගත් බැවිනි. එහෙත්
චීවරධාරියා ඒ ගම් පළාතෙහි දෙවෙනි පරම්පරාවෙහි මනස තුළ ජාතිවාදය පැළ කරයි.
ජනවාර්ගික සමගිය සේම මනුෂ්‍ය නිදහස සහ අභිමානය වෙනුවෙන් ක්‍රියාකළ සමසමාජකාර
තරුණයා වූ සුවාරිස් කෙරෙහි වෛරයකින් පැසෙන මේ නූගත් භික්ෂුව මනුෂ්‍ය යහපත වෙනුවෙන්
සැබැවින්ම පෙනී සිටින, අරගල කරන
සුවාරිස් කෙරෙහි ඔහුගේ අසල්වාසින් බිඳවීමට කටයුතු කරයි.
මේ නවකතාවෙන්
පෙනෙන හැටියට විසිවෙනි සියවසෙහි මැද විසූ ඇතැම් ජාතිවාදී භික්ෂූහු තම දේශපාලන
සතුරා ලෙස සමසමාජය දැක්කහ. ඒ තේමාත්මක කාරණයේදී ආරාමදාස නවකතාවෙහි එක් අඩුවක්
වන්නේ සමසමාජ දේශපාලනය සහ බුදු දහමෙහි හරය අතර පාලමක් සාදන්නට තැත් කළ ගෞරවනීය
භික්ෂූන්ද එකල වැඩ සිටියේය යන කාරණය නිරූපණය නොවීමය. එහෙත්, අද අප රට මහජන
කතිකාව පුරා ජාතිවාදයද මුග්ධත්වයද පතුරුවන භික්ෂුවගේ මතුවීම සම්බන්ධයෙන් මේ
නවකතාවෙහි එන චිත්‍රණය අනාගතය ගැන අප සිත බිය ඇති කරයි. මෙවන් භික්ෂූන් පරාජය
කිරීමෙන් මිස අන් ආකාරයකින් සැබෑ ලෙසම සාධාරණ වූද යුක්ති සහගත වූද සමාජයක්
ගොඩනැගිය හැකිද යන ප්‍රශ්නය නවකතාවෙන් ඇසෙයි. සුවාරිස් නම් සමසමාජ තරුණයාත් ඒ ග්‍රාමීය
ජනයා ජාතිවාදින්ටම බාර දී කොළඹ වරාය වැනි නාගරික වැඩභූමියකට යයි. ගැමියා අතහැර
නාගරික කම්කරුවා පමණක් කේන්ද්‍රකරගන්නා සමසමාජකාරයා විවේචනයක්ද එහි වෙතියි කියන්නට
පුළුවන.
තමන් මහණ වූ
පන්සලේ බෝසතෙකු වන් නායක හාමුදුරුවන්ට පිටුපා, ඒ පන්සලේ පිංපෙට්ටියද කඩාගෙන, ලොකු
හාමුරුදුවන්ගේ වෙදපොත්ද හොරකම් කරගෙන ඉන්ද්‍රජෝති නම් චීචරධාරිය පොළොන්නරුවට පැන
යන්නේ සල්ලි හොයන්නටය. ඔහු සමගම පැන යන ගෝලයෝ දෙදෙනා බව ඉන්ද්‍රජෝති යනු “භික්ෂු සාරූප්යයක්” මිස සැබෑ
භික්ෂුවක් නොවන බව හොඳින් දනිති. එහෙත්, ඒ දෙදෙනාට ඇති ඒ අවබෝධය නැති මිනිස්සු ඒ
ආගමික බිස්නස්කාරයාට ගොදුරු වෙති. ඔවුන් හසුවන උගුල සිවුරය. එවන් උගුල් සෑම තැනම
ඇති අද දවසේ මේ පොත පළවීම බෙහෙවින්ම දේශපාලනිකය.
දෙමළ, සිංහල සහ
මුස්ලිම් ජනයා පුරාවිද්‍යා වැඩබිමක එකට වැඩ කරමින් අතීත පාදා ගැනීමට ක්‍රියා කිරීම
සංකේතාත්මක අර්ථද ජනනය කරයි. එහෙත් ඔවුන්ට ඒ ඉතිහාසයෙහි වන අන්තර්සංකෘතිකත්වය වටහා
ගන්නට ඉඩ නොලැබේ. හමුවන සියලු ඉතිහාසය සහ සංස්කෘතිය “සිංහල” ඉතිහාසයක් සේ
අර්ථකථනය කරන කතිකාවක් විසින් සියලු පුරාවස්තු උරා ගැනේ.
මේ අතර
නවකතාකරුවා ඉතා නිර්මාණශීලී ආඛ්‍යාන උපක්‍රමයක් සොයාගනියි. මේ පුරාවිද්‍යා
කම්කරුවන්ගේ තුන්වෙනි පරම්පරාවේ දරුවෙකු වන හේමරත්නට විශේෂ හැකියාවක් ඇත.
කැණීම්වලදී හමුවන ආගමික ස්ථානවල සිටින බහිරවයන්, වාමනයන් හා නාගයන් සමග
කතා කිරීමේ හැකියාව ඔහුට තිබේ. වෘක්ෂයෝද ඔහු හා කතා කරති.
වාමනයෝ තමන්ගේ ඉතිහාසය සහ ජීවිතය ගැන කියති. බොහෝ වාමන
රූපවලින් නිරූපණය වන්නේ ඒ ඓතිහාසික ස්ථාන ගොඩනගන්නට ශ්‍රමය සහ ජීවිත පූජා කළ
සාමාන්‍ය ජනයාය. හේමරත්නගේ මෙම මැජික්මය සන්නිවේදන ශක්‍යතාව සංකේතාත්මක අර්ථ
දනවයි. හුදෙක් මනුෂ්‍ය කේන්ද්‍රීය නොවූ ජීව විඥනයක සංකේතයක් සේද එය ගතහැකිය. මේ
අතීත නටඹුන් අතර සිර වී ටික ටික උමතුභාවය කරා යන තරුණයෙකුගේ ආතාර්කික විඥානය සේද ඒ
හැකියාව දකින්නට පුළුවන. නටඹුන්වලින් හෙළිවන සහ පැරණි වාමන රූප කියන
අන්තර්සංස්කෘතික අතීතය වර්තමාන භික්ෂුව දෙසන ජනවර්ග කේන්ද්‍රීය ජාතිවාදී ඉතිහාස
කතාව සමග ගලපා ගත නොහැකි වූ තරුණයෙකුගේ විඥානයෙහි චලනයක් සේද ඒ අද්භූත ශක්තිය
කියවන්නට පුළුවන. මෙය අතීතයක් පිළිබඳ නවකතාවක් පමණක් නොවේ. අප සියලු දෙනාටම
හේමරත්න සේම තනි ජනවාර්ගික කණ්ඩායමක සීමාව තුළ පමණක් සිර වී සිට මනුෂ්‍ය ඉතිහාසය
කියවාගන්නට බල කරනු ලබන අනාගතයක් ගැන නවකතාවක්ද වේ. කතුවරයා සෑහෙන තරම් පොහොසත්, විවෘත පඨිතයක්
නිවමා දී නවතියි. අපේ ඉතිහාසය පිළිබඳ සමස්තාවාදී වූ අප රට ආදි කාලයෙහි සිට පැවති
දහසකුත් එකක් අන්තර් සංස්කෘතික සම්බන්ධතා වටහාගන්නා වූද ඉතිහාස ආඛ්‍යානයක් ගොඩනගා
ගැනීමේ අවශ්‍යතාව ඉඟි කරන නවකතාවකි මේ. එසේ නොවන අප කාටත් ඇති එකම උරුමය ආරාමදාසලා
බවට ඌනනය වීමද?
ලියනගේ අමරකීර්ති
No comments:
Post a Comment